ශ්‍රී ලංකාව තුල වේගයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය, වසංගතයක් බවට පරිවර්තනය වෙමින් පවතී. ගත වූ හය මාසය තුල, නිල වශයෙන් පුද්ගලයින් 53,000 කට අධික සංඛ්‍යාවකට ඩෙංගු ආසාදනය වී ඇති අතර, ඉන් 31 දෙනෙක් මරනයට පත් ව ඇත.
ජාතික ඩෙංගු පාලන ඒකකයට අනුව, 2026 වසරේ 25 වන වසංගත රෝග සතිය වන විට රෝගීන් 53,159 ක් වාර්තා වී ඇති අතර ජුනි මාසයේ දී පමනක් රෝගීන් 19,318ක් වාර්තා වී ඇත. දිනකට ආසන්න වශයෙන් නව රෝගීන් 750ක් අනාවරනය වන අතර, බටහිර, දකුනු, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පලාත්වල දිස්ත්‍රික්ක 14ක් දැඩි ලෙස පීඩාවට පත් ව ඇත.
දිස්ත්‍රික්ක කිහිපයක රෝහල්වල රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා ගොස් ඇත. කොලඹ ජාතික රෝහලේ, අසාධ්‍ය ඩෙංගු රක්තපාත උන රෝගීන් සඳහා ඇත්තේ අධි යැපුම් ඒකක 17 ක් පමනි. රෝගීන්ට කොරිඩෝවල සහ පඩිපෙලවල වැතිරීමට බල කෙරෙමින් පවතින අතර, සාමාන්‍යයෙන් ඇතුලත් වීමට අවශ්‍ය පට්ටිකා ප්‍රමානය ඇති අය රෝහල් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබෙති.
මෙම බිය උපදවන සංඛ්‍යා ලේඛන පවා ව්‍යසනයේ සැබෑ මානයන් දැඩි ලෙස අවතක්සේරු කරයි. ආසාදිතයින්ගෙන් සියයට 75 සිට 80 දක්වා සංඛ්‍යාවක් රෝග ලක්ෂන නොමැති නමුත් තවමත් රෝගය සම්ප්‍රේෂනය කිරීමේ හැකියාව ඇති බැවින්, ආසාදිත පුද්ගලයින්ගේ සැබෑ සංඛ්‍යාව 200,000 කට ආසන්න විය හැකි බව මන්නාරම මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. උඩුනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වන ආසිරි ජයසූරිය අනතුරු ඇඟවූයේ, “පෙර අවස්ථාවන්ට වඩා වෙනස්” ආකාරයකින් රෝගය දැන් “ඩෙංගු රක්තපාත උන දක්වා වර්ධනය වෙමින් පවතින” බවයි.
නිල සංඛ්‍යාලේඛන සහ යථාර්ථය අතර පවත්නා පරතරය අහම්බයක් නොවේ. එය හිතාමතා ම සැඟවීමේ පිලිවෙතක් වන අතර, කෝවිඩ්-19 වසංගතය අතරතුර භාවිතා කල ක්‍රමවේදයන්ට සමාන වේ - එවක පැවති ආන්ඩු, ක්රමානුකූල ව පරීක්ෂන අඩු කොට, නිල මරන සංඛ්‍යාව හැසිරවී ය. මහා ව්‍යාපාරවල ලාභ, මිනිස් ජීවිත වලට වඩා ඉහලින් තැබූ සාපරාධී “රංචු ප්‍රතිශක්තිය” නැතහොත් “රෝගය පැතිර යාමට ඉඩ දීමේ” මූලෝපායක් අනුගමනය කලේ ය. එතැන් සිට, සෑම ආන්ඩුවක් ම අනුගමනය කලේ, මහජන සෞඛ්‍ය පද්ධතිය මුලුමනින් ම බිඳ දැමීමේ පිලිවෙතකි.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ඩෙංගු රෝගයට ප්‍රතිචාර දක්වන්නේ එම නරුම පිලිවෙත් මත පාදක ව ය: මදුරු අභිජනන ස්ථාන තුරන් කිරීමට සහ ප්‍රමානවත් රෝහල් සත්කාර සැපයීමට සම්පත් නොයොදවන ආන්ඩුව, මහජන සෞඛ්‍යයට අමතර අරමුදල් වෙන් කිරීමෙන් වැලකීම සඳහා ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය හැකිතරම් අවතක්සේරු කරයි. රෝගයේ අන්තරායකාරී ව්‍යාප්තිය, පරිපාලනමය අදක්ෂතාවයක ප්‍රතිඵලයක් නොවේ. එය නිශ්චිත පන්ති පිලිවෙතක ප්රතිඵලයකි.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ හදිසි සහ සංයුක්ත පියවර නොගන්නා ජවිපෙ/ජාජබ ආන්ඩුව, තම පූර්වගාමීන් මෙන් වින්දිතයාට දඬුවම් දීමේ ක්‍රමවේදය අනුගමනය කරයි.
පසුගිය දා කොට්ටාවේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් අමතමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කලේ දිස්ත්‍රික්ක 14 ක පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන නමුත් එම උත්සාහය සාර්ථක වන්නේ “අපි රටක් ලෙස සාමූහික ව මැදිහත් වුව හොත්” පමනක් බවයි. ඔහු පාසල්, ආයතන සහ නිවාසවලින්, එකතැන පල්වෙන ජල මූලාශ්‍ර ඉවත් කරන ලෙස ඉල්ලා සිටි අතර, ඊට අනුකූල නොවන අයට එරෙහි ව නීතිමය පියවර ගැනීමට සූදානම් බව ආන්ඩුව අනතුරු අඟවා තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 2025 කාර්ය සාධන සහ ප්‍රගති වාර්තාවට අනුව, පසුගිය වසරේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය විසින් සිදු කරන ලද වැටලීම් වලදී පරිශ්‍ර 323,276 ක් පරීක්ෂාවට ලක් කර ඇත. පරිශ්‍ර 12,025 කින් මදුරු කීටයන් හමු වූ අතර, 2,982 කට එරෙහි ව නීතිමය නඩු පවරා ඇත. මෙම මිලිටරිකෘත, දඬුවම් කිරීමේ ප්‍රවේශය - කම්කරුවන් සහ අනෙකුත් පීඩිත ප්‍රජාවන්, කඩා වැටෙන මහජන සෞඛ්‍ය යටිතල පහසුකම්වල වින්දිතයින් ලෙස නොව, අපරාධකරුවන් ලෙස සැලකීම - දශක ගනනාවක් තිස්සේ සෑම ආන්ඩුවක්ම ඩෙංගු රෝගයට දක්වන ප්‍රතිචාරයේ ලක්ෂනයයි.
2017 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කල පරිදි, රෝගීන් 103,000 කට අධික සංඛ්‍යාවක් සහ මරන 290 ක් වාර්තා වූ වසංගතය අතරතුර, “මෙම දඬුවම් පියවර ඩෙංගු තුරන් කිරීම සහ කම්කරු පන්තියට සහ දුප්පතුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සුරක්ෂිත කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නැත. ඊට පටහැනි ව, මහජන සෞඛ්‍ය පහසුකම් සහ වැඩසටහන් ඇතුලු සීමිත සමාජ සේවා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනතාව අතර වැඩිවන කෝපයට එරෙහි ව ඒවා යොමු කර ඇත.”
ඩෙංගු වසංගතය වනාහි, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් ක්රමානුකූල ව විනාශ කිරීම මගින් ඇති කරන ලද සමාජ අපරාධයකි. පරම්පරා ගනනාවක කම්කරු පන්ති අරගල හරහා දිනාගත් වැදගත් ම සමාජ ජයග්රහනවලින් එකක් වන සර්වජන සෞඛ්‍ය අයිතියට (universal right for health), එනම්, සෑම කෙනෙකුට ම, තම ආදායම, රැකියා තත්ත්වය, වයස හෝ සමාජ පසුබිම නොසලකා නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇති අයිතියට, ජාමූඅ හි නියෝග යටතේ 1980 ගනන්වල සිට සෑම ආන්ඩුවක් විසින් ම හිතාමතා ම පහර එල්ල කර ඇත.
සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිතිවලට අනුව, රටේ මහජන සෞඛ්‍ය ආයතන පුරා රෝහල් සහායකයින් 14,000ක් සහ හෙදියන් 23,000ක හිඟයක් පවතී. අක්‍රිය උපකරන වලින්, බිඳ වැටෙන යටිතල පහසුකම් වලින් සහ අත්‍යවශ්‍ය ඖෂධවල නිදන්ගත හිඟයෙන් රෝහල් පීඩා විඳී. දිවයිනේ සමස්ත කලාපයක් ම ආවරනය කරන මහනුවර ජාතික රෝහලේ ඇත්තේ එක් MRI යන්ත්‍රයක් පමනි; රෝගීන් ස්කෑන් පරීක්ෂනයක් සඳහා වසරකට වැඩි කාලයක් බලා සිටින අතර, නිසි රෝග විනිශ්චයකින් තොර ව සමහරු මිය යති.
ඩෙංගු වැලැක්වීමේ ඉදිරි පෙරමුන වන ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්රයේ තත්වය ව්‍යසනකාරී ය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3500 ක් නිල වශයෙන් අවශ්‍යවන නමුත්, සේවයේ යෙදී සිටින්නේ 2,300 ක් පමනි. ඒ අනුව සියයට 34 ක හිඟයක් පවතී.
වෛද්‍යවරුන් රට හැර යාම අර්බුදකාරී අනුපාතයකට ලඟා වී තිබේ. පසුගිය වසර දෙක තුල රටේ වෛද්‍යවරුන්ගෙන් සියයට 10 කට ආසන්න ප්‍රමානයක් සංක්‍රමනය වී ඇති අතර, රජයේ සෞඛ්‍ය ආයතනවල සිටින වෛද්‍යවරුන්ගෙන් සියයට 25 ක් - විදේශ රැකියා ලබා ගැනීම සඳහා අවශ්‍ය විභාගවලට පෙනී සිට ඇති බව 2024 දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) අනතුරු ඇඟවීය. හෙදියන් 2,500 කට වැඩි පිරිසක් වෘත්තියෙන් ඉවත් වී ඇත. ජුනි 14 වන දින, ජීඑම්ඕඒ වාර්තා කලේ වේදනා නාශක, ප්‍රතිජීවක සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ වකුගඩු රෝග සඳහා වන ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධ 180 ක් මධ්‍යම ඖෂධ ගබඩාවේ තොග නොමැති බවයි.
මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයෙක් ඩෙංගු රෝගයේ වර්ධනයත් සමග ඇති වී තිබෙන තත්වය ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ විස්තර කලේ ය: “සාමාන්‍ය දිනවලත් මේ රෝහලේ තිබෙන ඇඳන් සංඛ්‍යාව අභ්‍යන්තර රෝගීන්ට සෑහෙන්නෙ නෑ. මේ ඩෙංගු තත්වය නිසා ඇඳන් සංඛ්‍යාව ඉක්මවා සිටින රෝගීන් සංඛ්‍යාව තුන් ගුනයකටත් වඩා වැඩිවෙලා. එක ඇඳ උඩ දෙන්නා බැගින් දැම්මත් තවත් බොහෝ දෙනෙකුට ඉන්න වෙන්නෙ බිම.”
ඩෙංගු ව්‍යාප්තියේ අන්තරායකාරී ස්වභාවය වසන් කරනුවස් ආන්ඩුව මෙතෙක් වසංගත තත්වයක් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වය පල කරමින් ඔහු මෙසේ කීවේ ය: “මේක වසංගත තත්වයක් බව පැහැදිලි ව පෙනෙන්න තිබිලත් ආන්ඩුව එය ප්‍රකාශ නොකරන්නෙ, අවශ්‍ය හදිසි පියවර ගැනීමෙන් වලකින්න. මේක මහ අපරාධයක්.”
IMF ඇපකරය ගැන “නැවත සාකච්ඡා” කරන බවට බොරු පොරොන්දු දී බලයට පත් වූ ජවිපෙ/ජාජබ ආන්ඩුව, කප්පාදු ක්‍රියාත්මක කල අනුකම්පා විරහිත ආන්ඩුවක් ලෙස මහජනතාව හමුවේ හෙලිදරව් වී ඇත. බලයට පත්වීමෙන් දින කිහිපයක් ඇතුලත, ජනාධිපති අනුර කුමාර දිසානායක සෑම මැතිවරන පොරොන්දුවක් ම අත හැර දමා තම ආන්ඩුව IMF හි වැඩපිලිවෙල සම්පූර්නයෙන් ම ක්‍රියාත්මක කරන බව නිවේදනය කලේය. “යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම හොඳ ද නරක ද යන්න විවාද කිරීමෙන් කිසිදු අරමුනක් ඉටු නොවේ,” දිසානායක ප්‍රකාශ කලේ ය. “මෙය අප මුහුන දෙන යථාර්ථයයි.”
යථාර්ථය නම්, ජවිපෙ/ජාජබ මහජන සෞඛ්‍ය වියදම් කපා හැර ඇති බවයි. 2026 අයවැයෙන් ඒකාබද්ධ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554 ක් පමනක් වෙන් කර ඇති අතර එය 2025 අයවැයෙන් පොරොන්දු වූ රුපියල් බිලියන 604ට වඩා දැවැන්ත කප්පාදුවකි. ආන්ඩුව 2028 සිට සියයට 2.3ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ජනනය කිරීමට සහ වසරකට ඩොලර් බිලියන 5ක් නයහිමියන්ට ආපසු ගෙවීමට කැප වී සිටී. ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය මිලියන 1.3 සිට 750,000 දක්වා අඩු කල යුතු බවයි.
මහජන සෞඛ්‍ය පිරිහීම පලාත් පාලන ආයතනවලට එල්ල වන ප්‍රහාරයෙන් වෙන් කල නොහැක. සනීපාරක්ෂාව, කසල එකතු කිරීම සහ ජලාපවහනය සඳහා වගකිව යුතු ආයතන වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ක්රමානුකූල ව අරමුදල් හිඟයකට ලක් ව ඇත. ඩෙංගු අභිජනන ස්ථානයන් වන, කසල ගොඩවල්, අවහිර වූ කානු සහ එක තැන පල් වෙන ජලය මහමග දෙපස සුලබ දර්ශනයකි. මෙය, මහජන සෞඛ්‍යයේ වගකීම දැනුවත් ව අත්හැර දැමීමේ ප්‍රතිපත්තියේ සෘජු නිෂ්පාදන වේ.
මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මෑතක දී කරන ලද පරීක්ෂන මගින්, ඩෙංගු මදුරුවන් සඳහා ප්‍රධාන අභිජනන ස්ථාන ලෙස පාසල් හඳුනා ගෙන ඇත. මෙය අධ්‍යාපන වියදම් කප්පාදු කිරීම හේතුවෙන් වර්ධනය වී පවත්නා පාසල් කාර්ය මන්ඩල හිඟයේ සෘජු ප්‍රතිඵලයක් බව කොලඹ ප්‍රධාන පාසලක අනධ්‍යන සේවකයෙක් ලෝසවෙඅට පැවසීය.
“අපේ පාසලේ සංවර්ධන නිලධාරී තනතුරු හතරක සහ කලමනාකරන සහකාර නිලධාරී තනතුරු හතරක පුරප්පාඩු තියෙනවා. පුස්තකාල සහ සනීපාරක්ෂක කම්කරුවන් තමයි ඒ වැඩකටයුතු වලට යොදවලා තියෙන්නෙ. ඒ නිසා එක් පැත්තකින් පුස්තකාල වසා දමා තිබෙනවා. අනෙක් පැත්තෙන් පාසල පිරිසිදු කිරීමේ වැඩ කටයුතු අඩාල වෙලා. ඒවා දෙමව්පියන් තමයි කරන්නේ. ඒ වගේම ඩෙංගු හැදුනු ගුරුවරුන් සහ ලමයි සෑහෙන ප්‍රමානයක් ඉන්නවා.”
ජවිපෙ/ජාජබ ආන්ඩුව ඇතුලු ධනපති පාලක පන්තිය, මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ අවශ්‍යතා මිනිස් ජීවිතවලට වඩා ඉහලින් තබයි. මහා ව්‍යාපාරික සංගතයන්ට සහන සැලසීම සඳහා රුපියල් බිලියන ගනනක් යොමු කරන අතර ම, ආන්ඩුව සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ සේවා සඳහා අරමුදල් කපා හැරීම දිගට ම කරගෙන යයි.
ඩෙංගු රෝගීන්ට පහසුකම් සැලසීමට රෝහල්වලට ඇති නොහැකියාව, නිදන්ගත කාර්ය මන්ඩල හිඟය සහ රෝග වැලැක්වීමේ සෞඛ්‍ය වැඩසටහන්වල පරිහානිය යන සියල්ල වරප්‍රසාද ලත් ප්‍රභූ පැලැන්තියේ ධනය ආරක්ෂා කිරීම සඳහා ජනගහනයේ අවශ්‍යතා කැප කරන සමාජ ක්රමයක ප්රකාශනයන් වේ.
සෞඛ්‍ය සේවකයින් නියෝජනය කරන බව කියා සිටින වෘත්තීය සමිති, සීමිත වැඩ වර්ජන සහ විරෝධතා කැඳවමින් සහ ආන්ඩුවල හිස් පොරොන්දු මත පදනම් ව ඒවා අවලංගු කරමින් ද්‍රෝහී කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ඔවුන් ජාමූඅ වැඩසටහනට සහාය දක්වන අතර කම්කරුවන් ස්වාධීන ව බලමුලු ගැන්වීමට මුලුමනින් ම සතුරු ය.
සමාජවාදි සමානතා පක්ෂය (සසප) සෞඛ්‍ය සේවකයින්ගෙන් සහ පුලුල් කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ මෙම ධනපති ගැති වෘත්තීය සමිතිවලින් බිඳී, සෑම රෝහලක ම, සේවා ස්ථානයක ම සහ අසල්වැසි ප්‍රදේශයක ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසයි. සෞඛ්‍ය පද්ධතිය නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය අරමුදල් පවතී - ඒවා ඇත්තේ, බැංකුවල, සංගතවල සහ සුපිරි ධනවතුන්ගේ බැංකු ගිනුම් වල ය.
එම මුදල්, සෞඛ්‍යය ඇතුලු මහජන අවශ්‍යතා සඳහා යොදාගනුවස්, ප්‍රධාන බැංකු, සංගත සහ පෞද්ගලික රෝහල් කම්කරු පංතියේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතේ ජනසතු කල යුතු ය. විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කල යුතු ය.
සමාජවාදය සඳහා වූ ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවී ආන්ඩුවක් මගින් කප්පාදුවේ වත්මන් තන්ත්රය ප්‍රතිස්ථාපනය කල යුතු ය. කම්කරු පන්තියට මෙම සමාජ ඝාතනය අවසන් කිරීමට බලය ඇත - නමුත් එය ජවිපෙ/ජාජබ ඇතුලු ධනේශ්වරයේ සියලු පක්ෂවලින් දේශපාලනික ව බිඳී සමාජවාදය සඳහා ස්වාධීන ව සටන් කරන්නේ නම් පමනි.
