ජාමූඅ කප්පාදුවලට එරෙහි සසජාතශි රැස්වීමට පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පැනවූ තහනම

ශාස්ත්‍රාලිකයෝ, ශිෂ්‍යයෝ සහ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ උපකුලපතිගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර හෙලා දකිති

“ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන්, ජනවාරි 03 දා, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි - ශ්‍රී ලංකාව) සංවිධානයේ දේශනය, එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් තහනම් කරන ලදී.

එම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර හෙලා දකිමින් එයට එරෙහිව නැගී සිටින ලෙස, කම්කරුවන්, ශිෂ්‍යයන් සහ ශාස්ත්‍රාලිකයන් කැඳවමින් සසජාතශි නිකුත් කල ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස, දේශීයව සහ ජාත්‍යන්තරව, පුලුල් පරිමානයෙන් විරෝධතා ප්‍රකාශ ලැබෙමින් පවතී.

සසජාතශි ප්‍රකාශයෙන් පැහැදිලි කෙරුනු පරිදි, විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ (දේවිශිස) අනුග්‍රහයෙන්, ජනවාරි 03 දා සවස 3.30 ට, දේශපාලන විද්‍යා අංශය තුල පැවැත්වීමට නියමිතව තිබූ දේශනය සඳහා අවශ්‍ය අනුමැතිය එම අංශයේ ප්‍රධානී මහාචාර්ය උපුල් අබේරත්නගෙන් කල්තියා ලබාගෙන තිබුනි.

කෙසේ නමුත්, රැස්වීම පැවැත්වීමට පැය කීපයක් තිබියදී, දේවිශිස හි අනුශාසක සහ ප්‍රධාන භාන්ඩාගාරික, දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුමුදු වලාකුලුගේ සසජාතශි කැඳවුම්කරුට ලිපියක් එවමින් කියා සිටියේ, දේශනය අවලංගු කිරීමට සිදුවූ බව “කනගාටුවෙන්” දැනුම්දෙන බවයි.

එය පැහැදිලි කරමින් වලාකුලුගේ මෙසේ පවසා තිබුනි: “රැස්වීම ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බවක් නොපෙන්වන ලෙසට දේශනයේ මාතෘකාව සංශෝධනය කර ඒ අනුව ප්‍රචාරය කරන ලෙසට සහ එසේ නොවුවහොත් රැස්වීම වහාම අත්හිටුවන ලෙසට වැඩබලන උපකුලපතිතුමාගෙන්, ශාස්ත්‍ර පීඨාධිපති සහ දේශපාලන විද්‍යා අංශාධිපති හරහා මට පනිවිඩයක් ලැබී ඇත.”

විශ්වවිද්‍යාලයේ උපකුලපතිගෙන් ලැබුනු “පනිවුඩයේ බරපතලකම හේතුවෙන්”, රැස්වීම අවලංගු කරන ලෙස දේවිශිස සභාපතිට උපදෙස් දුන් බව ද ඔහු පවසා තිබුනි.

ඉහත දැක්වූ සසජාතශි ප්‍රකාශය, උපකුලපතිගේ මෙම පියවරෙහි දුරදිගයන ඇඟවුම් පැහැදිලි කරමින් මෙසේ සඳහන් කලේය: “උපකුලපතිවරයාගේ ක්‍රියාවන්, දේවිශිසං, සමස්තයක් ලෙස විශ්ව විද්‍යාල සිසුන්ගේ සහ සසජාතශි හි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.”

ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කරන ලද ප්‍රහාරය හෙලා දකිමින් නිකුත් කෙරුනු ප්‍රකාශ කීපයක් අපි පහත පල කරන්නෙමු.

[ඡායාරූපයඋපුටා ගැනීම: අතුලසිරි සමරකෝන්ගේ ෆේස්බුක් ගිනුමෙන්] [Photo: Facebook/Athulasiri Samarakoon]

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු වන අතුලසිරි සමරකෝන්:

“අද පේරාදෙනියේ වීසී (උපකුලපති) විසින් සිසුන්ගේ ප්‍රකාශනයේ හා භාෂනයේ අයිතියට අත තබා ඇතිබව වාර්තාවෙයි. විසංයෝජනීය ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නා අපට මෙය දැඩි චෝදනාවක් සහ කලකිරීමක් ඇතිකරවන සිද්ධියකි. කුමන තත්වයක් යටතේ හෝ කුමන හෝ පුද්ගලයකුට හෝ පිරිසකට අදහස් දැක්වීමට ඇති අයිතියත් එම අදහස්වල පවතින ප්‍රචන්ඩත්වය හෝ වැදගත්කම විවේචනයට ඇති අයිතියත් අපි පිලිගනිමු. විශ්වවිද්‍යාල යනු අදහස් අතර සටන සිදුවන සහ එම සටන් බසෙහි ප්‍රචන්ඩත්වයටත් අභියෝග කරන තැනයි. පේරාදෙනිය වීසී (උපකුලපති) විසින් ශිෂ්‍යයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට තැබූ අත හකුලාගනු!” (උපුටා ගැනීම: අතුලසිරි සමරකෝන්ගේ ෆේස්බුක් ගිනුමෙන්)

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශය අයත්වන කලා පීඨයේ අධිපති මහාචාර්ය ප්‍රභාත් ඒකනායක: [facebook]

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශය අයත්වන කලා පීඨයේ අධිපති මහාචාර්ය ප්‍රභාත් ඒකනායක:

“උප කුලපතිගෙන් ලියුමක් ආවා මා හරහා දේශපාලන විද්‍යා අංශ ප්‍රධානිට, රැස්වීමේ මාතෘකාව ආන්ඩුවේ ප්‍රතිපත්ති වලට එරෙහි නිසා එය වෙනස් කරන්න, එහෙම බැරිනම් අවලංගු කරන්න කියල....ආරංචිය මේ නියෝගය කොලඹින් ආවා කියලා. කොලඹින් කියන්නේ යූජීසී එකෙන් වෙන්න ඇති....මම ඩීන් වුනාට ඇකඩමික් කෙනෙක් නේ. ජාමූඅ කප්පාදු වැඩසටහන් ගැන මිනිස්සු දැනුවත් කරන්න ඉඩ තියෙන්න ඕන. තමන් පිලිගන්න අදහසක් ප්‍රකාශ කරන්න තියෙන ප්‍රජාතන්ත්‍ර අයිතියට මම ගරු කරනවා. ඔබට පුලුවන් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල විවේචනය කරන්න.” (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර් තාකරුවන් සමග කල සාකච්ඡාවකදී)

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස තමා ලද අත්දැකීම් ඇසුරෙන්, සසජාතශි හි පූර්ව ව්‍යාපාරය වන තරුන සමාජවාදියෝ පිලිබඳව ඔහුට ඇති ගෞරවය පල කරමින් ඒකනායක මෙසේ පැවසීය:

“මියගිය විජේ ඩයස් (සසජාතශි ට නායකත්වය දෙන සමාජවාදී සමානතා පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්) ඉන්න කාලේ ඉඳලා මම ඔබේ ව්‍යාපාරයෙන් බොහෝ දැනුවත් වෙලා තියෙනවා. වර්තමාන ශිෂ්‍යයන්ටත් එම දැනුවත්වීම අවශ්‍ය යි.”

කේ.සිවරාජිනී, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යාවක්:

“පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සසජාතශි දේශනය අවලංගු කිරීම ගැන මම දැඩි ලෙස කම්පාවට සහ අමනාපයට පත් වෙනවා. මෙම තීරනය බලාපොරොත්තු සුන් කරවන්නක් පමනක් නොවේ - එය මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතියක් උල්ලංඝනය කිරීමක්. අපගේ කතා කිරීමේ නිදහසට පහර දීමක්.

“සිසුන් වශයෙන්, වාරනයට බියෙන් තොරව අපගේ ජීවිතයට සහ අනාගතයට බලපාන ගැටලු සාකච්ඡා කිරීමට සහ විවාද කිරීමට අපට අයිතියක් තිබෙනවා. මෙම සංවාද නිහඬ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ශාස්ත්‍රීය නිදහසේ මූලධර්මවලටම පටහැනියි.

“මම මෙම ක්‍රියාව තරයේ හෙලා දකින අතර අපගේ හඬ යටපත් කිරීමට හෝ විශ්වවිද්‍යාලය තුල විවෘත සංවාදය සීමා කිරීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහිව දැඩිව පෙනී සිටිනවා.”

සුමුදු වලාකුලුගේ [ඡායාරූපය: facebook]මගිනි

දේවිශිස අනුශාසක කතිකාචාර්ය වලුකුලුගේ:

“... මාතෘකාව සංශෝධනය කිරීම, සැබෑ අර්බුදය පිලිබඳව විශ්ව විද්‍යාල ප්‍රජාව අතර අන්තර්ඥානය බෙදා ගැනීමට අපේක්ෂා කරන සංගමයේ අරමුනු සමග සමාන්තරව යන්නේ නැත.” (රැස්වීම් තහනම දන්වමින් සසජාතශිට එවූ ලිපියෙන්)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ (FUTA) හිටපු සභාපති සහ කොලඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි:

“මහාචාර්ය ටෙරන්ස් මධුජිත් (පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපකි) වෙතය, මේ වැඩේ වහාම නතර කරන්න. ඔයිට වඩා බොහෝම දරුනු අදහස් මීට වඩා බොහෝ මර්නදකාරී තත්වයන් යටතේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉදිරිපත් වී ඇත. ඔබත් අපත් ඒ දිනවල සටන් කලේ මෙවැනි සීමාවන් පවත්වාගෙන යාමට නොවන බව කරුනාවෙන් සලකන්න.” (නිර්මාල් රංජිත් දේවසිරි ගේ ෆේස්බුක් ගිනුමෙන්)

දේවසිරි, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජාතික ජන බලවේගය (ජාජබ)/ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුව බලයට ගෙන ඒමේදී ප්‍රධාන කාර්යයක් ඉටුකල අයෙකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිකයෙකු වන චමින්ද හෙට්ටිආරච්චි:

“ජාමූඅ කප්පාදුවට එරෙහි සසජාතශි දේශනය තහනම් කරමින්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා සිදුකල අඥාන සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව මම තරයේ හෙලා දකිමි.... මෙම ක්‍රියාව විශ්වවිද්‍යාල පරිපාලනයට නුසුදුසු බව මට පෙනේ. එය විශ්වවිද්‍යාල ප්‍රජාවේ භාෂනයේ නිදහස සෘජුවම උල්ලංඝනය කිරීමකි.” (චමින්ද හෙට්ටිආරච්චි ගේ ෆේස්බුක් ගිනුමෙන්)

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබද්දි, ඔහු තරුන සමාජවාදියෝ (සසජාතශි පූර්ව ව්‍යාපාරය) සමග එක්ව දේශපාලන වැඩකටයුතුවල යෙදුනු බවත්, ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ඒවා කඩාකප්පල් කිරීමට නිරන්තරව උත්සාහ කල බවත් පවසන හෙට්ටිආරච්චි මෙසේ කැඳවුම් කරයි. “ජාතික ජන බලවේගය ආන්ඩුවේ බලපෑම මත විශ්වවිද්‍යාල පරිපාලනය ඉටු කරන ක්‍රියාකලාපයට විරෝධය පල කරන ලෙස සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන්ට මම ආරාධනා කරමි.”

socialist.lk වෙබ් අඩවියේ කතෲ පී.කුරුප්පු:

socialist.lk වෙබ් අඩවියේ කතෲ පී.කුරුප්පු:

“අවසාන මොහෙතේ ඔබ එය (රැස්වීම) අවලංගු කලේ සිසුන්ගේ, ආචාර්යවරුන්ගේ හා පොදුවේ මහජනතාවගේ ස්වාධීන අදහස්වලට පාලක පන්තියේ බිය සහ වෛරය ප්‍රකාශ කිරීමක් ලෙස බව අපි කියමු. මහජනයා සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා නො ගෙන දැන් ආන්ඩුව අනුයන මූල්‍ය අරමුදලේ කප්පාදු සැලසුම් ක්‍රියාවට දැමීමට හැකියාවක් නැත.”

කැනඩාවේ, මොන්ට්‍රියල් හි ශාස්ත්‍රාලිකයෙකු වන ආවාර්ය මාර්ක් ජේම්ස් ලෙගර්:

“ඔබ දන්නා පරිදි, විශ්ව විද්‍යාල සිසුන් අධ්‍යාපනයට එල්ල කරන ප්‍රහාරවලට සහ ජාමූඅ කප්පාදුවේ දරුනු ප්‍රතිවිපාකවලට එරෙහිව අරගලවල නියැලී සිටිති. ආන්ඩුවේ අවමංගත දේශපාලන ආර්ථිකය ගැන සිසුන්ට අවබෝධ කර දීමේ අරමුන ඇතිව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ රැස්වීමක් පැවැත්වීමට සසජාතශි ගත් ආරම්භකත්වයට ගරු කරන ලෙස මම විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා සිටිමි.

“හොඳම අදහස් සහ විසඳුම් ඇති අය ආයතනයන් විසින් මර්දනය කරද්දී මහජනතාවගේ ජීවිත දියුනු වන්නේ කෙසේද?”     

“ධනවාදයේ සීමාවන් විසින් සෑම තැනක්ම අර්බුදයට ගෙන යන බැවින් මෙම ගැටලු විශ්වීය වේ. හෙට දවසේ දූෂිත ගැත්තන් වනු වෙනුවට ඉතා ඉක්මනින්ම නායකයන් වීමට නියමිත සිසුන් වෙනුවෙන්, විශ්වවිද්‍යාල පරිපාලනයට, යුතුකමක් ඉටු කිරීමට පැවරී තිබේ. තමන්ට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න ශිෂ්‍යයන්ට නිර්නය කල හැක. බොහෝ දෙනෙකුට වඩා ඔවුන් දැනටමත් වටහාගෙන ඇති දෑ ප්‍රතික්ෂේප කරන මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රනයක් ඔවුන්ට අවශ්‍ය නොවේ.”

Loading