අන්ත-දක්ශිනාංශික ඒඑෆ්ඩී නාසි දුර්ගන්ධය පතුරුවමින් “නූතනවාදයේ අපගමනයක්” ලෙස බවුහවුසිය හෙලාදකී

[මෙය In terms redolent of the Nazis, Germany’s far-right AfD condemns the Bauhaus as an “aberration of modernism” මැයෙන් 2024 නොවැම්බර් 26දා පල කල ලිපියේ පරිවර්තනය යි.]

2025 සහ 2026 වසරවලට යෙදී ඇති බවුහවුස් [Bauhaus]1 යුනෙස්කෝ ලෝක උරුම අඩවියේ ද්විත්ව ශත සංවත්සරය සැමරීම සඳහා අන්ත-දක්ශිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) විසින් සැක්සනි-ඇන්හාල්ට් ප‍්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු යෝජනාවක් පසුගිය මාසයේ දී සාකච්ඡාවට ගැනුනි. එම යෝජනාවෙහිලා “නූතනවාදයේ අපගමනයක්” ලෙස බවුහවුසිය හා එහි ඉතිහාසය හෙලාදකින ඒඑෆ්ඩී, “බවුහවුස් උරුමය ඒකපාර්ශ්වීයව උත්කර්ශයට නැංවීම” ප‍්‍රතික්ශේප කරන ලෙස ද ඒ වෙනුවට, “බවුහවුසියෙහි සියලු පැතිකඩ ආලෝකවත් කෙරෙන විවේචනශීලී විවාදයක් ඔස්සේ බවුහවුසිය පිලිබඳ බැරෑරුම්, සංස්කෘතික-ඓතිහාසීය සමස්ත පින්තූරයක් ස්ථාපිත කරන ලෙස” ද ප‍්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටී.

-වෝල්ටර් ග්‍රොපියස් විසින් නිර්මානය කෙරුනු ඩෙසාවුහි පිහිටි බවුහවුස් පාසල් ගොඩනැගිල්ල

දීර්ඝ කාලයක් මුලුල්ලේ වැජඹුනු බවුහවුසිය පිලිබඳ විවේචනශීලී වගවිභාගයක් උදෙසා ඒඑෆ්ඩී උනන්දු නො වේ. මේ යෝජනාව, බවුහවුසියෙහි ඉතිහාසය හා එහි බලපෑම අරබයා ඔවුන් තුල පවතින ප‍්‍රාදේශීය පසුගැමියාව හා අඥත්වය පිලිබඳ සාක්ශියක් වන අතර, එහි අරමුන කලාව හා සංස්කෘතිය පිලිබඳ විවාදය, බවුහවුස් ඩෙසාවු පදනමේ අධ්‍යක්ශිකාව පවසන පරිදි, “ජාතික සංස්කෘතික උරුමයක දිශාවට හැරවීමකි.” බවුහවුස් යෝජනාව සූත‍්‍රගත කල ඒඑෆ්ඩී සැක්සනි-ඇන්හාල්ට් ප‍්‍රාන්ත පාර්ලිමේන්තු කන්ඩායමේ සංස්කෘතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශක හාන්ස්-තෝමස් ටිල්ශ්නයිඩර්, ඒඑෆ්ඩීයේ අන්ත-දක්ශිනාංශිකයට අයත් තැනැත්තෙකු බවට වර්ගීකරනය කෙරී ඇත.

ඒඑෆ්ඩී ප‍්‍රාන්ත පාර්ලිමේන්තු කන්ඩායමේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය පිලිබඳ තවත් යෝජනාවක්, එක ම නාසි රුධිරය සහ පස දිශාවට යොමු වී ඇත. “අනාගතයට සම්භවය අවශ්‍ය ය: විශයමාලාව තුල නිජභූමිය හා ජාතික උරුමය ශක්තිමත් කිරීම” යනු එහි මාතෘකාව යි.

“නූතනවාදයේ අපගමනයක්” නමැති යෝජනාව, චූදිත “බවුහවුස් ගොඩනැගිලි පාපකර්ම” විවේචනය කරනුයේ, “එහි සුපරිශුද්ධ සෞන්දර්යය හා කාර්යසාධක ඌනනය නිතර ම පාහේ නිවැසියන්ගේ ජීවන තතු සමඟ නො පෑහුනි” යයි කියමිනි. “ශාන්තභාවය හා අවමතාවාදය” කෙරෙහි එහි අවධාරනය, නිරතුරුව ම “ඔතෑනි, ජුගුප්සීය හා අරුචිකර ලෙස සංජානනය වූ අපුද්ගල වාස්තුවිද්‍යාවට තුඩු දුනි.” විශේෂයෙන් ම, සමාජ නිවාස ක‍්‍රම හා රාජ්‍ය ගොඩනැගිලිවලට වෙසෙසා අදාල ව” එය විස්තර කල හැකි වනුයේ “සමාජ-ද්වේශී” ලෙසිනි.

බවුහවුසියෙහි කලාකරුවන් හා සැලසුම් ශිල්පීන් නාභිගත වූයේ, සිය නිපැයුම් මගින් සේවය කිරීමට හා සතුටු කිරීමට ඔවුන් අදහස් කල උදවිය කෙරෙහි බව බවුහවුස් සංකල්ප ගැන අබ මල් රේනුවක හෝ වැටහීමකින් යුතු කවරෙක් වුව දනී. අනෙක් අතට, “පෞද්ගලික හා ප‍්‍රාදේශීය ලක්ශන” අතුරුදන් වන “කලාව හා මෝස්තරය ප‍්‍රමිතිගත කිරීම අරමුනු කර ගත් සාර්වත‍්‍රික සෞන්දර්යයක්” ගැන ඒඑෆ්ඩී චෝදනාමුඛයෙන් පැමිනිලි කරයි. “ජීවන පරිසරයේ රැඩිකල් සරලීකරනය හා කාර්යසාධනීකරනය [functionalisation]” නිබඳ ව “ජීවන අවකාශ පිලිබඳ ව සම්ප‍්‍රදායික හා සංස්කෘතිකමය වසයෙන් ඇටුවම් බැස ගත් අදහස්” සමඟ පරස්පර විරෝධී වූ අතර, මෙය “මිනිසුන් ස්වකීය පරිසරයෙන් පරාරෝපනය වීමට” හේතු විය.

ඇත්ත වසයෙන් ම, අයදුම්කරුවන්ගේ දෘශ්ටිකෝනය අනුව, වෝල්ටර් ග්‍රොපියස්ගේ2 අනුප‍්‍රාප්තික බවුහවුස් අධ්‍යක්ශ හාන්ස් මේයර්3 විසින් සාරාංශගත කෙරුනු “කොමියුනිස්ට්වාදය” ඉලක්ක කර ගත් අස්වැටුම් ද ආක්‍රෝශ පරිභවයෙහි අඩංගු වෙයි. නිවැසියන්ගේ අවශ්‍යතා පරිදි, කාර්යසාධක නිවාස ඉදි කිරීම පිලිබඳ ඔහුගේ සංකල්ප, “කලාව හා වාස්තුවිද්‍යාව දෘශ්ටිවාදීකරනය” සඳහා වගකිව යුතු වූ අතර, “ඒවායෙහි සෘනාත්මක සමාජ බලපෑම් දිගුකාලීනව ද අඛන්ඩව ද පැවතින.” ඒඑෆ්ඩී වෙසෙසා කැලඹීමට පත්ව සිටිනුයේ බවුහවුසියෙහි ජාත්‍යන්තරවාදයෙනි. එහි “ඒකීය හා විනිමේය ශෛලිය” ප‍්‍රචලිත වීම, ගෝලීය “ඒකීයත්වයකට” හා “ප‍්‍රාදේශීය ලක්ශන දියාරු කිරීමට” තුඩු දුනි.

සිය වදන් හා දෘශ්ටිවාදී දිශානතිය තෝරා ගැනුමෙහි දී, ඒඑෆ්ඩී යෝජනාව නයට ගත හැකි ව තිබුනේ සම්ප‍්‍රදායික ගල්තාර පියසිවල කුප්‍රකට අද්වකාත් සහ 1920 හා 1930 ගනන්වල සංස්කෘතික විවාදයන්හි දී ආචීර්නකල්පික ගෘහ නිර්මාන ශෛලියකට උර දුන් බවුහවුස් විවේචක පෝල් ශුල්ට්ස්-නවුම්බර්ග්ගේ ලියවිලිවලිනි. වාර්ගික දෘශ්ටිවාදය මත පදනම් ව “ජනප‍්‍රිය” නිවාස තැනීම පිලිබඳ අදහස් රැගත් මොහුගේ ගමන කෙලවර වූයේ, නාසීන් සමඟ එක්වීමෙනි.

1925 දී, චිත‍්‍ර, මෝස්තර හා වාස්තුවිද්‍යා පිලිබඳ බවුහවුස් පාසලට, තුරින්ගියාවේ වෙයිමාර්හි පිහිටි සිය මුල් පරිස්ථානය අත්හැර සැක්සනි-ඇන්හාල්ට්හි ඩෙසාවු වෙත සංක‍්‍රමනය වීමට බල කෙරුනේ, බිඳකුදු ශුල්ට්ස්-නවුම්බර්ග්ගේ උද්ඝෝශනය නිසා නො වේ.

1923 නොවැම්බරයේ දී, අධිරාජ්‍ය හමුදාව (රයික්ස්වෙහ්ර්) විසින්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ (එස්පීඩී) හා කොමියුනිස්ට් පක්ශයේ (කේපීඩී) තුරින්ගියා ප‍්‍රාන්ත රජය නෙරපා හැරුනි. 1924 දී, අරටුවට ම ගතානුගතික සුලූතර ආන්ඩුවක් බලයට පත් වූ අතර, ජර්මනියේ ප‍්‍රථම වතාවට නාසීන් හා සෙසු ජාතිකවාදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීහු එය ඉවසා සිටියහ. මෙකී ආන්ඩුව විසින් බවුහවුස් අරමුදල් ඉවත් කර ගැනුනි.

කාර්මික හා කම්කරු පන්තික නගරයක් වන ඩෙසාවු, බවුහවුසියට නව ආරම්භයක් ලබා දෙමින්, එය නිර්මානශීලී ව සංවර්ධනය කිරීමට දායක විය. අද දක්වා ම චිර පතල බවුහවුස් ගොඩනැගිලි එබිම ඉදි විය: එනම්, ගුරු නිවාස, වෝල්ටර් ග්‍රොපියස් විසින් සැලසුම් කෙරුනු විභූතිමත් වීදුරු මූනතින් යුතු දැවැන්ත පාසල් ගොඩනැගිල්ල, පුලුල් නිවාස ජනපදය හා වෘක්ශෝද්‍යාන සහිත නිවහන් සමූහය ආදිය යි.

-ඩෙසාවුහි පිහිටි බවුහවුස් ගුරු නිවාසයක්

බවුහවුසියෙහි විවිධාංගී සකල ක්ශේත‍්‍රයන්හි මස්තකප‍්‍රාප්තීන්, අද දවස තෙක් ම, අඛන්ඩ ව බලපෑම් සහගත වන අතර, දක්ශිනාංශික ගතානුගතිකයන්ගේ, නාසිවාදීන්ගේ හා ස්ටැලින්වාදීන්ගේ සිට පශ්චාත්-නූතනවාදී ධාරා දක්වා සතුරු ප‍්‍රහාරයන්ගෙන් බේරී ඇත.

බවුහවුසිය දැනුදු උද්දීපනය කරන මනමෝහනය නොතකා, ඒඑෆ්ඩී අඟවන පරිදි, එය “උත්කර්ශයට නැංවීම” ගැන ප‍්‍රශ්නයක් තිබිය නො හැක. එහි ඓතිහාසික සංකීර්නත්වය සහ පරස්පරතා, එහි විවිධ රූපාකාර හා එහි ඓතිහාසික වර්ධනය පිලිබඳ විවේචනශීලී ශාස්ත‍්‍රාලයීය පර්යේශනයන්ට බවුහවුසිය වසර ගනනාවක් මුලුල්ලේ විශය වී ඇත.

නිදසුනක් ලෙස, මේ වසරේ වෙයිමාර්හි පැවති ප‍්‍රදර්ශනයක් බවුහවුස් සාමාජිකයන් ජාතික සමාජවාදය (නාසිවාදය) සමඟ පැටලීම ඉස්මතු කලේ ය. ඔවුන්ගෙන් වැඩි පිරිස නාසීන් යටතේ තම වෘත්තීය ජීවිතය දිගට ම පවත්වාගෙන ගිය හ; නැතහොත්, තම පැවැත්ම සුරක්ශිත කර ගනු වස් ඔවුනට අනුගත වූ හ. කෙසේවෙතත්, නූතනවාදය පිලිබඳ සිය ආරම්භක ඇගැයුමෙහි දී නාසීහු කිසිසේත් ඒකමතික නො වූ හ. නූතන වාස්තුවිද්‍යාව හා සමකාලීන කලාව – ප‍්‍රකාශනවාදය පවා, ඉහලින් අගය කල පාර්ශ්වයක් නාසි පක්ශයෙහි (එන්එස්ඩීඒපී) සිටි නමුදු, එය “පරිහානිගත කලාව” හැටියට පිටමං කිරීම එමගින් වැලකී ගියේ නැත.

බවුහවුස් නියෝජිතයන් විසි දෙනෙකුට අධික පිරිසකට නාසි වධ කඳවුරු තුල දී සිය ජීවිත අහිමි විය. වෝල්ටර් ග්‍රොපියස් හා මයස් වෑන් ඩර් රොහේ4 ඇතුලූ තවත් සමහරෙකුට විදේශගත වීමට හැකි විය. අපරොක්ත තැනැත්තා ද මුල දී නව පාලකයන් සමඟ පෑහීමට ප‍්‍රයත්න දරා ඇත.

බවුහවුසිය සමඟ ඒඑෆ්ඩී මෙතරම් කෝපයෙන් පසුවනුයේ මන් ද?

ඒ වනාහි, මේ කලා පාසල විසින් වර්ධනය කෙරුනු හා ප‍්‍රචාරය කෙරුනු, නවීන මෝස්තර සැලසුම් නිසා හෝ විසිවැනි සියවස වැඩිමනත් ගුනාංගීකරනය කල සරල, කාර්යසාධක ගෘහ නිර්මාන නිසා හෝ පමනක් නො වේ. ඒ වෙනුවට, ධනවාදයේ ලාභය පෙරදැරි කර ගත් සංස්කෘතික ක්ශේත‍්‍රය තුල රැජැයූ සාරසංග‍්‍රහවාදයට හා පුද්ගලවාදයට විකල්පයක් නියෝජනය කල, බවුහවුස් ගුරුගෝල පිරිසගේ සාමූහික වැඩකටයුතු තුලින් විදාරනය විය හැකි ව තිබූ, සකල සියලු කලාත්මක රූපාකාර හා නිර්මානශීලී බලය අතර අන්තර්ක‍්‍රියාව කරනකොටගෙන ය.

“සියලු වර්ගයන්හි නිර්මානශීලී ශ‍්‍රමයේ සමානතාව සහ නූතන ලෝක පර්යාය තුල ඒවායෙහි තාර්කික පූට්ටුව” යනුවෙන්, ග්‍රොපියස් වරෙක නිර්වචනය කල බවුහවුසියෙහි මූලික අධ්‍යාශය කලාව පිලිබඳ ව ප‍්‍රගතිශීලී සංකල්පයක් දරා සිටින අතර, එය කලාව පිලිබඳ ඒඑෆ්ඩී සංකල්පයට ඉඳුරා පටහැනි වෙයි.

සාමාජීය අවශ්‍යතාවන්ට හා ගැටලුවලට බවුහවුසිය මුහුන දුන්නේ මෙකී කලාමය අභිලාශය සමඟිනි. ඒ වනාහි සාමය, සහයෝගීතාව හා සමානතාව උදෙසා පරිශ‍්‍රම දරන මානව සමාජයක සේවය පිනිස, කලාව හා මෝස්තර නිර්මාන ස්ථානගත කිරීම සඳහා මෙවක පවා වලංගු සමකාලීන හා පෙරටුගාමී ප‍්‍රවේශයකි.

බවුහවුසිය බිහි කෙරුනේ පලමුවන ලෝක සංග‍්‍රාමයෙන් අනතුරුව සර්වශුභවාදයේ විප්ලවීය ජීව ගුනයෙනි. එය, විසිවැනි සියවසේ පුරාවෘත්තයක් දක්වා වර්ධනය වී, දැනුදු ජනයා වසඟයට ගනුයේ, කලාකරුවන්ට, මෝස්තර සැලසුම් ශිල්පීන්ට හෝ වාස්තු විද්‍යාඥයන්ට, තමන් පමනක් අවබෝධ කරගෙන තමන්ගේ ම ප‍්‍රතිරූපය අනුව තම සිසුන් වාත්තු කරගත හැකි ස්ථානයක් නො වීම යන කාරනාව නිසා නො වේ. බවුහවුස් කෞතුකාරයන්හි ඇති ප‍්‍රදර්ශන භාන්ඩ මගින් ප‍්‍රකට වන නිර්මානශීලිත්වය බිඳකුදු පැන නැංගේ, වෝල්ටර් ග්‍රොපියස් කරා ආපසු දිවෙන, විවිධාකාරයෙන් අර්ථ නිරූපිත ශික්ශනවිද්‍යා සංකල්පයෙන් නො ව, බොහෝ වෙනස් කලාකරුවන් හා වාස්තු විද්‍යාඥයන් විසින් අනුගමනය කෙරුනු එහි මුඛ්‍ය ලක්ශනයන්ගෙනි.

බවුහවුසියෙහි ප‍්‍රාරම්භක ප‍්‍රකාශනය වූ, “සමාජවාදයේ දෙව්මැඳුර” ලයනල් ෆෙයිනිංගර්5 විසින් අංජිත ආසන දේවස්ථානයකින් (ලී කැපුමකින් - පරි) සැරසී තිබීම අහම්බයක් නො වේ.

-ඩෙසාවු-ටෝටන්හි පිහිටි බවුහවුස් වතුයාය

සැක්සනි-ඇන්හාල්ට් ප‍්‍රාන්ත පාර්ලිමේන්තුව විකාර ඒඑෆ්ඩී යෝජනාව ඉඳුරා ප‍්‍රතික්ශෙප කලේ ය. නමුත්, බවුහවුස් ඩෙසාවු පදනමේ අධ්‍යක්ශිකා බාබරා ස්ටයිනර් පෙන්වා දුන් පරිදි, ඩෙසාවුහි බවුහවුස් ගොඩනැගිලි වසරක් පාසා ලොව පුරා සංචාරකයන් ලක්ශයකට අධික පිරිසක් ආකර්ශනය කර ගැනුම නිසැකව ම කාර්යභාරයක් ඉටු කලේ ය.

ඒඑෆ්ඩී විසින් ස්වකීය පසුගාමී-පෙනුමැති, ජර්මානු ජාතිකවාදී ලෝක දෘශ්ටිය සමඟ අනුරූප නො වන සංස්කෘතික ආයතන වෙත එල්ල කෙරුනු ප‍්‍රථම ප‍්‍රහාරය මෙය නො වන අතර, ඔවුන් බලපෑම්සහගත තත්ත්වයක සිටියේ නම් සිය ආස්ථානය මත පදනම් ව අරමුදල් ඉවත් කර ගනු ලබනවා ඇත.

කලාකෘතීන්ට හා සංස්කෘතික ආයතනවලට එරෙහි ව, ඒඑෆ්ඩී විසින් ගෙනයන දක්ශිනාංශික ව්‍යාපාරය ගැන, දකුනු ජර්මානු පත‍්‍රයෙහි (සූඩොයිශ් සයිටුං) බර්ලින් නාට්‍ය විචාරක පීටර් ලොඩෙන්බාක් අනතුරු ඇඟවී ය. ඒඑෆ්ඩීයේ එබඳු යෝජනා, තව මත් රජයේ ක‍්‍රියාමාර්ගයට කිසිදු බලපෑමක් සිදු කර නො තිබුන ද ගෝනිබිල්ලෙකුගේ නිරූපන ප‍්‍රතිවිපාකවලින් තොර නො වී ය: “සැක්සනි-ඇන්හාල්ට්හි නව සංගීතය වෙනුවෙන් කැප වූ උලෙලකට එරෙහි ව, විවාදාභිමුඛ ව මක්සිම් ගෝර්කි රඟහල සහ බර්ලින් විවිධ ප‍්‍රසංග ශාලාව සඳහා අරමුදල් කපා හැරීමට, ඒඑෆ්ඩී විසින් යෝජනා කරනු ලැබීමෙන් පසු ව ඒවායෙහි කලා අධ්‍යක්ශවරුන් දෙපලට මරනීය තර්ජන එල්ල විය.”

කෙසේ වෙතත්, සෙසු පාර්ලිමේන්තු පක්ශ බැරෑරුම් ලෙස ඒඑෆ්ඩීට විරුද්ධ වන සෙයක් ලොඩෙන්බාක් උපකල්පනය කරන බව පෙනේ. ඵහෙත්, ඔවුහු පවා වඩවඩා ජාතිකවාදය සහ මිලිටරිවාදය වෙත තම ප‍්‍රතිපත්ති නාභිගත කරමින් සංස්කෘතික ක්ශේත‍්‍රයෙහි දැවැන්ත කප්පාදු සිදු කරමින් සිටිති. මේවා, වෙසෙසින් ම, ස්වාධීන සංස්කෘතික සංදර්ශනයන්ට ද සමාජීය හා බහුජාතික ව්‍යාපෘතීන්ට ද බැට දෙති.

ගාසා තීරයේ ජන සංහාරය හෙලා දකින සංස්කෘතික කම්කරුවන්, විද්‍යාර්ථීන් හා සිසුහු, දැනට මත්, “යුදෙව් විරෝධය” යන අපවාදමය චෝදනාව යටතේ පීඩාවටත් වෙනස් ලෙස සැලකීමටත් ලක්ව සිටිති. මිලිටරි අයවැය වෙනුවෙන් සෙසු වියදම් කපා හැරීමේ පීඩනයෙහි ඵලයක් වන සංස්කෘතික ක්ශේත‍්‍රයේ කප්පාදුව මගින් ඒඑෆ්ඩී විසින් ද ඉදිරිපත් කෙරෙන තර්ක සාධාරනීකරනය කෙරෙමින් පවතී.

පරිවර්තනය: දර්ශන මේදිස්

(අක්ශර වින්‍යාසය පරිවර්තකගේ අභිමතය පරිදි ය)

පරිවර්තකගේ සටහන්:

1. බවුහවුස් (1919-1933): මාක්ස්වාදයෙන් හා ඔක්තෝබර් විප්ලවයෙන් පන්නරය ලද ජර්මානු නූතනවාදී වාස්තුවිද්‍යා, ශිල්ප කලා සහ ලලිත කලා පාසලකි. මෙහි ගුරුවරුන් අතර වසීලි කැන්ඩින්ස්කි, පෝල් ක්ලී, මොහොලි නාගි, ඔස්කාර් ශ්ලෙමර්, යොහාන් ඉටෙන් හා ගුන්තා ස්ටොසල් ආදීහු වූහ. රුසියානු රාජ්‍ය කලා හා තාක්ශනික පාසල (Vkhutemas, 1920) මෙහි සෝවියට් රූපාකාරය විය. නාසි පාලනයෙන් එල්ල වූ විරෝධය යටතේ වසා දැමීමට සිදු වුනි.

2. වෝල්ටර් ග්‍රොපියස් (1883-1969): ඉංග‍්‍රීසි සිත්තරෙකු, කැටයම්කරුවෙකු හා සමාජවාදියෙකු වූ විලියම් මොරිස්ගෙන් ආවේශය ලද ජර්මානු වාස්තු විද්‍යාඥයෙකි; බවුහවුසියෙහි නිර්මාතෘ සහ එහි ප‍්‍රථම විදුහල්පති; කෘත්‍යවාදයෙහි (Functionalism) හා අවමතාවාදයෙහි (Minimalism) පීතෘ; ජාත්‍යන්තර ශෛලියෙහි පුරෝගාමියෙකි; ගෘහ නිර්මානය විශයයෙහි වීදුරු-වීදුරු මූට්ටුව සහිත වීදුරු බිත්තිය, සර්පිලාකාර ලෝහ පඩිපෙල හා සුවපහසු කම්කරු තට්ටු නිවාසය හඳුන්වා දුනි.

3. හාන්ස් මේයර් (1889-1954): ස්විට්සර්ලන්ත වාස්තු විද්‍යාඥයෙකි; බවුහවුස් විදුහල්පතිවරයෙකි; රුසියාවට සංක‍්‍රමනය වූ නමුදු, ස්ටැලින්වාදී පීඩනය යටතේ (මොහුගේ භාර්යාව ඝාතනය කෙරී දරුවා අනාථාගාරයකට යැවිනි) යලි සියරට පැමිනියේ ය.

4. මයස් වෑන් ඩර් රොහේ (1886-1969): ජර්මානු වාස්තු විද්‍යාඥයෙකි; බවුහවුසියෙහි අවසන් විදුහල්පති; නූතන ගගන චුම්බිතයෙහි (Skyscraper) පුරෝගාමියෙකි; බවුහවුසිය පුද්ගලීකරනය කලේ ය.

5. ලයනල් ෆෙයිනිංගර් (1887-1956): අමෙරිකානු සිත්තරෙකි; ඡායාරූප ශිල්පියෙකි; බවුහවුසියෙහි ගුරුවරයෙකි.

Loading