[මෙය Sri Lankan president warns against any attempt to destabilise his government යන මැයෙන් 2025 මාර්තු 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
සිකුරාදා (පෙබරවාරි 28) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක, තම ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව එය පෙරලා දැමීමට ගන්නා ඕනෑම උත්සාහයක් නවත්වන බවට අනතුරු ඇඟවීය. මෙම ප්‍රකාශය කරන ලද්දේ, 2025 අයවැය පිලිබඳ පාර්ලිමේන්තු කමිටු විවාදයක් තුල, පැයකට ආසන්න කාලයක් පැවත්වූ කතාවකදී ය.
ආර්ථිකයේ ඇතිවන හෝ පක්ෂ අභ්‍යන්තර අර්බුදයකට සහ මෑත ඉතිහාසයේදී සිදුවූ ලෙස “ජනතාව පාරට බැහැල උද්ඝෝෂනය කරල” හෝ ජාතික ආරක්ෂාව බිඳවැටීමකට හෝ ප්‍රතිචාර වශයෙන් ආන්ඩුව වෙනස් කිරීමේ පෙර ක්‍රමවේදයන් ගැන දිසානායක සඳහන් කලේ ය. අනාගතයේදී කිසිදු විපක්ෂයකට එවැනි අවස්ථාවක් නොලැබෙන බවත්, මෙම ආන්ඩුව පෙරලා දැමීමට නොහැකි වනු ඇති බවත් ඔහු පැවසීය.
දිසානායක විරුද්ධ පක්ෂවලට පිලිතුරු දෙන බවක් පෙනෙන්නට තිබුනද, ඔහුගේ ප්‍රකාශයේ සැබෑ ඉලක්කය වූයේ, කම්කරු පන්තිය සහ ග්‍රාමීය දුප්පතුන් තුල, ඔහුගේ ආන්ඩුවේ කඩවුනු පොරොන්දු සහ සමාජ තත්වයන්ට එල්ල කරන ප්‍රහාර කෙරෙහි එහි වැඩෙන කෝපයයි. “මෑත ඉතිහාසය” පිලිබඳ ඔහුගේ සඳහන, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහ කල 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම් සහ ජාතික වැඩවර්ජන ගැන ය.
සමගි ජන බලවේගය (සජබ), එවකට පාලක පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ), එක්සත් ජාතික පක්ෂය සහ දෙමල පක්ෂ ඇතුලු අනෙකුත් සියලුම විරුද්ධ පක්ෂ සමග දිසානායකගේ ජවිපෙ/ජාජබ ද දමහජන නැගිටීමට සතුරු විය; බිය විය.
2022 අප්‍රේල් 7 වන දින පාර්ලිමේන්තුව ඇමතූ දිසානායක, මහජන විරෝධතා සහ වැඩවර්ජන රට “අරාජිකත්වය” කරා තල්ලු කරමින් සිටින බවට අනතුරු ඇඟවූ අතර, රට පුරා ව්‍යාප්ත ව ඇති ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා ප්‍රතිපත්ති හඳුන්වා දෙන ලෙස විපක්ෂයෙන් සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් ඉල්ලා සිටියේය. මාස හතරක් තිස්සේ, සජබ, වෘත්තීය සමිති නිලධරයන් සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමඟ සම්බන්ධීකරනයෙන්, ජවිපෙ/ජාජබ, ආන්ඩු විරෝධී නැගිටීම පීලි පැන්නවීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය.
දිසානායකගේ සැබෑ බිය කම්කරු පන්තියයි. ඔහු, රාජපක්ෂ වෙනුවට පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව 2023 දී වැඩ වර්ජන සහ විරෝධතාවලින් පසුව පසුගිය වසරේ බලයට පත් විය. දිසානායක විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඉල්ලීම් රුදුරු ලෙස ක්‍රියාත්මක කිරීම ගැන උරනවී සිටින කම්කරු පන්තිය දැන් නව තන්ත්‍රය සමඟ ගැටුම් ඇති කර ගැනීමට පටන් ගෙන තිබේ.
2025 අයවැයෙන් දීමනා කප්පාදු කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය කරන බවට තර්ජනය කර ඇති අතර, එම කාරනය සම්බන්ධයෙන් ම මාර්තු මාසයේදී ජාතික විරෝධතා සැලසුම් කරන අනෙකුත් සෞඛ්‍ය සේවකයින් ද සිටී. සංවර්ධන නිලධාරීන් සහ ගුරුවරුන් ඇතුලු අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින් ද, ඉහල යන ජීවන වියදමට නොසරිලන ජාමූඅ ඉල්ලීම් අනුව සකස් කරන ලද “වැඩිවීමක්” වන අයවැයේ සුලු වැටුප් වැඩිවීම හෙලා දැක ඇත.
දිසානායක සිය කතාව ආරම්භ කලේ, ජාමූඅ න් අද දින “ඉතාමත්ම සුභදායී ප්‍රතිඵලයක් ඒවි” යනුවෙන් උද්දාමයෙන් යුතුව ප්‍රකාශ කරමිනි—එය, ඩොලර් බිලියන 3 ක ඇප නය මුදලේ සිව්වන වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 334 නිදහස් කිරීමට ඇති ඉඩකඩ පිලිබඳ සඳහනකි.
වාරිකය නිවේදනය කරමින්, ජාමූඅ, තම ඉල්ලීම් අනුගමනය කිරීම ගැන කොලඹ ආන්ඩුවට ප්‍රශංසා කලේය. කෙසේ වෙතත්, ජාමූඅ නියෝජ්‍ය කලමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා, ශ්‍රී ලංකා ආර්ථිකය “තවමත් අවදානමට ලක්ව ඇති… [සහ] ප්‍රතිපත්ති දෝෂ සඳහා ඉඩක් නොමැති” බවට, එනම් එහි කප්පාදු පියවර සම්පූර්නයෙන්ම පැනවිය යුතු බවට අනතුරු ඇඟවූවේය.
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුද්ගලීකරනය කිරීම, ලක්ෂ සංඛ්‍යාත රැකියා කප්පාදු කිරීම, අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා සඳහා බදු වැඩි කිරීම, සහනාධාර සඳහා ආන්ඩුවේ අරමුදල් කප්පාදුව සහ සොච්චම් වැටුප් වැඩිවීමක් මෙයට ඇතුලත් ය.
දිසානායක මෙම කතාව කලේ, පෙබරවාරි 19 වන දින, අධිකරන කටයුතු අතරතුර, මැර කල්ලි නායකයෙකු විසින් තවත් පාතාල කල්ලි නායකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු, රට “ජාතික ආරක්ෂක තර්ජන” වලට මුහුන දී ඇති බවට විපක්ෂ මන්ත්‍රීවරුන් කල ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙනි.
ජාතික ආරක්ෂාව බිඳ වැටී නොමැති බවත්, ආන්ඩුව රාජ්‍යය ශක්තිමත් කරමින් සිටින බවත් ජාජබ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහතික විය. වැඩ කරන ජනතාවට එරෙහිව රාජ්‍ය යන්ත්‍රය ගොඩනැගීම සඳහා පාලක පන්තිය විසින් 'ජාතික ආරක්ෂාව' පිලිබඳ උද්ඝෝෂන සැමවිටම භාවිතා කරනු ලැබේ.
දරුනු ලෙස නරක අතට හැරී ඇති මෙම ගැටලුව, විපක්ෂයට සහ ආන්ඩුවට මිලියන සංඛ්‍යාත වැඩ කරන ජනතාව සහ පීඩිතයන් මුහුන දෙන සැබෑ සමාජ ගැටලු—විරැකියාව, දරිද්‍රතාවය සහ ඉහල ජීවන වියදම—වසං කිරීමට මඟක්ද සපයා තිබේ.
දිසානායකගේ කතාවේ විශාල පදාසයකට, ඇතැම් කොටස් රට 'අස්ථාවර' කිරීමට කටයුතු කරන බවට එල්ල වූ චෝදනා ඇතුලත් විය. අපරාධ කල්ලි පහක් එකම මධ්‍යස්ථානයකින් ක්‍රියාත්මක වන බවටත් ආන්ඩුව අස්ථාවර කිරීමට උත්සාහ කරන බවටත් මෑතකදී තොරතුරු ලැබී ඇති බව ඔහු කියා සිටියේය.
ආන්ඩුව විමර්ශනයක් සිදුකර සත්‍යය හෙලිදරව් කරන බවත්, පාතාල කල්ලි 'පරාජය කර මුලිනුපුටා දැමීමට' අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කලේය. එවැනි පියවර, ආරක්ෂක හමුදා සහ පොලිසිය ශක්තිමත් කිරීම සඳහා කඩතුරාවක් වන අතර කම්කරුවන්ට සහ ග්‍රාමීය දුප්පතුන්ට එරෙහිව යොමු කරනු ඇත.
පොලිස් ස්ථාන සඳහා සහ නව නිලධාරීන් 10,000 ක් බඳවා ගැනීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 1,000 ක් වෙන් කර ඇති බව දිසානායක පැවසීය. මිලිටරි, ගුවන් සහ නාවික හමුදා සොල්දාදුවන්ට සහ පොලිසියට වඩාත් නවීන හා යාවත්කාලීන ආයුධ, තාක්ෂනය සහ පුහුනුව ලබා දෙනු ඇත.
අයවැයට, හමුදා නිලධාරීන් සඳහා සියයට 27 සිට 33 දක්වා සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ඇතුලත් වන බව පාර්ලිමේන්තුව තුල සඳහන් කෙරිනි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හෙලි කලේ, මෙම වසරේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මූලික මාසික වැටුප රුපියල් 29,540 සිට 44,293 දක්වා වැඩි වන බවත්, 2026 සහ 2027 සඳහා අතිරේක වැටුප් වැඩිවීමක් සැලසුම් කර ඇති බවත්ත්ය. පොලිස්පතිවරයාට සහ අනෙකුත් ඉහල නිලධාරීන්ට තවදුරටත් වැටුප් වර්ධක ගෙවනු ඇත.
මෙම වැඩිවීම් රාජ්‍ය සේවකයින්ගේ සොච්චම් වැටුප් වැඩිවීම්වලට සම්පූර්නයෙන්ම වෙනස් ය. පහලම ශ්‍රේනියට වාර්ෂික වාරික තුනකින් රුපියල් 8,250 ක ශුද්ධ මාසික වැඩිවීමක් පමනක් ලැබෙනු ඇති අතර ඉහල ශ්‍රේනි සඳහා තවත් සුලු ප්‍රමානයක් වැඩි වනු ඇත.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට බලගතු ප්‍රති-ත්‍රස්ත සහ අන්තවාද-විරෝධී නීතියක් ගෙන එන බව දිසානායක පාර්ලිමේන්තුවට පැවසීය. සංවිධානාත්මක අපරාධ ආමන්ත්‍රනය කිරීමට සහ ජාතිවාදී සහ අන්තවාදී ප්‍රවනතාවලට එරෙහිව කටයුතු කිරීමට නව නීති රාමුවක් මෙන්ම පොලිසිය සහ සන්නද්ධ හමුදාවන් ද ශක්තිමත් කිරීම අවශ්‍ය බව ඔහු පැවසීය.
ඔහුගේ ආන්ඩුව, ජාතිවාදයට සහ අන්තවාදයට මුල් බැස ගැනීමට ඉඩ නොදෙන බව දිසානායක නරුම ලෙස ප්‍රකාශ කලේය. මේ සියල්ල පැමිනෙන්නේ, ආරම්භයේ සිටම සුලු ධනේශ්වර ගරිල්ලාවාදය සහ සිංහල දේශප්‍රේමය වැලඳගත්, දෙමල සුලුතරයට එරෙහිව අනුප්‍රාප්තික ආන්ඩු විසින් වසර 26 ක කුරිරු වාර්ගික යුද්ධයට සහාය දුන්, සහ සිංහල භාෂාව ආරක්ෂා කිරීමට සහ බුද්ධාගම රටේ ව්‍යවස්ථාව තුල සුරක්ෂිතව තබා ගැනීමට පොරොන්දු වූ ප්‍රතිගාමී දේශපාලන සංවිධානයක් වන ජවිපෙ නායකයෙකුගෙනි.
දිසානායකගේ කතාවෙන් ඇඟවුනේ, ජවිපෙ/ජාජබ ජනාධිපතිවරන සහ මහ මැතිවරනවලදී ජනවරමක් ලබාගෙන ඇත්තේ, තමන්ට අවශ්‍ය දේ කිරීමට බවයි. 'අපි කිසි කුමන්ත්‍රනයක් කරල බලයට ආවේ නැහැ'යි ඔහු ප්‍රකාශ කලේ, ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු වැඩසටහනට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බව ඇඟවුම් කරමිනි.
ඔහුගේ පූර්වගාමීන් මෙන්, දිසානායක ද, විධායක ජනාධිපති ධුරයේ බලතල සහ පවතින සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති කම්කරු පන්තියේ ඕනෑම කැරලිකාර ව්‍යාපාරයකට එරෙහිව යොදා ගනු ඇත.
සජබ සහ අනෙකුත් විපක්ෂ සංවිධාන ජාමූඅ විසින් නියම කරන ලද පියවරයන් පිලිබඳව ඉඳහිට විවේචන එල්ල කලද, ඒ ජනතාව දේශපාලනිකව පීලි පැන්නවීම සඳහා ය. කම්කරු අරගල මැඩපැවැත්වීම සඳහා කුප්‍රකට වෘත්තීය සමිති නිලධරයන්, නැවත වරක් විරෝධතා සඳහා කැඳවුම් කරමින්, සහන ලබා දීමට ආන්ඩුවට බලපෑම් කල හැකි බවට ව්‍යාජ මිත්‍යාවන් ප්‍රවර්ධනය කරමින් සිටිති.
කම්කරු පන්තිය සහ ග්‍රාමීය ජනතාව මෙම බොරු ප්‍රතික්ෂේප කල යුතු ය; තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම හරහා ස්වාධීනව සංවිධානය විය යුතු අතර ආන්ඩුවේ සමාජ ප්‍රහාරවලට එරෙහිව සම්බන්ධීකෘත අරගලයක් වර්ධනය කල යුතුය.
මෙය, මෙම ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින්ගෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් පැවැත්වීම සමග සම්බන්ධ කල යුතු අතර, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමඟ පෙලගැසී ගත යුතු ය.