[මෙය Sri Lankan Socialist Equality Party holds Fourth Congress මැයෙන් 2026 සැප්තැම්බර් 18 වැනි දා ඉංග්‍රීසි බසින් පල විය.]
ගෝලීය ධනවාදයේ උග්‍ර වන අර්බුදයත්, අධිරාජ්‍යවාදී යුද්ධයේ උත්සන්න වීමත් සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුවේ කප්පාදු පියවරවලට එරෙහි ව කම්කරුවන් හා ග්‍රාමීය ජනතාව අතර වැඩෙන ප්‍රතිරෝධය මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිය හතර වන ජාතික සම්මේලනය සැප්තැම්බර් 11 සිට 13 දක්වා කොලඹ දී පැවැත් වී ය.
“ජවිපෙ ආන්ඩුවට සහ ධනවාදයට එරෙහි අරගලයේ දී සසපයේ මූලෝපාය සහ වැඩපිලිවෙල” යන ප්‍රධාන යෝජනාව සමුලුව සම්මත කලේ ය. පක්ෂයේ ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර යෝජනාව ඉදිරිපත් කල අතර, ලසිත ලක්මාල්, රොහන්ත ද සිල්වා සහ සමන් ගුනදාස ජවිපෙ පරිනාමය, ශ්‍රී ලංකාවේ වර්ගවාදී යුද්ධය සහ 2022 මහජන නැගිටීමේ පාඩම් පිලිබඳ අතිරේක වාර්තා ඉදිරිපත් කල හ.
ලෝක යුද්ධයක තර්ජනය ක්ෂනික යථාර්ථයක් බවට පත් ව ඇති තත්ත්වයක් යටතේ සම්මේලනය පැවැත්වෙන බව ජයසේකර අවධාරනය කලේ ය. “තුන්වැනි ලෝක යුද්ධය, තව දුරටත් අනාගතයේ දී ඇතිවේ යැයි අපේක්ෂා කරන තර්ජනයක් නොවේ,” ඔහු පැවසී ය. “එය අපේ ඇස් ඉදිරිපිට දිග හැරෙන යථාර්ථයකි.”
යුක්‍රේනයේ රුසියාවට එරෙහි නැටෝ යුද්ධය, ගාසා තීරයේ එක්සත් ජනපද-ඊස්‍රායල ජන ඝාතක යුද්ධය, ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ චීනය සමග යුදමය ගැටුමකට එක්සත් ජනපදය ගන්නා තීව්‍ර වන සූදානම්වීම්වලට ඔහු අවධානය යොමු කලේ ය. මේවා එකිනෙකින් වෙන් වූ ගැටුම් නො ව, ධනවාදයේ ගෝලීය අර්බුදය තුල මුල් බැස තිබෙන අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ අන්තර් සම්බන්ධිත පෙරමුනු ය.
සමුලු යෝජනාව, ශ්‍රී ලංකාවේ අර්බුදයට මෙම ගෝලීය අර්බුදයේ සංකේන්ද්‍රිත ප්‍රකාශනයක් ලෙස ප්‍රවිශ්ට විය. ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතා වන, ගෝලීය ව ඒකාබද්ධ වූ ලෝක ආර්ථිකය සහ යල්පැනගිය ජාතික රාජ්‍ය පද්ධතිය අතර ගැටුමත්, සමාජීය නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය අතර ගැටුමත්, පාලක පන්තීන් විදේශයන්හි යුද්ධයන්ටත් රට තුල කප්පාදුවට සහ ඒකාධිපතිවයත්ටත් තල්ලු කරන බව ජයසේකර පැහැදිලි කලේ ය. ඒ අතර ම, ධනවාදයේ මෙම ප්‍රතිවිරෝධතා ම ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයක් ද නිශ්පන්න කරමින් තිබේ.
“මූලික මූලෝපායික ප්‍රශ්නය” වන්නේ, කම්කරු පන්තියට මෙම අරගල සමාජවාදය සඳහා තමන්ගේ ම ස්වාධීන විප්ලවවාදී නායකත්වය යටතේ සවිඥානික ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල හැකි ද යන්න බව ජයසේකර සම්මේලනයට පැවසී ය. මෙම පරිවර්තනයට අවශ්‍ය විප්ලවවාදී ඉදිරිදර්ශනය, ක්‍රියාමාර්ගය සහ නායකත්වය සැපයීම, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) හා ලංකාවේ සසප ද ඇතුලු එහි ශාඛාවල කේන්ද්‍රීය කර්තව්‍යය බව ඔහු අවධාරනය කලේ ය.
ශ්‍රී ලංකාවේ වර්ධනයන් වෙත අවධානය යොමු කරමින් ජයසේකර මෙසේ පැවසී ය: “ජවිපෙ/ජාජබ කලකට පෙර විරුද්ධ බව කියූ ප්‍රතිපත්ති—ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු, රාජ්‍ය මර්දනය ශක්තිමත් කිරීම සහ අධිරාජ්‍යවාදී යුද සූදානම් වීම් සමග පෙල ගැසීම—දැන් එහි පාලනයේ මූලික ලක්ෂන බවට පත් ව තිබෙනවා. … කම්කරුවන්ගේ අරගල පාලනය කිරීමට වෘත්තීය සමිති නිලධරය මත රඳා සිටින අතර ම, පොලිස් රාජ්‍ය ක්‍රම තීව්‍ර කිරීමට ආන්ඩුව සූදානම් වෙමින් සිටිනවා.”
වාර්තාවේ ප්‍රධාන කොටසක්, ධනේශ්වර පාලනයේ පක්ෂයක් බවට ජවිපෙහි පරිවර්තනය වීම සම්බන්ධයෙන් විය. ජවිපෙ කලක් මාක්ස්වාදී හෝ සමාජවාදී වී පසු ව පිරිහී ගිය බවට වන කියා පෑම, ජයසේකර ප්‍රතික්ෂේප කලේ ය. ජවිපෙට මාක්ස්වාදය හෝ සමාජවාදය සමග කිසිදු සම්බන්ධයක් නො තිබුනි. එහි පරිනාමය මුල් බැස තිබුනේ එහි සුලු ධනේශ්වර, සිංහල ස්වෝත්තමවාදී සහ කම්කරු පන්ති-විරෝධී පදනම් හා දේශපාලනය තුල ය.
ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ඉටු කල හැක්කේ, නිර්ධන-පන්තික සමාජවාදී විප්ලවය තුලින් පමනක් ය යන නිගමනය ප්‍රතික්ෂේප කිරීම, කම්කරු පන්තිය ධනපති පන්තියට යටත් කරන බවත්, අවසානයේ දී ජවිපෙ ධනපති පන්තියේ අන්ඩක් බවට පත් කරන බවත් කීර්ති බාලසූරිය 1970 දී කල අනතුරු ඇඟවීම ජයසේකර සිහිපත් කලේ ය. විශේෂයෙන් ම “ජවිපෙ ආන්ඩුකරනය කල පසුගිය වසර දෙක තුල එහි වර්ධනය” ඇතුලු “එහි සමස්ත පරිනාමය,” බාලසූරියගේ විශ්ලේෂනය බලගතු ලෙස සනාථ කල බවට ජයසේකර තර්ක කලේ ය.
අනාගත අරගල සඳහා සූදානම් වීමට, ලංකාවේ කම්කරු පන්තිය 2022 මහජන නැගිටීමේ කේන්ද්‍රීය පාඩම් උකහා ගත යුතු බව ජයසේකර අවධාරනය කලේ ය. නැගිටීම තුල එකිනෙකට විරුද්ධ දේශපාලන පිලිවෙත් දෙකක් මුහුනට මුහුන ලා පැවතුනි. විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් ව, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීමක් සඳහා සසප සටන් වැදුනු අතර, ජවිපෙ/ජාජබ ඇතුලු විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති නිලධරයන්ගේ ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම කන්ඩායම්වල ද සහයෝගය සහිත ව, “අන්තර්වාර ආන්ඩුවක්” ප්‍රවර්ධනය කරමින් මහජන ව්‍යාපාරය ධනපති පාර්ලිමේන්තු රාමුව තුල සිර කිරීමට උත්සාහ කල හ.
පලමු ව එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එක්සත් ජනපද-ගැති නායක රනිල් වික්‍රමසිංහ හරහාත්, ඉන්පසු ජවිපෙ/ජාජබ ආන්ඩුව හරහාත්, පාලක පන්තියට සිය පාලනය තාවකාලික ව ස්ථාවර කර ගැනීමට, වෘත්තීය සමිති නිලධරයන් හා ව්‍යාජ-වම්මුන් මහජන ව්‍යාපාරය පාවා දීමෙන් මග පාදා දුන් බව ජයසේකර පෙන්වා දුන්නේ ය.
එබැවින්, තීරනාත්මක ප්‍රශ්නය වූයේ “ආත්මීය සාධකය” යි: එනම්, ස්වයංසිද්ධ ප්‍රතිරෝධය බලය සඳහා සවිඥානික අරගලයක් බවට පරිවර්තනය කිරීමට සමත් විප්ලවවාදී සමාජවාදී පක්ෂයක් වර්ධනය කිරීමයි. කම්කරු පන්තිය විප්ලවවාදී සමාජවාදී මාවතකට පිවිසීමට අසමත් වීම, එහි නිසඟ දුර්වලතාවකට ආරෝපනය කල නොහැකි බව ජයසේකර අවධාරනය කලේ ය. දශක ගනනාවක් පුරා පැවති ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ පැබ්ලෝවාදී පාවා දීම්, කම්කරු පන්තිය තුල සමාජවාදී සවිඥානිකත්වය සහ මාක්ස්වාදී දේශපාලන සංස්කෘතිය විනාශ කර දැවැන්ත දේශපාලන බාධා නිර්මානය කර ඇත. එබැවින් දේශපාලන අධ්‍යාපනය, ඉතිහාසය පිලිබඳ පැහැදිලි කිරීම සහ විප්ලවවාදී කේඩරයන් වර්ධනය කිරීම මගහැරිය නොහැකි කර්තව්‍යයන් වෙයි.
සසප (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත්, අන්තර්ජාලය ඔස්සේ කල කතාවකින් හජාජාක වෙනුවෙන් සහෝදරාත්මක සුබපැතුම් එක් කලේ ය. ධනවාදයේ අත්‍යසාමාන්‍ය අර්බුදයක් මධ්‍යයේ ලංකාවේ සසප සම්මේලනය පැවැත්වෙන බව ඔහු පැවසී ය.
නාසි පාලනයට ක්ෂමාලාප ගොතන අන්ත දක්ෂිනාංශික “ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී)” පක්ෂය ගැන සඳහන් කරමින්, මෑත පැවති සැක්සනි-ඇන්හෝල්ට් ප්‍රාන්ත මැතිවරනයේ දී එය සියයට 45කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවත්, දැන් එහි ආන්ඩුවක් පිහිටුවීමට සූදානම් බවත් ඔහු පැවසී ය.
“මෙය ඉමහත් දේශපාලන වැදගත්කමක් තිබෙන සිදුවීමක්. හිට්ලර්ගේ පාලන තන්ත්‍රය බිඳ වැටී වසර අසූ එකකට පසු, නාසීන්ගේ දේශපාලන හා දෘෂ්ටිවාදී උරුමක්කාරයෝ ජර්මනියේ ප්‍රමුඛ දේශපාලන බලවේගය ලෙස මතු වී තිබෙනවා. මෙය ජර්මනියේ පමනක් සිදු වන දෙයක් නො වේ. මුසෝලිනිගේ නව ෆැසිස්ට් උරුමක්කාරයන් දැනට මත් ඉතාලියේ බලයේ සිටිනවා. විචි පාලන තන්ත්‍රයේ උරුමක්කාරයන් වන ල පෙන් ව්‍යාපාරය, ප්‍රංශයේ ප්‍රමුඛ දේශපාලන බලවේගය ලෙස ඉස්මතු වී සිටිනවා. ස්පාඤ්ඤයේ ෆ්‍රැන්කෝගේ උරුමක්කාරයන් ශක්තිමත් වෙමින් සිටිනවා. බ්‍රිතාන්‍යයේ පවා, අන්ත දක්ෂිනාංශය මහජන සහයෝගය දිනා ගනිමින් සිටිනවා.
“මෙය හැකි වී තිබෙන්නේ කෙසේ ද? එයට වගකිව යුත්තේ කවුද? යුරෝපය හා උතුරු ඇමරිකාව තුල ෆැසිස්ට්වාදයේ නැගීමෙන් උකහා ගත යුතු, දේශපාලන නිගමනය කුමක් ද?
“එය ධනපති ක්‍රමයේ බංකොලොත්භාවය හා ප්‍රතිගාමී ස්වභාවය පෙන්නුම් කරනවා. වසර 35කට පෙර, ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය සහ නැගෙනහිර ජර්මනිය විසුරුවා හැරියා. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක් ලෙස උත්කර්ෂයට නැංවූවා. එහෙත් මෙය මාවත විවෘත කලේ සමාජ ප්‍රතිගාමීත්වයට. ව්‍යාජ-වම්මුන්, ස්ටැලින්වාදී ඉතුරු පහදු, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර වැනි මාක්ස්වාදයට හා ට්‍රොට්ස්කිවාදයට විරුද්ධ සංවිධාන යන සියල්ල, සමාජ ප්‍රතිගාමීත්වය වර්ධනය කිරීමට පහසුකම් සලසන හා එය සමග සහයෝගයෙන් ක්‍රියා කරන, දේශපාලනික ව එයට සම්බන්ධ ප්‍රතිගාමී බලවේග බව අප අවධාරනය කල යුතු වෙනවා.”
පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි අරගලය හරහා, 1968 දී පිහිටුවන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) දක්වා සසපයේ ආරම්භය නෝර්ත් විමර්ශනය කලේ ය. විප්ලවවාදී දේශපාලනයේ ප්‍රකාශකයෙකු ලෙස පෙනී සිටි ජවිපෙ, ධනපති ප්‍රතිවිප්ලවය ක්‍රියාත්මක කරන ආන්ඩුවක් බවට පරිවර්තනය වීමෙන් මෙම ඉතිහාසය සනාථ කෙරී ඇති බව ඔහු පැවසී ය.
“වර්ධනය වන කම්කරු-පන්තික මහජන ව්‍යාපාරයේ රැඩිකලීකරනයට ප්‍රකාශනයක් ලබා දීමට, අපගේ විප්ලවවාදී ව්‍යාපාරය හැර වෙනත් කිසිදු ව්‍යාපාරයකට බැහැ. මේ නිසා ලෝසවෙඅ සමග ඇති සම්බන්ධතාවය හා ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගයට සහයෝගය දීම හේතුවෙන් සිරගත කල බොග්ඩන් සයිරොටියුක් සහෝදරයා නිදහස් කර ගැනීමේ අපගේ උද්ඝෝෂනය සුවිශේෂී එකක් වී තිබෙනවා” යි, ඔහු යලිත් අවධාරනය කලේ ය.
“මෙම සමුලුවේ දී සිදු කරන සාකච්ඡාව, මේ රටේ ව්‍යාපාරයට පමනක් නො ව, සමාජවාදය සඳහා ලෝක ව්‍යාපාරය ගොඩනැගීමට ද ප්‍රතිපදානයක් වෙනවා” යි සඳහන් කරමින් ඔහු සිය සුබපැතුම් සමාප්ත කලේ ය.
එක්සත් ජනපදයේ සසප ජාතික ලේකම් ජෝ කිෂෝර් ද සම්මේලනය අමතා කතා කලේ ය. ඕස්ට්‍රේලියාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ තුර්කිය යන රටවල හජාජාක ශාඛා, ලිඛිත සුබපැතුම් එවමින්, සෑම මහාද්වීපයක ම කම්කරුවන්ගේ අත්දැකීම් සහ අරගල සාකච්ඡාවට එක් කල හ.
ජවිපෙ ඉතිහාසය පිලිබඳ ලසිත ලක්මාල්ගේ අතිරේක ප්‍රතිපදානය, 1960 දශකයේ අග භාගයේ එහි ආරම්භයේ සිට ධනේශ්වර පාලනයේ මෙවලමක් ලෙස අද ඉටු කරන භූමිකාව දක්වා එහි පරිනාමය විමසා බැලී ය.
සිරිමාවෝ බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුල් වෙමින්, ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1964 දී කල පාවාදීමේ දේශපාලන ප්‍රතිවිපාක විමසමින් ලක්මාල් සිය වාර්තාව ආරම්භ කලේ ය. එම පාවා දීම කම්කරුවන් හා තරුනයන් අතර දේශපාලන රික්තයක් නිර්මානය කර, ජවිපෙ වැනි සුලු-ධනේශ්වර ජාතිකවාදී ප්‍රවනතාවන්ට මාවත විවෘත කලේ ය.
මාක්ස්වාදී පක්ෂයකින් සන්නද්ධ වූ කම්කරු පන්තියට පමනක්, ධනවාදය පෙරලා දැමිය හැකි බවට කීර්ති බාලසූරිය කල අවධාරනය, ජවිපෙ ඉතිහාසයෙන් තහවුරු කරන බව ලක්මාල් පැවසී ය. 1971 ගම්බද කැරැල්ල, 1980 මහා වැඩ වර්ජනයට ජවිපෙ විරුද්ධ වීම, වර්ගවාදී යුද්ධය අතරතුර එය ගෙන ගිය සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනය සහ කම්කරු පන්තියටත් විකොසටත් එය එල්ල කල ප්‍රහාර, ස්වාධීන කම්කරු-පන්තික දේශපාලනයට එහි හතුරුකම පෙන්නුම් කලේ ය.
දෙමල වතු කම්කරුවන්ට එරෙහි ජවිපෙ වර්ගවාදය, ඒකාධිකාරී ධනවාදයේ අවියක් බවට පත් වී, ෆැසිස්ට්වාදය කරා මග පෑදිය හැකි බවට බාලසූරිය කල අනතුරු ඇඟවීම වාර්තාව සිහිපත් කලේ ය.
ලසසප පාවා දීමට විකොස දැක් වූ ප්‍රතිචාරය අතිමූලික ව වෙනස් විය. සිංහල සහ දෙමල කම්කරුවන් එක්සත් කිරීමට සටන් කල එය, දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරමින්, රාජ්‍යයේ වාර්ගික යුද්ධයටත් ජවිපෙ ස්වෝත්තමවාදී දේශපාලනයටත් විරුද්ධ විය.
සභාග ආන්ඩුවලට ඇතුල් වීම, වාර්ගික යුද්ධයට සහාය දීම, ධනපති පක්ෂ සමග සන්ධානගත වීම හා අධිරාජ්‍යවාදී බලවතුන් දෙසට වඩ වඩාත් නැඹුරු වීම ඇතුලු ව, ජවිපෙ ධනපති සංස්ථාපිතයට පසු ව ඒකාග්‍ර වූ ආකාරය ලක්මාල් විස්තර කලේ ය.
2019 දී ජාතික ජන බලවේගය නිර්මානය කිරීම, එම පරිනාමයේ තවත් ඉදිරි අදියරක් සනිටුහන් කලේ ය. ශාස්ත්‍රඥයන්, වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ඉහල මධ්‍යම පන්තියේ කොටස් ආකර්ෂනය කර ගනිමින් නම්බුකාර දේශපාලන බලවේගයක් ලෙස යලි නම් කරගැනීමට උත්සාහ කල ජවිපෙ, ධනවාදී ආර්ථික සබඳතා ආරක්ෂා කරන බවට ව්‍යාපාරිකයන්ට සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට සහතික විය.
මෙම පරිවර්තනය, 2022 නැගිටීමේ දී ජවිපෙ ඉටු කල භූමිකාවත්, ඉන් පසු ව ආන්ඩු බලයට පත්වීමත් සමග ඍජු ව සම්බන්ධ වූ බව වාර්තාව පෙන්වා දුන්නේ ය.
වාර්ගික යුද්ධයේ ඉතිහාසය පිලිබඳ අතිරේක වාර්තාව ඉදිරිපත් කරමින් රොහන්ත ද සිල්වා පැහැදිලි කලේ, 2009 දී යුද ගැටුම අවසන් වූ පසුවත් දෙමල ජනතාව මුහුන දෙන කිසිදු ගැටලුවක් විසඳී නොමැති බවයි. රටේ උතුරේ සහ දකුනේ ලක්ෂයකට වැඩි පිරිසක් මරා දැමුනු අතර, තවත් බොහෝ දෙනෙක් අවතැන් වූ හ. මෙය ධනපති ක්‍රමයේ බංකොලොත්භාවය පෙන්නුම් කරයි.
“යුද්ධය ස්වභාවික ව පැන නැගුනු වර්ධනයක් නොව, ලංකාවේ පාලක ප්‍රභූව අනුගමනය කල ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් වුනා. සටන්කාමී හා සමාජවාදී කම්කරු පන්තියකට මුහුන දුන් දුර්වල ධනේශ්වරය, කම්කරු පන්තිය බෙදීමට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය ප්‍රවර්ධනය කරමින් වාර්ගික යුද්ධයට මග පෑදුවා. එහෙත් මෙය කල් තබා නීර්නය වී තිබුනේ නැහැ. තීරනාත්මක සාධකය වූයේ කම්කරු පන්ති නායකත්වය, විශේෂයෙන් ලසසප, පාවා දීම යි. එය 1964 දී මහජන පෙරමුනු ආන්ඩුවට එක් වීමෙන් කූටප්‍රාප්තියට පත් වුනා” යි ඔහු පැවසී ය.
“මෙම පාවා දීම උතුරේ එල්ටීටීඊයත් දකුනේ ජවිපෙත් ලෙස සුලු ධනේශ්වර ව්‍යාපාර බිහි වීමට හේතු වුනා” යි ඔහු තව දුරටත් පැවසී ය. මෙම සුලු-ධනේශ්වර ව්‍යාපාරවල බංකොලොත්භාවය දැන් හෙලි වී තිබේ. විකොස එල්ටීටීඊයේ ව්‍යසනය කල් තියා දුටුවේ ය.
එවකට විකොස ප්‍රකාශනය වූ කම්කරු මාවතේ 1987 වසරේ පල කල ලිපියක් උපුටා දක්වමින්, ජාතික වසයෙන් සීමා වන ව්‍යාපාරයකට විමුක්තිය දිනාගත නොහැකි බවත්, ධනවාදී ජාතික රාජ්‍ය පද්ධතිය තුල දේශපාලනික ව හුදකලා හා බල රහිත වන බවත් ද සිල්වා පැහැදිලි කලේ ය.
සිය වාර්තාව සමාප්ත කරමින් රොහන්ත අවධාරනය කලේ, ජාතික ප්‍රශ්නය විසඳීමට ඇති එක ම ඉදිරි මාවත වන්නේ, ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම බවයි.
සමන් ගුනදාසගේ අතිරේක වාර්තාව, අනාගත අරගලවලට සූදානම් වීමේ දී, 2022 මහජන නැගිටීමෙන් සසපට ලැබෙන දේශපාලන පාඩම් පැහැදිලි කලේ ය.
2022 නැගිටීම යනු, සරල ව ම අවසන් වූ ඓතිහාසික සිදුවීමක් නොවන බව ගුනදාස අවධාරනය කලේ ය. අනාගත අරගල මර්දනය කිරීමට ආන්ඩුව සූදානම් වීම නිසා එහි පාඩම් අදටත් ඉතා අදාල ය. කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ, 2022 අරගලයේ දේශපාලන සීමාවන් ඉක්මවා යන නැගිටීමක් සඳහා, සසප කම්කරු පන්තිය හා මහජනයා සූදානම් කරන්නේ කෙසේ ද යන්න යි.
1917 රුසියානු විප්ලවයට පූර්ව රංගයක් ලෙස 1905 සිදුවීම් පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය ඇසුරින්, නැගිටීමකින් දේශපාලන නිගමන උකහා ගෙන, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත අනාගත අරගල සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීම තීරනාත්මක කර්තව්‍යය බව ගුනදාස පැවසී ය.
එම ප්‍රවේශය සසපට ද අත්‍යවශ්‍ය බවට ඔහු තර්ක කලේ ය. කෝවිඩ්-19 වසංගතය හා යුක්‍රේන යුද්ධය විසින් තීව්‍ර කල ජාත්‍යන්තර අර්බුදයකින් 2022 නැගිටීම පැන නැගුනි. ආරම්භයේ සිට ම සසප ලෝසවෙඅ, පක්ෂ ප්‍රකාශන, රැස්වීම් සහ කම්කරුවන් හා ගම්බද ජනතාව සමග සාකච්ඡා හරහා මැදිහත් විය.
මහා වැඩ වර්ජන දෙකක් කම්කරු පන්තියේ දැවැන්ත බලය පෙන්නුම් කල අතර, විප්ලවවාදී හැකියාවන් ඉස්මතු කලේ ය. එහෙත් බලය සඳහා ස්වාධීන දේශපාලන අරගලයක වැඩපිලිවෙලට කම්කරුවන් දිනා ගැනීමට තරම්, සටන්කාමී කම්කරුවන් අතර ප්‍රමානවත් ලෙස සසප මුල් බැස ගෙන සිටියේ නැත. ව්‍යාජ වාම සහ මධ්‍යම-පන්තික බලවේගවලට, මහජන ව්‍යාපාරය යලි ධනපති පාර්ලිමේන්තු පාලනය දෙසට හැරවීමට එ මගින් ඉඩ සැලසුනි.
පරාජය ප්‍රදර්ශනය කලේ විප්ලවවාදී වැඩපිලිවෙලේ අසාර්ථකත්වය නොව, විප්ලවවාදී නායකත්වය නොමැති වීමේ විපාකයන් ය. කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු, ගම්බද ජනයා බලමුලුගැන්වීම සහ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් පිලිබඳ සසප වැඩපිලිවෙල ඊට විකල්පය සපයයි.
“විප්ලවවාදී අරගලය ජාත්‍යන්තරයි. එය පවතින ජාතිකවාදී ධනපති රාමුවේ දිගුවක් නොවේ” යි යන්න කම්කරුවන් වටහා ගත යුතු බව ගුනදාස අවධාරනය කලේ ය. “සමාජවාදී විඥානය ස්වයංසිද්ධ ව හටගන්නේ නැහැ. ඒ සඳහා සවිඥානික විප්ලවවාදී නායකත්වයක් අවශ්‍යයි. මෙම සම්මේලනය හමුවේ ඇති අභියෝගය එයයි” යි කියමින් ඔහු සමාප්ත කලේ ය.
බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීමේ උද්ඝෝෂනය පිලිබඳ යෝජනාවක් සම්මේලනය ඒකමතික ව සම්මත කලේ ය.
සම්මේලනය නව මධ්‍යම කාරක සභාවක් (මකාස) තෝරා පත් කර ගත්තේ ය. නව මකාස දීපාල් ජයසේකර ප්‍රධාන ලේකම් ලෙසත්, සමන් ගුනදාස සහකාර ලේකම් ලෙසත් යලි තෝරාගත් අතර, ලසිත ලක්මාල් ජාතික කර්තෘ ලෙසත්, පානි විජේසිරිවර්ධන සහකාර ජාතික කර්තෘ ලෙසත් තෝරා පත් කර ගත්තේ ය.
යුද්ධය උග්‍ර වීම, සමාජ අසමානතාව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර මධ්‍යයේ, ලංකාවේ සසප වැඩකටයුතු සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමේ ජාත්‍යන්තර අරගලයේ අත්‍යවශ්‍ය කොටසක් බව සම්මේලනය තහවුරු කලේ ය.
ඉදිරි අරගල සඳහා කම්කරුවන් හා තරුනයන් දේශපාලනික ව සන්නද්ධ කිරීමට, සම්මේලනයේ වාර්තා, යෝජනා හා ප්‍රතිපදානයන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරනු ඇත.
