ගංවතුරෙන් මතුව ඇති දුෂ්කර තත්වය ගැන කොලොන්නාව වැසියෝ ලෝසවෙඅ ට කතා කරති

මෝසම් වැසි සක්‍රීය වීමත් සමග පසුගිය දිනවල ඇද හැලුනු මහ වර්ෂාව හේතුවෙන් දිවයින පුරා විවිධ ප්‍රදේශ වල ගංවතුර සහ නාය යෑමේ කොන්දේසි මතුවී ඇත. කළු, කැලනි, ගිං, නිල්වලා සහ අත්තනගලු ඔය පිටාර ගැලීමත් සමග කොලඹ, කළුතර, ගම්පහ, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල පහත් බිම් ආශ්‍රිතව මෙම ගංවතුර තත්වය වර්ධනය වී ඇත. මේ හේතුවෙන් අදාල ප්‍රදේශ වල මහජනතාව අවතැන් වී ජන ජීවිතය විශාල වශයෙන් අඩාල වී පවතී.

අධික වර්ෂාව හේතුවෙන් ජූනි 05 වනදා උදෑසන වන විට පුද්ගලයන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. 13 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර ඔවුන් ද මිය ගොස් ඇති බවට සැලකේ. වාර්තාවලට අනුව නිවාස 40 සම්පූර්නයෙන්ම විනාශ වී ඇත; නිවාස 4000 කට අර්ධ හානි සිදුව තිබේ. බ්‍රහස්පතින්දා උදෑසන වාර්තා වලට අනුව අයහපත් කාලගුන තත්වයෙන් පවුල් 66,900 කට අයත් පුද්ගලයින් 253,500 දෙනෙකු බලපෑමට ලක්ව ඇත.

තව දුරටත් වැසි තත්වය අඛන්ඩව පැවතීම හේතුවෙන් ආපදා අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කොට ඇත. කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව ප්‍රදේශය මෙසේ ගංවතුර තත්වය මතුව ඇති ප්‍රදේශයකි. ඇද හැලෙන අධික වර්ෂාව නිසා කැලනි ගඟ පිටාර ගැලීමෙන් එම ප්‍රදේශයේ පහත්බිම් විශාල ප්‍රමානයක් ජලයෙන් යට වී ඇත.

දුප්පත් පීඩිත ජනතාව විශාල වශයෙන් ජීවත් වන මෙම කලාපයේ පුවක්වත්ත, සිංහපුර එගොඩ කොලොන්නාව, වඩුගොඩවත්ත, වෙන්නවත්ත, සාලවත්ත, බ්‍රැන්ඩියාවත්ත, කුමාරදාස පෙදෙස, රාහුල විද්‍යාලය ඉදිරිපිට ආදී ප්‍රදේශ ජලයෙන් යට වී පවතී. ගංවතුරෙන් අවතැන්වූවන් එම ප්‍රදේශයේ පන්සලෙහි තාවකාලික රැඳවුම් කඳවුරු වල රඳවා ඇත.

මෙම තතු තුල ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවෝ කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ගංවතුරට හසුව ඇති ජනතාව සමග මතු වී ඇති තත්වය පිලිබඳව සාකච්ඡා කලහ. පන්සල් හේන පාරේ පොතුවිල් කුඹුර ඇල අසල පහත් බිමේ පවුල් තුන්සියයක් පමන ජීවත්වන නිවාස ජලයෙන් යටවී ඇත.

මෙම ප්‍රදේශය 2016 වසරේදී ඇතිවූ ප්‍රබල ගංවතුරටද හසුවූ අතර යලි යලිත් අඛන්ඩව මෙවන් තත්වයන්ට මුහුන දීම පෙන්නුම් කරන්නේ කිසිදු ආන්ඩුවක් මෙම තත්වය වලක්වාලීමට කවර හෝ පියවරක් ගෙන නොමැති බවයි. ඇතැම් ප්‍රදේශවාසින් සඳහන් කල ආකාරයට එම ගංවතුරේ හානි පවා පියවා ගැනීමට සිදුව ඇත්තේ සිය පුද්ගලික වියදමිනි.’

මාර්සි පීරිස් 2024 ජූනි 4 වෙනිදා කොලොන්නාවේ ගංවතුරෙන් යටවූ ඇගේ නිවස ඉදිරිපිටදී -ලෝසවෙඅ

අඟහරුවාදා ලෝසවෙඅ වාර්තාකරුවන් මෙම ප්‍රදේශයට ගිය දිනයේදීත් ජල මට්ටම ඉහල යමින් පවතින ආකාරය දකින්නට ලැබිනි. මර්සි පීරිස් නැමැති වයෝවෘද්ධ කාන්තාවගේ නිවසෙහි පහල මාලය දින තුනක් තිස්සේ වතුරෙන් යට වී පවතී. ආබාධිත දියනියක් සමග ජීවත් වන ඇය ජලගැලීම ආරම්භවනවාත් සමග දියනිය හිතවත් නිවසක රඳවා ඇත. නිවසේ පවතින භාන්ඩවල ආරක්ෂාව සහතික කර ගැනීමට පීරිස් විටින් විට නිවස නිරීක්ෂනයට පැමිනෙයි.

“2016 ආපු මහා ගංවතුරට මගේ ගෙදර ලක්ෂ ගනනක උපකරන වලට හානි උනා. අපට සිද්ධ වුනේ ඒවා ඔක්කොම විඳ දරාගන්න. ආධාර ලැබුනෙ හානි සිද්ධ වෙච්ච අයට නෙවෙයි. මෙතන ඇල පිරිසිදු කරලා දෙන්න කියලා අපි කීපවතාවක්ම නගර සභාවට කිව්වා. නමුත් කිසිම දෙයක් කරලා නෑ. දැන් මේ විදිහට ඇල උතුරලා ගිහින් යටවෙලා තියෙනවා” යැයි පීරිස් සඳහන් කලාය.

ලංකාවේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු ගංවතුර වැනි ආපදා සම්බන්ධයෙන් පූර්ව ආපදා සැලසුම්කරනයන් මෙන්ම පශ්චාත් ආපදා ප්‍රතිචාර කලමනාකාරනය කිරීමට නිසි යාන්ත්‍රනයක් පිහිටුවා නොමැති වීම හේතුවෙන් මෙම ආපදා වල විනාශයේ පරිමාව ඉහල ගොස් ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුවද මෙම තත්වයට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ එදා වේල පිරිමසා ගැනීමේ ක්‍රමයට වන අතර, ඔහු විපතටපත් මහජනතාව මුදා ගැනීමේ වැඩ කටයුතු වලට හමුදාව යොදවා ඇත. එය මිලිටරි හස්තය ශක්තිමත් කිරීමේ පියවරකි.

ඒ හැරෙන්නට ඉදිරියේදී ගංවතුර ඇති වීම වැලැක්වීමට හෝ ගංවතුරෙන් මතුව ඇති ව්‍යසනය ට පිලියම් යෙදීමට කිසිදු විද්‍යාත්මක වැඩපිලිවෙලක් ක්‍රියාවේ යොදවා නොමැත. වර්ෂාව හේතුවෙන් ඉහල යන ජල මට්ටම් ක්ෂනිකව බැස යාම සහතික කිරීම සඳහා වන ඇල මාර්ග පිරිසිදු කිරීම, පිලිසකර කිරීම සහ පුලුල් කිරීම වැනි ව්‍යාපෘති, අනුප්‍රාප්තික ආන්ඩු වල වියදම් කප්පාදු හේතුවෙන් මුලුමනින් නතර වී ඇත. එම තත්වය පිලිබඳව පැමිනිලි කරන ජනතාවට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම සාමාන්‍යය බවට පත්ව තිබේ.

2024 ජූනි 4 වෙනිදා වඩුගොඩවත්ත - කොලොන්නාව ගංවතුරෙන් පසු කාණු නාලිකාව කැළිකසළවලින් අවහිර වී ඇත-WSWS

අධික වර්ෂාව හේතුවෙන් උතුරා යන ජලය, දින කිහිපයක් පුරා අවට ප්‍රදේශයන්හි දින ගනනාවක් රැඳී පවතී. රාහුල විද්‍යාලය ඉදිරිපිටින් ඇරඹී දිවෙන අතුරු මාවත පුරාම ඇල ආශ්‍රිත නිවෙස් සහ ප්‍රදේශ අර්ධ වශයෙන් ජලයෙන් යටවී ඇති ආකාරය ලෝසවෙඅ වාර්තාකරුවන්ට දකින්නට ලැබිනි.

දුරකථන සේවා සමාගමක සේවය කරන ප්‍රදේශවාසී කම්කරුවෙක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට මෙසේ පැවසීය: “2016 මීට වඩා ගංවතුර ආවා. දැන් ආයෙත් ඇවිත් තියෙනවා. ආන්ඩුවලට කිසිම වැඩපිලිවෙලක් නෑ. මේ ගංවතුර තත්වය නතර කරන්න. මෙහේ වතුර පිරෙනවා කියලා ආරංචි වෙලා මං රස්සාව අතර මැද්දේ ආවා බලන්න. මේවයෙ බර අපිට දරන්න වෙලා තියෙන්නෙ.”

කොලඹ- 2024 මැයි 04 - කොලොන්නාව මීතොටමුල්ලේ සතියක් තිස්සේ අපිරිසිදු ගංවතුර ජලයෙන් යටවූ නිවාස-ඡායාරුප WSWS

කුඩා ලමුන් තිදෙනෙකු සමඟ ජීවත් වන මවක් අවපැහැ වී ඇති ගංවතුර පෙන්වමින් කීවේ, වැසිකිලි අපද්‍රව්‍ය පවා මෙසේ උතුරා යන ජලය සමග පැමින ඇති බවයි.

“වැසිකිලි අපද්‍රව්‍ය එක්ක ගංවතුර බැහැලා ගියත් මාස ගානක් දුර්ගන්ධය පවතිනවා. කලින් ගංවතුර දාපු වෙලාවල් වල ලමයින්ට තුවාල වුනා. කකුල් කසන්න පටන් ගත්තා. පහුගිය වැස්සට පස්සේ ඩෙංගු හැදිලා ලමයි දෙන්නෙක් ඉස්පිරිතාලෙ ඉඳල බොහොම අමාරුවෙන් සනීප කරගත්තේ.”

ගංවතුර සමග මී උන වැනි ආසාදන ඇතිවීම පිලිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත් එවන් රෝග පැතිරීම වැලැක්වීමට නිවේදන නිකුත් කිරීමෙන් එහා වැඩපිලිවෙලක් ආන්ඩුවෙන් ක්‍රියාවට දමා නැත.

මෙම ගංවතුර පිලිබඳව ආන්ඩුවේ නොතකා හැරීම කෙරෙහි සිය විරුද්ධත්වය පලකල ඇය, “දේශපාලනඥයන්ට මේවාට මොකද්ද කරන්නේ කියන එක ගැන නිනව්වක් නැහැ. මහජනතාව කොහොම ජීවත් වෙනවද කියන එක ඔවුන් බලන්නෙත් නෑ' යැයි පැවසුවාය. 'අපි දවස් දෙකක් බඩගින්නෙ හිටියා. ඊයේ තමයි කෑම හම්බවුනේ, ගෙදර පස් දෙනාටම ලැබුනෙ කෑම දෙකයි” ඇය කීවාය.

එම ප්‍රදේශයේම ජීවත්වන දිලින කුමාර පැවසුවේ අවිධිමත් නාගරීකරනය හේතුවෙන් ගංවතුර ගැටලු මතුව ඇති බවයි. “ආන්ඩුවෙන් ඉඩම් විකුනන්න ජීවත් වන ප්‍රදේශවලින් මිනිස්සු එලවලා දානවා. කොලොන්නාව තෙල් බෙදා හැරීමේ මධ්‍යස්ථානය ට තෙල්ගෙන යන නලය යනවා කියල අවට ජීවත් වෙච්ච මිනිස්සු අයින් කලා. සමහර අයට ගෙවල් දුන්නා. ඒවත් ජීවත් වෙන්න සුදුසු තත්වයේ ඒවා නෙවේ. සමහර අය මේ වගේ ජීවත් වෙන්න නුසුදුසු තැන්වල පදිංචි වුනා' යැයි ඔහු කීවේය.

ජලය ගලා යන ඇල මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව නිමවා ඇති ආකාරය ඔහු පැහැදිලි කලේය. “සමහර තැන් තිබෙනවා දෙපැති බැමි බැඳලා තියෙන්නේ පොලව මට්ටමට විතරයි. ඒ තැන් වලින් වතුර ගෙවල් වලට ගලාගෙන එනවා. ඇතැම් ආන්ඩුවේ නිලධාරියො ඇවිත් බලලා මොනවා හරි කරන්නම් කියලා යනවා. ඒවා ගැන කිසි විශ්වාසයක් නෑ” දිලින කීවේය.

හොඳ නිවාස ලබා දෙන බවට ආන්ඩුවල පොරොන්දු සමච්චලයට ලක්කල ඔහු, “පැය භාගයක් වැස්සත් වතුර ගෙවල් වලට එන එක නවත්තල දෙන්න බැරි ආන්ඩු හොඳ තැන් වලින් අපට ඉඩම් දෙයිද” යනුවෙන් ප්‍රශ්න කලේය.

කොලොන්නාව නගර සභාව අප ජලය ඉවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කර නොතිබීම හේතුවෙන් වර්ෂා සමයට නිවෙස් තුල වැසිකිලි උතුරා එන බව ප්‍රදේශවාසීහු සඳහන් කලහ.

රජය විසින් මල අපද්‍රව්‍යය ඉවත් කිරීම සඳහා අප ජල පද්ධතියක් ප්‍රදේශයේ ස්ථාපනය කොට ඇත. ආරම්භයේදී, යම් නිවසක වැසිකිලි එකී පද්ධතියට සවිකිරීමේ ගාස්තුව රුපියල් 5000ක් වුව ද දැන් එම ගාස්තුව රුපියල් 65000ක් දක්වා අධික ලෙස වැඩිකර ඇතිබව ප්‍රදේශවාසීහු පැවසූහ. ඊට මාසිකව රුපියල් 500 ක් අය කලද ඉන් කිසිදු ප්‍රයෝජනයක් නැති බව ඔවුහු සඳහන් කලහ.

විශාන් තේ ඇසුරුම් සමාගමේ තාවකාලික කම්කරුවෙකු වන වසන්ති සිල්වා ගේ ලෑලි වලින් අටවාගත් කුඩා නිවසද ජලයෙන් යටවී ඇත. ඇය සඳහන් කලේ, දුගීභාවය හේතුවෙන් ප්‍රදේශයේ ජනයා මෙවන් කුඩා නිවාස අටවාගෙන ජීවත්වන බවයි. ඇයගේ නිවෙස දැන් ගංවතුර සමග කඩා වැටීමේ අනතුරට මුහුන දී ඇත. “මම ජීවත්වෙන්නෙ මගේ ලමයි දෙන්නත් එක්ක. දැන් දවස් කීපයක ඉඳල රස්සාවට යන්න බැරිවුන නිසා ආදායම නැවතිලා තියෙන්නේ” යැයි ඇය සඳහන් කලාය. ඇයගේ දිනක වැටුප රුපියල් 1200ක සොච්චමකි.

මෙම ප්‍රදේශයේ බහුතරය, කුලී වැඩ, කොන්ත්‍රාත් රැකියා වැනි දෛනික වැටුප් රැකියා වල නිරතවන්නන් ය. පහුගිය දින කිහිපය තුලම නිවෙස් ජලයෙන් යටවීම හේතුවෙන් රැකියා වලට යෑමට නොහැකි වීම නිසා සිය ආදායම් කඩා වැටී ඇති බව ලෝසවෙඅ වාර්තාකරුවන්ට ඔවුහු සඳහන් කලහ.

ආන්ඩුවේ නොතැකීම පිලිබඳව මහජන විරුද්ධත්වය වැඩෙන තතු තුල ජනාධිපති වික්‍රමසිංහ පසුගිය සඳුදා ජලයෙන් යට වී සිටින සේදවත්ත ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර කොලඹ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ මූල හේතුන් හඳුනාගනිමින් ඉදිරියේදී එවැනි තත්ත්වයන් නැවත ඇතිවීම වැලැක්වීමට කටයුතු කල යුතු බවට ඔහු කැබිනට් මන්ඩලයට ව්‍යාජ ලෙස යෝජනා කලේය.

ඇතිව තිබෙන තත්වය පිලිබඳ අප්‍රසාදය පල කල නගර සභා කොන්ත්‍රාත් කම්කරුවෙක් සඳහන් කලේ මේවා පිරිසිදු කිරීම සඳහා නගර සභාවට ප්‍රමානවත් සේවක සංඛ්‍යාවක් නොමැති බවයි. ඒ අයුරින් නගර සභාව වගකීම පැහැර හැරියද ආන්ඩුව මේ හා සමාන කොන්දේසි යටතේ “ඩෙංගු බෝ කිරීම සම්බන්ධයෙන් නිවැසියන්ට චෝදනා කරමින්” සිටින බව කීවේය.

මිනිසුන්ට ශිෂ්ඨ සම්පන්නව ජීවත් වීමට සුදුසු නිවාස ලබාදීම, ගංවතුර, නායයාම් ආදී ආපදාවන් කලමනාකරනය, එම ආපදාවන් මගින් ඇති කෙරෙන සෞඛ්‍යමය ප්‍රශ්න විසඳීම ආන්ඩුවේ වගකීමකි. නමුත්, කොලොන්නාව ප්‍රදේශවාසීන්ගේ අත්දැකීම් හරහා යලි තහවුරු කෙරෙන්නේ, ධනපති ආන්ඩු එම වගකීම් ද දුගී මහජනයාට පවරා තම අත් සෝදා ගනිමින් සිටින බවයි.

ගංවතුර වැනි ආපදා වැලැක්වීම සඳහා, වාරිමාර්ග, කාලගුන විද්‍යා, භූගර්භ පර්යේෂන, ඉඩම්, නිවාස ඉදිකිරීම් ආදී ක්ෂේත්‍රයන්හි ඒකාග්‍රතාවයෙන් තාර්කිකව සැලසුම් කල සුවිසල් ව්‍යාපෘති ක්‍රියාත්මක කල යුතුය. ඉහත ආයතන නවීන තාක්ෂනයෙන් සන්නද්ධ කිරීම ඒ සඳහා පූර්ව අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. නමුත් ධනපති ලාභ අවශ්‍යතා, එවන් වැඩපිලිවෙලකට සපුරා එරෙහිව පිහිටා සිටී.

ධනපති ක්‍රමයේ මෙම දුර්විපාක පිලිබඳ බලගතු අත්දැකීමක් මෙම ප්‍රදේශයේ ජනයා සතුව පවතී. 2017 මීතොටමුල්ල කුනු කන්ද නාය යෑම, මිනිස් ජීවිත 32 ක් බිලි ගනිමින් සහ නිවාස දුසිම් ගනනාවක් සමතලා කරමින් දැවැන්ත ව්‍යසනයක් ඇති කලේය.

ධනපති ක්‍රමය පවතින තාක් එය මෙවන් ව්‍යසන අඛන්ඩව නිර්මානය කරනු ඇත. ඉන් මිදීමේ මාවත වන්නේ ධනපති ලාභය වෙනුවට, මානව අවශ්‍යතා සඳහා සමාජය ප්‍රතිසංවිධානය කෙරෙන ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමයි.

Loading