ගාසාවේ ජන සංහාරයට විරෝධය පෑ මුස්ලිම් තරුනයෙකු පීටීඒ යටතේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය සමාව ගනී

මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහයිල් නමැති 21 හැවිරිදි මුස්ලිම් තරුනයෙකු, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටිඒ) යටතේ 2024 ඔක්තෝබර් මාසයේ සිට මාස නවයක දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව, දෙහිවල පොලිසිය මාර්තු 23 වන දා ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ පිලිගත්තේ ය. 

මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහයිල් [Photo: Journalists for Democracy in Sri Lanka]

තම අයිතීන් උල්ලංඝනය වී ඇති බවට සුහයිල් විසින් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කරන ලද නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී දෙහිවල පොලිසියේ එවකට ස්ථාන භාර නිලධාරි එච්.එම්.බී.හේරත් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටි අතර අධිකරනය නියම කරන වන්දි මුදලක් ගෙවීමට ද එකඟ විය. මාධ්‍ය වාර්තාවලට අනුව, හේරත් විසින් පුද්ගලික ව ගෙවන එම වන්දිය රුපියල් මිලියන දෙකකි. 

සුහයිල් අත්අඩංගුවට ගැනීම වටා ඇති සිද්ධීන්ගේ සමස්ත අනුපිලිවෙල ම, වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු සහ පොලිසිය  විසින් භාවිතා කරනු ලබන කුරිරු මර්දනකාරී විධි ක්‍රමවල ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය හෙලි කරයි.

ජාතික හැඳුනුම්පතක් නොමැති බවට සුලු චෝදනාවක් මත 2024 ඔක්තෝබර් 23 වන දින දෙහිවල පොලිසිය විසින් සුහයිල් ප්‍රථම වරට අත්අඩංගුවට ගන්නා ලදී. පසුදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද ඔහු, තම හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත නිදහස් කෙරුනි. කෙසේ වෙතත්, එදින ම රාත්‍රියේ, පොලිස් නිලධාරීන් මාවනැල්ලේ පිහිටි නිවසට පැමින, “ඊශ්‍රායලය විවේචනය කරමින් ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් පල කල” බවට චෝදනා කරමින්, පීටීඒ යටතේ ඔහු නැවත අත්අඩංගුවට ගත්තේ ය.

පීටීඒ යටතේ මාස නවයක් රඳවා තබා ගැනීමෙන් පසු ප්‍රමානවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනය විසින් සුහයිල්ට පසුගිය වසරේ ජූලි 9 වන දින ඇප ලබා දෙන ලදී. පසුව සැප්තැම්බර් 16 වන දින පැවති නඩු විභාගයක දී, ඉදිරියට යාමට ප්‍රමානවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් අධිකරනය නඩුව සම්පූර්නයෙන් ම නිෂ්ප්‍රභා කරමින් ඔහු නිදොස් කොට නිදහස් කලේ ය.

ජවිපෙ/ජාජබ ආන්ඩුව, ගාසා ජන සංහාරය සම්බන්ධයෙන් අනුයන එක්සත් ජනපද අධිරාජ්‍ය ගැති පිලිවෙත සමග මෙම අත්අඩංගුවට ගැනීම අතිමූලික ව බැඳී පවතී. ආන්ඩුව, මෙම ජන සංහාරයට එරෙහි ව කවර හෝ විරෝධයක් පල නොකලාක් පමනක් නොව, එයට එරෙහිවන්නන් දඩයමට ලක්කොට එම විරෝධය මැඩීමේ කුරිරු වැඩපිලිවෙලක් දියත් කලේ ය. 

ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත්වීමෙන් පසු, තවත් මුස්ලිම් තරුනයෙකු වන මොහොමඩ් රුෂ්ඩි එවැනි ම අත්අඩංගුවකට යටත් කෙරුනි. ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට විරුද්ධ ස්ටිකරයක් ඇලවීමේ චෝදනාව මත ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අත්සන් කරන ලද දින 90 ක රැඳවුම් නියෝගයක් යටතේ ඔහු පසුගිය වසරේ මාර්තු 23 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. අප්‍රේල් 7 වන දින ඔහුට ඇප ලැබුනු අතර, පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීරනය කරමින් රුපියල් ලක්ෂ දෙකක වන්දියක් නිර්දේශ කලේ ය.

පහර දෙන්නා සහ පහර කන්නා සමතලයක පිහිටුවන, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඊනියා මධ්‍යස්ථ පිලිවෙත, ගාසාව සම්බන්ධයෙන් පමනක් නොව, වෙනිසියුලාව සහ ඉරානය සම්බන්ධයෙන් ද අනුයමින් සිටී.  

ශ්‍රී ලංකාවේ ධනපති ආන්ඩු දෙමල ජනතාවට එරෙහි ව ගෙන ගිය දශක තුනක වාර්ගික යුද්ධය අතරතුර, කම්කරු පන්තිය මර්දනය කිරීම සඳහා පීටීඒ ඇතුලු ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති සහ ක්‍රමවේද ස්ථාපිත කර තිබුනි. සුහයිල් සහ රුෂ්ඩිගේ නඩු වලින් පෙන්නුම් කරන්නේ, ගොතන ලද චෝදනා මත අත්අඩංගුවට ගැනීම්, අත්අඩංගුවේ දී වධහිංසා පැමිනවීම සහ බලහත්කාර පාපොච්චාරන ලබා ගැනීම් ආදී එම කාල පරිච්ඡේදයේ වර්ධනය කරන ලද භාවිතයන් ජනතාව බිය ගැන්වීමට සහ මර්දනය කිරීමට දිගට ම භාවිතා කරන බවයි. 

මෙම මර්දනකාරී නීතිවලට එරෙහි ව පැතිර ගිය මහජන විරෝධය ගසාකමින් ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් විය. තම ජනාධිපතිවරන ප්‍රකාශනයේ දී, පීටීඒ සහ එයට සමාන නීති අහෝසි කිරීමට ජනාධිපති දිසානායක පොරොන්දු විය. කෙසේ වෙතත්, බලයට පත්වීමෙන් පසු, ඔහු ඉක්මනින්ම එම පොරොන්දු අතහැර දැමී ය.

දිට්වා කුනාටුවෙන් සහ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයෙන් වඩාත් ගැඹුරු කෙරුනු අර්බුදයකට මුහුන දී සිටින ආන්ඩුව, වැඩ කරන ජනතාව මත බර පටවමින් සිටී. ඉන්ධන, ගෑස් සහ විදුලිය ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ගනන් දැනටමත් වැඩි කර ඇති අතර ජීවන වියදම වේගයෙන් ඉහල නගිමින් පවතී. ඒ සමඟ ම, පුද්ගලීකරනය සහ බදු වැඩි කිරීම් ඇතුලු ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කප්පාදු පියවර මහජනතාව මත දැවැන්ත පීඩනයක් ඇති කරයි.

මෙම තත්වයන් යටතේ, වැඩෙන කම්කරු පන්ති විරෝධය මැඩපැවැත්වීම සඳහා ආන්ඩුව ඒකාධිපති පාලන ක්‍රම සූදානම් කරමින් සිටී. පීටීඒට වඩා ඉදිරියට යන “ත්‍රස්ත විරෝධී පනත” වැනි නව නීති හඳුන්වා දීමට එය පියවර ගනිමින් සිටී. මෙම නීතිය යටතේ, කම්කරුවන්ගේ, තරුනයින්ගේ සහ පීඩිතයින්ගේ වැඩවර්ජන සහ විරෝධතා අපරාධකරනය කල හැකි ය.

කෙසේ නමුත්, මෙම පුලුල් දේශපාලන ඇඟවුම් වසන් කිරීමට පොලිසියේ සමාව අයැදීම යොදා ගැනීමට විවිධ පාර්ශ්වයන් උත්සාහ ගනිමින් පවතී. “පොලිසිය සමාව ඉල්ලයි; වන්දිය මිලියන 2යි; ආන්ඩුව නිහඬයි; නැත, ආන්ඩුව නිහඬ නැත: මොහොමඩ් සුහෙල්ගේ කතාවෙන් පාඩම් 5ක්” යන මාතෘකාව යටතේ විකල්ප වෙබ් අඩවියට ලියමින් සම්පත් සමරකෝන් නමැත්තෙකු කියා සිටියේ, “දැනුවත් පුරවැසියෙකුට අධිකරනය හරහා බලවත් රාජ්‍යයක් පවා අභියෝග කල හැකි ආකාරය” මෙම නඩුවෙන් පෙන්නුම් කල බවයි.

මෙවන් ප්‍රකාශ මූලික වශයෙන් කම්කරු පංතිය නොමඟ යවන සුලු ය. ව්‍යතිරේඛයන් මත පාදක වෙමින්, ධනේශ්වර අධිකරනය ධනේශ්වර රාජ්‍යයට විරුද්ධ ව භාවිතා කලහැකි ආයතනයක් ලෙස සාමාන්‍යකරනය කරයි. මීට විපරීත ව, ධනපති අධිකරනය යනු ධනපති නීතිය හරහා කම්කරු පංතියට එරෙහි ව ධනපති පංති ආධිපත්‍යය ක්‍රියාත්මක කරන ධනපති රාජ්‍ය යන්ත්‍රයේ කොටසකි.

මෑත කාලීන උදාහරනයක් වන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රඳවා තබා ගැනීමයි. 2022-23 දී පීටීඒ යටතේ දින 170 ක් රඳවා තබාගෙන සිටි ඔහු සාක්ෂි නොමැතිවීම හේතුවෙන් නිදහස් කරනු ලැබීය. එහෙත් මෙම හෙලිදරව් කිරීම් රුෂ්ඩි සහ සුහයිල් අත්අඩංගුවට ගැනීම් වලක්වා ගත්තේ නැත, දෙවැන්නා මාස නවයක කාලයක්, එනම් ඊටත් වඩා දිගු කාලයක් රඳවා තබා ගන්නා ලදී.

පොලිසිය විසින් ගොනු කරන ලද ව්‍යාජ චෝදනා මත පදනම් ව සුහයිල් දිගු කාලයක් රඳවා තබා ගැනීමට අධිකරනය විසින්ම පහසුකම් සපයන ලදී. අවසානයේ ඔහුගේ නිදහස් කිරීම සහ පොලිස් සමාව අයැදීම මෙහෙයවනු ලැබුවේ යුක්තිය සඳහා කිසිදු කැපවීමක් මගින් නොව, මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවට ආන්ඩුවේ ඇති සම්බන්ධය හෙලිදරවු වීමෙන් එයට එරෙහි මහජන විරෝධය තීව්‍ර වී සමස්ත ධනපති ක්‍රමයට එරෙහි ව පුපුරා යනු ඇතැයි යන උත්සුකයෙනි.

පාලක පන්තියේ අවශ්‍යතා සඳහා කම්කරුවන් සහ දුගීන් පීඩාවට පත් කල අසංඛ්‍ය තීරන ලබා දී ඇති අධිකරනයට ස්වාධීනත්වය ආරෝපනය කිරීම දැනුවත් වංචාවකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අධිකරනය හරහා ආරක්ෂා කල හැකිය යන මිථ්‍යාව, පොලිසිය, හමුදාව සහ රාජ්‍යයේ අනෙකුත් මර්දනකාරී අවි ඉදිරියේ කම්කරු පන්තිය දේශපාලනික ව නිරායුධ කිරීමට සේවය කරයි.

පන්ති අරගලය තීව්‍ර වන විට, ධනේශ්වර රාජ්‍යයේ සියලු ම උපකරන - උසාවි, පොලිසිය සහ හමුදාව - කම්කරු අරගලවලට එරෙහි ව වැඩි වැඩියෙන් යොදවනු ඇත.

රුසියානු විප්ලවයේ සම-නායක ලියොන් ට්‍රොට්ස්කි, 1929 දී තීව්‍ර වන පන්ති ප්‍රතිවිරෝධතා සහ ධනවාදය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති බිඳවැටීම අතර සම්බන්ධතාවය පැහැදිලි කලේය:

“විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පය සාදෘශ්‍යයක් ලෙස ගතහොත්, ජාතික හෝ සමාජ අරගලවල අධිධාරාවන්ගෙන් ආරක්ෂාවීම සඳහා සකසා ගත්, ආරක්ෂක යතුරු (Safety switch) හා පරිපථ ඛන්ඩක (Circuit breakers) පද්ධතියක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දැක්විය හැක. අපගේ යුගය තරම් ප්‍රතිවිරෝධතා වලින් ඉහවහා ගිය වෙනත් අවධියක් මානව ඉතිහාසයේ පැවතී නැත. … ගිනියම් වූ පන්තිමය හා ජාත්‍යන්තර ප්‍රතිවිරෝධතාවන්හි බලපෑම යටතේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂක යතුරු එක්කෝ පිලිස්සී යයි, නැතිනම් පුපුරා යයි. ආඥාදායකත්වයේ ලුහුවත් වීම (Short circuiting) යනු හරියට ම මෙන්න මෙයයි.”

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්අඩංගුවට ගැනීම් කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමකි. කම්කරුවන්ගේ විරෝධතා සහ අරගල මර්දනය කිරීම සඳහා මේ හා සමාන ක්‍රම භාවිතා කරනු ඇත. 

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධිකරනය වැනි ධනේශ්වර රාජ්‍යයේ ආයතන කෙරෙහි විශ්වාසය තැබිය නොහැක. ගැඹුරු වන පන්ති අරගලයේ සහ ගෝලීය ප්‍රතිවිරෝධතාවල පීඩනය යටතේ, වැඩි වැඩියෙන් ඒකාධිපති පාලන ක්‍රම දෙසට හැරෙමින් පවතින ධනේශ්වර ක්‍රමයට එරෙහි ව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් ඒ සඳහා අවශ්‍ය වේ.

Loading