[මෙය Lincoln and the enduring legacy of America’s second revolution: A reply to a critic of the “Letter from afar” මැයෙන් 2026 මැයි 22 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
අසතුටට පත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨක Gavan2020 වෙතටයි,
ඒ.ලින්කන් ගෙන් දුර සිට ලැබුන ලිපිය පල වූ පසු ලෝසවෙඅ වෙත බොහෝ ප්‍රතිචාර ලැබුනි. එයින් වැඩි හරිය, ලිපිය ගැන යහපත් ප්‍රතිචාර වූ අතර සමහරක් උනන්දු සහගත ඒවා විය. පාඨකයන් කීප දෙනෙක් ම ලිපිය ආවේ කොහි සිටදැයි අපෙන් ඇසූහ. එක් අයෙක් ලින්කන් මහතා සමග සම්බන්ධ විය හැකි විදියක් තමන්ට දන්වන ලෙස අපෙන් ඉල්ලා සිටියා ය.
ලිපියේ කමෙන්ටු කොටසේ දිස් වූ ඔබේ ප්‍රතිචාරය, එම ලිපිය මාක්ස්වාදය පාවාදීමක් සහ ධනේශ්වර ප්රජාතන්ත්රවාදයේ පල්ලම දිගේ ලිස්සා යාමක් හැටියට දුටු කුඩා පිරිසකගේ ප්‍රතිචාරවලට අයත් විය. එම පිලිතුරු අසතුටුදායක හා වැරදි අවබෝධය තුලින් පැන නැගුනු සංවේගයක් ප්‍රකාශයට පත් කරන ඒවා ය.
මා එම ලිපිය ලීවේ ඇයි ? ආරම්භයේ දී ම කිසියම් පුද්ගලික කරුනක් ද පිලිගත යුතු ව තිබේ. මම, මතක ඇති කාලයක සිට ම ඒබ්‍රහම් ලින්කන් ගැන ගෞරවාන්විත ව සැලකූ පුද්ගලයකු වීමි. ඔහුගේ චරිතය පදනම් කරගෙන නිපද වූ හෙන්රි ෆොන්ඩා, රේමන්ඩ් මැසී, හැල් හොල්බෲක්, සෑම් වෝටර්ස්ටන්, ඩැනියෙල් ඩේ-ලුවිස් ආදීන් රඟ පෑ සෑම චිත්‍රපටයක් ම නරඹා ඇත්තෙමි. මගේ අවබෝධය නම්, හොල්බෲක්ගේ චරිත නිරූපනය අතිශයින් ම ගැඹුරට කා වදින එකක් වූ බවය. ලින්කන්ගේ චරිතය පිලිබඳව තවමත් වැඩි වෙමින් පවතින විසල් නිර්මාන සාහිත්‍යය මම අදත් හැකි පමනින් කියවමි. මෙය සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් අතර අසාමාන්‍ය දෙයක් නොවේ.
ඔහු පැවැත් වූ ශ්‍රේෂ්ඨ කතා ද ලිපි ලේඛන ද සියල්ල ම පාහේ මම කියවා ඇත්තෙමි; ඉන් සමහරක් මට කටපාඩම් ය. එකී ලිපිය ලිවීමේ දී ලින්කන්ගේ 19 වන සියවසේ කාව්‍යමය ගැදි බස අනුකරනය කරන්නට මම වෑයම් කලෙමි. යමෙකුට අපේක්ෂා කල හැකි පරිදි ම ප්‍රතිපලය දීප්තියක් නැති අනුකරනයක් විය. ඔහුගේ ජනාධිපතිවරන ඡන්ද ව්‍යාපාරය සිදු වූ 1860 වසරේ දී මා විසි එක් හැවිරිදි තරුනයෙකු වූවා නම්, මා සිටිනු ඇත්තේ මග දෙපස සිට ලින්කන්ට ඔල්වරසන් දුන් “වයිඩ් අවේක්” ව්‍යාපාරයේ සාමාජිකයන් අතර ය. එම සිතෙන් මවා ගත් නැමියාව ගැන ඔබ කැමති දෙයක් සිතා ගන්න. එම නැමියාව, 1971 වසරේදී සසපයේ පූර්වගාමිකයා වූ වර්කර්ස් ලීගයට බැඳීමෙන් මා වැලැක්වූයේ නැත. මගේ තරුන වියේ තිබූ, එකක් ඓතිහාසික සහ අනික අද්‍යතන වන්නා වූ නැමියාවන් දෙක, එකිනෙකට පරස්පර විරෝධී යයි සිතන්නට හේතුවන්නාවූ කිසිවක් ගත වූ පනස් වසරක කාලය තුල සිදු වී ඇද්ද? කිසි සේ ත් ම නැත.
මෙම ලිපිය ලියා ලෝසවෙ අඩවියේ පල කිරීමට හේතු වූ වඩා වැදගත් කාරනාවක් තිබේ. සියලු මනුෂ්‍යයන් සමානයන් බවද පීඩාකාරී ආන්ඩු පෙරලා දැමීමට ඔවුන් සතු ව නිසඟ අයිතියක් ඇතැයි ද පිලිගත් ඇමරිකානු නිදහස් ප්රකාශනය ප්‍රසිද්ධියට පත්කිරීමේ 250 වන සංවත්සරය ලංවෙමින් පවතින අද, කම්කරු පන්තිය තම ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එරෙහි ව පෙර නොවූ විරූ තරමේ ප්‍රහාර වලට මුහුන දී සිටී. එක්සත් ජනපදය ප්රතිගාමී ධනපති කතිපයාධිකාරයක් විසින් එලිපිට ම ෆැසිස්ට්වාදී අංග ලක්ෂන වලින් සැදි ආඥාදායකත්වයක් බවට පත් කෙරෙමින් පවතී.
එ පමනක් නොව, මෙය හුදු ඇමරිකානු සංසිද්ධියක් නොව ගෝලීය ක්‍රියාවලියක ආරම්භක ප්‍රහාරය යි. එම තත්වයන් යටතේ, ලින්කන්ගේ ම වචනවලින් කිවහොත් “සුදුසු ම හා ගැලපෙන ම දෙය” වන්නේ ඇමරිකාවේ පසුගිය විප්ලවයන්ගේ ඓතිහාසික අත්දැකීම් මතක් කර දී කම්කරු පන්තියේ ගැඹුරින් මුල් බැස ගත් ප්රජාතන්ත්රවාදී විශ්වාසයන් යලි පන ගැන්වීම ය.
ලින්කන් ධනපති දේශපාලනඥයකු වූ නිසා ද, “වහල් ශ්‍රමය වැටුප් ශ්‍රමය නොවන” නිසා ද ලින්කන්ගේ කාලයේ දී ප්රගතිශීලී වූ නමුත් අද කාලයේ දී ප්රතිගමනීය සහ ප්රතිගාමී වන එවැනි දේ සමාජවාදී ප්රකාශනයක් තුල සිහි කැඳවීම නොමනා ය යන පදනම මත ඔබ, සාහිත්‍යමය අලංකාරෝක්ති සහිත ව මගේ ලිපියට විරෝධය පල කරයි.
මතක් කිරීම ගැන ස්තුතියි.
'ලින්කන් අවසන් හුස්ම හෙලුවේ ධනපති ක්‍රමය තුල, එය සමග, වහලුන් නිදහස ලබනු ඇත යන විශ්වාසයෙන් වූ අතර ට්‍රොට්ස්කි අවසන් හුස්ම හෙලුවේ කම්කරුවන් සමාජවාදී ක්‍රමයක් තුල, එය සමග නිදහස ලබනු ඇත යන විශ්වාසයෙන්” යයි ඔබ කිසියම් කාව්‍යමය විලාසයකින් ලියන්නෙහි ය.
එම විග්‍රහය ධනපති ප්රජාතන්ත්රවාදී විප්ලව සහ එවායින් පසු ව පැමිනි, ඒවායේ එක ම නීත්‍යානුකූල උරුමකරුවා වන සමාජවාදී ව්‍යාපාරය අතර සැබෑ සම්බන්ධතාව දියකර හරියි. ඓතිහාසික වියුක්තයන් කීපයක් එකට ගැට ගැසීම මගින් ලැබෙන උත්තරය න්‍යායයක් යයි කීමෙන් මෙම කාරනා පිලිබඳව යමෙකුට මාක්ස්වාදී ආස්ථානයකට එලඹිය නොහැක.
සිවිල් යුද්ධය දෙවන ඇමරිකානු විප්ලවයයි. යුද්ධයේ ප්‍රතිඵලය වූයේ වහල් හිමියන්ගේ බලය ප්රචන්ඩ ලෙස විනාශ කර දමා මිනිසුන් ද්‍රව්‍යමය දේපල මෙන් සලකන වහල් ක්‍රමය අහෝසි කර දැමීම ය. එය එක්සත් ජනපදයේත් ලෝක පරිමානයෙනුත් කම්කරු පන්තියට සංවර්ධනය වීමට හා සටන් කිරීමට පසුබිම සැකසූ ලෝක-ඓතිහාසික වැදගත්කමකින් යුක්ත සිද්ධියක් විය.
මාක්ස් යුද්ධය දැඩි අවධානයෙන් නිරීක්ෂනය කලේ ය ; බ්‍රිතාන්‍ය කම්කරුවන් අතර එක්සත් ජනපද හමුදාවන්ට පක්ෂ ව හා වහල් හිමියන්ගේ හමුදාවලට විරුද්ධ ව සහයෝගිතා ව්‍යාපාර සංවිධානය කලේ ය; ඔහු ද ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ දී ලින්කන් අවබෝධ කර ගත්තා සේ ම, යුද්ධය, එය ආරම්භ කල ධනපති පන්තියේ මුල් අරමුනු වලින් ඔබ්බට දිවෙන බව අවබෝධ කර ගත්තේ ය.
ලින්කන් ඝාතනයෙන් පසු, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (පලමු වන ජාත්‍යන්තරය) වෙනුවෙන් ලින්කන් පිලිබඳ ඇගයුමක් නව ජනාධිපති ඇන්ඩෲ ජොන්සන්ට යැවීම සඳහා කෙටුම්පත් කිරීම මාක්ස්ට භාර විය. ඔබ එම ලිපිය ගැන දැනුවත් බවක් නොපෙනෙන නිසා එහි අන්තර්ගතය මෙසේ මතක් කරමි;
'ලින්කන් වනාහි හොඳ මිනිහෙක් හැටියට හිඳිමින්ම ශ්‍රේෂ්ඨත්වය ලැබීමට සමත් වන දුර්ලභ මනුෂ්‍යයින්ගෙන් කෙනෙකු” යයි මාක්ස් ලිවී ය.
'ඔහු අයහපත් තත්වයන්ට යටත් නොවූ ද, සාර්ථකත්වයෙන් මත් නොවූ ද, අන්ධ හදිසිය නිසා තම අරමුන අනතුරේ හෙලා නොගත්තාවූ ද, සෑම ඉදිරි පියවරක් ම ක්‍රමයෙන් මුල් අල්ලන තුරු ආපසු නොගත්තාවූ ද, දෘඪ අධිෂ්ඨානයෙන් තම ශ්‍රේෂ්ඨ අරමුන කරා ගමන් කල මනුෂ්‍යයකු” හැටියට මාක්ස් හැඳින්වී ය. ඔහු “අති දැවැන්ත කාර්යයන් යෝධයකුගේ කඩිසරකමින්, නිරහංකාර ව, සුලු දේවල් මෙන් ඉෂ්ඨ කරන දිව්‍යමය පාලකයකු” වැනි විය. ඔබ සමාජවාදී ප්රකාශනයක අඩංගු කිරීමට නොතරම් ධනපති දේශපාලනඥයකු ලෙස විස්තර කරන ඒ පුද්ගලයා ගැන කැපිටාලයේ කතුවරයා දුන් තීන්දුව එවැනි ය. ඔබට උවමනා නම් කාරනාව කෙලින් ම ඔහුගෙන් ඇසිය හැකිය; සාකච්ඡාවකට ඉඩ පහසුකම් සැලසීමට මා සූදානම් නමුත්, මේ මොහොතේ දී මට මාක්ස්ගේ වර්තමාන විද්‍යුත් තැපැල් ලිපිනය සොයා ගත නොහැකි ය.
ලෙනින්, 1918 දී ලියූ “ඇමරිකානු කම්කරුවන්ට ලිපියක්” හිදී ඇමරිකානු විප්ලවයන්ගේ ආදර්ශය යලි සිහි කැඳවී ය. ඔහු මෙසේ ලිවී ය:
'පිට පිට කීප වතාවක ම බොල්ෂෙවික්වරුන් සමග තම සම්පූර්න සහෝදරත්වය ප්‍රකාශ කල ඇමරිකානු නිර්ධන පන්තියේ හොඳම නියෝජිතයන් විසින් යොදාගන්නා ලද විප්ලවවාදී සම්ප්රදායක් ඇමරිකානු මහජනතාව සතු ව තිබේ. එම සම්ප්රදාය වන්නේ 18 වන සියවසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහි විමුක්ති අරගලය සහ 19 වන සියවසේ සිවිල් යුද්ධයයි. අප සමහර කර්මාන්ත සහ ජාතික ආර්ථිකයේ සමහර ශාඛා විනාශ වී යාම ගැන පමනක් කතා කලොත් 1870 වසරේ ඇමරිකාව 1860 ඇමරිකාවට වඩා පිටුපසින් ය. නමුත් ඒ ගැන කියා 1863-65 ඇමරිකානු සිවිල් යුද්ධයේ අති විශාල ලෝක ඓතිහාසික විප්ලවවාදී වැදගත්කම ප්‍රතික්ෂේප කරන්නේ අන්ත බක පන්ඩිතයකු හෝ අන්ත මුග්ධයකු පමනි...'
රුසියානු සිවිල් යුද්ධ සමයේ ට්‍රොට්ස්කි ඇමරිකානු සිවිල් යුද්ධය ගැන හැදෑරූ අතර එහි ඉතිහාසය ගැන ලිවීමට අදහස් කලේ ය. සිද්ධි දෙකේ සම්බන්ධය ආදර්ශමත් ය.
රතු හමුදාවේ අන දෙන නිලධාරියා, ලදරු කම්කරු රාජ්‍යය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අරගලයේ නියැලී සිටිය දී ම, ග්‍රාන්ට් හා ෂර්මන්ගේ (ඇමරිකානු සිවිල් යුද්ධයේ සුප්‍රකට ජෙනරාල් වරුන් දෙදෙනා - පරිවර්තක) සංග්රාම හැදෑරීම දෙසට හැරුනේ විනෝදාංශයක් ලෙස පුරාවස්තු හදාරන්නකු ලෙස නොවේ. ඔහුට පෙර මාක්ස් හා ලෙනින් වටහා ගත්තා සේ ම, ධනේශ්වර යුගයේ දැවැන්ත විප්ලවවාදී උතික්ෂිප්තයන් වර්තමාන කම්කරු පන්තිය නිර්මානය වීමට පරිබාහිර ව සිදුවූවක් නොව, එහි ම සංස්ථාපකයක් බවත් කම්කරු පන්තියක් බිහිවීමට හේතු වූ ඇමරිකාවේ දැවැන්ත ප්රජාතන්ත්රවාදී හා විප්ලවවාදී සම්ප්‍රදායන් ගැන උපේක්ෂා සහගත වීමෙන්, හෝ ඒ ගැන සතුරු ආකල්ප දැරීමේ පදනම මතින් එම රටේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගිය නොහැකි බවත් වටහා ගත් බැවිනි.
ලින්කන්, සමාජවාදී ව්‍යාපාරයේ ප්රජාතන්ත්රවාදී පරමාදර්ශයන්ට පිටස්තර වූ චරිතයක් ලෙස සැලකීම වනාහි මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ට්‍රොට්ස්කි ගේ විධික්රමය ප්‍රතික්ෂේප කොට වැඩවසම් ක්‍රමය, වහල් ක්‍රමය හා රාජාන්ඩු ක්‍රමය ආදියට එරෙහි ව සිදුවූ සියලු විප්ලවවාදී අරගලවලින් කම්කරු පන්තිය වෙන් කොට තබන කල්ලිවාදී සූත්‍රයක් වැලඳ ගැනීමකි.
එම සූත්රගත කිරීම මාක්ස්වාදයේ විකෘතියකි. එවැනි දේ මීට පෙර බොහෝ අවස්ථාවලදී ද දේශපාලන වේදිකාවේ පෙනී සිට ඇති අතර එවන් සූත්‍ර ඒවා අනුගමනය කල ව්‍යාපාරවලට හැම විට ම ගෙන දුන්නේ හානියක් ම ය.
ලෝසවෙඅ, නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ 1619 ව්‍යාපෘතියට එරෙහි ව, එක්සත් ජනපදයේ විප්ලවවාදී උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛන්ඩ අරගලයක් සිදු කර ඇත. එම 1619 ව්‍යාපෘතිය, ඇමරිකානු විප්ලවය හා සිවිල් යුද්ධය, වෙනස් නොවන ගෝත්රවාදී ව්‍යාධියක රෝග ලක්ෂන ලෙස හඳුන්වා, ලින්කන් අනෙකුත් ප්රගතිශීලී ඓතිහාසික චරිත අතරින් හුදෙකලා කිරීමට දැරූ වෑයමක් හා ඇමරිකානු ඉතිහාසය පිලිබඳ පන්ති විෂ්ලේෂනයක් වෙනුවට, ගෝත්රවාදී මිථ්‍යාදෘෂ්ටීන් ආදේශ කිරීමට දැරූ උත්සාහයක් විය.
ජේම්ස් මැක්ෆර්සන්, ගෝඩන් වුඩ්, ජේම්ස් ඕක්ස් සහ වික්ටෝරියා බයිනම් සහ වෙනත් සමකාලීන ප්‍රධාන ඉතිහාසඥයන්ගේ කටයුතුවලින් සහාය ලැබූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මැදිහත්වීම්, ඉහත කී සිදුවීම්වල ප්රජාතන්ත්රවාදී හා විප්ලවවාදී අන්තර්ගතය, ශාස්ත්රාලික හා වාර්තාමය දියකර හැරීම්වලට එරෙහි ව ඉලක්ක කර ගත් එකක් විය.
ලින්කන් ගේ සොහොන් ගැබේ සිට පැමිනි ලිපිය, එම දේශපාලනික හා ඓතිහාසික සටනට පමනක් නොව, අද දවසේ ට්‍රම්ප්ට හා කතිපයාධිකාරයේ ෆැසිස්ට්වාදී කුමන්ත්රනයට එරෙහි අරගලයට අයත් වේ.
ලින්කන් එවූ ලිපිය පිලිබඳ ඔබේ විවේචනය දේශපාලන ව්‍යාකූලත්වය හා අවස්ථාවාදය තුල දිය වී යාම උත්ප්රාසාත්මකය.
'කතිපයාධිකාරය පරාජය කරන තුරු ලින්කන් සටන් කල ව්‍යවස්ථාව යලි පන ගැන්විය නොහැකි” යයි ඔබ ලියන්නෙහි ය.
සියල්ලටම පෙර, සමාජවාදී විප්ලවය හා කම්කරු පන්තිය බලයේ පිහිටුවීම, ධනපති පාලනයේ පදනම දැමූ “ව්‍යවස්ථාව යලි පනගැන්වීමක්” නොකරන බව කිව යුතු ය.
සමාජවාදී විප්ලවය, 1776-83 සහ1861-65 වසරවල සිදුවූ විප්ලවයන්ගේ අව්‍යාජ ප්රජාතන්ත්රවාදී ජයග්රහනයන් සුරක්ෂිත කොට යලි පනගන්වා ඒවා වඩා ඉහල තලයකට නංවනු ඇත.
සමාජවාදී විප්ලවය ඇමරිකානු ව්‍යවස්ථාවේ තිබෙන විධායකය, සභා දෙකක් සහිත ව්‍යවස්ථාදායක මන්ඩල ක්‍රමය, ඡන්දයෙන් පත් නොවූ ශ්‍රේෂ්ඨාධිකරනය, සහ චන්ද මන්ඩල ක්‍රමය (electoral college) අහෝසි කරනු ඇත.
එහෙත් එය මූලික අයිතිවාසිකම් පනතේ (Bill of Rights) අව්‍යාජ ප්රජාතන්ත්රවාදී අන්තර්ගතය සහ දහතුන්වන, දාහතරවන සහ පසලොස්වන ව්‍යවස්ථා සංශෝධනවල ලැයිස්තුගත කර ඇති අතිරේක තීරනාත්මක මහජන අයිතිවාසිකම් “සංරක්ෂනය කොට, සුරක්ෂිත කොට ආරක්ෂා කරනු” ඇත.
සිවිල් යුද්ධයේ ප්‍රධාන ජයග්රහනයක් වූද දැනට ෆැසිස්ට්වාදී ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රහාරයට ඉලක්කගත ව තිබෙන්නා වූ ද, 'ඇමරිකා එක්සත් ජනපදය තුල උපන් සියල්ලන්ට එම රටේ පුරවැසිභාවයට හිමිකම් ඇත' (birthright citizenship) යන මූලික අයිතිවාසිකම එකී අයිතීන් අතර වේ. එපමනක් නොව සමාජවාදී විප්ලවය, ජාත්‍යන්තර කම්කරු ගීය තුල (the Internationalé) පෙර දැක ගායනා කල පරිදි සියලු ජාතික පුරවැසිභාවයන් අතික්රමනය කොට, සෑම මනුෂ්‍යයෙකුටම සැබෑ ගෝලීය පුරවැසිභාවය සහතික කරනු ඇත.
සමාජවාදී ව්‍යවස්ථාවක් නිර්මානය කිරීම, ඇමරිකානු සිවිල් යුද්ධය නිමාවට පත්ව සය වසරකට පසු පුපුරා ගිය පැරිස් කොමියුනයේ පාඩම් විශාල වශයෙන් අන්තර්ගත කර ගනු ඇති බවද මා විසින් මෙහිලා සඳහන් කල යුතු වේ. අපේ අරමුන වඩා හොඳ ජාතික රාජ්‍යයක් සෑදීම නොවේ ; එය “වියැකී යන්නට” (wither away) සැලැස්වීමයි.
ලින්කන්ගේ සුසානයේ සිට පැමිනි ලිපිය, එක්සත් ජනපදයේ ප්රජාතන්ත්රවාදී උරුමයේ හොඳම දේවල්, වර්තමාන ධනපති අධිරාජ්‍යවාදී යථාර්ථයේ නරක ම දේවල්වලට එරෙහි ව බලමුලු ගැන්වීමේ උත්සාහයක් විය. එසේම එම ලිපිය, ප්රජාතන්ත්රවාදී අයිතීන් සඳහා කල අරගලයේ සම්ප්රදායයන් යලි තහවුරු කරන ලෙස ද අද දවසේ එම අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ කම්කරු පන්තිය ධනපති කතිපයාධිකාරයට එරෙහි ව සමාජවාදී ක්‍රියාමාර්ගයක් වටා ස්වාධීන ව බලමුලු ගැන්වීමෙන් පමනක් බව වටහා ගන්නා ලෙස ද ඇමරිකානු කම්කරු පන්තියට කරනු ලැබූ ආයාචනයක් විය.
මා ට්‍රොට්ස්කි කැඳවන්නේ නැතිව ලින්කන් කැඳවූයේ “ලිපියේ කතුවරයා සිදුවන්නට යන දෙයට, එනම් — සෝවියටය විසින්, සෝවියටය උදෙසා, සෝවියටයේ (ආන්ඩුවක්) (ලින්කන්ගේ ගෙටිස්බර්ග් කතාවේ a government of the people, by the people, for the people යන වචනවලට ඇඟවුමකි - පරිවර්තක) බිහි වේ යයි බියපත් වී සිටින නිසා සහ UAW සමිතියේ (United Auto Workers - එක්සත් ජනපදයේ, ක්‍රියාකාරී සාමාජිකයන් ලක්ෂ 4 ක් හා විශ්‍රාමික සාමාජිකයන් 580,000 කට වඩා සිටින මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයේ වෘත්තීය සමිතිය - පරිවර්තක) කැරලිකාරී කම්කරුවන්ට, ලින්කන්ට වඩා බොහෝ දේ වර්තමාන තරුන කම්කරු පන්තියට දිය හැකි හෙයින් ඊට බියපත්ව සිටින නිසා යයි ඔබ තවදුරටත් ලියන්නෙහි ය.
මා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සිටින පනස් පස් වසරක කාලය තුල මාක්ස්වාදී විරෝධීන් විසින් බොහෝ දේශපාලන වැරදි ගැන මට චෝදනා කර ඇතත්, මේ වන තුරු මා සෝවියට් සභා සෑදීමට බිය වෙතැයි කිසිවෙක් චෝදනා කර නැත.
සියලු වෘත්තීය සමිති නිලධාරීන් ද, ඩිමොක්රැටික් පක්ෂය වටා කැරකෙන විවිධාකාර ව්‍යාජ වාමවාදීන් ද මට විරුද්ධ වීම හැර වෙනත් එකමුතු කමක් නැති ශාස්ත්රාලීය විවේචකයන් සැලකිය යුතු පිරිසක්ද විසින්, වෘත්තීය සමිති නිලධාරි තන්ත්රයට එරෙහි ව හා ඉන් ස්වාධීන ව, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැංවීම සඳහා සසප කරන අරගලය මගේ ප්‍රධාන “කල්ලිවාදී” මිථ්‍යාලබ්ධිය ලෙස බහුල වශයෙන් හෙලා දකිනු ලැබේ.
ලින්කන් සහ වහල්වාදයට එරෙහි යුද්ධයේ මතකය යලි කැඳවීම කම්කරු පන්තිය අතට බලය ගැනීමේ ඉදිරිදර්ශනයෙන් පසුබෑමක් නොව ඒ සඳහා දේශපාලනික ව සූදානම් වීමේ කොටසකි. ඇමරිකානු කම්කරු පන්තිය, තමන් ජීවත්වන රටේ ඉතිහාසය සහ තමන්ගේ ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායයන්ට උපත දුන් විප්ලවවාදී අරගල ගැන හදාරන්නේ නැති ව, තමන්ගේ ම ස්වාධීන අරගලයේ හා පාලනයේ සංවිධාන ගොඩනගා ගැනීම කරා නොඑලඹෙනු ඇත.
තවත් එක කාරනයක් ඉතිරි ව තිබේ: ලෝසවෙඅ “සාහිත්‍යය, නවකතා, සාහිත්‍යමය පර්යේෂන, භාෂා විලාස, කාව්‍යමය අලංකාර ආදිය දමන්නට තිබෙන තැනක් නොවේ” යයි ඔබ කියන්නෙහි ය. “මාක්ස්වාදය විද්‍යාත්මක නිසා පන්ති අරගලය ගැන ලිවීමේදී යමෙකුට උපමා රූපක පාවිච්චි කල නොහැක්කේ” යැයිද ඔබ එකතු කරන්නෙහි ය.
මෙය, ඔබ කියවනවා යයි කියන ප්රකාශනයක් (ලෝසවෙඅ) ගැන අතිශයින්ම දෝෂ සහගත ප්‍රකාශයකි.
ලෝසවෙඅ හි කලා පිටු, සියවස් කාලක් පමන තිස්සේ චිත්‍රපටි, නාට්‍ය, සාහිත්‍යය, සංගීතය, චිත්‍ර කලා, රංග කලා, (පොදුවේ ලලිත කලා) ආදිය පිලිබඳව සවිස්තරාත්මක සහ විවේචනාත්මක ලිපි පල කරයි. එහි කලා පිටුවල, ෂේක්ස්පියර්, පුෂ්කින්, ග(ර්)තේ, ටොල්ස්ටෝයි, ඩොස්ටොයෙව්ස්කි, වෝල්ට් විට්මන්, මාක් ට්වේන්, ඩ්රීස(ර්), රයිට්, ට්‍රම්බෝ, සහ තවත් බොහෝ අයගේ නිර්මාන ගැන ද, විසි වන සියවසේ ශ්‍රේෂ්ඨත ම සංගීත සංධ්වනි නිර්මානකරුවන් හා චිත්‍රපට ගැන ද, මෑත දශකවල දේශපාලන ප්රතිගාමීත්වය විසින් පටවන ලද සංස්කෘතික සෝදාපාලුව පිලිබඳව ද බැරෑරුම් ලිපි පල විය.
සිනමාව ගැන ඩේවිඩ් වොල්ෂ් ගේ ලිපි පමනක් ගතහොත්, ඒවා මෙම කාල පරිච්ඡේදය තුල, ලෝකයේ ඕනෑ ම තැනක නොකඩවා පල කෙරුනු මාක්ස්වාදී සංස්කෘතික විවේචන වේ.
ඔබේ අදහස අනුව මෙකී ආයාසයන් වෙබ් අඩවියේ සැබෑ රාජකාරියෙන් පිට පැනීමක් ද? නැත්නම් වෙබ් අඩවිය ගැන ඔබේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔබ ඒවා බැලීමට කරදර වූයේ නැද්ද?
උපමා රූපක භාවිතය, සාහිත්‍යමය අලංකාරෝක්ති සහ භාෂාමය සම්පත් නිර්මානාත්මක ලෙස පාවිච්චි කිරීම ආදිය විද්‍යාත්මක සමාජවාදය සමග නොපෑහේය යන ඔබගේ සංකල්පය කොතරම් දෝෂ සහගත අවබෝධයක් ද යත්, එය නිවැරදි කිරීම පටන්ගත යුත්තේ කොතැනින්ද යන්නවත් සිතා ගත නොහැක.
මාක්ස්ගේ ගද්‍ය රචනා 19 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යමය ජයග්රහන අතරට වැටේ.
කොමියුනිස්ට් ප්රකාශනයේ මුල් ම වාක්‍යය, 18 වන බෲමරය තුල - මහලු ගුල් හාරන්නා (alte maulwurf) පිලිබඳ සඳහන, ('ඉතිහාසය නම් මහලු ගුල් හාරන්නානෙනි, ඔබ බරටම වැඩ වගේ' යනුවෙන් රෝසා ලක්සම්බර්ග් ද 1917 මැයි මාසයේ ස්පාටකස් සඟරාවට ලියූ ලිපියක මෙම රූපකය පාවිච්චි කලාය - පරිවර්තක) කැපිටාලය තුල වෙලඳ භාන්ඩ වන්දනාව පිලිබඳ ඡේද, ප්රෞදොන්ට හා බෝයර්ට එරෙහි ලේඛනවල ගිනිසැර වන් ව්‍යක්තභාවය — මේ කිසිවක්, යටින් පවතින විද්‍යාත්මක අන්තර්ගතයට උඩින් තැබූ සැරසිලි නොවේ. සාහිත්‍යමය බලශක්තිය, විශ්ලේෂනාත්මක බල ශක්තියෙන් වෙන් කල නොහැක. මන්ද යත්, දයලෙක්තික ක්‍රමය, තම විෂයයෙහි තිබෙන ප්රතිවිරෝධතාවන්ගෙන් සමන්විත, සජීවී, වර්ධනය වෙමින් පවත්නා ස්වභාවයට ගැලපෙන සාහිත්‍යමය ආකෘතියක් ඉල්ලා සිටින බැවිනි.
ට්‍රොට්ස්කි, විසිවන සියවසේ ලෝකයේ ඕනෑම බසකින් ලියූ ගද්‍ය රචනයේ ශ්‍රේෂ්ඨතමයන් අතර ඉහලින්ම සිටිනවා සේම ඔහුගේ දේශපාලන ලියවිලි — රුසියානු විප්ලවයේ ඉතිහාසය, මගේ ජීවිතය, සාහිත්‍යය හා විප්ලවය සහ නිලධාරි තන්ත්රයට එරෙහි ඔහුගේ රචනාවල ව්‍යක්තභාවය ඒවායේ සාහිත්‍යමය අගයෙන් වෙන්කල නොහැක.
ව්‍යපාරයේ සිටි වියලි, තාක්ෂනික ශිල්පියකුට බොහෝවිට සමාන කරනු ලබන්නා වූ ලෙනින්ද තියුනු කගපත් වැනි ව්‍යක්ත ශෛලියකින්, නිතර උපමා අලංකාර භාවිතා කරමින් ලියුවේ ය. කම්කරු පන්තියට ඇමතිය යුත්තේ රජයේ කාර්යාල වල නිලධාරීන් ලියන්නා වැනි, නිසරු, සියලු උපමා රූපකයන්ගෙන් විනිර්මුක්ත, සියලු චින්තන හැකියාවන් ගැන සැක පහල කරන්නා වූ බසකින් ය යන අදහස හා මාක්ස්වාදය අතර කිසිදු සම්බන්ධයක් නැත. ස්ටැලින්වාදය විසින් කම්කරු පන්තිය මත පතිත කල, එයින් ගොඩ ඒමට කම්කරු පන්තිය තවමත් වෑයම් කරමින් සිටින, සංස්කෘතික සෝදාපාලුව සමග නම් එහි විශාල සම්බන්ධයක් තිබේ.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අපි, හතරවන ජාත්‍යන්තරය සහ කම්කරු පන්තියේ ලෝක සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම අරමුනු කරගත් සියලු පද්‍යමය නිර්මාන, සාහිත්‍යමය පර්යේෂන ඇතුලු කලා නිර්මානයේ සම්පත් සමග නොකඩවා නියැලීමට දරන උත්සාහයන් සාදරයෙන් පිලිගනිමු.
මෙය ව්‍යාපාරයේ දේශපාලන කර්තව්‍යයන්ගේ අත්‍යාවශ්‍ය මූලිකාංගයකි.
ඔක්තෝබර් විප්ලවය, පසුව ස්ටැලින්වාදී ප්රතිගාමීත්වය විසින් ගෙල මිරිකා දමනු ලැබූ, කලා පර්යේෂනයේ හා නිර්මානයේ නව යුගයක් සුපිෂ්පිත කලේ ය. එම සම්ප්රදාය යලි පන ගැන්වීම හා වැඩිදුර වර්ධනය, අපේ ව්‍යාපාරය විසින් කර ගැසිය යුතු ව ඇති වගකීම් අතරින් එකක් වේ. මේ සම්බන්ධයෙන්, සසප හා ලෝසවෙඅ, ඇමරිකානු විප්ලවයේ 250 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ප්‍රධානත ම ශාස්ත්රධරයන්ට ඇරයුම් කර ඔන්-ලයින් වෙබිනාරයක් පවත්වනු ඇත.
එහි දී සාකච්ඡාවට ගනු ලබන කරුනු අතර ලෝක ඉතිහාසය හා ඇමරිකානු ඉතිහාසය තුල ලින්කන් දරන ස්ථානයත් - එනම් 1776 දී නිම කිරීමට නොහැකි වූ රාජකාරිය සාර්ථක ලෙස නිම කල, එහෙත් ඔහුට නිම කිරීමට නොහැකි වූ, දැන් ජාත්‍යන්තර සමාජවාදී අත්තිවාරමක් මත නිම කිරීමට කම්කරු පන්තියට පැවරී ඇති කාර්ය භාරයත් - වේ.
සහෝදරත්වයෙන්,
ඩේවිඩ් නෝර්ත්
වැඩිදුර කියවන්න
- ඒ. ලින්කන්ගෙන් දුර සිට ලිපියක්
- ඒබ්‍රහම් ලින්කන් සහ චාල්ස් ඩාවින්ගේ ද්විශතසංවත්සරයට ගෞරව කිරීමක්
- සෑම ලේ බිඳුවක් ම: ඒබ්‍රහම් ලින්කන්ගේ අර්ථභාරී දෙවන පදවිප්‍රාප්තිය
- වොෂිංටන්, ජෙෆර්සන්, ලින්කන් සහ ග්‍රාන්ට්ගේ ස්මාරකවලට අත නො තබනු!
- වාර්ගික- ප්රජාගනවාදී දේශපාලනය සහ දෙවන වරටත් ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කිරීම
- ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ලින්කන් සහ සිවිල් යුද්ධයේ ඓතිහාසික නාටකය
