පිරිහෙමින් පවතින ජනතා සහයෝගය යලි වාත්තු කර ගැනීමේ වෑයමකින් ජනාධිපතිවරයා මහජන රැලි අමතයි

[මෙය Sri Lankan president addresses public rallies: A bid to stem falling popular support යන මැයෙන් 2026 සැප්තැම්බර් 16 වැනි දා ඉංග්‍රීසි බසින් පල විය.]

තම පාලනයේ දෙවන වසර සනිටුහන් කරමින්, බලයේ සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ), පිරිහෙමින් පවතින ජනතා සහාය යලි ඉහල නංවා ගැනීමේ දැඩි ප්‍රයත්නයකින් සැප්තැම්බර් 6 වැනි දා  සිට දිවයින පුරා මහජන රැස්වීම් මාලාවක් ආරම්භ කර ඇත.

2026 සැප්තැම්බර් නොච්චියාගම පැවති රැස්වීමක් අමතන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක [Photo: Facebook/Anura Kumara Dissanayake]

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස තුල සෑම දිස්ත්‍රික්කයක ම රැලි දෙකක් බැගින් පැවැත්වීමට ආන්ඩුව සැලසුම් කර ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක ඒවායේ දී “පසුගිය වසර දෙකේ දී තම ආන්ඩුව ලබා ඇති ජයග්‍රහන පිලිබඳ ව ජනතාවට සෘජු ව ම අදහස් දැක්වීමටත්, ඉදිරි අරමුනු පැහැදිලි කිරීමටත්” නියමිත ය. ආරම්භක රැස්වීම් බස්නාහිර පලාතේ කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ බේරුවල යන ප්‍රදේශවල දී පැවැත්විනි. 

බුලත්සිංහල දී අදහස් දැක් වූ දිසානායක, 2024 සැප්තැම්බර් මාසයේ දී තමා ජනාධිපති ලෙස තේරී පත් වීම තුලින් “දීර්ඝ කාලයක් තිස්සේ මාරුවෙන් මාරුවට අපේ රට පාලනය කල දේශපාලන කඳවුරු” මුලුමනින් ම පරාජයට පත් වූ බව ප්‍රකාශ කලේ ය. ඔහු අවධාරනය කලේ, 2024 මහ මැතිවරනයේ දී “වැඩි ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සහ වැඩි ම ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙමින් ජනතාව අපට ශක්තිමත් ආන්ඩුවක් පවරා දුන්” බවයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ තම “ජනතා කේන්ද්‍රීය ආන්ඩුව” “ජනතා බලය” නියෝජනය කරන බවයි; ඔහු තවදුරටත් මෙසේ ද කියා ගෙන ගියේ ය: “මෙම ආන්ඩුව බලයට පත් කලේ ජනතාවයි; එය ඉදිරියට ගෙන යන්නේ ද ජනතාවයි; එ මෙන් ම එය ආරක්ෂා කරන්නේ ද ජනතාවයි.”

ඇත්ත කාරනය නම්, දිසානායකගේ ආන්ඩුව කිසි සේ ත් ම කම්කරු ජනතාවගේ අතිමහත් බහුතරයක අවශ්‍යතා නියෝජනය නොකරන බවයි; ඒ වෙනුවට එය නිර්දය ලෙස ආරක්ෂා කරන්නේ, ධනපති පන්තියේ සහ ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන් ය. අතීතයේ පෙන් වූ “සමාජවාදී” මවා පෑම් අත් හැර දමා ඇති ජවිපෙ/ජාජබ ආන්ඩුව, මැතිවරනවල දී තම පක්ෂයට ඡන්ද ලබා ගැනීමට අයිඑම්එෆ් වැඩපිලිවෙලට එරහි මහජන විරෝධය ගසා කෑව ද දැන් කම්කරුවන් සහ ගම්බද දුප්පතුන් මත එම ම්ලේච්ඡ කප්පාදු පියවරයන්—එනම් ඉහල බදු, භාන්ඩ මිල ඉහලදැමීම් සහ පුද්ගලීකරනය—පටවමින් සිටී. “ජනතාව මෙම ආන්ඩුව ආරක්ෂා කරනු ඇත” යනුවෙන් ඔහු කරන ප්‍රකාශය යථාර්ථය උඩු යටිකුරු කිරීමකි: මන්ද, සැබැවින් ම සිදු වෙමින් පවතින දෙය නම්, ඔහුගේ ආන්ඩුව, ඉදිරියේ දී අනිවාර්යයෙන් මතු වීමට ඉඩ ඇතැයි ඔහු දන්නා මහජන විරෝධය මර්දනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රනය සහ තම පක්ෂයේ මැර කන්ඩායම් සූදානම් කරමින් සිටීමයි.

ඉන්පසු ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ, රට බංකොලොත්භාවයට පත් කලේ දූෂනය බවයි. “භාන්ඩාගාරයට ලැබිය යුතු සෑම සතයක් ම වෙනත් මාර්ග ඔස්සේ වෙනතකට යොමු වීම අපි නැවැත්තුවා; ඒ සියලු නීතිවිරෝධී මාර්ග වසා දමා භාන්ඩාගාරය ශක්තිමත් කලා,” යැයි ඔහු උදම් ඇනී ය.

දිසානායකගේ දූෂන-විරෝධී ඝෝෂාබද්ධය  මගින්, කම්කරු ජනතාව මුහුන දෙන අතිශය දුෂ්කර තත්ත්වයන්හි සැබෑ මූල හේතුව- එනම් ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය— වසන් කරන අතර ශ්‍රී ලංකාව එම අර්බුදයේ තියුනු ත ම ප්‍රකාශනයකි. එහෙත් රාජ්‍ය භාන්ඩාගාරය “හිස්” වූයේ දූෂිත පුද්ගලයන් නිසා නොව, ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝග හේතුවෙනි; ඔහුගේ ආන්ඩුව දැන් ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ, එම මූල්‍ය ප්‍රාග්ධනයේ දැඩි මූල්‍ය පාලන වැඩපිලිවෙල යි. “භාන්ඩාගාරය ශක්තිමත් කිරීම” යන්නෙන් අදහස් වන්නේ, කම්කරු පන්තියේ සුබසාධනයක් නොව, නය ගෙවීමත්, ධනපතීන්ගේ ලාභ උපරිම කිරීමත් සඳහා ආදායම් උපරිමයට නැංවීමයි.

දිසානායක මෙම ප්‍රතිපත්ති පිලිබඳ ව, 2025 වසරේ දී තම ආන්ඩුවට “වසර 30 ක් තුල දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 16.7 ක් ලෙස ඉහල ම රාජ්‍ය ආදායම වාර්තා කිරීමට” සහ “1957 න් පසු අඩු ම අයවැය හිඟය” පවත්වා ගැනීමට හැකි වූ බවට පාරම් බෑවේ ය. ඔහු මේවා ඉදිරිපත් කරන්නේ, රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම මගින් ලැබූ ජයග්‍රහන ලෙසට ය. නමුත් ඇත්ත වශයෙන් ම, මෙම සංඛ්‍යාලේඛන, අයිඑම්එෆ් විසින් ඉල්ලා සිටි සහ දිසානායකගේ පූර්වගාමියා වූ රනිල් වික්‍රමසිංහ විසින් එකඟතාව පල කල නිශ්චිත දර්ශකයන්‍ ය. එම ගිවිසුම නැවත සාකච්ඡා කරන බවට වූ තම මැතිවරන පොරොන්දුව පසෙකට විසිකල ජවිපෙ/ජාජබ ආන්ඩුව, බලයට පත් ව නොබෝ දිනකින්, එම ගිවිසුම “සම්පූර්නයෙන් ම” ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දුන්නේ ය.

මෙම සංඛ්‍යා දත්ත, ජනතාවගේ සුඛිත මුදිත බව පිලිබඳ ව මිනුම් දඬු නොව, වැඩ කරන ජනතාව මත පටවා ඇති බර පෙන්නුම් කරන දර්ශකයන්‍ ය. ඒ අතර ම, අත්‍යවශ්‍ය සේවා නියෝග මගින් වැඩවර්ජන නීතිවිරෝධී ක්‍රියා බවට පත් කිරීමටත්, මර්දනකාරී බලතල තවදුරටත් පුලුල් කිරීමක් ලෙස සැලකිය හැකි ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ හඳුන්වා දීමටත් ආන්ඩුව කටයුතු කර ඇත.

සිය දෙ වසරක පාලන කාලය තුල දිසානායක දරිද්‍රතාවය ගැන හෝ කඩා වැටෙමින් පවතින ජීවන තත්වයන් ගැන කිසිවක් ප්‍රකාශ කලේ නැත. ලෝක බැංකුවේ ඇස්තමේන්තු වලට අනුව දරිද්‍රතා මට්ටම සියයට 22 කට ආසන්න වන අතර, තවත් සියයට 10 ක් දෙනා දරිද්‍රතා රේඛාවට යන්තම් ඉහලින් ජීවත් වේ. ලෝක ආහාර වැඩසටහන වාර්තා කරන පරිදි, පවුල්වලින් සියයට 39ක් අප්‍රමානවත් ආහාර වේල් මත යැපී සිටින අතර, වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමානයක් මන්දපෝෂනයෙන් පෙලෙති.

2022 සිට රාජ්‍ය අංශයේ මූර්ත වැටුප් සියයට 33කින් පහත වැටීමත් සමඟ කම්කරුවෝ වර්ධනය වන ආර්ථික පීඩනයකට මුහුන දෙති. ආර්ථික විද්‍යාඥ නිෂාන් ද මෙල් උපුටා දක්වන ලද EPF දත්ත වලට අනුව, පෞද්ගලික අංශයේ නිල සේවකයින්ගෙන් සියයට 92 ක් ම මසකට උපයන්නේ, රුපියල් 100,000 ට වඩා අඩුවෙනි. අත්‍යවශ්‍ය මිල ගනන් අඛන්ඩ ව ඉහල යමින් පවතී; තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 207 දක්වා, එනම් සියයට 9කින් ඉහල ගොස් ඇති අතර උද්ධමනය සියයට 8 දක්වා ලඟා වී ඇත. මිල දී ගැනීමේ හැකියාව මත නිර්නය කරන අවම වැටුප් ප්‍රමානය අනුව රටවල් 130 ක් අතුරින් ශ්‍රී ලංකාව සිටින්නේ 120 වන ස්ථානයේ ය.

මෙවන් පසුබිමක—විශ්වවිද්‍යාල සිසුන් සඳහා වන මහපොල ශිෂ්‍යත්වය දෙ ගුන කිරීම, පොහොර සහනාධාර සහ ආබාධිත දීමනා වැනි—දිසානායක විසින් ලැයිස්තුගත කරන සුබසාධන පියවර කීපය, නොදැනෙන තරම් සොච්චම් දීමනාවන් ය.

කෙසේ වෙතත්, දිසානායකගේ කතාවේ ප්‍රධාන අවධානය යොමු වූයේ “කලු රාජ්‍යය”—එනම් “කලු දේශපාලනය”, “කලු ආර්ථිකය” සහ “කලු නීතියට”—එරෙහි ව හඬ තැලීම  දෙසට ය; එ මගින් ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයට හේතු ලෙස පෙන්වා දෙන්නේ, දූෂනය, සාපරාධීභාවය සහ සදාචාරාත්මක පරිහානියයි. [දූෂිතයන්ට දඬුවම් කිරීම සඳහා] “අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය කිසිදු බියකින් තොර ව ගෙන එන” බව දිසානායක එහිදී ප්‍රකාශ කලේ ය.

“මෙම කලු රාජ්‍යය විනාශ කරන” බවට දිසානායක ලබා දී ඇති පොරොන්දුව හරහා උත්සාහ කෙරෙන්නේ, ධනවාදී රාජ්‍යය හුදෙක් දූෂනයෙන් මුදා ගෙන පිරිසිදු කල යුතු මධ්‍යස්ථ ආයතනයක් ලෙස නිරූපනය කිරීම මගින්, ගෝලීය ධනවාදී අර්බුදය කෙරෙහි යොමු වීමට නියමිත මහජන කෝපය අපසරනය කිරීමයි. එ සේ ම, ප්‍රතිවාදී දේශපාලනඥයන් සහ පක්ෂ විනාශ කර දැමීම මගින් ආන්ඩුව තව දුරටත් පවත්වා ගෙන යාමට ද මෙය උපයෝගී කර ගැනේ.

පසුගිය වසර දෙක තුල ආන්ඩුව විසින්, දූෂන චෝදනා මත හිටපු ජනාධිපති වික්‍රමසිංහ සහ විපක්ෂ දේශපාලනඥයෙකු වන නාමල් රාජපක්ෂ ඇතුලු ප්‍රතිවාදී දේශපාලනඥයින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම් මගින් පෙන්නුම් කෙරෙන්නේ, කම්කරුවන්ගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරවලින් අවධානය වෙනතකට යොමු කිරීමටත්, කම්කරු පන්තියට එරෙහි ව ක්‍රියා කිරීම සඳහා තම බලය ශක්තිමත් කර ගැනීමටත් ආන්ඩුව දරන උත්සාහයයි.

“කිසිදු කඳුලු ගෑස් ප්‍රහාරයක්” එල්ල නොකර වසර දෙකක් ගත වී ඇති බවටත්, “පොලිසියේ ගබඩාවල ඇති කඳුලු ගෑස්වල කල් ඉකුත් වීමේ දිනය පවා දැන් ඉක්මවා ගොස් ඇති බවටත්” දිසානායක පුරසාරම් දොඩයි. එහෙත් කඳුලු ගෑස් භාවිතා කර නොමැති වීමෙන්, මර්දනය නොතිබූ බවක් අදහස් නොකෙරේ; ද්‍රෝහී වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරුවන් ක්‍රියාමාර්ග ගැනීමට පටන් ගන්නා විට, ආන්ඩුවේ දැනටමත් ක්‍රියාත්මක වන එම මර්දනය තව දුරටත් වැඩි වැඩි කරනු ඇත.

 ජාජබ ආන්ඩුවේ පලමු වසර දෙක තුල “වාර්ගික ගැටුමක් සම්බන්ධයෙන් එක ම පොලිස් පැමිනිල්ලක් හෝ වාර්තා නොවූ” බව ද “අපි එම වාර්ගික හා අඳුරු දේශපාලනය මුලුමනින් ම පරාජය කර ජාතික සමගිය ස්ථාපිත කලා...” යැයි  නිවේදනය කරමින් ජනාධිපතිවරයා තම ආන්ඩුව වාර්ගික භේදවලට විරුද්ධ ආන්ඩුවක් ලෙස පෙන්වා දීමේ වෑයමක ද යෙදී ගත්තේ ය.

ජවිපෙ සිය ආරම්භයේ සිට ම සිංහල ස්වෝත්තමවාදී ප්‍රතිපත්තිවල ගිලී සිටි අතර, 1983 දී ආරම්භ වී දිග්ගැස්සුනු දෙමල-විරෝධී වාර්ගික යුද්ධයට සහාය දීමේ දී පෙරමුනේ ම සිටියේ ය. යුද්ධයෙන් විනාශයට පත් යාපනය දිස්ත්‍රික්කයේ අවතැන් වූ දෙමල පවුල් 14ක ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන හමුදාව විසින් නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද ‘තිස්ස විහාරය’ නම් බෞද්ධ විහාරස්ථානය නිල වශයෙන් ලියාපදිංචි කිරීමට ආන්ඩුව ගත් පියවර තුලින් එම පක්ෂයේ ප්‍රතිගාමී වාර්ගික දේශපාලනය මනා ව පෙන්නුම් කෙරේ. හමුදා පාලනය යටතේ පවතින දෙමල ජනයාගේ ඉඩම් ආපසු ලබා දීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ අතුරුදහන් වූවන්ගේ ඉරනම හෙලි කිරීම සම්බන්ධයෙන් දුන් පොරොන්දු ඉටු කිරීමට එම පක්ෂය සමත් වී නැත. තව ම ත් උතුරු, නැගෙනහිර ප්‍රදේශවල හමුදා භටයින් 100,000ක් පමන වාඩිලා සිටින අතර, ජවිපෙ, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය සහ සිංහල භාෂාවට නිල භාෂා තත්වය හිමි කර දෙන වර්ගවාදී ආන්ඩුක්‍රම ව්‍යවස්ථවක් ආරක්ෂා කරයි. 

දිසානායකගේ සියලු වාචාල කතා පිටුපස ඇත්තේ, තම පිරිහෙමින් පවතින ජනප්‍රියත්වය ඉහල නංවා ගැනීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව දරන දැඩි උත්සාහයයි. වෙරිට් රිසර්ච් (Verité Research) ආයතනය විසින් 2026 ජූලි මාසයේ දී සිදු කරන ලද නව ත ම “ජනතා අදහස්” විමසන සමීක්ෂනයට අනුව, 2026 පෙබරවාරි මාසයේ දී පැවති ඉහල ම අගය වූ සියයට 65 සිට ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ජනතා අනුමැතිය, දල වශයෙන් සියයට 50 දක්වා තියුනු ලෙස පහත වැටී ඇත. දුම්රිය සේවකයින්, සෞඛ්‍ය සේවකයින්, වී ගොවීන්, රැකියා විරහිත උපාධිධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පාසල් සංවර්ධන නිලධාරීන්, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් විසින් මෑතක දී සිදු කරන ලද විරෝධතා තුලින් මෙම විරුද්ධත්වය පැහැදිලි ව ම පෙන්නුම් කෙරුනි.

ආන්ඩුවේ මූල්‍ය කප්පාදු පියවරයන්ට සහ පොලිස්-රාජ්‍ය මර්දන පියවරයන්ට එරෙහි ව කම්කරු පන්තිය අරගලයට පිවිසෙමින් සිටී. එහෙත් සැබෑ අරගලයක් දියත් කිරීම සඳහා කම්කරුවන්, වෘත්තීය සමිතිවලින් සහ සියලු ම ධනපති පක්ෂවලින් ස්වාධීන ව තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම අවශ්‍ය වේ. ඒ සඳහා ඔවුන්ගේ පන්තිමය අවශ්‍යතා නියෝජනය කරන දේශපාලන වැඩපිලිවෙලක්—එනම්, ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකට සහ සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වූ කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා වන අරගලයක්—ද අවශ්‍ය වේ.

Loading