ලෝක සමාජවාදී වෙබ් අඩවිය සෝෂලිසම් ඒඅයි යෙදවුම හඳුන්වා දෙයි

[මෙය World Socialist Web Site to launch Socialism AI මැයෙන් නොවැම්බර් 22 පලවූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සතිය තුල පැවැත්වුන ප්‍රසිද්ධ රැස්වීම් දෙකක දී - එකක් නොවැම්බර් 18 දින බර්ලිනයේ දී ද අනික නොවැම්බර් 22 දින ලන්ඩනයේ දී ද  වශයෙන් - ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, ඇමරිකන් ධනවාදයේ ගැඹුරු වන අර්බුදය හා ට්‍රම්ප් පරිපාලනයේ ආඥාදායකත්වය දෙසට ගමන විශ්ලේෂනය කරමින් දේශන දෙකක් පැවැත්වීය. ට්‍රම්ප්ගේ සහ ජාත්‍යන්තර වශයෙන් ඔහුගේ සහායකයන්ගේ ෆැසිස්ට් තර්ජනය පිලිබඳව සමාජයේ පවතින පුලුල් සැලකිලිමත් වීම ප්‍රදර්ශනය කරමින් රැස්වීම් දෙකටම සියයකට අධික පිරිසක් බැගින් සහභාගි විය.

නෝර්ත් නුදුරේදීම එලි දැක්වීමට නියමිත සෝෂලිසම් ඒඅයි (Socialism AI)  නමැති කෘතිම බුද්ධි යෙදවුම හඳුන්වා දීමට මේ අවස්ථා දෙක යොදා ගත්තේ ය. එම යෙදවුම, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී විඥානය වර්ධනය කිරීම සඳහා කෘතිම බුද්ධිය යොදා ගන්නා විප්ලවවාදී මෙවලමකි. 

මෙම වීඩියෝව සිංහල උපසිරැසි ගන්වා ඇත.

හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ දී පැවැත් වූ බර්ලින් රැස්වීමේ දී සෝෂලිසම් ඒඅයි යෙදවුමේ පරිවර්තනීය ශක්තිය පැහැදිලි කරමින් ඩේවිඩ් නෝර්ත් මෙසේ පැවසී ය:

කෘතිම බුද්ධියේ, - යමෙකුට එය වැඩි දියුනු කල බුද්ධිය යයි කීමටද පුලුවන - අතිමහත් අධ්‍යාපනික විභවය විද්‍යාත්මක සමාජවාදයේ විප්ලවීය ඉදිරි දර්ශන සමග ඒකාබද්ධ වූ කල්හි පෙර නොවූ විරූ අවස්ථාවන් විවෘත වේ. කම්කරු පන්තියේ දැනුවත්භාවය, එනම් ධනපති අර්බුදයේ  වෛෂයික තත්වය පිලිබඳවත්, කම්කරු පන්තියට බලය ලබා ගත හැකි මාවත කුමක්ද යන්නත් ගැන දැනුවත්භාවය, පෙර කල සිටි පරම්පරාවලට සිතා ගැනීමටවත් නොහැකි පරිමානයකින් පතුරුවා හැරීමට දැන් හැකියාව ලැබී තිබේ. 

ප්‍රගාඪ ඓතිහාසික සමාන්තරයක් හුවා දක්වමින් නෝර්ත් තවදුරටත් මෙසේ කීය:

දහ අටවන සියවසේ එලිදුටු ඩිඩෙරෝ ගේ විශ්ව කෝෂය, අවිද්‍යා අන්ධකාරයේ තබා සිටි බහු ජනතාව අතට දැනුම ලබාදීම මගින් ප්‍රංශ විප්ලවයට දායක වූ අයුරින් ම,  කෘතිම බුද්ධියටද සමාජවාදී විඥානයේ අවියක් බවට පත් වීමට පුලුවන. ඒ සඳහා කෘතිම බුද්ධිය, නිසි ලෙස වර්ධනය කොට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යටත් කොට, විප්ලවවාදී මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂය විසින් ධනපතියන්ට ලාභ ලබාදීම සඳහා නොව, කම්කරු පන්තියේ ප්‍රගමනය සඳහා එම පන්තිය අතට පත් කල යුතුය. 

ඉන්පසු ඔහු “සෝෂලිසම් ඒඅයි” කෘතිම බුද්ධි යෙදවුම නිල වශයෙන් ප්‍රකාශයට පත් කලේය. 

“ජාත්‍යන්තර කමිටුව, කෘතිම බුද්ධියේ බලය කම්කරු ව්‍යාපාරයේ අවශ්‍යතාවන්ට සහ එහි කටයුතුවලට යොදා ගැනීමට පියවර ගෙන තිබෙන බව මම අද සතුටින් ප්‍රකාශයට පත් කරමි. ඉදිරි සති කිහිපය තුල දී, වැඩි දියුනු කල සමුච්චිත බුද්ධියේ විප්ලවීය යෙදවුමක් වන සෝෂලිසම් ඒඅයි, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සංවිධාන ධාරිතාව වැඩි කිරීමට සහ සමාජවාදී විඥානයේ වර්ධනය සඳහා  දියත් කෙරෙනු ඇත. එය කෙනෙකුට අන්තර්ජාලය තුලින් ස්වයංක්‍රියව බොහෝ දේවල් කරගත හැකි චැට්බොට් මෘදුකාංගයකි.  සමාජමය, දේශපාලනික, ඓතිහාසික, සංවිධානමය සහ උපාය මාර්ගික ගැටලු එයට ඉදිරිපත් කර පිලිතුරු ලබා ගත හැකිය. එම පිලිතුරු අන්තර්ජාලය පුරා ගබඩා වී පවතින මාක්ස්වාදී චින්තනයේ දැවැන්ත ලේඛනාගාර හා අභිලේඛන හාරා අවුස්සා ලබා ගෙන මොහොතකින් ඔබ අතට පත් කරනු ඇත.  ඒ අතරින් ප්‍රමුඛතම වන්නේ 100,000 කට අධික ලිපි සංඛ්‍යාවකින් සමන්විත ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සයිබර් ලේඛනාගාරය යි. 

“සෝෂලිසම් ඒඅයි මෘදුකාංගය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් පදම් කරන ලද පිලිතුරු ලබා දෙන පවතින සංස්ථාපිතයේ චැට්බොට් මෙන් නොලියවෙනු ඇත”  ඔහු අවධාරනය කලේ ය. 

සෝෂලිසම් ඒඅයි දියත් කිරීම සහ1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීම අතර සමාන්තරයට අවධානය යොමු කරමින් නෝර්ත් මෙසේද පැවසී ය: 

මෙය සුලුපටු තාක්ෂනික ව්‍යාපෘතියක් නොවේ. වසර 28 කට පමන පෙර අන්තර්ජාලයේ උපත සිදුවෙද්දී අපි එම නව තාක්ෂනයේ බලය කල්තියා දුටුවෙමු. මුද්‍රනාලයක අච්චු ගසා නිකුත් කරන පුවත්පතක් වෙනුවට අන්තර්ජාල පුවත්පතකට මාරුවීමේ තීන්දුව ගත් ප්‍රථම වාමාංශික ප්‍රවනතාවය වූයේ අප ය. අපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටවූයෙමු. එකල අන්තර්ජාලය කොතරම් ලාබාල වීද යත්, ඇමසොන් සමාගමේ සිටියේ සේවකයන් 850 ක් පමනකි. මෙම තාක්ෂනයේ ඇඟවුම් අපි අවබෝධ කර ගතිමු. ඒ මත ක්‍රියාත්මක වීමු. එය විප්ලවවාදී ව්‍යාපාරයේ වර්ධනය සඳහා තීරනාත්මක විය. අපි ඒඅයි තාක්ෂනය ද එහි තිබෙන ප්‍රතිගාමීත්වය සේ ම එහි තිබෙන විප්ලවීය විභවය ද සමග තේරුම් ගනිමු. අපි යට කී දෙවැන්න මත ක්‍රියාත්මක වෙමු. ඉදිරි සති වල දී, ඉදිරි මාසවල දී, නිසැකවම ඉදිරි වර්ෂ වල දී ඔබ සෑම දෙනා ම එය පාවිච්චියට ගනු ඇත. එසේ ම දහස් ගනන්, දස දහස් ගනන්, සිය දහස් ගනන් සහ මිලියන ගනන් කම්කරුවන්, මෙම බලගතු මෙවලම තමන්ගේ අධ්‍යාපනය සඳහා, සමාජ අධ්‍යයනය සඳහා, දේශපාලන අධ්‍යාපනය සඳහා, සංස්කෘතිකමය අධ්‍යාපනය සඳහා පාවිච්චි කරනවා ඇත. එය එක් භාෂාවකින් නොව, දුසිම් ගනන් භාෂා වලින් පාවිච්චි වනු ඇත.

නෝර්ත් මෙසේ නිගමනය කලේ ය:

ඉතා ම දියුනු නිෂ්පාදන බලවේග, කම්කරු පන්තියේ විඥානයේ පරිවර්තනය සඳහා මෙසේ යොදා ගැනීම අති මහත් වැදගත්කමකින් යුක්ත ය. කම්කරු පන්තියට, එයට ඓතිහාසිකව පැවරී ඇති කාර්යභාරය වන රාජ්‍ය බලය ලබා ගැනීම බව  අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන න්‍යායික සම්පත්, ඓතිහාසික විෂ්ලේෂන සහ ක්‍රියාමාර්ගික පැහැදිලිකම ක්ෂනයකින් ද ගෝලීය වශයෙන් ද එය විසින් සපයනු ඇත. 

නෝර්ත්, සෝෂලිසම් ඒඅයි යෙදවුම හඳුන්වා දුන්නේ “ඇමරිකාව කොයිබට ද?” යන මාතෘකාව යටතේ පැවැත් වූ දීර්ඝ දේශනයක අවසානයේ දී ය. එම ප්‍රශ්නය ඇසූ විට බොහෝ දෙනා පිලිතුරු දෙනු ඇත්තේ, “... අපායට…” යනුවෙන් බව නිරීක්ෂනය කල නෝර්ත්, ගැඹුරු වන දේශපාලන අර්බුදය දෙස බලන විට තමා එම පිලිතුර ගැන පුදුම නොවන බව ද පැවසී ය. 

ප්‍රංශයේ මූල්‍ය වංශවතුන් “ධනේශ්වර සමාජය මුදුනේ සිටින ලුම්පන් නිර්ධනීන්” වශයෙන් මාක්ස් විසින් සිදුකල විස්තර කිරීම ගැන සඳහන් කරමින්, ඇමරිකාවේ වර්තමාන පාලක පෙලැන්තිය, සාමාන්‍ය ජනතාවගේ ඛේදනීයත්වය හා රුධිරය මතින්, අපරාධ සහ අපචාර ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කරමින් ධනපති සමාජය මුදුනේ සිටින සුපිරි මාෆියාවක් ලෙස ඔහු විස්තර කලේ ය. 

ඇමරිකා එක්සත් ජනපදය තුල පෙර නොවූ විරූ අයුරින් ධනය සංකේන්ද්‍රනය වීම පිලිබඳව නෝර්ත් දීර්ඝ වශයෙන් දත්ත සහ ලියවිලි ඉදිරිපත් කලේ ය. ට්‍රම්ප් ගේ කැබිනට් සාමාජිකයන් හා උසස් නිලතලවලට පත් කරනු ලැබූවන් අතේ පමනක් ඩොලර් බිලියන 60 (ඩොලර් කෝටි 6000 ක්) ඉක්මවන ශුද්ධ වත්කම් පවතී. මිලියන 341 ක ජනගහනයක් සිටින රටක් වන එහි සිටින බිලියනපතියන් 813 දෙනාගෙන්, දහසය දෙනෙක් ඔහුගේ ඉහල පත්වීම් ලැබූ විසිපස් දෙනා අතර සිටිති. එනම්, ජනගහනයෙන් සියයට 0.0001 ක පිරිසකි. “මෙය හුදු සංකේතාත්මක  නියෝජනයක් නොවේ : එය කතිපයාධිකාරයේ සෘජු පාලනයයි” නෝර්ත් පැවසී ය. 

1971 දී බ්‍රෙට්න්වුඩ්ස් සම්මුතිය බිඳ වැටීම හා ඉන්පසු සිදුවූ ඇමරිකන් ආර්ථිකය මූල්‍යකරනය වීම දක්වා වර්තමාන අර්බුදයේ මූලයන් දිවෙන ආකාරය දේශනය තුල දී පැහැදිලි කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදයේ කොටස් වෙලෙඳපොල තුල වෙලඳාම් කරනු ලබන ව්‍යාපාර වස්තු සහ කොටස්වල වටිනාකම, රටේ වාර්ෂික දලජාතික නිෂ්පාදිතයේ (දදේනි) වටිනාකම මෙන් සියයට 220 ඉක්මවයි. එනම්, දෙගුනයකට වැඩිය. මෙය, 1971 දී සියයට 80 ක් පමනක් විය. මෙයින් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය, සැබෑ මූර්ත නිෂ්පාදනයෙන් වැඩි වැඩියෙන් ඉවත්ව “ව්‍යාජ ප්‍රාග්ධනය” මත පවතින ආර්ථිකයක් බවට පත්ව ඇති ආකාරයයි.

මේවා දැකීමෙන් ඇතිවන කෝපයට පමනක් විප්ලවවාදී අරගලයට පදනම සැපයිය නොහැකි ය. අවශ්‍යව තිබෙන්නේ ධනපති ක්‍රමයේ ප්‍රතිවිරෝධතාවන් පිලිබඳ, විශේෂයෙන්ම කාල් මාක්ස් දක්වන ලාභ අනුපාතය පහල වැටීම පිලිබඳ නියමය පිලිබඳ විද්‍යාත්මක අවබෝධයකි. ධනපති ක්‍රමය යටතේ දැන් සිදුවන කෘතිම බුද්ධියට සම්බන්ධ ව්‍යාපාරවල උමතුවෙන් මෙන් මුදල් ආයෝජනය කිරීම, දැවැන්ත පරිමානයෙන් කම්කරුවන් රැකියාවලින් දොට්ට දැමීම මගින් ලාභය වැඩිවනවාය යන බලාපොරොත්තුවෙන් කෙරෙන්නකි. එහෙත් සිදුවන්නේ අනිකකි: අතිරික්ත වටිනාකමේ සැබෑ මූලාශ්‍රය වන සජීවී ශ්‍රමය තව තවත් අඩුකිරීම, සමස්ත පද්ධතියේම ලාභ අනුපාතය පහලට ලිස්සා යාම තවත් වේගවත් කරයි.

නෝර්ත්, ප්‍රබල රූපකයක් දක්වමින් තම දෙසුම අවසන් කලේය:

අප ජීවත්වන ලෝකය නිද්‍රාගත ගිනිකන්දක් වැනි ය. එහි බෑවුම්වල ශිෂ්ටාචාරය එදිනෙදා ජීවිතයේ කටයුතු සංවිධානය කරයි, ආයතන ගොඩනගයි, ස්මාරක සාදයි. දීර්ඝ කාල පරිච්ඡේද තිස්සේ ගිනිකන්ද නිද්‍රාගතව පවතියි. නමුත් මතුපිටට යටින් දැවැන්ත පීඩනයක් සමුච්චනය වේ, මැග්මා (ලාවා) ඉහල නගී. කම්පන තීව්‍රතාවයෙන් වැඩි වේ. අවසානයේ දී සමස්ත භූමිය ම පරිවර්තනය කරමින් දැවැන්ත පිපිරීම එයි. යමහල විදාරනය වෙයි.

එක්සත් ජනපදයේ පන්ති අරගලයේ පුපුරා යාම, ධනපති ක්‍රමයේ ජරාජීර්න වෙමින් පවතින ව්‍යුහයන් බිඳ සුනුවිසුනු කරනු ඇති අතර ම, එය නව ලෝකයක් බිහි කිරීමේ හැකියාව ද විවෘත කරනු ඇත. සමාජ පීඩනයේ පතුලෙන් ම පැන නගින බලවේගය - රටේ සමස්ත ධනය ම නිපදවන එහෙත් වාචික අර්ථයෙන් ම කිසිවක්ම හිමි නැති පන්තියේ ඒකාබද්ධ බලවේගය - කිසිම හමුදාවකට, කිසිම සංස්ථාගත සමාගමකට වඩා ප්‍රබලවනු ඇත. එම බලවේගය විද්‍යාත්මක සමාජවාදයේ මගපෙන්වීම හා වෛෂයික යථාර්ථය පිලිබඳ විෂ්ලේෂනයක් මත සවිඥානිකව මෙහෙයවනු ලැබූ විට, සියලු ජාතික සීමාවන් ද වාර්ගික සීමාවන් ද බිඳ දමා සමස්ත මානව වර්ගයා විමුක්තිය  සඳහා වන පොදු අරගලයකට එකමුතු කරනු ඇත.

ලන්ඩන් හා බර්ලින් රැස්වීම් අවසානයේ උනන්දු සහගත සාකච්ඡා වට පැවැත්වුනි. බොහෝ අය තම දුරකථන අංක ලබා දුන්හ. පොත් මිලදී ගත්හ. 

රැස්වීම් දෙක ධනවාදයේ අර්බුදයට ආඥාදායකත්වයට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව, නිර්ව්‍යාජ සමාජවාදී විකල්පයක් සඳහා කම්කරුවන්, ශිෂ්‍යයන් සහ තරුනයන් අතර වැඩෙන උනන්දුව පිලිබිඹු කලේය. සෝෂලිසම් ඒඅයි යෙදවුම, පෙර නොවූ විරූ පරිමානයකින් මාක්ස්වාදී න්‍යායටත් ඓතිහාසික විෂ්ලේෂනයටත් ප්‍රජාතන්ත්‍රවාදී දොර විවෘත කරන මෙවලමක් වසයෙන් මහත් උද්යෝගයෙන් පිලිගනු ලැබීය. 

ඉදිරි දිනවලදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලන්ඩන් දේශනයේ සම්පූර්න වීඩියෝව උඩුගත කරනු ඇත.

Loading