මාඋස්සාකැලේ විජයකුමාර්ගේ සහ යටියන්තොට රජිනිකාන්තගේ මරන

“මේ කොම්පැනි ලෝකෙ වටේ අසරනසරන වැඩ කරන ගමන් තමන්ගෙම කොම්පැනිවල වැඩ කරන කම්කරුවන් බිල්ලට දෙනවා”

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික), දෙසැම්බර් 21 වැනි දා ඉරිදා, මස්කෙලිය අප්කොට් පාරේ පීඑම්ඩී උත්සව ශාලාවේ දී, “මාඋස්සාකැලේ විජයකුමාර්ගේ සහ යටියන්තොට රජිනිකාන්තගේ මරන: ලාභය උදෙසා ජීවිත බිලි නොදෙනු!” යන මැයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි. 

මරනයට පත් කම්කරුවන්- විජයකුමාර් සහ රජිනිකාන්ත

නොවැම්බර් මස මුල් සතිය තුල, යටියන්තොට කිරුපෝරුව-වත්තේ පිහිටි, හේලීස් ව්‍යාපාර සමූහයට අයත් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම සතු රබර් සැකසුම් කම්හලක නිසි ප්‍රමිතියෙන් පවත්වා නොගත් බොයිලේරුවක් පුපුරා යාමෙන් රජිනිකාන්ත මරනයට පත් විය. මෙම අනතුරින් තවත් කම්කරුවෝ දෙදෙනෙක් බරපතල තුවාල ලදහ. 

එම සතියේදී ම, රිචඩ් පීරිස් සමාගම (ආර්පිකෝ)ට අයත් මස්කෙලිය වතු සමාගම හිමිකාරිත්වය දරන මස්කෙලිය මාඋස්සාකැලේ වතුයායේ තේ කම්හලේ දී ආරක්ෂක ආවරන නොයෙදූ ඇඹරුම් යන්ත්‍රයක පැටලීමෙන් විජයකුමාර් මරනයට පත් විය. 

මෙම කම්කරුවෝ අනාරක්ෂිත යන්ත්‍රවල වේගවත් කෙරුනු වැඩ ඉලක්ක හඹා යමින් සිටියහ. ලෝසවෙඅ මෙම සිදුවීම් ගවේෂනය කරමින් පෙන්වා දුන්නේ, සංස්ථාපිතයේ මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට විපරීත ව, මෙම මරන, කම්කරු ජීවිතවලට ඉහලින් ධනේශ්වර ලාභය තැබීම නිසා ඇති වූ කාර්මික ඝාතන විනා හුදෙක් “අවාසනාවන්ත සිදුවීම්” නොවන බවයි.

මෙම කරුනු විස්තරාත්මකව පැහැදිලි කරමින් දෙසැම්බර් 21 වැනි දා පවත්වන රැස්වීම ඉලක්ක කර ගනිමින්, සසප සහ වකක්‍රික, කම්කරුවන් සහ තරුනයන් අතර සාකච්ඡා මාලාවක් ගෙන ගියේ ය. පහත පල කෙරෙන්නේ එම සාකච්ඡාවල දී මස්කෙලිය රෝහලේ සේවකයෙක්, පේරාදෙනිය ලමා රෝහලේ හෙදියක් සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවන් ය.

රජයේ රෝහල් සේවකයන්ට, තම සේවා කොන්දේසි හෙලිදරවු කිරීමට එරෙහි ව දන්ඩනීය නියමයන් පනවා ඇති තතු යටතේ මෙම වාර්තාව පල කෙරෙන්නේ ඔවුනගේ නම් හෙලි නොකරමිනි.

මස්කෙලියේ තේ වතු ආශ්‍රිත වතු කම්කරුවන්ට ඇති ප්‍රධාන ම රෝහල වන මස්කෙලිය දිසා රෝහලට දිනකට බාහිර රෝගීන් 250ක් පමන පැමිනෙති.  “අවට තේ වතුවල වැඩ කරන අය විවිධ අනතුරුවලට ලක් වෙලා මෙම රෝහලට ගේනවා. ඒ අයට එහෙම  අනතුරු සිදුවන්නෙ වතු සමාගම් ඔවුන්ගේ ආරක්ෂාව ගැන නොතකන නිසා” යැයි සෞඛ්‍ය සේවකයා පැවසී ය.

කෝවිඩ්-19 වසංගතයෙන් පසු ශල්‍ය වෛද්‍ය ඒකකය පහසුකම් නොමැති කමින් වසා දමා ඇත. “රෝහලේ වාට්ටු හතක් තිබුනත් ඉන් තුනක් වහල තියෙන්නෙ. ලෙඩ්ඩු ඉන්නෙ වාට්ටු හතරක විතරයි. මූලික පහසුකම් නැති නිසා බොහොමයක් වතු කම්කරුවන්ට කිලෝ මීටර 12ක් දුරින් තියෙන දික්ඔය මූලික රෝහලට යන්න සිදු වෙනවා.”

රෝහලේ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කල නොහැති තත්ත්වයක පවතින අතර විදුලිය බිඳ වැටීමක දී විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන සියලු ම වෛද්‍ය උපකරන ඇන හිටී. එබඳු උපකරනයක් මත රඳා පවතින රෝගියෙකුගේ ජීවිතය අවදානමකට පත් වෙයි. සෝපානය ද ක්‍රියා විරහිත වන නිසා තට්ටු හතරකින් සමන්විත රෝහලේ තට්ටු අතර රෝගීන් ගෙන යාම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත. 

රෝහල, කාර්ය මන්ඩල හිඟයෙන් දැඩි ව පීඩාවට පත් ව තිබේ. “රෝහලටම ඉන්නෙ දොස්තරවරු පස් දෙනෙක්, නර්ස්ල හත් දෙනෙක් සහ කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයො පහලොස් දෙනෙක් විතරයි. සියලු පිරිසිදු කිරීම් සහ මුරකරුගේ වැඩේ කනිෂ්ට කාර්ය මන්ඩලයට පැවරිල තියෙන්නෙ.”

මේ ද, ධනේශ්වර ලාභය කම්කරු ජීවිතවලට ඉහලින් තැබීමේ ප්‍රතිපත්තියේ ම දිගුවකි. මහජන සෞඛ්‍ය සේවය මේ තත්ත්වයට පත් වීමට මූලික හේතුව වනුයේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් ක්‍රියාවට නංවන ලද කප්පාදු පියවරයන් ය. ඊට අනුගාමී ව, වතු කම්කරු නිවාස ආශ්‍රිත ව වතු සමාගම් විසින් පවත්වාගෙන ගිය සීමිත ඩිස්පෙන්සරි සංඛ්‍යාවෙන් බොහොමයක් වතු පරිපාලනයන් විසින් අතහැර දමනු ලැබ ඇත.

***

පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුවෙකු වන නිපුන මෙම කම්කරුවන් දෙදෙනාගේ ජීවිත අහිමිවීම සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපි කියවා අදහස් දැක්විය.

“කම්කරුවන් වැඩ කරන තැන්වල ආරක්ෂාව සොයාබැලීමට කෙනෙක් අනිවාර්යයෙන් යෙදවිය යුතුයි. යම් ඉදිකිරීම් ව්‍යාපෘතියක දී සේෆ්ටි (ආරක්ෂාව) ගැන සොයා බලන්න කෙනෙක් යොදවනවා. නමුත් මම ලඟදි පුහුනුවට ගියා ඉදිකිරීම් සයිට් එකකට. ආරක්ෂාව ගැන සොයා බලන්න කවුරුත් යොදවලා තිබුනෙ නෑ. එහි වැඩ කල කම්කරුවන්ට ආරක්ෂක උපකරන ලබා දී තිබුනෙත් නෑ. ඒ වගේ තත්වෙක තමයි මම වැඩ කරපු තැනත් තිබුනේ.”

“දැන් මේ කම්කරුවන් වැඩ කරපු තැන්වල බොහෝ පරන යන්ත්‍ර තිබුනෙ කියල සඳහන් වෙලා තිබුන. නමුත් ලෝකෙ ඕන තරම් නවීන, ආරක්ෂාව සහිත යන්ත්‍ර තියෙනවා. නමුත් ඒවා යොදවන්න ගියොත් අමතර වියදමක් යනවා, ග්ලවුස් වගේ දේවල් නිතර මාරු කරන්න වෙනව, සමහර ඒවා අවුරුදු ගනනක් පාවිච්චි කරන්න බෑ ඒවා අලුතෙන් ගෙන්වන්න වෙනවා. ඒ පිරිවැයත් එක්ක ප්‍රමානවත් ආරක්ෂාවක් දෙන්නේ නෑ මොකද එහෙම කලොත් ලාභය අඩුවෙනවා.”

මෙම අනතුරු සම්බන්ධයෙන් ලෝසවෙඅ ලිපි කියවීමෙන් පසු ඒ ගැන වැඩිදුර සොයා බැලීමට අන්තර්ජාල ගවේෂනයක් සිදු කලත් සංස්ථාපිතයේ මාධ්‍යවල ඒ සම්බන්ධයෙන් කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව ඔහු  පැවසුවේ ය. “ධනපතියන්ගෙ මාධ්‍ය මහා ව්‍යාපාරිකයන්ට හානිවන දේවල් පල කරන්නෑ. ධනපති මාධ්‍ය කම්කරු ජීවිත ආරක්ෂා කරනවට වඩා ධනපතියන්ගේ ලාභය ආරක්ෂා කරන්න වැඩ කරනවා කියන එක මට තේරුනා,” 

“මේ කොම්පැනි ලෝකෙ වටේ චැරිටි (අසරනසරන) වැඩ කරන ගමන් තමන්ගෙම කොම්පැනිවල වැඩ කරන කම්කරුවන් බිල්ලට දෙනවා. මම හිතන්න ඔය චැරිටි වර්ක් කරන්නේ එයාලගෙ ප්‍රසිද්ධිය වැඩි කර ගන්නත් ඉන්කම් ටැක්ස් වලින් ගැලවෙන්නත් කියලා. ඇත්තටම ඒ වැඩ වලට වියදම් කරන්නේ කම්කරුවන්ගෙන් හූරාගත්ත මුදල්,” යැයි ඔහු වැඩි දුර පවසා සිටියේ ය. 

***

පේරාදෙනිය ලමා රෝහලේ හෙදියක් ලෝසවෙඅ ලිපිය කියවමින් මෙසේ තම අදහස් ප්‍රකාශ කලා ය.

“කොපමන වැඩ තිබුනත් මම මේ ලිපිය කියවන්න වෙලාව හදා ගත්තා. මම මේ ලිපිය (සතියක් තුල ලංකාවේ කම්කරුවන් දෙදෙනෙක් මිය යති) කියෙව්වෙ බස් එකේ යන ගමන්. කම්කරුවන් අනතුරේ හෙලමින් වැඩ කොන්දේසි දරුනු වන ආකාරය අනුව අපිට මේ එන එන විදිහට හැඩගැහි ගැහි තවදුරටත් යන්න බෑ කියලා හිතෙනවා. 

මගේ සේවා කාලේ දැන් අවුරුදු 18ක් විතර වෙනවා. කෝවිඩ් ආපු වෙලාවේ මුලින්ම අපිට කිසිම ආරක්ෂිත උපකරන ඒ වගේ දේවල් තිබුනෙ නෑ. කාලයක් යනකොට තමයි සමහර දේවල් ලැබෙන්න පටන් ගත්තෙ. ඒවා හම්බෙන්න පටන් ගන්න කොට උච්ඡතම අවස්ථාව පහුවෙලා අවශ්‍යම අවස්ථාවේ හම්බවුනේ නෑ. එතකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.

තවත් ප්‍රශ්නයක් තමයි ඖෂධ හිඟය. එයින් සෞඛ්‍ය කම්කරුවන්ට වගේම රෝගීන්ට ඉතා අනාරක්ෂිත භාවයක් ඇති කරලා තියෙනවා. උදාහරනයක් විදියට ෆිට් එකට දෙන ලිවර්ට්‍රිසිපෑම් කියන බෙහෙත  ගනන් බෙහෙතක් සමහර කාලවලට තියෙනවා සමහර කාල වලට හොස්පිටල් එකේ නෑ. ඩොක්ටර්ස්ලා ඒක අම්මලට පිටින් ගන්න කියලා ලියලා දුන්නට මුදල් නැති නිසා ඒවා ගන්න බොහෝ රෝගීන්ට පුලුවන්කමක් නෑ. ඉතින් ඒක රෝගී දරුවන්ට අනාරක්ෂිත භාවයක් .එයාලට රෝගය නිතර නිතර හැදෙනව; රෝහලට නිතර නිතර ඇතුලත් කරනවා. ඉතින් සෞඛ්‍ය සේවය අනාරක්ෂිතයි. මේ බෙහෙත් සැලසුම් කරලා අඛන්ඩව සපයන ක්‍රමයක් අවශ්‍යයි.

බොහෝ රෝහල්වල සිටි යන්ත්‍ර කැඩිලා කියලා පසුගිය දවස්වල  ආරංචි වුනා. ඒකත් අනාරක්ෂිත තත්ත්වයක් තමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ යන මේ වගේ ලිපි සෑම කම්කරුවෙක් ම කියවන්න ඕන  කියන එක මට කියන්න පුලුවන්. මේ වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්නෙ කොහොමද කියල සාකච්ඡා කරන්න කම්කරු ක්‍රියාකාරී කමිටු අවශ්‍යයි කියන එක මට පැහැදිලි වුනා. නමුත් මේවා හදනවාට මේ සමාගම්, ආන්ඩුව වගේම වෘත්තිය සමිති නායකයෝ බාධා කරනවා.

2022 අරගලයේ දී කම්කරුවන් මේ බාධාවන් කපාගෙන එකට එකතු වුනා කියන ඇත්ත පිලිගන්න වෙනවා. ඒ අරගලයේ දී කම්කරුවන්ට වැඩපිලිවෙලක් තිබුනේ නෑ කියන එකත් ඇත්ත. නමුත් මේ සීමාසහිතකම් ක්‍රියාාකාරී කමිටු ගොඩනැගීම හරහා ජය ගත යුතු වෙනවා.”

Loading