ප්‍රසිද්ධ රැස්වීම: “ජාමුඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?”

පේරාදෙනිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ සේවකයෝ සසජාතශි රැස්වීමට සහයෝගය දක්වති

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මාතෘකාව යටතේ, ජනවාරි 03 දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන තම රැස්වීම ගොඩනැගීම සඳහා විශ්ව විද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයින් සහ අවශේෂ කම්කරුවන් අතරේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පසුගිය දින කිහිපයේ උද්ඝෝෂනයේ නිරත වූහ. ජනවාරි 03 සිකුරාදා සවස 3.30ට දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ 86 ශාලාවෙහි පැවැත්වෙන රැස්වීමේ අනුග්‍රාහකත්වය දරනුයේ, විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය යි.

අනුප්‍රාප්තික ආන්ඩු, අධ්‍යාපන ක්ෂේත්‍රය තුල දශක ගනනාවක් තිස්සේ ගෙන ගිය වියදම් කැපීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුල, නේවාසිකාගාර, විද්‍යාගාර සහ දේශන ශාලා ආදී යටිතල පහසුකම් වල ද, ආචාර්යවරුන් සහ අනධ්‍යන කාර්ය මන්ඩලයන් ද ඇතුලු මානව සම්පත් වල ද දැවැන්ත හිඟයක් නිර්මානය වී ඇත.

මෙයින් බැටකන පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්, අචාර්යවරුන් සහ අනධ්‍යන සේවකයන් සමග කල සාකච්ඡාවන්හි දී, විශ්වවිද්‍යාල තුල භෞතික සහ මානව සම්පත් හිඟය මෙන්ම, ඔවුන් මුහුන දෙන සමාජ ආර්ථික ගැටලු ද ජාමූඅ හි කප්පාදු හේතුවෙන් වඩාත් තීව්‍රවන ආකාරය සසජාතශි සාමාජිකයෝ පෙන්වා දුන්හ. එම කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කෙරුනු මෙම සාකච්ඡාවන්ට උනන්දු සහගත ප්‍රතිචාරයක් හිමි විය.

විද්‍යා හා කෘෂි පීඨයන් හි සිසුන් කිහිප දෙනෙකු ම ප්‍රකාශ කලේ මෙතෙක් ඔවුන්ට නේවාසික පහසුකම් ලැබී නොමැති බවයි. නේවාසිකාගාර හිඟය හේතුකොටගෙන ඇතැම් වසර වලදී පුද්ගලික නේවාසික ස්ථාන (බෝඩින්) වලට මාරු වීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඒ තත්වය තුල බෝඩින් කාමරවලට රුපියල් 5000/6000 වැනි මාසික මුදලක් වැය කිරීමට සිදු වී ඇති බවත් ආහාර සහ අනෙකුත් වියදම් සඳහා මසකට රුපියල් 30,000 ක් පමන වැය වන බවත් ඔවුහු ප්‍රකාශ කලහ.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් සමග පාසල්සංවර්ධන නිලධාරීන්ගේ අරගලය ආරක්ෂා කිරීම පිලිබඳ සාකච්ඡා කරන සසප සාමාජිකයෝ

විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ප්‍රකාශ කලේ, නේවාසිකාගාර නො ලැබීම හේතුවෙන් රුපියල් 5000 ට බෝඩින් කාමරයක් කුලියට ගැනීමට සිදුව ඇති බවයි. “දෙමාපියන්ගෙන් වියදම් සියල්ල ඉල්ලන්න බැරි නිසා මම අමතර රැකියාවක නිරත වෙලා ඉන්නවා. ශිෂ්‍යාධාරය විදිහට ලැබෙන රු 5000 කොහොත්ම ප්‍රමානවත් නෑ” ඔහු කීවේය. ශිෂ්‍යයන් මේ ආකාරයේ දැවැන්ත ආර්ථික ගැටලු වලට මුහුන දී සිටියදීත්, මහපොල ශිෂ්‍යාධාරය දෙගුන කරන ලෙස ශිෂ්‍ය සංගම් කල ඉල්ලීම වත්මන් ජාතික ජන බලවේගය (ජාජබ)/ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුව ඔක්තෝබර් මාසයේදී ප්‍රතික්ෂේප කලේය.

අධ්‍යාපනය සෞඛ්‍යය වැනි සමාජ සුභසාධනයන් සඳහා රාජ්‍ය වියදම් කප්පාදු කිරීම් ජාමුඅ නියෝගවල මූලිකම කාරනාවක් බව සසජාතශි සාමාජිකයෝ පැහැදිලි කර දුන්හ.

දිර්ඝ සාකච්ඡාවක් අවසානයේදී ඔහු මෙසේ පැවසීය: “ජාමූඅ ප්‍රහාර පරාජය කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් බවත්, ශිෂ්‍යයන් තම ප්‍රශ්න විසඳා ගැනීමට කම්කරු පන්තිය දෙසට හැරී ඔවුන් සමග එක්ව සටන්කල යුතු බවත්, පෙන්වාදෙන ඔබේ පැහැදිලි කිරීම් මට ඉතා අලුත්. එය තවදුරටත් පැහැදිලිකර ගැනීමට මම රැස්වීමට එනවා.”

කලා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු වන සම්පත් ආචාර්යවරුන්ගේ හිඟය පිලිබඳව සඳහන් කරමින් සාකච්ඡාවට එක් විය. “දැන් ඉස්සරට වඩා ලෙක්චර්ස් එක මත එක වැටෙනවා. ඒකෙ තේරුම ආචාර්යවරු නෑ කියන එක. සෞන්දර්ය කලා වගේ විෂයයන් සම්බන්ධයෙන් ගත්තම ආචාර්යවරුන්ට තමන් එතරම් පරිචයක් ලබා නොගත්තු විෂයයන් පවා උගන්නන්න වෙලා තියෙනවා. මේවා කෙලින්ම අපේ අධ්‍යාපනයට බලපානවා.” ඔහු කීවේය.

සිසුන් සමග සසජාතශි සාමාජිකයෙක් සාකච්ඡා කරමින්

පෙර පැවති ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුව ජාමුඅ නියෝග යටතේ ක්‍රියාත්මක කල උපයන විට බදු ඉහල නැංවීමත් සමග 2022 සිට විශ්ව විද්‍යාල වල සිටි ආචාර්යවරුන් මහා පරිමානයෙන් වෙනත් රටවල් කරා සංක්‍රමනය වීම ආරම්භ කෙරුනි. මේ වන විට සමස්ත සරසවි පද්ධතිය සඳහා ආචාර්යවරුක් 12,900 ක් අවශ්‍ය නමුත් දැනට සේවයේ සිටින්නේ 6,548 පමනකි. 2023 මැයි මාසය වන විට විශ්වවිද්‍යාල අතරින් ඉහලම ආචාර්ය හිඟය වාර්තා වී තිබුනේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙනි.

“නමුත් ලංකාව ඉන්න ආර්ථික තත්වයත් එක්ක මේකට විසඳුමක් හිතාගන්න අමාරුයි. ඒකට වැඩපිලිවෙලක් තියෙනවද?” ඔහු විමසා සිටියේය. සම්පත් වැඩි දුරටත් කීවේ ඇමරිකාව වැනි රටවල් කවර ජනාධිපතිවරයෙකු හෝ ආන්ඩුවක් බලයට පැමිනියත් පිලිවෙත් නොවෙනස්ව පැවතුනද ලංකාව වැනි රටක ආන්ඩුවෙන් ආන්ඩුවට පිලිවෙත් වෙනස් වන නිසා එවන් ස්ථිර වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමිය හැකිද යන පැනය මතු වන බවයි.

සසජාතශි සාමාජිකයෝ ඔහුට පැහැදිලි කර දුන්නේ, ගෝලීය ධනපති ක්‍රමය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ ලංකාව සහ ඇමරිකාව ඇතුලු සියලුම ධනපති රටවල පාලක පන්තීන්ගේ පිලිවෙත බවට පත්ව ඇත්තේ, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු මහජන සේවාවන් කප්පාදු කරමින් එම අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම බවයි.

පසුගිය ජනාධිපතිවරනයෙන් වික්‍රමසිංහගේ ආන්ඩුව බලයෙන් පහ කිරීමෙන් පසුව පැමිනි නව ජවිපෙ/ජාජබ ආන්ඩුව පෙර තන්ත්‍රය ක්‍රියාවට දැමූ ජාමුඅ කප්පාදු නියෝග කිසිදු වෙනසකින් තොරව ක්‍රියාවට දමන බව එහිදී පෙන්වා දුනි.

“ජවිපෙ බලයට එනකොට ජාමුඅ ගිවිසුම වෙනස් කරනවා කියලා නේද කිව්වේ. ඒත් දැන් එය අකුරටම ක්‍රියාත්මක කරනවා” යැයි ඉන් පසුව ඔහු පැවසුවේය. වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව මහජනතාව අතර වැඩෙන විරුද්ධත්වය ගසා කෑමට ජවිපෙ එවන් බොරු පොරොන්දු දුන් බව සසජාතශි පැහැදිලි කලහ.

ජාමුඅ ට එරෙහි වීමට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය නමුත්,“කාගෙන්ද ඒක ගන්න පුලුවන් කියන ප්‍රශ්නෙ මතුවෙනවා. ඉන්දියාව කිව්වට නේබර් ෆස්ට් කියලා ඔවුන් බලමින් ඉන්නේ කලාපීය බලවතෙක් හැටියට වර්ධනය වෙන්න. චීනයත් එහෙමයි. කොහොමත් ඒ වගේ රටවල් වලින් ඒකට සහයෝගය ගන්න බෑ. බංග්ලාදේශය, පකිස්ථානය වගේ රටවලට ඒවාට එහෙම ආර්ථික ශක්තියක් ඇත්තෙ නෑ. කොහෙන්ද ඒ සහය ගන්නේ?” යැයි ඔහු විමසා සිටියේය.

ඒ සඳහා ලංකාවේ කම්කරු පන්තියට සහාය ගත හැක්කේ විවිධ රටවල ධනපති පන්තියෙන් නොව තමා සිටින රටවල ආන්ඩුවලට එරෙහිව අරගලයක නියැලී සිටින කම්කරු පන්තියෙන් බව පෙන්වා දුනි. ඒ සඳහා සමාජවාදී ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක අවශ්‍යතාවය පිලිබඳව ඔහු සමග සාකච්ඡා කෙරිනි.

ලංකාවේ ආන්ඩු ගෙන තිබෙන විදේශ නය පිලිබඳව සාකච්ඡා කල තවත් ශිෂ්‍යයෙක් සඳහන් කලේ මෙම නය ලංකාවේ ආන්ඩු ගෙන තිබෙන්නේ කුමක් සඳහා ද ඒවා වියදම් කර ඇත්තේ කුමක් සඳහා ද යන්න පිලිබඳව මහජනතාවට දැනගැනීමට කිසිවක් ප්‍රසිද්ධ කර නොතිබීම ප්‍රශ්නයක් බවයි. “දැන් ඔය ආන්ඩු ජාමුඅ එක්ක කරන සාකච්ඡා, ඔවුන් එක්ක ගහන ගිවිසුම් මේවා එකක් වත් ප්‍රසිද්ධ කරන්නෙ නෑනෙ. අපිට බැරිද තොරතුරු දැනගැනීමේ පනතෙන් මේ තොරතුරු ගන්න” ඔහු විමසා සිටියේය.

මහජනතාව මෙම ලබාගත් නය පිලිබඳව සත්‍යය වසන් කිරීම සඳහා එවන් තොරතුරු හංගා ඇති බව පැහැදිලි කල සසජාතශි සාමාජිකයෝ මේවා වර්ගවාදී යුද්ධයටත්, මහා ධනපතියන්ට ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමටත් ගත් බව පෙන්වා දුන්හ. ඒ කිසිවක් මහජනතාවගේ අවශ්‍යතාවන් සඳහා වියදම් කොට නොමැති බැවින් කම්කරු පීඩිත ජනතාව විදේශ නය ගෙවීමට කරගැසියයුතු නැති බවත් සාකච්ඡා කෙරිනි.

සාකච්ඡා කල ශිෂ්‍යයන් අතරින් සැලකිය යුතු පිරිසකට ජාමුඅ පිලිබඳව පැහැදිලි අදහසක් නොතිබුනු අතර එය පෙන්නුම් කරන්නේ සිසුන් අතර නායකත්වයෙහි ලැග සිටින, වයාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය දෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය සහ ජවිපෙ යටතේ පවතින ශිෂ්‍ය සංගම් ශිෂ්‍යයින්ගේ දේශපාලන විඥානය මොට කර ඇති ආකාරයයි. බදාදා සවස් වරුවේදී ගලහ හන්දියේ වෛද්‍ය උපාධිය පෞද්ගලීකරනය නතර කරන ලෙස ඉල්ලා මහා ශිෂ්‍ය සංගමය විරෝධතාවයක් පැවැත්වූ අතර එහිදී මෙම ප්‍රහාරයන්ගේ මූලය වන ජාමුඅ පිලිබඳව කිසිවක් සඳහන් නොකෙරිනි.

රජවත්තේ පිහිටි අනධ්‍යයන සේවකයන්ගේ නිල නිවාස අතරද සසප සාමාජිකයෝ මැදිහත් වූහ. මෙම නිවාස 1960 ගනන් වලදී තැනූ ඒවාය. සැලකිය යුතු කාලයකින් මෙම නිවාස අලුත්වැඩියා කර නොමැති බව අනධ්‍යයන සේවකයන් සඳහන් කල අතර මෑතකදී නව නිවාස කිසිවක් ඉදිකර නොමැත.

අනධ්‍යයන සේවකයෙකු වන මහින්ද සඳහන් කලේ ආන්ඩුව “කාලයක් දෙන ලෙස” ඉල්ලා සිටියද “කලින් ආන්ඩු බලයට එන්න කලින් කියපු දේවල් බලයට ආවට පස්සේ වෙනස් කරන ආකාරය දැකල තියෙන නිසා” මෙම ආන්ඩුව පිලිබඳව ද ගැටළු මතුවන බවයි.

ඔහු සඳහන් කලේ වියදම් කප්පාදුව හේතුවෙන් අලුත්වැඩියාවෙන් තොර වීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නිල නිවාසද අනධ්‍යයන සේවකයන්ගේ ඒවා මෙන්ම අබලන් වී ඇති බවයි. එමෙන්ම ශිෂ්‍යයින්ගේ දේශන ශාලා ගරා වැටෙන තත්වයට ඇද වැටී ඇති බව ඔහු කීවේය. මෙම ගැටළු ජාමුඅ කප්පාදු යටතේ තවත් ත්‍රීව්‍ර කිරීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව කටයුතු කරමින් සිටින බව සාකච්ඡා කෙරිනි.

“දැන් ආන්ඩුව ඇවිල්ලා ඉවරයිනෙ. ව්‍යවස්ථාවට අනුව අවුරුදු පහක් බලයෙ ඉන්නව. අපි කොහොමද දැන් මේ ප්‍රහාර නතර කරන්නේ?. හැබැයි ගෝඨාභය රාජපක්ෂගෙ ආන්ඩුව කලින්ම පන්නලා දැම්මා. මේ ආන්ඩුවටත් එහෙම වෙන්න බැරි නෑ” යැයි මහින්ද කීවේය. සිදු කල යුතුව පවතින්නේ 2022 මහජන නැගිටීමට අත් කරදුන් ඉරනම මෙන් එක් ධනපති ආන්ඩුවක් විස්ථාපනය කර තවත් ධනපති ආන්ඩුවක් ගෙන ඒම නොව මෙම ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමය පෙරලා දැමීම බව සසජාතශි සාමාජිකයෝ ඔහුට පැහැදිලි කලහ.

2022 දී එම ඉරනම අත් වූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තිය සමිති ඉෂ්ඨ කල ධනපති ගැති පිලිවෙත් නිසා බව පැහැදිලි කල සසජාතශි සාමාජිකයෝ ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති වලින් බිඳී ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවය සාකච්ඡා කලහ.

අනධ්‍යයන කම්කරුවෙකු වන ප්‍රියන්ත කීවේ නව ආන්ඩුවට මහජනතාව ඡන්දය ප්‍රකාශ කලේ පෙර පැවති ආන්ඩුවල දේශපාලනය එපා වීමෙන් බවයි. නමුත් පෙර සිටි “ව්‍යාපාරික කල්ලියම නැවතත් ලාභ ලබාගනිමින් මහජනතාව පෙලමින්” සිටින බව ඔහු කීවේය.

අනධ්‍යයන සේවකයන් මුහුන දී සිටින වැටුප් ප්‍රශ්නය පිලිබඳව ඔහු කීවේ ජවිපෙ නායකයන් අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සාධාරන බව පෙරදී සඳහන් කලද “දැන් ඒ පිලිබඳව කිසිදු දෙයක් කතා නොකරන” බවයි. ජවිපෙ වෘත්තිය සමිති නායකයින් අනධ්‍යයන සේවක අරගලය තුලදී මෙම ගැටළුව විසඳිය යුතු බවට කතා කල ආකාරය ඔහු මතක් කලේය.

ආන්ඩුව රාජ්‍ය සේවයේ රැකියා ලක්ෂ පහමාරක් කප්පාදු කිරීමට සූදානමින් සිටින බවට ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව කල ප්‍රකාශය අනධ්‍යයන සේවකයාගේ අවධානයට ලක්කල පසු ඔහු මෙසේ කීවේය: “අපිට දිගටම රැවටෙන්න බෑ. දැන් ඇති. ඔබලා පැහැදිලි කල දෙයින් තේරුනේ අපිට වෙනස් වැඩපිලිවෙලක් ඕනි කියන එක. කම්කරුවන්ට මේ දේශපාලන දැනුම ලබාගැනීමෙන් තොරව ගොඩයාමක් නෑ. එය වැඩිදුරටත් දැනගන්න මම තුන් වනදා රැස්වීමට එනවා.”

උද්ඝෝෂන වලදී හමුවූ පේරාදෙනිය රෝහල් සේවකයෙකු වන නාලක සෞඛ්‍ය පද්ධතිය තුල පවතින දැවැන්ත ඖෂධ හා වෛද්‍ය උපකරනවල හිඟය පෙන්වා දෙමින් මෙසේ කීවේය. “ඇත්තටම ලෝකයේ ඕනා තරම් ඖෂධ තියෙද්දි තමයි මේ විදිහේ හිඟයක් ඇති වෙලා මහජනයා දුක් විඳින්නේ. මේ තත්වයෙන් ගොඩ ඒම සඳහා තවත් නයගෙන හෝ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගිය යුතුයි.”

ජාමූඅ වැනි ආයතන වලින් නය ගැනීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ, කම්කරු-පීඩිත මහජනතාවට වැඩදායක වන අයුරින්, එම මුදල් නිෂ්පාදන ආර්ථිකය නගා සිටුවීමට හෝ සමාජීය වියදම්වලට යෙදවීම නොවන බවත්, අතීත නය හිමියන්ගේ නය ආපසු ගෙවීමට බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ. එවැනි ඕනෑ ම පියවරක අනිවාර්ය ප්‍රතිඵලය වනු ඇත්තේ, කම්කරු-පීඩිත මහජනයා මත වැඩි දුර කප්පාදු පැටවීමයි.

Loading