ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලෙව්ගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ දෙ වසරක පාලනය සම්බන්ධයෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ නොවැම්බර් 10දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පවත්වන රැස්වීම ගොඩනැගීම සඳහා ගෙන යන උද්ඝෝෂනයේ දී කම්කරුවෝ, තරුනයෝ හා ශිෂ්‍යයෝ තමන් මුහුන දෙන විවිධ දේශපාලන හා ජීවන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡාවන්ට එලැඹෙමින් සිටිති.
පහත පලවන්නේ එවන් උද්ඝෝෂනකදී හමු වූ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සහාය කථිකාචාර්යවරියක වන සෙහාරා සමග පැවැති සාකච්ඡාවක දී ඇය විසින් පල කෙරුනු අදහස් ය. ඇය රැස්වීමට සහාය පලකල අතර ඊට සහභාගී වන ලෙස ආචාර්යවරුන්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටියා ය.
***
සහය කථිකාචාර්ය සෙහාරා:
මේ ආන්ඩුව බලයට ආවට පස්සේ එයාලගෙ දේශපාලන ක්‍රියා සම්පූර්නයෙන් ම වෙනස් වුනා, බලයට එන්න කලින් ආන්ඩුවේ නායකයන් ප්‍රචාරය කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කරනවා කියන එකනේ, නමුත් ඒක වෙනස් වෙලා නෑ. එයාලා තියන සිස්ටම් එකට අනුගත වෙමින් ඉන්නවා කියලයි මම හිතන්නේ, සිස්ටම් එක ඒ විදිහට ම ක්‍රියාත්මකයි. එයාලගේ මතය වෙලා තියෙන්නේ, දැන් අපිත් ඒ සිස්ටම් එකට අනුගත වෙන්න අවශ්‍යයි කියන එක.
දැන් ගත්තොත් ගොවියෝ විශාල ප්‍රශ්නෙක ඉන්නවා, මේ ආන්ඩුව ඒක ගැන කිසි ම කතාවක් ඇත්තේ නෑ. ඒ ප්‍රශ්න සහමුලින් ම යටපත් කරලා තියෙනවා.
මේ වෙලාවේ මාධ්‍යවල හෙඩ්ලයින් එකේ යන්නේ ඥානසාරගේ ප්රශ්නය, තව ගත්තොත් නාමල් රාජපක්ෂ හිරේ දැමීම, ශිරන්ති රාජපක්ෂ හිරේට දැමීම වගේ දේවල්. නමුත් අපි ඉස්සෙල්ල කිව්වා වගේ අපිට ඉතාමත් ම මූලික වෙන ප්‍රශ්න තියෙනවනේ. ඒවා එකක් වත් ආන්ඩුව වත්, ආන්ඩුවට පක්ෂපාති අය වත්, මාධ්‍ය වත් කතා කරන්නේ නෑ. ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙනුත් සඳහන් කෙරෙනවා තමයි. නමුත් මම කලින් කී ප්‍රචාරය තමයි උඩින් ම තියෙන්නේ. මාධ්‍ය ආයතන හැඟීම් අවුස්සන වාර්තාකරනයක යෙදෙනෙවා. ඒ් ආකාරයට මිනිස්සුන්ට තමන් මුහුන දෙන ඇත්ත ප්‍රශ්න අමතක කරවන්න.
දැන් විශාල ගාලගෝට්ටියක් කරනවානේ සිරගෙදරට ගෙන ගියා ම ඥානසාර භික්ෂුවගේ සිවුර ඉවත්කර සාමාන්‍ය ඇඳුමක් ඇන්දවීම ගැන. මාධ්‍ය ඇත්ත ප්‍රශ්න යටපත් කරන්න ඒක ගසා කනවා. අනෙක් පැත්තෙන් විපක්ෂයේ පාරාජිකා වෙච්ච කන්ඩායම් ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් දියත් කරන්න ඒක පාවිච්චි කරනවා. මේ දෙ විදියෙන් ම කම්කරුවන්ට ඔවුන් මුහුන දෙන ප්‍රශ්න අමතක කරවන්න වගේ ම, ඔවුන් භේද භින්න කරන්න අඛන්ඩ උත්සහායක් පවතිනවා.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා අනෙකුත් මර්දන නීති ඉවත් කරන බවට පොරොන්දු දුන් ආන්ඩුව, “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම” හා සංවිධිත අපරාධ වැලැක්වීමේ නමින් ඉදිරිපත් කර ඇති පනත් ගැන ද කථිකාචාර්යවරිය අදහස් දැක්වූවා ය.
ඒක ඉතාමත් තීරනාත්මක ප්‍රශ්නයක්. හැම දෙනා ම මේකට විරුද්ධ වෙන්න ඕන කියල මම හිතනවා. මේ පනත් ගේන්නේ ජනයා අතරින් නැගෙන අරගල මඬින්න. ආන්ඩුවට මේ වෙන කොට ඉදිරියේ දී විරෝධතා ඇතිවෙයි කියල තේරුම් ගිහිල්ලා තියෙන්නේ. 2022 ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේ ගැන මෙයාලත්, කවුරුත් දන්නවා. මෙයාල ඒ අරගලවලින් පාඩමක් ඉගෙන ගෙන තියෙන අය. ඉදිරියේ දී එයාලට මර්දනය අවශ්‍ය වෙනවා.
දැන් පච්චයක් ගහගෙන හිටියත් අත්අඩංගුවට ගන්න පුලුවන් නීති ගේන්නෙ ඒකයි. මම දන්නවා අපේ විශ්වවිද්‍යාලයේ ඉන්න බොහොම හොඳ කථිකාචාර්යවරු පවා ටැටූ (tattoo) ගහගෙන ඉන්නවා, ඒ වගේ ම සයන්ටිස්ලා කලාකරුවන් වගේ අයත් ටැටූ ගහගෙන ඉන්නවා. ඔවුන් මර්දනය කරන්න කට වහල තියන්න ඕනි නම්, ඒ අය අපරාධ කල්ලි එක්ක ක්‍රියා කරන බවට සැකයි කියල අත්අඩංගුවට ගන්න පුලුවන්.
ආන්ඩුව ඇත්තට ම මේ පනත් මගින් කරලා තියෙන්නේ කම්කරුවන් තරුනයන් අතරින් විශාල පිරිසක් බය ගැන්වීමට, අවශ්‍ය අවස්ථාවක අත්අඩංගුවට ගන්න අවශ්‍ය යතුරක් පොලිසියට දීමක්.
මේ වගේ ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂය ඇතුලු අනෙකුත් පක්ෂ සහ සංවිධාන ප්‍රතිචාර දක්වන්නේ මේ ප්‍රශ්නවලින් අපිට ඇති වෙලා තියෙන පීඩනය වලක්වන්න නෙමේ, ඒක පාවිච්චි කරල එයාල බලයට එන්න පුලුවන් කොහොමද කියන එකටයි. උදාහරනයක් ගත්තොත් විපක්ෂ මේ වෙලාවේ [ඉරානයට විරුද්ධ] යුද්ධය ගැන කතා කරන්නේ යුද්ධය මගින් තෙල් මිල ඉහල ගිහින් බඩු මිල ඉහල ගිහින් අපිට බලපාන නිසා නෙවෙයි. ආන්ඩුව දුර්වලතාවය හින්දා බඩු මිල ඉහල යනවා කියන විදියට. ඒ කියන්නේ ශක්තිමත් ආන්ඩුවක් තිබුන නම් මේක වලක්වා ගන්න පුලුවන් කියන මිත්‍යාව වගා දිගා කරන්න. මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ධනපති ක්රමයේ අර්බුදය නිසා. මේ යුද්ධය ධනපති ක්රමයේ අර්බුදයක් කියන එක ආවරනය කරන්න මේ පක්ෂවලට, මාධ්‍යවලට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ අතර, ආන්ඩුව යුද්ධයෙන් ඇතිවෙන බර කෙලින්ම මහජනයා මත පටවනවා.
මට තියෙන ලොකු ම ප්රශ්නය තමයි මේ වර්ධනය වන තත්වය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුල අවබෝධයේ අඩුකම. දේශපාලන විද්‍යාව විෂයක් විදිහට හදාරන ශිෂ්‍යයන් මුනගැහෙනවා, ඔවුන් අතරත් තත්වය දුර්වලයි. ශිෂ්‍යයෙක් ගෙන් මම ඇහුවොත් ප්‍රතිත්‍රස්ත පනත කියන්නේ මොකක්ද කියලා ඒ ගැන දන්න අය අල්පයි.
මෙම තත්වයට හේතුව පවතින අධ්‍යාපන ක්‍රමය බව කී කථිකාචාර්යවරිය,අවශ්‍ය තරම් මුදල් වෙන් නොකිරීම,ආචාර්යවරුන්ගේ අඩුව, ශිෂ්‍යන්ට අවශ්‍ය නේවාසික පහසුකම් නැතිකම යනාදිය නිසා විශ්ද්යාල අධ්‍යාපනය පරිහානියට පත්වෙමින් පවතින බව කීවා ය.
මේ ලමයි විතරක් නෙවෙයි, අපිත් ඉගෙන ගත්තෙ ඒ ක්‍රමය ඇතුලෙ. ඒ විතරක් නෙවෙයි කථිකාචාර්යවරු ගත්තහම ඉතා ම සුලු පිරිසක් තමයි ඉන්නේ විකල්ප අදහසක් ඉදිරිපත් කරන ලමයෙකුට ලකුනක් දෙන්න.
මම ඉගෙන ගත්ත කාලෙ මතක් කරපුවහම මටත් විශ්ව විද්‍යාලය තුල අමතර දෙයක් කරන්න වෙලාවක් ලැබුනේ නෑ. මම සෙමෙස්ටර් එකක් ෆේල් වුනොත් ඊලඟ සෙමෙස්ටර් එකේ මම කොච්චර හොඳට විභාගේ ලිව්වත් මට C පාස් එකකින් උඩට යන්න බෑ. ඒ නිසා මට අමතර දෙයක් කියවන්න අමතර දෙයක් කරන්න වෙලාවක් නැති කරලා තිබුනේ. මම අමතර දෙයක් කරනවනම් මට මගේ නින්ද ඒකට කැප කරන්න වෙනවා. එතකොට මම ලෙඩෙක් බවට පත් වෙනවා. ඉතින් ශිෂ්‍යයන්ගේ පුලුල් දැනුම නැති වෙලා තියෙන්නේ ඔවුන්ගේ වරද්ද නිසා නෙමෙයි මේ ක්‍රමය නිසා.
ඔබ සඳහන් කලා වගේ, සවිඤ්ඤානිකත්වයේ අඩුව පිලිබඳ මේ ප්රශ්නය හුදෙක් ඉබේ ම කම්කරුවන් අතර මතු වූ තත්ත්වයක් නොවෙයි. වෘත්තීය සමිති නායකයන් විසින් කම්කරුවන්ට තම තමන්ගේ ප්‍රශ්නවලට වෙන්ව සටන් කිරීමෙන් තමන්ගේ අයිතිවාසිකම් දිනාගත හැකිය යන මිත්‍යාව වැපිරීමක් වගේ ම, කම්කරු පන්තියේ ඒකාබද්ධ වීම වැලක්වීමේ උපක්‍රමයක්.
***
නොවැම්බර් 10දා සසප පවත්වන රැස්වීම මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට වැදගත් බව පැවසූ ආචාර්යවරිය ඊට සහයෝගය පල කලා ය.
