වසර හයක පමන කාලයක සිට රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත වී සිටින පාසල් සංවර්ධන නිලධාරීහු (පාසංනි) තරග විභාගයකින් තොරව තමන් ගුරු සේවයට අන්තර්ග්රහනය කරන ලෙස බල කරමින් සිටිති. වසර ගනනාවක් ඉගැන්වීමේ කටයුතුවල යෙදුනු පාසංනි ගුරුවරුන්, ගුරු සේවයට අන්තර්ග්රහනය කිරීමට තරග විභාගයකට පෙනී සිටිය යුතු යැයි අසාධාරන ලෙස නියම කර ඇත.
16 600 ක් පමන වන පාසංනි, අනෙකුත් ගුරුවරුන්ට සමාන වැඩ කොටසක් පාසල් තුල ඉටු කල ද ඔවුහු අනුප්‍රාප්තික ආන්ඩු විසින් කුරිරු වෙනස්කමකට භාජන කර ඇත. පාසංනි වැටුප, ඊට සමාන ව සේවය කරන ගුරුවරයෙකුට වඩා රුපියල් 6000කින් පමන අඩු ය. පාසල් කාර්යාල කටයුතු ද ඔවුන් මත පටවා සවස 3.30 දක්වා පාසලේ රැඳී සිටීමටත් පාසල් නිවාඩු කාලයේ දී ද පාසලට වාර්තා කිරීමටත් නියම කර තිබේ. ගුරුවරුන්ට හිමි වන ‘දුෂ්කර දීමනා’ වැනි කිසිදු දීමනාවක් පාසංනි ගුරුවරුන්ට හිමි නැත. ඕනෑ ම මොහොතක ඔවුන් වෙනත් අමාත්‍යාංශවල රාජකාරී සඳහා යොමු කිරීමේ හැකියාව ද බලධාරීන්ට තිබේ.
පාසංනි වෘත්තීය සමිතිවල නායකයන් බලයට පත් ආන්ඩුවලට බලපෑම් දැමීමට විවිධ විරෝධතා කැඳවා තිබේ. පසුගිය ජනාධිපතිවරන උද්ඝෝෂන සමයේ, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) නායකයන් ඡන්ද ගසාකෑමට දුන් කප්පරක් පොරොන්දු අතරට පාසංනි ඉල්ලීම ඉටුකිරීම ද ඇතුලත් විය. ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ඒමෙන් පසු අනෙක් පොරොන්දු මෙන්ම මෙම පොරොන්දුව ද කුනු කූඩයට විසි කලා පමනක් නොව, ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ පාසංනි පැවැත්වූ විරෝධතාව මැඬීමට පොලිසිය යෙදවූ අතර බොරු චෝදනා මත ගුරුවරුන් දඩයමක් ද උසිගැන්වුයේය.
ඉන්පසු මේ අවුරුද්ද පුරා තවත් විවිධ විරෝධතා කැඳවූ පාසංනි නායකයෝ ආන්ඩුවෙන් සාකච්ඡා ඉල්ලා සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරනයෙන් සාධාරනය ඉටුකරගත හැකිය යන මිත්‍යාවක ද තම සාමාජිකයන් කොටු කලහ.
තරග විභාගයක් නොපවත්වා ගුරු සේවයට අන්තර්ග්රහනය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ නඩු හතරක් ශ්‍රේෂ්ඨාධිකරනය විසින් අගෝස්තු මස 6 වැනි දා නිෂ්ප්‍රභ කරන ලදී. ආන්ඩුවේ තීරනය මේ නඩු තීන්දුවලින් ස්ථිර කෙරුනි. එය පුදුමයක් නොවේ. අධිකරනය ධනපති රාජ්‍යයේ කුලුනු වලින් එකකි.
නොවැම්බර් මස 18 වැනි දා අගමැති සහ අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය පාසංනි වෘත්තීය සමිති නායකයන් පිරිසක් සාකච්ඡාවකට කැඳවූවා ය. අධිකරන තීන්දුවෙන් සහාය ලැබී තිබූ තතු තුල ඇය ප්‍රකාශ කලේ තමන් එම තීන්දුව අනුව තරග විභාග පවත්වා අලුතින් ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන බවයි. “අනාගතයේ දී කිසිදු හේතුවක් මත තරග විභාග නොපවත්වා ගුරු සේවයට බඳවා ගැනීම් නොකරන බව” දෙසැම්බර් 5 වැනි දා පාර්ලිමේන්තුවේ දී අමරසූරිය යලිත් අවධාරනය කලා ය.
විභාගයෙන් පසුව පවත්වන සම්මුඛ පරීක්ෂනයේ දී මෙම ගුරුවරුන්ගේ අත්දැකීම්වලට “ප්රමුඛත්වයක්” ලබා දෙන බව සඳහන් වුවත් ජාතික මට්ටමින් හෝ පලාත් මට්ටමින් ගුරු තරග විභාග පැවැත්වුවහොත් ඒ සඳහා දැනට රැකියා විරහිත ව සිටින 40 000කට වැඩි උපාධිධාරීන් ද පෙනී සිටින තතු තුල සියලු පාසංනිට තෝරාගනු ලැබීම සැක සහිත ය.
නඩු නිශ්ප්‍රභා වීමෙන් පසු, ගුරු සංවර්ධන නිලධාරී සංගමයේ නායකයෝ අගොස්තු මාසයේ කොටුව දුම්රියපල ඉදිරිපිට සත්‍යග්‍රහයක් සංවිධානය කලහ. විරෝධතාවල නිෂ්ඵලකම බොහෝ සාමාජිකයන් තේරුම් ගනිමින් සිටින තතු තුල, සත්‍යග්‍රහයට සම්බන්ධ වූයේ ඔවුන්ගෙන් අතලොස්සකි.
මේ සත්‍යග්‍රහයේ දී සමිති නායකයන්ගේ ධනපති ගැතිකමේ තවත් පැත්තක් ප්‍රදර්ශනය විය. ඔවුහු විපක්ෂයේ සමගි ජන බලවේගයට (සජබ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප), පොදු ජන පෙරමුන (පොජපෙ) හා ජාතික නිදහස් පෙරමුනේ නායකයන්ට එම සත්‍යග්‍රහනයට සහයෝගය ප්‍රකාශ කිරීම සඳහා ආරාධනා කර තිබුනහ.
දේශපාලනික ව පාරාජිකා වී සිටින මේ පක්ෂවලින් මන්ත්‍රීන් කිහිප දෙනෙක් පැමින සිටියහ. “පාර්ලිමේන්තුවේ දී මේ ගැන සාකච්ඡා කරන බව” සජබ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු විපක්ෂ මන්ත්‍රීවරු කියා සිටියහ. එම පක්ෂ මෙම ගුරුවරුන්ගේ ඉල්ලීම් දිය යුතු බවට කිසිදු ප්‍රකාශයක් කර නැත. මෙම පක්ෂ වලට ද ඇත්තේ, ඒවා බලයේ සිටි කාලයේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් පාගා දැමීමේ ඉතිහාසයකි.
තමන්ගේ ක්‍රියාමාර්ග සියල්ල නිෂ්ඵල වූ තැන ගුරු සංවර්ධන නිලධාරී සංගමය හා සමස්ත ලංකා පාසල් නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාසංනි සමිති නායකත්වයන් ඊලඟට හැරුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලධාරීන්ට ආයාචනා කිරීමටයි. අධිරාජ්‍යවාදීන් විශේෂයෙන් එක්සත් ජනපදය ආධිපත්‍ය දරන මේ සංස්ථාවට අන්ත ප්රතිගාමී තර්ක ඉදිරිපත් කරමින්, මේ සමිති නායකයන් තම ඉල්ලීම ඉටුකරන ලෙස ලිපියක් යවා ඇත.
ඔවුන් ජාමූඅ වෙත යැවු ලිපියේ කියා ඇත්තේ, “රජයට මූල්‍යමය බරක් වන” නවක උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම නතර කරන ලෙසයි. “දැනටමත් සේවයේ නිරත ව සිටින පාසංනි ඒ සඳහා යොදා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 12.65 ක් ආන්ඩුවට ඉතිරි කරගත හැකි” යයි ලිපිය ජාමූඅ වෙත පෙන්වා දෙයි.
එලෙස, ඔවුහු දැනට රැකියා විරහිත ව සිටින උපාධිධාරීන් නව ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට එරෙහි වී, කම්කරු-දුගී ජනයාගේ අයිතීන් කප්පාදු කරන වැඩපිලිවෙලට පක්ෂපාත වී සිටිති.
සමිති නායකයන් තමන් මුලාවේ හෙලමින් ගෙන යන ධනපති ගැති වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය සහ ගුරුසිසු දෙමව්පිය සුරක්ෂිතතා කමිටුව පාසල් සංවර්ධන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. මෙම සමිති නායකයන් රැකියා තහවුරු කර ගැනීමේ ඔබේ අරගලය වංක ගිරියක හිර කර ඇත. එය, ධනපති ක්‍රමයට හා එහි රාජ්‍යයට බැඳුනු ඔවුන්ගේ ජාතිකවාදී දේශපාලනයේ ප්රතිඵලයකි. මෙම ක්‍රියාකලාපය පාසංනි සමිති නායකයන්ට පමනක් සීමා වී නැත, අනෙකුත් අංශවල වෘත්තීය සමිති නායකයන් සිදුකරන්නේ ද මෙවැනි ම පාවාදීම් ය.
ගුරු සමිතිවල නායකයන් පාසංනි ගුරුවරුන් ආරක්ෂා කිරීමට හා ඔවුන්ගේ ඉල්ලීම් තම සාමාජිකයන්ගේ ඉල්ලීම් සමග ඒකාබද්ධ කිරීමට විරුද්ධ ය. පාසංනි සමිති නායකයන් රැකියා විරහිත උපාධිධාරීන්ට සතුරු ව තම සමිති සාමාජිකයන් පිහිටුවා ඇත.
කලින් ආන්ඩු මෙන්ම, ජවිපෙ/ජාජබ ආන්ඩුව ද ක්‍රියාකරන්නේ ජාමූඅ මුර්ග කොන්දේසි ක්‍රියාවට දමමින්, ලංකාවේ ධනපති පන්තියේ අර්බුදයේ වලෙන් ගොඩ ගැනීමටයි. ආන්ඩුවට ජාමූඅ පනවා ඇත්තේ වියදම් කප්පාදුව, පුද්ගලීකරන වැඩපිලිවෙල, රැකියා කප්පාදුව, ඇතුලු පියවර මගින් කම්කරුවන් හා දුගීන් සූරා ගෙන මහා භාන්ඩාගාරය පුරවා, අත්හිටුවා ඇති නය ආපසු ගෙවීමට හා ධනපති මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ තර කිරීමයි. ධනපති පන්තියේ හා ජාමූඅ වැඩපිලිවෙලට කැප වී සිටින ආන්ඩුවකින් සුලු හෝ ඉල්ලීමක් දිනාගැනීමට දුගී කම්කරු-පීඩිත මහජනතාවට නොහැකි බව, පාසංනි ගුරු ඉල්ලීම ඉටුකිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පෙන්නුම් කර ඇත.
මෙය වනාහි ගෝලීය ධනවාදය යලිත් අර්බුදයේ අගාධයට ඇදී සිටින කාල පරිච්ඡේදයකි. ඇමරිකාව, යුරෝපය, ජපානය ආදී ධනපති මධ්‍යස්ථානවල මෙන්ම, ඉන්දියාව, පාකිස්ථානය, ලංකාව ආදී පසුගාමී රටවලද තත්වය එවැනි ය. ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී රටවල් ලෝකය බෙදා ගැනීමේ යුද්ධ කරා ලුහුටා යති; මේ සෑම රටක ම පාලක පන්ති ඒකාධිපති හා ෆැසිස්ට් පාලන ක්‍රම ඇටවීමට හැරී ඇත. මේ රටවල ආන්ඩු ධනපති ක්රමයේ අර්බුදය පටවමින් කම්කරුවන් දිනාගත් අයිතීන් තලා දමමින් සිටියි.
පාසංනි ගුරුවරුන්ට මෙන්ම කම්කරු පන්තියේ සෑම කොටසකට ම තම අයිතීන් රැක ගැනීමට හා දිනා ගැනීමට මාවත ලෙස ඇත්තේ ධනපති ආන්ඩුවේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීම තුල ය; ඒ සඳහා කම්කරු පන්තියේ සෑම කොටසක් ම ඒකාබද්ධ කරගත් අරගලයක් දියත් කිරීම තුලයි.
එබඳු අරගලයක් සංවිධානය කල හැක්කේ, සමිති නායකත්වයන්ගේ පිලිකුල් සහගත ධනපති ගැති වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කර තම අයිතීන් සඳහා අරගලය තම අතට ගැනීමයි. එය කල හැක්කේ කෙසේ ද? ඔවුන් පාසල්බද ව සහ ප්රදේශබද ව, ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙනි. සමිති නායකයන් හා ධනපති පක්ෂ වලට මේවා තුල කිසිදු ඉඩක් නොදිය යුතු ය.
සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියේ සෑම කොටසක් අතර ම ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව අවධාරනය කරමින් අරගලයක දී සිටි. මෙබඳු ක්‍රියාකාරි කමිටු ජාලයක් නොපමා ව ම ගොඩනගමින් ආන්ඩුවේ හා ජාමූඅ ප්‍රතිපත්ති පරාජය කිරීමේ ඒකාබද්ධ අරගලයකට පදනම දැමීම කල හැකි ය.
සසප සහ ගුරු-සිසු-දෙමව්පිය සුරක්ෂිතතා කමිටුව, පාසල් සංවර්ධන නිලධාරින් අතර මේ කරුනු නිරන්තර පැහැදිලි කිරීමක යෙදුනි. අප ඉදිරිපත් කල ක්‍රියාමාර්ගය දෙස නැවත හරි බලන ලෙස අපි ඔබෙන් ඉල්ලමු. එම ක්‍රියාමාර්ගයට සටන් කිරීමේ අවශ්‍යතාව සනාථ වී ඇත. තම පාසල්වල හා පාසල්බද ව ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් අරගලයට එක්වන්න. ඒ පිලිබඳව සාකච්ඡා කිරීමට අපි උදක් ම සූදානම් ව සිටිමු. අප අමතන්න.
කම්කරු පන්තියේ හා දුගීන්ගේ අයිතීන් රැක ගැනීම හා දිනා ගැනීම ධනපති ක්‍රමය තුල හෝ ජාතික රාමුව තුල සිදු කල නොහැක. ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත, ලංකාව තුල සමාජවාදී ක්‍රියාමාර්ගය ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදින ලෙස සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ මේ නිසා ය.
