[මෙය The Supreme Court clears the way for the execution of Christa Pike යන මැයෙන් 2026 සැප්තැම්බර් 30 දින ඉංග්‍රීසි බසින් පල විය.]
අඟහරුවාදා (සැප්තැම්බර් 29) සවස, එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ක්‍රිස්ටා ගේල් පයික්ගේ මරන දඬුවම ක්‍රියාත්මක කිරීමට තිබූ අවසාන බාධකය ද ඉවත් කලේ ය; දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ඇය ඉදිරිපත් කර තිබූ ඉල්ලීම අධිකරනය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. නෑෂ්විල් හි පිහිටි රිවර්බෙන්ඩ් උපරිම ආරක්ෂක බන්ධනාගාරයේ දී, අද (සැප්තැම්බර් 30) එම ප්‍රාන්තයේ වේලාවෙන් පෙරවරු 10:00 ට, 50 හැවිරිදි පයික්ගේ මරන දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත ය. එම බන්ධනාගාරය තුල මරන දඬුවම නියම වී සිටින එකම කාන්තාව ඇයයි.
අධිකරනයට ඉදිරිපත් කල අභියාචනයේදී, පයික්ගේ නීතිඥයන් ප්‍රශ්න කලේ, ලමා වියේ දී නැවත නැවතත් ලිංගික දූෂනයට ලක් වූ කාන්තාවකට මරන දඬුවම ක්‍රියාත්මක කිරීම, “කෲර සහ අසාමාන්‍ය දඬුවමක්” නොවන්නේ ද යන්නයි. විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ, ඇය මරා දැමෙන මොහොතේ එම ලිංගික ප්‍රහාරයන් යලි අත්විඳීමට ඇයට සිදු වනු ඇති බවයි. විනිසුරුවරු එම ප්‍රශ්නයට පිලිතුරු දීමට තරම්වත් සැලකිල්ලක් නොදැක්වූහ.
මෙම තීන්දුව, අධිකරනය පාලනය කරන ෆැසිස්ට්වාදී කල්ලියේ ක්‍රියාවකි. 2019 දී මෙම අධිකරනය ප්‍රකාශ කලේ, එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අටවැනි සංශෝධනය “සිරකරුවෙකුට වේදනාවකින් තොර මරනයක් සහතික නොකරන” බවයි. ඡන්ද විමසීමක් නොවී ය; නාමික ව ලිබරල් යැයි සැලකෙන විනිසුරුවරුන් වන සෝනියා සොටෝමේයර්, එලේනා කේගන් සහ කේටන්ජි බ්‍රවුන් ජැක්සන්ගෙන් කිසිදු විරුද්ධ මතයක් ද වාර්තා නොවීය.
2024 වසරේදී එක් මරන දඬුවමක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අධිකරනය පියවර ගත් මුත්, 2025 වසරේදී හෝ 2026 වසරේ මේ දක්වා කාලය තුල එවැන්නක් සිදු නොවීය. රිපබ්ලිකන් ආන්ඩුකාර බිල් ලී සඳුදා දින දඬුවම ලිහිල් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසීය: 'මම ටෙනසි ප්‍රාන්තය විසින් නියම කරන ලද දඬුවම තහවුරු කරන අතර, ඊට මැදිහත් වීමට අදහස් නොකරමි.'
අපරාධය සිදු කරන විට පයික් 18 හැවිරිදි වියේ පසු වූ අතර, ඇය දැඩි ටෲමා තත්වයකට (traumatized) සහ මානසික රෝගයකට ගොදුරු ව සිටියාය. 1976 වසරේ සිට ටෙනසි ප්‍රාන්තයේ මරන දඬුවම නියම වූ පුද්ගලයින් 200 කට අධික සංඛ්‍යාවක් දෙනා අතුරින්, ඔවුන්ගේ අපරාධ සිදු වූ අවස්ථාවේ 18 හැවිරිදි විය පසු කර සිටියේ අට දෙනෙකු පමනි. එම පිරිසේ සෙසු හත් දෙනාම පිරිමි වන අතර, ඔවුන්ගේ මරන දඬුවම් පසුව අවලංගු කරන ලදී. එ සේ ම, ටෙනසි ප්‍රාන්තය වහල් ක්‍රමය පැවති ප්‍රාන්තයක් ව තිබූ පූර්ව-සිවිල් යුද කාලසීමාවෙන් පසු, එම ප්‍රාන්තයේ දී මරන දඬුවම ක්‍රියාත්මක කෙරෙන පලමු කාන්තාව ද පයික් වන්නී ය. මිනීමැරුමකට ආධාර අනුබල දීමේ වරදට 1820 වසරේදී ඊව් මාටින් නම් නිදහස් කාන්තාවක් (වහලියක නොවූ කාන්තාවක්) එල්ලා මරන ලදී. 1848 වසරේදී සාරා නම් වහල් කාන්තාවක් ද එල්ලා මරන ලදී.
පයික්, අඟහරුවාදා (සැප්තැම්බර් 29) නෑෂ්විල් හි කාන්තා බන්ධනාගාරයෙන් රිවර්බෙන්ඩ් වෙත ගෙන යන ලද අතර, එහි දී ඇයට මරන දඬුවම ක්‍රියාත්මක කරන කුටිය තුල දී, මොලයේ ක්‍රියාකාරීත්වය අඩපන කරන බාර්බිටියුරේට් විශේෂයක් වන පෙන්ටොබාර්බිටල් අධි-මාත්‍රාවක් එන්නත් කෙරෙනු ඇත [එය, පෙනහලුවල ඇති ඉතා කුඩා ගර්ත (ඇල්වියෝලි) තුල තරල එකතු වීම නිසා හුස්ම ගැනීම අපහසු කරවන සහ දියේ ගිලී මිය යාමේ සංවේදනය ඇති කරන බව පෙන්වා දී ඇති ක්‍රමයකි]. බුද්ධිමය වශයෙන් ආබාධිත සිරකරුවෙකු වන බයිරන් බ්ලැක්, 2025 අගෝස්තු 5 වන දින, පයික්ට පෙර එම ක්‍රමය භාවිතා කර ටෙනසිහි දී මරන දඬුවම නියම කරන ලද අවසන් පුද්ගලයා විය. ඔහුට මාරාන්තික එන්නත එන්නත් කර මිනිත්තු පහක් පමන ගත වන තෙක්, සිහිසුන් ව, කෙඳිරිගාමින් සිටිනු සාක්ෂිකරුවන් දැක තිබේ.
පයික්ට මරන දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත ව ඇත්තේ 19 හැවිරිදි කොලීන් ස්ලෙමර් ඝාතනය කිරීම සම්බන්ධයෙනි. එම අපරාධයට සම්බන්ධ වූ ඇගේ පෙම්වතා වන ටැඩරිල් ෂිප් එම අවස්ථාවේදී 17 හැවිරිදි වියේ පසු වූ බැවින් මරන දඬුවම ලබා දීමට සුදුසුකම් නොලැබූ අතර, ඒ හේතුවෙන් ඔහු, දැනට, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබමින් සිටී.
ඇය මෑතක දී ඇගේ අපරාධය සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය: “මම එතකොට අවුරුදු 18 ක මානසික රෝගී ලමයෙක්. මම කල දේවල බරපතලකම තේරුම් ගැනීමට පවා මට වසර ගනනාවක් ගත වුනා. ... මම යමෙකුගේ දරුවෙකුගේ, සහෝදරියකගේ, මිතුරියකගේ ජීවිතය බිලිගත්තා. එවැනි අපරාධයක් කිරීමට මට හැකියාවක් තිබුනැයි සිතීම පවා දැන් මට වේදනා ගෙන දෙනවා.” ඇයට බයිපෝල ඩිසෝඩර් (bipolar disorder) සහ පශ්චාත්-ආඝාත ආතති අක්‍රමතාව (PTSD) ඇති බව හඳුනා ගන්නා ලද්දේ මරන දඬුවම නියම වූවාට පසු ව ය. ගර්භනී සමයේ දී ඇගේ මව අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් ඇයගේ මොලයේ ඉදිරිපස කොටසට හානි සිදු ව ඇති බවත්, සැලසුම් කල සටනක් කුරිරු ඝාතනයක් දක්වා වර්ධනය වෙද්දී ඇයට “තිරිංග තද කිරීමට හැකියාවක් නොමැති වූ” බවත් ඇගේ නීතිඥයින් සාක්ෂි වශයෙන් උපුටා දක්වයි.
ඇය වයස අවුරුදු 2 සිට 5 දක්වා කාලය තුල නිතර නිතර ඇගේ මිත්තනියගේ පෙම්වතාගේ ලිංගික අපයෝජනයට ලක් වූවා ය. වයස අවුරුදු 11 දී ඇය 37 හැවිරිදි අසල්වැසියෙකු අතින් දූෂනයට ලක් වූවා ය. ඔහුට අත්හිට වූ සිර දඬුවමක් නියම වූ අතර ඔහු ඇය පදිංචි ව සිටි වීදියේ ම වෙනත් නිවසකට පදිංචියට පැමිනියේ ය. ඇයට වයස අවුරුදු 17 දී—එනම් ස්ලෙමර් ඝාතනයට හරියටම වසරකට පමන පෙර—නාඳුනන පුද්ගලයෙකු විසින් ඇය කැලෑවකට ඇදගෙන ගොස් දූෂනය කරන ලදී.
විශේෂඥයෙකුගේ හේතු දැක්වීමේ සටහනක් මෙසේ අනතුරු ඇඟවීය: “ඇය දූෂනයට ලක් කර මරා දමන බව ඇයට දැනීමේ සහ එ ලෙස විශ්වාස කිරීමේ සැලකිය යුතු අවදානමක් පවතී; එ ලෙස ම, ඇය එම ශබ්ද, සුවඳ සහ වේදනාවන් නැවත අත්විඳිනු ඇත.” ටෙනසි සහකාර නීතිපති විලියම් අයර්ස් ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දු උපුටා දක්වමින් එයට විරුද්ධ විය: “සම්මතය වේදනා රහිත ව මරා දැමීම නොවේ. ... හුදෙක් මානසික පීඩාවට ලක්කිරීම පමනක් දූෂනයක් නොවේ.”
අධිකරනයෙන් පත් කරන ලද, පයික්ගේ ප්‍රධාන නීතිඥ විලියම් ටැල්මන් කිසිදාක මරන දන්ඩන නඩුවක් විභාග කර නොතිබූ අතර, නඩුව විභාග කල විනිසුරුවරයා ද එසේ කර තිබුනේ නැත. ටැල්මන් විසින් පයික්ගේ අපයෝජන සහ කම්පන පිලිබඳ ලේඛනයක් සම්පාදනය කිරීමට සායනික මනෝ විද්‍යාඥයෙකු කුලියට ගත් නමුත් අවසාන මොහොතේ ඇයව සාක්ෂි ගැනීමට නොකැඳවීමට තීරනය විය. පයික්ගේ මානසික රෝගය, මොලයට සිදු ව තිබූ හානිය හෝ දූෂන ඉතිහාසය පිලිබඳ ව විත්තියේ නීතිඥ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකල අතර ඇගේ තරුන කාලයේ සිදුවීම් නිසා ඇයව බේරා ගත යුතු යැයි කිසි විටෙකත් තර්ක කලේ නැත.
2022 දී ගොනු කරන ලද පැමිනිල්ලකට අනුව, වරදකරු වීමෙන් පසු පයික් වසර 28 ක පමන කාලයක් පුරා, “දිනපතා පැය 22 සිට 24 දක්වා කාලයක් ඇඳක්, රාක්කයක්, සින්ක් එකක් සහ වැසිකිලි බඳුනක් පමනක් සහිත අඩි 7 ක් සහ දිග 12 ක් වන කුඩා සිර මැදිරියක” හුදකලාව සිරගත කර රඳවා තබාගෙන තිබුනි.
පයික්ගේ මරන දඬුවම, “වධහිංසා පැමිනවීම සහ වෙනත් ආකාරවල හිංසනයන් සඳහා වන නිරපේක්ෂ තහනම” උල්ලංඝනය කරන බවට එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන් අනතුරු අඟවා ඇත. කෙසේ වෙතත්, නඩු විභාගයේ සිට ශ්‍රේෂ්ඨාධිකරනය දක්වා සෑම අදියරක දී ම අධිකරනය ඇයට සහනයක් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.
ක්‍රිස්ටා පයික්ගේ මරන දඬුවම ක්‍රියාත්මක කිරීම මගින්, ලොව වැඩි ම වශයෙන් මරන දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතර එක්සත් ජනපදය හිමි කර ගෙන ඇති ස්ථානය තහවුරු වේ. මරන දඬුවම ක්‍රියාත්මක කිරීමේ දී චීනය, ඉරානය, සෞදි අරාබිය, ඉරාකය, ඊජිප්තුව, සිංගප්පූරුව සහ කුවේටය වැනි රටවල් සමඟ එක්සත් ජනපදය ද එක පෙලට සිටී. 2007 වසරේ සිට අඛන්ඩ ව සම්මත කෙරුනු, මරන දඬුවම ක්‍රියාත්මක කිරීම තාවකාලික ව අත්හිටුවීම ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල යෝජනාවලට එරෙහි ව එක්සත් ජනපදය නැවත නැවතත් ඡන්දය ප්‍රකාශ කර ඇත.
මරන දන්ඩනය ක්‍රියාත්මක කරන ස්ථානය යනු දැවැන්ත දඬුවම් ක්‍රියාවලියක කූඨය යි. එක්සත් ජනපදය තුල ඕනෑ ම සාමාන්‍ය දිනයක පුද්ගලයින් මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් සිරගත ව සිටින අතර, රට පුරා මරන දන්ඩනය නියම වී එය ක්‍රියාත්මක වන තෙක් බලා සිටින පුද්ගලයින් 2,000 කට අධික සංඛ්‍යාවක් සිටිති. එක්සත් ජනපදයේ සිරගත කිරීමේ අනුපාතය—එය, සමස්ත ජනගහනයෙන් ලක්ෂයකට, 608 කි—එය සැසඳිය හැකි වෙනත් ඕනෑ ම රටකට වඩා ඉහල අගයක් ගනී.
බන්ධනාගාර ජනගහනය අතිශයින් දිලිඳු, කම්කරු පන්තියෙන් සමන්විත වන අතර විසමානුපාතික ව වැඩි වශයෙන් සිටින්නේ කලු ජාතිකයින් සහ හිස්පැනික් ජාතිකයින් ය. බන්ධනාගාර බිත්තිවලින් පිටත නිසි සැලකිල්ලක් නොලබන මානසික රෝගීන් සහ බුද්ධිමය වශයෙන් ආබාධිතයන් වැඩි වැඩියෙන් සිර මැදිරිවලට—සහ ක්‍රිස්ටා පයික් සහ බයිරන් බ්ලැක් මෙන් මරන දඬුවම ක්‍රියාත්මක කරන කුටියට—යැවේ.
නෑෂ්විල් හි ටෲමා තත්වයට පත් කාන්තාවක් ගිලන් මැස්සකට බැඳ තබන එම රාජ්‍යය ම ලොව පුරා දඬුවම් නොලබා ඝාතනය කරයි. පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපදය ඉරානයට එරෙහි ව යුද්ධය දියත් කල දා සිට මියගිය පුද්ගලයින් 3,684 දෙනා අතර, පාසල් සිසුවියන් 168 ක් ඇතුලු ව සිවිල් වැසියන් 1,721 ක් පමන බව මානව හිමිකම් කන්ඩායම් ගනන් බලා ඇත. එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් උපුටා දක්වන ආකාරයට, වසරක් තුල “මුහුදේ දී නීති විරෝධී ඝාතන” 223 ක් වාර්තා කර ඇති අතර, ඉන් බොහෝ දෙනෙක්, ට්‍රම්ප් පරිපාලනය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව සටන් කිරීමේ මුවාවෙන් කැරිබියන් මුහුදේ දී ඝාතනය කිරීමට නියෝග කල ධීවරයින් වේ.
රට තුල, මෙම ප්‍රචන්ඩත්වය සංක්‍රමනිකයන්ට සහ කම්කරු පන්තියට එරෙහි ව දිනෙන් දින ඉහල යන දරුනු ස්වභාවයකින් ක්‍රියාත්මක වේ. 2026 ජූලි 11 වන විට, ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒකකය (ICE) විසින් පුද්ගලයින් 65,000 කට අධික සංඛ්‍යාවක් රඳවා ගෙන සිටි අතර, ඉන් අති බහුතරයක් කිසිදු ආකාරයන අපරාධ වාර්තාවක් තිබූ අය නොවේ. 2026 වසර තුල ෆෙඩරල් නියෝජිතයින් විසින් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් ඉතා අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කර ඇත: මිනියාපොලිස් හි රෙනී ගුඩ් සහ ඇලෙක්ස් ප්‍රෙට්ටි, හූස්ටන් හි ලොරෙන්සෝ සැල්ගාඩෝ ඇරහුඕ සහ මේන් හි බිඩ්ෆර්ඩ් හි ජොහාන් සෙබස්තියන් ඩුරාන් ගුරෙරෝ එම සතර දෙනා වෙති. “මැපින් පොලිස් වයලන්ස්” දත්ත සංගනන වාර්තාවලට අනුව, 2024 වසරේ දී පොලිසිය අතින් සිදු වූ වාර්තාගත මරන 1,271 කට පසු ව, 2025 වසරේ දී අවම වශයෙන් පුද්ගලයින් 1,201 දෙනෙකු ඝාතනයට ලක් ව තිබේ.
රාජ්‍ය යාන්ත්‍රනයේ ම්ලේච්ඡත්වය සහ ප්‍රචන්ඩත්වය ඇමරිකාවේ පන්ති පාලනයේ යථාර්ථය විදහා දක්වයි; එහි දී සමස්ත පද්ධතිය ම පාලනය කෙරෙන්නේ, සාපරාධී ධනපති කතිපයාධිකාරිය විසිනි.
මෙම කතිපයාධිකාරයේ පුද්ගලාරෝපනය වන ට්‍රම්ප්, මරන දඬුවම ප්‍රධාන ප්‍රතිපත්තිමය අරමුනක් බවට පත් කර ඇත. 2025 ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් දිනයේ දී, ඔහු, “මරන දඬුවම යලි ක්‍රියාත්මක කිරීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම” යන විධායක නියෝගයට අත්සන් තැබී ය. “මරන දඬුවම භාවිතා කිරීම අවශ්‍ය වන ආකාරයේ සියලු බරපතල අපරාධ සඳහා,” විශේෂයෙන් පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සහ නිල වශයෙන් ලේඛනගත නොකල සංක්‍රමනිකයින් සිදු කරන බරපතල අපරාධ සඳහා ෆෙඩරල් මරන දඬුවම ඉල්ලා සිටීමට, එය එක්සත් ජනපද නීතිපතිවරයාට නියෝග කරන අතර, මරන දඬුවම සීමා කරන ශ්‍රේෂ්ඨාධිකරන පූර්වාදර්ශ අවලංගු කිරීමට උත්සාහ කරයි.
එහි ප්‍රතිඵල දැනට ම ත් පැහැදිලි ය. 2025 වසරේ දී ප්‍රාන්ත 11 ක් තුල පුද්ගලයින් 47 දෙනෙකුට මරන දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර, එය 2009 න් පසු වාර්තා වූ ඉහල ම අගයයි; ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පමනක් සිදු වූ වාර්තාගත මරන දඬුවම් 19ක් ද ඊට ඇතුලත් වේ. පයික්ට මරන දඬුවම ක්‍රියාත්මක කිරීම මෙම වසරේ 29 වැනි අවස්ථාව මෙන් ම, 1976 දී ශ්‍රේෂ්ඨාධිකරනය විසින් මරන දඬුවම නැවත බලාත්මක කිරීමෙන් පසු සිදු කෙරෙන 1,683 වැනි අවස්ථාව ද වනු ඇත. මාරාන්තික එන්නත් ලබා දීමට අමතර ව, විවිධ ප්‍රාන්තවල විදුලි සැර වැද්දීම, වෙඩි තැබීම, මාරාන්තික වායු භාවිතය සහ නයිට්‍රජන් වායුව මගින් හුස්ම හිර කර මරනයට පත් කිරීම වැනි අතිශය කෲර ක්‍රම නැවත හඳුන්වා දීම හෝ අලුතින් නිර්මානය කිරීම සිදු කර ඇත. රාජ්‍ය අනුමැතිය ලත් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා “මානුෂීය” ක්‍රමයක් සොයා ගැනීමට රාජ්‍ය බලධාරීන් දිගින් දිගටම උත්සාහ කල ද, එවැනි ක්‍රමයක් කිසිදා සොයා ගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත.
ඩිමොක්‍රටික් පක්ෂය මරන දඬුවම අඛන්ඩ ව ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සපයා ප්‍රවර්ධනය කර ඇත. බිල් ක්ලින්ටන්ගේ 1996 ත්‍රස්ත විරෝධී සහ මරන දඬුවම් කාර්යසාධන පනත මගින්, ෆෙඩරල් හබයාස් පෙත්සම් සඳහා වසරක උපරිම කාල සීමාවක් නියම කරන ලද අතර මරන දඬුවම් එකතු වීමේ ක්‍රියාවලිය වේගවත් කරමින්, “පැහැදිලි ලෙස ස්ථාපිත ෆෙඩරල් නීතිය” උල්ලංඝනය නොකරන්නේ නම්, ප්‍රාන්ත අධිකරන තීන්දුවලට ගරු කිරීම අවශ්‍ය වන බවට නියම කරන ලදි.
2006 වසරේ දී බැරක් ඔබාමා මෙසේ ලිවී ය: “සමූහ ඝාතන හෝ දරුවෙකු දූෂනය කර ඝාතනය කිරීම වැනි ඇතැම් අපරාධ කෙතරම් දරුනු හා පිලිකුල් සහගතද යත්, ඒ වෙනුවෙන් උපරිම දඬුවම ක්‍රියාත්මක කිරීම මගින් සමාජයට තම දැඩි කෝපය හා පිලිකුල පල කිරීමට පූර්න සාධාරනත්වයක් ඇතැයි මම විශ්වාස කරමි.” ෆෙඩරල් මට්ටමින් මරන දඬුවම අහෝසි කිරීමට කටයුතු කරන බවට ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබුන ද, ඩිමොක්‍රටික් පක්ෂයේ 2024 මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ පිලිබඳ කිසිදු සඳහනක් නොතිබුනි. රාජ්‍ය අනුග්‍රහය ලබන මරන දඬුවම් ක්‍රියාත්මක කිරීම පුලුල් කිරීමට ට්‍රම්ප් දරන උත්සාහය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ නිහඬ ව සිටිති.
1853 පෙබරවාරි මාසයේ දී නිව් යෝර්ක් ඩේලි ට්‍රිබියුන් පුවත්පත හරහා කාල් මාක්ස් අවධාරනය කලේ මරන දඬුවම එහි පන්තිමය මානයන් ඔස්සේ වටහා ගත යුතු බවයි.
“තමන්ගේ ශිෂ්ටාචාරය පිලිබඳව ආඩම්බර වන සමාජයක් තුල, මරන දඬුවමේ සාධාරනත්වය හෝ යෝග්‍යතාව තහවුරු කල හැකි කිසියම් මූලධර්මයක් ගොඩනැගීම ඉතා අපහසු, ඇතැම් විට, කිසි සේ ත් ම කල නොහැකි දෙයක්” බව ඔහු එහි දී ලිවී ය. අපරාධ යනු, භෞතික සංසිද්ධි මෙන් නිශ්චිත රටාවකට අනුව නැවත නැවතත් සිදුවන දෙයක් බව පෙන්වා දෙන සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ඔහු මෙසේ විමසී ය: “නව අපරාධකරුවන් බිහිවීම සඳහා ඉඩ සලසමින් අපරාධකරුවන් විශාල සංඛ්‍යාවක් මරා දමන අලුගෝසුවා උත්කර්ෂයට නැංවීම වෙනුවට, මෙවැනි අපරාධ බිහි කරන ක්‍රමය වෙනස් කිරීම පිලිබඳව ගැඹුරින් සිතා බැලීමේ අවශ්‍යතාවක් නොමැති ද?”
දරිද්‍රතාවය, අපයෝජනය සහ ප්‍රචන්ඩත්වය නිර්මානය කරන අතරම ඊට ප්‍රතිචාර වශයෙන් මරන දන්ඩනය ක්‍රියාත්මක කරන ධනවාදී ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය ගෙන යන වර්ධනය වන අරගලයේ කොටසකි, මරන දන්ඩනය අහෝසි කිරීම සඳහා වන අරගලය. ක්‍රිස්ටා පයික් හට මරන දන්ඩනය ක්‍රියාත්මක කිරීම මගින් පෙන්නුම් කරන්නේ, ධනවාදී පාලනයට තම පක්ෂපාතීත්වය නැවත නැවතත් ඔප්පු කර ඇති අධිකරනවලට හෝ ඩිමොක්‍රටික් පක්ෂයට මෙම අරගලය භාර දිය නොහැකි බවයි.
මරන දන්ඩනය අහෝසි කිරීම, සියලු ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙන් ම අසමානතාව, යුද්ධය සහ පොලිස් රාජ්‍ය ප්‍රචන්ඩත්වයට එරෙහි අරගලය සමඟ බැඳී පවතී.
