ඉදිරිදර්ශන

මිනසෝටා මහා වැඩ වර්ජනය සහ එක්සත් ජනපදය තුල පන්ති අරගලය යලි මතුවීම

[මෙය The Minnesota general strike and the re-emergence of class struggle in the United States යන මැයෙන් 2026 ජනවාරි 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මේ සතිය මුල දී ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් නුවර, සේන්ට් පෝල් හි ප්‍රාන්ත කැපිටෝලය (ප්‍රාන්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල) අසල දී අයිසීඊ (ICE) නිලධාරියකු විසින් වෙඩි තබා ඝාතනය කල රෙනේ ගුඩ් සිහිපත් කිරීම සඳහා ජනයා රැස් වෙති. 2026 ජනවාරි 6, සිකුරාදා. (ඡායාරූපය, ජෝන් ලොකර්, AP)  [AP Photo/John Locher]

අයිසීඊ ය විසින් මිනියාපොලිස් හි රෙනේ නිකොල් ගුඩ් ඝාතනය කිරීමට පසු දින, එනම් ජනවාරි 8 වන දින, ලෝක සමාජවාදී වෙබ් අඩවිය “සිදුවීම්වල තර්කනය ට්‍රම්ප් තන්ත්‍රයට එරෙහි මහා වැඩ වර්ජනයක්, එනම් මර්දනයේ සහ සූරා කෑමේ යාන්ත්‍රනය නැවැත්වීම සඳහා සෑම කර්මාන්තයක ම කම්කරුවන්ගේ දැවැන්ත, සම්බන්ධීකෘත මැදිහත්වීමක් කරා නොවැලැක්විය හැකි ලෙස ගමන් කරමින්” තිබෙන බව පැහැදිලි කරමින් ප්‍රකාශයක් පල කලේ ය.

ඊට සතියකට පසු, ට්‍රම්ප්ගේ පැරාමිලිටරි හමුදා විසින් දිනපතා සිදු කරන ම්ලේච්ඡත්වය සම්බන්ධයෙන් කෝපයට පත් වැඩ කරන ජනතාවගේ වැඩෙන පීඩනයට ප්‍රතිචාර වශයෙන්, මිනියාපොලිස් හි ප්‍රාදේශීය වෘත්තීය සමිති සහ ප්‍රජා සංවිධානවල සන්ධානයක් විසින් ජනවාරි 23 වන දින මහා වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

මිනසෝටා ප්‍රාන්තයේ ඒඑෆ්එල්-සීඅයිඕ සංවිධානය මේ දක්වා මෙම ක්‍රියාව අනුමත කිරීමට අපොහොසත් වී ඇති අතර, එහි නිල වෙබ් පිටුව “වැඩ වර්ජනය” යන වචනය ප්‍රවේශමෙන් මඟහරිමින්, ඒ වෙනුවට— “සත්‍යයේ සහ නිදහසේ දිනය” යන සටන් පාඨය යටතේ—කම්කරුවන්ට අසනීප නිවාඩුවක් සඳහා කැඳවුම් කරමින්, එදින පාරිභෝගිකයින්ට කිසිවක් මිල දී නොගන්නා ලෙසත්, ව්‍යාපාර ස්වේච්ඡාවෙන් වසා දමන ලෙසත් ඉල්ලා තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයට සමීප ව බැඳී ඇති වෘත්තීය සමිති මෙවලම, ජනගහනයේ පුලුල් ස්ථර අතර ක්‍රියාත්මක වෙමින් තිබෙන මහා වැඩ වර්ජනයක් සඳහා වර්ධනය වන සහයෝගය මැඩපැවැත්වීමට උත්සාහ කරයි.

කෙසේ වෙතත්, දේශපාලන සාකච්ඡාවට මහා වැඩ වර්ජනය අවතීර්න වී තිබීම ම, පන්ති අරගලයේ නව අවධියක සහ එක්සත් ජනපදයේ සමාජ හා දේශපාලන ධ්‍රැවීකරනයේ ප්‍රකාශනයකි. එයින් පිලිබිඹු වන්නේ, සාම්ප්‍රදායික දේශපාලන මාවත් වලට—අධිකරන අභියෝග, දේශපාලනඥයින්ට කෙරෙන ආයාචනා, මැතිවරන උපාමාරු සහ පීඩන ව්‍යාපාරවලට—ඒකාධිපතිත්වය දෙසට වන වේගවත් හැරීම නතර කල නොහැකි බවට කම්කරු පන්තිය තුල පවතින වර්ධනය වන හැඟීමකි.

මිනසෝටා හි මහා වැඩ වර්ජනයක් සඳහා වන ඉල්ලීම, ට්‍රම්ප් පරිපාලනය සහ මිනියාපොලිස් සහ අනෙකුත් නගරවල අයිසීඊ විසින් සිදු කරන ලද මර්දනය නාටකාකාර ලෙස උත්සන්න කිරීමට දක්වන ලද ප්‍රතිචාරයක් බව බැලූබැල්මට පැහැදිලි වේ. සංක්‍රමනික කම්කරුවන් ඉලක්ක කරගත් මහා පරිමාන වැටලීම් සහ අතුගා දැමීම් ලෙස ආරම්භ වූ ක්‍රියාදාමය, පැරාමිලිටරි යෙදවීම් සහ එක්සත් ජනපදයේ ප්‍රධාන නගරයක් අත්පත් කර ගැනීම දක්වා වර්ධනය වී ඇත. සියලු ප්‍රජාතන්ත්‍රවාදී මවා පෑම් වීසි කර දමා ඇති මෙම ප්‍රහාරය, කැරලි පනත ඇතුලු අසාමාන්‍ය බලතල ක්‍රියාත්මක කිරීම සහ ජනගහනයට එරෙහි ව හමුදාව යෙදවීම සඳහා වන ට්‍රම්ප්ගේ තර්ජනය සලකුනු කරයි.

විරුද්ධත්වය කෙරෙහි ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය තවත් උත්සන්න වීමට නියමිත ය. රෙනේ ගුඩ්ගේ ඝාතනයෙන් පසුව, තවදුරටත් හමුදා දිගේලි කරමින් සහ “කැරැලිකාරිත්වයේ” සහ “ත්‍රස්තවාදයේ” නිරතවීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ට තර්ජනය කරමින් මර්දන රැල්ලක් මුදා හැර තිබේ. සිකුරාදා, අධිකරන දෙපාර්තමේන්තුව, ෆෙඩරල් සංක්‍රමනික නීති බලාත්මක කිරීම්වලට “බාධා කල” බවට වන ව්‍යාජ චෝදනා මත, මිනසෝටා ආන්ඩුකාර ටිම් වෝල්ස් සහ මිනියාපොලිස් නගරාධිපති ජේකොබ් ෆ්‍රේට එරෙහිව සිතාසි නිකුත් කරමින් අපරාධ පරීක්ෂනයක් ආරම්භ කලේ ය. මෙය, තේරී පත් වූ නිලධාරීන්ට එරෙහිව අධිකරන පද්ධතිය අත්‍යසාමාන්‍ය ලෙස භාවිතා කිරීමකි.

කෙසේ වෙතත්, ඒ හා සම්බන්ධ පුලුල් කාරනා රැසක් පවතී. දේශපාලන බිඳවැටීමේ පරිමානය සහ පන්ති ආතතීන්ගේ රුදුරුභාවය විසින් විඥානයේ ගැඹුරු වෙනස්කම් ජනනය කරන ලක්ෂ්‍යයකට එක්සත් ජනපදය ලඟා කර තිබේ. ධනේශ්වර කතිපයාධිකාරය වෙනුවෙන් කතා කරන සහ ක්‍රියා කරන ට්‍රම්ප් පරිපාලනය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් බිඳ දමමින් ද, මහජන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ අනෙකුත් සමාජ සේවාවන්හි ඉතිරිපහදු දේ ඉවත දමමින් ද සිටී. එක්සත් ජනපද බිලියනපතියන් පසුගිය වසරේ දී පමනක් තම සාමූහික ධනය සියයට 18 කින්, එනම්, ඩොලර් ට්‍රිලියන 7 කට ආසන්න ප්‍රමානයකින් වැඩි කරගෙන ඇති අතර කම්කරුවෝ, AI තාක්ෂනය මගින් මෙහෙයවෙන රැකියා කප්පාදුවලට, ඉහල යන උද්ධමනයට සහ වඩ වඩාත් ගැඹුරු වන නයවලට මුහුන දෙති.

දේවල් “පැරනි ආකාරයෙන්” ඉදිරියට යා නොහැකි බවට වර්ධනය වන හැඟීමක් පිලිබිඹු කරන ප්‍රතිරෝධී මනෝභාවයක් පවතී. විරුද්ධවාදී හැඟීම් නිරන්තරයෙන් අවප්‍රමානය කොට පෙන්නුම් කරන මත විමසුම් වලින් පවා, ට්‍රම්ප් පරිපාලනයේ මර්දනය කෙරෙහි ගැඹුරු සතුරුභාවය පෙන්නුම් කරයි; ඇමරිකානුවන්ගෙන් බහුතරයක් අයිසීඊ හි උපක්‍රම සහ සංක්‍රමන හසුරුවන ආකාරය ප්‍රතික්ෂේප කරන අතර වෙනිසියුලාව ආක්‍රමනය කිරීම සහ ඉරානයට එරෙහි යුද තර්ජන ඇතුලු විදේශයන්හි මිලිටරි ක්‍රියාමාර්ගවලට විරුද්ධ වෙති.

නගර ඉතිහාසයේ විශාලතම වැඩ වර්ජනය වන නිව්‍ යෝර්ක් නගරයේ හෙදියන් 15,000 ක් සහභාගී වූ වැඩ වර්ජනය, 2026 දී වර්ධනය වන විරුද්ධත්වය පිලිබඳ පූර්ව සංඥාවකි. මේ සතිය මුල දී ට්‍රම්ප් විවේචනය කිරීම නිසා වැඩ තහනම් කරන ලද ඩෙට්‍රොයිට් මෝටර් රථ කම්කරුවාට, දින කිහිපයකින් GoFundMe (ගෝෆන්ඩ්මී) අරමුදල හරහා දස දහස් සංඛ්‍යාත ජනතාවගෙන් ඩොලර් 800,000 කට වඩා රැස් කිරීමට හැකි වීම ඊට වෙනස් ආකාරයක පූර්ව සංඥාවකි.

මෙම වර්ධනය වන විරුද්ධත්වය සවිඥානික, සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල යුතුය. එක්සත් ජනපදය සතු ව මහා වැඩ වර්ජන ඇතුලු ව පන්ති අරගලයේ දීර්ඝ හා බලගතු සම්ප්‍රදායන් පවතී. 1835 දී ෆිලඩෙල්ෆියාවේ සිට 1877 දී සෙන්ට්. ලුවී දක්වා, 1919 දී සියැටල් සහ 1934 දී සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ටොලීඩෝ දක්වා පැවති වැඩ වර්ජනවල තීරනාත්මක සාධකය වූයේ, කිසි විටෙකත් කැඳවුමේ සටන්කාමී ස්වභාවය නොව, කම්කරු පන්තිය අරගලයට අවතීර්න වූයේ, අරගලය පාලනය කිරීමට උත්සාහ කරන ආයතනවලට එරෙහි ව දැනුවත් ව සහ ස්වාධීන ව යන්නයි.

මිනියාපොලිස් නගරය සම්බන්ධයෙන් ගත් කල, එයට පන්ති ගැටුම්වල දීර්ඝ ඉතිහාසයක් පවතී. ටීම්ස්ටර්ස් හි 574 ලෝකලයේ ට්‍රොට්ස්කිවාදී කම්කරුවන් විසින් මෙහෙයවන ලද 1934 මිනියාපොලිස් ට්‍රක් රථ රියදුරන්ගේ වැඩ වර්ජනය, වානිජ්‍යය අඩපන කරමින් සහ සේවා යෝජකයින්, පොලිසිය, ජාතික ආරක්ෂකයින්, ගොවි-කම්කරු පක්ෂය සහ රූස්වෙල්ට් පරිපාලනයේ ඒකාබද්ධ බලවේගවලට මුහුන දෙමින්, ප්‍රාදේශීය සංවිධානයේ අරගලය, නගර පුරා ව්‍යාප්තවුනු මහා වැඩ වර්ජනයක් බවට පරිවර්තනය කලේ ය. එහි ජයග්‍රහනය, 1930 ගනන්වල මහා කාර්මික වෘත්තීය සමිතිකරනයට හේතු වූ අතර කම්කරු පන්තිය තමන්ගේම නායකත්වය යටතේ සහ පැහැදිලි දේශපාලන ඉදිරිදර්ශනයකින් සටන් කරන විට අත්කර ගත හැකි දේ පිලිබඳ බලගතු ප්‍රකාශනයක් විය.

ට්‍රම්ප්ගේ නිර්ලජ්ජිත දන්ඩමුක්තිය (දඬුවම් නොලබා සිටීම), දිගු කලක් තිස්සේ, එක්සත් ජනපදය තුල සංවිධානාත්මක කම්කරු පන්ති ප්‍රතිරෝධයක් නොපැවතීමේ ප්‍රතිඵලයකි. දශක ගනනාවක් තිස්සේ, කම්කරු නිලධරය කම්කරු ව්‍යාපාරය බිඳ දැමූ අතර, අධිරාජ්‍යවාදී යුද්ධ සහ දැවැන්ත ධන හුවමාරු මගින් පාලක පන්තිය පොහොසත් විය. මෙම රික්තය තුල, ධනේශ්වරයේ වඩාත්ම කුරිරු කොටස්, තමන්ට බාධාවකින් තොරව ක්‍රියා කල හැකි යැයි විශ්වාස කිරීමට පටන් ගත්හ.

කම්කරු පන්තියට එල්ල කරන ලද ප්‍රහාරය, සමාජ බලවේගයක් ලෙස එහි පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමේ දෘෂ්ටිවාදාත්මක ව්‍යාපාරයක් මගින් ශක්තිමත් කරන ලදී. නිරන්තර ව සිදු වන වැඩවර්ජන සහ මහජන අරගල මගින් ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර ගැටුම වරෙක අර්ථ දක්වා ඇති රටක, ඩිමොක්‍රටික් පක්ෂය, නිල ශාස්ත්‍රාලික ප්‍රජාව සහ ව්‍යාජ-වාම දේශපාලනය විසින්, මාක්ස්වාදය, පන්ති අරගලයේ යථාර්ථය සහ විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තියේ භූමිකාව ප්‍රතික්ෂේප කෙරුනු දෘෂ්ටිවාදයන්—සියල්ලටත් වඩා, වාර්ගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ අනන්‍යතා දේශපාලනය—ප්‍රවර්ධනය කෙරුනි.

ට්‍රම්ප් නැවත තේරී පත්වීම, එක්සත් ජනපදයේ කතිපයාධිකාරී පාලනයේ යථාර්ථය පිලිබිඹු කිරීම සඳහා රාජ්‍යයේ ප්‍රචන්ඩකාරී යලි පෙලගැස්වීමක් සනිටුහන් කලේ ය. එපමනක් නොව, දේශීය හා ජාත්‍යන්තර මට්ටම් දෙකෙහිම එහි ක්‍රියාවන්හි ආන්තික ස්වභාවය, ඇමරිකානු ධනවාදය මුහුන දෙන අර්බුදයේ තීව්‍රතාවය පිලිබිඹු කරයි—එය, ඩොලරය අවප්‍රමාන වීම, ගොඩගැසී ඇති දැවැන්ත නය සහ කතිපයාධිකාරියේ ධනයට යටින් පවතින අධික සමපේක්ෂනය තුල ප්‍රකාශයට පත් වේ.

සමාජ හා දේශපාලන ජීවිතයේ කේන්ද්‍රීය අක්ෂය ලෙස, විවෘත පන්ති ගැටුමේ වැඩෙන පුනර්ජීවනය හරහා, පහල සිට හැඩගැසීමට පටන් ගෙන ඇති නැවත පෙලගැස්මේ පසුබිම මෙයයි. එපමනක් නොව, එක්සත් ජනපදයේ පන්ති අරගලයේ වර්ධනය දැවැන්ත ජාත්‍යන්තර ප්‍රතිවිපාක ඇති කරනු ඇති අතර, ඇමරිකානු කම්කරුවන් පරම ලෙස ම ප්‍රතිගාමී වන බවට හෝ සාමූහික අරගලයට අසමත් බවට ඇති මිථ්‍යාව බිඳ දමනු ඇත.

මිනියාපොලිස් හි සිදුවීම් නව අවදියක ආරම්භය සනිටුහන් කරයි. තවමත් එය එහි ප්‍රාරම්භක අදියරවල පැවතුනද, අසල්වැසි නගර තුල සහ රට පුරා පන්ති අරගලය, ධනේශ්වර අර්බුදයේ තීව්‍රතාවය තුලින් වේගයෙන් වර්ධනය කරගනු ඇතැයි අපට පුරෝකථනය කල හැකිය. ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග මගින් අවුලුවන ලද කෝපය මගින්, මිනසෝටා හි දිග හැරෙන දේ සහ ධනේශ්වර ක්‍රමයේ පුලුල් අර්බුදය අතර සම්බන්ධය වඩාත් පැහැදිලි කරනු ඇත.

නමුත්, මෙම සිදුවීම්වලින් උගත යුතු දේශපාලන පාඩම් තිබේ. මෙම කුරිරුකම් නැවැත්වීමට මාර්ගයක් සොයන අය, ෆැසිස්ට්වාදයට එරෙහි ඕනෑ ම මහජන ව්‍යාපාරයක් සම්බන්ධයෙන්, ට්‍රම්ප්ගේ පමනක් නොව, ඩිමොක්‍රටික් පක්ෂයේ පවා ඇති ගැඹුරු සහ මුල් බැසගත් විරුද්ධත්වයක් පවතින බව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. වෝල් වීදියේ සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ පක්ෂයක් ලෙස, ඩිමොක්‍රටික් පක්ෂය සෑම අවස්ථාවක දී ම උත්සාහ කරන්නේ විරුද්ධත්වය මැඩපැවැත්වීමට, ට්‍රම්ප්ට එරෙහි ව ස්වාධීන අරගලයක් මතු වීම අවහිර කිරීමට සහ එය කතිපයාධිකාරයට සහ ධනවාදයට එරෙහි පුලුල් සටනක් දක්වා වර්ධනය වීම වැලැක්වීමට ය.

එපමනක් නොව, ට්‍රම්ප් පරිපාලනය, ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට පහර දෙන විට පවා, ඔහුට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.

ට්‍රම්ප්ට එරෙහි සටන සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඒකාධිපතිත්වයට එරෙහි විරෝධය කම්කරුවන්ගේ වැඩෙන සමාජ අරගල සමඟ ඒකාබද්ධ කල හැකි, නව කම්කරු පන්තික සංවිධාන ගොඩනැගීම අවශ්‍ය වේ. ෆැසිස්ට්වාදයට එරෙහි සටන, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර ව, සූරා කෑමට, යුද්ධයට සහ ධනේශ්වර ක්‍රමයට එරෙහි සටන සමග සම්බන්ධ කරමින්, නැගී එන පන්ති ව්‍යාපාරයට පැහැදිලි දේශපාලන මුලෝපායක් ලබා දීම අවශ්‍ය වේ. මෙය සියල්ලටමත් වඩා රඳා පවතින්නේ කම්කරු පන්තිය තුල මාක්ස්වාදී ව්‍යාපාරයේ සවිඥානික මැදිහත්වීම මත ය.

සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය, ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවීය භූමිකාව ජාත්‍යන්තර කම්කරු පන්තියේ තීරනාත්මක සංරචකයක් ලෙස සෑම විට ම අවධාරනය කර ඇත.

කම්කරුවන් ඩිමොක්‍රටික් පක්ෂයට සහ එහි අනුබද්ධ සංවිධානවලට යටත් කිරීමේ සියලු උත්සාහයන්ට එරෙහි ව සසප අඛන්ඩ ව සටන් කර ඇත. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) ආරම්භ කිරීම හරහා, හජාජාක, සංගත-ගැති වෘත්තීය සමිති යන්ත්‍රයට එරෙහි ව කැරැල්ලක් සඳහා සංවිධානාත්මක ස්වරූපය වර්ධනය කර ගෙන ඇත. මෑතක දී, හජාජාක සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ දේශපාලන අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය වන, 20 වන සහ 21 වන සියවස්වල ශ්‍රේෂ්ඨ පාඩම් සහ සියල්ලටත් වඩා, මාක්ස්වාදී ව්‍යාපාරයේ උපායමාර්ගික අත්දැකීම් කැටිකොටගත් මෙවලමක් ලෙස Socialism AI දියත් කර ඇත.

ට්‍රම්ප් තන්ත්‍රයේ ක්‍රියාවන්හිදී, ඇමරිකානු කතිපයාධිකාරය රුබිකොන් නදිය තරනය කරමින් සිටින අතර, එයින් ආපසු හැරීමක් නොමැත. වඩාත් ම මූලික කාරනය වන්නේ, මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුනයින් මුහුන දෙන ගැටලුවයි: සමාජවාදය ද, ම්ලේච්ඡත්වය ද?

ෆැසිස්ට්වාදයට හා යුද්ධයට ඇද වැටීම නැවැත්වීමට කැමති, සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය මත පදනම් වූ අනාගතයක් සඳහා සටන් කිරීමට කැමති සියලු වැඩ කරන ජනතාවගෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉල්ලා සිටින්නේ, අවශ්‍ය නිගමනවලට එලඹ සසප හා එක්වන ලෙසයි. 

Loading