අරගලයේ නිරතව සිටින පාසල් සංවර්ධන නිලධාරීන්ගේ (පාසනි) අරගලය වටා අවශේෂ කම්කරු පන්තියේ සහයෝගය ගොනු කිරීම සඳහා, ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ක්රිකසා) සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය දිනවල කම්කරුවන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර උද්ඝෝෂනයේ නිරත වූහ. අධ්‍යාපන, සෞඛ්‍ය, දුම්රිය, වරාය, වතු, ඇඟලුම් ආදි ක්ෂේත්‍ර කිහිපයක ක්‍රියාකාරී කමිටු වලින් ක්රිකසා සමන්විත වේ.
වසර 05 ක පමන කාලයක් පාසල්වල ඉගැන්වීමේ කටයුතුවල නිරත වී සිටින පාසනි ගේ යුක්ති යුක්ත ඉල්ලීම වන්නේ කොන්දේසි විරහිතව ඔවුන් ගුරු සේවයට අන්තර්ග්රහනය කර ගුරුවරුන්ට හිමි අයිතිවාසිකම් ලබා දෙනු යන්නයි.
2020 වසරේ සිට බලයට පත් ආන්ඩු, 16000 ක් පමන පාසනිගේ ඉල්ලීම් නොතකා හැර තිබේ. දෙසැම්බර් 02 දා කොලඹ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දහසක් පමන පාසනි සම්බන්ධ වූ විරෝධතාවය විසුරුවා හැරීමට අනුර කුමාර දිසානයකගේ ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ ජාතික ජනබලවේග (ජාජබ) ආන්ඩුව රුදුරු පොලිස් ප්‍රහාරයක් එල්ල කලේ ය. මේ දක්වා පොලිසිය විසින් පාසනි 07 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පාසනි ඇතුලු කම්කරු පන්තියේ ඉල්ලීම ගැටෙන්නේ, දිසානයක ආන්ඩුව විසින් අකුරටම ක්‍රියාවට දැමීමට සපත කර තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල සමගයි. රාජ්‍ය සේවය මිලියන භාගයකින් පමන කප්පාදු කිරීම හා රාජ්‍ය ව්‍යවසාය සිය ගනනක් පෞද්ගලීකරනය, බදු බර තවදුරටත් ඉහල දැමීම හා අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් තවදුරටත් කප්පාදු කිරීම එම වැඩපිලිවෙලට අයත් වේ.
එම ප්රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කිරීමේ තීරනාත්මක අවශ්‍යතාවය පිලිබඳව ගෙන ගිය සාකච්ඡාවට කම්කරුවෝ සහ තරුනයෝ උනන්දු සහගත ප්‍රතිචාරයක් දැක්වූහ. පාසනි ට එල්ල කල පොලිස් ප්‍රහාරය සම්බන්ධව ඔවුන් දිසානයක ආන්ඩුව හෙලා දුටුවෝය.
“වසර 05 ක් වැඩ අරගෙන ආපහු විභාගයකට පෙනී හිටින්න කියන එක වැරදි” යයි ප්‍රකාශ කරමින් දෙමටගොඩ මිහිඳුසෙන්පුර දුම්රිය මහල් නිවාසවල පදිංචි විශ්‍රාමික කම්කරුවෙක් සාකච්ඡාවට පිවිසියේ ය.
ගුරු වෘත්තීය සමිති ඇතුලු වෘත්තීය සමිති ආන්ඩුව පැත්ත ගැනීම පිලිබඳව ඔහු මෙසේ පැවසුවේ ය: “කලින් ආන්ඩුව තියෙද්දි බොරුවට කෑ ගහපු සමිති නායකයෝ දැන් මේ ආන්ඩුවේ ප්‍රහාර සමග පෙලගැසිලා. පොලිස් ප්‍රහාරයේ දී පොලිසියේ දුක් ගැනවිලි ගැන තමයි ඔවුන් උත්සුක වුනේ. පහරකෑමට ලක්වූ ගුරුවරු ගැන නෙමේි”.
ප්‍රහාරයේ දී පොලිස් භටයන්ට කැපුම් තුවාල සිදු කිරීම සම්බන්ධව පාසනිට අභූත චෝදනා නැගීම අලුත් තත්වයක් බව ඔහු ප්‍රකාශ කලේ ය. “පාසනි විසින් පොලිසියට අල්ලා දුන් හමුදා බුද්ධි අංශ පුද්ගලයා ගැන කිසිම තොරතුරක් නෑ. ඒවගේ කට්ටිය තවත් ඉන්ඩ ඇති. පාසනි ආයුධ අරගෙන එන්නෙ නෑනේ. තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නයි ආවේ. ආන්ඩුව දැනුවත්වයි මේවා වෙන්නේ. ආන්ඩුව මේ වගේ දේවල් කරන්නේ ආන්ඩුවට ප්‍රශ්න විසඳන්න බැරි නිසයිි”.
මැතිවරනයට පෙර ජාමූඅ සමග සාකච්ඡා කර ජනතාවට සහන දෙනවා යයි ජවිපෙ/ජාජබ ආන්ඩුව දුන් ව්‍යාජ පොරොන්දු පිලිබඳව ඔහු සඳහන් කලේ පැවති ආන්ඩුවයි මේ ආන්ඩුවයි අතර වෙනසක් නො මැති බවයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවය කරන සංවර්ධන නිලධාරියෙක් මෙසේ ප්‍රකාශ කලේ ය. “අපේම සහෝදර නිලධාරීන්ට එල්ල කර ප්‍රහාරය මම හෙලා දකිනවා. ඒ වගේම ඒ පිලිබඳව මම දැඩි කම්පනයකට පත්වුනා. සංවර්ධන නිලධාරීන් බොහෝ දෙනෙක් මේ ආන්ඩුවට ඡන්දය දුන්නා. එම පක්ෂය දිනවීමට ප්‍රසිද්ධියේ වැඩ කලා. නමුත් දැන් ඔවුන් අතර ආන්ඩුවට එරෙහි විරුද්ධත්වය ගොඩනැගිලා. ”
පසුගිය කාලපරිච්ඡේදය පුරා බලයට පත් ආන්ඩු, උපාධිධාරීන්ට රැකියා ලබා දී තිබෙන්නේ පහල වැටුප් මත සූරාකෑමේ එල්ලයෙන් බව ඔහු පැහැදිලි කලේ ය. ඔහු දැන් නිරත වී සිටින පර්යේෂන සහාකාර තනතුරේ රැකියාවට ඉහල වැටුප් හිමිවිය යුතු වුවත් එම වගකීම් සහගත වැඩ කොටස සංවර්ධන නිලධාරියෙකුට ගෙවන සොච්චම් මුදලට සිදු කිරීමට සිදු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.
“ආන්ඩුවේ ආයතනවල විවිධ රාජකාරිවල සංවර්ධන නිලධාරී නිරත වෙනවා. මට පඩි ගෙවන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්මයි. නමුත් මෙම තනතුර ස්ථිර එකක් නෙවෙයි. ඕනෑම වෙලාවක අප එලියට දාන්න පුලුවන්. ජාමූඅ නියෝග පරිදි රාජ්‍ය සේවය කප්පාදු කලහොත්, අනතුරට ලක්වීමේ රැකියා අතරින් අපේ රැකියා ඉදිරියෙන්ම පවතිනවා” යයි ඔහු පැවසීය.
2019 වසරේ දී බඳවා ගත් බන්ඩාරවෙල පාසලක ක්‍රීඩා උපදේශකවරයෙක් පාසනි ට එරෙහි ප්‍රහාරය හෙලා දුටුවේය. ඔහුගේ පාසලේ බහුතරයක් ගුරුවරුන්, තරඟ විභාගයක් නොතියා පාසනි, ගුරු සේවයට ගැනීමට එකඟ බවත් ජවිපෙ ට පක්ෂපාති ගුරුවරු තරඟ විභාග පැවැත්විය යුතු බව කියා සිටින බවත් පැහැදිලි කලේ ය.
4000 ක් පමන වන ක්‍රීඩා උපදේශකවරුන්ගේ අත්දැකීම ඔහු මෙසේ විස්තර කලේ ය: “පාසල්වල ක්‍රීඩා ගුරුවරුන්ගෙ හිඟයක් තියෙද්දී අපිව අඩු පඩියට ගත්තා. පසුව ගුරු පත්වීම් දෙනවා කියලා. අපි ක්‍රීඩා ගුරුවරු කරන වැඩ සියල්ලම කරනවා. අපේ මූලික වැටුප රුපියල් 27000යි. ආන්ඩු මේ විදිහට තමයි අපිව සූරාකන්නේ. පඩි අඩු නිසා ඔවුන්ගෙන් බොහොමයක් රැකියාවෙන් අස්වෙලා ගිහින්. දැන් ඉන්නේ 2500 ක පමන පිරිසක්.”
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක් කියා සිටියේ පාසනි පුහුනුව හෝ දැනුම ප්‍රමානවත් නොවනවා නම් ගුරු සේවයට බඳවා ගෙන පුහුනු පාඨමාලාවලට යොමු කල යුතු බවයි. “අධ්‍යාපනයේ ගුනාත්මකභාවයේ පිරිහීමකට පාසනි වගකිව යුතු නෑ. හැම ගුරුවරයෙක් ම නිවැරදිව පුහුනු කිරීම අවශ්‍යයි. නැතුව ඔවුන් ඉවත් කිරීම හෝ උද්ඝෝෂනවලට පහරදීම නෙමේ කරන්න ඕනා. ලාභෙට වැඩ ගැනීම තමයි පාසනි බඳවාගැනීමෙන් බලාපොරොත්තු වුනේ. පාසනි එල්ල කර ප්‍රහාරය එන්නේ රාජ්‍ය අංශය කප්පාදු කිරීමේ සැලසුම් හා සම්බන්ධිතවයි” ඇය කියා සිටියා ය.
විශ්වවිද්‍යාලවලින් පිටවන සෑම උපාධිධාරියෙකුට ම රැකියාවක් සොයා ගැනීම පිලිබඳ ප්‍රශ්න ඉදිරියේ දී තවත් උග්‍ර කෙරෙනු ඇතැ යි ඇය ප්‍රකාශ කලා ය. “ජාමූඅ නියෝග යටතේ නිදහස් අධ්‍යාපනය තවදුරටත් කප්පාදු වෙනවා.”
මහනුවර ජාතික රෝහලේ විකිරන ශිල්පියකු ගුරු හිඟය පිලිබඳව අදහස් දැක්වී ය. “ගුරු හිඟය නිසා තමයි ලමයින්ට අමතර පන්තිවලට යන්න වෙන්නේ. දහස් ගනනින් ගුරුවරු බඳවා ගැනීම, වැටුප් වැඩි කිරීම, ගුරු පුහුනුව විධිමත්ව ලබා දීම වැනි කටයුතුවලට වැය වන බිලියන සංඛ්‍යාත මුදල් මේ ආන්ඩුවලින් වෙන් කෙරෙන්නේ නෑ.”
පාසනි ට එල්ල කල ප්‍රහාරය සම්බන්ධව අදහස් දැක් වූ එම සෞඛ්‍ය සේවකයා කියා සිටියේ සෞඛ්‍ය සේවයේ ම එක කොටසකට ප්‍රහාරයක් එල්ල වුනත් අනෙකුත් සෞඛ්‍ය කම්කරුවන් ඊට පෙලගස්වන්න සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ නොකරන බවයි. “ඒ වගේ ශ්‍රේනිවාදී භේදකරනයන්ගේ වාසිය යන්නේ ආන්ඩුවලට තමයි. ආන්ඩුව මෙතනින් නතර වෙන්නේ නෑ. හෙට අනිද්දා අපිටත් පහර දෙන්නේ මේ ආකාරයෙන් ම තමයි. ඒ නිසා කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් පෙරට ගැනීමට ක්‍රියාකාරී කමිටු කරන දැනුවත් කිරීම වැදගත්”.
බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සිට, පුත්තලම දිස්ත්‍රික්කයේ පාසලකට දිනපතා කිලෝ මීටර් 60 ක් පමන දුර ගෙවා පැමිනෙන ගුරුවරියක් සිය අත්දැකීම් විස්තර කලා ය. “මම දැන් වසර 06 ක් තිස්සේ විශාල මුදලක් වැය කරමින් වැඩට එන්නේ. මෙහේ භෞතික විද්‍යා විෂය උගන්වන ගුරුවරු හිඟයි. ඒ නිසා මාරු වෙන්න බෑ. බස්නාහිර පලාතේ පාසල්වල එවැනි විෂයන්වලට පාසලේ සල්ලිවලට ගුරුවරු අරගෙන උගන්නනවා. ඒ වියදම් දෙමාපියන් මත තමයි පැටවෙන්නේ. ආන්ඩුව තරග විභාග ඉස්සරහට දැමීම ප්‍රෝඩාවක්. වෘත්තීය සමිති ආන්ඩුවල ප්‍රහාර වලට එරෙහිව කිසිම සටනක් කරන්නෙ නෑ” යයි ඇය ප්‍රකාශ කලා ය.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවිකාවක් කියා සිටියේ මැතිවරනයට පෙර සෑම අංශයකම කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් සම්බන්ධ අරගල ජවිපෙ වෘත්තීය සමිති විසින් යටපත් කෙරුවේ බලයට පැමින ඒවා විසඳන බව ප්‍රකාශ කරමින් බවයි. “අපි මේ වසරේ දින 70 ට වැඩි කාලයක් වර්ජනය කලා. නමුත් කිසිවක් දිනා ගත්තේ නෑ. දැන් සමිති ආන්ඩුවට යවපු ලියුම් පෙන්න පෙන්න ඉන්නවා. මේ අයවැයෙනුත් සහනයක් නොවුනොත් යලි 2022 වගේ අරගල පුපුරයි” ඇය කීවා ය.
තීරනාත්මක ප්රශ්නය වන්නේ එවන් මහජන නැගිටීම් පදනම් වන්නේ කිනම් දේශපාලන වැඩපිලිවෙලක් යටතේ ද යන කාරනය බව සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ. කම්කරු පන්තියේ බල සංස්ථා ලෙස සෑම ක්ෂේත්රයකම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු ය. එවැනි ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් “කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනයක්” ගොඩනැගීමටත් එමගින් සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමටත් කම්කරු පන්තිය සටන් වැදිය යුතු ය.