දේශපාලන නායයාමක් වාර්තා කරමින් ජනාධිපති දිසානායකගේ ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කරයි

[මෙය Sri Lankan President Dissanayake’s JVP/NPP wins a landslide victory in parliamentary elections යන මැයෙන් 2024 නොවැම්බර් 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) බ්‍රහස්පතින්දා පැවති ජාතික පාර්ලිමේන්තු මැතිවරනයේ දී අති බහුතර ජයග්‍රහනයක් වාර්තා කලේ ය.

මන්ත්‍රීවරුන් 225කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 159ක් සතුකරගෙන ජවිපෙ/ජාජබ තුනෙන් බහුතරයක් ලබා කිසිදු පාර්ලිමේන්තු විපක්ෂයක බාධාවකින් තොර ව, පොරොන්දු වූ පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නෛතික බලය ලබාගෙන තිබේ.

මැතිවරනයේ තම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව පිටත්ව යන ජනාධිපති අනුර කුමාර දිසානායක (ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

ලංකාවේ හා ජාත්‍යන්තර මාධ්‍ය ජවිපෙ/ජාජබ “වාමාංශික” හෝ “සමාජවාදී” ලෙස ද ජවිපෙ හා ජාජබ යන දෙකට ම නායකත්වය දෙන දිසානායක “මාක්ස්වාදියෙකු” ලෙස ද නිරන්තරයෙන් නම් කරයි. මේවා බේගල් ප්‍රකාශයන් ය. 2019 දී පලල් පෙරමුනක් ලෙස ජාජබ පිහිට වූ ජවිපෙ වනාහි, 1960 ගනන්වල එය ඉස්මතු වූ තැන් පටන් ශ්‍රී ලංකාවේ ජාතිකවාදය හා සිංහල ස්වෝත්තමවාදය තුල ගිලී සිටින දක්ෂිනාංශික, අධිරාජ්‍ය-ගැති පක්ෂයකි.

2019 ජනාධිපතිවරනයේ දී, දිසානායක සියයට 3.1ක ඡන්ද ප්‍රමානයක් ලබාගත් අතර, කෝවිඩ්-19 වසංගතයේ පලමු රැල්ල මධ්‍යයේ 2020 අගෝස්තුවේ පැවති අවසන් පාර්ලිමේන්තු මැතිවරනයෙන් ජවිපෙ/ජාජබ ඡන්ද 445,958ක් හා ආසන 3ක් පමනක් දිනා ගත්තේය.

මේ සැප්තැම්බරයේ දී, දිසානායක ජනාධිපති ධුරයට නැගී ගත්තේය. දිගින්දිගටම යන සමාජ-ආර්ථික අර්බුදයක් තුලට රට ඇද දැමූ විනාශකාරී ධනපති පිලිවෙත් අනුගමනය කල දේශපාලන සංස්ථාපිතයේ සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි පවතින මහජන කෝපයේ රැල්ල දිසානායක හා ජවිපෙ/ජාජබට ගසාකෑවේ ය.

දිසානායක ජනාධිපති ධුරයට පත් වූ වහා ම, නොවැම්බර් 14දා හදිසි පාර්ලිමේන්තු මැතිවරනයක් කැඳවීම සඳහා විධායක යේ පුලුල් බලතල යොදා ගත්තේය එමගින්, ලාංකිකයන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ, “ශක්තිමත්” ජවිපෙ/ජාජබ ආන්ඩුවක් තෝරා ගන්නා ලෙස යි. දූෂනය අවසන් කිරීමටත්, “ජාතික පුනරුදයක්” සඳහා ජවිපෙ/ජාජබ සැලසුම් ක්‍රියාත්මක කිරීමටත්, මෙය අවශ්‍ය කරන බවට ඔහු තර්ක කලේ ය. සැබවින් ම නම්, දිසානයකටත් ඔහුගේ ජවිපෙ/ජාජබ සන්ධානයටත් තම හස්තය ශක්තිමත් කරගැනීම අවශ්‍ය කලේ, ලංකාවේ කම්කරුවන් හා පීඩිතයන් මතට ජාමූඅ විධානය කරන රුදුරු කප්පාදු පිලිවෙත් පැටවීමට යි.

ජනාධිපතිවරනයේ ජයග්‍රහකයාගේ පක්ෂයට, ඉන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරනයේ දී ලංකාවේ ඡන්දදායකයෝ සාම්ප්‍රදායිකව වැඩි සහයෝගයක් දීමට ත්‍යාගශීලි වෙති.

කෙසේ වුව ද, ජනාධිපතිවරනය හා පාර්ලිමේන්තු මැතිවරනය අතර තුර කාලයේ ජවිප/ජාජබට ලැබුනු සහයෝගය ඉහල යාමක් වාර්තා කෙරේ. බ්‍රහස්පතින්දා පැවති පාර්ලිමේන්තු මැතිවරනයේ දී, ජවිපෙ/ජාජබ ඡන්ද 6,863,186ක් ලබා ගත්තේ, ජනාධිපති ධුරය ජයග්‍රහනය කිරීමේ දී දිසානායක ලබාගත් ඡන්ද ප්‍රමානයට වඩා ඡන්ද මිලියන 1.2ක් වාර්තා කරමිනි. ඡන්දය භාවිතා කල ප්‍රමානය සියයට 10ක සමස්තයකින් අඩු වෙද්දී, ජවිපෙ/ජාජබ ලබාගත් මහජන ඡන්දයේ ප්‍රතිශතය සියයට 42.3 සිට සියයට 61.6 දක්වා නැගුනි.

රටෙහි මැතිවරන දිස්ත්‍රික්ක 22න් 21 බහුතරය ජයග්‍රහනය කිරීමට ජාජබ සමත් විය. නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ දී, දෙමල ජාතිකවාදී ඉලංකෙයි තමිල් අරසු කච්ඡි (අයිටීඒකේ) පක්ෂයට ජාජබ දෙවැනි විය.

තියුනු වන පන්ති හා භූ-දේශපාලනික ආතතීන්වල බරින් මැඩී කැඩීබිඳී ගොස් ඇති ලාංකික ධනේශ්වරයේ සාම්ප්‍රදායික ආන්ඩු පක්ෂ සහ නාමික නිදහසේ පටන් එම පක්ෂ මත ආධිපත්‍යය දැරූ පවුල් අතලොස්ස ඓතිහාසිකව ප්‍රතික්ෂේප කරනු ලැබීමක් මැතිවරන ප්‍රතිඵල විසින් පෙන්නුම් කෙරයි.

විරුද්ධ පක්ෂ අතරින් නව පාර්ලිමේන්තුවේ සැලකිය යුතු ආසන ගනනක් තිබෙන්නේ සමගි ජන බලවේගයට (සජබ) පමනි. සියයට 18ක ඡන්ද ප්‍රමානයක් සමගින් සජබ ආසන 40ක් ජයග්‍රහනය කලේ ය.

මහජන නැගිටීමෙන් ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකෙරුනු පසු, 2022 ජූලි මාසයේ දී ජනාධිපති ධුරය බාරගෙන, සැප්තැම්බර් 21 ජනාධිපතිවරන පරාජය තෙක් ජාමූඅ කප්පාදුව ක්‍රියාත්මක කිරීමට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ ගේ අලුත් ම දේශපාලන වාහනයවූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන (නප්‍රපෙ) යන්තම් සියයට 4ක ඡන්දයක් දිනාගෙන ආසන 5ක් ලබා ගත්තේ ය.

සජබ හා නප්‍රපෙ සංවිධානවල මූලයන් ඇත්තේ, දශක තුනක් පුරා ඇදුනු දෙමල-විරෝධී සිවිල් යුද්ධය 1983 දී දියත් කලාවූ, සාම්ප්‍රදායිකව එක්සත් ජනපද-ගැති, දැනට මුලුමනින් ම අකර්මන්‍ය වී ඇති දක්ෂිනාංශික හා එක්සත් ජාතික පක්ෂය (එජාප) තුලයි.

2005 සිට 2022 දක්වා, කාලය තුල රාජපක්ෂ පවුල් නඩය මහින්ද රාජපක්ෂ බලයේ සිටි 2005 සිට 2015 දක්වා ද ඉන්පසුව ඔහුගේ සොහොයුරු ගෝඨාභය 2019 සිට 2022 දක්වා ජනාධිපති ධුරය දැරූ කාලය තුල ද ලංකාවේ දේශපාලන ජීවිතයේ කේන්ද්‍රයෙහි පැවතියේ ය. බ්‍රහස්පතින්දා මැතිවරනයේ දී රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රීලපොපෙ ආසන 3කට හා ඡන්දයෙන් සියයට 3.14කට සීමා කරනු ලැබිනි.

සජබ, ශ්‍රීලපොපෙ සහ දෙමල හා මුස්ලිම් ධනේශ්වර පක්ෂ සියල්ල ම පාහේ, පාර්ලිමේන්තු මැතිවරන උද්ඝෝෂනයේ දී වාමවාදී යයි කියාගන්නා ජවිපෙ/ජාජබ ආන්ඩුව සමග “වැඩදායක” ලෙස කටයුතු කිරීමේ සූදානම ප්‍රකාශ කල හ.

වැඩ කරන ජනයා අතර ඔවුන්ගේ මහජන සහෝගය බිඳ වැටීමට අමතර ව, සාම්ප්‍රදායික පක්ෂවල වත්මන් වියවුල හා අර්බුදය මතුව ඇත්තේ, ලංකාවේ පාලක පන්තියේ බලගතු කොටස්, වොෂින්ටනය හා නව දිල්ලිය, මහජන විරුද්ධත්වය මධ්‍යයේ මේ අවස්ථාවේ දී ජාමූඅ කප්පාදුව තල්ලු කරගැනීමේ හොඳ ම වාහකය වන්නේ “සංස්ථාපිත-විරෝධී” ජවිපෙ/ජාජබ බව නිගමනය කර තිබීමෙනි.

ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චං සමග පවත්වන නිරන්තර හමුවීම් ඇතුලු ව පාලක පන්තියේ සහයෝගය දිනාගැනීම සඳහා, දිසානායක හා ජවිපෙ/ජාජබ තමන්ගේ පැත්තෙන් වසර ගනනක් තිස්සේ වෙරදරා ඇත. තේරී පත් වූ ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුභපැතුම් පනිවුඩයක් යැවීමටත්, ඔහුගේ පරිපාලනය සමග වැඩ කිරීමට පොරොන්දු වීමටත්, ජවිපෙ/ජාජබ ජනාධිපතිවරයා යුහුසුලු විය.

ජනාධිපතිවරන සමයේ දී මෙන් ම, පාර්ලිමේන්තු මැතිවරන උද්ඝෝෂනය සමයේ දී ද ජවිපෙ/ජාජබ තම මුඛයේ දෙපැත්තෙන් ම කතා කරමින් සිදුකල බේගල් වැපිරීම වඩාත් නිර්ලජ්ජිත විය.

ජනගහනයේ වඩාත් ම දුගී කොටස් ජාමූඅ කප්පාදුවේ විනාශයන්ගෙන් ආරක්ෂා කරන බව, දිසානායක හා ජවිපෙ/ජාජබ අඛන්ඩ ව කියාපාන්නේ, සමස්ත කප්පාදු පියවරයන් බලාත්මක කරන බවට ජාමූඅට සහතික වන අතරේ ය. 400ට අධික රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය/ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීම, වැඩිදුර බදුබර හා බදු අනුපාත ඉහල දැමීම් සහ සෞඛ්‍යය හා අධ්‍යාපනය වැනි තීරනාත්මක රාජ්‍ය සේවාවන් තවදුරටත් කප්පාදු කිරීම මෙම රුදුරු පියවරයන්වලට ඇතුලත් වේ.

ඒ හා සමාන ව, ත්‍රස්ත-විරෝධී නීති සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දුන් පොරොන්දු අත්හරිමින්, තමන් “ශක්තිමත් ආන්ඩුවක්” බිහි කල විට වැඩ වර්ජන අතීතයට අයත් දෙයක් බවට පත්කරන බව නිවේදනය කරන ගමන් ම “ප්‍රජාතන්ත්‍රවාදී” ප්‍රතිසංස්කරන සිදු කරන බවද දිසානායක හා ජවිපෙ/ජාජබ නිතර කියාපා ඇත.

වැඩ කරන ජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට කෙලින් ම ප්‍රහාර එල්ල කිරීමට ජවිපෙ/ජාජබ කරන සූදානම්වීම වසන් කිරීම සඳහා, නව ආන්ඩුව දීප්තිමත් වර්නයන්ගෙන් පින්තාරු කර ඇති සංගත ජනමාධ්‍යයන්ගේ හා වෘත්තීය සමිතිවල සහයෝගය ලැබී ඇත. ලක්ෂ 14ක් වන රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම අහෝසි කරන බවට ආන්ඩුව කල නිවේදනයට එරෙහිව විරෝධතා හා වැඩ වර්ජන සංවිධානය කිරීම පසෙක තැබුවත් කෙඳිරීමකින් හෝ තොර ව වෘත්තීය සමිති ඊට සහාය දැක්වූ හ.

ජවිපෙ/ජාජබ ආන්ඩුව “ප්‍රගතිශීලී” ලෙසත් වමෙන් එන පීඩනයට අවනත වනු ඇති බවත් කියමින් එය පුම්බා තැබීමට ව්‍යාජ-වාම පක්ෂ ද ක්‍රියා කර ඇත. දිසානායක තේරී පත්වීම “මහජන අපේක්ෂාවන්ගේ ප්‍රකාශනයක්” ලෙස උත්කර්ෂයට නංවා ඇති පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), ජන අරගල සන්ධානය (පීඑස්ඒ) ලෙස පලල් පෙරමුනකින් මහ මැතිවරනයට තරඟ කලේ ය. දක්ෂිනාංශික ප්‍රජාගනවාදී ජවිපෙ/ජාජබ ආන්ඩුවට පීඩනය යෙදීම සඳහා සමාජ කෝපය අපසරනය කිරීමේ සිය බංකොලොත්දේශපාලන හැරීම පෙන්නුම් කරමින්, පෙසප-පීඑස්ඒ ප්‍රධාන උද්ඝෝෂන සටන් පාඨය ලෙස ඉදිරිපත් කලේ “විපක්ෂය වෙනස් කිරීම” යි.

ජවිපෙ ජයග්‍රහනයේ සැලකිල්ලට භාජනය විය යුතු තවත් අංශයක් වූයේ, දෙමල බහුතරයක් වෙසෙන දිස්ත්‍රික්ක තුල ඡන්ද ප්‍රමානය තියුනු ලෙස ඉහල යාම යි. දෙමල-විරෝධී උසිගැන්වීමේ හා ප්‍රචන්ඩත්වයේ දීර්ඝ වූත් දුෂ්ට වූත් වාර්තාවක් තිබෙන ජවිපෙහි මූලික සාධකයක් වී තිබෙන්නේ, මිලිටරි-ආරක්ෂක යාන්ත්‍රනය සමග දශක ගනනක් පුරා වාත්තු කරගෙන ඇති සමීප සබඳතාවන් ය. ජනාධිපතිවරනයේ දී ජවිපෙ/ජාජබ මගහරිමින් දෙමල ඡන්දදායකයන් කටයුතු කලේ, දෙමල බහුතර දිස්ත්‍රික්කවලින් ඡන්ද සියයට 10ක් පමන එයට ලබා දෙමිනි.

එහෙත් බ්‍රහස්පතින්දා මැතිවරනයේ දී, එක් දෙමල බහුතර දිස්ත්‍රික්කයක් හැර අන් සියල්ල ම එය ජයග්‍රහනය කලේ ය. උතුරේ යාපනයේ දී එය සියයට 25ක ඡන්ද ප්‍රමානයක් ද නැගෙනහිර ත්‍රිකුනාමලයෙන් සියයට 42ක් ද මධ්‍යම වතුකරයේ නුවර එලිය දිස්ත්‍රික්කයෙන් සියයට 42ක් ද ජවිපෙ/ජාජබ ලබා ගත්තේ ය.

මෙයට සාධක කිහිපයක් හේතු විය: ජාමූඅ කප්පාදුවට ද කොලඹ එක් දක්ෂිනාංශික ආන්ඩුවකට පසු තවෙකකට ද සහයෝගය දී ඇති සාම්ප්‍රදායික දෙමල පක්ෂ කෙරෙහි කෝපය ද ඡන්ද කඩාවඩා ගැනීමට පමනක් ම ජවිපෙ දුන් පොරොන්දු වූ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හා මිලිටරිය අල්ලාගෙන ඇති ඉඩම් ආපසු ලබා දීම කෙරෙහි පවතින වැරදි විශ්වාසය මෙන් ම ඊට නො අඩු ලෙස ජවිපෙ “පැත්ත නො ගතහොත්” දෙමල වැසියන්ට සලකන ආකාරය කෙරෙහි පවතින භීතිය ද ඒවාට ඇතුලත් වෙයි.

යාපනයේ දී ජනාධිපතිවරන උද්ඝෝෂනයේ යෙදෙන අතරේ, දිසානායක “උතුරේ” ජනයාට හෙවත් දෙමල සුලුතරයට ඍජුව ම අනතුරු ඇඟවූයේ, සිංහල-බහුතරයේ කැමැත්තට බාධා කරන්නන් ලෙස ඔවුන් ව දැකගැනීමට තමන්ට අවශ්‍ය නො වන බව යි.

ලංකාවේ හා ජාත්‍යන්තර මාධ්‍ය, ජවිපෙ/ජාජබ ජයග්‍රහනයට උද්‍යෝගයෙන් ප්‍රතිචාර දක්වා ඇත. කොලඹ පල වන ඩේලි එෆ්ටී පත්‍රය කතුවැකියක් පල කරමින් මෙසේ කීවේ ය: “මහජනයා ඉදිරියේ, බලයේ සිටි ආන්ඩුවට සිය තීරනාත්මක ආර්ථික ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රයක් ක්‍රියාවට දැමීමේ දී හරහට හිටියේ ඊට සුජාතවත් භාවයක් නැතිවීමයි. අත්‍යවශ්‍ය, එනමුත් දේශපාලනික ව ජනප්‍රිය නො වන ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දමා ගැනීම සඳහා ශක්තිමත් මහජන වරමක් සහිත ආන්ඩුවක් වඩා හොඳ තත්වයක පිහිටා සිටිනු ඇත.”

ජවිපෙ/ජාජබහි “සංස්ථාපිත-විරෝධී” ප්‍රතිරුපය හා ව්‍යාජ පොරොන්දු මත පදනම් වන එහි ආන්ඩුවෙන් කම්කරුවන් හා තරුනයන් අපේක්ෂා කරන දෙයත් ලංකාවේ හා ගෝලීය ප්‍රාග්ධනය වෙනුවෙන් එය ක්‍රියාවට දමනු ඇත්තාවූ මහව්‍යාපාරික-ගැති හා අධිරාජ්‍ය-ගැති න්‍යාය පත්‍රයත් අතර ඇත්තේ යෝධ පරස්පරයකි.

සිය ලෝකාධිපත්‍යය ප්‍රතිස්ථාපනය කරගැනීමේ මංමුලාවෙන් පසුවන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගෝලීය යුද පිලිවෙතක් ලුහුබඳිමින් සිටින අතරතුර ජවිපෙ/ජාජබ ජයග්‍රහනය සිදු වී ඇත. මෙම යුද්ධයෙහි පෙරමුනු තුන වන්නේ, එක්සත් ජනපද-නැටෝ සන්ධානය ඇවිල වූ රුසියාවට එරෙහි යුද්ධය, ගාසා තීරය තුල ක්‍රියාවට දමනු ලබන අධිරාජ්‍යවාදයේ පිටුබලය සහිත ඊස්‍රායල ජනසංහාරය සහ චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරය යි.

විශේෂයෙන් ම ප්‍රධාන නාවික ගමන් මාර්ගයන්ට සමීප ව පිහිටි ශ්‍රී ලංකාව ඇතුලු සමස්ත ඉන්දියන් සාගර කලාපය, චීන-විරෝධී යුද ධාවනයට ඒකාග්‍ර කරගැනීමට, එක්සත් ජනපදය සහ දකුනු ආසියාවේ එහි ප්‍රධාන සගයා වන ඉන්දියාව අධිෂ්ටාන වත් වෙති. ලංකාව චීනයට එරෙහි භූ-මූලෝපායික බලකොටුවක් බවට පරිවර්තනය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුගමනය කල පියරවයන් තමන් ද අඛන්ඩ ව ගෙන යන බවට, එක්සත් ජනපද පැසිෆික් බලකායේ ප්‍රධානියා පසුගිය මාසයේ දී සාදරයෙන් පිලිගැනීම ඇතුලු ක්‍රියා හරහා දිසානායක යලි යලිත් සංඥා කර ඇත. ආන්ඩුව මෙසේ ක්‍රියා කරන්නේ, මහජනයාගෙන් කිසිදු විමසීමකින් හෝ සහයෝගයකින් තොරව ය.

මෙනයින්, කම්පාකාරී අරගලයන්ට වේදිකාව සැකසෙයි.

ජවිපෙ/ජාජබ යනු ඓතිහාසික ව සුලු-ධනේශ්වරය මත පදනම් වන, සමාජවාදයට නොව ෆැසිස්ට්වාදයට නෑකම් දක්වන දක්ෂිනාංශික, සිංහල ස්වෝත්තමවාදී ධනපති පක්ෂයක් බව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියට, තරුනයන්ට හා ගම්බද පීඩිතයින්ට අනතුරු අඟවයි.

ජාමූඅහි විනාශාකරී කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීමට මහජන වරමක් නැතත්, සිය පිලිවෙත්වලට එරෙහිව නැගෙන සියලු හා ඕනෑ ම කම්කරු-පන්තික විරෝධයක් “අයුක්තිසහගත” යයි හෙලාදැකීමට ජවිපෙ/ජාජබ එහි මැතිවරන ජයග්‍රහන යොදා ගනු ඇත. මහජන විරෝධයට මුහුන දෙන විට, පොලිස්-රාජ්‍ය මර්දනය මුදා හැරීම සඳහා සිය පූර්වගාමීන් විසින් බලාත්මක කර ඇති මිලිටරි-රාජ්‍ය යාන්ත්‍රනය සහ මර්දන නීති මාලාව එය විසින් යොදාගනු ඇත.

ලංකාවේ ධනේශ්වරයේ ප්‍රතිගාමී “සම්ප්‍රදායයන්” සහ එහි නින්දිත වාර්තාවට අනුව යමින්, ජවිපෙ/ජාජබ ආන්ඩුව කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීමට දරන උත්සාහයේ දී දෙමල-විරෝධී සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය අවුලුවනු ඇත.

බලයට එන ජවිපෙ/ජාජබ ආන්ඩුව සමග ගැටුමට යනු ඇති කම්කරු පන්තිය හා පීඩිත ජනයා දේශපාලනික ව සූදානම් කිරීමේ එල්ලයෙන් මහ මැතිවරනයට හා ජනාධිපතිවරනයට සසප මැදිහත් විය. ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමටත් ධනේශ්වරයට එරෙහිවත් ඒකාබද්ධ අරගලයක් තුල ගම්බද දුගීන් රැලි කරගැනීම ඉලක්ක කරගත්, ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීම මත පදනම් වන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම හදිසි පවතින අවශ්‍යතාව යි. මෙය දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන පලල් අරගලයක කොටසක් විය යුතු ය.

Loading