මෝදි ආන්ඩුව ඡන්ද නාම ලේඛනවලින් නම් ඉවත් කිරීමට එරෙහි තරුන විරෝධතා මධ්‍යයේ ඉන්දියාව පුරා කම්කරු අරගල උත්සන්න වෙයි

[මෙය “Workers’ struggles escalate across India amid youth-led protests over Modi government’s purging of electoral rolls” මැයෙන් 2025 නොවැම්බර් 9 දා ඉංග්‍රීසී බසින් පල විය.]

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර්හි දී නොවැම්බර් 7 දා සමස්ත ඉන්දීය වෘත්තීය සමිති කොංග්‍රසය විසින් සංවිධානය කරන ලද ආශා සෞඛ්‍ය සේවිකාවන්ගේ සහ කන්ඩායම් පහසුකම් සපයන්නන්ගේ දැවැන්ත විරෝධතාවක් [Photo: Comradevoix/Facebook]

ඉන්දියාව පුරා මෑත සතිවල කම්කරු අරගල රැල්ලක නැගී ඒමක් දක්නට  ලැබිනි. මෙම අරගල ඇවිලී ගියේ, ආහාර හා ඉන්ධන මිල ඉහල යාම, ජීවත් වීමට කිසි සේත් ප්‍රමානවත් නොවන වැටුප්, සුරක්ෂිතභාවයක් නොමැති ව රුදුරු සූරා කෑමට ලක් වන කොන්ත්‍රාත් ශ්‍රමිකයන්ගේ රැකියා  කොන්දේසි, මෙන් ම භාරතීය ජනතා පක්ෂය (බීජේපී) නායකත්වය දරන මධ්‍යම ආන්ඩුවේ සහ සියලු දේශපාලන පක්ෂවලට අයත් ප්‍රාන්ත ආන්ඩුවල පුද්ගලීකරනයේ ප්‍රහාර වලට එරෙහිවයි.

ආර්ථිකයේ විවිධ අංශවලට අයත් මිලියන ගනනක් කම්කරුවෝ මෙම අරගලවලට සම්බන්ධ වූහ. බටහිර ඉන්දීය ගුජරාට් ප්‍රාන්තයේ සුරත් නගරයේ රෙදිපිලි කම්කරුවන් ඉන්දියාවේ වැඩි ම ජනගහනයක් සහිත ප්‍රාන්ත දෙක වන උත්තර් ප්‍රදේශ් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල ආශා  සෞඛ්‍ය සේවිකාවන්, හර්යානා ප්‍රාන්තයේ විදුලිබල පද්ධති සේවකයන්, පන්ජාබ් ප්‍රාන්ත රාජ්‍ය සේවකයන් සහ සමස්ත ඉන්දියාව පුරා බැංකු සේවකයන් මේ අරගල මාලවට සම්බන්ධ වූ අය අතර වෙති. 

මෙම අරගලවලින් බොහෝමයක් තවමත් ක්‍රියාත්මක ය. එහෙත් වෘත්තීය සමිති කැඳවා ඇත්තේ සේවා කාලයෙන් පිටත පැවැත්වෙන විරෝධතා හෝ නිශ්චිත කාලයකට සීමා වූ වැඩ වර්ජන පමනි. වෘත්තීය සමිති තන්ත්‍රයේ කල් මැරීමෙන් කලකිරීමට පත් ව සිටින කම්කරුවන් අරගල තමන්ගේ අතට ම ගැනීමේ අවස්ථා ද වර්ධනය වෙමින් පවතී. පසුගිය අප්‍රේල් මාසයේ නොයිඩාහි අරගලයේ දී සිදු වූයේ එයයි.

සමාජ විරෝධය ඇවිලවීමට බලපා  ඇති ප්‍රධාන සාධකයක් වන්නේ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් මිල ගනන් තියුනු ලෙස ඉහල යාමයි. මෙය  සාපරාධී යුද්ධයකි. වොෂින්ටනයේ සහ ටෙල් අවිව්හි ප්‍රබල මිලිටරි-ආරක්ෂක සඟයෙකු ලෙස කටයුතු කරන නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන ඉන්දීය ආන්ඩුව ද ඊට හවුල් ය. 

කෙසේ වෙතත්, වැඩ වර්ජන සහ විරෝධතා රැල්ලට හේතුව මෙම යුද්ධය පමනක් නොවේ. ආන්ඩුව අඛන්ඩ ව ගෙන යන කප්පාදු පිලිවෙත්, කොන්ත්‍රාත් පදනම මත සේවකයන් බඳවා ගෙන කැමති පරිදි සේවයෙන් පහ කිරීම තවදුරටත් “සාමාන්‍යකරනය” කිරීම අරමුනු කරගත් නව කම්කරු නීති සංග්‍රහ ක්‍රියාත්මක කිරීම සහ ග්‍රාමීය රැකියා “සහතික කිරීමේ” වැඩසටහන විනාශ කිරීම ද ඊට හේතු වී තිබේ. ග්‍රාමීය වැටුප් පහත හෙලීමේ නිශ්චිත අරමුනින් මෙම අවසන් පියවර ගෙන ඇත.

මෙම කම්කරු අරගල වර්ධනය වී ඇත්තේ, හින්දු අධිපතිවාදී බීජේපී ආන්ඩුව ඡන්ද නාම ලේඛනවලින් ඡන්දදායකයන්ගේ නම් ඉවත් කිරීමට එරෙහි ව තරුනයන්ගේ නායකත්වයෙන් වර්ධනය වන විරෝධතා රැල්ලට සමාන්තර ව ය. ඡන්දදායක නාමලේඛන පිලිබඳ මැතිවරන කොමිසමේ “විශේෂ දැඩි සංශෝධන” වැඩපිලිවෙල යටතේ, දැවැන්ත ඡන්ද මර්දන ව්‍යාපාරයක කොටසක් ලෙස මුස්ලිම්වරුන්, දාලිත් ජනයා සහ වෙනත් දුගී ජනතාවගේ නම් මිලියන ගනනක් ඡන්ද නාම ලේඛනවලින් කටු ගා  දමා  ඇත.

අලුතින් පිහිටුවන ලද “ජෙනරේෂන් Z” ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයක් වන කැරපොතු ජනතා  පක්ෂය (සීජේපි) විසින් ආරම්භ කරන ලද විශේෂ සංශෝධනවලට එරෙහි  විරෝධතා, අගමැති නරේන්ද්‍ර මෝදිගේ අන්ත දක්ෂිනාංශික පාලන තන්ත්‍රය සොලවාලනු ලැබ තිබේ.

මෙම විරෝධතා මැඬ පැවැත්වීම සඳහා ආන්ඩුව අත්‍යසාමන්‍ය පියවර ගෙන තිබේ. සීජේපී විසින් කැඳවන ලද, ස්ටැලින්වාදී “වාම” පක්ෂ සහ ඒවායේ ශිෂ්‍ය සංවිධාන විසින් සහාය දක්වන ලද ඔක්තෝබර් 10 දා  දිල්ලි විරෝධතා රැලිය වැලැක්වීමට ගත් උත්සාහය අසාර්ථක විය. ඒ සඳහා බලධාරීහු රට පුරා දහස් ගනනක් කල්තියා අත්අඩංගුවට ගත්හ; ඉන්දියාවේ අගනුවර වෙත සහ නගරය තුල සිදු කෙරෙන ප්‍රවාහන සේවා අත්හිටවූහ; පොලිස් භටයන් දස දහස් ගනනක් සහ මධ්‍යම සංචිත පොලිස් බලකායේ පැරා මිලිටරි භටයන් යෙදවූහ. දුම්රිය දුසිම් ගනනක් අවලංගු කරන ලද අතර, නගරයේ උමං දුම්රිය පද්ධතියේ විශාල කොටසක් වසා දමන ලදී. ජාතික අගනුවර ප්‍රදේශයට පිවිසෙන සියලු ප්‍රධාන මාර්ගවල මුරපොලවල් පිහිටුවන ලදී. 

ඊට පසු දින පල කල ලිපියක ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම වර්ධනය පිලිබඳ ව තම නිරීක්ෂනය පල කලේ මෙසේ ය: “ඒකාධිපති පාලන තන්ත්‍රයක් තහවුරු කිරීමට කැසකවන  මෝදි ආන්ඩුව තම ප්‍රධාන පියවරක් ලෙස, රට පුරා  සිසුන් සහ මෑතක දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කල තරුන පිරිස් බලමුලුගන්වා ඇති, ජනගහනයේ තව තවත් පුලුල් කොටස් ආකර්ෂනය කරගනිමින් වර්ධනය වෙමින් පවතින විරෝධතා ව්‍යාපාරය අපරාධයක් බවට පත් කිරීමට උත්සාහ කරමින් සිටී.”

ඉන් අනතුරු ව පැවැත්වීමට නියමිත වූ තවත් විරෝධතාවකට පෙර, සීජේපී හි ඉහල පෙලේ නායකයන් රඳවා තබා ගන්නා ලදී. ඔවුන් නිදහස් කරන ලද්දේ විරෝධතාව අවසන් වීමෙන් පසුවයි. එය ද, විරෝධතා තහනම් කරමින් ආන්ඩුව නිකුත් කල ප්‍රජාතන්ත්‍ර විරෝධී නියෝගවලට අවනත වන බවට නීත්‍යානුකූල ව බැඳී සිටින සහතික ලබා ගැනීමෙන් පසු ව ය. මාවෝවාදීන් සමඟ පෙලගැසී සිටින සමස්ත ඉන්දීය ශිෂ්‍ය සංගමයේ (ඒඅයිඒඑස්) සභාපතිනිය වන නේහා බෝරා ඔක්තෝබර් 16 දා දිල්ලි විරෝධතාවට සහභාගි වීම වැලැක්වීම සඳහා රඳවා තබා ගනු ලැබීය. දවසේ වැඩි කාලයක් ඇය “අතුරුදන්” කර තැබිනි. “සාම බැඳුම්කරයකට” අත්සන් කිරීම ඇය ප්‍රතික්ෂේප කර ඇති බැවින්, මේ මස අග දී විශේෂ මහේස්ත්‍රාත්වරයෙකු හමුවේ පෙනී සිටීමට ඇයට නියම කර ඇත.

මෝදි ආන්ඩුව පසුගිය දිනවල මර්දනකාරී පියවර තවත් උත්සන්න කර තිබේ. නොවැම්බර් 4 දා  පැවති ශ්‍රේෂ්ඨාධිකරන විභාගයක දී සොලිසිටර් ජනරාල් තුෂාර් මේතා තර්ක කලේ, විරෝධතා  හේතුවෙන් ඇති වූ “බාධා” නිසා  ව්‍යාපාරික ආයතනවලට සිදු වූ බව කියන සියලු ම “අලාභ” විරෝධතා සංවිධායකයන්ගෙන් අය කර ගත යුතු බවයි. ඇත්ත වශයෙන් ම, මෑත විරෝධතා  ආශ්‍රිත ව “දෛනික ජීවිතයට” සිදු වූ බාධාවලට ලොකු ම හේතුව වූයේ ආන්ඩුවේ නියෝග මත ක්‍රියාත්මක කල දැඩි ආරක්ෂක පියවරයන් ය.

මර්දනය තව දුරටත් තීව්‍ර කිරීම සඳහා කඩතුරාවක් සපයා ගැනීමටත්, තම අන්ත දක්ෂිනාංශික නඩ මෙහෙය වීමටත්, ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා  සහ උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් වැනි බීජේපීහි ඉහල පෙලේ නායකයෝ විරෝධතාවලට “විදේශීය මැදිහත්වීම්” ඇතැයි කියමින් අභූත චෝදනා  ගොතමින් “ප්‍රජාතන්ත්‍රවාදය රකිමු, අරාජිකත්වය උපුටා දමමු” යන සටන් පාඨය නගමින් ප්‍රති-විරෝධතා  සංවිධානය කරති. 

පසුගිය ඉරිදා  චත්තිස්ගාර් ප්‍රාන්තයේ බස්තර්හි මධ්‍යම ආන්ඩුවේ අතිරේක පොලිස් බලකාය අමතමින් කතා කල මෝදි, දිගු කලක් පැවති මාවෝවාදී හෙවත් නැක්සලයිට් ගරිල්ලා කැරැල්ල ඉන්දීය ආන්ඩුව විසින් තලා දැමූ බවට පුරසාරම් දෙඩුවේ ය. එහෙත්, ඔහු තව දුරටත් මෙසේ පැවසී ය: “අපේ රට ‘දිමාගි-නක්සල්වරුන්ගෙන්’ (බුද්ධිමය නැක්සල්වරුන්ගෙන්) බේරා ගැනීමේ අවශ්‍යතාවක් තිබේ. ‘දිමාගි-නැක්සල්වරු’ විවිධ ආයතන අත්පත් කරගෙන, රටේ ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ව ජනතාව උසි ගන්වමින් සිටිති.”

උත්සන්න වෙමින් පවතින මෙම ආන්ඩු විරෝධී ව්‍යාපාරය තුලට  කම්කරු පන්තිය, තම පන්ති අරගලයේ ක්‍රමෝපායන් යොදා ගනිමින්, ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස මැදිහත්වනු ඇතැයි මෝදි ආන්ඩුව උග්‍ර භීතියකට පත් ව සිටියි.

පසුගිය අප්‍රේල් මාසයේ දී උත්තර් ප්‍රදේශ්හි නොයිඩා   සහ හර්යානාහි මනේසාර් යන දිල්ලි අගනුවරට තදාසන්න කාර්මික  ප්‍රදේශවල කම්කරු විරෝධතා සහ වැඩ වර්ජන පුපුරා ගිය අවස්ථාවේ දී ඒවාට පිලිතුරු දුන්නේ ම්ලේච්ඡ මර්දනයකිනි. අන්ත දුක්ඛිත වැටුප්, දිගු වැඩ මුර සහ කොන්ත්‍රාත් රැකියා  ක්‍රමයට  එරෙහි ව සාමකාමී ව විරෝධතාවේ නිරත වූ කම්කරුවන්ට පොලිසිය අමානුෂික ලෙස පහර දුන්නේ ය. පොලිස් ප්‍රහාරයෙන් ආරක්ෂා වීමට කම්කරුවන් උත්සාහ කල පසු ව, කැරලි ගැසූ බවට චෝදනා ගොතා  සිය ගනනක් අත්අඩංගුවට ගන්නා ලදහ.

ඒ හා සමාන ව ම, සුරත්හි රෙදිපිලි කම්කරුවන්ගේ විරෝධතා මර්දනය කිරීමේ දී බලධාරීහු හාම්පුතුන් සමඟ අත්වැල් බැඳ ගෙන කටයුතු කලහ. අගෝස්තු 16 සහ ඔක්තෝබර් 15 යන දිනවල පැවති පෙලපාලිවලට සහභාගි වූ කම්කරුවන් සිය ගනනක් අත්අඩංගුවට ගෙන හෝ සේවයෙන් පහ කර තිබේ. ඔවුන් විරෝධතාවලට එක් වූයේ තමන්ට ගෙවීමට නියමිත ව තිබූ හිඟ වැටුප් ගෙවන ලෙසත්, බලහත්කාර අතිකාල සේවයේ යෙදවීම නවතා නීතියෙන් නියම කර ඇති සීමාවන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටීමට ය. සතියකට අවම වශයෙන් එක් දිනක නිවාඩුවක් ලබා ගැනීමේ අයිතිය ද එම ඉල්ලීම්වලට ඇතුලත් විය. අවස්ථා දෙකේ දී ම පොලිසිය කම්කරුවන්ට බැටන් පොලුවලින් තැලුවේ ය.

කෙසේ වෙතත්, තරුන විරෝධතා ව්‍යාපාරයේ නායකත්වයේ සිටින දේශපාලන බලවේග—සුලු ධනේශ්වර සීජේපී සංවිධානය සහ විවිධ ස්ටැලින්වාදී පක්ෂ හා ඒවාට අනුබද්ධ ශිෂ්‍ය සංවිධාන—මෝදි ආන්ඩුවට සහ එය පිටුපස සිටින ධනපති කතිපයාධිකාරයට එරෙහි ව කාර්මික හා දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීමට කම්කරු පන්තියේ සමාජ බලය බලමුලු ගැන්වීමට දැඩි ලෙස විරුද්ධ ය.

බීජේපී ආන්ඩුව ප්‍රධාන වශයෙන් කම්කරු පන්තියේ සහ ග්‍රාමීය වැඩ කරන ජනතාවගේ ඡන්ද අයිතිය මර්දනය කිරීමට ගෙන යන වැඩපිලිවෙලට එරෙහි අරගලය, කම්කරුවන් සූරා කෑම තව දුරටත් තීව්‍ර කිරීමට, සමාජ අසමානතාව වඩ වඩාත් පුලුල් කිරීමට සහ අත්‍යවශ්‍ය මහජන සේවාවන් සඳහා අවශ්‍ය දැවැන්ත සමාජ සම්පත් ඉන්දියාවේ මිලිටරි ශක්තිය ගොඩනැගීමට යොමු කිරීමට එරෙහි සටන සමඟ සම්බන්ධ කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කරති.

ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් ව ඇති බවට අනතුරු අඟවන අතර ම, සීජේපී සහ ස්ටැලින්වාදීහු ඡන්ද නාමලේඛනවලින් නම් ඉවත් කිරීමට එරෙහි විරෝධතා සීමා කර ඇත්තේ, මෝදිගේ සහ බීජේපී ආන්ඩුවේ අතකොලුවක් පමනක් වන ප්‍රධාන මැතිවරන කොමසාරිස් ගයනේෂ් කුමාර් ඉවත් කරන ලෙසත් විශේෂ සංශෝධන වැඩපිලිවෙල අත්හිටුවන ලෙසත් ඉල්ලා සිටීමට ය.

මෙය තරුන විරෝධතා  ඉන්දියාවේ ධනපති ප්‍රභූවේ පක්ෂ හා සංස්ථා වලට දේශපාලනික ව ගැට ගැසීමට ඔවුන්ගේ ප්‍රයත්නය සමග සම්බන්ධ ය. මේ සියවස ආරම්භයේ සිට එම ප්‍රභූවේ ධනය අතිවිශාල ලෙස වර්ධනය වී ඇති නමුත්, ජනගහනයේ අතිමහත් බහුතරය වන කම්කරුවෝ සහ වැඩකරන ජනතාව තවමත් කුසගින්නෙන්, අන්ත දරිද්‍රතාවයෙන් සහ අගහිඟකම්වලින් පීඩා විඳිති.

පසුගිය ජූනි මාසයේ සීජේපී පටන් ගත් දා සිට ආන්ඩුවට සහ දේශපාලන ප්‍රභූවට බලපෑම් කිරීමේ ක්‍රියාවලට නැඹුරු වී සිටින අතර, ස්ටැලින්වාදීහු දිගු කලක් තිස්සේ දේශපාලන සංස්ථාපිතයේ අත්‍යන්ත කොටසක් බවට පත් ව සිටිති. එහෙත් ඔක්තෝබර් 10 දා දිල්ලි විරෝධතාවට මෝදි ආන්ඩුව ඒකාධිපති ලෙස ප්‍රතිචාර දැක්වීමෙන් පසු ව, තරුන විරෝධතා කොංග්‍රස් පක්ෂය නායකත්වය දරන “ඉන්ඩියා” නම් වූ විරුද්ධ පක්ෂ සන්ධානය පිටුපස පෙලගැස්වීමට ඔවුන් දෙපාර්ශ්වය ම උග්‍ර ප්‍රයත්නයක යෙදෙති. 

මාවෝවාදී ඉන්දීය කොමියුනිස්ට් (මාක්ස්වාදී-ලෙනින්වාදී විමුක්ති) පක්ෂයේ උපදෙස් මත ක්‍රියා කරමින්, සමස්ත ඉන්දීය ශිෂ්‍ය සංවිධානයේ සභාපති බෝරා ඊට දින දෙකකට පසු ව කොංග්‍රස් පක්ෂය නායකත්වය දුන්, විශේෂ සංශෝධන වලට එරෙහි විරෝධතා රැලියකට සහභාගි වූවා ය. එහි දී ඇය කොංග්‍රස් පක්ෂයේ පරම්පරාගත නායකයා මෙන් ම පාර්ලිමේන්තුවේ නිල විරුද්ධ පක්ෂයේ නායකයා ද වන රාහුල් ගාන්ධි සමඟ අත්වැල් බැඳ ගෙන පෙනී සිටියා ය. මෙම කොන්ග්‍රස් පක්ෂය, ඔක්තෝබර් 10 විරෝධතාවට සහභාගි නොවන ලෙස තමන්ගේ ම තරුන සංවිධානයට උපදෙස් දී තිබුනේ, ආන්ඩුවේ තහනම නොතකා පැවැත්වූ “රැඩිකල්” විරෝධතාවකට අනුබල දෙන බවක් පෙන්වන්නට එය අකමැති වූ බැවිනි.

සීජේපී ද, ඒ හා සමාන ව, කොංග්‍රස් පක්ෂය සහ ඉන්ඩියා සන්ධානය විසින් සංවිධානය කරන විරෝධතාවලට තම සහාය ප්‍රකාශ කර ඇති අතර, රාජ්‍යයේ මර්දනකාරී ක්‍රියාමාර්ග හමුවේ තමන්ගේ ම ක්‍රියාකාරකම් සීමා කර ගෙන තිබේ.

පක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවකින් සමන්විත ඉන්ඩියා සන්ධානයට, කලක් බීජේපීයේ සගයන් ව සිටි පක්ෂ බොහෝමයක් ද ඇතුලත් ය. මෝදිගේ පාලනය අඩපන වුවහොත්, ආයෝජක ගැති ප්‍රතිසංස්කරන සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ ඉන්දියාවේ චීන විරෝධී “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය” සම්බන්ධයෙන් බීජේපීයට නොදෙවෙනි කැපවීමක් ඇති විකල්ප දක්ෂිනාංශික ආන්ඩුවක් පිහිටුවීම සඳහා එම සන්ධානය, ඉන්දීය පාලක පන්තියට යොදා ගත හැකි උපකරනයක් සම්පාදනය කිරීමට ඉදිරිපත් ව සිටි. මෝදි පාලන තන්ත්‍රයේ පන්ති යුද්ධ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂයට සහ එහි ඉන්ඩියා සන්ධානයේ සගයන්ට ඇති මතභේදයක් ඇත්නම් එය උපායමාර්ගික ස්වභාවයේ මත්භේදයකි. එම මතභේද වලින්  බොහොමයක් පැන නගින්නේ, අදානි සහ අම්බානි වැනි බිලියනපති කතිපයාධිකාරීන් සමඟ එක් ව බීජේපීය දේශපාලන බලය තමන්ගේ ඒකාධිකාරය යටතට ගෙන තිබීම නිසා, රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන වරප්‍රසාද සහ සම්පත් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව තමන්ට අහිමි වී ඇති හෙයින් ඔවුන් තුල පවතින කෝපය සහ    අමනාපයෙනි.

කර්නාටක ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂය නායකත්වය දරන ප්‍රාන්ත ආන්ඩුව, මෝදි ආන්ඩුව මෙන් ම වාම විරෝධය මර්දනය කිරීමට සූදානම් බව නැවත නැවතත් පෙන්නුම් කර තිබේ. පලමු ව සීජේපී විරෝධතා පෙලපාලියක් තහනම් කල එම ආන්ඩුව, අනතුරු ව ඔක්තෝබර් 31 දා  උක් ගොවීන්ගේ විරෝධතාවක් ද තහනම් කලේ ය. දෙ වන අවස්ථාවේ දී, ගොවීන් පූනේ-බැංගලෝර් ජාතික මහාමාර්ගය අවහිර කිරීම වැලැක්වීම සඳහා ප්‍රාන්ත ආන්ඩුව දැවැන්ත පොලිස් බල ඇනියක් යෙදවීය.

බීජේපී ආන්ඩුවට එරෙහි මහජන කෝපය ඉහල යමින් පවතින තත්ත්වය තුල, කොංග්‍රස් පක්ෂයේ කඩමාලු වී ගිය “ප්‍රගතිශීලී” ප්‍රතිරූපය යලි පිරියම් කර ගැනීමේ අවශ්‍යතාව එහි නායකත්වය හොඳින් දනී. ඒ අනුව, නොවැම්බර් 1 දා දිල්ලියේ පැවති “ඡන්දය රැකගමු, රට රැකගමු” යන සටන් පාඨයක් පෙරට දමාගෙන පැවැත් වූ රැලියේ දී “වාම” පක්ෂවලට ප්‍රමුඛ ස්ථානයක් ලබා දීමට එහි නායකත්වය කටයුතු කල අතර, එම පක්ෂ ද ඊට ප්‍රමෝදයෙන් යුතු ව ප්‍රතිචාර දැක්වූහ. ස්ටැලින්වාදී පක්ෂ තුනේ ම නායකයෝ—මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඑම්) එම්.ඒ. බේබි, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) ඩී. රාජා සහ සීපීඅයි (එම්එල්) විමුක්ති පක්ෂයේ මහලේකම් දීපංකර් භට්ටාචාර්ය—සියලු දෙනා ම ගාන්ධි සමඟ එකට වේදිකාවේ පෙනී සිටියහ.

හින්දු දක්ෂිනාංශයේ නැගීම වැලැක්වීමේ නාමයෙන්, ස්ටැලින්වාදීහු දශක ගනනාවක් තිස්සේ පන්ති අරගල මැඬ පවත්වා තිබේ. දරිද්‍ර වැටුප්, පුද්ගලීකරනය සහ කොන්ත්‍රාත් ශ්‍රමය දරුනු ලෙස ව්‍යාප්ත වීමට එරෙහි කම්කරු පන්තියේ දැවැන්ත විරෝධය, හුදකලා සාමූහික කේවල් කිරීමේ අරගලවලට සීමා කර ඇති ඔවුන්, දේශපාලනික ව කම්කරුවන් කොංග්‍රස් පක්ෂයට සහ වෙනත් දක්ෂිනාංශික ධනපති පක්ෂවලට බැඳ තබා ඇත. ධනවාදය විසින් නිර්මානය කර තිබෙන සමාජ කාලකන්නිභාවය අහෝසි කිරීම සඳහා තමන්ගේ ම සමාජවාදී විසඳුමක් සඳහා අරගලයට කම්කරු පන්තිය ඉදිරිපත්වීම වලක්වා තිබෙන තත්ත්වය තුල, බීජේපීය වඩාත් ශක්තිමත් වී තිබේ. ගැඹුරු වෙමින් පවතින ගෝලීය ධනේශ්වර අර්බුදය යටතේ තමන්ට “ලෝකයේ යහපත් තැනක්” තහවුරු කර ගැනීමට මංමුලා සහගත ව වෙර දරන ඉන්දීය ධනපති පන්තියේ ප්‍රමුඛත ම පක්ෂය බවට එය පත් ව ඇත.

දැන් මෝදි පාලන තන්ත්‍රය වැඩෙන මහජන විරෝධයකට මුහුන දී සිටින තත්ත්වය තුල, එම විරෝධය දේශපාලනික ව පීලි පැන්න වීමේ ප්‍රයත්නයන්හි ස්ටැලින්වාදීහු යලිත් පෙරමුන ගෙන සිටිති. එක් අතකින්, ඔවුහු බීජේපීයේ ඡන්ද මර්දනයට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමට සහ වර්ගවාදී උසිගැන්වීම්වලට එරෙහි විරෝධය දක්ෂිනාංශික ඉන්ඩියා සන්ධානයට ගැට ගසති. එ මෙන් ම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අධිකරන හරහා සහ හින්දුත්වවාදය තුල වඩ වඩාත් ගිලී ජරපත් වෙමින් ඇති ඉන්දීය ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ අනෙකුත් ආයතන හරහා ආරක්ෂා කරගත හැකි ය යන මාරක දේශපාලන මිථ්‍යාවන් ද ප්‍රවර්ධනය කරති.

අනෙක් අතට, අත්‍යවශ්‍ය සමාජ-ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් පවතින අරගල ඒකාබද්ධ කර, සමස්ත කම්කරු පන්තික කාර්මික හා දේශපාලන ප්‍රතිප්‍රහාරයක් බවට පත්වීම වැලැක්වීමට ඔවුහු උත්සාහ කරති. සීඅයිටීයූ සහ ඒඅයිටීයූ යන වෘත්තීය සමිති පෙරමුනුවලින් ආරම්භ වන ඔවුන්ගේ විවිධ සමිති ජාල, විශේෂ සංශෝධන වැඩපිලිවෙලට එරෙහි අරගලයට කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට කිසිවක් කර නැත. එ පමනක් නොව, ඡන්ද මර්දන ව්‍යාපාරයට හෝ සිසුන්ට එරෙහි ආන්ඩුවේ ම්ලේච්ඡ මර්දනයට එරෙහි විරෝධතා කැඳවීමට ඔවුන්ට සිදු වුව හොත්, එය සිදු කරනු ඇත්තේ ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය මැදිහත් වීම වැලැක්වීමේත්, එය ඉන්ඩියා සන්ධානයට ගැටගැසීමේත් දෘෂ්ටිකෝනයෙනි.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවයට සහ එහි ස්ටැලින්වාදී පරිහානියට එරෙහි අරගලයට ජීවය සැපයූ නොනවතින විප්ලවයේ ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල මත පදනම් වූ ඉන්දීය කම්කරු පන්තියේ නව විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමයි. ඉන්දීය කම්කරුවන්ගේ සහ වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කල හැක්කේ, කම්කරු පන්තිය ඉන්දීය ධනේශ්වරයේ සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් වෙන් වී, මෝදි ආන්ඩුවට සහ ඉන්දීය ධනවාදයට එරෙහි සටන සඳහා ග්‍රාමීය දුගී ජනතාව තම නායකත්වයෙන් බලමුලු ගන්වා ගැනීමෙන් පමනි. එම සටන සමාජවාදය සඳහා ගෝලීය කම්කරු පන්තිය ගෙන යන ප්‍රහාරයේ අත්‍යවශ්‍ය කොටසක් විය යුතු ය.

Loading