ට්‍රම්ප්ගේ “තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය” සමුලුව චීනයට එරෙහි ව ඉලක්ක කෙරේ

[මෙය Trump’s “critical minerals” conference aimed against China මැයෙන් 2026 පෙබරවාරි 5දා පල කල ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය වසරේ දී ට්‍රම්ප් පාලන තන්ත්‍රය විසින් චීනයට එරෙහි ආර්ථික හා තීරුබදු යුද්ධය තීව්‍ර කිරීම මගින්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සැලකිය යුතු දුබලතාවක් හෙලිදරව් විය.

ඇමරිකානු රහස් තොරතුරු හා මිලිටරි සංස්ථාපිතයේ බොහෝ දෙනා අනිවාර්ය යයි සලකන මිලිටරි ගැටුම සඳහා වන සූදානම් කිරීම් අඛන්ඩ ව ඉදිරියට යද්දී, දැන් එම දුබලතාව ජය ගැනීමට ට්‍රම්ප් පාලන තන්ත්‍රය උත්සාහ දරමින් සිටී.

දුරකථනවල සිට ගුවන්යානා එන්ජින් හා ආයුධ දක්වා වන අධි-තාක්ෂනික නිශ්පාදන සඳහා අත්‍යවශ්‍ය දුර්ලභ මූල ද්‍රව්‍ය හා තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය මත පවත්නා තම ආධිපත්‍යය හේතුවෙන්, ක්ෂනික ව සැපයුම් කපා හරිමින් ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයට ප්‍රති-ප්‍රහාර දීමට චීනය සමත් විය.

එක්සත් ජනපදයට පසුපසට යාමකටත්, තීරුබදු යුද්ධය අවම වසයෙන් මාස 12ක් දක්වා අත්හිටුවන බව නිවේදනය කිරීමටත්, මෙමගින් බල කෙරුනි. එහෙත් මෙහි අර්ථය වන්නේ, යුද්ධය අවසන් වූ බවක් නො වේ. කාලය යෝග්‍ය යයි සලකන විටක හතුරුකම් යලි පටන් ගැනීම සඳහා වඩා හොඳ තත්ත්වයකට එන තෙක්, චීනය මග හැර යන ගෝලීය සැපයුම් දාම සංවිධානය කිරීමට ට්‍රම්ප් පාලන තන්ත්‍රය දැන් මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් සිටී.

2026 පෙබරවාරි 4 බදාදා, වොෂින්ටනයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවති තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යය මත අමාත්‍ය මට්ටමේ රැස්වීම අවස්ථාවේ, රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ (දකුනේ) උප ජනාධිපති ජේඩී වෑන්ස් සාදරයෙන් පිලිගනී. [AP Photo/Kevin Wolf]

එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හා එහි ප්‍රධානී මාකෝ රූබියෝ විසින් කැඳවන ලදුව, රටවල් 50ක පමන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මේ සතියේ වොෂින්ටනයේ පැවැත්වුනු තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය පිලිබඳ අමාත්‍ය මට්ටමේ ආරම්භක රැස්වීම පිටුපස පැවති අභිප්‍රායය මෙයයි.

රැස්වීමට ආරම්භක සැඳහුම් එක් කල එක්සත් ජනපදයේ උප ජනාධිපති ජේඩී වෑන්ස් කිසිදු අවස්ථාවක දී චීනය ගැන කෙලින් ම සඳහන් නො කල ද තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යයන් සම්පාදනය මත චීනයේ ආධිපත්‍යය පෙරමුනේ හා කේන්ද්‍රයේ පවතින බව ඔහු පැහැදිලි කලේ ය. “අපේ ආර්ථිකයන් මෙම තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යයන් මත කොපමන රඳා පවතින්නේ ද යන්න, පසුගිය වසර තුල සමහර විට දුෂ්කර ආකාරයෙන් අපි බොහෝ දෙනා ඉගෙන ගත්තා” යැයි ඔහු කීවේ ය.  

මෙම ඛනිජ ද්‍රව්‍යයන් චීනයෙන් පිටත සැකසුම් කිරීමේ වෙලඳපොල යාන්ත්‍රනයන් හි අසාර්ථකත්වය මත ඔහුගේ සැඳහුම් නාභිගත විය. චීනයට ඍජු ව වරද පැටවූයේ නැති වුව ද වසර ගනනාවක් සැලසුම් කිරීම්වලින් අනතුරු ව, ව්‍යාපෘතියක් නිවේදනය කරනු ලැබූ විට, එක් රැයකින් “වෙලඳපොලට විදෙස් සැපයුම් ගලා එමින්, මිල ගනන් ඇදවැටී ආයෝජකයන් ඉවත් වීම” වෙත ඔහු අවධානය යොමු කලේ ය. 

“ජනාධිපති ට්‍රම්ප් හා සමස්ත පරිපාලනය කර තිබෙන සියලු විශිෂ්ට දේවල් තිබෙද්දී පවා,” ආයෝජකයන් අද්දවා ගැනීමට සමහර ව්‍යාපෘති අරගල කරන තතු තුල, එක්සත් ජනපදය තුල ගැටලු තව තවත් ගැඹුරට යයි.

රැස්වීමේ සිටි සෑම අයෙක් ම “එක ම කන්ඩායමේ” බව ප්‍රකාශ කල වෑන්ස්, ඒ මත රැඳී සිටින රටවලට වටිනා වෙලඳපොලක් නිර්මානය කිරීම රැස්වීමේ ඉලක්කය බව කීවේ ය.

ට්‍රම්ප්ගේ ආර්ථික න්‍යාය පත්‍රයෙහි හරි මැද පවත්නා තේමාවක් රූබියෝ විසින් වර්ධනය කෙරුනි. පලමු ව, කැනීම් නොතකා හැරීමෙන් ඒවා පරිහානියට පත්වුනි. ඉන්පසු නිශ්පාදනය පිටතට යොමු කෙරුනි. ධූරයට පත් වූ පලමු දවසේ සිට “ජාතික ආරක්ෂාව යනු ආර්ථික ආරක්ෂාවයි” යනුවෙන් ට්‍රම්ප් පැහැදිලි කල පරිදි, එය ආපසු හැරවිය යුතු ව තිබුනි. 

එක්සත් ජනපදය පුරා නිශ්පාදකයන්ට අවශ්‍ය වන සෑම විටක ම සපයා ගත හැකිවන පරිදි, “අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය” සංචිතයක් ස්ථාපිත කෙරෙන “සුරක්ෂිතාගාර ව්‍යාපෘතිය (Project Vault)” ක්‍රියාත්මක කරන බව ට්‍රම්ප් රැස්වීමේ මුවවිට දී නිවේදනය කලේ ය. පුද්ගලික ප්‍රාග්ධනයෙන් ඩොලර් බිලියන 2ක් හා එක්සත් ජනපද අපනයන-ආනයන බැංකුවෙන් ඩොලර් බිලියන 10ක්  -මෙය මෙම බැංකුව තම ඉතිහාසය තුල කරන විශාලතම ප්‍රතිපාදනයයි-ලෙස එයට අරමුදල් සැපයෙනු ඇත.

හුදෙක් දුර්ලභ මූලද්‍රව්‍ය පමනක් නො ව, තඹ හා ලිතියම් වැනි අනෙකුත් ලෝහ ඇතුලු මූලික ඛනිජ ද්‍රව්‍යයන් එම අරමුදල මිලට ගනු ඇත්තේ, හදිසි අවස්ථාවල දී සමාගම්වලට මුදලක් ගෙවා ලබාගත හැකි වන පරිදි ය.

එහෙත්, එවන් සංචිතයක වර්ධනයට ඇත්තේ සීමිත බලපෑමක් පමනි. මූලික කරුන වන්නේ අඛන්ඩ සැපයුමක් සුරක්ෂිත කර ගැනීමයි.

එක්සත් ජනපදය සමග හවුල්කාරකම් ස්ථාපිත කිරීම, එක්සත් ජනපද භූ-විද්‍යා සමීක්ෂන කාර්යාංශය විසින් “එරටේ ආර්ථිකයට හා ජාතික ආරක්ෂාවට තීරනාත්මක” යයි සලකන, එහෙත් බාධාවීමේ විභවයකට මුහුන දෙන ඛනිජ ද්‍රව්‍ය 60 ගනනකට සැපයුම් දාමයක් නිර්මානය කිරීම මෙම රැස්වීමේ ඉලක්කය විය. 

රැස්වීමේ ප්‍රතිඵලය පිලිබඳ ව වාර්තා කරමින්, රාජ්‍ය දෙපාර්තමේන්තුව කීවේ, රටවල් 11ක් සමග එක්සත් ජනපදය ද්වි-පාර්ශවික එකඟතා ගිවිසුම්වලට හෝ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා ඇති බව යි. එහෙත්, අර්ථභාරී ලෙස, ඒවා ප්‍රධාන වසයෙන් කුඩා බලයන් වූ -ඉතා කුඩා කුක් දිවයින එකක් විය- අතර, ප්‍රධාන යුරෝපීය රටවල් සමග එකඟතාවන්ට එලැඹුනේ නැත. 

චීන-විරෝධී සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනපදයට පහසු නො වන බව ඉඟි කරන වාර්තාවක්, පොලිටිකෝ සංවිධානය විසින් රැස්වීමට සූදානම් වූ කාලයේ පල කරන ලද්දේ, රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් කේබල් පනිවුඩ හා නම් සඳහන් නො කල රාජ්‍ය-තාන්ත්‍රිකයන්ගේ සැඳහුම් මත පදනම් වෙමිනි. 

යුරෝපීය බලයන් සඳහා, එක් හෝ තවත් ආකාරයකින් ග්‍රීන්ලන්තය ඈඳාගැනීමට ට්‍රම්ප් දරන ප්‍රයත්නය තරඟය සඳහා ප්‍රධාන අස්ථියකි. ග්‍රීන්ලන්තය පාලනය කරන ඩෙන්මාර්කය, රැස්වීමට නියෝජිතයෙකු එවීම ප්‍රතික්ෂේප කලේ ය.

“අපි ඔක්කොට ම ඇති වෙලා ඉන්නේ” යයි ද රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝගේ සැලසුම “ග්‍රීන්ලන්තය පිලිබඳ අවසන් පැහැදිලිකමකට එලැඹෙන තෙක් පහසු නොවනු ඇති” යැයි ද එක්සත් යුරෝපීය රාජ්‍ය-තාන්ත්‍රිකයෙක් පොලිටිකෝ වෙත කීවේ ය.

සහභාගි වූ සියලු දෙනාට, විශ්වාසදායක සැපයුම් දාම නැති ව ම බැරි යයි ද “මෙම තීරනාත්මක ක්ෂේත්‍රයේ ගැටලුවලට ආමන්ත්‍රනය කිරීමට අපි එකමුතු ව වැඩ කල යුතු” යයි ද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ ය.

එහෙත්, ට්‍රම්ප් පාලන තන්ත්‍රයේ ක්‍රියාකාරකම් නිසා, විශ්වාසය පිලිබඳ ප්‍රධාන ප්‍රශ්න සහ සහභාගි වීමට දක්වන මැලිකමක් පවතී. මේ අවදියේ දී, එක්සත් ජනපදයට අවශ්‍ය කරන්නේ, තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යයන් සඳහා ප්‍රවේශය ලබා දෙන සහ නීතිමය වසයෙන් නො බැඳෙන ගිවිසුමකට සහභාගි වන්නන් අත්සන් කිරීම යි.

රාමුව සඳහා ආකෘතිය වන්නේ, ඕස්ට්‍රේලියාව සහ ජපානය සමග එකඟතාවන් සහ පසුගිය වසරේ දී තායිලන්තය සහ මැලේසියාව සමග එලැඹුනු අවබෝධතා ගිවිසුම්වල යොදා ගන්නා ලද භාෂාවයි.

චීනයට එරෙහි යුද සූදානමේ දී තීරනාත්මක දැත්තක් ලෙස එක්සත් ජනපදය සලකන ඕස්ට්‍රේලියාව සමග වන ගිවිසුම, පසුගිය ඔක්තෝබරයේ දී අගමැති ඇන්තනී ඇල්බනීස් කල සංචාරය සමයේ අත්සන් කරනු ලැබුනි. එම එකඟතාවේ වැදගත් කම අවධාරනය කරමින්, එය දෙවැනි ලෝක යුද්ධයෙන් මෙපිට එක්සත් ජනපදය සමග පැවතී ඇති සන්ධානය ඓතිහාසික ඔසවා තැබීමක් ලෙස ඇල්බනීස් සඳහන් කලේ ය.

එම ගිවිසුම යටතේ, තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ ප්‍රමුඛ ව්‍යාපෘති හඳුනාගෙන ඒවාට ආධාර කිරීමත්, නව ව්‍යාපෘතීන් වර්ධනය කිරීම සඳහා අවම වසයෙන් ඩොලර් බිලියන 1ක් සම්පාදනය කිරීමට කැපවීමත්, දෙපාර්ශවයෙන් ම අපේක්ෂා කෙරේ. 

මැලේසියාවේ සැකසුම් කම්හලක් ස්ථාපිත කර ඇති ලයිනාස් රෙයා අර්ත්ස් සමාගම දැනට මත් මූලික ක්‍රියාකලාපයක් ඉටු කරමින් සිටී. චීනයට පිටත තීරනාත්මක දුර්ලභ බැර ලෝහ වෙන් කිරීම සඳහා විශාලතම වානිජ පහසුකම තිබෙන්නේ ලයිනාස් සංගතයට යයි දැන් සලකනු ලැබේ. 

දුලභ පාංශු සැකසීම ප්‍රධාන ප්‍රශ්නයයි, මන්ද ඒවායේ නම තිබියදීත් ඒවා බොහෝ අවස්ථාවන්හි දී සාපේක්ෂ ව බහුල ය. අධික පිරිවැයක් දැරීමට සිදුවන හා නිරන්තරයෙන් පරිසරය අපවිත්‍ර කරන ක්‍රියාදාමයක් වන අනෙකුත් මූලද්‍රව්‍යවලින් ඒවා වෙන් කිරීම ප්‍රධාන ගැටලුවයි. වර්තමානයේ දී, දුර්ලභ මූලද්‍රව්‍යවලින් සියයට 70ක් චීනය සතු ව තිබෙන අතර ම ඒවායින් සියයට 90ක් පමන සකසද්දී, එක්සත් ජනපදය තුල කැනීම් කර ලබා ගන්නා දුර්ලභ මූලද්‍රව්‍යයන් පිරිපහදු කිරීම සඳහා චීනයට යවනු ලැබීමේ තත්ත්වයක් පවතී. 

ඕස්ට්‍රේලියාවේ භූමිකාව සලකන කල, මිලිටරි හා ආරක්ෂක සංස්ථාපිතයේ හඬක් වන ඕස්‍ට්‍රේලියානු ආරක්ෂක හා ප්‍රතිපත්ති ආයතනය (ඒඑස්පීඅයි), මෙම රැස්වීම “අපට අවශ්‍ය ආකාරයට ම පැවතුනු” බවට උදම් ඇනුවේ ය. එයට පුදුම විය යුතු නැත.

රූබියෝ විසින් රැස්වීම කැඳවීම, “තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යයන් ක්ෂේත්‍රීය උත්සුකතාවක සිට ප්‍රධාන-මූලෝපායික ගැටලුවක් බවට පත් වී තිබීම පිලිබඳ පැහැදිලි සංඥාවක්” බව ඒඑස්පීඅයි කීවේ ය. ට්‍රම්ප්ගේ තාවකාලික තීරුබදු අත්හිටුවීම මගින් අනාවරනය කෙරුනු පරිදි,  “ආනයන කරන රටවල් වලට බලහත්කාරකම් කිරීමට, ඒවායේ සැපයුම් දාම කඩාකප්පල් කිරීමට හා මූලෝපායික අරමුනු ඉෂ්ට කරගැනීමට” සංකේන්ද්‍රිත සැකසුම් ධාරිතාව යොදා ගන්නා බව පවසමින්. ඒඑස්පීඅයි, චීනය කේන්ද්‍රීය ගැටලුව ලෙස හඳුනා ගත්තේ ය.

එවන් ඉදිරිපත් කිරීම්වලට සාමාන්‍ය වන පරිදි, මෙය යථාර්ථය ඔලුවෙන් සිටවීමකි. බලහත්කාරය පැමිනියේ චීනයෙන් නොව, යෝධ තීරුබදුවල රූපයෙන් එක්සත් ජනපදයෙනි. ඒවායේ ඉලක්කය වන්නේ ට්‍රම්ප් විසින් හඳුන්වා දෙන ආකාරයට චීනයේ ආර්ථිකය බිඳවැට්ටවීම යි. ඒඑස්පීඅයි හා අනෙකුත් එවන් අධිරාජ්‍යවාදී චින්තන පර්ෂදයන් එතරම් අමාරුවෙන් සොයාගන්නේ, චීනය විසින් ගනු ලැබූ ප්‍රතිප්‍රහාරාත්මක පියවරයන් ය.

එක්සත් ජනපද පිලිවෙතේ මාරුවීම් -තීරුබදු හා ග්‍රීන්ලන්තය- ගැන උත්සුක වන අයට, චීනය සීමා කිරීමට තව දුරටත් වැඩ කරමින් එම පිලිවෙත් මාරුවිම් වලට එරෙහි ව තර්ක කල හැකිය යන්න ඒඑස්පීඅයි හි ආස්ථානයයි. 

ඕස්ට්‍රේලියාව වැනි සමහර රාජ්‍යයන් දැනටමත් යෝජිත එක්සත් ජනපද ගිවිසුමට අත්සන් තබා තිබේ. පොලිටිකෝ විසින් උපුටා දැක්වෙන ආකාරයට, පසුගිය මාසයේ වොෂින්ටනයට යැවුනු රටවල් දෙකේ කේබල් පනිවුඩවලට අනුව, පිලිපීන හා පෝලන්ත ආන්ඩු ද එකඟ වී ඇත.

චීනය සමග සමීප වෙලඳ සබඳතා සහිත ආසියානු රටවල් මේ අවස්ථාවේ දී ගිවිසුමට කැප වී නැත. චීනය සමග නිදහස් වෙලඳ ගිවිසුමක් අත්සන් කරන්නේ නම්,  කැනඩාවට එරෙහි ව සියයට 100ක තීරු බද්ධක් පැනවීමට ට්‍රම්ප් කරන තර්ජනය -මෙය අන් අයට ද වක්‍ර අනතුරු ඇඟවීමකි- සහ පසුගිය වසරේ දී අත්සන් කල ගිවිසුමේ රාමුවෙන් අඩියක් පස්සට ගනිමින් සිටින නිසා දකුනු කොරියාවට සියයට 25ක තීරු බද්දක් යලි පැනවීමට ඔහු ගත් පියවර ඔවුන් කාංසාවට පත් කරමින් පවතී. 

පොලිටිකෝ වාර්තාවට අනුව, යුරෝපා සංගමයේ සාමාජිකයන් වන ෆින්ලන්තය හා ජර්මනිය, යුරෝපා සංගමය හා එක්සත් ජනපදය අතර පලල් සබඳතා පිලිබඳ පැහැදිලි කමකින් තොර ව මෙම ගිවිසුම්වලට ඇතුල් වීමට අකමැති බව ප්‍රකාශ කර ඇත.

ෆින්ලන්තයෙන් ජනවාරි 15දා එවන ලද කේබල් පනිවුඩයක් “තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය රාමු ගැන සැලකිය යුතු සාකච්ඡාවන්ට එලඹීමට පෙර, යුරෝපා සංගම්-එක්සත් ජනපද සාකච්ඡාවල ප්‍රගතිය නිරීක්ෂනයට වඩා මනාප” බව කීවේ ය. එක්සත් ජනපදයේ මෙම ආරම්භකත්වය “චීනයෙන් භව්‍ය ප්‍රතිප්‍රහාර” පැන නංවනු ඇතැයි ජර්මනිය ද උත්සුකතාව පල කර ඇත. 

චීනය සමඟ ඇති කරගත් විරාමයට අනුකූල ව, ට්‍රම්ප් බලාපොරොත්තු වන්නේ එක්සත් ජනපදයට කාලය ලබා ගැනීමට සහ තීරනාත්මක ඛනිජ සැපයුම නැවත කිසි දිනෙක කපා නොහරින බව සහතික කිරීමට හැකි වනු ඇති බවයි. වෑන්ස් සහ රූබියෝගෙන් චීන විරෝධී ප්‍රකාශයක් සිදු නොවී ය. ඒ සියල්ල ජාත්‍යන්තර සහයෝගීතාවය ගැන විය - යක්ෂයාට සැම විට ම ශුද්ධ ලියවිල්ල උපුටා දැක්වීමට හැකි බවට වන පැරනි කියමනෙහි සත්‍යය මෙ මගින් පෙන්නුම් කරයි.

නමුත් චීනය යටත් කර ගැනීමේ ඇමරිකානු ප්‍රයත්නය සඳහා මෙම ගැටලුවේ වැදගත්කම සැලකිල්ලට ගත් විට, නවතම ඇමරිකානු ආරම්භකත්වය සමඟ එකඟ වීමට අපොහොසත් වුවහොත්, එයට එරෙහි ව මෙන්ම “මිත්‍ර පාක්ෂිකයින්ට” එරෙහි ව ද උනුසුම ඉහල යනු ඇති බවට යමෙකුට සහතික විය හැකි ය.

Loading