[මෙය South Asia’s governments rush to congratulate America’s fascist president-elect Trump යන මැයෙන් 2024 නොවැම්බර් 08 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
දකුනු ආසියාව පුරා ආන්ඩු, ඇමරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පැතීමට ඉක්මන් වී ඇති අතර, ඔහුගේ එලඹෙන පරිපාලනය සමඟ සමීප ව කටයුතු කිරීමටත්, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද ධාවනයට තව දුරටත් ඒකාග්ර වීමටත් ඔවුන්ගේ සූදානම ප්‍රකාශ කර තිබේ.
බදාදා (06) ට්‍රම්ප් ඇමතූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ට්විටර් (X/Twitter) පනිවිඩයක මෙසේ ප්‍රකාශ කලේය: “ඔහුගේ විස්මිත ජයග්‍රහනයට සුබ පතමින්, මගේ මිතුරා වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (@realDonaldTrump) සමඟ හොඳ සංවාදයක් පැවැත්තුවීමි. තාක්ෂනය, ආරක්ෂාව, බලශක්තිය, අභ්‍යවකාශ සහ තවත් අංශ කිහිපයක් හරහා ඉන්දියා-එක්සත් ජනපද සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා නැවත වරක් සමීප ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි.”
මෝදිගේ ප්‍රකාශය පැහැදිලි කරන්නේ, ඔහුගේ ආන්ඩුව චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානම සඳහා එහි මැදිහත්වීම වේගවත් කරන බවයි. මෝදිගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය, විරුද්ධවාදී කොන්ග්රස් පක්ෂයේ සහාය ඇතිව, චීනයට එරෙහි ඇමරිකාවේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේ පෙරටුගාමී රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කර ඇත. ඊට ප්‍රතිඋපකාර වශයෙන්, දියුනු ආයුධ සහ ආයුධ-පද්ධති සඳහා ප්‍රවේශය සහ එක්සත් ජනපදයේ ලාභ-ශ්‍රම ආයුධ කර්මාන්තයේ උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස වැඩෙන භූමිකාව ඇතුලුව, එක්සත් ජනපදය ඉන්දියාවට උපායමාර්ගික “අනුග්රහයන්” ලබා දී ඇත.
නව දිල්ලිය, නැවත සැපයීම සහ අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දියානු වරායන් සහ කඳවුරු වෙත එක්සත් ජනපද මිලිටරියට ප්‍රවේශය ලබා දී ඇති අතර එක්සත් ජනපදය හා එහි ප්‍රධාන ආසියා-පැසිෆික් සහචරයින් වන ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ බීජිං වලට එරෙහිව දිනෙන් දින වර්ධනය වන ද්විපාර්ශ්වික, ත්‍රෛපාර්ශ්වික සහ චතුර්පාර්ශ්වික සන්ධාන ජාලයකට සම්බන්ධ වී තිබේ. එය දකුනු ආසියාව පුරා චීන බලපෑම මැඩලීමටත්, ඉන්දු පැසිෆික් කලාපය පුරා රාජ්‍යයන් නිල-නොවන චීන විරෝධී කන්ඩායමක් බවට පත්කර ගැනීමටත් වොෂින්ටනය සමග සමීපව කටයුතු කරයි.
ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පරිපාලන දෙකම ඉන්දු-එක්සත් ජනපද ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කිරීමට ප්‍රමුඛත්වය දී ඇත. බයිඩන්-හැරිස් පරිපාලනය යටතේ මෙය ගුනාත්මකව නව මට්ටමකට ඔසවාලන ලදී. 2023 අගෝස්තු මාසයේදී, තායිවානය සම්බන්ධයෙන් චීනය සමඟ යුද්ධයක් ඇති වුවහොත් ඉන්දියාව ලබා දෙන සහය කුමක්දැයි විස්තර කරන ලෙස බයිඩන් පරිපාලන විසින් කරන ලද ඉල්ලීමකට පිලිතුරු දෙමින්, ඔවුන් හදිසි ප්‍රතිචාර දක්වන බව ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරීන් දන්වා සිටියේය.
එසේ වුවද, මෝදි සහ අනෙකුත් ඉන්දීය ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් ට්‍රම්ප්ගේ ජයග්‍රහනය ගැන උද්යෝගය ප්‍රකාශ කර ඇති අතර, එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය සුරක්ෂිත කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ ඉවත්ව යන පරිපාලනය අතර ඇති උපායික වෙනස්කම් වලින් ඉන්දියානු ධනේශ්වරයට ලාභ ලැබිය හැකි බව ගනන් බලා ඇත. විශේෂයෙන්ම, රුසියාව සමඟ දිගුකාලීන ආර්ථික හා මිලිටරි-මූලෝපායික සබඳතා පහත හෙලීමට ඉන්දියාවට බලපෑම් කිරීමේදී දෙවන ට්‍රම්ප් පරිපාලනය, බයිඩන් තරම් දැඩි නොවනු ඇතැයි මෝදි ආන්ඩුව බලාපොරොත්තු වන අතර ඒ වෙනුවට චීනය සමඟ ඇමරිකාවේ මූලෝපායික ගැටුමට ප්‍රමුඛත්වය දෙනු ඇත.
ට්‍රම්ප්ගේ ජයග්රහනයෙන් ඉන්දියාවට ප්රතිලාභ ලැබිය හැකි ආකාරය පැහැදිලි කරමින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් බ්‍රහස්පතින්දා සිඩ්නි හි ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික නායකයින්ගේ රැස්වීමක දී පැවසුවේ, ඔහුගේ තේරී පත්වීම එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර පදනම් වූ සමාගම් චීනයෙන් ඉන්දියාවට මාරුවීම වේගවත් කිරීමට ඉඩ ඇති බවයි.
“ඒ වන විටත් සැපයුම් දාම නැවත-පිලියෙල කිරීමක් සිදුවෙමින් පැවතුනි. මැතිවරන ප්‍රතිඵල අනුව මෙය වේගවත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එයින් සමහරක් කඩාකප්පල්කාරී වනු ඇත; නමුත් ඉන්දියාවේ අපි, එය අවස්ථාවක් ලෙස දකිමු,” ජයිශංකර් පැවසීය.
ට්‍රම්ප් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දීය ආන්ඩුව දක්වන උනන්දුව අවධාරනය කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල්, සංක්රමනිකයන් විශාල වශයෙන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුම්වලට සහය පල කලේය. ඩෙකෑන් ක්‍රොනිකල් (Deccan Chronicle) හි වාර්තාවකට අනුව, එක්සත් ජනපදයේ සිටින ලේඛනගත නොකල ඉන්දියානුවන් “නැවත පැමිනිය යුතු” බවට නව දිල්ලිය එකඟ වී ඇති බව ඔහු පැවසීය.
ට්‍රම්ප් සමඟ මෝදිගේ උනුසුම් සබඳතාව පදනම් වී ඇත්තේ හවුල් ඉන්දු-එක්සත් ජනපද මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා මත පමනක් ම නොවේ. මෝදි බොහෝ දුරට ට්‍රම්ප්ගේ අච්චුවේ ම අන්ත දක්ෂිනාංශික දේශපාලන නායකයෙකි—ජාතිභේදවාදී උසිගැන්වීම්, සමාජ වියදම් ම්ලේච්ඡ ලෙස කප්පාදු කිරීම් සහ ඉන්දියානු කම්කරු පන්තියට එල්ල කෙරෙන ව්‍යාපාරික ගැති ප්‍රහාර පිලිබඳ දීර්ඝ හා ලේවැකි වාර්තාවක් ඇති, හින්දු අධිකාරීවාදී ප්රබලයෙකු වීමට අපේක්ෂා කරන්නෙකි.
බංග්ලාදේශයේ අන්තර්වාර පරිපාලනයේ ප්‍රධානියා වන මුහම්මද් යුනුස් ද ට්‍රම්ප්ට සුබ පැතීය. “දෙවන වාරයක් සඳහා ඔබ එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් පිලිබිඹු වන්නේ ඔබගේ නායකත්වය සහ දැක්ම, ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව සමඟ අනුනාද වන බවයි. ඔබගේ භාරකාරත්වය යටතේ, එක්සත් ජනපදය සමෘද්ධිමත් වන බවටත්, ලොව පුරා සිටින අන් අයව දිරිමත් කරන බවටත් මට විශ්වාසයි,” ඔහු ප්‍රකාශ කලේය.
යුනුස් බලයට පත්වූයේ, බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා හසිනාට සහ ඇගේ ඒකාධිපති පාලනයට ඉල්ලා අස්වීමට බල කල මහජන විරෝධතාවලින් පසුවය. හසිනා ක්‍රියාත්මක කරමින් සිටි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දරුනු කප්පාදු ප්‍රතිපත්ති ම පවත්වාගෙන යාමට ඔහු ද ප්‍රතිඥා දී ඇත.
ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ)/ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර කුමාර දිසානායක, ට්‍රම්ප්ගේ ජයග්‍රහනයට ප්‍රශංසා කල දකුනු ආසියාතික නායකයන්ගෙන් ප්‍රථමයින් අතර විය.
ඔහුගේ ට්විටර් (X/Twitter) පනිවිඩය මෙසේ ප්‍රකාශ කලේය: “ඇමරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ප්‍රබල අනුමැතියක් ලබමින් තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපගේ උනුසුම් සුබ පැතුම්. ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්‍රයෝජනවත් වන අපගේ සබඳතාවල පොදු අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබේ පරිපාලනය සමඟ සම්බන්ධ වීමට මම බලාපොරොත්තු වෙමි.”
දිසානායකගේ සුබපැතුම්, ඔහුගේ පාලන තන්ත්රය ද, ඔහුගේ පූර්වගාමියා වූ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ම පවත්වාගෙන යන බවටත්, චීනයට එරෙහි එක්සත් ජනපද හා ඉන්දියානු භූ-මූලෝපායික ප්‍රහාරයට දිවයින තව දුරටත් ඒකාබද්ධ කරන බවටත් වොෂින්ටනයට දෙන තවත් සහතිකයකි.
අත්‍යවශ්‍ය වන මැදපෙරදිග තෙල් සඳහා ප්‍රවේශය ඇතුලුව, චීනය වෙත යන උපායමාර්ගික ඉන්දියානු සාගර ආනයන සහ අපනයන නැව් මාර්ගවල පිහිටි ශ්‍රී ලංකාව තුල මැදිහත්වීම පුලුල් කිරීම වොෂින්ටනයේ භූ-මූලෝපායික සැලසුම් සඳහා ප්‍රධාන වේ. පසුගිය දෙවසර තුල, දිසානායක, එක්සත් ජනපද තානාපතිනි ජුලී වැන්ග් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගෙන ඇති අතර පසුගිය මාසයේදී එක්සත් ජනපද පැසිෆික් බලඇනි කමාන්ඩර් අද්මිරාල් ස්ටීව් කෝලර් සමඟ කොලඹදී රහසිගත රැස්වීම් පැවැත්වීය.
වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආන්ඩුවල හිටපු කැබිනට් සභිකයෙකු වූ ආචාර්ය අමුනුගමගේ අදහස් උපුටා දක්වන ලිපියක් මේ සතියේ ජවිපෙ ලංකා ටෲත් (Lanka Truth) වෙබ් අඩවියේ පල විය. ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය “ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට” ප්රතිලාභ ලැබිය හැකි බවට දිසානායකගේ සිනහ උපදවන ප්‍රකාශය ම අමුනුගම ප්රතිරාවය කරයි.
ට්‍රම්ප්ට සුබ පැතීමට, සමගි ජන බලවේගයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ ද දිසානායක සමඟ එක්විය. ප්‍රේමදාස, ට්‍රම්ප්ගේ බලයට එන පරිපාලනය තුල “සාමය, හොඳ හිත සහ අර්ථවත් සහයෝගීතාව” සඳහා සිය ප්‍රාර්ථනා ප්‍රකාශ කලේය. ට්‍රම්ප්ගේ නැවත බලයට පැමිනීම “ඓතිහාසික ජයග්රහනයක්” ලෙස වික්‍රමසිංහ විස්තර කල අතර එය “ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම” සඳහා ට්‍රම්ප්ගේ ප්රතිගාමී, වාචාල ප්‍රතිඥාව ඇමරිකානු ජනතාව “විශ්වාස කරන” බවට ඇඟවුම් කිරීමකි.
ෆැසිස්ට් ට්‍රම්ප්ට ප්‍රශංසා කිරීමට දකුනු ආසියාතික දේශපාලන නායකයන් ඉක්මන් වීම අහම්බයක් නොවේ.
මෝදි, දිසානායක, යුනුස් සහ දකුනු ආසියාවේ පාලක ප්රභූවේ අනෙකුත් සාමාජිකයින්ට, තමන් විසින් තම රටවල පනවා ඇති කප්පාදු පියවරයන්ට එරෙහිව පැන නගින නොවැලැක්විය හැකි අරගල මැඩලීම සඳහා වර්ගවාදය—සංක්රමනිකයන්ට එරෙහි ට්‍රම්ප්ගේ වර්ගවාදී ප්‍රහාරවල ඔවුන්ගේම අනුවාදයන්— යොදා ගැනීමට මනා පරිචයක් ඇත. එමෙන්ම, ට්‍රම්ප් මෙන් ඔවුන්ද, මහා ව්‍යාපාරිකයන්ගේ, බැංකු වල සහ ප්රකෝටිපතියන්ගේ නියෝග පැනවීම සඳහා ආඥාදායක පාලන ක්‍රම වෙත පහසුවෙන් හැරෙනු ඇත.
ශ්‍රී ලංකා ජනාධිපති දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ පරිපාලනය ජීවත් වන්නේ, රාජපක්ෂ තන්ත්රයේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව 2022 දී මතුවූ සහ එය නිලයෙන් පහකල, මිලියන ගනනක කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ ශක්තිමත් ව්‍යාපාරය යලි පිපිරී යනු ඇතැයි යන බියෙනි. ට්‍රම්ප්ට පිටුබලය දීමේ ඔවුන්ගේ උද්යෝගය, ලෝකයේ පවතින ප්රමුඛ අධිරාජ්‍යවාදී බලය සමඟ ඔවුන්ගේ බැඳීම් ශක්තිමත් කර ගැනීමටත්, එමගින් කම්කරු පන්තියට සහ ග්‍රාමීය දුගීන්ට එරෙහිව ඔවුන්ගේ හස්තය ශක්තිමත් කිරීමටත් දරන මංමුලා සහගත උත්සාහයකි.
දකුනු ආසියාවේ කම්කරුවන්, ලොව පුරා අධිරාජ්‍යවාදී යුද්ධය තීව්ර කිරීමට සහ ආඥාදායක පාලනයන් පැටවීමට එරෙහිව එක්සත් ව්‍යාපාරයක් තුල එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග එක්විය යුතුය. එවන් ව්‍යාපාරයක් පදනම් විය යුත්තේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ ධනේශ්වර ලාභ පද්ධතිය පෙරලා දැමීම සඳහා වන අරගලය මත ය.