නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතයෙන් ජනිත කෙරුනු තද සුලං සහ අධික වර්ෂාපතනය ඇතුලු අයහපත් කාලගුන තත්වය හේතුවෙන්, ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක තුල ඇති වූ ජල ගැලීම් සහ නාය යෑම් වලින්, දැවැන්ත ව්‍යසනයක් නිර්මානය කෙරී ඇත.
සිකුරාදා උදෑසන වාර්තා වලට අනුව දිස්ත්‍රික්ක 24ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 175ක් අයහපත් කාලගුන ප්‍රතිවිපාක වලට ගොදුරු වී ඇත. පවුල් 120,534 කට අයත් පුද්ගලයින් 401,707 කට අයහපත් කාලගුන තත්වය බලපා ඇත. ඉන් පූර්න නිවාස හානි 102 ක්, අර්ධ හානි 1,952 ක් සහ ජීවිත හානි 12 ක් වාර්තා වී ඇත. 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකු අතුරුදහන් වී තිබේ. ආපදා කලමනාකරන මධ්‍යස්ථානයට අනුව ආරක්ෂක ස්ථාන 267 ක 25,000 කට වැඩි පිරිසක් රඳවා ඇත.
උතුරු පලාතට සහ ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කයට තවදුරටත් තද වැසි බලාපොරොත්තු වන අතර දිවයිනේ ඉතිරි කොටස් වල යම් වැසි තත්වයක් ඇතිවනු ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයෙන්, මහනුවර, මාතලේ, නුවරඑලිය, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා නායයාම් රතු නිවේදන නිකුත් කෙරිනි. කැලනි, නිල්වලා, මහවැලි, දැදුරු, කලා ඔය යන ගංගා වල ජල මට්ටම් ඉහල යෑම සහ ජලාශ වාන් දැමීම හේතුවෙන් ඒවායෙ පහත් බිම් ප්‍රදේශ වල සිටින ජනතාවට ගංවතුර අවදානම් නිවේදන නිකුත් කොට තිබේ. අම්පාර, යාපනය, ගම්පහ, මඩකලපුව, කිලිනොච්චි, මුලතිවු, මන්නාරම, ත්‍රිකුනාමලය සහ මඩකලපුව, නුවරඑලිය, නුවර, පොලොන්නරුව දිස්ත්‍රික්ක දැනටමත් ජලයෙන් යටව පවතී.
අධික වර්ෂාව හේතුවෙන් දිවයින පුරා කුඹුරු හෙක්ටෙයාර දසදහස් ගනනක් ජලයෙන් යටවී විනාශ වී ඇති ඇති අතර, එය වඩාත්ම බලපා ඇත්තේ උතුරු ප්‍රදේශයට යි. එහි විනාශ වී ඇති කුඹුරු වපසරිය හෙක්ටෙයාර් 64,000 කි. එම පලාතේ වැව් තිහක් පමන අධික වර්ෂාව හේතුවෙන් කැඩී ගොස් ඇති අතර, ඒ හේතුවෙන්, කුඹුරු යලි වගා කිරීමේදී ද ගැටළු පැන නංවනු ඇත. නැගෙනහිර පලාතේ කුඹුරුද ජලයෙන් යටවී විනාශ වී තිබේ.
අධික ජල පහරත් සමග ඇතැම් ප්‍රදේශ වල පාලම් සහ බෝක්කු කැඩී ගොස් ඇති අතර මාර්ග වෙතට ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත. නායයාම් නිසා නිවාස බොහෝ සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවත්, කීප දෙනෙකු මරනයට පත්ව ඇති බවත් වාර්තා වේ. නාය යෑම් හේතුවෙන් බදුල්ල දක්වා දිවෙන රාත්‍රී දුම්රියේ ගමන් වාර කිහිපයක්ම අත් හිටුවීමට ද සිදුවිය.
මෙම සමස්ත තත්වය පෙන්නුම් කරන්නේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු ගෙන ගිය පිලිවෙත් හේතුවෙන්, ලංකාව පුරා මහජනතාව ස්වභාවික ආපදා වල වඩාත් රුදුරුම ප්‍රතිවිපාකයන්ට මුහුන දීමේ අන්තරායට භාජනය කෙරී ඇති ආකාරයයි.
එම අන්තරාය වඩාත් ඛේදනීය ආකාරයෙන් ප්‍රකාශයට පත් වූයේ අම්පාර ප්‍රදේශයේ කාර්තිව් හි ජලයෙන් යටවූ මාර්ගයක් හරහා ගමන් කල ලමුන් පිරිසක් රැගත් ට්‍රැක්ටරයක් පෙරලී යාම හේතුවෙන් සිසුන් සයදෙනෙකු අතුරුදහන් වීම තුලිනි. ඔවුන් නින්දවුර් හි සිය පාසලේ සිට සමන්තුරේ කරා යාමට බස් රථයක් නොමැති වූ තතු තුල ට්‍රැක්ටර් රථයක් හරහා යෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේග (ජාජබ)/ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ) ආන්ඩුව මෙම තත්වයට ප්‍රතිචාර දක්වන්නේ පසුගිය ආන්ඩුවලට සමාන ආකාරයෙන්ම ය. ආපදා කලමනාකරනය සඳහා ප්‍රමානවත් සහ සැලසුම්ගත යාන්ත්‍රනයක් නොමැති තතු තුල, විපතටපත්වූවන් මුදා ගැනෙනුයේ එදාවේල පිරිමසා ගැනීමේ කුමයට සිදු කෙරෙන හමුදා මෙහෙයුම් මගිනි. මුදාගත්තවුන් තාවකාලික අවතැන් කඳවුරු වල රඳවා තැබීම හැරෙන්නට, ඔවුනට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ ආහාරපානාදිය සම්පාදනය කිරීමේ ක්‍රමවත් සහ ප්‍රමානවත් යාන්ත්‍රනයක් නොමැත. අනෙක් අතට, මෙවන් ආපදා අවස්ථාවලදී මිලිටරිය යොදා ගැනීම මිලිටරීකරනය සඳහා ධනපති ආන්ඩු විසින් අනුගමනය කෙරෙන කුප්‍රකට ක්‍රමවේදයකි.
මෙය, ජූනි මාසයේ සිට මාස පහක් ඇතුලත පැන නැගුනු තුන්වන ගංවතුර තත්වයයි. ජූනි මාසයේ මෙන්ම ඔක්තෝබර් මාසයේ ඇද හැලුනු වර්ෂාවන් හේතුවෙන් ගංවතුර සහ නායයෑම් තත්වයන් ජනිත විය. ජූනි මාසයේ මතුවූ තත්වයෙන් දෙලක්ෂ පනස්දහසක් පමන ද ඔක්තෝබර් මාසයේ දී එක්ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක්ද බලපෑමට ලක් විය. කෙසේ වෙතත් මෙවර ඇද හැලුනු වර්ෂාවේ ඉහල ත්‍රීවතාව ව්‍යසනයේ පරිමාව වඩා ඉහල නංවනු ඇත. වාර්ෂිකව වාර්තා වන මෙම අධික වර්ෂාව හේතුවෙන් මතුවන ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීමේ විද්‍යාත්මක වැඩපිලිවෙලක අවශ්‍යතාවය දිගින් දිගටම අත්දකින මෙවන් ව්‍යසන හරහා ඛේදනීය ආකාරයෙන් මතුව ඇත.
මෙම තත්වයට මූලික හේතුවක් බවට පත් වී ඇත්තේ ආපදා කලමනාකරනයේ මූලික සහ අත්‍යවශ්‍ය පියවරක් වන කාලගුන තත්වයන් පෙර දැකීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා පිහිටුවා ඇති ආයතන වෙත කෙරෙන ප්‍රතිපාදන කප්පාදුවයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ විශේෂඥයෙකු වන මලිත් ප්‍රනාන්දු ඩේලි මිරර් පුවත්පතට සඳහන් කලේ වියදම් අධික නිසා සුලි කුනාටු සහ මෝසම් වැසි තත්ව පෙර දැකීම සඳහා අවශ්‍ය “කාලගුන අනාවැකි ආකෘති (weather prediction models) ගොඩනැගීම සඳහා අවශ්‍ය තාක්ෂනය යෙදවීම” ලංකාවට නොහැකි බවයි.
ඔහු සඳහන් කලේ දැනටමත් යූරෝ දසදහසක් වාර්ෂිකව වියදම් කොට යුරෝපයෙන් දත්ත ගෙන ආවද, “නිරවද්‍ය කාලගුන තත්ව පෙරදැකීමක් සඳහා”, ජාතිකව සහ ප්‍රාදේශීයව වර්ධනයන් හඳුනාගනුවස් නිරීක්ෂන පහසුකම් වැඩි දියුනු කිරීමක් අවශ්‍ය බවයි. මේ ආකාරයෙන් නිරවද්‍ය කාලගුන අනාවැකි ලබා ගැනීම අවහිර කෙරී පැවතීම ස්වභාවික ආපදාවල ප්‍රතිවිපාක කිහිප ගුනයකින් ඉහල නංවන්නකි.
අනෙක් පසින් මෙම තත්වය පෙන්නුම් කරන්නේ මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ආන්ඩුවල නරුම නොතැකීමයි. මෙම ආපදා වලට හසුවන ජනගහනයෙන් බහුතරය සමාජයේ වඩාත් පීඩිතම කොටස් වලට අයත් වේ. කොලඹ නගරය සම්බන්ධයෙන් ගත් කල ධනපති ආන්ඩු ලාභ ගැරීම සඳහා ගෙන ගිය ඊනියා නාගරික සංවර්ධන කටයුතු වලින් නිවාස අහිමි කෙරුනු බොහෝ පිරිස් පදිංචිව සිටින්නේ සේදවත්ත, මීතොටමුල්ල වැනි ගංවතුරට පහසුවෙන් හසුවෙන ප්‍රදේශ වලය.
2024 ඔක්තෝබර් මාසයේ නිකුත් කල ශ්‍රී ලංකාව : ආපදා කලමනාකරනය සඳහා අත් පොත (Disaster Management Reference Handbook) පෙන්වා දුන්නේ, ලංකාව සිදු කල සමීක්ෂනයකට අනුව ජනගහනයෙන් සියයට 87 ක්, ආපදාවකින් යම් ආකාරයක හෝ අනතුරුදායකම මට්ටමේ ප්‍රතිවිපාක ජනනය කල හැකි ප්‍රදේශ වල ජීවත් වන බවයි. මෙම තත්වය ධනපති ක්‍රමය මහජනතාවට අත් කර දී ඇති ඉරනම පිලිබඳව දර්ශකයකි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ දේශීය ධනපති පන්තියේ අවශ්‍යතා වලට කැපවී සිටින ජාජබ/ජවිපෙ ඇතුලු ධනපති ආන්ඩු වලට මේවා නොතැකිය යුතු දෑ ය. ඔවුන්ගේ ප්‍රමුඛතාවය බවට පත්ව ඇත්තේ විදේශ නය ගෙවීම සඳහා බදු ඉහල නංවමින්, වියදම් කප්පාදු කරමින් මහජනතාවගෙන් බිලියන ගනනින් මුදල් උපුටා ගැනිම සහ ධනපතියන්ට ලාභ ගැරීමට සුදුසු කොන්දේසි ලංකාව තුල ස්ථාපිත කිරීමයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේ දී කී පරිදි ආන්ඩුවේ ඉලක්කය වන්නේ “ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම හා ඊට අදාල කන්ඩායම් වල විශ්වාසය තහවුරු කිරිමයි”- එනම් ශ්‍රී ලංකාවේ හා ගෝලීය ප්‍රාග්ධනයට- විශ්වාසය යලි ඇති කිරීම යි. ඒ අනුව ජාජබ/ජවිපෙ කැපවී සිටින්නේ සියළු ධනය ජාමුඅ වැඩපිලිවෙලට අනුව මෙම ධනපතියන් වෙත හරවා යැවීමට මිස ආපදා කලමනාකරනය ඇතුලු මහජන සුබ සාධනය සඳහා වෙන් කිරීමට නොවේ. මේ ආකාරයෙන් ධනය සූරා ගනිමින් 2028 පටන් වාර්ෂිකව නය හිමියන්ට ඩොලර් බිලියන පහක පමන ප්‍රමානයක් ගෙවීමට ආන්ඩුව සපථ වී සිටී.
ආපදා කලමනාකරනය සඳහා නගර සැලසුම්කරනය, කාලගුන විද්‍යා, වාරිමාර්ග, ඉදිකිරීම් ඇතුලු ක්ෂේත්‍ර ඒකාබද්ධ කොට තාර්කිකව සැලසුම් කර ඒවා ක්‍රියාවට දැමීම සඳහා නව තාක්ෂනය යොදාගැනීමට බිලියන ගනනින් මුදල් යෙදවිය යුතුය. කෙසේ වෙතත් ජාමුඅ වැනි සංවිධාන හරහා සියළු ධනය සිය පෙට්ටගම් වෙතට හරවා යැවිය යුතු බව කියන ධනපති පාලනයේ දඬු අඬුවෙන්, සමාජ ධනය, සම්පත් සහ තාක්ෂනය මුදවා ගැනීමෙන් තොරව මානුෂ අවශ්‍යතා සඳහා එවන් ආයෝජනයක් පිලිබඳ සිතීමට පවා නොහැක.
එයට සාක්ෂි දරන තවත් කාරනාවක් වනුයේ කාලගුන තත්වයන්හී විපර්යාසයන් ගෝලීය ධනපති ක්‍රමය සමග තදින් බැඳී පැවතීමයි. විශේෂයෙන්ම එල් නිනෝ සහ ලා නිනෝ තත්වයන් සහ ගෝලීය උෂ්නත්වය ඉහල යාමෙන් මතුව ඇති මුහුදු ජලයේ මතුපිට උෂ්නත්වය ඉහල යාම කාලගුනික තත්වයන් වඩාත් අස්ථාවර කොට ඇත. මීට පෙර මිලිමීටර් සියයක වර්ෂාපතනයක් පතිත වීමට දින විස්සක් පමන ගත වුවද දැන් වන විට එය දවස් කිහිපයක් දක්වා අඩුවී ඇත.
පසුගිය මාස 16න් 15 කම උෂ්නත්වය පූර්ව කාර්මික යුගයට වඩා සෙල්සියස් අංශක 1.5 ක උෂ්නත්වය වැඩිවීමක් වාර්තා කලේය. ඔක්තෝබර් මාසයේ එය අංශක 1.65 ක් වූ අතර එය දෙවනි වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ උෂ්නත්වයට පමනි. මෙම ගැටළු ධනපති ජාතික රාජ්‍ය සීමාව තුල විසඳිය නොහැකි ය. මෙම මාසයේ පැවැත්වුනු COP 29 දේශගුනික විපර්යාසයන් පිලිබඳ සමුලුව නිමාවකට පත් වූයේ හිස් පොරොන්දු මාලාවක් සමගය.
මෙම තතු පෙන්වා දෙන්නේ දේශගුනික විපර්යාසයන් අවම කර ගැනීම, ස්වභාවික ආපදා කලමනාකරනය ඇතුලු මිනිසුන් මුහුන දෙන දැවෙන ගැටළු විසඳීම සඳහා ධනපති ක්‍රමය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය යටතේ මානව අවශ්‍යතා සඳහා ගෝලීයවම සමාජය ප්‍රතිසංවිධානය කර ගැනීමේ උවමනාවයි.