ලංවිම සමාගම් හයකට කැඩීමෙන් පසු වෘත්තීය සමිති නායකයෝ කම්කරු විරෝධයන් මතු වීම වැලැක්වීමේ මාවත් සොයති

ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) වෘත්තීය සමිති සැප්තැම්බර් 2දා බලශක්ති අමාත්‍ය අනුර කරුනාතිලක වෙත ලිපියක් යොමු කරමින්, සැප්තැම්බර් මස 12දාට  පෙර විදුලිය “සේවකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට එකඟ වූ සාමුහික ගිවිසුම ක්‍රියාත්මක නොකලහොත්,” වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්න වන බව දැනුම් දුන්නේ ය. එ තැන් පටන් සති තුනක් ගිය ද කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන නිහඬ ව සිටි සමිති නායකයෝ පවසන්නේ,  තීරනයක් ගැනීම ගැන “සලකා බලමින්” සිටින බවයි. 

සැප්තැම්බර් 30දා සමිති නිලධරය විසින් සේවකයින්ට එවන ලද වට්ස්ඇප් පනිවිඩයකින් දක්වා ඇත්තේ, මෑත දී නියෝජ්‍ය ඇමතිවරයා සමග පැවැත් වූ සාකච්ජාවක දී,  සැප්තැම්බර් මස අවසන්වීමට පෙර සාමුහික ගිවිසුම අත්සන් තබන බව සඳහන් කලත් එවැන්නක් සිදු නොවූ බවත්, “මෙය කල් මැරීමක් පමනක් බව  මෙයින් වැටහෙන” බවත් ය. “තව දුරටත් මෙම කල් මැරීමට කාලය ලබා දිය නොහැකි නිසා ඉතා ඉක්මනින් වෘත්තිය සමිති රැස් වී තීරනයක් ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් තිබේ” යයි පනිවුඩයේ තව දුරටත් සඳහන් ය. 

සමිති නිලධරයන් රැස් වී ගන්නා තීරනය කුමක් වනු ඇත්දැයි පැහැදිලි නැත. තම සාමාජිකයන් රැස්කර ඇති වී තිබෙන තත්වය පැහැදිලි කර ක්‍රියාමාර්ග ගැනීම ගැන සාකච්ඡා කිරීමට ද සමිති නිලධරය මොන ම පියවරක් හෝ ගෙන නැත. 

සේවකයන් වෙත සමිති විසින් යවා ඇති වට්ස්ඇප් පනිවිඩය සඳහන් කරන්නේ, “ගිවිසුම ප්‍රකාර ව නව පත්වීම් ලිපිය මේ වන විට නිකුත් කරමින්” පවතින බවකි. එහෙත් කිසිදු සේවකයෙක් එම පත්වීම් ලිපි දැක නැත. 

ආන්ඩුවේ ඇමති සහ ලංවිම කඩා අලුතින් පිහිටුවා ඇති සමාගම් “කල් මරනවා” පමනක් නොව, සිදු ව ඇත්තේ, වෘත්තීය සමිති නිලධරයන් ද දැනුවත් ව ම එම උගුලට කරබදු වී විදුලිය සේවකයන්ගේ රැකියා හා සේවා කොන්දේසි අවිනිශ්චිත හා අවදානමට ඇද හෙලීමයි.  

පසුගිය මාර්තු 9දා  ලංවිම නිල වශයෙන් විසුරුවා හැර, පුද්ගලීකරනයට මග පෑදීම සඳහා එහි ක්‍රියාකාරකම් ලංකා විදුලි උත්පාදන, ජාතික සම්ප්‍රේෂන ජාල සේවා සැපයුම්, ජාතික පද්ධති මෙහෙයුම්, ලංකා විදුලි බෙදා හැරීම්, සේවක අරමුදල් සහ එනර්ජි වෙන්චර්ස් ලංකා යන නම් වලින් සමාගම් හයකට බෙදා වෙන් කෙරිනි. මෙය සිදු කෙරුනේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමේ කොටසක් ලෙසිනි.

2025 ජූලි 22 කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ යෙදෙන විදුලිබල කම්කරුවෝ

ලංවිම අහෝසි කර  මාස හයක් ඉක්ම ව ගිය ද, සේවකයන්ට වලංගු පත්වීමේ ලිපි ලබා දීමට සමාගම් විසින් තමන්ට පොරොන්දු වී ඇති බව සමිති නායකයන් සාමාජිකයන්ට ප්‍රකාශ කලත්, එකදු සමාගමක්වත් විදුලි සේවකයින්ට පත්වීම් ලිපි ලබා දී නැත. මෙ මගින් සමාගම් පාලකයින් විසින් සේවකයින්ගේ රැකියාවන්  මුලුමනින් ම අවිනිශ්චිත භාවයක පවත්වා ගෙන යන අතර  අනෙකුත්  සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ද සහතිකයක් ලබා දී නැත.

සමාගම් හා ආන්ඩුව සමග ගනුදෙනු කරන ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය (ජේඒයූටීයූ) සමන්විත වන්නේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේසං), ලංවිම කාර්මික සංගමය (ලංවිමකාසං), ලංවිම ඉංජිනේරු සංගමය (ලංවිමඉංසං), තාක්ෂනික ඉංජිනේරුවන් සහ අධිකාරී සංගමය, ජාතික සේවක සංගමය, සමගි සේවක සංගමය සහ ඒකාබද්ධ විදුලි සේවක සංගමය (ඒවිසේසං) ඇතුලු ශ්‍රේනි හා ධනපති දේශපාලන පක්ෂ අනුව බෙදුනු වෘත්තීය සමිති 27කිනි. විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් සහ අලුතින් පිහිටුවන ලද සමාගම්වල කලමනාකාරීත්වයන් අතර ඇති කරගත් බව පැවසුනු සාමුහික ගිවිසුම කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේ අත්සන් තැබූ බව නිවේදනය වුයේ මැයි 27 දින ය. 

ජවිපෙ විසින් පාලනය කෙරෙන ලංකා විදුලිය සේවක සංගමයේ නිලධරය, 2024 මුල සිට කම්කරුවන්ගේ අරගල යටපත් කිරීමට ක්‍රියා කර, එම වසරේ ජූලි මාසයෙන් පසු ජවිපෙ ජනාධිපතිවරන උද්ඝෝෂනයට අහිතකර ලෙස බලපාන්නේ යයි ප්‍රකාශකර විරෝධතා සිදු කිරීම නවතා දැමුවේ ය. දැන් එම සමිති නායකයන් විදුලිය සේවකයන්ට එරෙහි ව ආන්ඩුවේ පැත්ත ගෙන ඇත. 

ඉන් පසු ව, ආන්ඩුවෙත් සමාගම්වලත් අතරමැදි අද්වකාත්ලා බවට පත් වී සිටින ඉහත සඳහන් කල සමිතිවල නායකයෝ,  කම්කරුවන් අතර වපුරුවා ඇති ව්‍යාජ මතය නම් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවක් ඇති බැවින් ඔවුන් බිය විය යුතු නැති බවත්,  එමගින් රැකියාවන් සහ අනෙකුත් අයිතිවාසිකම් මුලුමනින් ම සුරක්ෂිත වනු ඇති බවත් ය. සමිති විසින් පවරන ලද නඩුවකට අදාල ව ශ්‍රේෂ්ඨාධිකරනය දී ඇති තීන්දුවේ රැකියා සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ, 2024 ජූනි මස “අදාල දිනයට පෙර දින (එනම් ලංවිම අවසාන දිනය) ඔවුන් භුක්ති විඳි නියමයන් හා කොන්දේසිවලට වඩා අහිතකර නොවන නියමයන් හා කොන්දේසි” යටතේ සේවය කිරීම සහතික කල යුතු බවයි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව, සමාගම් විසින් තව ම ත් පිලිගෙන නැත. 

රැකියා මෙන් ම අනෙකුත් අයිතිවාසිකම්  සහතික කර නැති තතු යටතේ සමාගම් පරිපාලකයෝ සේවකයන්ගේ වැඩ වේගවත් කරමින් අධික වැඩ භාරයක් පවරමින් කම්කරුන් සූරා කෑමේ වේගය වැඩි කරමින් සිටිති. විදුලි සේවකයින් 2,000ක් පමන  ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය (වීආර්එස්) යටතේ විශ්‍රාම ගැන්වීම මගින් ඇති කරන ලද සේවක හිඟය හේතුවෙන් දැනට ඉතිරි වී ඇති 20,000ක් පමන සේවකයින්ට සියලු සේවාවන් සිදු කිරීමට සිදු වී ඇත.

නව තත්වය පිලිබඳව කම්කරුවන් කිහිප දෙනෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමඟ අදහස් දක්වමින්, වෘත්තීය සමිති සහ සමාගම් පිලිබඳ ව තම පිලිකුල පල කලහ. හලාවත විදුලිබල බෙදා හැරීමේ සමාගමේ සේවකයකු මෙ සේ පැවසුවේ ය: “අපි දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නවා. සේවක හිඟයක් පවතිනවා. අනාගතයේ දී සේවකයින් බඳවා ගන්නේ ‘මෑන්පවර්වලින්’ [ කොන්ත්‍රාත් ක්‍රමයට] කියල මට දැනගන්නට ලැබුනා. සමාගම්වලට වැඩි ලාභයක් හොයා ගන්න පුලුවන් විදියට මෙය සිදු කරනවා.”

කුරුනෑගල ප්‍රදේශයේ විදුලිය බෙදා හැරීමේ අංශයේ සේවකයෙකු,  විවිධ ප්‍රදේශවල ලංවිම යටතේ පැවැති කාර්යයන් පෞද්ගලික අංශයට වේගයෙන් විවෘත කරමින් පවතින ආකාරය ගැන පැහැදිලි කලේ ය: “ස්වෙච්ඡා විශ්‍රාම ක්‍රමයෙන් සේවකයන් අඩු වුනා. ඊට පස්සෙ ඒ වැඩත් අවුට්සෝස් [පිටට පැවරීම] වෙලා තියෙන්නෙ. නඩත්තු අංශය වගේ තැන්වල ඉන්න ගැන්ග් යුනිට්වලින් (සේවක කන්ඩායම්) අයින් කරලා, ඒ කට්ටියව විශ්‍රාම ගිය තැන්වල පුරප්පාඩු තියෙන නිසා ඒ තැන්වලට මාරු කරලා යවනවා.” අතීතයේ දී ලංවිම විසින් කරන ලද ඇතැම් කාර්යයන් -එනම් මීටර් සවි කිරීම, අලුත් විදුලි සම්බන්ධකම් දීම, මීටර් ගැලවීම, කනු මාරු කිරීම, කනු ප්‍රවාහනය කිරීම, ඇතුලු ව- පෞද්ගලික අංශයට පැවරීමේ සැලසුම් ඇති බව ඔහු අනාවරනය කලේ ය. 

“අලුතෙන් සේවකයින්ව කොන්ත්‍රාත් පදනමෙන් ගත්තා. ඊඑස්ල (විදුලි අධිකාරිවරුන්) සහ ඉංජිනේරුවන් වගේ අය. මගේ ඔෆිස් එකෙත් එක්කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ පත්වීම් ලියුමේ තියෙනවා අවශෝෂනය (සමාගමේ ස්ථීර සේවයට බඳවා ගැනීම) කරන්නෙ නැහැ කියලා” යැයි කොලඹ හැව්ලොක් ටවුන්හි කාර්යාල සේවකයෙක් සඳහන් කලේ ය.

කොලඹ බෙදා හැරීමේ අංශයේ සේවකයෙක් සමිති දැඩි ලෙස විවේචනය කරමින් මෙසේ පැවසී ය: “මේ මුලු තත්ත්වය ගැන මම දැඩි ලෙස කලකිරිලයි ඉන්නෙ. වෘත්තීය සමිති මොනවත් කියන්නේ නැහැ. අපව දැනුවත් කරන්න කිසි දෙයක් කරන්නේ නැහැ. කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට පොරොන්දු වෙච්ච දේවල් සමාගම් ක්‍රියාත්මක කරන්නේත් නැහැ කියනවා. එහෙම නම්, අපි මොකක්ද කරන්න ඕනා?”

විදුලි සේවකයින්ට එරෙහි ව කප්පාදු දියත් කිරීමේ කැපී පෙනෙන කාරනාවන් වන්නේ නව සමාගම් යටතේ අලුතින් බඳවා ගන්නා සේවකයින්ට විශ්‍රාම වැටුප් අහිමි වීමත්,  ඔවුන් බොහෝ විට කොන්ත්‍රාත් හෝ තාවකාලික පදනමක් යටතේ බඳවා ගැනීමත් ය. ඔවුන්ට විශ්‍රාම වැටුප්, නය පහසුකම්, වෛද්‍ය දීමනා පහසුකම් ඇතුලු අනෙකුත් අයිතිවාසිකම් ද අහිමි වනු ඇත. සමාගම් පාලකයින්ගේ එල්ලය බවට පත් වී ඇත්තේ අස්ථිර සේවා කොන්දේසි යටතේ අනියම් ශ්‍රම බලකායක් නිර්මානය කිරීමත් ඔවුන් කම්කරු අයිතිවාසිකම්වලට අහිමි කරනු ලැබීමත් ය. අනෙක් අතින්, විදුලිය පරිභෝජනය කරන සාමාන්‍ය මහජනයා වඩ වඩා ගාස්තු ඉහල දැමීමටකට පාත්‍ර ව සිටිති. ඉලක්කය, සමාගම් සඳහා අධික ලාභ සූරා ගැනීමයි. 

ලංවිම වෘත්තීය සමිති නිලධරයේ ද්‍රෝහී භූමිකාව සමාගම්වලට බෙදනු ලබා සිටින සේවකයන්ට පමනක් නොව,  අයිඑම්එෆ් නියෝග යටතේ ප්‍රතිව්‍යූහගත කිරීමට නියමිත සෑම රාජ්‍ය ව්‍යවසායක ම කම්කරුවන්ට බරපතල පාඩමකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ලංවිම සමාගම් වලට බෙදීමේ වැඩපිලිවෙල සකස් කෙරුනු වහා ම, කම්කරුවන් අතර නැගුනු විරෝධතා නිසා 2024 ජනවාරි මස සිට වෘත්තීය සමිතිවලට වැඩවර්ජන හා විවිධ විරෝධතා කැඳවීමට සිදු විය.

එහෙත් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජවිපෙ/ජාජබ හා සමගි ජන බලවේගයට අයත් හා ස්වාධීන යයි කියාගත් සියලු සමිතිවල නිලධාරි නායකයන් අයිඑම්එෆ් වැඩපිලිවෙලට පක්ෂ ව සිටිමින් ක්‍රියා කලේ, ආන්ඩුවට බලපෑම් දමා සිය අයිතීන් රැකගත හැකි ය යන ව්‍යාජයකින් කම්කරුවන්ගේ අරගල කොටුකර දීමයි. 

වික්‍රමසිංහ ආන්ඩුවට කල නොහැකි වූ අයිඑම්එෆ් ප්‍රහාර ක්‍රියාවට දැමීම තමන්ට පවරා ගනිමින් ජනාධිපති දිසානායක නායකත්වය දෙන ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් විය. ආන්ඩුවට පක්ෂ ජවිපෙ වෘත්තීය සමිති නිලධරය විවෘත හොරිකඩකමේ යෙදෙන අතර, අනෙක් සමිති නායකයන් කම්කරු විරෝධය කොටු කිරීමට විරෝධතා කිහිපයක් පවත්වා ඒවා ද අකුලා ගත්තේ, ආන්ඩුව පොරොන්දු ලබා දී ඇති බව පවසමින් ලංවිම සමාගම් වලට බෙදීමට හා සේවකයන් වර්තමානයේ මුහුන දෙන කොන්දේසි නිර්මානය කිරීමට හවුල් වෙමිනි. 

ගෝලීය ආර්ථික අර්බුදයෙන් වඩ වඩාත් ගැඹුරු වන අර්බුදයකට මුහුන දී සිටින ධනපති පන්තිය හා එහි ආන්ඩුව, එම අර්බුදයේ බර වැඩකරන ජනතාව හා දුගීන් මත පැටවීම, ආන්ඩුවට ම බලපෑම් දමා වෙනස් කරගත නොහැක. 

ලංවිම හා අනෙකුත් කම්කරුවන් ඉදිරියේ ඇති පාඩම වන්නේ, වෘත්තීය සමිති යකඩ සැට්ටය තුල සිර වී තමන්ගේ අයිතීන් රැක ගැනීමේ අව්‍යාජ අරගලයක් සංවිධානය කරගත නොහැකි බවයි. කම්කරුවන් සෑම වැඩපොලක ම,  ආයතනයක ම තමන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම දැවෙන අවශ්‍යතාවක් ලෙස මතු වී ඇත. එවන් කමිටු වලට කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න සාකච්චා කර තීන්දු ගෙන තම අයිතීන් සඳහා සටන් සංවිධානය කිරීමට, අවශේෂ වැඩපොලවල කම්කරුවන් සමග සම්බන්ධීකරනය වෙමින් අරගලය වර්ධනය කිරීමට හැකි වනු ඇත. ධනපති ගැති, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලේ ඒජන්තයන් වන වෘත්තීය සමිති නිලධරයන් මෙම කමිටු වලට වැද්ද නොගත යුතු ය. 

ලංකාව තුල කම්කරුවන් අතර නැගෙන අරගල හා විරෝධය, ගැඹුරු වන ආර්ථික අර්බුදයේ හා ලෝක යුද තත්වයේ වර්ධනය තුල අධිරාජ්‍යවාදී රටවල පටන් සෑම රටක ම කම්කරුවන් අතර පැතිරී යන අරගල වල කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) එක දිගට ම විදුලි සේවකයින්ගේ අරගලවල දී මැදිහත් වී ඉදිරිපත් කරන ලද වැඩපිලිවෙල වූයේ,  විදුලි කම්කරුවන් අනෙකුත් කම්කරුවන් සමග ඒකාබද්ධ වී අයිඑම්එෆ් ප්‍රහාරවලට එරෙහි පොදු අරගලයකට එක්සත් විය යුතු බවයි. ධනපති ක්‍රමයේ රාමුව තුල මෙම අයිතීන් තහවුරු කර ගත නොහැකි බව සහ ජාත්‍යන්තර සමාජවාදය මත සමාජවාදී වැඩපිලිවෙලකට සටන් කිරීමට කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයක් ගොඩනැගීමට එක්වන ලෙස අපි ඉල්ලා සිටියෙමු. 

ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් මෙම අරගලය වර්ධනය කිරීමට එක්වන්න.  

Loading