[මෙය Pabloite political charlatans hail US-Israeli-Turkish onslaught against Syria මැයෙන් 2024 දෙසැම්බර් 11දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]
අල් කයිඩාවට සම්බන්ධ හයාත් තාරීර් අල්-ශාම් (එච්ටීඑස්) විසින් සිරියාව අල්ලා ගැනීම, දූෂිත මධ්‍යම-පන්තික පැබ්ලෝවාදී පක්ෂවල ජාත්‍යන්තර කන්ඩායමක් ප්‍රමෝදයට පත් කර ඇත. 1953 දී ට්‍රොට්ස්කිවාදයෙන් භේද වුනු, මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩල් නායකත්වය දුන් ප්‍රවනතාවෙන් පැවත එන හෝ එයට සම්බන්ධ මෙම සංවිධාන, අධිරාජ්‍යවාදයේ හොරනෑවන් ලෙස ක්‍රියාත්මක වෙති. සිරියාව තුල වසර 14කට ආසන්න කාලයක් තිස්සේ ගෙන ගිය එක්සත් ජනපද-නැටෝ යුද්ධය ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් ලෙස ඉදිරියට දැමීම, ඔවුහු අඛන්ඩ ව කරගෙන යමින් සිටිති.
සිරියාව තුල දැන් දිගහැරෙමින් පවත්නේ විප්ලවයක් නො ව, ප්‍රතිගාමී, අධිරාජ්‍යවාදීන් නායකත්වය දෙන කැබලි කිරීමකි. දශකයකට අධික කාලයක් පුරා අනවරත ප්‍රහාරයකට ලක් ව ඇති සිරියානු රාජ්‍යය තව දුරටත් නො පවතී. එක්සත් ජනපදය, ඊස්රායලය හා තුර්කිය සිරියානු භූමි භාගය තුල තම අවශ්‍යතා අනුකම්පා විරහිත ලෙස ලුහුබඳිමින් සිටියි. සිරියානු මිලිටරිය විනාශ කිරීමට, වොෂින්ටනය හා ඊස්රායල මිලිටරිය යෝධ බෝම්බ දැමීමේ ප්‍රහාරයක් දියත් කර ඇත. සුන්නි ඉස්ලාම්වාදී එච්ටීඑස්හි ඝාතක කල්ලි, සුලුතර ශියා අලවයිත්වරුන් සමූහ ලෙස මරා දමන වීඩියෝ පවා පලකරමින් සිටිති.
ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා ජනසංහාරය සහ සිරියාව කැබලි කිරීම සමීක්ෂනය කරමින් “අපි මැද පෙරදිග මුහුනුවර වෙනස් කරමින් සිටිනවා” යි උදම් අනන අතරතුර, ව්‍යාජ-වාම හා පැබ්ලෝවාදී පක්ෂ ප්‍රමෝදයට පත් ව සිටියි.
“අසාද් පවුල් පාලනයේ අවසානය සිරියාවේ මහජනයාගේ හා සුලුතරයන්ගේ අයිතිවාසිකම්වලට ද ප්‍රජාතන්ත්‍රවාදයට හා සමාජ සාධාරනත්වයට ද ඉඩ දිය යුතු” යි ප්‍රන්සයේ පැබ්ලෝවාදී නව ධනපති-විරෝධී පක්ෂය (එන්පීඒ) ලියුවේ, “ඔහුගේ පාලනයෙහි අවසානය ගැන අපි ප්‍රීතිවෙමු” යි වැඩි දුරටත් සඳහන් කරමිනි.
“වසර 13ක අරගලයෙන් පසු, සිරියානු විප්ලවය ආඥාදායකත්වය පරාජය කර ඇතැ” යි, ලතින් ඇමරිකාවේ මොරේනෝවාදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කම්කරු ලීගය (එල්අයිටී-සීඅයි) සඳහන් කලේ ය. එහි ප්‍රතිමල්ලව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කම්කරු එකමුතුව (යූටීඅයි-සීඅයි) “මෙම පලමු විප්ලවවාදී ජයග්‍රහනයේ දී අපි සිරියානු ජනතාවට සහයෝගය දෙමින් සහෝදරත්වය ප්‍රකාශ කරනවා” යි ප්‍රකාශ කලේ ය.
“එක් රැයකින්, සිරියාව මැද පෙරදිග වඩාත් ම ආඥාදායක රටෙහි සිට නිදහස් ම රට බවට පත් ව තිබෙනවා. අල් කයිඩාවෙන් භේද වුනු එච්ටීඑස් 2017 දී එහි වර්තමාන නාමය යටතේ යලි සකස් වුනා. වසර ගනනාවක් තිස්සේ ද විශේෂයෙන් ම මෙම නැගී සිටීමේ ගමන් මාවත තුල ද අනෙකුත් ආගමික කන්ඩායම් සහ සුලුතරයන් දරා සිටීම එය විසින් අවධාරනය කෙරී තිබෙනවා” යි ඕස්ට්‍රේලියාවේ සමාජවාදී විකල්පය (සෝල්ට්) පක්ෂයේ කොරේ ඕක්ලේ කීවේ ය.
එච්ටීඑස් විසින් අලවයිත්වරුන් ඝාතනය කිරීම අන්තර්ජාලය හරහා පැතිරෙද්දී, මෙවන් ප්‍රකාශ නිකුත් කරන පක්ෂ සහ පුද්ගලයෝ, අල් කයිඩා, ඊස්රායල හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග තථ්‍ය සන්ධානයක නිරත ව සිටිති.
සිරියාවේ මිලිටරි යටිතල පහසුකම් විනාශ කිරීම සහ එක්සත් ජනපදයේ සගයන් අතර බෙදා ගැනීම සඳහා පදනම සකස් කිරීම ඉලක්ක කරමින්, එක්සත් ජනපද යුද යානා ගුවන් ප්‍රහාර 75ක් ද ඊස්රායල යුද යානා ප්‍රහාර 400ට අධික ගනනක් දියත් කලේ ය. උතුරේ කුර්දි-ජාතිකවාදී හමුදාවන්ට, තුර්කියේ පිටුබලය ලබන සිරියානු නිදහස් හමුදාව (එෆ්එස්ඒ) පහර දෙමින් සිටින්නේ, භූමි භාගය අල්ලා ගැනීමේ සහ එම කලාපය තුල කුර්දි රාජ්‍යයක් ඇටවීම බාධනය කිරීමේ ඉලක්කය සහිත ව ය. සමස්ත ගෝලාන් කඳු අල්ලාගෙන ඇති ඊස්රායලය, එහි පාලනය යටතේ පවතින සිරියානු භූමි භාගය හා සිරියාවේ දමස්කස් අගනුවර අතර “පිරිසිදු” යුද මුක්ත කලාපයක් ඇති කිරීමට පොරොන්දු වී තිබේ.
අද සිරියාව තුල සිදුවෙමින් පවතින්නේ, අධිරාජ්‍ය-ගැති ව්‍යාජ-වාම පක්ෂ දශකයකටත් වැඩි කාලයක් තිස්සේ දෙසන ලද පචවල කටුක ඵලය යි. 2011 වසරේ දී, ඊජිප්තුවේ හා ටියුනීසියාවේ පාලන තන්ත්‍රයන් පෙරලා දැමූ කම්කරු-පන්තික නැගිටීම්වලින් පසු වසර 14 ආසන්න කාලයක් පුරා, සිරියාව තුල තන්ත්‍ර-මාරුවක් සඳහා, ප්‍රතිගාමී අධිරාජ්‍යවාදී පිටුබලය සහිත සුන්නි ඉස්ලාමීය ත්‍රස්තවාදී හමුදාවන් ගෙන ගිය යුද්ධයට ඔවුන් සහයෝගය දී ඇත්තේ, එය ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් යනුවෙන් ගෙන ගිය ප්‍රෝඩාකාරී කඩතුරාව යටතේ ය.
“2011 සිරියානු විප්ලවය සියලු අරාබි කැරලිවලින් වඩාත් ම දුරදිග යන එක වූ නමුත්, නගර සමතලා කරමින්, දසදහස් ගනන් දෙනා සිරගත කරමින් සහ වදබන්ධනයන්ට ලක්කරමින්, මිලියන ගනන් පිටුවහල් කරමින්, තම පාලනය පවත්වාගෙන යනු වස් බෂාර් අල්-අසාද් ගෙන ගිය රුදුරු මූලෝපාය, එහි පලමු මාස කිහිපය තුල අරාබි විප්ලවයට අනුප්‍රානය සැපයූ ප්‍රජාතන්ත්‍රවාදයේ හා නිදහසේ සියලු ස්වප්නයන් තලා දැමීම මුවහත් කරගත්තේ ය” යි ඕක්ලේ කියාපායි.
2011 දී, සිරියාව තුල අධිරාජ්‍යවාදී මැදිහත් වීමට එරෙහි වාමාංශික විරුද්ධත්වය හෙලා දකිනු වස්, “ප්‍රතීක අධිරාජ්‍ය විරෝධය” යන යෙදුම යහමින් යොදාගත් ඕක්ලේ, ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඇති තරම් සන්නද්ධ කිරීමට වොෂින්ටනය ප්‍රතික්ෂේප කිරීම අරබයා සිරියාවේ යුද්ධයට දොස් පවරයි:
අසාද් පාලන තන්ත්‍රය පරාජය කිරීමට කැරලිකරුවන්ට අවසර දිය හැකි ව තිබුනු ඔවුන් ආයාචනා කල ආයුධ සම්පාදනය කිරීම එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කෙරුනා. එය එම ආයුධ සම්පාදනය කිරීමෙන් අනෙකුත් රාජ්‍යයන් ද වැලැක්වූවා. ආඥාදායකත්වයෙන් නිදහස ලැබීම සඳහා සිරියානුවන්ට පැවති අභිලාෂයයන්, නිර්ලජ්ජිත ලෙස සීඅයිඒ/මොසාඩ් කුමන්ත්‍රනයකට නො වැඩි දෙයක් ලෙස නො තකා හල බටහිර වාමාංශයේ බොහෝ ඊනියා අධිරාජ්‍ය-විරෝධීන් සිරියානු විප්ලවයට මඩගැසීමෙන් එම විප්ලවය ආරක්ෂා කිරීමට මෙම පාවාදීම සමත් වුනේ නැහැ. ...
එහෙත් මේ සියල්ල එසේ පැවතිය දී ම, සියලු අපේක්ෂාවන්ට එරෙහි ව, අසාද් ක්ෂනික ව නෙරපා දමනු ලැබ ඇත. සති දෙකකටත් අඩු කාලයක් තුල, උතුරුදිග අලේපෝ නගරය තුල ආරම්භ වුනු කැරලිකාරී ප්‍රහාරයක් අසාද් පාලන තන්ත්‍රය මුලිනුපුටා දැමූ අත්‍යසාමාන්‍ය ජාතික පරිමාන නැගිටීමක් බවට පරිවර්තනය වුනා.
අසාද් “ක්ෂනික ව” හා “සියලු අපේක්ෂාවන්ට එරෙහි ව” එච්ටීඑස් විසින් පෙරලා දමනු ලබන්නේ නම්, එයට හේතුව සෝල්ට් හා එහි සගයන් යථාර්ථයේ දී සිරියානු කැරැල්ලට ලැබී තිබුනේ ඉතා සීමිත මහජන පදනමක් පමනක් බව දැන සිටි නිසා ය. උතුරුදිග සිරියාව තුල එච්ටීඑස් සති දෙකක් ගෙන ගිය ප්‍රහාරයකින් අනතුරු ව, ඔවුන් මත් අඩියක් පසුපසට තල්ලු කරන ලද විට, අසාද් පාලනය ඇද වැටී එයට ක්ෂනික ව බලය පැවරී ය. අසාද් වනාහි මිලියන ගනන් ජනයාගේ විප්ලවයක් තලා දැමීම සඳහා, හමුදාව, ගුවන් හමුදාව හා රසායනික අවි යොදාගෙන ඇති අයෙකු ලෙස ඔවුන් ඉදිරිපත් කල පින්තූරය, දේශපාලනික සුරංගනා කතාවක් විය.
2011 දී ඊජිප්තුව හා ටියුනීසියාව තුල කම්කරු-පන්තික නැගිටීම් පුපුරා ගොස් තිබුනි. සියලු වාර්ගික හා ආගමික පසුබිම් සහිත කම්කරුවන් බලමුලුගන්වමින් තීව්‍ර වුනු වැඩ වර්ජන හා විරෝධතා කැරලි මර්දන පොලීසිය සමග ලේවැකි ගැටුම්වලට තුඩු දුනි. වොෂින්ටනය කම්කරුවන්ට එරෙහි ව ඊජිප්තු හා ටියුනීසියානු පාලන තන්ත්‍රය සන්නද්ධ කරමින් සිටි තතු තුල, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙන් ආයුධ ඉල්ලා සිටීමට කම්කරුවන් සිතුවේ නැත. එහෙත්, මහජනයාට වෙඩි තැබීමට දුන් නියෝගයන්ට හමුදාව අකීකරු වෙද්දී සහ මිලියන ගනන් කම්කරුවන් වැඩ වර්ජනවලට එලඹීම නිසා ආර්ථිකය නැවතෙද්දී පාලන තන්ත්‍රයන් ඇද වැටුනි.
ඉස්ලාමීය කුලීකාර හමුදාවන් යොදා ගනිමින් ලිබියාව තුල තන්ත්‍ර-මාරු කිරීමේ නැටෝ යුද්ධයක මුදුනත සංවිධානය කරන ලද සිරියානු “කැරැල්ලට” තිබුනේ ඉතා වෙනස් ස්වභාවයකි. පලමුව කන්ඩායම්වාදී ඉස්ලාමීය සටන් හමුදාවන් විසින් ද පසු ව කුර්දි-ජාතිකවාදී සටන්කරුවන් විසින් ද නායකත්වය දුන් එම කැරැල්ල, පහර දී පලායාමේ ප්‍රහාර, ත්‍රස්තවාදී බෝම්බ දැමීම් සහ අවසානයේ තුර්කිය හෝ ජෝර්දානය වැනි අසල්වැසි එක්සත් ජනපදයේ මිත්‍ර රාජ්‍යයන්ගේ හමුදා කඳවුරුවල සිට ආක්‍රමනය කිරීම් ආදිය යොදාගත්‌තේ ය.
මෙය “විප්ලවයක්” ලෙස ඉදිරියට දැමීමේ කැත කර්තව්‍යය, පැබ්ලෝවාදී හා ව්‍යාජ-වාම කන්ඩායම් වෙත පැවරුනි. පැබ්ලෝවාදීන් සිරියානු “කැරලිකරුවන්ගේ” කැරොල් කරත්තයට නැග ගනිද්දී, සෑමවිට ම කරන පරිදි, ව්‍යාපාරයෙහි දේශපාලන ක්‍රියාමාර්ගය සහ නායකත්වය කවරක් වී ද යන්න හා එය තුල නිමග්න ව සිටි පන්ති බලවේග පිලිබඳ ප්‍රශ්නය එක්කෝ මුසාකරනය කිරීම හෝ නො තකා හැරීම පැබ්ලෝවාදීන් විසින් සිදු කෙරුනි.
මෙම ඒකාග්‍ර වීම එන්පීඒහි ගිල්බට් අච්කාර් තුල එහි පරිසමාප්ත ප්‍රකාශනය සොයා ගනී. 2011 දී, යුද මූලෝපාය ගැන උපදෙස් දීම සඳහා, සීඅයිඒ පිටුබලය ලබන සිරියානු ජාතික කවුන්සිලයේ නායකයන් මුනගැසීම ගැන ඔහු උදම් ඇනුවේ ය. දැන් බ්‍රිතාන්‍ය මිලිටරියේ ගෙවීම් ලබන උපදේශකයෙකු ලෙස සේවය කරන අච්කාර්, සිරියාව කැබලි කිරීම උත්කර්ෂයට නංවමින් සිටින්නේ, එච්ටීඑස් හමුදාවන්ට ද විරුද්ධ ව මහජන විරුද්ධත්වය පුපුරා යාමේ අන්තරාය ගැන අනතුරු අඟවමිනි.
“පසුගිය සිකුරාදා පටන් දිගහැරුනු විස්මය ජනක ඓතිහාසික සිද්ධීන් නිරීක්ෂනය කරන අතර, පලමු ව සිතට ආ දෙය වූයේ සහනය හා ප්‍රීතියයි” යි අච්කාර් දෙසැම්බර් 11දා ලීවේ, මෙසේ ද සඳහන් කරමිනි: “එච්ටීඑස් ආඥාදායකත්වයට එරෙහි ව යන්තම් මාස අටකට පෙර ඉඩ්ලිබ් කලාපයේ වැසියන් මත් පෙලපාලි ගියේ, අල්-ජුලානි නෙරපා දැමීම, ඔහුගේ මර්දනීය යාන්ත්‍රනය විසුරුවා හැරීම සහ ඔහුගේ බන්ධනාගාර තුල රඳවාගෙන සිටින්නන් නිදහස් කිරීම විධානය කරමිනි.”
යථාර්ථයේ දී, සමස්ත යුද්ධය පුරා පැබ්ලෝවාදීන් සේවය කලේ, ප්‍රතිගාමී බලවේගයන් විප්ලවවාදීන් ලෙස ව්‍යාජ ව ඉදිරියට දමන හුරේ දමන්නන් ලෙසිනි. “කැරලිකරුවන්ගේ” අධිරාජ්‍ය-ගැති දේශපාලනය ප්‍රතික්ෂේප කල ඔවුහු, නිදහස් සිරියානු හමුදාව (එෆ්එස්ඒ) අනාගමික හමුදාවක් ලෙස ඉදිරිපත් කරමින්, කම්කරුවන් විප්ලවවාදී ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටු (එල්සීසී) ගොඩනගමින් සිටින බව කියාපෑවෝ ය. යථාර්ථයේ දී, සිරියානු “කැරලිකරුවන්ට” පර්සියානු ගල්ෆ් තෙල් මෝරුන් හා සීඅයිඒ විසින් අරමුදල් සැපයෙනු ලැබුවේ, ඔපරේෂන් ටිම්බර් සයිකැමෝ වැනි පසු ව ප්‍රසිද්ධියට පත් වුනු වැඩසටහන් හරහා ය.
අද සිරියානු “කැරලිකරුවන්ගේ” ජයග්‍රහනය, පැබ්ලෝවාදීන් එය පිලිබඳ ව ගෙන ගිය ප්‍රචාරය නිශ්චිත ව ම ප්‍රතික්ෂේප කරයි. එහි මහා වැඩ වර්ජන නොපැවතුනි. එල්සීසී කමිටු කොහි වත් දැකගත නො හැකි විය. තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගාන්ගේ ඉස්ලාමීය පාලන තන්ත්‍රය සමග එෆ්එස්ඒ පෙලගැසී සිටින්නේ, කුර්දිවරුන්ට එරෙහි ව ජනවාර්ගික යුද්ධයක් දියත් කිරීමට ය. වොෂින්ටනය සහ ඊස්රායලයේ ජනසංහාරක පාලන තන්ත්‍රය සමග සන්ධානගත ව, අල්-කයිඩාව අසාද් බලයෙන් පහ කිරීමට නායකත්වය දුන්නේ ය.
සමාජයේ ඉහල සියයට 10 තුල සිටින බලවේගයන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා ඉදිරියට දමනු වස්, ප්‍රජාතන්ත්‍රවාදී වාගාලාප යොදා ගන්නා, ධනවත් මධ්‍යම පන්තියේ අධිරාජ්‍ය-ගැති ස්ථර නියෝජනය කරන පැබ්ලෝවාදී පක්ෂවල භූමිකාව සහ සිරියානු යුද්ධය පිලිබඳ ව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) කල අනතුරු ඇඟවීම්, සිරියාව කැබලි කිරීම මගින් මොනවට සනාථ කරයි.
ටියුනිස්හි පැවති වර්ල්ඩ් සෝෂල් ෆෝරම් සැසියක දී, දැනට විසුරුවනු ලැබ ඇති ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය (අයිඑස්ඕ) විසින් සිරියානු යුද්ධයට පක්ෂපාතී ව කෙටුම්පත් කෙරී , එහි ශාස්ත්‍රාලීය ආධාරකරුවන් විසින් අත්සන් කෙරුනු පෙත්සමක්, 2013 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය විභාග කලේ ය. මෙම ඉසවුව “රාජ්‍ය බුද්ධි අංශ සේවකයන් සහ පිලිගත් ධනේශ්වර දේශපාලකයන් රොත්තක් සමග කරේ අත දමා ගෙන, කා බී අන්‍යොන්‍ය ආසක්තතා සහ මූලෝපායයන් සාකච්ඡා කිරීමට මධ්‍යම පන්තික ව්‍යාජ වාමයන්ට අවස්ථාවක් සපයා දුන්නක්” බව අපි සටහන් කලෙමු.
ටියුනිස් හි පැවැත්වුනු .
සිරියානු යුද්ධය “නිදහස හා ආත්මාභිමානය සඳහා වන මහජන විප්ලවයක්” වූ බවට, “ලෝකයට මතක් කිරීමට” පෙත්සම දුන් පොරොන්දුවට ප්‍රතිචාර දක්වමින් අපි මෙසේ ලීවෙමු:
ඇත්ත වශයෙන්ම ලෝකයා ට 'මතක්කරදිය” යුතු කරුනක් මෙහි ඇතිනම් ඒ වනාහි අවුරුදු දෙකක් තිස්සේ අධිරාජ්‍යවාදීන්ගේ සහය ලත් කුලී භටයන් සිරියාවේ ගෙනයන ලේවැකි ඝාතන රැල්ල, 'නිදහස සහ උදාරබව” පසෙක තිබියේවා මොන යම්ම අකාරයක හෝ 'මහජන විප්ලවයකට” නම් සමාන නොවන බවය.
පසුගිය දෙසැම්බරය වන විට අල් නුස්රා සංවිධානය පමනක් ත‍්‍රස්ත බෝම්බ ප‍්‍රහාර 600ක් සිදුකර සිරියානු සිවිල් වැසියන් දහස් ගනනක් මරාදමා ඇති බව එක්සත් ජනපද ආන්ඩුව විසින් ම පිලිගනු ලැබ ඇත. තමන් ඇලෙප්පෝ නුවර අවට ඖෂධ කම්හල් ද ධාන්‍ය ගබඩා ද කොල්ලකා විනාශ කර දමන බව එම සංවිධානය විසින් ප‍්‍රමුඛ පුවත් මාධ්‍ය වලට කියා තිබේ. වසරකට පෙර හවුලා හි කරන ලද නිකායික ඝාතන බඳු ඝාතන වලට ඔවුන් වගකිව යුතුය. ...
නැගෙනහිර මධ්‍යධර ප‍්‍රදේශයේ ද ලෙවන්ට් හි ද සිදුවෙමින් පවතින දෙය නොමිනිය හැකි මහ ගැඹුරු අබිරහසක් නො වේ. සිරියාවේ යුද්ධය වනාහි ඇමරිකානු අධිරාජ්‍යවාදය, තම ගැත්තර, උග‍්‍ර ප‍්‍රතිගාමි ගල්ෆ් රාජ්‍ය පාලකයන්ගේ ද ආධාරයෙන් මැද පෙරදිග සහ මධ්‍යම ආසියාවේ දේශපාලනය තම උවමනාකම් වලට ගැලපෙන පරිදි සකසා ගැනීමේ ප‍්‍රචන්ඩ ප‍්‍රයත්නයෙන් පැන නගින්නකි.
අල් කයිඩා හමුදාන්ට අසාද් විසින් බලය ප්‍රදානය කිරීම ද ධනේශ්වර ජාතිකවාදයට සහ ස්ටැලින්වාදයට හජාජාක දක්වන අශමනීය විරුද්ධත්වය සනාථ කරයි. සිරියානු ජාතිකවාදී බාත්වාදී පාලන තන්ත්‍රයෙහි ද්‍රෝහීත්වය ද නැටෝ බලයන් හා පර්සියානු ගල්ෆ් රාජ්‍යයන්ගේ පිටුබලය ලබන ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්‍රහාරයට එරෙහි ව, අසාද්ගේ හමුදාවන්ට එක්තරා කාලයක් මිලිටරි සහයෝගය දුන්, රුසියානු හා ඉරානියානු පාලන තන්ත්‍රයන්ගේ බංකොලොත් භාවය ද එමගින් හෙලිදරවු කෙරෙයි. සිරියාව අල්කයිඩාවට යටත් කිරීම සූදානම් කරමින්, අරාබි ලීගය හා සිරියානු විරුද්ධ පාර්ශවයේ නිලධාරීන් සමග අසාද් ගෙන ගිය සාකච්ඡාවන් ගැන, ඔවුහු හොඳින් ම දැන සිටිය හ.
රුසියානු හා ඉරානියානු යන කම්කරු පන්තීන් දෙකට ම, 1917 රුසියානු හා 1979 ඉරානියානු විප්ලව තුල විප්ලවවාදී අතීතයක් තිබෙන අතර, පාලන තන්ත්‍ර දෙක ම එම විප්ලවයන්ට ප්‍රගාඪ ලෙස හතුරු ය. 1991 දී, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉස්මතු වූ, ධනපති කතිපයාධිකාරය මුදුනේ ලැග සිටින, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සටන් පාඨය වන්නේ, “20වැනි ශතවර්ෂය තුල අපට ඇති තරම් විප්ලව සිදු වී තිබෙනවා. තවත් නම් එපා!” යන්න යි.
අසාද්ගේ පාලන තන්ත්‍රය කොතරම් ප්‍රතිගාමී වූවත්, හජාජාක ඔහු ව පෙරලා දැමීමේ කර්තව්‍යය පැවරුවේ සිරියානු කම්කරු පන්තියට මිස, අධිරාජ්‍යවාදය සමග පෙල ගැසී සිටින කලාපීය ප්‍රතිගාමී ධනපති පාලන තන්ත්‍රයන්ට නො වේ.
අනෙක් අතට, සිරියාව කැබලි කිරීම උත්කර්ෂයට නංවන පැබ්ලෝවාදී බලවේග, අධිරාජ්‍යවාදයේ අවඥා සහගත ප්‍රචාරකයෝ වෙති. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ඔවුන්ගේ පෙලගැසීමට තුනී දේශපාලන ආවරනයක් සම්පාදනය කිරීමේ ඉලක්කය සහිත ව, ඔවුන් සහයෝගය දෙන අල් කයිඩා හමුදාවන්ගේ ප්‍රතිගාමී භූමිකාව ඔවුන් කෙටියෙන් පිලිගන්නා විට දී පවා, මෙම බලවේගයන්ට සහයෝගය දීම කරා ඔවුහු ඉදිරියට යති.
සිරියාව “ගැඹුරින් කැලැල් වී මිලීෂියාවන් විසින් පාලනය කරනු ලබන” බවත්, එම රට “සකස් කරගත යුතු යෝධ ප්‍රශ්නවලට හා ජයගත යුතු අභියෝගයන්ට” මුහුන දෙන බවත්, ඕක්ලේ පිලිගනී. ඒවායින් එකක් ලෙස ඕක්ලේ ක්ෂනික ව පිලිගන්නේ, ඔහු ඉදිරියට දමමින් සිටින සුන්නි ඉස්ලාමීය හමුදාවන්ගේ ප්‍රතිගාමී හා මර්දනකාරී ස්වභාවය යි: “එච්ටීඑස් වයඹදිග ඉඩ්ලිප් කලාපය වසර ගනනාවක් පාලනය කර ඇත. අසාද් පාලන තන්ත්‍රය හෝ අයිඑස්අයිඑස් වගකිය යුතු පරිමානයට දුරින් වත් සම්බන්ධ නැති විරෝධතා එම කාලය තුල එය විසින් මර්දනය කෙරුනි.”
අධිරාජ්‍යවාදයට හා ධනපති ප්‍රතිගාමීත්වයට විරුද්ධ ව, සිරියාව තුල සිටින විවිධ ජනවාර්ගික හා ආගමික පසුබිම් සහිත කම්කරුවන් එකමුතු කරන ව්‍යාපාරයක් ගොඩනැගිය හැක. 2011 ඊජිප්තු හා ටියුනීසියානු නැගිටීම්වල දී දැකගන්නා ලද ජාත්‍යන්තර කම්කරු පන්තියේ යෝධ බලය, ලෝක යුද්ධයට හා ජනසංහාරයට ලුහුටා යාම නැවැත්වීම සඳහා, බලමුලු ගැන්විය හැකි අතර එසේ කල යුතු ය.
ගාසා ජනසංහාරයට එරෙහි විරෝධතා දිරිසුන් කරන හා දැන් සිරියාව කැබලි කිරීම උත්කර්ෂයට නංවන, පැබ්ලෝවාදී තකතීරුවන් සමග දේශපාලන ගනුදෙනු බේරා ගැනීමක්, මේ සඳහා අවශ්‍ය කරයි. ජනසංහාරයේ විරුද්ධවාදීන් ලෙස ඔවුන් ව්‍යාජ ව පෙනී සිටින නමුත්, සිරියාවේ අනාරක්ෂිත මහජනයා මතට එම මිසයිල හා ෂෙල් වෙඩි ප්‍රහාර ම එල්ල කරන ඊස්රායල හමුදාවට පිටුබලය දෙති. සමාජවාදී, ජාත්‍යන්තරවාදී හා විප්ලවවාදී ඉදිරි දර්ශනයක පදනම මත, ස්වාධීන අරගලයක් තුල බලමුලු ගැන්වීම මගින් පමනක්, කම්කරුවන්ට හා තරුනයන්ට අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්විය හැකි ය.
වැඩිදුර කියවීමට ලිපි:
ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඕර්ගනයිසේෂන් හා සිරියාවට එරෙහි අධිරාජ්‍යවාදී ප‍්‍රහාරය