ඉදිරිදර්ශන

පන්ති අරගලයේ තීරනාත්මක අවස්ථාවක්

පැට්කෝ වැඩ වර්ජනයේ සිට හතලිස් වසරක්: පලමු කොටස

මෙහි මුල් ලිපිය 2021 අගෝස්තු 2 වැනි දින Forty years since the PATCO strike: Part one යන මැයෙන් පල කෙරුනි.

කොටස් පහකින් යුතු “පැට්කෝ වැඩ වර්ජනයේ සිට හතලිස් වසරක්” ලිපි මාලාවේ පලමුවැන්න මෙයයි. ඉතිරි කොටස් ඉදිරියේදී සිංහල භාෂාවෙන් පල වනු ඇත.

පලමු කොටස/දෙවන කොටස/තුන්වන කොටස/හතරවන‌කොටස/ පස්වන කොටස

“උද්ධමන-විරෝධී සටනට උදව් කිරීම පිනිස පරිපාලනය කල වඩාත් ම වැදගත් තනි ක්‍රියාව වූයේ, ගුවන් ගමන් පාලක වැඩ වර්ජනය පරාජය කිරීම යි.” -පෝල් වෝකර්

“ජාත්‍යන්තර ව අබාධිත මිලිටරිවාදයේ හා එක්සත් ජනපදය ඇතුලත කම්කරු පන්තියට එරෙහි රුදුරු කප්පාදුවේ ක්‍රියා මාර්ගයක් සමගින්, ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමේ සිය සමස්ත ධනපති පිලිවෙතින් පැට්කෝ සමිතිය විනාශ කිරීම නො වෙන් කල හැකි යයි පාලක පන්තිය සලකයි.” - බුලටින්

එක්සත් ජනපදයේ ගුවන් ගමන් පාලකවරුන්ගේ වෘත්තීය සමිතියෙහි -වෘත්තීය ගුවන් ගමන් පාලක සංවිධානය (පැට්කෝ)- සාමාජිකයන් 13,000ක් 1981 අගෝස්තු 3දා තම හාම්පුතා වූ මධ්‍යම ගුවන් සේවා පරිපාලනයට (එෆ්ඒඒ) එරෙහි ව වැඩ වර්ජනයකට පිලිපන් හ. ඉහල යන වානිජ ගුවන් ගමන් ප්‍රමානය සමග ගැලපෙන මට්ටමකින් රැකියා කොන්දේසි හා ආරක්ෂක පියවරවල් පවත්වා ගැනීමට වසර ගනනක් තිස්සේ අසමත් වී තිබුනි. ආන්තික ආතතිය ගුවන් ගමන් පාලකයන් බහුතරයකට නියමිත කලට පෙර විශ්‍රාම යාමට බල කලේ ය. කෙටි කල වැඩ සතියක්, ඉහල වැටුප් හා සේවක සංඛ්‍යාව ඉහල දැමීම පැට්කෝ කම්කරුවෝ ඉල්ලා සිටිය හ.

වැඩ වර්ජනය දියත් කිරීමෙන් පැය ගනනකට පසු, ධවල මන්දිරයේ රෝස් ගාර්ඩ්න් සිට කතා කල ජනාධිපති රොනල්ඩ් රේගන්, ගුවන් ගමන් පාලකයන් දවස් දෙකක් ඇතුලත පෙරලා වැඩට වාර්තා නො කල හොත්, ඔවුන් ව නෙරපා හැරීම හැකි වන ආකාරයෙන් වැඩ වර්ජන-විරෝධී ටාෆ්ට්-හාට්ලි පනත බලාත්මක කලේ ය. රේගන් පරිපාලනයේ කොන්දේසි සරල විය: වෘත්තීය සමිතිය වැඩ වර්ජනය අවසන් කර ධවල මන්දිරයේ විධානයන්ට මුලුමනින් ම යටත් විය යුතු ය. සාකච්ඡා නො පැවැත්වෙනු ඇත.

සැප්තැම්බර් 19 වැනි දා පැට්කෝ වැඩ වර්ජකයන්ට සිය සහයෝගය ප්‍රදර්ශනය කිරීම පිනිස රට පුරා විවිධ ප්‍රදේශවලින් වොෂින්ටන් ඩීසී වෙත පැමිනි කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

12,000ක් දෙනා දිගට ම වැඩ වර්ජනයේ යෙදී සිටිද්දී, ගුවන් ගමන් පාලක බහුතරයක් ආපසු වැඩට යාමේ නියෝගය ප්‍රතික්ෂේප කල හ. එහෙත් ඔවුන්ගේ සටන්කාමීත්වය හා සහෝදරත්වය සහ සමස්තයක් ලෙස කම්කරු පන්තිය තුලින් ඔවුන්ගේ අරගලයට ලැබුනු ගැඹුරු සහයෝගය (සැප්තැම්බර් 19දා වොෂින්ටන් ඩීසීහි පැවති 500,000ක් සහභාගි වූ පෙලපාලියක් තුල මෙය ප්‍රකාශයට පත් වුනි(1) ) නො තකා, ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරය විසින් වැඩ වර්ජනය හුදකලා කොට පාවාදුන් අතර, ගුවන් ගමන් කර්මාන්තයේ හා ගොඩබිම් ප්‍රවාහන අංශයේ එහි සාමාජික වෘත්තීය සමිති, පරාජය සහතික කිරීම සඳහා පැට්කෝ පිකට් වැටවලින් අනික් පැත්තට මාරු වූ හ.

වසර අවසානය වන විට, ගුවන් ගමන් පාලකයන් පරාජය කරනු ලැබ තිබුනු බව පැහැදිලි වුනි. රේගන් පරිපාලනය හා උසාවි, වෘත්තීය සමිතිය නීති-විරෝධී කල අතර, කලමනාකාරීත්වයෙන් හා මිලිටරියෙන් ඇද ගත් හොරිකඩයන්ගෙන් වැඩ වර්ජකයන්ගේ ස්ථාන පුරවන ලද්දේ, සියලු වර්ජිත ගුවන් ගමන් පාලකවරුන්ගේ නම් ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා අසාධු ලේඛනගත කරමිනි.

පාලක පන්තියේ ප්‍රචන්ඩත්වය කම්කරුවන් වික්ෂිප්ත කලේ ය. එහෙත්, අත්අඩංගුවට ගැනීම් දුසිම් ගනනක් සහ ටෙක්සාස්හි සටන්කාමී ගුවන් ගමන් පාලකයන් තිදෙනෙකු සිරගත කොට චෝදනා නැගීම ඇතුලත් වූ රේගන්ගේ අනුකම්පා විරහිත භාවය හැකියාවක් බවට පත්කලේ, ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරය විසිනි. පාලකවරුන්ට රේගන් එල්ල කල ප්‍රහාරය විසින් සමස්ත කම්කරු ව්‍යාපාරයට එල්ල කල තර්ජනය පැහැදිලි වුව ද කම්කරුවන් යලි යලිත් මහා වැඩ වර්ජනයක් ඉල්ලා සිටිය දී පවා, පලල් කම්කරු පන්තික බලමුලුගැන්වීමක් බලාත්මක කිරීම ඒඑෆ්එල්-සීඅයිඕ ප්‍රතික්ෂේප කලේ ය.

සහයෝගය පතා ඩිමොක්‍රටික් පක්ෂයට ආයාචනා කරන ලෙස කම්කරුවන්ට උපදෙස් දෙමින්, දේශපාලනික ව ආවරනය වීමට වෘත්තීය සමිති නිලධරයෝ උත්සාහ දැරූ හ. එහෙත් වෘත්තීය සමිතිය බිඳ දැමීමේ මෙහෙයුම ක්‍රියාවට දමන ලද්දේ ඩිමොක්‍රටිකයන්ගේ ද සහයෝගය සමගිනි. සත්‍ය වසයෙන් ම, කලමනාකරන වැඩ වර්ජන හදිසි අවස්ථා බලකාය නමින් හැඳින්වුනු මිලිටරි හොරිකඩ මෙහෙයුම ඇතුලු පැට්කෝව තලා දැමීම සඳහා රේගන් ක්‍රියාවට දැමූ සැලසුම ම ත්, 1980 දී සකස් කරනු ලැබ තිබුනේ, ඩිමොක්‍රටික් ජනාධිපති ජිමී කාටර් යටතේ පැවති ලැන්ගෝන් මධ්‍යම ගුවන් සේවා පරිපාලන සැකිල්ල විසිනි.

කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පැට්කෝ පිකට් ලයින් (ලෝසවෙඅ මාධ්‍ය)

ආන්ඩුවේ වර්ජන බිඳීමට හා වෘත්තීය සමිති විනාශයට ප්‍රතිචාර ලෙස තමන් කිසිවක් නො කරන බව, ඒඑෆ්එල්-සීඅයිඕව රේගන් පරිපාලනයට සහතික විය. පැට්කෝවට සහයෝගය පිනිස පලල් වැඩ වර්ජන ක්‍රියා කැඳවූ කම්කරුවන්ගේ පීඩනයට මුහුන දුන් ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති ලේන් කර්ක්ලෑන්ඩ්, “රේගන් පරිපාලනයේ වැරදි හෝ අපරාධ සඳහා පලල් මහජනයාට දඬුවම් කිරීම, තුවාල කිරීම හෝ අපහසුවට පත් කිරීම නියෝජනය කරන කිසිවකට” තමන් විරුද්ධ බව අරගලය මුල දී කීවේ ය. කම්කරු නිලධරයන්ගේ අනුදැනුම කෙරෙහි රේගන් කොතරම් විශ්වාසයෙන් පසු වී ද යත්, ඔහු අගෝස්තු 3දා ආපසු වැඩට යාමේ අවසන් නිවේදනය නිකුත් කලේ, චිකාගෝවේ හ්යාත් රිජන්සි හෝටලයේ දී ඒඑෆ්එල්-සීඅයිඕ විධායක කවුන්සිල රැස්වීම පැවැත්වෙද්දී ය.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග දේශපාලනික ව සහයෝගී වූ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී වර්කර්ස් ලීගය, පැට්කෝ වැඩ වර්ජනයේ දී ප්‍රමුඛ ක්‍රියා කලාපයක් ඉටු කලේ ය. අත්අඩංගුවට ගත් වැඩ වර්ජකයන් ආරක්ෂා කිරීම නිසා, වර්කර්ස් ලීගයට බොහෝ පැට්කෝ කම්කරුවන්ගේ සහයෝගය දිනාගත හැකි විය. ගුවන් ගමන් පාලකයන්ගේ වැදගත් සාමාන්‍ය කම්කරු නායකයන් පිරිසක් වර්කර්ස් ලීගයට බැඳුනෝ ය. වර්කර්ස් ලීගයේ පුවත්පත හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පූර්වගාමියෙක් වූ බුලටින්හි වාර්තාකරුවෝ, රට පුරා නගරවල වැඩ වර්ජකයන් හා ඔවුන්ගේ පවුල් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ හ. බුලටින්හි අඩංගු වන මාධ්‍ය ආවරනය හා සම්මුඛ සාකච්ඡා, පැට්කෝ වැඩ වර්ජනයේ වඩාත් ම වැදගත් හා සවිස්තරාත්මක පුවත් සම්පාදනය කරයි. මෙම ලේඛනාගාරයෙන් තොර ව, අරගලය හෝ එහි ප්‍රතිඵලය අවබෝධ කරගැනීම උගහට ය.

සමස්ත කම්කරු පන්තිය පරිග්‍රහනය කරගැනීම සඳහා අරගලය පලල් කරනු ලබන ලෙස වර්කර්ස් ලීගය යලි යලිත් කැඳවුම් කලේ ය. වැඩ වර්ජනය ප්‍රසාරනය කිරීම සඳහා කොන්දේසි උදාකර ගත හැක්කේ, වෘත්තීය සමිති නිලධරයට හා ඩිමොක්‍රටික් පක්ෂයට එරෙහි දේශපාලන අරගලයකින් පමනක් බව, එය අවධාරනය කලේ ය. වෘත්තීය සමිතිගත කම්කරුවන් හා වැඩකරන ජනගහනයේ අසංවිධිත කොටස් මහා වැඩ වර්ජනයක් ගොඩනැගීම දෙසට එකමුතු කිරීම සඳහා හදිසි කම්කරු සම්මේලනයක් පැවැත්වීමේ ඉල්ලීම සහ කම්කරුවන්ගේ ආන්ඩුවකට හා සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කිරීම පිනිස වෘත්තීය සමිති මත පදනම් වන ලේබර් පක්ෂයක් ස්ථාපිත කිරීමේ ඉල්ලීම වර්කර්ස් ලීගය විසින් පෙරට දැම්මේ ය. එවන් අරගලයක ආරම්භකත්වයකින් තොර ව, පැට්කෝ වැඩ වර්ජනය ජයග්‍රහනය කල නො හැකි බව පක්ෂය ප්‍රකාශ කලේ ය. පැට්කෝ වැඩ වර්ජනය හුදකලා කොට පරාජය කිරීමට ඉඩ දුන හොත්, එය සමස්ත කම්කරු පන්තියට ම එරෙහි ප්‍රහාරයක් සඳහා වේදිකාව සකසනු ඇතැයි, වර්කර්ස් ලීගය වැඩි දුරටත් අනතුරු ඇඟවී ය.

ඩිට්‍රොයිට් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පිකට් කිරීමේ යෙදෙන පැට්කෝ වැඩ වර්ජකයෝ (ලෝසවෙඅ මාධ්‍ය)

කම්කරුවන් අතර සටන්කාමී සහෝදරත්වයක හැඟීමක් සමගින් රේගන් පරිපාලනය සමග තීරනාත්මක ගැටුමක් සඳහා ආශාවක් පැවතුන ද අරගලයට මග පෙන්වන සමාජවාදී දේශපාලනික සංකල්පයන් පිලිබඳ අවශ්‍යතාව පලල් ලෙස අවබෝධ කරගනු ලැබුවේ නැත. මෙය මත්, දීර්ඝ ඓතිහාසික ක්‍රියාවලීන්ගේ නිෂ්පාදිතයක් විය. 1980 ගනන් වන විට, ඒඑෆ්එල්-සීඅයිඕ විසින් දශක ගනනාවක් තිස්සේ දිරිගන්වා තිබුනු ප්‍රති-කොමියුනිස්ට්වාදය, 1930 ගනන්වල කාර්මික වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩනැගීමේ දී සමාජවාදීන් ඉටු කර තිබුනු තීරනාත්මක ක්‍රියා කලාපය ඇතුලු, මූලික ඓතිහාසික අත්දැකීම්වල ඥානය කරා එලඹීමෙන් බොහෝ කම්කරුවන් වලක්වා තිබුනි.

ආන්ඩුව සංවිධානය කරන ලද පැට්කෝ සමිතිය විනාශ කිරීම, සමස්ත කම්කරු ව්‍යාපාරයට ම යෝධ ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් බවට මහ ව්‍යාපාරිකයට දුන් සංඥාවක් විය. ඊ ලඟ දශකය පුරා, ගුවන් හා ගොඩබිම් ප්‍රවාහන, මෝටර් රථ, වානේ, ගල් අඟුරු, සිල්ලර වෙලඳ, ඇඟලුම් හා රෙදිපිලි සහ තවත් බොහෝ අංශ යන තථ්‍ය වසයෙන් ආර්ථිකයේ සෑම අංශයක් තුල ම පාහේ, හොරිකඩ ව්‍යාපාර හා වෘත්තීය සමිති දඬුගැසීම් ක්‍රියාවට දැමුනි. පැට්කෝ පරාජය, 1980 ගනන්වල හා 1990 ගනන් මුල එලඹුනු සෑම වැඩ වර්ජනයක් සඳහා ම රටාවක් ස්ථාපිත කලේ ය. ෆෙල්ප්ස් ඩොජ්, ග්‍රේහවුන්ඩ්, යුනයිටඩ් එයාර්ලයින්ස්, ඒටී මැසේ, හෝමල්, කැටපිලර් ආදී ආයතනවල කම්කරුවෝ සටන්කාමී හා කටුක අරගල ගෙන ගිය හ. එම කාලය තුල හටගත් මෙවන් හා අනෙකුත් වැඩ වර්ජන පරාජයට පත්වූයේ, සටනක් නො තිබුනු නිසා නො වී ය. සෑම අවස්ථාවක දී ම, වැඩ වර්ජකයන් හුදකලා කොට, දිරිසුන් කොට හා පරාජයට හෙලීමට වෘත්තීය සමිති නිලධරය දැනුවත් ව ක්‍රියා කලේ ය.

මේ ආකාරයට, වෘත්තීය සමිතිවල ඇද වැටීමත්, සංගතවල හා රාජ්‍යයේ ඒජන්සි බවට ඒවායේ ක්ෂනික පරිවර්තනයත් පැට්කෝ පාවාදීම මගින් සංඥා කලේ ය. 1980 ගනන්වල ගමන් මාවත පුරා, වෘත්තීය සමිති ව්‍යාපාරික වස්තු බවට පරිවර්තනය කිරීම සම්පූර්න කරනු ලැබී ය. එහෙත්, කම්කරු පන්තියේ ප්‍රතිරෝධය තලා දැමීමෙන් හා සටන්කාමී කම්කරුවන් විරේක කිරීමෙන් තොර ව, එයට ඉදිරියට යා නො හැකි වනු ඇත. වෘත්තීය සමිති නිලධරයේ අවසන් පාවාදීමට පලමු ව ගොදුරු වූවන් වූයේ, දඩයමට බඳුන් වූ පැට්කෝ කම්කරුවන් ය.

ඇමරිකානු වෘත්තීය සමිතිවාදයේ ස්වර්නමය යුගයක් කිසිදා පැවතී නැත. වෘත්තීය සමිති නිලධාරියෝ, ඔවුන් සේවය කරන නිලධාරී තන්ත්‍රයේ අවශ්‍යතා සහ ඔවුන් නියෝජනය කරනවා යයි කියන සාමාන්‍ය කම්කරුවන්ගේ අවශ්‍යතා අතර බොහෝ වෙනස්කම් සෑම විට ම දැක ගෙන ඇත. වරක් සටන්කාමී හා සමාජවාද-හිතැති වන කම්කරුවන්, කම්හලේ රැකියාවෙන් ඉවත් ව වෘත්තීය සමිති යාන්ත්‍රනයේ බදර රැකියාවලට ඇතුල් වූ විට ක්ෂනික ව ඔවුන්ගේ සටන්කාමී දවස් අමතක ව යන අයවලුන්ගේ වෘත්තීයයන් සමගින් කම්කරු ඉතිහාසය අපවිත්‍ර වී තිබේ. නිලධරයට පිටුපා “මා නැගී සිටින්නේ සාමාන්‍ය කම්කරුවන් සමගින් මිස ඔබ සමග නො වේ” යි කියූ පුරෝගාමී සමාජවාදී එයුජින් ඩෙබ්ස් ප්‍රකාශ කල ආකාරයට කිව හැකි අයවලුන් සත්‍ය වසයෙන් ම හිඟ ය.

දුෂනය හා විෂකුරු ප්‍රති-කොමියුනිස්ට්වාදය පිලිබඳ ව ඉතා හොඳින් ලැබිය යුතු ව කීර්ති නාමය නො තකා, මුල් කාලීන ඇමරිකානු වෘත්තීය සමිති නිලධරයට, සිය ස්ථානය හා ධනය තද්භව කරගනු ලැබුනේ කම්කරුවන්ගෙන් බවට හැඟීමක් තිබුනි. වෘත්තීය සමිති නිලධාරීන්ට කම්කරුවන් ව පිකට් වැටවලින් ඔබ්බේ හා කොන්ත්‍රාත්තු යටතේ තබා ගැනීම අවශ්‍ය වූ අතර ම, සමිතිවල භාන්ඩාගාර රැඳී පැවතුනේ කම්කරුවන්ගේ සාමාජික මුදල් මත බව ද සත්‍යයක් විය. ආර්ථික නිෂ්පාදනයේ ගෝලීයකරනය ජාතික ව පාදිත කම්කරු සංවිධානවලට මාරාන්තික ව වලකැපීමට පෙර, එනම් 1970 ගනන් අග තරම් මෑත දී, වැඩ වර්ජන හෝ වර්ජන කරන බවට තර්ජනය කිරීම මගින් වැටුප්, ප්‍රතිලාභ හා ආරක්ෂක වර්ධනයන් සුරක්ෂිත කරගැනීම පිනිස කම්කරුවන්ට වෘත්තීය සමිතිවලට බල කල හැකි ව පැවතුනි. කම්කරු ගැටුම ඇමරිකානු සමාජ ජීවිතයේ දෛනික ලක්ෂනයක් විය.

ලෝන්ග් අයිලන්ඩ්හි ඊස්ට් මිඩෝහි වැඩ වර්ජනයේ පලමු දවස් කිහිපය තුල පා ගමනේ යෙදෙන නිව් යෝක් නගර ප්‍රදේශයෙන් පැමිනි පැට්කෝ වර්ජකයන් (ලෝසවෙඅ මාධ්‍ය)

එහෙත් පැට්කෝ පරාජයෙන් ඉක්බිති ව, තවමත් වෘත්තීය සමිති පැවතුනු තැන්වල සමිති, වැටුප් කප්පාදු, ප්‍රතිලාභ සහන කප්පාදු සහ අනෙකුත් ව්‍යාපාරික හා ආන්ඩුවේ විධානයන් කම්කරුවන් මත පනවන උපකරන බවට පත් විය. ඒ අතර ම, “ඒකාබද්ධ” පුහුනු මධ්‍යස්ථාන වැනි ව්‍යාපාරික මෙහෙයුම්, විශ්‍රාමික හා සෞඛ්‍යාරක්ෂන අරමුදල් කලමනාකරනය සහ තරඟකාරී චින්තන තටාකවල තනතුරු හා සංගත මන්ඩලවල තානාන්තර වෙතින් පවා ඇදගත් අනේකවිධ නව ආදායම් මාර්ග හරහා, ඇද වැටෙන සාමාජිකත්වයෙන් වෘත්තීය සමිති යාන්ත්‍රනය පරිවරනය විය. 1980 ගනන්වලින් ඉස්මතු වූ වෘත්තීය සමිති, ශබ්ද කෝෂය අපට කියන ආකාරයට කම්කරුවන් “නියෝජනය කරන” බව තව දුරටත් කිව නො හැකි විය. දැන් ඔවුන්ගේ ධනය ඍජුව ම රඳා පැවතුනේ කම්කරුවන් සූරාකෑම මත යි.

මේ අයුරින්, පැට්කෝ පරාජය, ඇමරිකානු කම්කරු ඉතිහාසයේ එකිනෙකට වෙනස් කාල පරිච්ඡේද දෙකක් උදා කලේ ය. 1930 ගනන්වල සිට 1970 ගනන් ඔස්සේ, එක්සත් ජනපදය තුල වෘත්තීය සමිති ව්‍යාපාරය කම්කරු පන්තිය තුල සැලකිය යුතු අධිකාරයක් දැරුවේ ය. 1930 ගනන්වල කාර්මික වෘත්තීය සමිතිවල ජයග්‍රහන, දෙවන ලෝක යුද්ධාවසානයේ දී කම්කරු පන්තියේ මහජන නැගිටීම, 1950 ගනන් හා 1960 ගනන් හරහා විශාල පරිමානයේ වැඩ වර්ජන ක්‍රියාකාරීත්වයන් අඛන්ඩ ව පැවතීම, 1960 ගනන් අග සිට 1970 ගනන් මැද දක්වා පැවති වැඩ වර්ජන රැල්ල, 1917 රුසියාවේ දී සිදු වී තිබුනු ආකාරයේ කම්කරු පන්තික විප්ලවයේ අන්තරාය පිලිබඳ ව දැනුවත් වූ ඇමරිකානු පාලක පන්තියෙන් සැලකිය යුතු සහන මිරිකා ගැනීමට සමත් වී තිබුනි. ජීවන තත්ත්වයන්ගේ ප්‍රධාන වැඩි දියුනු වීම්, දකුනේ කලු ජාතික කම්කරුවන් දක්වා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ප්‍රසාරනය වීම සහ සීමිත සුභසාධන රාජ්‍යයක් නිර්මානය වීම මෙම යුගය විසින් දැකගත්තේ ය.

1980 ගනන්වල දරුනු පරාජයන්ගෙන් පසුව, එක්සත් ජනපදය තුල වැඩ වර්ජන තථ්‍ය වසයෙන් අතුරුදන් විය. කම්කරු පන්තියේ සංවිධිත ප්‍රතිරෝධය නැති කම, අනෙක් අතට, ධනපතියන්ගේ බඩජාරිකම උත්තේජනය කිරීම පමනක් කලේ ය. 1970 ගනන්වල සිට එක්සත් ජනපදය තුල සිදු වී ඇති ඇඟ කිලිපොලා යන මට්ටමේ ධනය සමුච්ඡය වීම තුල මෙය පිලිබිඹු වෙයි.

20වන ශතවර්ෂයේ මැද දශකවල දී දිනාගත් ජයග්‍රහන අනුක්‍රමයෙන් ආපසු හරවන ලද අතර, 2008 මූල්‍ය අර්බුදයෙන් හා ඔබාමා පරිපාලනය බලයට පත්වීමෙන් පසුව එම ක්‍රියා දාමය වේගවත් කෙරුනි. කොවිඩ්-19 වසංගතයට ට්‍රම්ප් හා බයිඩන් පරිපාලනයන්ගේ ප්‍රතිචාරය තුල එය යලිත් වරක් තීව්‍ර කරන ලද්දේ, ඩොලර් ට්‍රිලියන ගනනින් වෝල් වීදියට හා සුපිරි ධනවතුන් වෙත පොම්ප කිරීම සමගිනි.

හතලිස් වසරකට පසුව, පැට්කෝ යනු කම්කරු පන්තියට එරෙහි ව පාලක පන්තියේ ගෝලීය ප්‍රතිවිප්ලවයකක් සංඥා කල ජාත්‍යන්තර සිද්ධි මාලාවකින් එකක් බව පැහැදිලි වෙයි. හුදෙක් ඇමරිකානු වෘත්තීය සමිති පමනක් නො ව, ජාතිකවාදය හා පන්ති සම්මුතිය මත පදනම් වූ ලොව පුරා සියලු කම්කරු නිලධරයන්ගේ හා දේශපාලන පක්ෂවල ද ඇද වැටීම එමගින් පෙරටු කොටගෙන පැමිනියේ ය. 1917 ඔක්තෝබර් විප්ලවය විසින් ස්ථාපිත කොට තිබුනු දේපොල සබඳතා දියකර දමා, ධනවාදය පුනස්ථාපනය කොට සෝවියට් සංගමය බිඳ විසුරුවීම මගින් 1980 ගනන් අග දී සිය ප්‍රතිවිප්ලවවාදී මෙහෙවර සම්පූර්න කල ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ තීන්දුව තුල, ඇමරිකානු ලේබර් වෘත්තීය සමිති ව්‍යාපාරික ව්‍යවසායයන් බවට පරිවර්තනය කිරීම තුල කූටප්‍රාප්තියට ලඟා වී තිබුනු මෙම ක්‍රියා දාමය පිලිබිඹු කෙරී තිබුනි.

පැට්කෝ වැඩ වර්ජනයේ වැදගත් කම පාලක කවයන් තුල හොඳින් අවබෝධ කරගනු ලැබේ. “උද්ධමන-විරෝධී සටනේ දී, (රේගන්) පරිපාලනයේ වඩාත් ම වැදගත් තනි ක්‍රියාව වූයේ, ගුවන් ගමන් පාලකවරුන්ගේ වැඩ වර්ජනය පරාජය කිරීමයි” යි එවකට ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සභාපති පෝල් වෝකර් පසුව මතක් කලේ ය. වෝකර්ගෙන් පසුව ෆෙඩ් බැංකුවේ ප්‍රධානී තනතුරට පත් වූ ඇලන් ග්‍රීන්ස්පෑන්, රේගන් විසින් වැඩ වර්ජනය තලාදැමීම, ඔහුගේ පලමු ධූර කාලසීමාවේ “වඩාත් ම වැදගත්” ක්‍රියාව වූ බව 2009 දී සිහිපත් කරමින් තව දුරටත් ඉදිරියට ගියේ ය.[2]

එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් හා ෆෙඩරල් රිසර්ව් සභාපති පෝල් වෝකර් 1981 දී ධවල මන්දරයේ (මූලාශ්‍රය: විකිමීඩියා කොමන්ස්) [Photo: Reagan White House Photograph]

පැට්කෝ සමිතිය තලා දැමීම විදෙස් රටවල් තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පුපුරා යාමෙහි අනුපූරක සිද්ධිය බව අවබෝධ කරගැනුනි. “වඩා වැදගත් ලෙස...මෙම ප්‍රශ්නය පිලිබඳ ව ජනාධිපතිවරයාගේ ශක්තිමත් ස්ථාවරය කෙරෙහි ජාත්‍යන්තර ආන්ඩු ඉතා විශ්මයට පත් වී තිබෙනවා” යි රේගන් පරිපාලනයේ ඩොනල්ඩ් ඩෙවයින් වැඩ වර්ජනයේ විය හැකි ප්‍රතිඵලයන් ගැන ලියමින් විස්තර කලේ ය.

“මධ්‍යම ගුවන් සේවා පරිපාලනය සහ පැට්කෝ සමිතිය අතර සබඳතාවන්ට කිසිදු අයුරකින් සම්බන්ධ නැති, සියලු වර්ගයේ දුරදිග යන කාරනා හේතුවෙන්” රේගන් ගුවන් ගමන් පාලකයන් ව අභිබවනය කල යුතු බව, වැඩ වර්ජනය ආරම්භ වීමෙන් දවස් කිහිපයකට පසු කතුවැකියක් ලියූ වෝල් ස්ට්‍රීට් ජර්නලය සඳහන් කලේ ය. වඩා වැදගත් කරුනු වූයේ “මිලිටරි ශක්තිය යලි ගොඩනැගීමට ඇති කැපවීම්, ඩොලරයේ ස්ථාවරත්වය පුනස්ථාපනය කිරීම, බදු හා රෙගුලාසි කප්පාදු කිරීම, සෝවියට් අධිරාජ්‍යවාදයට ප්‍රතිරෝධය දැක්වීම සහ මධ්‍යම රජයේ වියදම් උමතු ලෙස ඉහල යාම නැවැත්වීම යි” යි කතුවැකිය ප්‍රකාශ කලේ ය.

1981 අගෝස්තු 11දා බුලටින් පත්‍රය මෙසේ අදහස් දැක්වී ය: “කෙටියෙන් කියතොත්, ජාත්‍යන්තර ව අබාධිත මිලිටරිවාදයක හා එක්සත් ජනපදය ඇතුලත කම්කරු පන්තියට එරෙහි රුදුරු කප්පාදුවක ක්‍රියා මාර්ගය සමගින් ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමේ සමස්ත ධනපති පිලිවෙතින්, පැට්කෝ සමිතිය විනාශ කිරීම වෙන් කල නො හැකි යයි පාලක පන්තිය සලකයි.” ඉන්පසු ගෙවී ගිය වසර 40 මෙම පෙරදැක්ම සනාථ කර තිබේ.

එහෙත් දශක හතරක් තිස්සේ එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව කම්කරු පන්තික අරගලය මර්දනය කිරීම අවසානයකට එමින් තිබේ. කම්කරුවෝ පෙරලා සටන් කිරීම ආරම්භ කරමින් සිටිති. ඔවුන් අරගලයට පිවිසෙන සෑම තැනක ම, “වෘත්තීය සමිති” යයි තමන් ම කියා ගන්නා ලාභෝත්පාදන ක්‍රියාවලියේ නියැලී සිටින ව්‍යවසයායයන් සමග ගැටුමක තමන් නිමග්න වී සිටින බව, කම්කරුවෝ ක්ෂනික ව දැකගනිති.

සමාජවාදී සමානතා පක්ෂයේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සහයෝගය සහිත ව, වර්ජිනියාවේ ඩබ්ලින්හි නිව් රිවර් වැලි කර්මාන්තශාලාවේ වැඩ වර්ජිත වොල්වෝ ට්‍රක් රථ කම්කරුවන් විසින් සංගතය හා එක්සත් මෝටර් කම්කරු සමිතිය (යූඒඩබ්ලිව්) යන දෙකට ම විරුද්ධ ව අරගලයක් ගෙන යාම සඳහා 2021 දී ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීම තුල මෙය නව අවදියකට එලඹුනි.

වෘත්තීය සමිති පිලිබඳ ප්‍රශ්නයේ දී, ලෝකයේ අන් සෑම දේශපාලනික ප්‍රවනතාවකින් ම, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) වෙනස් වෙයි. වෘත්තීය සමිති නිලධරයට දේශපාලනික ව, මූල්‍යමය ව හා පුද්ගලික ව ගැටගැසී සිටින විවිධාකාර ව්‍යාජ-වාම ප්‍රවනතා, වෘත්තීය සමිති ප්‍රතිසංස්කරනය කල හැකි බවත්, දශක හතරක් තිස්සේ ගොනු වී ඇති ඓතිහාසික සාක්ෂිවලට විපරීත ව යම් ආකාරයකින් කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය කරන සංවිධාන බවට ඒවා වෙනස් කල හැකි බවත්, තර්ක කරති.

වොල්වෝ කර්මාන්තශාලාවේ සිද්ධි මෙම ප්‍රෝඩාව ප්‍රබල ලෙස හෙලිදරව් කරන්නක් ලෙස සේවය කල යුතු ය. වෘත්තීය සමිතියේ පිටුබලය ලද ස්වීඩනයේ අන්තර්ජාතික සංගතය බලහත්කාරය යොදා ප්‍රෝඩාකාරී තුන්වන කොන්ත්‍රාත්තුව හතරවැනි වතාවට ඡන්දයට දැමීමට පෙරාතුව, යූඒඩබ්ලිව් හා වොල්වෝ සමාගම ඒකාබද්ධ ව ඉදිරිපත් කරන ලද කොන්ත්‍රාත් තුනක් ඡන්දයෙන් ප්‍රතික්ෂේප කරමින්, වඩා හොඳ වැටුප් හා කොන්දේසි සඳහා ප්‍රබල අරගලයක් දියත් කිරීමට තමන් සූදානම් බව කම්කරුවෝ පෙන්නුම් කල හ. තව ද නිව් රිවර් වැලි කම්කරුවෝ, වෘත්තීය සමිතියේ ආවස්ථික ස්කන්ධය විසිකර දැමීමට යලි යලිත් ප්‍රයත්න දරමින්, ඉදිරි මාවත පෙන්වා ඇත.

අධිෂ්ටානවත් පැට්කෝ වර්ජක මිත්‍ර බල ඇනිය විසින් ආධිපත්‍යය දැරූ 1981 සැප්තැම්බර් මුල පැවති කම්කරු දින සැමරුම (ලෝසවෙඅ මාධ්‍ය)

කම්කරු පන්තිය ගැන සඳහන් කරමින් “එහි එක ම පාසල් ගුරුවරිය වන්නේ ඓතිහාසික අත්දැකීමයි” යි රෝසා ලක්සම්බර්ග් කීවා ය. ඇය මෙසේ ඉදිරියට ගියා ය: “ස්වයං-විමුක්තිය සඳහා වන එහි කටුක මාවත, හුදෙක් මිනිය නො හැකි වේදනාවන්ගෙන් පමනක් නො ව ගිනිය නො හැකි අත්වැරදිවලින් සැකසී ඇත. එහි ගමනෙහි ඉලක්කය වන්නේ -විමුක්තිය රඳා පවතින්නේ මේ මත ය- නිර්ධන පන්තියට තමන්ගේ ම අත්වැරදිවලින් ඉගනගත හැකි ද යන්න යි.”

අතීත පරාජයන්ගේ පාඩම් උකහා ගැනීම අද දින අරගලයට පිවිසෙමින් සිටින කම්කරුවන්ට ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයකි.

ප්‍රති-කොමියුනිස්ට්වාදය, ලාභ පද්ධතිය ආරක්ෂා කිරීම හා ජාතිකවාදය මත පදනම වී ගන්නා කම්කරු ව්‍යාපාරයක් අශක්‍ය හා බංකොලොත් බව පැට්කෝ අරගලය සමගින් ඉතිහාසය විසින් හෙලිදරව් කලේ ය. පැට්කෝ අරගලය පිලිබඳ මෙම විමර්ශනයේ ඉලක්කය වන්නේ, අද දින මහා අරගලවලට පිවිසෙමින් සිටින කම්කරුවන්ගේ ජයග්‍රහනය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමාජවාදී ඉදිරි දර්ශනයෙන් සන්නද්ධ කිරීම පිනිස, එම (පැට්කෝ) අත්දැකීමේ කේන්ද්‍රීය දේශපාලනික පාඩම් උකහා ගැනීම යි.

මතු සම්බන්ධයි.

**

පාදක සටහන්

(1) බුලටිනය තක්සේරු කරන 500,000 සහ වොෂින්ටනයේ නගරාධිපති කාර්යාලයේ කම්කරු වාර්තාකාර ජෝසෆ් ගුල්ඩන් හා අනෙකුත් පුවත්පත් කිහිපයක් විසින් කරන 400,000 තක්සේරුව පරාසයේ මෙය පිහිටයි. නැෂනල් පාක් සර්විස් තක්සේරුව වූයේ 260,000ක් බව යි. එවන් අඩු නිල සංඛ්‍යා ලේඛනයකට අනුව පවා, 1963 සිවිල් අයිතිවාසිකම් පෙලපාලියට හා 1969 වියට්නාම් යුද්ධය තාවකාලික ව අත්හිටුවන ලෙස ඉල්ලූ පෙලපාලියට වඩා සහෝදරත්වයේ දින පෙලපාලිය විශාල විය.

(2) තිමති ජේ. මින්චින්, කම්කරු ව්‍යාපාරය ප්‍රහාරයකට ලක්ව: 1979 පටන් ඒඑෆ්එල්-සීඅයිඕ ඉතිහාසයක් (ඉංග්‍රීසි), චැපල් හිල්: යුනිවසිටි ඔෆ් නෝත් කැරොලිනා මුද්‍රනය, 2017: 71

Loading