ඉදිරිදර්ශන

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නය ගැන

[මෙය On the attempted assassination of Donald Trump යන මැයෙන් 2024 ජූලි 14 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2024 ජූලි 13 වැනි දා සෙනසුරාදා, පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති ප්‍රචාරක රැලියක් අතරතුර ඝාතනය කිරීමට තැත් කිරීමෙන් පසු, රථ පෙල දෙසට කැඳවාගෙන යනු ලබන ආකාරය. [ඒපී ඡායාරූප/ජීන් ජේ. පස්කර්] [AP Photo/Gene J. Puskar]

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගිය සෙනසුරාදා (ජූලි 13) ඝාතනය කිරීමට තැත් කිරීම පිටුපස ඇති තත්ත්වයන් පිලිබඳව තවමත් පිලිතුරු නොමැති ප්‍රශ්න රාශියක් පවතී. ප්‍රහාරයේ මූලාරම්භය කුමක් වුව, එක් දෙයක් ස්ථිර ය: එය සමස්ත දේශපාලන සංස්ථාපිතයේ තව දුරටත් දකුනට තියුනු හැරීමක් ඇති කරනු ඇත.

ඉරිදා සවස කල ප්‍රකාශයක ජනාධිපති බයිඩන් සඳහන් කලේ, 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් ලෙස හඳුනාගෙන ඇති වෙඩික්කරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් පවතින බවයි. “වෙඩික්කරුගේ අභිප්‍රාය අපි තවම දන්නේ නැහැ,” බයිඩන් පැවසීය. “අපි ඔහුගේ අදහස් හෝ සම්බන්ධකම් ගැන දන්නේ නැහැ. ඔහුට උදව්වක් හෝ සහායක් තිබුනාද, නැතහොත් ඔහු වෙනත් අයෙකු සමඟ සන්නිවේදනය කලේද යන්න අපි දන්නේ නැහැ.”

ට්‍රම්ප්ගේ එක් ආධාරකරුවෙකු වෙඩි තබා මරා දමා තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල කල ප්‍රහාරයේ තත්වයන්, බරපතල ආරක්ෂක නොසැලකිල්ලක් ඉඟි කරයි; එය, ට්‍රම්ප් කතා කරන ස්ථානය කෙලින්ම පැහැදිලිව පෙනෙන, රයිෆල් තුවක්කුවකින් හොඳින් වෙඩි තැබිය හැකි, යාර 150 ක පරාසයක පිහිටි වහලයක ස්ථානගත වීමට කෲක්ස්ට ප්‍රවේශය ලබා දී තිබේ. රහස් ඔත්තු සේවයේ ස්නයිපර් වෙඩික්කරුවන් විසින් ඔහු මරා දැමීමට පෙර, අවම වශයෙන් වෙඩි ප්‍රහාර දුසිම් භාගයක්වත් තැබීමට ඔහුට හැකි විය.

මේ වන විට, පාලක ප්‍රභූව තුලම, මූලික වශයෙන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇති බෙදීම්වල තීව්‍රතාවය සැලකිල්ලට ගත් කල, කිසිදු සිදුවීමක් බැහැර කල නොහැක.

කෙසේ වෙතත්, මෙම ආරම්භක අදියරේදී පවා, නිශ්චිත දේශපාලන නිගමනවලට එලඹිය හැකිය. ඝාතනය ප්‍රයත්නය ඇමරිකානු දේශපාලන පද්ධතියේ පමනක් නොව, සමස්ත සමාජයේම අර්බුදයේ සංකේන්ද්‍රිත ප්‍රකාශනයකි.

සෑම විටම මෙන්, එක්සත් ජනපදය පුරා පැතිරී ඇති ගැඹුරු දේශපාලන හා සමාජ බෙදීම් හෙලිදරව් කරන සිදුවීමකට මුහුන දෙන විට, දේශපාලන සංස්ථාපිතය සහ මාධ්‍ය, අරුත්සුන් හා ස්වයං-රැවටිලිකාර ප්‍රකාශයන්ට මුවා වේ. බයිඩන්ගේ, “මෙවැනි ප්‍රචන්ඩත්වයකට හෝ මොනයම් හෝ ප්‍රචන්ඩත්වයකට ඇමරිකාව තුල ඉඩක් නැත” යන ඉරිදා ප්‍රකාශයෙන් මේවා සාරාංශගත කෙරේ.

මෙය යථාර්ථය සමඟ කිසිදු සම්බන්ධයක් නැති එක්සත් ජනපදයේ ඩිස්නිලන්ත සංකල්ප රූපයකි. 2022 දී එක්සත් ජනපදයේ මිනීමැරුම් සංඛ්‍යාව 21,593 කි. තවද, “සමූහ ජීවිත හානි සිදුවීම්” ලෙස හඳුන්වන විශේෂිත ඝාතන කාන්ඩයක් ඇත. සෑම වසරක ම ඇමරිකානු පොලිසිය එක් හෝ තවත් කඩතුරාවක් මත පුද්ගලයන් 1,000 ක් ඝාතනය කරයි.

නමුත් ගෝලීය ප්‍රචන්ඩත්වයේ ප්‍රධාන උසිගැන්වීම්කරුවා ලෙස, දේශීය ව ගෙන යන ප්‍රචන්ඩත්වය එක්සත් ජනපදයේ ක්‍රියාකලාපය සමඟ අවියෝජනීය ලෙස බැඳී පවතී. පසුගිය වසර 30 තුල, එක්සත් ජනපද ආන්ඩුවේ සෘජු හෝ වක්‍ර ක්‍රියාවල ප්‍රතිවිපාකයක් ලෙස ඝාතනය වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන ගනනකි.

දේශපාලන ප්‍රචන්ඩ ක්‍රියා යනු අසාමාන්‍යතාවයක් බව බයිඩන් කිහිප වතාවක් ම ප්‍රකාශ කලේ ය: “අපි මේ විදිහේ අය නොවේ” යනු ඔහුගේ ප්‍රියත ම ඇඟ බේරාගැනීමේ වාක්‍යයයි. මෙම ප්‍රකාශය, සමහර විට බයිඩන්ගේ වියපත් බව පිලිබඳ වඩාත්ම ඒත්තු ගැන්වෙන සාක්ෂිය විය හැකිය. ඔහුගේ ජීවිත කාලය තුල ඔහු දේශපාලන ඝාතන රාශියක අත්දැකීම් පසුකර ඇත: 1963 දී ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි, 1965 දී මැල්කම් X සහ 1968 දී මාටින් ලූතර් කිං සහ සෙනෙට් සභික රොබට් එෆ්. කෙනඩි ආදී ඝාතන, දේශපාලනික වශයෙන් වඩාත්ම ප්‍රතිවිපාක ජනනය කල ඒවා අතර වේ. තවද, ඔහු හොඳින් දන්නා පරිදි, මෙම ඝාතන හතරට රාජ්‍ය කුමන්ත්‍රන සම්බන්ධ විය.

විශේෂයෙන්ම, ඩිමොක්‍රටික් පක්ෂය සහ බයිඩන්, ඝාතන ප්‍රයත්නය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය තරයේ ම බියගුලු හා දෙපිටකාට්ටු ය. මෙම අසාර්ථක ප්‍රහාරයෙන් පසුව, ප්‍රහාරකයාගේ ඉලක්කය හෝ අභිප්‍රාය කුමක් වුවත්, පුද්ගලික ප්‍රචන්ඩත්වයට කිසිදු ප්‍රගතිශීලී අරමුනක් ඉටු කල නොහැකි බව ප්‍රකාශ කිරීම ප්‍රමානවත් වනු ඇත.

එහෙත්, සෙනසුරාදා රාත්‍රියේ ඔහුගේ ප්‍රකාශය අතරතුර බයිඩන් හිටපු ෆැසිස්ට් ජනාධිපතිවරයා නැවත නැවතත් “ඩොනල්ඩ්” ලෙස හැඳින්වූව ද, ඩිමොක්‍රටිකයෝ ඔහු කෙරෙහි සහයෝගීතාවය, ප්‍රශංසාව, සෙනෙහස පවා ප්‍රකාශ කරමින් ඉන් ඔබ්බට ගියහ. ට්‍රම්ප් විසින් ම, දක්ෂිනාංශික බලවේග යලි යලිත් ප්‍රචන්ඩකාරී ප්‍රහාර සඳහා කැඳවුම් කර සහය දුන්නේ ය යන්න ගැන කිසිදු ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු පැහැදිලි කරුනු දැක්වීමක් කර නැත.

2017 දී ට්‍රම්ප්, වර්ජිනියාවේ චාලට්ස්විල් හි සුදු-ස්වෝත්තමවාදී පාගමනක් පැවැත්වූ නව-නාසිවාදීන් සහ ෆැසිස්ට්වාදීන්ට ප්‍රශංසා කලේය. 2020 දී, ට්‍රම්ප්, කොවිඩ්-19 අගුලු දැමීම්වලට එරෙහිව, මිෂිගන් ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වූ අතර, ප්‍රාන්ත කොංග්‍රසය රැස් වන කැපිටල් ගොඩනැගිල්ලට පහර දීමට සන්නද්ධ කන්ඩායම්වල ප්‍රහාර මාලාවක් උසිගැන්වීය. 2020 දී විස්කොන්සින්හි කෙනෝෂා හි, පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාකරුවන්ට සුපරීක්ෂාකාරී ප්‍රහාරයක් එල්ල කල නව යොවුන් ෆැසිස්ට්වාදි කයිල් රිටන්හවුස්ගේ මිනීමැරුම් ක්‍රියාව, ට්‍රම්ප් විශේෂයෙන් ප්‍රශංසා කලේය.

දේශපාලන ප්‍රචන්ඩත්වයේ උච්චතම අවස්ථාව වූයේ, 2021 ජනවාරි 6 වන දින, ට්‍රම්ප් විසින් වොෂින්ටනයට කැඳවන ලද මැර පිරිසක් කැපිටල් ගොඩනැගිල්ල වෙත කඩා වැදී, කොන්ග්‍රසයේ සාමාජිකයින් සහ ට්‍රම්ප්ගේ ම උප ජනාධිපති මයික් පෙන්ස් පවා මරා දමා හෝ අල්ලාගෙන බයිඩන්ගේ මැතිවරන ජයග්‍රහනය සහතික කිරීම අවහිර කර ට්‍රම්ප් ඒකාධිපති-ජනාධිපති කර ගැනීමට ගත් අවසන් උත්සාහය යි.

ඉරිදා සවස බයිඩන්ගේ ප්‍රකාශ හිස් ප්‍රලාප හා විකාර වලින් පිරී තිබුනි. “අපට ප්‍රචන්ඩත්වය සාමාන්‍යකරනය වීමට ඉඩ දිය නොහැක,” ඔහු ප්‍රකාශ කලේය. 'එය නිවා දැමීමට කාලයයි.' එකඟ නොවීම් කෙසේ පැවතියද, දේශපාලනය 'සාමකාමී විවාදයක්' සඳහා වේදිකාවක් විය යුතු බව ඔහු පැවසීය. 'අප පෙනී සිටින්නේ... විනීතභාවයෙන් සහ ශිෂ්ටත්වයෙන් යුතු ඇමරිකාවක් වෙනුවෙනි.'

විනීතභාවයෙන් සහ ශිෂ්ටත්වයෙන්! … ද ලාන්සෙට් (The Lancet) වෛද්‍ය සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇස්තමේන්තුවලට අනුව 200,000 කට ආසන්න මිනිසුන් ඝාතනය කර ඇති ගාසා තීරයේ ජන සංහාරයට, සමස්ත දේශපාලන සංස්ථාපිතය සමග බයිඩන් පරිපාලනය සහය දී ඇත. ඇමරිකානු අධිරාජ්‍යවාදය විදේශයන්හි මිනීමරු යුද්ධවලට සම්බන්ධ වීම, එක්සත් ජනපදයේ ම දේශපාලන තත්වය කෙරෙහි බලපෑම නොවැලැක්විය හැකිය.

ප්‍රහාරය උසිගැන්වීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයින්ට දොස් පැවරීම සඳහා ට්‍රම්ප්ට වෙඩි තැබීම අල්ලා ගැනීමට, රිපබ්ලිකානුවන් නිසැකවම ප්‍රතිචාර දක්වා ඇත. ඩිමොක්‍රටිකයෝ නියාලු යටත් වීමකින් ප්‍රතිචාර දක්වති. රොයිටර් පුවත් සේවයේ වාර්තාවකට අනුව, “ඉදිරි දිනවලදී ට්‍රම්ප්ට වාචිකව පහර දෙනවා වෙනුවට, ධවල මන්දිරය සහ බයිඩන්, ඊශ්‍රායල-ගාසා ගැටුම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල විරෝධතා ව්‍යාපාරය විසින් නිර්මානය කරන ලද 'කැලඹීම' පිලිබඳ ඔහුගේ තියුනු විවේචන ද ඇතුලුව, සියලු ආකාරයේ දේශපාලන ප්‍රචන්ඩත්වය හෙලා දැකීමේ ජනාධිපතිගේ ඉතිහාසය උකහා ගනු ඇති බව, ප්‍රචාරක නිලධාරීහු නිර්නාමිකව පැවසූහ.”

ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ප්‍රතිචාරය මෙහෙයවනු ලබන්නේ, සියල්ල අභිබවා යන සලකා බැලීම් දෙකක් මගිනි. පලමුව, ඔවුන් සෑම විටම උත්සාහ කරන්නේ, බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ කේන්ද්‍රීය ප්‍රමුඛතාවය වන, 2024 මැතිවරනයෙන් පසුව ඔවුන් බලයට පැමිනියහොත්, උත්සන්න වන ගෝලීය යුද්ධය දිගටම කරගෙන යාම ඇතුලුව, රිපබ්ලිකානුවන්ගේ ආධාරය සහ සහයෝගීතාවය රඳවා ගැනීමට ය.

දෙවනුව, ඩිමොක්‍රටිකයෝ සමාජ පිපිරීමක් ඇවිලේ යැයි බියෙන් ඇමරිකාවේ දේශපාලන ප්‍රතිගාමීත්වයේ ස්ථාවර වර්ධනය වසන් කිරීමට අඛන්ඩව උත්සාහ කරති. ඉරිදා බයිඩන්ගේ ප්‍රකාශය පුරා පැතිර තිබුනේ, එක්සත් ජනපදයේ සමස්ත සමාජ හා දේශපාලන තත්වයම කැඩී බිඳී යනු ඇතැයි යන ගැඹුරු බිභීතිය යි.

ට්‍රම්ප් විසින් ද මතු කර ඇති “එක්සත්කම” වෙනුවෙන්, ඉරිදා රාත්‍රියේ බයිඩන් විසින් පුනරුච්චාරනය කරන ලද තොරක් නැති ආයාචනා පොලඹවන්නේ මෙයයි. කෙසේ වෙතත්, එක්සත් ජනපදය වැනි පන්ති ප්‍රතිවිරෝධතාවලින් ඉරි තැලුනු රටක “එක්සත්කමක්” පැවතිය නොහැක. ලෝක යුද්ධය හා ආඥාදායකත්වය කරා හිස ඔසවමින් සිටින පාලක පන්තියක් සමග “එක්සත්කමක්” තිබිය නොහැක.

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝශප් කිෂෝර් X හි ඉරිදා ප්‍රකාශයක් කරමින් මෙසේ සඳහන් කලේ ය:

“එක්සත්කම” සඳහා වන කැඳවීමේ සැබෑ අර්ථභාරය වන්නේ පාලක පන්තිය තුල එකමුතුවකට වන ආයාචනයයි.

එක්සත්කම සඳහා වූ ඔහුගේ කැඳවුමේ දී බයිඩන් රිපබ්ලිකන් පක්ෂයෙන් ආයාචනා කරන්නේ, සංගත හා මූල්‍ය කතිපයාධිකාරය තුල ඇති කාන්ඩ ගැසීම්වලට සහ එහි අත්‍යවශ්‍ය සංරචක වන, විදේශයන්හි යුද්ධවලටත්, සිය රට තුල කම්කරු පන්තියට එරෙහි යුද්ධයටත් සමස්තයක් ලෙස පාලක පන්තියේ අවශ්‍යතාවලටත් වල කැපීමට ඉඩ නොදෙන ලෙස ය. එවන් “එක්සත්කමක්” සාක්ෂාත් කර ගැනීම සඳහා ඩිමොක්‍රටිකයෝ සිතින් සිතාගත හැකි ඕනෑ ම සම්මුතියකට සූදානම් ය.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ දිග්ගැස්සුනු අර්බුදය පැයෙන් පැය තීව්‍ර වේ. තීරනාත්මක ප්‍රශ්නය ජාතියේ “එක්සත්කම” නොව, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ එකමුතුවයි.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයට ඇති එකම විසඳුම වන්නේ, ස්වාධීන ක්‍රියාකාරිත්වයකින් සහ තමන්ගේ ම අවශ්‍යතා මත පදනම් ව, නව අරගල සංවිධාන ගොඩ නැගීම සහ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යාම සඳහා කම්කරු පන්තියේ මැදිහත්වීම යි.

Loading