ඉදිරිදර්ශන

ට්‍රම්ප්ගේ කැබිනට්ටුව: ඒකාධිපති පාලනය සහ සමාජ ප්‍රතිවිප්ලවය සඳහා සැලසුමක්

(මෙය Trump’s cabinet: A blueprint for authoritarian rule and social counterrevolution මැයෙන් 2024 නොවැම්බර් 24දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

2024 ජනාධිපතිවරනයේ දී, තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පටු එහෙත් තීරනාත්මක ජයග්‍රහනයෙන් යන්තම් සති තුනකට පසු ව, ඔහුගේ සියලු ම කැබිනට් ලේකම්වරුන්, ඉහල පෙලේ ධවල මන්දිර කාර්යය මන්ඩලයන් හා බොහෝ ඉහල උප-කැබිනට් තානාන්තරයන් ඇතුලු පත්වීමට නියමිත ඔහුගේ කැබිනට් මන්ඩලයේ සියලු ඉහල තනතුරු සඳහා ම පාහේ නාමයෝජනා ක්ෂනික ව තෝරා ගැනීමට ට්‍රම්ප් කටයුතු කර ඇත.

නියෝජ්‍ය නීතිපති ධූරයට නම් කරනු ලැබ ඇති සිය පුද්ගලික නීතිඥයාට තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරමින්. පිටුපසින් රතු ටයි පටියක් පැලඳ සිටින්නේ සෙබස්තියන් ගොර්කා යන ෆැසිස්ට්වාදියා ය. [AP Photo/Curtis Means/Dailymail.com]

ට්‍රම්ප්ගේ තෝරා ගැනීම්, පත්වීමට නියමිත ආන්ඩුව මූල්‍ය කතිපයාධිකාරීන් විසින් තමන් සඳහා පාලනය කරන ඔවුන්ගේ ආන්ඩුවක්ය යන මූලික ස්වභාවය සනාථ කරයි. හුදෙක් වාක්‍යාංශයක් නො වන මෙය, බිලියනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් හා ඇබිත්තයන්ගෙන් ද ෆොක්ස් නිව්ස් අයිතිකාර රුපර්ට් මර්ඩොක් නමැති බිලියනපති මාධ්‍ය අධිරාජ්‍ය හිමිකරුවාගේ සේවකයින්ගෙන් ද ට්‍රම්ප් සහ මර්ඩොක් සමග සම්බන්ධ ව සිටින ලොව ධනවත් ම පුද්ගලයා වන එලන් මස්ක් ඇතුලු තවත් බිලියනපතියන් දුසිම් බාගයකින් ද සමන්විත ආන්ඩුවක් ගැන ඍජු විස්තර කිරීමකි.

සමහර විට නව පරිපාලනයෙහි වඩාත් ම වැදගත් ලක්ෂනය වන්නේ, එහි ආන්තික පුද්ගලවාදය යි. නමින් හැරුනු විට අන් සෑම අතකින් ම නායක උතුමානන් වන ට්‍රම්ප් කෙරෙහි පවතින පුද්ගලික කීකරු කම, තෝරාගනු ලැබීම සඳහා වන ප්‍රධාන නිර්නායකයන්ගෙන් එකක් වී ඇති අතර, විශේෂයෙන් ම ධවල මන්දිරයේ සහ සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ආයුධයක් ලෙස මුවහත් කිරීමට ට්‍රම්ප් ඉලක්ක කරන අධිකරන දෙපාර්තමේන්තුවේ තනතුරු ගැන සලකද්දී එය එසේ ය.

අධිකරන දෙපාර්තමේන්තුවේ ඉහල ම තනතුරු හතරකට නාමයෝජනා කෙරී ඇත්තවුන් සියලු දෙනා, ට්‍රම්ප්ගේ හිටපු හෝ වර්තමාන නෛතික නියෝජිතයෝ ය. 2020 වසරේ ට්‍රම්ප්ට එරෙහි පලමු දෝෂාභියෝග නඩුවේ දී ට්‍රම්ප්ගේ නියෝජිතයෙකු වූ ෆ්ලොරිඩාහි හිටපු නීතිපති වන පාම් බොන්ඩි, එක්සත් ජනපදයේ නීතිපති තනතුරට නම් කෙරී ඇත්තේ, ට්‍රම්ප් මුලින් ඇහිඳ ගත් මැට් ගයෙට්ස් විස්ථාපනය කරමිනි.

2021 ජනවාරි 6දා ට්‍රම්ප් උත්සාහ කල කුමන්ත්‍රනයෙන් පැනනැගි මධ්‍ය නඩුවේ දී, ඔහු ව නියෝජනය කල ටොඩ් බ්ලාන්ච් සහ එමිල් බෝව් බොන්ඩිගේ ප්‍රධාන නියෝජ්‍ය නිලධාරීන් දෙදෙනා ය. කොතරම් ප්‍රචන්ඩ, නීති-විරෝධී හෝ ව්‍යවස්ථා-විරෝධී වුවත්, ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ ඕනෑ ම නිල ක්‍රියාවකට එරෙහි ව නඩු පැවරිය නො හැකියි යන එක්සත් ජනපදයට එරෙහි ට්‍රම්ප් නඩුවේ කුප්‍රකට ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවට තුඩු දෙන ලෙස, ට්‍රම්ප්ගේ පැත්තෙන් තර්ක කල ජෝන් බවුවර් සොලිසිටර් ජනරාල්වරයා වනු ඇත. ජනවාරි 20දා ට්‍රම්ප් දිවුරුම් දුන් වහා ම, මුක්තියේ එම ආවරනය විසින් ඔහු ව ආවරනය කරනු ඇත.

ට්‍රම්ප්ගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයේ කලමනාකරු සුසී වයිල්ස් ධවල මන්දිර කාර්යය මන්ඩලයට නායකත්වය දෙද්දී, සංක්‍රමන-විරෝධී ෆැසිස්ට්වාදියෙකු වන ස්ටීවන් මිලර් එම කාර්යය මන්ඩලයේ දෙවැනියා වනු ඇත. ට්‍රම්ප්ගේ තවත් නීතිඥයෙකු වන විල් ස්කාෆ් ධවල මන්දිරයේ ලේකම් ද ට්‍රම්ප් ව උත්කර්ෂයට නංවමින් පොත් පල කිරීමේ කටයුතුවල දී කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හවුල්කරුවෙකු වන සර්ජියෝ ගෝ, පහල මට්ටමේ තනතුරු සඳහා නාමයෝජනා කටයුතු භාර ව සිටින ධවල මන්දිරියේ පුද්ගලික ප්‍රධානියා ද ලෙස පත්කෙරෙනු ඇත.

තීරනාත්මක ධවල මන්දිර පිලිවෙත් සකසන තනතුරු තවත් ෆැසිස්ට්වාදීන් දෙදෙනෙකු විසින් දරනු ඇත. ට්‍රම්ප්ගේ පලමු පරිපාලනය සමයේ, අත්අඩංගුවට ගත් සංක්‍රමනිකයන්ගේ පවුල් වෙන් කිරීමේ පිලිවෙතෙහි කතුරුවරයා වූ ටොම් හෝමන් “දේශසීමා සාර්” වේ. හංගේරියානු ෆැසිස්ට්වාදී වියෙට්ස්ගේ පර්යාය සංවිධානයේ සාමාජිකයෙකු වන සෙබස්තියන් ගොර්කා, ආන්තික බවින් වැඩි යයි සලකනු ලැබූ නිසා 2017 දී ට්‍රම්ප්ගේ පලමු ධවල මන්දිරයෙන් නෙරපා හැරුනි. ට්‍රම්ප්ගේ දෙවන ධවල මන්දිරයේ “ත්‍රස්තවාදය පිලිබඳ උපදේශකයා” වන්නේ ඔහු ය.

2020 සෙනෙට් සභාව තුල දෝෂාභියෝගයට එරෙහි නඩුවේ දී ට්‍රම්ප්ගේ ආරක්ෂක කන්ඩායමේ සේවය කල කොංග්‍රස් සභිකයන් වන හතර දෙනෙකු අනෙකුත් කැබිනට් තනතුරුවලට නාමයෝජිත ය. නිව් යෝක්හි එලිස් ස්ටෙෆානික් එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා ද ටෙක්සාස්හි ජෝන් රැක්ට්ලිෆ් සීඅයිඒහි අධ්‍යක්ෂවරයා ද නිව් යෝක්හි ලී සෙල්ඩින් ඊපීඒ පරිපාලකයා ද ජෝර්ජියාවේ ඩග් කොලින්ස් යුද ප්‍රවීන කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ද වේ.

මල්ලවපොර-ගැත්තන්ගේ සංවිධානයේ ලින්ඩා මැක්මැහෝන් අධ්‍යාපන ලේකම් ලෙස ද එම සංවිධානය පවත්වාගෙන යන තැනැත්තා වන ට්‍රම්ප්ගේ හිටපු ධවල මන්දිර අභ්‍යන්තර පිලිවෙත් උපදේශක කෘෂිකර්ම ලේකම් ලෙස ද වසයෙන්, කැබිනට් හා උප-කැබිනට් නිලධාරීන් සමස්ත කන්ඩායමක් ආනයනය කරනු ලැබ ඇත්තේ ඇමරිකාව පලමුව පිලිවෙත් ආයතනයෙනි.

ට්‍රම්ප්ට කීකරු තැනැත්තන් සමග අතිපිහිත වන අතර ම, ෆොක්ස් නිව්ස් සේවකයින් හා පන්ඩිතයින් ඒ හා සමාන ව අධික ය. පෙන්ටගනයේ ප්‍රධානී තනතුරට යෝජනා කරනු ලබන දීර්ඝ කාලීන ටෝක්ෂෝ නිවේදක පීට් හෙග්සෙත්; ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ලෙස නාමයෝජිත, ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකාවක සිට ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටින්නියක බවට හැරී සිටින තුල්සි ගැබාඩ්; ඊස්රායල තානාපති ලෙස තෝරාගනු ලැබ සිටින අර්කන්සාස්හි හිටපු ආන්ඩුකාර මයික් හුකාබී; නිවාස සහ නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවට තෝරාගෙන සිටින ට්‍රම්ප්ගේ හිටපු ධවල මන්දිර ආධාරකාර ස්කොට් ටර්නර්; ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස තෝරාගෙන සිටින හිටපු කොංග්‍රස් සභිකයෙකු හා රියැලිටි රූපවාහිනී “තරුවක්” වන ශෝන් ඩෆි; සහ ශල්‍යකර්ම ජනරාල් ලෙස තෝරාගෙන සිටින වෛද්‍ය ජැනට් නෙෂෙයිවාත් මොවුන් අතරට අයත් වෙති.

හිටපු ඩිමොක්‍රටිකයෙකු හා එන්නත්-විරෝධී කුමන්ත්‍රන න්‍යායඥයෙකු වන කනිෂ්ඨ රොබට් එෆ්. කෙනඩි, සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ට්‍රම්ප් විසින් තෝරාගත්තේ, රිපබ්ලිකානුවට අනුමැතිය දෙනු වස් ස්වාධීන ජනාධිපති අපේක්ෂක උද්ඝෝෂනය අතහැර දැමීමට උපහාර වසයෙනි. සෞඛ්‍යාරක්ෂනයේ අනෙක් ඉහල තනතුරු ප්‍රදානය කරනු ලබන්නේ, ඒ හා සමාන ව මහජන සෞඛ්‍යයට ආන්තික ලෙස හතුරු පුද්ගලයන්ගෙනි: මෙඩිකෙයා හා මෙඩිකේඩ් සේවා මධ්‍යස්ථානවල ප්‍රධානී තනතුරට ප්‍රසිද්ධ රූපවාහිනී වෛද්‍යවරයෙකු හා පරාජයට පත්වුනු රිපබ්ලිකානු සෙනෙට් සභා අපේක්ෂකයෙකු වන මෙහ්මෙත් ඔස්; ආහාර හා ඖෂධ පරිපාලන ප්‍රධානියා ලෙස, කෝවිඩ් අගුලු දැමීමට හා මුහුනු ආවරන පැලඳීමට විරුද්ධ පුද්ගලයෙකු වන වෛද්‍ය මාටින් මැකරි; රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානවල ප්‍රධානියා ලෙස ගබ්සා-විරෝධී වෛද්‍යවරයෙකු හා හිටපු රිපබ්ලිකානු කොංග්‍රස් සභිකයෙකු වන ඩේව් වෙල්ඩන් ඔවුන් ය.

කෝවිඩ්-19 “පැතිරීමට ඉඩදීමේ” පිලිවෙත වෙනුවෙන් පෙනී සිටින නායක පුද්ගලයෙකු හා මහජන-සෞඛ්‍ය-විරෝධී මහා බැරිංටන් ප්‍රකාශයේ සම-කතුවරයා යන වෛද්‍ය ජේ බටාචාර්ය, ජාතික සෞඛ්‍ය ආයතනයේ ප්‍රධාන තනතුර ලෙස තෝරාගනු ඇතැයි බහුවිධ මාධ්‍ය මූලාශ්‍ර ඉරිදා වාර්තා කලේ ය.

මෙම පුද්ගලයින් මහජන සෞඛ්‍ය සේවය විනාශ කිරීමට දෘෂ්ටිවාදාත්මක ව කැප වී සිටින අතර, සුපිරි-ධනවතුන්ගේ ලාභ අවශ්‍යතා තුල මුල්බැස තිබෙන මෙම මුහුදු බත් මෙහෙයුමට ප්‍රගාඪ සමාජීය හේතු තිබේ. ඇමරිකානු සමාජය පාලනය කරන සියයට එකේ ඉහල ම සියයෙන් පංගුවට, සමාජ ආරක්ෂනය, මෙඩිකෙයා, මෙඩිකේඩ්, අධ්‍යාපනය, ආහාර සලාක සහ වැඩකරන ජනයාට, ඔවුන්ගේ දරුවන්ට හා විශ්‍රාමික දෙමව්පියන් සඳහා කරන අනෙකුත් සේවාවන් මත මධ්‍යම රජයෙන් කරන වියදම නියෝජනය කරන්නේ, එම සුපිරි ධනවතුන්ගේ ම පොකට්ටු තුලට පොම්ප කල හැකි ධනයෙන් කොටසක් අහිමි වීමකි.

(ආන්ඩුවේ කොන්ත්‍රාත්තු හා සහනාධාර මත රැඳී පවතින බොහෝ බිලියන ගනන් සමගින්) ඩොලර් බිලියන 300ට වැඩි තක්සේරුගත ධනයක් දැනට තිබෙන පොහොසත් ම පුද්ගලයා වන එලන් මස්ක් විසින් නායකත්වය දෙන බිලියනපතියන් දුසිම් බාගයේ පුද්ගලිකත්වය තුලින් ට්‍රම්ප්ගේ කැබිනට්ටුව තුල මෙම සමාජ ස්ථරය ඍජු ව නියෝජනය කරනු ලැබේ. මස්ක් සහ ජෙන්-ටෙක් බිලියනපති විවේක් රාමස්වාමි, ට්‍රම්ප්ගේ “ආන්ඩුවේ කාර්යක්ෂතා දෙපාර්තිමේන්තුව” බිහිකිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව සිටින අතර, එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත අරමුන වන්නේ, මධ්‍යම වියදම්වලින් ඩොලර් ට්‍රිලියන 2ක් -මෙය අයවැයෙන් හතරෙන් පංගුවකටත් වැඩි ය- කපා දැමීමත්, මධ්‍යම රජයේ රැකියා ලක්ෂ ගනනක් අවසන් කිරීමත් ය.

භාන්ඩාගාරයේ ලේකම් යන මූලික තනතුරු දරනු ඇත්තේ බිලියනපතියෙකි: මස්ක් සහ ඊටත් වඩා බලගතු වෝල් වීදියේ අවශ්‍යතා අතර අඬදබර කිරීමෙන් පසුව තෝරා ගන්නා ලද හිටපු ඩිමොක්‍රටිකයෙකු හා හෙජ් අරමුදල් ප්‍රධානියෙකු වන ස්කොට් බෙසන්ට් ඒ පුද්ගලයා ය. වෝල් ස්ට්‍රීට් ජර්නලයේ කතුවැකි පිටුව තුල හඬනැගූ පරිදි “ආර්ථික-පිලිවෙත ඒ වෙනුවෙන් ම කඩාකප්පල් කිරීමට. ...ට්‍රම්ප් මහතාට සාර්ථක වීමට අවශ්‍ය නම් ස්ථාවර හා දැනුවත් ආර්ථික පිලිවෙත් සකසන්නන් අවශ්‍ය කරයි” යි ඔවුහු විරුද්ධ වූ හ.

විශේෂයෙන් ම ජර්නලය උත්සුක වූයේ, බලයට පත්වන ට්‍රම්ප් පරිපාලනය ධනවතුන් සඳහා දුන් ට්‍රම්ප්ගේ 2017 බදු කප්පාදු -මේවා 2025 මුල දී අවසන් වීමට නියමිත ය- විස්තීර්න කිරීම සුරක්ෂිත කිරීම අවශ්‍ය බවට යි. මස්ක් විසින් යෝජිත භාන්ඩාගාර ප්‍රධානියා වන ප්‍රතිමල්ලව බිලියනපති හොවාඩ් ලුට්නික්, ඔහුගේ කැන්ටර් ෆිට්ස්ජෙරල්ඩ් බ්‍රෝකර් සමාගම හරහා ක්‍රිප්ටෝ මුදල් ආයෝජන කිරීමට ඕනෑවට වඩා කැප වී සිටීය යනුවෙන් වන උත්සුකතා ද පැවතුනි. සැනසිලි ත්‍යාගයක් ලෙස වානිජ දෙපාර්තමේන්තුව ලුට්නික්ට ප්‍රදානය කෙරුනි.

කැබිනට් මන්ඩලයට ඇතුලත් වන අනෙකුත් බිලියනපතියන් අතරට, බලශක්ති දෙපාර්තමේන්තුවට නම් කර සිටින යෝධ සංගත හිමි ක්‍රිස් රයිට් (පසුගිය වසරේ දී “දේශගුන අර්බුදයක් නැතැ” යි ප්‍රකාශ කලේ ය); තොරතුරු තාක්ෂන බිලියනපතියෙකු වන අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවට නම් කර සිටින උතුරු ඩැකෝටා ආන්ඩුව ඩස් බර්ගම්; සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට නම් කර සිටින ලින්ඩා මැක්මැහෝන් අයත් වෙති.

විශාල හා ආන්තික ලෙස පරපෝෂිත ධනයෙහි ග්‍රහනය තුල එතරම් මුලුමහත් ලෙස සංකේන්ද්‍රිත ආන්ඩුවකට ඇමරිකානු ඉතිහාසය -විය හැකි පරිදි ලෝකයේ කිසිම රටක නවීන ඉතිහාසය-තුල මෙයට පූර්වාදර්ශයක් නැත. ට්‍රම්ප්ගේ මැතිවරන ජයග්‍රහනය පිලිබඳ ව පල කල ආරම්භක විශ්ලේෂනය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය විස්තර කල පරිදි, “දෙවන ට්‍රම්ප් පරිපාලනයක් බලයට ඒම එක්සත් ජනපදය තුල පවතින සැබෑ සමාජ සබඳතා සමග ඇමරිකානු දේශපාලන උපරි-ව්‍යුහය ප්‍රචන්ඩ ලෙස යලි එකෙල්ල වන පරිදි සකස් කිරීමක් නියෝජනය කරයි.”

ධනපති ද්වි-පක්ෂ ක්‍රමයෙහි රාමුව ඇතුලත නාමික විරුද්ධ පාර්ශවය වන ඩිමොක්‍රටික් පක්ෂයෙහි ප්‍රතිචාරය තුල මෙය හුදෙක් ට්‍රම්ප්ගේ නිෂ්පාදනයක් නො ව, පන්ති ප්‍රශ්නයක් බව ප්‍රදර්ශනය කෙරෙයි. දෙවන ට්‍රම්ප් පරිපාලනයට “ඉතා ම මෘදු” පරිපාලන පරිවර්තනයක් සඳහා පොරොන්දු වීමේ දී ජනාධිපති ජෝ බයිඩන් වයෝවෘද්ධ බව හා දාස භාවය ඒකාබද්ධ කරන අතර, ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකයෝ උදාසීනත්වය වගාදිගා කරමින් සිටිති.

එලඹෙන පරිපාලනය පිලිබඳ ව ඇමරිකානුවන් “කලබල විය යුතු නෑ” යි සෙනසුරාදා සීඑන්එන් වෙත කතා කරමින් ඩිමොක්‍රටික් පක්ෂයේ නිව් යෝක් නියෝජිත ට්‍රෙම් සුවෝසි කීවේ ය. “සෑම තනි දෙයක් අරබයා පුපුරමින් හා කෝපයෙන් කටයුතු කිරීමට සෑම අයෙක් ම උත්සාහ කරන්නේ නම්, සැබෑවට ම බලපාන කාරනයන් වෙත අවධානය යොමු කිරීමට ඔබට කිසිදිනක හැකි වන්නේ නැහැ” යි ඔහු කීවේ ය. “අපි අපේ සටන් තෝරාගත යුතු යි.”

“අපි සිදුවීම දැකගන්නා නරක ම දේවලින් අපිට විශ්මයට පත්වන්නට බැහැ” යි බ්‍රහස්පතින්දා පැවති ඩිමොක්‍රටික් පක්ෂ රැස්වීමක දී ධූරයෙන් ඉවත් වන ප්‍රවාහන ලේකම් පීට් බටිගීග් කීවේ ය. “අප ව ම කම්පනයට පත්කිරීමේ අභිප්‍රායයෙන් කරන සමහර දේවලට කම්පනයෙන් යුතු ව ප්‍රතිචාර දැක්වීමට අපි පුරුදු වී සිටිනවා. මෙම කම්පනය හරහා ඉතා ඉක්මනින් අපි ගමන් කිරීම අවශ්‍යයි” යි ඔහු තව දුරටත් කීවේ ය.

මෙම නියෝජිතයා අර්ථවත් කරන්නේ, මහා පරිමාන වටකිරීම්, සිරගත කිරීම් හා පිටුවහල් කිරීම්වලට මිලියන ගනන් සංක්‍රමනිකයන් ව ඉලක්ක කිරීම, ඩිමොක්‍රටික් පක්ෂ නායකයන් නො තකා හැරීමේ අභිප්‍රායයෙන් පසුවන බව යි. ඇමරිකාව තුල ට්‍රම්ප් ආඥාදායක පාලන තන්ත්‍රයක් ගොඩනැගීම කරා ගමන් කරද්දී, පසෙකට වී “අපේ සටන් තෝරාගැනීම” ඔවුන්ගේ අභිප්‍රායය යි. නැතහොත් ඉරිදා ඒබීසී රූපවාහිනයේ “මේ සතිය” වැඩසටහනේ පෙනී සිටි සෙනෙට් සභික ඇමී ක්ලෝබුචාර් කී පරිදි “ඔවුන්ට ඡන්ද තිබෙනවා. ...අවසානයේ දී මෙම ජනයා ව ස්ථානගත කිරීම අවශ්‍ය ද නැද්ද යන්න තීන්දු කරන්නේ එක්සත් ජනපද සෙනෙට් සභාවේ රිපබ්ලිකානුවන්.”

ඩිමොක්‍රටික් පක්ෂයේ එක ම උත්සුකය වන්නේ විශේෂයෙන් යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය ඇතුලු එහි යුද පිලිවෙත බේරා ගැනීම යි. අවසන් සති කිහිපයේ දී න්‍යෂ්ටික යුද්ධයට තර්ජනය කරන මෙම ගැටුම විශාල ලෙස තීව්‍ර කිරීම මත බයිඩන් පරිපාලනය නාභිගත වන්නේ, රුසියාව ඇතුලත ඉලක්කගත නගර මතට එක්සත් ජනපදයෙන් සම්පාදනය කල දිගු-දුර මිසයිල යුක්‍රේනය විසින් යොදාගැනීමට අවසර දීම සමගිනි.

සංගත මාධ්‍ය සලකන විට, ඒවා දැනට මත් නව පරිපාලනයෙහි ප්‍රචාරක හොරනෑව හා ක්ෂමාලාපක ස්ථානය අයත් කරගනිමින් සිටී. ඩිමොක්‍රටික් පක්ෂයට-ගැති අංශයෙහි වචන මාලාවෙන් “ෆැසිස්ට්” යන වචනය හලා දමා ඇත්තේ, මැතිවරන උද්ඝෝෂනයෙහි අවසන් අදියරවල දී ප්‍රමුඛ වසයෙන් භාවිතා කිරීම නො තකා ය. නව පාලන තන්ත්‍රයේ ඉහල තනතුරු එකකට පසු තවෙකකට ට්‍රම්ප් විසින් ෆැසිස්ට්වාදීන් පත් කරද්දී මෙය සියල්ලටත් වඩා සුවිශේෂී වේ.

ඊලඟ ට්‍රම්ප් පරිපාලනයෙහි පිලිවෙත් හා ක්‍රියාවන්ට විරුද්ධත්වය පැමිනෙන්නේ සංගත දේශපාලන ව්‍යුහය ඇතුලතින් නො ව, පහලින් කම්කරු පන්තියෙනි. ඇමරිකානු පාලක පන්තිය පැටවීමට අපේක්ෂා කරන රැකියා විනාශය, ජීවන තත්ත්වයන් කාබාසිනියා කිරීම, සමාජ සේවා හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීම, කෝටි සංඛ්‍යාත වැඩකරන ජනයා පිලි නො ගන්නා තතු තුල, පුපුරනසුලු පන්ති ගැටුම් න්‍යාය පත්‍රයට ඇතුලත් ව තිබේ.

Loading