“අපි ආන්ඩුවෙන් ඉල්ලන්නේ වතුරෙන් යට වෙන්නෙ නැති තැනක ඉඩම් කෑල්ලක් විතරයි”: ජල ගැලීමෙන් විපතට පත් හංවැල්ලේ වැසියෙක්

දිට්වා සුලිකුනාටුවේ බලපෑමෙන් අධික ජනගහනයක් ජීවත්වන කොලඹ දිස්ත්‍රික්කය හරහා ගලන කැලනි ගංගාව පිටාර ගැලීමෙන් එහි දෙපස ජීවත්වන පීඩිත මහජනතාවට අත්ව ඇති ව්‍යසනය සුලුපටු නොවේ. දෙසැම්බර් 01 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ මෙම විනාශයට මුහුනදුන් කැලනි ගං ද්‍රෝනියේ මහජනතාව සමඟ සාකච්ඡා කලහ.

හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ සහන මධ්‍යස්ථානයේ, ඉහල හංවැල්ලේ පොල්වත්තහේන ප්‍රදේශයේ පවුල් විසි තුනකට අයත් හැටතුන් දෙනෙක් පසුගිය 28 වන සිකුරාදා සිට රැඳී සිටිති. 

හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ සහන මධ්‍යස්ථානය

අප සමඟ කථාබහට එක්වූ කඳවුරේ සාමාජිකාවක වන කාව්‍යා සිතුමිනි (21),  ඔවුන් ජීවත් වූ තහඩු සෙවිලි කල තාවකාලික නිවස වටා අඩි දොලහක් පමන උසට වතුර පිරුනු බැවින්, සැමියා සහ දරු දෙදෙනා සමඟ සහන මධ්‍යස්ථානය වෙත පැමිනීමට සිදුවූ බව පැවසුවාය. තහඩු සෙවිලිකොට තිබූ ඔවුනගේ නිවස මුලුමනින්ම කැඩී බිඳී ගොස් ඇත.

“අපි අතට ගන්න පුලුවන් බඩු අරගෙන මෙතැනට ආවා. විදුලි උපකරන, ලමයාගේ මොන්ටිසෝරි ඇඳුම්, පොත්පත් සේරම ගහගෙන ගිහිල්ලා. මම රස්සාවක් කරන්නේ නැහැ. මහත්තයා කුලියට ගස් කපලා කුට්ටි කරලා ලොරියට දාල දවසකට රුපියල් 2500ක විතර සොයා ගන්නවා. දැන් සති තුනක ඉඳලා වැඩ නැහැ අපි ටකරන් වහලක් හරි ගහගත්තේ මහත්තයා දාඩිය මහන්සියෙන් හම්බ කර ගත් දෙයින්. ඒත් දැන් කල්පනා කරන්නේ වතුර බැස්සහම වහල ගහ ගන්නේ, ලමයා මොන්ටිසෝරි යවන්නේ කොහොමද කියලා.”

ඩබ්ලිව් ඒ කාව්‍යා සිතුමිනි(21)(වමේ)ඩබ්ලිව් එල් නිසංසලා (දකුනේ)

ඩබ්ලිව්.එල්.නිසංසලා සාකච්ඡාවට එක් වෙමින් කියා සිටියේ, තම නිවස පිහිටා ඇති පොල්වත්තහේන ප්‍රදේශය පහත් බිමක් බැවින්, එහි ජීවත්වන සියලු පවුල් වලට නිතර ගංවතුර ආපදාවන්ට මුහුන දීමට සිදුවන බවයි. ආරක්ෂිත ස්ථානයක ඉඩමක් මිල දී ගැනීමට අතමිට නොමැති බැවින් සහ බලයට පත්වන ආන්ඩුවලින් කවර හෝ විසඳුමක් ලබා නොදෙන බැවින් මෙවැනි ස්ථානයක දුක සේ ජීවත් වීමට සිදු වී ඇති බව ඇය පැවසුවා ය. අධික බර ඉසිලීමෙන් ඇති වූ කොන්දේ අමාරුවක් නිසා ඇගේ ස්වාමියාට රැකියාවක් කිරීමට අපහසු ය. තවමත් ඉගෙන ගන්නා දරු දෙදෙනා සමග අසල්වාසීන්ගේ උදව්වෙන් ජීවත්වන බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා ය.

“ගෙදරට යනකම් කියන්න බැහැ, මොනවා වෙලාද කියලා. සිමෙන්ති ගඩොල් වලින් හදපු බිත්ති කඩා වැටේද කියල බයයි. වහලේ ෂීට් ගිහිල්ල තියෙන්නෙ තවම ගෙදර උලුවස්සේ මට්ටමට වතුර තියෙනවා නිතර නිතර මේ කරදරේ සිද්ධ වෙනවා. වහිනකොට  අපි ඔක්කොම බේසමක් තියාගෙන එක තැනකට ගුලිවෙලා ඉන්නවා. අපි කරදරයට ලක් වුනත්, මෙච්චර කලක් කිසිම ආන්ඩුවකින් සත පහක් වත් ලැබිලා නැහැ ඔවුන් අපව ප්‍රතික්ෂේප කරන්නේ අනවසර ඉදිකිරීම් කියල.” 

ත්‍රී රෝද රථ රියදුරෙකු වන නිහාල් අශෝකගේ බිරිඳ පැවසුවේ ජල ගැලීම් හමුවේ තමන් නිතර මෙම ස්ථානයට පැමිනීමට සිදු වී ඇති නමුත්, මෙය  කිසිම පහසුකමක් නොමැති, “නමට පමනක්” සහන කඳවුරක් බවයි. මෙහි විදුලි ආලෝකය නොමැති බැවින්, රාත්‍රියේ ඔවුන් ලමුන් සමග පසුවන්නේ කලුවරේය. අනාථ වී සිටින්නේ කවුද යන්න ලේඛනගත කිරීම හෝ වාර්තා ගැනීම සිදු නොකෙරේ. 2009 සිට, පැවති ආන්ඩුවලින් ඉඩම් ඉල්ලා සිටි බවත්, එසේ ලබා දීමට රජයේ ඉඩම් නොමැති බව පවසමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවත් ඇය සිහිපත් කලේ කනගාටුවෙනි. “රජයෙන් තහඩු කෑල්ලක්වත් නොලැබුනු” බවත් ගමේ සහෝදර ජනතාවගේ උදව්වෙන් යම්තම් ජීවත්වීමට හැකියාව ලැබී තිබෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කලා ය.

“අපේ ගෙවල් තියෙන පහත් බිම මැදින් ගලන කානුව නිසි පරිදි නඩත්තු කරා නම් වතුර ටික ගඟට බැහැලා යනවා. වැස්සක් එනව කිව්ව ගමන් අපි බයයි. ප්‍රදේශයේ ටොයිලට් උතුරනවා. වතුර බොන්න බැහැ. කලටුවාව ජලාශයත් යට වෙලා. ඒ වතුරත් පිරිසිදු නැහැ. මිනිහෙක් මැරුනොත් පමනක් ලක්ෂ දහයක් දෙනවා කියනවා. මෙතෙක් අලාභහානිවලට කිසිම ආන්ඩුවක් සල්ලි දීලා නැහැ. කැඩුනු ගෙවල්  අපි ම හදා ගත්තා. ආන්ඩු දුප්පත් මනුස්සයට සලකන්නේ නෑ.”

ඇගේ එක් පුතෙකු මෙවර අපොස උසස් පෙල විභාගයට ඉදිරිපත් වී ඇත. තව එක් විෂයක් පැවැත්වීමට තිබෙන බවත් ඔහුට විභාගයට හිත යොමු කරමින් අධ්‍යන කටයුතු කරගැනීමට මෙම වාතාවරනය යටතේ නොහැකි වූ බවත් ඇය ශෝකයෙන් පැවසුවා ය.

21 හැවිරිදි කවීන් මතිඳු පැවසුවේ ජලය බැස ගොස් ආරක්ෂක ස්ථානයෙන් යන්න කිව්වොත් තමන්ට යන්නට තැනක් නොමැති බවයි. මෙවර අපොස උසස් පෙල විභාගයට මුහුන දුන් තම සහෝදරියගේ හැඳුනුම්පත පවා නැති වී ඇති බවත් ඒවා නැවත සකසා ගැනීමට විශාල උත්සහයක් දැරීමට සිදුවන බවත් ඔහු සඳහන් කලේ ය. 

“මම ඉන්න ගේ පොඩියක් හදාගත්තේ තැඹිලි විකුනලා. දැන් ඒ ගේ කැඩිලා ගිහින්. ගෙදර තිබෙන සියලු බඩු නැති වුනා. මගේ ස්වාමියා කුලී වැඩ කරනවා. ඒත් හැමදාම වැඩ ලැබෙන්නේ නෑ. බිල් නොගෙවූ නිසා කීප වරක්ම ලයිට් වතුර කපලා දැම්මා. පස්සේ ගමේ අය මැදිහත් වෙලා ඒවා ආයෙත් අරන් දුන්නා. අපේ ජිවිත ඉතාම දුක්ඛිතයි. මට අවුරුදු 16ක ආබාධිත දුවක් සිටිනවා. ඇගේ බෙහෙත් වලට විශාල වියදමක් යනවා. ඇය නිතිපතා වෛද්‍ය සායනවලට ගෙනි යන්න විදිහක් නැහැ. මේ ගංවතුරෙන් පස්සේ අපිට ජීවත් වෙන්නෙ කොහොමද කියල හිතා ගන්නත් බෑ” යැයි ගයාසිනී රාජිනි පැවසී ය.

හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ රැඳීසිටින ජල ගැල්මෙන් නිවාස යටවූ පිරිසක් එච් ගයාසිනී රාජිනී සහ ඇගේ දියනිය(දකුනේ)

කලුඅග්ගල දොන් බොස්කෝ විද්‍යාලයේ තවත් සහන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. පහල හංවැල්ල සීවලී වත්තේ පදිංචිව සිටි පවුල් 60 කට අයත් 200 ක පමන ජනයා එහි රැඳී සිටිති.

දින තුනක සිට එහි රැඳී සිටින ශිරෝමි ජයසූරිය මෙසේ කීවාය: “ගේ ඇතුලේ මුකුත් ඉතිරිවෙලා නැහැ. ගෙටත් උඩට අඩි දෙකක් වතුර දාලා. අපි මෙතැනට ආවේ ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෑම දෙනවා. නිදාගන්න මෙතන කිසිම පහසුකමක් නැහැ. සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇත්තේ ම නැහැ. ආහාර ද්‍රව්‍ය අපට ලබාදෙනවා කියලා අප වීඩියෝ කරගන්නවා. නමුත් ඇත්තටම ඒවා අපට ලබාදුන්නේ නැහැ. ස්වාමියා විශ්‍රාමිකයි. පෙන්ශන් එකෙන් තමයි අපි ජීවත් වෙන්නේ.”

2016 වසරේ මෙවැනිම විශාල ගංවතුරක් පැමිනි බවත්, එවැනි විශාල ගංවතුර නොවුවත්, සෑම වසරකම ජල ගැලීම් සිදුවන බවත් ඩී.සම්පත් පැවසුවේ ය. “දනහිසේ මට්ටමට වතුර ගැලුවත්”, ගෙවල් අතහැර ආරක්ෂක ස්ථානවලට නොයන බවත් එසේ කරන්නේ විශාල ගංවතුරකට මුහුන දුන් අවස්ථාවල පමනක් බවත් ඔහු සඳහන් කලේ ය. 

“අපට කෑම එපා, අපි ආන්ඩුවෙන් ඉල්ලන්නේ වතුරෙන් යට වෙන්නෙ නැති තැනක ඉඩම් කෑල්ලක් විතරයි. අපි බොහෝ අය කුලී වැඩ කරන්නේ. ගෙවල් සුද්ද කරගන්න සතියක් වත් යනවා. මේ මුලු කාලෙට ම අපිට කිසිම ආදායමක් නෑ. ආන්ඩුව ලබාදෙන්නේ එක පවුලකට රුපියල් 2100 ක බඩු මල්ලක් විතරයි. මාධ්‍යවලට කියන්නේ අඩුපාඩු නැතුව කරනවා කියලා.”

තමන් ඇතුලු පවුල් 12 ක්, හංවැල්ල කනත්ත අසල ඉඩමක පෙර දී ජීවත් වූ බවත්,  2009-2010 අතර කාලයේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව බලහත්කාරයෙන් ඔවුන් එම ඉඩමෙන් ඉවත්කොට මෙම පහත් බිමේ පර්චස් 04 බැගින් වූ ඉඩම් කැබලිවල පදිංචි කල බවත් ඔහු පැවසීය. ප්‍රාදේශීය සභාව, තම විරුද්ධත්වය නො නොතකමින් බැකෝ යන්ත්‍ර මගින් තම නිවාස කඩා ඉවත් කොට ඉඩම ලබාගත් ආකාරය ඔහු කෝපයෙන් විස්තර කලේය. දැන් ඔවුහු, සෞඛ්‍ය පහසුකම් කිසිවක් නොමැති, 10'X9' කුඩා කාමර වලට කොටු ව සිටිති. 

“ගෙවල් සුද්ද කරගන්න රතුකුරුස සංවිධානය රුපියල් 20,000ක් දෙනවා. කුලී පදනමේ ඉන්න අයට ඒක ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම කඳවුරේ ඉන්න අයට පමනයි ඒ මුදල ලබා දෙන්නේ. බොහෝ අය ගෙවල් වතුරෙන් යට වුනාම තමන්ගේ හිතවතුන්ගේ ගෙවල් වල ඉන්නවා. ආන්ඩුව බොහෝ විට උත්සාහ කරන්නේ මේ සහනාධාර පුලුවන් තරම් කපා දාන්න. 2016 අලාභහානි ගෙවනවා කියලා අපේ නම් ලියාගෙන ගියාට තවම ලැබුනේ නැහැ. මේ ආන්ඩුව යටතෙත් දුප්පතාට හොඳක් වෙනවා කියලා හිතන්නේ නැහැ.”

ආර්. ඒ. චමින්ද රනතුංග සඳහන් කලේ, සීවලී වත්ත අසල තිබෙන ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමේ ප්‍රජා ශාලාවක් තනා දෙන ලෙස කෙතෙක් ඉල්ලීම් කල ද එය මෙතෙක් ඉටු වී නොමැති බවයි. එවැන්නක් තිබුනේ නම් තමන්ට මෙපමන දුෂ්කරතාවන් නොවිඳ එහි රැඳී සිටිය හැකි ව තිබූ බවත් ඔහු සඳහන් කලේ  ය. “පාලකයො දුප්පතුන්ට සලකන්නෙ මෙහෙම තමයි” ඔහු කීවේ ය.

ආර් ඒ චමින්ද රනතුංග

“අපේ ගෙවල්වලට යාබද පහත් බිම මේ වන විට ප්‍රාදේශීය සභාව ගොඩකරනවා ෆැක්ටරි හදන්න. අපිට ඉඩම් දෙන්න බැරි උනාට ධනපතියන්ට දෙනවා. අපි හංවැල්ලෙ හිටියනම් තැඹිලි කපලා හරි ජීවත් වෙනවා. අපි මේ තත්වයට ඇදලා දැම්මේ  තිබ්බ ආන්ඩු. අපිට කෑම බීම එපා. අපි ආන්ඩුවෙන් ඉල්ලන්නේ ගංවතුරෙන් යටවෙන්නෙ නැති පර්චස් පහක් හරි දෙන්න කියලා.”

තම දෙමව්පියන් මුහුන දුන් ප්‍රශ්නයට ම තමන් ද  මුහුන දී සිටින බවත් මේ ලෙස ම පැවතීමට ඉඩදුනහොත් අනාගත පරම්පරාවන් ද මේ  තත්වයට මුහුන දෙන බවත්, එබැවින් එය වෙනස් කල යුතු බවත් ඔහු අවසාන වශයෙන් සඳහන් කලේ ය.

Loading