[මෙය Gary Tyler, former political prisoner in US, endorses campaign to free Bogdan Syrotiuk: “This young man should be free” මැයෙන් 2026 ඔක්තෝබර් 2 වැනි දා ඉංග්‍රීසි බසින් බල විය.]
ගැරී ටයිලර්, තමන් නොකල මිනීමැරුමක් සම්බන්ධයෙන් ලුසියානා ප්‍රාන්තයේ කුප්‍රකට ඇන්ගෝලා රාජ්‍ය බන්ධනාගාරයේ වසර 42කට ආසන්න කාලයක් සිරගත කර සිටි දේශපාලන සිරකරුවෙකි. බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝනයට ඔහු සිය සහාය පල කර ඇත. බොග්ඩාන් 27 හැවිරිදි යුක්රේන සමාජවාදියෙකි. යුද්ධයට එරෙහි ව යුක්රේන සහ රුසියානු කම්කරුවන්ගේ එකමුතුව සඳහා පෙනී සිටීම හේතුවෙන් ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම කර ඇත.
ටයිලර්, 2025 දී ප්‍රකාශයට පත් කල සිය ස්වයං චරිතාපදානය වන “නිදහසේ වියමන - ඇන්ගෝලා සිර කඳවුරේ අසාධාරනය, යටත් නොවීම හා අපේක්ෂා සහගත බව පිලිබඳ සැබෑ කතාවක්” (Stitching Freedom: A True Story of Injustice, Defiance, and Hope in Angola Prison) කෘතිය එලිදැක්වීමේ සහ අත්සන් තැබීමේ උත්සවයක දී සයිරොටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සමට අත්සන් තැබී ය. මෙම උත්සවය බදාදා රාත්‍රියේ ඩෙට්රොයිට්හි දී පැවැත්විනි. ලයිබ්‍රරි ස්ට්‍රීට් කලෙක්ටිව් සහ මිෂිගන් ජස්ටිස් ෆන්ඩ් සංවිධාන වල අනුග්‍රහයෙන් පැවැත්වූ මෙම උත්සවයේ දී, ටයිලර් නිදහස් කිරීම සඳහා ගෙන ගිය ව්‍යාපාරයට අදාල ප්‍රදර්ශන මෙන් ම ඔහු විසින් නිර්මානය කරන ලද රෙදි කැබලි මසා සකස් කල කලා නිර්මාන ද ප්‍රදර්ශනය කෙරිනි.
බොග්ඩාන් සයිරොටියුක් ගේ නිදහස ඉල්ලන පෙත්සමට තම සහයෝගය පල කිරීමේ දී, ටයිලර් දේශපාලන හිංසනයට ලක්වීම පිලිබඳ තමන්ගේම අත්දැකීම් සෘජු ව ම පාදක කර ගත්තේ ය. එසේ ම, යුක්රේන සමාජවාදියා සිරගත කිරීම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ සමඟත්, ධනේශ්වර රාජ්‍යයේ ද්විපක්ෂ ස්වභාවය සමඟත් සම්බන්ධ බව ප්‍රකාශ කලේ ය.
ටයිලර් මෙසේ පැවසී ය:
“යුක්රේන පාලන තන්ත්රය තමන් මවාපා ගන්නා ආකාරයට කිසි සේත් ම සමාන නැති ප්රතිගාමී එකක්. මේ තරුනයා නිදහස් කල යුතුයි. ඔහු සටන් කරන්නේ සාධාරන අරමුනක් වෙනුවෙනි. නිවැරදි දෙයක් කිරීම නිසා කිසිවෙකුට දඬුවම් දීම හෝ වරදට පත් කිරීමක් සිදු නොකල යුතු ය. ඔහු වැනි තවත් බොහෝ දෙනා අපට අවශ්‍යයි. අසාධාරනයකට එරෙහි ව විවෘත ව හඬ නඟන කෙනෙකුට දඬුවම් කරන තැනට පාලකයන් පැමිනෙන්නේ නම්, එයින් පෙන්නුම් කරන්නේ සමස්ත පද්ධතිය තුල ම බරපතල වරදක් පවතින බවයි.
ඔහු යුද්ධයට විරුද්ධයි. යුක්රේනයේත් රුසියාවේත් ජනතාව දුක් විඳීමට ඔහු විරුද්ධයි. ඔවුන් විසින් ගොදුරු කර ගනිමින් සිටින අයටත් ඔහු විරුද්ධයි. ඊට වගකිව යුත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ යුරෝපීය රටවල් විසින් අවුලුවන ලද උසිගැන්වීම් ය. තමන් අන් සියල්ලන්ට ම වඩා ඉහලින් සිටින බවත්, තමන්ගේ අභිමතයන්ට අනුව ඕනෑ ම අයෙකු යටත් කර ගත හැකි බවත් ඔවුන් සිතනවා. සිදු වෙමින් පවතින දේ ඔබට පෙනෙනවා. එය අතිශය බිහිසුනු තත්ත්වයක්.
මේ සම්බන්ධයෙන් විශාල විරෝධයක් පවතිනවා. එහෙත් එය නිවැරදි මාවතකට යොමු කල යුතුයි. අපරාධකරුවන්ගේ මනස් වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් කිසිවක් වෙනස් වන්නේ නැහැ. ඔබ විරෝධතාවල නිරත විය යුතුයි. එහෙත් ඩිමොක්රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂයට වඩා වෙනස් නැහැ. ඒ දෙපක්ෂය ම කැප වී සිටින්නේ පවතින තත්ත්වය එලෙස ම පවත්වා ගෙන යාමටයි.”
බොග්ඩාන් සයිරොටියුක් 2024 අප්‍රේල් 25 දින දකුනු යුක්රේනයේ පිහිටි සිය උපන් නගරය වන පර්වොමයිස්ක්හි දී යුක්රේනයේ ආරක්ෂක සේවය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 2026 අගෝස්තු මාසයේ දී යුක්රේන අධිකරනයක් ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම කලේ ය. සයිරොටියුක් කිසිදු අපරාධයක් කර නැත. ඔහු සිර ගත කිරීම දේශපාලන ක්‍රියාවකි. එය ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදයේ ගැත්තෙකු ලෙස ක්‍රියා කරන පාලන තන්ත්රයක් විසින් සිදු කරනු ලබන අතර, එල්ල වී ඇත්තේ සමස්ත කම්කරු පන්තියට එරෙහි ව ය.
බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට ටයිලර් සහාය පල කිරීම අතිශයින් ම වැදගත් ය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලෝරන්ස් පෝටර්, නිදහසේ වියමන කෘතිය පිලිබඳ සිය විචාරයේ ලියා ඇති පරිදි, ටයිලර් ලුසියානා ප්‍රාන්තයේ ඩෙස්ට්රෙහාන්හි කම්කරු පන්තික තරුනයෙකි. ඔහුගේ පියා නඩත්තු සේවකයෙකු වූ අතර මව ගෘහ සේවිකාවක ලෙස සේවය කලා ය.
1974 දී උසස් පාසල් ශිෂ්‍යයෙකු ලෙස සිටිය දී, ඔහුට එරෙහි ව ව්‍යාජ චෝදනා ගොනු කර, වංචනික නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබී ය. එම නඩු විභාගය මෙහෙයවනු ලැබුවේ, වාර්තා වන අන්දමට, කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානයේ ඇඳුම් පැලඳුම් සහ ටයි පටි පැලඳගත් දේශපාලන අංශය ලෙස ක්‍රියා කල වයිට් සිටිසන්ස් කවුන්සිලයේ සාමාජිකයෙකු වූ විනිසුරු රූෂේ මරීනෝ විසිනි. වයස අවුරුදු 17ක් වූ ටයිලර්ට ලුසියානා ප්‍රාන්තයේ විදුලි පුටුව මගින් මරන දඬුවම ක්‍රියාත්මක කිරීමට නියම කෙරිනි.
ටයිලර් මරන දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා නියමිත සිරකරුවන් රඳවා තබන සිර මැදිරියේ වසර දෙකක් ගත කල අතර, තමන් නොකල අපරාධයක් වෙනුවෙන් වසර 42කට ආසන්න කාලයක් සිරගත ව සිටියේ ය. ඔහුගේ සිරගත කිරීමේ කාලය තුල ලුසියානා ප්‍රාන්තයේ ආන්ඩුකාරවරුන් හත් දෙනෙක් සහ එක්සත් ජනපද ජනාධිපතිවරුන් හත් දෙනෙක් බලයේ සිටියහ. ඔවුන් ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් යන දෙපක්ෂයට ම අයත් වූවෝ ය. එහෙත් ඔවුන්ගෙන් කිසිවෙකු ඔහුට සමාවක් ලබා දීමට හෝ අර්ථවත් සහායක් සැපයීමට ඉදිරිපත් වූයේ නැත. පෝටර් පෙන්වා දුන් පරිදි, ටයිලර්ගේ කෘතියේ මෙසේ අවධාරනය කර තිබේ:
“මා සිරගත වූ අවස්ථාවේ දී, එක්සත් ජනපදයේ බන්ධනාගාරවල සිරකර සිටි පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ තුනක් පමන විය. දැන් එම සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇත.”
1976 දී, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමී සංවිධානය වූ වර්කර්ස් ලීගය සහ එහි තරුන සංවිධානය වූ තරුන සමාජවාදියෝ, ගැරී ටයිලර් නිදහස් කර ගැනීම සඳහා ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාරයක් ආරම්භ කලහ. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, ටයිලර් නිදහස් කර ගැනීමේ ඉල්ලීම වෙනුවෙන් එක්සත් ජනපදය පුරා මෙන් ම විදේශයන්හි ද තරුනයන්, කම්කරුවන් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් බලමුලු ගැන්වීය. “ගැරී ටයිලර්ට එරෙහි ව ගොතන ලද අපරාධ චෝදනාව” නමැති පත්‍රිකාවේ පිටපත් දස දහස් ගනනක් බෙදා හරිනු ලැබූ අතර, ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා පෙත්සම්වලට අත්සන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් එකතු කර ගන්නා ලදී.
බදාදා රාත්‍රියේ පැවති උත්සවයේ දී අදහස් දැක්වූ ටයිලර්, වර්කර්ස් ලීගයට සහ තරුන සමාජවාදියෝ ව්‍යාපාරයට සිය කෘතඥතාව පල කල අතර, විශේෂයෙන් ම ටොම් හෙනහන් සිහිපත් කලේ ය. ටයිලර්ගේ නිදහස ඉල්ලා තරුන සමාජවාදියෝ විසින් සංවිධානය කරන ලද නර්තන උත්සවයක දී, 1977 ඔක්තෝබර් 16 දින නිව් යෝර්ක් නගරයේ දී ටොම් හෙනහන් ඝාතනය කරනු ලැබීය.
පාලක පන්තිය සහ එහි ද්වි පක්ෂ ක්‍රමය, ගැඹුරු වෙමින් පවතින සමාජ හා ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, රට තුල ම මර්දනය තීව්ර කිරීමේ පුලුල් හැරීමක් ටයිලර්ගේ නඩුවෙන් සංඥා කෙරුනු බව වර්කර්ස් ලීගය පැහැදිලි කලේ ය. ඔහුට එරෙහි ව යොදාගත් ක්‍රමවේද සමස්ත කම්කරු පන්තියට ම—කලු සහ සුදු, සංක්රමනික සහ ස්වදේශික—එල්ල කරනු ඇති බව ද එය පෙන්වා දුන්නේ ය. මෙම පදනම මත, කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ ස්වාධීන බලමුලු ගැන්වීමක් සඳහා එය කැඳවුම් කල අතර, ආරක්ෂාව සඳහා වන අරගලය ඩිමොක්රටික් පක්ෂයට බැඳ තැබීමට හෝ එය හුදෙක් වාර්ගික ප්‍රශ්නයකට ලඝු කිරීමට දැරූ සියලු ප්රයත්නයන්ට විරුද්ධ විය.
අවසානයේ දී, 2016 දී, වයස අවුරුදු 57ක් වූ ටයිලර් නිදහස් කරනු ලැබුවේ, අධිකරන තීන්දු මාලාවක් හේතුවෙන් ලුසියානා ප්‍රාන්තයට වෙනත් විකල්පයක් ඉතිරි නොවූ පසු ව පමනි. එසේ වුව ද, ඔහුගේ නිදහස වෙනුවෙන් මිනීමැරුමක් නොවන මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරද පිලිගැනීමට ටයිලර්ට බලකරමින්, ප්‍රාන්ත පාලනය තම අවසන් වන්දිය ගැනීම සිදු කලේ ඉන් පසු ව ය. ටයිලර් වරද පිලිගැනීම ප්‍රතික්ෂේප කලේ ය. ඒ වෙනුවට, තිමති වෙබර්ගේ මරනය පිලිබඳ ව සිය ශෝකය පල කල ඔහු, වෙබර් පවුල වෙත සිය අනුකම්පාව ප්‍රකාශ කලේ ය.
නිදහස ලැබීමෙන් පසු, ටයිලර් නිවාස අහිමි තරුනයන්ට මඟපෙන්වන්නෙකු බවට පත් ව ඇති අතර, රෙදි කැබලි මසා නිර්මානය කරන ලද රටා සහිත ඇතිරිලි හා රෙදිපිලි නිෂ්පාදනය පිලිබඳ විශේෂඥතාවක් ඇති සාර්ථක කලාකරුවෙකු ලෙස ද කටයුතු කරයි. ඔහු මෙම තාක්ෂනය ඉගෙන ගත්තේ සිරගත ව සිටිය දී ය. ඔහුගේ කලා නිර්මාන ස්මිත්සෝනියන් ජාතික අප්‍රිකානු ඇමරිකානු ඉතිහාස හා සංස්කෘතික කෞතුකාගාරය, කැලිෆෝනියා අප්‍රිකානු ඇමරිකානු කෞතුකාගාරය සහ සැන්ටා මොනිකා කලා බැංකුව විසින් අත්පත් කරගෙන ඇත. ඇන්ගෝලා බන්ධනාගාරයේ දී තමන් අත්දුටු අසාධාරනකම්වලට එරෙහි ව ඔහු ජාත්‍යන්තර මට්ටමේ ආයතනවල දී අදහස් දක්වා තිබේ. 2025 අප්‍රේල් මාසයේ දී, සිරගත කර සිටින පලස්තීන පශ්චාත් උපාධි ශිෂ්‍ය මහමුද් ඛලීල් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහු ලෝසවෙඅ වෙත ප්‍රකාශයක් ද නිකුත් කලේ ය.
ටයිලර්ගේ සහාය පල කරන ප්‍රකාශය, සයිරොටියුක්ගේ නිදහස සඳහා ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයට ප්‍රබල ශක්තියක් එක් කරයි. මහාද්වීප පහක කම්කරුවන්, සිසුන්, ඉතිහාසඥයන්, වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන් සහ තරුනයන්ගෙන් එම ව්‍යාපාරයට සහාය ලැබී තිබේ.
ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කරන සියලු දෙනාගෙන් ම පෙත්සමට අත්සන් තබන ලෙසත්, freebogdan.org වෙබ් අඩවියට පිවිස යුක්රේනයේ අධිකරනය වෙත ලිපි යොමු කරන ලෙසත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඔබෙන් ඉල්ලා සිටී.
