ප්‍රංශය තුල පන්ති අරගලය සහ යුද්ධයට එරෙහි සටන

ප්‍රංශයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ඇලෙක්ස් ලැන්ටියර් 2024 මැයි 4 වෙනිදා ජාත්‍යන්තර ඔන්ලයින් රැලියේ දී The class struggle in France and the fight against war මැයෙන් කල කතාව පහත පල කෙරේ.

වීඩියෝ කැප්ෂන්: මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

මම ජාත්‍යන්තර නිර්ධන පංති එකමුතුවේ දිනය වන මෙම ජාත්‍යන්තර ඔන්ලයින් මැයි රැලියට ප්‍රංශයේ සමාජවාදී සමානතා පක්ෂයේ සහෝදරාත්මක සුභ පැතුම් ගෙන එමි. 2024 දී යුරෝපයේ සහ ලෝකයේ කම්කරුවෝ ඉස්මතුවෙමින් තිබෙන තුන්වන ලෝක යුද්ධයක් නැවැත්වීමේ අරගලය උදෙසා එක්සත් වීමේ කර්තව්‍යයට මුහුන දී සිටිති.

පෙබරවාරි මාසයේ යුරෝපීය සමුලුවක දී, ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් යුක්‍රේනයට ප්‍රංශ හමුදා යැවීමට තර්ජනය කලේ ය. නේටෝ බලවතුන්ගේ ආක්‍රමනශීලී භූමිකාව හෙලිදරව් වී ඇත. ඔවුන් න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයකින් තර්ජනය කරන්නේ රුසියානු ජනතාවට පමනක් නොවෙයි; සමස්ත ජාත්‍යන්තර කම්කරු පංතියටයි.

මැක්‍රොන් සහ ඔහුගේ නේටෝ සහචරයන් යුරෝපීය ජනතාවගේ අභිමතයට පිටුපා යුද්ධය උත්සන්න කරමින් සිටිති. මත විමසීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ ප්‍රංශ ජාතිකයන්ගෙන් සියයට 68ක්, ජර්මානුවන් සියයට 80ක් සහ පෝලන්ත ජාතිකයන්ගෙන් සියයට 90ක් යුක්‍රේනයට හමුදා යැවීමට විරුද්ධ බවයි. කෙසේ වෙතත්, ප්‍රංශයේ සහ යුරෝපය පුරා ජන මාධ්‍ය “යුද කර්මාන්තයක්” ගොඩනැගීමට ඉල්ලා සිටින්නේ, යුක්‍රේනයේ වර්තමාන යුද්ධය වැනි “ අධි-තීව්‍රතා ගැටුම්” ඉදිරියට ගෙන යාමටයි.

2024 පෙබරවාරි 16 වැනි දින පැරිසියේ ජනාධිපති නිල නිවසේ දී මාධ්‍ය හමුවක් අතරතුර යුක්‍රේන ජනාධිපති වොලඩිමීර් සෙලෙන්ස්කි (වමේ) ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොංට අතට අත දෙමින් [AP Photo/Thibault Camus]

1914 සහ 1939 ලෝක යුද්ධවල ආරම්භයේ දී මෙන්, ධනේශ්වර පද්ධතිය මාරාන්තික අර්බුදයක පවතී. පාලක පන්තීහු තමන්ට විසඳුමක් නොමැති ජාත්‍යන්තර හා සමාජ ගැටුම්වලට මුහුන දෙමින්, වලක්වන්නේ කෙසේදැයි ඔවුන්මත් නොදන්නා, ව්‍යසනයක් දෙසට දැනුවත් ව ගමන් කරමින් සිටිති

සිරියාව අරබයා රුසියාව සමග යුද්ධයක අවදානම ගැනීම නිසා නෙටෝව 'මුග්ධ' බව මැක්‍රොන් 2019 දී “දි ඉකොනොමිස්ට්” සඟරාව ට පැවසිය. 2017 දී ඔහු රුසියානු ජනාධිපති පුටින්ට සුහද සාකච්ඡා සඳහා වර්සෙයිල් හි රාජකීය මාලිගාවට ආරාධනය කර තිබුනි. නමුත් අද මැක්‍රොන්, අනෙකුත් නේටෝ රාජ්‍යයන් පරිදිම මුග්ධ ව, යුරෝපයේ ප්‍රමුඛතම යුධ ගිනි අවුලුවන්නා වීමට අපේක්ෂා කරයි.

ගාසාවේ සියොන්වාදී තන්ත්‍රයේ ජන සංහාරයට නේටෝ බලවතුන්ගේ සහයෝගය මැක්‍රොන් සහ ඔහුගේ සහචරයින්ගේ වෙස්මුහුනු ගලවන්නකි. 2012 සිට පැරිස් ආන්ඩුව යුරෝ මිලියන සිය ගනනක් වටිනා ආයුධ ඊශ්‍රායලයට විකුනා ඇත. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ අනාරක්ෂිත සිවිල් වැසියන්ට බෝම්බ හෙලද් දී මැක්‍රොන් තම “මිතුරා,” යයි කියූ අගමැති නෙතන්‍යාහු වැලඳ ගැනීමට පසුගිය සරත් සෘතුවේ දී ඊශ්‍රායලය ට ගියේය.

2024 පෙබරවාරි 16 වැනි දින පැරිසියේ ජනාධිපති නිල නිවසේ දී මාධ්‍ය හමුවක් අතරතුර යුක්‍රේන ජනාධිපති වොලඩිමීර් සෙලෙන්ස්කි (වමේ) ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොංට අතට අත දෙමින්

ගාසාවේ සිවිල් වැසියන් දස දහස් ගනනක් රෝහල් සහ රැඳවුම් කඳවුරු තුල දී සමූල ඝාතනය කිරීමට දිරිමත් කිරීමෙන්, නේටෝව ඉලක්ක කරන්නේ පලස්තීන ජනතාව පමනක් නොවේ. එහි ඉලක්ක, ඊශ්‍රායලය විසින් බෝම්බ හෙලමින් තිබෙන, ලෙබනනය, සිරියාව සහ ඉරානය ඉක්මවා යයි. අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකයේ සෙසු කොටස්වලට හා සියල්ලට ප්‍රමුඛ ව ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇත.

සහේල් වෙතින් සිය හමුදා ඉවත් කර ගැනීමට බල කල අප්‍රිකානු කම්කරුවන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ ව්‍යාපාරය කෙරෙහි පැරිසිය විශේෂයෙන් කෝපයට පත් වී ඇත. මාලි, බුර්කිනා ෆාසෝ සහ නයිජීරියාවේ හමුදා ආඥාදායකත්වයන්, මහජන කෝපය අන්මගකින් පුපුරා යාමට මග සලසමින්, ප්‍රංශ හමුදා තම රටවලින් ඉවත් විය යුතු යැයි කියා සිටී. ප්‍රංශයට පක්ෂපාතී අප්‍රිකානු ආන්ඩුවලින් එල්ල විය හැකි ආක්‍රමනයකින් ආරක්ෂා වීම සඳහා මෙම අප්‍රිකානු රාජ්‍යයන් වැග්නර් මිලීෂියාවේ රුසියානු හමුදාවන්ට ආරාධනා කලේ ය.

තවමත් අප්‍රිකානු මූල්‍යය තුල ආයෝජන මත ආධිපත්‍යය දරන ප්‍රංශ සහ යුරෝපීය ප්‍රාග්ධනය, රුසියානු හමුදාවන් හෝ චීන පාරිභෝගික භාන්ඩ හමුවේ අප්‍රිකාව අත්හැර දමා යාමට සූදානම් නැත. මැක්‍රොන් මොස්කව්වලට තර්ජනය කරන්නේ, රුසියාවේ ස්වභාවික සම්පත් පමනක් නොව, අප්‍රිකාවේ තම පැරනි යටත් විජිත අධිරාජ්‍යය ද අසීමිතව කොල්ල කෑමට ප්‍රංශ බැංකු සිහින දකින බැවිනි.

මනුෂ්‍ය සංහතිය විනාශ කර දැමීමට පෙර කම්කරුවන්ට යුද උත්සන්නිය ද ලෝක යුද්ධය ද නැවැත්විය හැකියි. ගාසා තීරයේ ජන සංහාරයට යොදා ගන්නා ආයුධ ඊශ්‍රායලයට පැටවීම කම්කරුවන්ට අවහිර කල හැකියි. නමුත් මේ සඳහා සෑම රටකම ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඒත්තු ගැන්වීම අරමුනු කර ගත් ජාතික ව්‍යාපාරයක් නොව, යුද්ධයට, ජන සංහාරයට සහ ධනවාදයට එරෙහිව සියලු ම රටවල කම්කරු පන්තියේ ශක්තිය බලමුලු ගැන්වීම අරමුනු කර ගත් ජාත්‍යන්තර ව්‍යාපාරයක් ඔවුන් ගොඩනැගිය යුතුයි.

මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව ගිය වසරේ මහජන ව්‍යාපාරය වැනි පන්ති අරගලයේ මෑත කාලීන අත්දැකීම් වලින් ගලා එන තීරනාත්මක දේශපාලන පාඩම වන්නේ එයයි.

ජනතාවට එරෙහිව විවෘතව නීති පනවමින් මැක්‍රොන් යුරෝ බිලියන ගනනක් මිලිටරි අයවැය සඳහා නිදහස් කිරීමට සිය කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීය. ප්‍රංශ ජනතාවගෙන් හතරෙන් තුනක් කප්පාදුවලට විරුද්ධ වුනත්, ඔහු එය ඡන්දයකින් තොරව ම පාර්ලිමේන්තුව හරහා කඩිනමින් සම්මත කර ගත්තේ ය. විරෝධතාකරුවන්ට, වර්ජකයන්ට සහ අවට සිටි අයට පවා පහර දීමට ඔහු කැරලි මර්දන පොලිසිය යෙදවී ය.

රට තුල පන්ති යුද්ධයක් කරමින් රටින් පිටත ලෝක යුද්ධයට සූදානම් වීම මෙහි අරමුනයි. කම්කරු පන්තියට සටන් කිරීමට අවශ්‍ය වුනත්, කම්කරුවන්ගේ ව්‍යාපාරය මැඩලීමට මැක්‍රොන් වෘත්තීය සමිති නිලධරයන් සහ ඔවුන්ගේ දේශපාලන සහචරයින් මත යැපුනි. මහා වැඩවර්ජනයක් මගින් ආර්ථිකය අවහිර කිරීමට තමන් සහය දෙන බව ජනතාවගෙන් සියයට 60ක් කියා සිටි නමුත් වෘත්තීය සමිති ලොක්කෝ මැක්‍රොන් බේරා ගත්හ. 'ප්‍රචන්ඩත්වයෙන් පමනක් නොව ඉතා ගැඹුරු සමාජ ප්‍රතිවිරෝධයකින් ද මේ රට වෙලී යා හැකි උමතුව' යැයි ඔවුන් හැඳින්වූ දෙයට බියෙන් ඔවුහු විරෝධතා තවදුරටත් ඉදිරියට ගෙනයාම නතර කලහ.

පැරිසියේ ඓතිහාසික පැන්තියන් ගොඩනැගිල්ල ඉදිරිපස පැවැත් වෙන මහජන විරෝධතාවක්

යථාර්ථය නම්, සමකාලීන සමාජයේ උමතුව පැමිනෙන්නේ කම්කරු පන්තියේ කෝපයෙන් නොව ධනවාදයේ අතාර්කිකත්වයෙන් බවයි. මැක්‍රොන්ට එරෙහි ව්‍යාපාරයේ ගෙල සිරකිරීමෙන්, වෘත්තීය සමිති නිලධරය මැක්‍රොන්ට යුද්ධය තීව්‍ර කිරීමට පාර කපා දුන්නේ ය.

මෙම ව්‍යාපාරයේ අත්දැකීම මගින් මතු කරන තීරනාත්මක ප්‍රශ්නය නම්: ධනවාදයට සහ ස්ටැලින්වාදයට විප්ලවවාදී විකල්පය වන ට්‍රොට්ස්කිවාදී ප්‍රවනතාවය කුමක්ද යන්නයි. එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) වන අතර ප්‍රංශයේ දී සමාජවාදී සමානතා පක්ෂයයි (සසප). සමාජවාදය සඳහා අරගලයක පලමු අදියර ලෙස මැක්‍රොන් සහ ඔහුගේ පොලිස් රාජ්‍යය බලයෙන් පහ කිරීමට කම්කරු පන්තිය බලමුලු ගන්වන ලෙස විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහි ව්‍යාපාරය තුල දී සසප ඉල්ලා සිටියේය.

1953 දී ස්ටැලින්වාදී නිලධරයන් කම්කරුවන්ට විප්ලවවාදී නායකත්වය සපයනු ඇතැයි තර්ක කරමින් හජාජාක වෙතින් භේද වූ පැබ්ලෝවාදීන්ගෙන් පැවත එන්නන්ගේ දේශපාලන පිලිවෙත වූයේ කුමක්ද?

ප්‍රංශ පැබ්ලෝවාදී ව්‍යාපාරයේ මොරෙනොයිට් කන්ඩායම වන නොනවතින විප්ලවය (Révolution permanente) “තත්වය විප්ලවවාදී නොවේ” යැයි ලිවීය. එය ධනවාදී සමාජයේ රාමුව තුල “ධනේශ්වරයේ බලයට සැබෑ ප්‍රතිප්‍රහාරයක්” ගොඩනැගීමට කැඳවුම් කලේ ය.

2022 ජූනි 10 වැනි දා, සිකුරාදා, දකුනු ප්‍රංශයේ මාර්සේල් හි දී කතාවත් පවත්වන ජීන් ලුක් මෙලන්ෂොන් [AP Photo/Daniel Cole]

කප්පාදු විවේචනය කරන ලිපියක් එලිසී ජනාධිපති මන්දිරයට භාරදෙනුවස්, ස්ටැලින්වාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යුත් දූත පිරිසක්, ජීන් ලුක් මෙලොන්ෂොන්ගේ නිව් පොපියුලර් යූනියන් පක්ෂය විසින් පිටත් කර හැරින. මෙම බෙලහීන ක්‍රියාව මෙලන්ෂොන්ගේ ප්‍රතිගාමී දේශපාලන අශුභවාදය පිලිබිඹු කරන්නකි. 2022 ජනාධිපතිවරනයේ දී ඡන්ද මිලියන 8ක් ලබා ගැනීමෙන් ඉක්බිතිව, ඔහු තම ඡන්දදායකයින් වෙත කිසිදු විප්ලවීය ආයාචනයක් සිදු කර නැත. ඇත්ත වශයෙන් ම, තමන් මැක්‍රොන් යටතේ හෝ නව-ෆැසිස්ට් ජනාධිපතිවරයෙකු යටතේ හෝ අගමැති ලෙස සේවය කිරීමට කැමති බව ඔහු පැවසී ය.

ධනවාදයට හා යුද්ධයට කම්කරු පන්තිය යටත් කරන දේශපාලනික වශයෙන් දූෂිත මෙම බලවේගවලට ඇති මූලෝපායික විකල්පය කුමක්ද? 1936 ප්‍රංශ මහා වැඩවර්ජනය පුපුරා යාමට වසරකට පෙර, තත්වය විප්ලවවාදී නොවන බවට තර්ක කල ස්ටැලින්වාදීන්ට එරෙහිව ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:

“කම්කරු පන්තික පක්ෂවල නිර්-විප්ලවවාදී ප්‍රතිපත්ති තිබියදී, තත්වය හැකි තරම් විප්ලවවාදී ය. වඩාත් නිවැරදිව කිවහොත්, තත්වය පූර්ව විප්ලවවාදී ය. තත්වය පූර්න පරිනත තත්ත්වයකට ගෙන ඒම සඳහා සමාජවාදයේ නාමයෙන් බලය අත්පත් කර ගැනීමේ සටන් පාඨය යටතේ, මහජනතාවගේ ක්ෂනික, ප්‍රබල සහ නොනවතින බලමුලු ගැන්වීමක් තිබිය යුතු ය. …”

“වර්තමානයේ ‘විප්ලවවාදී නොවන තත්ත්වය’ යන වාක්‍ය ඛන්ඩයේ බැතිමත් මැතිරීම්වලට කල හැකි එක ම දේ නම් කම්කරුවන්ගේ මානසිකත්වය කුඩුපට්ටම් කර ඔවුන්ගේ අධිෂ්ඨානය අඩපන කර ඔවුන් ව පන්ති සතුරාට භාර කර දීම පමනයි.”

මෙම විශ්ලේෂනය වසර 90කට පසුවත් අද දින වෛෂයික විප්ලවවාදී තත්වය ආලෝකවත් කරන්නකි. ජන සංහාරයට සහ යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර ව කම්කරුවන් බලමුලු ගැන්වීම සඳහා අනුගමනය කල යුතු මාවත එයයි!

Loading