විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ, දිසානායක ආන්ඩුවේ අයවැයෙන් තම වැටුපට එල්ලකල ප්‍රහාරයට විරෝධය දක්වති

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය (ජාජබ)/ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුව, පෙබරවාරි 17 වැනිදා ඉදිරිපත්කල තම ප්‍රථම අයවැයෙන් ලබා දී ඇති නාමික වැටුප් වැඩිවීම, අහස උසට නැග ඇති ජීවන වියදම පූරනය කිරීමට කිසිසේත් ප්‍රමානවත් නොවීම සහ මෙතෙක් ලැබූ දීමනා කප්පාදු කිරීම කෙරෙහි විරෝධය පාමින්, මාර්තු 04 වැනිදින, ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යන කම්කරුවෝ තම කෑම පැය තුල උද්ඝෝෂනයක නිරතවූහ.

විශ්වවිද්‍යාල සේවකයින්ගේ වැටුප් හා අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව 2025 මාර්තු 4දා මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිකට් කරන අනධ්‍යයන සේවකයින්

වෘත්තීය සමිති නායකයන්ගේ ඉතාම කෙටි දැනුම් දීමකින් පවා උද්ඝෝෂනයට ඉහල සහභාගිත්වයක් පැවතීම තම ඉල්ලීම් දිනාගැනීම සඳහා කම්කරුවන් තුල පවතින දැවෙන උවමනාව ප්‍රකාශයට පත්විය. එදින උද්ඝෝෂනයක් පැවැත්වෙන බව බොහෝ සේවකයන් දැනගත්තේ උදෑසන විශ්වවිද්‍යාලයට පැමිනීමෙන් පසුවය.

උද්ඝෝෂන කැඳවා තිබුනේ විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව මගිනි. ජවිපෙ ට අයත් අන්තර් විශ්ව විද්‍යාල සේවා වෘත්තීය සමිතිය (අවිසේවෘස), එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිදහස් සේවක සංගමය ඇතුලු ධනපති පක්ෂ වලට සම්බන්ධිත වෘත්තිය සමිති සහ කාර්මික නිලධාරී සංගමය බඳු ඊනියා දේශපාලනික නොවන වෘත්තිය සමිති, ඒකාබද්ධ කමිටුව යටතේ නියෝජනය වේ.

කෙසේ නමුත් අවිසේවෘස විරෝධතාවට සහභාගි නොවුනි. පෙබරවාරි 23 දා අයවැයට ආවඩමින් නිවේදනයක් නිකුත් කල අවිසේවෘස කියා සිටියේ, අයවැයෙන් අනධ්‍යන සේවයේ “පහලම සේවකයාගේ පටන් ආසන්න වශයෙන් රුපියල් 3500 සිට ඉහලට අගයන් වලින්” මාසික වැටුප වැඩිවී ඇති බවයි. උත්ප්‍රසය වනුයේ, ඔවුන් ආවඩන අයවැයෙන් අනධ්‍යන සේවකයන්ට ලැබී ඇත්තේ එවන් සොච්චමි මාසික වැටුප් වැඩිවීමක් පමනි. 2022 සිට සියයට 55 කින් ඉහල ගොස් ඇති නිල ජාතික පාරිභෝගික මිල දර්ශකයට අලගු තැබීමටවත් එයට නොහැක.

අනධ්‍යන කම්කරුවන්ගේ විරෝධයට සුව්ශේෂිතව බලපා ඇත්තේ, ඉහත සොච්චම් වැටුප් වැඩිවීම ලබාදෙන අතරේ, තමාට ලැබෙමින් පැවති දීමනා බරපතල ලෙස කප්පාදු කිරීමයි. හිලවු දීමනාව (එම්සීඒ) සියයට 9 කින් කප්පාදු කෙරී ඇති අතර, වැඩභාරය අධිකවීම හේතුවෙන් 2014 ජූනි මාසයේ සිට ලබා දුන් මූලික මාසික වැටුපෙන් සියයට 20 ක දීමනාව සම්පූර්නයෙන්ම කපාදමා ඇත. 2014 දී වසර දෙකක සිසුන් ඇතුලත් කර ගැනීම හේතුවෙන් වැඩිවූ වැඩභාරය පූරනය කිරීමක් ලෙස මෙම දීමනාව ලබා දුන් අතර, එය මෙතෙක් අඛන්ඩව ක්‍රියාත්මක කෙරුනි.

පෙර දී පැයක අතිකාල දීමනාව ගනන් බැලුවේ, දිනකට පැය 8 බැගින් මසකට දින 20 ක් සේවයේ යෙදෙතැයි සලකා, මාසික වැටුප 160 න් බෙදීමෙනි. නව අයවැය මගින් එම ගනන් බැලීම සිදු කෙරෙනුයේ, මසකට දින 30 ක් සේවයේ යෙදෙතැයි සලකා මාසික මූලික වැටුප 240 න් බෙදීමෙනි. දැනටමත් අතිකාල පැය 20කට සීමා කොට ඇති තත්වයක් යටතේ එමගින් තම ආදායම පහල යනබව සේවකයෝ පවසති.

2023 දී එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාවට දැමූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු මඟින් කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන්ට එල්ල වූ ප්‍රහාරය හමුවේ සෑම ක්ෂේත්‍රයකම කම්කරු පන්තික අරගල ඇවිලී ගියේය. අනධ්‍යන කම්කරුවන්ගේ අරගලය පැනනැගුනේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා කල ඉල්ලීමක් මුල්කර ගනිමිනි.

දීර්ඝකාලීන වැටුප් විෂමතා නිවැරදි කිරීම හරහා සියයට 15 ක වැටුප් වැඩිවීමක් සහ මාසික හිලවු දීමනාව (එම්සීඒ) සියයට 25 කින් වැඩි කිරීමක් ඉල්ලා 2024 මැයි 02 දින ඇරඹුනු විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය දින 75ක් පුරා පැවතුනි. අනධ්‍යන සේවකයින් 13,000 පමන සහභාගිවූ එම වැඩවර්ජනය, වෘත්තීය සමිති නිලධරය විසින්, රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ අධ්‍යාපන ඇමතිගේ ව්‍යාජ පොරොන්දු වලට යටත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් වලට ගැලපෙන පරිදි පාවාදෙන ලදී.

ජනාධිපති වික්‍රමසිංහ විසින් කලින් යෝජනා කරන ලද 'විශේෂඥ කමිටුවක්' හරහා 2025 වසරේ ජනවාරි මාසය වන විට වැටුප් විෂමතා 'නිවැරදි කිරීමට' මෙම නිලධාරීන් පොරොන්දු වූ බවත්, එම්සීඒ වැඩිවීමක් සඳහා වැඩ 'ඉක්මනින්' ආරම්භ කරන බවත් එම පාවාදීමේ ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටුකල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත වැඩවර්ජනය අවසන් කරමින් පැවසීය.

වර්තමාන ආන්ඩුව බලයට පැමිනියේ තම ආන්ඩුවක් යටතේ අනධ්‍යන කම්කරුවන්ගේ ඉල්ලීම් ලබාදෙන බවට දස අතේ පොරොන්දු දෙමිනි. වර්තමාන ජනාධිපති දිසානායක, එවක පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කියා සිටියේ, අනධ්‍යන සේවකයන්ට එම්සීඒ දීමනාව සියයට 25 දක්වා වැඩිකල යුතුබව යි.

පසුගිය වසරේ ජනාධිපතිවරනයට ඉහත පන්ති අරගල ඉහල යද්දී ජවිපෙ වෘත්තීය සමිති මධස්ථානයේ නායක වර්තමාන කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් ඇමති ලාල් කාන්ත කම්කරුවන්ට කියා සිටියේ, කම්කරු අරගල නවතා ජනාධිපතිවරනයේදී ජවිපෙ ජයග්‍රහනය පිනිස කැපවිය යුතු බවයි.

ජාමූ අරමුදලේ කම්කරුවන්ට අහිතකර නියෝග සාකච්ඡා කොට වෙනස්කර ගතහැකි බව පැවසූ ජවිපෙ නායකත්වය අනුව යමින්, අවිසේවෘස, විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තුල සිටිමින් පාවාදීමේ සැලසුම ක්‍රමානුකුලව ක්‍රියාවට දැමීමට කටයුතු කලේය. එය සිදුකලේ, වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයෙන් මෙහෙයවුනු “ජාතික සේවක සංගමය” සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ “පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමය” (වර්තමානයේ “ස්වාධීන ඒකාබද්ධ වෘත්තීය සමිති කේන්ද්‍රය') සමග ඒකාබද්ධවය.

ජවිපෙ ජාජබ ආන්ඩුව පිහිටවූ දින සිටම කම්කරුවන්ට මවා පෑ පොරොන්දු කුනුකුඩයට විසිකරමින්, ජාමූ අරමුදලේ නියෝග අකුරටම ක්‍රියාත්මක කරන අතර, එයට එරෙහිව නැගෙන කවර හෝ විරෝධයක් රුදුරු ලෙස යටපත් කිරීමට සියලු පියවර ගනිමින් සිටී.

ඇමති ලාල් කාන්ත පසුගිය දිනක සිය වෘත්තීය සමිති රැස්වීමකදී ඉල්ලා සිටියේ තමන්ට ලැබුනු ජනමතයට අනුකුලව නොහැසිරෙන කම්කරුවන්ට විරුද්ධව පියවර ගැනීමට, ජවිපෙ වෘත්තීය සමිති, “ආන්ඩු කරන වෘත්තීය සමිති” බවට පෙරලිය යුතු බවයි. දැන් ජවිපෙ වෘත්තීය සමිති හැසිරෙන්නේ ඒ අනුවයි.

අවිසේවවෘස සභාපති විජේතිලක ජයසිංහ අයවැය ගැන මෙසේ පැවසීය: “අයවැයට පෙර මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කලා. මෙම යෝජනාවල හොඳ මෙන්ම නරකත් පවතිනවා'. එහි අර්ථය, “ආන්ඩු කරන වෘත්තීය සමිති” නායකයෙකු ලෙස ඔහු, අනධ්‍යන සේවක දීමනා කප්පාදුවට සම්මාදම් වී ඇති බවයි.

අනෙක් අතට, තමන් දේශපාලනයකින් තොරව වැඩකරන බව පවසන විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්.ප්‍රියන්ත, ජාජබ/ජවිපෙ ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි බව ඔහුගේම ප්‍රකාශයකින් එලිමහනට පැමිනියේ ය. මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පසුගිය දා ප්‍රියන්ත මෙසේ කියා සිටියේය: “අප මේ ආන්ඩුවට උදවු කලේ ජනතාවාදී ආන්ඩුවක් හදාගන්න.”

තම සාමාජිකයන්ගේ ඇස්වලට වැලිගසනුවස් දැන් ඔහු පවසන්නේ අයවැය සම්මතවීමට පෙර මෙම කප්පාදු නිවැරදි කරගතයුතු බවයි.

මෙලෙස ජාමූඅ හි කප්පාදු කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට වෘත්තිය සමිති ආන්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියා කරන අතරේ, විශ්වවිද්‍යාල තුල අනධ්‍යන කම්කරුවන්ගේ රැකියා විශාල වශයෙන් කප්පාදු කෙරෙමින් පවතී. එමෙන්ම, රැකියාවෙන් විශ්‍රාම යන සේවක පුරප්පාඩු නොපිරවීම නිසා සේවකයන් මත අධික වැඩභාරයක් පැටවී ඇත.

අනුප්‍රාප්තික ආන්ඩුවල කප්පාදු හේතුවෙන්, සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටෙමින් පවතී. නේවාසිකාගාර, දේශන ශාලා සහ විද්‍යාගාර ඇතුලු භෞතික සම්පත්වල සහ අධ්‍යන/අනධ්‍යන කාර්ය මන්ඩලයන්හි දැඩි ඌනතාවයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පීඩා විඳිති.

2025 අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 619 ක් වෙන්කල බවටත්, දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 6.9 ක් වන එය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන් කෙරුනු වැඩිම මුදල බවටත් ආන්ඩුව පම්පෝරි ගැසුව ද, එය මෙතෙකුදු පවතින්නේ යෝජනා මට්ටමේ ය. එය යතාර්ථයක් බවට පත්වුවද, අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සිදුව ඇති දැවැන්ත පරිහානිය සැලකූ විට එය කිසිසේත්ම ප්‍රමානවත් නොවේ. අනෙක් අතට, පසුගිය දශක කීපය තුල වේගයෙන් ක්‍රියාත්මක වූ අධ්‍යාපනයේ පුද්ගලීකරනය, ජාජබ/ජවිපෙ ආන්ඩුව යටතේ ඉදිරියටම යනු ඇත.

මෑත කාලීන මෙන්ම, පසුගිය දශක කීපයේ, ජාතික සහ ජාත්‍යන්තර අත්දැකීම් අනධ්‍යන කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පංතියට පහත පාඩම් කියා දෙයි:

* ගෝලීය ධනේශ්වර අර්බුදයේ ගැඹුරුතම ප්‍රකාශනයක් වන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ, ජාත්‍යන්තර ප්‍රග්ධනයේ අවශ්‍යතා ඉටුකිරීමට සපත වී සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් අනධ්‍යන කම්කරුවන්ට මෙන්ම කම්කරු පන්තියේ කවර හෝ කොටසකට සිය ඉල්ලීම් දිනාගත නොහැක.

* එමෙන්ම, ධනවාදයට පක්ෂපාතී සහ ජාමූඅ කප්පාදු පියවරයන්ට සහාය දක්වන වෘත්තීය සමිති නිලධරයන් යටතේ ඔවුන්ට සැබෑ අරගලයක් කල නොහැක.

* එබැවින්, වැටුප් හා සේවා කොන්දේසි සඳහා වන සටන කම්කරු පන්තිය තමන්ගේ අතට ගත යුතුය.

මේ සඳහා, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, විශ්වවිද්‍යාල ඇතුලු සියලුම සේවා ස්ථානවල කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ. ශ්‍රේනි මත පදනම්ව කම්කරුවන් බෙදීමට වෘත්තීය සමිති දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කරමින්, ආමූඅ හි ප්‍රහාරයන්ගෙන් බැටකන සමස්ත කම්කරු පන්තියේ එක්සත්කම සඳහා මෙම ක්‍රියාකාරී කමිටු සටන් කල යුතුය.

මෙම සටන, ජාත්‍යන්තර ප්‍රාග්ධනයට එරෙහි සටනක් බැවින්, ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර අරගල සඳහා සම්බන්ධීකරන මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කිරීමට, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග සම්බන්ධ විය යුතුය.