[මෙය The madness of Trump’s economic war and the necessary socialist response යන මැයෙන් 2025 අප්‍රේල් 04 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ට්‍රම්ප් පරිපාලනය විසින් ලෝකයේ සෙසු රටවල් මත—මිතුරන්ට සහ සතුරන්ට එක සේ—පනවා ඇති දැඩි තීරුබදු, පුලුල් ලෙස සංලක්ෂිත ව ඇත්තේ, ආර්ථික උමතුවක් ලෙස ය. ඇත්ත වශයෙන්ම, එය එසේම ය.
ඒවා ක්‍රියාත්මක කර ඇත්තේ, “ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලදී” යන ධජය යටතේ ය; ට්‍රම්ප්ගේ නිවේදනය සමඟ පැමිනි 'ධවල මන්දිර තොරතුරු පත්‍රිකාව' ට අනුව, එය “සංකේත පාඨයක් (tagline)” නොව “මෙම පරිපාලනයේ ආර්ථික හා ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවය” වේ.
කෙසේ වෙතත්, 'ඇමරිකාවේ නිෂ්පාදිත' හෝ තනි රටක බවට සැබවින්ම පැවසිය හැකි කිසිදු වෙලඳ භාන්ඩයක් නොමැත. අද නිෂ්පාදනය කරන සෑම අයිතමයක්ම—සරලම එදිනෙදා පාරිභෝගික අයිතමවල සිට මෝටර් රථ සහ පරිගනක තාක්ෂනයේ සහ කෘතිම බුද්ධියේ වඩාත් දියුනුතම වර්ධනයන් දක්වා—ජාත්‍යන්තරව ඒකාබද්ධ වූ ආර්ථික පද්ධතියක් තුල සිදුවන ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.
එය, මෙම කේන්ද්‍රීය ප්‍රශ්නය මතු කරයි: මෙය උමතුවක් නම්—එය පැහැදිලිවම එසේම ය—ට්‍රම්ප් පරිපාලනයේ ලෝකයට එරෙහි ආර්ථික යුද්ධය මෙහෙයවන්නේ කුමන බලවේගද? කිසිවක් පැහැදිලි නොකරන, මතුපිට පමක් ස්පර්ශ කරන පිලිතුර නම්, ඒ සියල්ල ට්‍රම්ප් නම් පුද්ගලයාගේ උමතුවේ ප්‍රතිඵලයක් බවයි.
ඉතිහාසය මෙම ප්‍රකාශයට පිලිතුරු සපයයි. ඇඩොල්ෆ් හිට්ලර් උමතු හා වියරු වූවෙකු බවට කිසිදු සැකයක් නැත. නමුත් ජර්මානු පාලක පන්තිය විසින් ඔහුව බලයට ගෙන එනු ලැබුවේ එහි ආර්ථිකයේ සහ රාජ්‍යයේ ගැඹුරු අර්බුදයක් නිසාය. අධිරාජ්‍යවාදී ව්‍යාප්තිය සහ කම්කරු පන්තිය තලා දැමීම සඳහා පාලක පන්තියේ මෙවලම ඔහු වූ අතර, ඔවුන් එය එකම මාර්ගය ලෙස දුටහ.
ඒ හා සමානව, ට්‍රම්ප් බලයට පත්වීමත්, ඔහුගේ ක්‍රියාවනුත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රගාඪ අර්බුදයක ප්‍රතිඵලයකි.
1945 න් පසු එක්සත් ජනපදයේ ක්‍රියාවන් යටතේ ස්ථාපිත කරන ලද පශ්චාත්-යුද ජාත්‍යන්තර වෙලඳ පද්ධතියේ ඉතිරිපහදු දෑ ට්‍රම්ප්ගේ ක්‍රියාවන් විසින් සුනු විසුනු කර දමා ඇති බව දැන් පුලුල් ලෙස පිලිගැනේ.
පශ්චාත්-යුද පර්යාය නිර්මානය කරන ලද්දේ, 20 වන සියවසේ මුල් භාගයේදී ලෝක යුද්ධ දෙකක සහ මහා අවපාතයේ ස්වරූපයෙන් පුපුරා ගිය ලෝක ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධතා නියාමනය කිරීම සහ පාලනය කිරීම සඳහා ය. එහි ස්ථාපනයට යටින් පැවතියේ, එවැනි තත්වයන් නැවත පැමිනීම සමාජවාදී විප්ලවයක් අවුලුවාලනු ඇතැයි යන පාලක පන්තියේ භීතියයි.
පශ්චාත්-යුද පද්ධතියේ කේන්ද්‍රීය ලක්ෂනයක් වූයේ—1930 එක්සත් ජනපද ස්මූට්-හෝලි පනත මගින් මූර්තිමත් කරන ලද—1930 ගනන්වල තීරුබදු සහ මුදල් යුද්ධ, මහා අවපාතය ගැඹුරු කර ඇති බවත්, දෙවන ලෝක යුද්ධය සඳහා කොන්දේසි නිර්මානය කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කල බවත් පිලිගැනීමයි. ගෝලීය ආර්ථිකයේ වර්ධනය සැලකිල්ලට ගත් විට, ට්‍රම්ප්ගේ පියවර වසර 95 කට පෙර පැවති පියවරයන්ට වඩා බොහෝ ඔබ්බට යයි.
ආර්ථික වශයෙන්, පශ්චාත්-යුද සමථය පදනම් වූයේ, එක්සත් ජනපදයේ කාර්මික බලය සහ ධාරිතාව මත ය. පසුගිය වසර 80 තුල, මෙම ආධිපත්‍යය ක්‍රමයෙන් ඛාදනය වී ඇති අතර, එය හැරවුම් ලක්ෂ්‍ය මාලාවකින් සලකුනු වී ඇත.
වඩාත්ම වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ, 1971 දී ජනාධිපති නික්සන්, ඇමරිකානු ඩොලරයෙන් රත්‍රන්වල පිටුබලය ඉවත් කරමින් බ්‍රෙට්න්වුඩ්ස් මූල්‍ය ගිවිසුම අවලංගු කිරීමයි. වර්ධනය වන එක්සත් ජනපද වෙලඳ ශේෂ සහ ගෙවීම් හිඟයන් නිසා, වොෂින්ටනයට රන් අවුන්සයක් ඩොලර් 35 ක අනුපාතයකින් ඩොලර්වලට හුවමාරු කිරීමේ ගිවිසුමට තවදුරටත් බැඳී සිටීමට නොහැකි විය.
ඩොලරය ජාත්‍යන්තර මූල්‍ය හා වෙලඳ සබඳතාවල පදනම ලෙස දිගටම ක්‍රියාත්මක වූ නමුත්, දැන් එය ෆියට් මුදල් ඒකකයක් (රන් හෝ රිදී වැනි භාන්ඩයක මිලට සම්බන්ධ නොවන, ජාතික මුදල් ඒකකයකි) ලෙස ක්‍රියාත්මක විය—ඒ, තවදුරටත් රත්‍රන් ස්වරූපයෙන් සැබෑ වටිනාකමෙන් නොව, උදක්ම ඇමරිකානු රාජ්‍යයේ බලයෙන් පමනි.
2008 ගෝලීය මූල්‍ය අර්බුදය තවත් තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේය. ඇමරිකානු බලයේ අත්තිවාරම් රඳා පවතින්නේ දියබත් වූ වැලි මත බව එයින් හෙලි විය—එය, ලාභ සමුච්චය කිරීමේ ප්‍රධාන මූලාශ්‍රය ලෙස කාර්මික නිෂ්පාදනය ක්‍රමයෙන් ප්‍රතිස්ථාපනය කරන ලද, දශක ගනනාවක පරපෝෂිතභාවයෙන් සහ සමපේක්ෂනයෙන් කුනුවී දිරාපත් වූ, එක රැයකින් පාහේ බිඳ වැටිය හැකි මූල්‍ය පද්ධතියකි.
1928 දී, එනම් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නැගීමේ කාලය තුල, ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කලේ, එය තම ආධිපත්‍යය වඩාත් සම්පූර්නයෙන් සහ විවෘතව තහවුරු කරගනු ඇත්තේ උත්පාත කාලයකදී නොව, එය තම දුෂ්කරතා සහ ව්‍යාධීන්ගෙන් මිදීමට උත්සාහ කරන අර්බුදකාරී කාලයකදී බව ය.
මෙම “ව්‍යාධීන් සහ දුෂ්කරතා,” ඉහල යන වෙලඳ හිඟය, නිරන්තරයෙන් ඉහල යන, දැන් ඩොලර් ට්‍රිලියන 36 ක් වන රජ්‍ය නය, ඩොලර් ට්‍රිලියන 1 ක් වන වාර්ෂික පොලී බිල්පත් සහ රන් මිල ඉහල යාමෙන් පිලිබිඹු වන, ඩොලරයේ ස්ථාවරත්වය පිලිබඳ වැඩෙන කනස්සල්ල මගින් ප්‍රකාශ වන අතර එය වාර්තාගත ඉහලම මට්ටම් කරා ලඟා වෙමින් පවතී.
1930 ගනන්වල මෙන් ම, අදත් ආර්ථික යුද්ධයේ තර්කනය නව ලෝක යුද්ධයක වර්ධනයයි. 1934 දී, යුද වලාකුලු එක්රැස් වන විට, තීරුබදු ආර්ථික වශයෙන් අතාර්කික වුවත්, ඒවාට නිශ්චිත තර්කනයක් ඇති බව ට්‍රොට්ස්කි නිරීක්ෂනය කලේය: ඒවා “නව යුද්ධයක් සූදානම් කිරීම සඳහා ජාතියේ සියලු ආර්ථික බලවේගයන්ගේ” සංකේන්ද්‍රනයක් විය.
තීරුබදු සහ ට්‍රම්ප්ගේ විධායක නියෝගය පිලිබඳ ධවල මන්දිර කරුනු පත්‍රිකාවේ කේන්ද්‍රීය තේමාව වන්නේ ආර්ථික බලවේගවල ජාතික සංකේන්ද්‍රනයයි. පුලුල් ආරක්ෂනවාදී පියවර සඳහා තර්කයක් ලෙස ප්‍රමානවත් මිලිටරි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට එක්සත් ජනපදයට ඇති නොහැකියාව අවධාරනය කරමින්, ලේඛනය නැවත නැවතත් “ජාතික ආරක්ෂාව” පිලිබඳ කනස්සල්ල මතු කරයි.
ඔහුගේ විධායක නියෝගය තුලින් ට්‍රම්ප් ප්‍රකාශ කලේ, “විශාල හා අනවරත වෙලඳ හිඟයන්, එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට අසාමාන්‍ය හා සුවිශේෂී තර්ජනයක්” බවයි. මෙම හිඟයන්, “අපගේ නිෂ්පාදන පදනම යටින් හාරා දමා ඇති බවත්; දියුනු දේශීය නිෂ්පාදන ධාරිතාව පරිමානනය කිරීමට අපට ඇති හැකියාව වලක්වන බවත්; තීරනාත්මක සැපයුම් දාමයන් අඩපන කරන බවත්; අපගේ ආරක්ෂක-කාර්මික පදනම විදේශීය එදිරිවාදීන් මත යැපෙන තත්වයට පත් කර ඇති” බවත් ඔහු ප්‍රකාශ කලේය.
මෙම ගැටලුව අවධාරනය කරමින්, නියෝගය තහවුරු කලේ, අඛන්ඩ වාර්ෂික භාන්ඩ වෙලඳ හිඟය සහ 'කාර්මික ධාරිතාවයේ අනුරූපී පාඩුව, මිලිටරි සූදානම අඩපන කර ඇති' බවයි. මෙම 'අවදානමට' පිලියම් යෙදිය හැක්කේ, 'එක්සත් ජනපදයට පැමිනෙන ආනයන ප්‍රවාහය ප්‍රති-තුලනය කිරීම සඳහා ගන්නා කඩිනම් ශෝධන ක්‍රියාමාර්ග' හරහා පමනක් බව එය ප්‍රකාශ කලේය.
'ආර්ථික හා ජාතික ආරක්ෂක කාරනා සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ පෙලගැසීම' සඳහා 'සැලකිය යුතු පියවර' ගතහොත් පමනක් 'වෙලඳ හවුල්කරුවන්ට' තීරුබදු අඩු කිරීමක් ලබා ගත හැකි බව කරුනු පත්‍රිකාව ප්‍රකාශ කලේය. වෙනත් වචන වලින් කිවහොත්: එක්සත් ජනපද අවශ්‍යතාවලට අනුකූල වනු; නැතහොත් ඔබට දිගටම පහර වදිනු ඇත.
චීනය ප්‍රධාන 'ජාතික ආරක්ෂක' තර්ජනය ලෙස නම් කර ඇත; එහි වේගවත් තාක්‍ෂනික සංවර්ධනය හේතුවෙන්, එය ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන බාධකය ලෙස සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය පුරා සලකනු ලබන අතර, තීරුබදු නියෝගවල කේන්ද්‍රීය අරමුන වන්නේ අනෙකුත් බලවතුන් චීන විරෝධී ආර්ථික හා මිලිටරි ප්‍රහාරයකට පෙලඹවීමයි.
නව තීරුබදු න්‍යායපත්‍රය බීජිං මත සමස්ත තීරුබදු—මීට පෙර සියයට 20 ක වැඩි කිරීමකට අමතරව, ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු” යන ධජය යටතේ සියයට 34 ක් සමග—සියයට 54 දක්වා ඉහල නංවා තිබේ. පෙර යුගයක දී නම්, එවැනි පියවරයන්—බ්ලූම්බර්ග් ඇස්තමේන්තු කරන්නේ එය චීන ආර්ථික වර්ධනයට සියයට 2.3 ක පහරක් වනු ඇති බවයි—යුද ක්‍රියාවක් ලෙස සලකනු ඇත.
ඇමරිකානු කම්කරුවාට ප්‍රතිලාභ ලැබෙන බවට—එක්සත් මෝටර් රථ සේවක සංගමය සහ වෘත්තීය සමිති නිලධරයේ අනෙකුත් කොටස්වල සහාය ඇතිව—ට්‍රම්ප් කරන ප්‍රකාශ නොතකා ආර්ථික යුද්ධය දේශීය කම්කරු පන්තියට එරෙහිව ද යොමු කෙරී ඇත.
ට්‍රම්ප් පාලනයේ එක් දැවැන්ත බොරුවක් නම් විදේශ රටවල් විසින් තීරුබදු ගෙවන බවයි. යථාර්ථයේ දී, ඒවා, ආහාර සහ එදිනෙදා අවශ්‍ය වන භාන්ඩයන්ගේ සිට කල් පවත්නා පාරිභෝගික භාන්ඩ දක්වා , විවිධ භාන්ඩ සඳහා ඉහල මිල ගනන් ස්වරූපයෙන්, පාරිභෝගිකයින්, කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් මතට යොමු කර ඇති දැවැන්ත වක්‍ර බද්දකි.
නිෂ්පාදනය ඇමරිකා එක්සත් ජනපදයට යලි ගෙන යාමෙන් හොඳ වැටුප් සහිත රැකියාවන්හි වැඩි වීමක් සිදු නොවේ. නව කර්මාන්තශාලා අතිශයින් ස්වයංක්‍රීය වනු ඇති අතර, පිරිවැය අඩු කිරීම සඳහා හැකි තරම් අඩු සේවක සංඛ්‍යාවක් සේවයේ යොදවනු ඇත. තරඟකාරිත්වයේ පීඩනය හරහා, මෙය තවදුරටත් රැකියා කප්පාදුවට සහ පවතින කර්මාන්තශාලාවල සූරාකෑම තීව්‍ර කිරීමට පමනක් හේතු වනු ඇත.
ට්‍රම්ප් විසින් මුදා හරින ගෝලීය යුද්ධය නිසැකවම උමතුවකි. නමුත් එය 'ඩොනල්ඩ් රජුගේ' උමතුවේ ප්‍රතිඵලයක් නොවේ. එය, ගෝලීය වශයෙන් ඒකාබද්ධ නිෂ්පාදනයත්, නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය සහ පෞද්ගලික ලාභය මුල්බැස ඇති ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස ලෝකය බෙදීමත් අතර පරස්පර විරෝධය තුල මුල් බැසගත් ධනේශ්වර ක්‍රමයේ උමතුව ප්‍රකාශ කරයි.
මෙම ප්‍රතිවිරෝධය අනිවාර්යයෙන්ම වඩාත් තියුනු ලෙස ප්‍රකාශ වන්නේ, පලමුව ආර්ථික යුද්ධයක් හරහා සහ පසුව නව ලෝක යුද්ධයක් හරහා තම ප්‍රතිවාදීන් තලා දැමීමෙන් අර්බුදය විසඳීමට උත්සාහ කරන එක්සත් ජනපදය තුල ය.
ට්‍රම්ප්, පාලක පන්තියේ බලගතු කොටස්වල වැඩෙන සහයෝගය ඇතිව, ෆැසිස්ට් තන්ත්‍රයක් ගොඩනැගීමට උත්සාහ කරද්දී, රැකියා, වැටුප්, සමාජ තත්වයන් මත ගැඹුරු වන ප්‍රහාර සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කිරීමේ ස්වරූපයෙන්, කම්කරු පන්තියට එම අර්බුදයම බලපානු ලැබේ.
කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන අවශ්‍යතා සඳහා දේශපාලන අරගලයකට අවතීර්න විය යුතුය. ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරුවන් සියලු ආකාරයේ ජාතිකවාදයන්ට විරුද්ධ වීමෙන් එම සටන ආරම්භ කල යුතුය. ඔවුන් තීරුබදු යුද්ධයේ කුමන පැත්තක සිටියත්, 'තමන්ගේම' ජාතික පාලක පන්තියට කුමන ආකාරයකින් හෝ බැඳීම, ඉතිහාසය පෙන්වා දී ඇති පරිදි, ව්‍යසනයේ මාවතයි.
ධනේශ්වර ක්‍රමයේ අර්බුදය ප්‍රගතිශීලී ආකාරයකින් විසඳීමේ ඓතිහාසික කර්තව්‍යය කම්කරු පන්තියට පැවරී ඇත; නැතහොත් එය ම්ලේච්ඡත්වය කරා ඇද වැටෙනු ඇත. ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය, ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිලිවෙල සඳහා කම්කරු පන්තිය පුරා දේශපාලන අරගලයක් ආරම්භ කිරීමට උත්තේජකයක් බවට පත්විය යුතුය. පසුගිය සතියේ සිදුවීම්වල වේගය, සියල්ලටත් වඩා, අපතේ හැරීමට කාලයක් නොමැති බව පෙන්නුම් කරයි.