ආන්ඩුව, රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරයි

කොලඹ දියත උයන පාර්ලිමේන්තු වටරවුම අසල දී ජූනි 18 අඟහරුවාදා දහවල් පැවති රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසීය ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් දියත් කලේ ය.

රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් කොටසක් 2024 ජූනි 18 වැනි දින පාර්ලිමේන්තු හන්දියේ විරෝධතාවයක් පවත්වයි-Facebook නවතම රැකියා විරහිත උපාධිධාරී සංගමය

'ඉගෙන ගත් උපාධියට ගැලපෙන රැකියාවක් ලබා දෙනු!', 'රජයේ විශ්වවිද්‍යාල උපාධියට රජයෙන් තැනක් නැත', 'ගුරුවරුන් බඳවා ගැනීමේ වයස් සීමාව අවු 45 කරනු!', 'පාලකයින් මර නින්දේ උපාධිධාරීන් මහපාරේ' වැනි සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් උපාධිධාරීහු පන්සියයක් පමන පෙව 10.30 පමන සිට විරෝධතාවයේ නිරත වූහ.

පැයකට පමන පසු විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට ඇතුලුවීමට උත්සාහ දැරීමත් සමග ජල හා කඳුලුගෑස් ප්‍රහාර එල්ල විය. ප්‍රහාරය සඳහා දෙසීයක පමන පොලිස් හා කැරලි මර්දන භටයන් යොදවා තිබුනි. ප්‍රහාරයෙන් එක් උපාධිධාරිනියක් රෝහල් ගත කෙරුනි. මාර්ගයේ ගමන් ගත් මගීන්ට ද ජල ප්‍රහාරය එල්ල කෙරුනු අතර යතුරු පැදියක ගමන් කල මගී තරුනයන් දෙදෙනෙකු ජල පහර වැදී බිම ඇද වැටුනි.

2024 ජූනි 18 දින රැකියා විරහිත උපාධිධාරීන්ට එල්ල කල පොලිස් කඳුළු ගෑස් ප්‍රහාරයක්-Facebook නවතම රැකියා විරහිත උපාධිධාරී සංගමය.

මැයි මස 06 වනදා උතුරු මැද පලාත් සභා පරිශ්‍රයේදී පැවති තවත් විරෝධතාවයකදී ද පොලීසිය උපාධිධාරීන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරියේ ය. එහිදී පොලිස් භටයන් විසින් කාන්තා උපාධිධාරිනියන් අමානුෂික අයුරින් ඇදගෙන ගොස් බස් රථයක් තුලට දමන ආකාරය රූපවාහිනි නාලිකා තුල විකාශය කෙරුනි.

2020 සිට 2024 දක්වා රට පුරා විශ්වවිද්‍යාලවලින් විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ උපාධි ලබා රැකියා විරහිතව සිටින උපාධිධාරීන් සංඛ්‍යාව මේ වන විට 40000 ක් ඉක්මවා තිබේ. රජයේ විවිධ අමාත්‍යාංශ සතුව පවතින පුරප්පාඩු සඳහා බඳවා ගන්නැයි ඉල්ලා පසුගිය මාස කිහිපය පුරා පලාත්බඳව විරෝධතාවලට දහස් ගනනක් උපාධිධාරීන් සහභාගි වී තිබේ.

උපාධිධාරීන්ගේ ඉල්ලීම් ඍජුව ගැටෙන්නේ, රාජ්‍ය ව්‍යවසාය 430 ක් පෞද්ගලීකරනය මගින් රාජ්‍ය සේවයේ දසදහස් සංඛ්‍යාත රැකියා අතුගා දැමීමටත් නව බඳවා ගැනීම් සීමා කිරීමටත් පියවර තබා ඇති වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල සමගයි.

විදුලිබල මන්ඩලය පෞද්ගලීකරන පනත මේ මස 06 දා පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමත් සමග එහි මහා කලමනාකාර නරේන්ද්‍ර ද සිල්වා කියා සිටියේ 24,000 ක් වූ එහි සේවක සංඛ්‍යාව මේ වන විට 22000 ක් වන නමුත් එය 18000ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බවයි.

සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, තැපැල්, වරාය, ටෙලිකොම් ඇතුලු අංශ ගනනාවක, රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව ඉක්මවා යන පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතියත් එම ආයතන ගරා වැටීමට අතහැර දමා තිබෙන්නේ රාජ්‍ය වියදම් කප්පාදුව වේගවත් කොට ඒ සෑම අංශයක්ම දෙස් විදෙස් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ ලබන කර්මාන්ත බවට පත් කිරීමේ ඉලක්කයෙනි.

රැකියා විරහිත උපාධීධාරීන්ගේ විරෝධතා නො තකා හැර ආන්ඩුව ඒවාට එරෙහි රුදුරු මර්දනයක් දිගේලි කර ඇත්තේ මේ තත්වය තුලයි.

2024 ජූනි 18 වැනි දින විරෝධතා වයේ යෙදුන රැකියා විරහිත උපාධිධාරීන්ට එරෙහිව පොලිසිය, හමුදාව සහ කැරලි මර්දන පොලිසියේ කොටසක් බලමුලු ගන්වා තිබූ අයුරු -Facebook නවතම රැකියා විරහිත උපාධිධාරී සංගමය.

උපාධිධාරීන් රැකියාවලට බඳවා ගෙන අවශ්‍ය රැකියා පුහුනුවීම් සඳහා යොමු කිරීම වෙනුවට යලි තරග විභාග හා සම්මුඛ පරීක්ෂන, ප්‍රායෝගික පරීක්ෂන පවත්වමින් ඔවුන් හෙම්බත් කිරීමක ආන්ඩුව හා පලාත් සභා බලධාරීහු නිරතව සිටිති. එසේම, මේ වසරේ මුල පලාත් සභා මගින් පැවැත්වූ තරග විභාගවලින් “වැඩි ලකුනු” ලැබූ සීමිත උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම් ලිපි ලබා දීමට හා ඊලගට ලකුනු ලැබූ කොටසක් රැකියා ලැබීමට නියමිත කොටස් ලෙස ලැයිස්තු ගත කිරීමට කටයුතු කර ඇත්තේ උපාධිධාරීන්ගේ විරුද්ධත්වය සමහන් කිරීමේ කූටෝපායක් ලෙසයි. පත්වීම් ලිපි ලැබූ බහුතරයක් මෙතෙක් රැකියාවලට යොමු කර නැත.

කෝවිඩ්-19 වසංගතය හා දරුනු ආර්ථික කොන්දේසි යටතේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව තවදුරටත් දෙමාපියන්ට බරක් වීමට සිදුව ඇති අයුරු හා රැකියාවක් නො ලැබීමෙන් තම අනාගත බලාපොරොත්තු බිඳ වැටෙමින් තිබෙන අයුරු ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක්වූ රටපුරා පුරා විවිධ ප්‍රදේශවල උපාධිධාරීහු පෙන්වා දුන්හ. ඔවුහු වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු බලයට පත් ආන්ඩුවලට එරෙහි සිය වෛරය හා පිලිකුල ප්‍රකාශ කලහ.

ගුරු පත්වීමක් බලාපොරොත්තුවෙන් පසුවන වයඹ පලාතේ ප්‍රාසාංගික කලාවේදී උපාධිධාරිනියක් තමන් මුහුන දෙන තත්වය මෙසේ විස්තර කලා ය: “මගේ නංගි තවම ඉගෙන ගන්නවා. එක රුකියාවකින් ජීවත් වෙන්න බැරි නිසා තාත්තා පසුගිය දෙවසරක ඉඳලා රැකියා දෙකක් කරනවා . අම්මා තරමක් අසනීපෙන් ඉන්නේ. මම අමතර පන්ති පවත්වනවා. ඒත් ලොකු මුදලක් උපයන්න බෑ. අපේ විවාහය ඇතුලු හැම දේටම රැකියාව බලපානවා. නමුත්, මේ යන විදිහට අපේ උපාධියට නම් රැකියාවක් ගන්න බැරි වෙන පාටක් තියෙන්නේ”.

රැකියා ලබා නොදී ආන්ඩුව හා එහි පලාත් බලධාරීන් ඔවුන් රස්තියාදු කිරීම පිලිබඳව ඇය දීර්ග ලෙස කරුනු විස්තර කලා ය. “රැකියා වලට බඳවා ගන්න තියපු විභාගයේ ලකුනු එවන්නෙ නැතුව සමත් වුන අයගේ 3600 ක පමන ලිස්ට් එකක් මුලින් එව්වා. ඒ විභාගයට 9000 ක් විතර ලිව්වා. දැන් ඒ සමත් වූ අයගෙන් 765ට ගුරු පත්වීම් ලිපි දුන්නා, ලබන ජුලි 01 දා සිට පාසලක් නම් කරනවා කියලා. තව 1449ක ලිස්ට් එකක් එවලා තියෙනවා. ඒ ලිස්ට් එකෙත් මගේ නම නෑ. මම ගොඩක් කලකිරීමෙන් ඉන්නේ. මට මේ ආන්ඩුවත් බලයේ සිටි ආන්ඩුත් බලයට එන්න දඟලන ඔක්කොම එපා වෙලා තියෙන්නේ” යයි ඇය වෛරයෙන් ප්‍රකාශ කලා ය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලැබූ තවත් කෙනෙක් ප්‍රකාශ කලේ මධ්‍යම පලාතින් උපාධිධාරීන් 300ට පමන ගුරු පත්වීම් ලිපි පමනක් ලබා දී ඇති බවයි. “මාත් එක්ක උපාධි කරපු සමහර අය ගාමන්ට් ෆැක්ටරිවලත් වැඩ කරනවා. පෞද්ගලික අංශයේ අඩු වැටුප් හා දරුනු රැකියා කොන්දේසි හේතුවෙන් රජයේ රැකියා සොයනවා. නමුත් මේ කරන රස්තියාදුව අපිට දරා ගන්න බෑ. ඇත්තටම මේ පත්වීම් පුහුනුවක් ද කියන්නත් බෑ. කොහොම හරි මැතිවරනයක් ඉදිරියේ දී එන තත්වයේ දී රැවටීමක් තමයි මේ කරන්නේ”.

වර්ධනය වන විරුද්ධත්වය සමහන් කිරීමේ උපාමාරුවක් ලෙස පසුගිය කාලපරිච්ඡේදය පුරා රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රැකියාවන්ට බඳවා ගත් උපාධිධාරීහු මේ වනවිට ශිෂ්ඨසම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වැටුප් ඉල්ලා විරෝධතාවල නිරත වී සිටිති. 2020 දී සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගෙන ගුරුවරුන් ලෙස සේවයේ නිරත උපාධිධාරීහු ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා පසුගිය සතියේ විරෝධතාවයේ නිරත වූහ. 2016 වසරේ සිට රාජ්‍ය අංශයේ නව බඳවා ගැනීම්වලදී විශ්‍රාම වැටුප් අයිතිය ද කප්පාදු කර තිබේ.

උපාධිධාරීන් පමනක් නොව, රැකියා බලාපොරොත්තුවෙන් වෙනත් පාඨමාලා හැදැරූ තවත් ලක්ෂ ගනනක් විරැකියාවෙන් පෙලෙති.

“ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2023 අවසන් කාර්තුව වන විට උසස් පෙල හා ඉන් ඉහලට අධ්‍යාපනය ලැබූ අයගේ විරැකියාව සියයට 8.4 කි. එය සංඛ්‍යාවක් ලෙස 148,092 කි. අවුරුදු 15 – 24 අතර තරුන ජනයා අතර විරැකියාව සියයට 23.4 ක් තරම් ඉහල අගයක් ගෙන තිබේ.

වැඩෙන තරුන විරැකියාව පෙන්නුම් කරන්නේ ලෝක ධනේෂ්වර අර්බුදයේ කොටසක් ලෙස ලංකාවේ ගැඹුරුවන ආර්ථික අර්බුදයේ ප්‍රධාන ගොදුරක් බවට තරුන ජනයා පත්ව තිබෙන බවයි.

රජයේ පාසලක ගුරුපත්වීමක් අපේක්ෂාවෙන්, උසස් තාක්ෂන ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හැදෑරු සබරගමු පලාතේ තරුනයෙකු මෙසේ පැවසීය: “මම ඩිප්ලෝමාව අවසන් කලේ 2019 දී. අපේ පලාතෙත් පාසල්වල ඉංග්‍රීසි විෂය සඳහා පුරප්පාඩු ගොඩක් තියෙනවා. අපි 2021 දී ලියපු තරග විභාගයේ ප්‍රතිඵල ආවේ ගිය මාසේ. මම දැනට ශබ්ධාගාරයක් පවත්වාගෙන යනවා. නමුත් ඒ කලාකාරයන්ටත් වියදම් කරන්න සල්ලි නෑ. අම්මාගේ විශ්‍රාම වැටුපෙන් තමයි වැඩි වියදමක් ආවරනය කර ගන්නේ”.

“ඇත්තටම අපිට පත්වීමක් ලැබුනත් දැන් තියෙන ජීවන වියදමට සරිලන වැටුපක් ලැබෙන්නේ නෑ. ඒ නිසානේ සෑම අංශයක ම කම්කරුවන්ගේ අරගල පැන නැගලා තියෙන්නේ. බලයට පත් වෙන්න යන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයත් විදේශ නය ගෙවන්න එකගයි. ඒ කියන්නේ මේ ආන්ඩුවෙන් වෙනස් නෑ”.

18 දා පැවති උපාධිධාරීන්ගේ විරෝධතාවය කැඳවූයේ ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මෙහෙයවන ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසිනි.

“ජාතික මට්ටමින් මේ විරෝධතා ඉස්සරහට යනවා කියන පනිවිඩය අපි ආන්ඩුවට දෙනවා” යයි පෙසප ට අයත් “තාරුන්‍යයට හෙටක්” සංවිධානයේ නායක ලහිරු වීරසේකර විරෝධතාවයේ දී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ ය. ඔහු එහිදී ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන “ජාතික ප්‍රතිපත්තියක්” සකස් කරන ලෙසයි.

වීරසේකරගේ මෙම පුහු තර්ජනයට විපරීතව. කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ සෑම අරගලයකින්ම යලි යලිත් සනාථ වන්නේ, පෙසප ඇතුලු ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති තොරොම්බල් කරන, ධනපති ආන්ඩුවට පීඩනය යෙදීම හරහා ඉල්ලීම් දිනා ගැනීමේ පිලිවෙතේ පරිපූර්න බංකොලොත්භාවය යි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු විධානයන් අකුරටම ක්‍රියාත්මක කිරීමට ශපථව සිටින ජනාධිපති වික්‍රමසිංහ එම විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වනුයේ දැඩි මර්දනයෙනි. උපාධිධාරීන්ගේ විරෝධතාවට එල්ල කල ප්‍රහාරයෙන්මත් සනාථ වී ඇත්තේ එයයි. උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ “ජාතික ප්‍රතිපත්තියක්” වෙනුවට, වික්‍රමසිංහ ආන්ඩුව පුද්ගලීකරනය හරහා ක්‍රියාත්මක කරමින් සිටින්නේ රැකියා විනාශ කිරිමේ “ජාතික ප්‍රතිපත්තියක්” ය.

උපාධිධාරීන් ඇතුලු විරැකියාවෙන් පෙලෙන තරුන ජනයා හැරිය යුත්තේ වීරසේකර ප්‍රකාශ කරන ධනපති ආන්ඩුවලට පීඩනය යොදා රැකියා ලබා ගැනීමේ “ජාතික ප්‍රතිපත්ති” ගොඩනැගීමට නොව, ලාභ ගරන ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවට එරෙහි, දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් පෙරට ගැනීමේ අරගලය වෙතයි.

Loading