වොෂින්ටන්-කොලඹ සබඳතා ශක්තිමත් වීමත් සමඟ ශ්‍රී ලංකා වරාය ව්‍යාපෘතියෙන් චීනය ඉවත් වේ

[මෙය As Washington-Colombo ties strengthen, China exits Sri Lankan port project 2026 නොවැම්බර් 11 වැනි දා ඉංග්‍රීසි බසින් පල විය.]

චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම, කොලඹ වරායේ ඇමරිකානු ඩොලර් මිලියන 392 ක දකුනු ආසියානු වානිජ හා සැපයුම් මධ්‍යස්ථාන (එස්ඒසීඑල්එච්) ව්‍යාපෘතියෙන් පසුගිය මස ඉවත් විය. කොලඹ වරාය ඇතුලු ව ශ්‍රී ලංකාවේ ඇමරිකානු සහ ඉන්දීය ආයෝජන පුලුල් වීම සහ ශ්‍රී ලංකාව තුල චීන පැවැත්මට ඔවුන්ගේ විරුද්ධත්වය මධ්‍යයේ චීන සමාගම ව්‍යාපෘතියෙන් ඉවත් වීම සිදු විය.

සියයට 70 ක කොටස් හිමිකාරීත්වයක් දැරූ චයිනා මර්චන්ට්ස් සමාගම, “බාහිර තත්ත්වයන්හි වෙනස් වීම්” සහ “පාර්ශ්වයන්ගේ වානිජමය සලකා බැලීම්” හේතු ලෙස දක්වමින් ඔක්තෝබර් 15 වන දින ගිවිසුම අත්හිටුවන බව නිවේදනය කලේ‍ ය. ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොයන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය (ශ්‍රීලවඅ) ඔක්තෝබර් 19 වන දින තහවුරු කලේ ය.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ, කොලඹ වරායෙන් අක්කර 10 ක භූමි ප්‍රමානයක් වෙන් කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් මතු වූ ගැටලු, ව්‍යාපෘතිය කෙරෙහි ආන්ඩුවේ විරුද්ධත්වයට හේතු වූ බවයි. ඔහු මෙසේ වැඩි දුරටත් සඳහන් කලේ ය: “නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කර නොමැති බැවින්, පවතින ගිවිසුම යටතේ අපට ඉදිරියට යාමට නොහැකි විය.”

මෙම ප්‍රකාශය චීන සමාගමට තම ආයෝජනය ඉල්ලා අස්කර ගැනීමට බලපෑම් කිරීම වසන් කිරීමේ උත්සාහයකි. මෙම තීරනය නියෝජනය කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ ප්‍රමුඛ ආන්ඩුව විසින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඉන්දියාව සමඟ ඇති පෙලගැස්ම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත් තවත් පියවරකි. 

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චුං සහ ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ (US International Development Finance Corporation) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේදන් කොලඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්ත භූමියේ සංචාරය කරති. [Photo: US Embassy in Sri Lanka]

එකඟතාවය යටතේ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ව්‍යාපෘති සමාගමට ඩොලර් මිලියන 21.9 ක් ගෙවන අතර තරගකාරී ලංසු තැබීමක් හරහා නව ආයෝජකයෙකු සොයනු ඇත.

බීජිං තන්ත්‍රය විසින් ඇමරිකානු වටලෑමෙන් මිදීමට උත්සාහ කරන චීනයේ බෙල්ට් සහ රෝඩ් මුලපිරීමේ (බීආර්අයි) කොටසක් වන මෙම ව්‍යාපෘතිය, වසර 50 ක ඉදිකිරීම්-ක්‍රියාත්මක කිරීම-පැවරීමේ (BOT) ගිවිසුමකි. මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති (එස්ඩීපී) වැඩසටහන යටතේ ආයතනික ආදායම් සහ ලාභාංශ බදු වලින් වසර 15 ක නිදහස් කිරීම් මෙන් ම, සුවිශේෂී මෙහෙයුම් අයිතිවාසිකම් සහ ව්‍යාපෘතියේ කර්තෘභාග ගාස්තුවලට වඩා අඩු අනුපාත ප්‍රතිවාදී සැපයුම් මෙහෙයුම්කරුවන්ට ලබා දීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වලක්වන වගන්තියක් සහිත ව මෙම ව්‍යාපෘතිය මුලින් සැලසුම් කර තිබුනි.

2023 දී එලිදක්වන ලද මෙම සැපයුම් මධ්‍යස්ථානය, 2022 දී රට විදේශ නය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවේ පලමු ප්‍රධාන විදේශීය ආයෝජනය සනිටුහන් කලේ‍ ය. “2025 අග භාගයේ දී නියමිත පරිදි අවසන් කර තිබුනේ නම් කොලඹ වරායට සැපයුම් මධ්‍යස්ථානයකින් විශාල ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ තිබුනි,” යැයි ‘ද ඩිප්ලොමැට්’ (The Diplomat) ඔක්තෝබර් 27 දින සඳහන් කල අතර, එ මඟින් වරාය හරහා ගමන් කරන භාන්ඩ වලින් ශ්‍රී ලංකාවට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වනු ඇත.

වානිජමය සලකා බැලීම් සම්බන්ධ වුව ද, චීනයේ ඉවත් වීම සාමාන්‍ය ව්‍යාපාරික කාරනයක් නොවී ය. සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කල එක්සත් ජනපද පැසිෆික් හමුදාවේ නියෝජ්‍ය අන දෙන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් “ජේ.බී.” වෝවෙල් ගේ සංචාරයෙන් පසු ව චීන සමාගමේ තීරනය පැමිනීම අහම්බයක් නොවේ.

ඔක්තෝබර් 20 දින ඩේලි මිරර් පුවත්පත සඳහන් කලේ මෙම ඉවත් වීමට “භූ දේශපාලනික බලපෑම” හේතු වී ඇති බව නිරීක්ෂකයන් විශ්වාස කරන බවයි. ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් ශ්‍රී ලංකා’ නම් බුද්ධි මන්ඩලයේ අධ්‍යක්ෂ මායා මජුරන් පුවත්පතට පැවසුවේ: “ඉන්දියාව සහ ඇමරිකාව කොලඹ සැපයුම් යටිතල පහසුකම්වල චීන සහභාගීත්වය නිරන්තරයෙන් ම සැලකිල්ලෙන් යුතු ව බලා ඇති අතර, එය ඉදිරියට ගෙන යාමේ දේශපාලන පිරිවැය ඉහල නංවා ඇත” කියා ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්), 2023 මාර්තු මස ඇපකර ගිවිසුමේ නියමයන් යටතේ, ශ්‍රී ලංකාව එස්ඩීපී බදු සහන වැඩසටහන අහෝසි කල යුතු බව අවධාරනය කලේ‍ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත වොෂින්ටනයේ තීරනාත්මක බලපෑම පිලිබිඹු කරමින්, කොලඹ ආන්ඩුව පසු ව චීන ව්‍යාපෘතියට පොරොන්දු වූ බදු සහන ලබා දීම ප්‍රතික්ෂේප කලේ ය.

මෙය අහම්බයක් නොවේ. කොලඹ වරාය මැදපෙරදිග, අප්‍රිකාව, යුරෝපය සහ නැගෙනහිර ආසියාව සම්බන්ධ කරන ප්‍රධාන නැගෙනහිර-බටහිර නාවික මාර්ගයක පිහිටා ඇති අතර, ඉන්දියාව එහි විශාල ත ම අන්තර් නැව්ගත කිරීමේ වෙලඳපොල වේ. වොෂින්ටනයට සහ නවදිල්ලියට, එ වැනි මධ්‍යස්ථාන මත බලපෑම චීනයට එරෙහි ඔවුන්ගේ මිලිටරි මූලෝපායට අත්‍යවශ්‍ය වේ; බීජීනයට, එක්සත් ජනපද නාවික පීඩනයෙන් එහි බලශක්ති ආනයන සහ වෙලඳාම ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දීය සාගර වරායන් වෙත ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය වේ.

2000 දශකයේ මුල් භාගයේ සිට, විශේෂයෙන් ම දෙමල මහජනතාවට එරෙහි යුද්ධයේ අවසාන අදියරේ දී කොලඹ පාලනය මූල්‍ය ආධාර සහ ආයුධ සඳහා බීජිං වෙත යොමු වීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ චීන ආයෝජන සැලකිය යුතු ලෙස පුලුල් විය.

චීන මූල්‍ය ආධාර ලබන ව්‍යාපෘති අතරට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක චීනය විසින් ක්‍රියාත්මක කරන ලද කොලඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තය, හම්බන්තොට වරාය, කොලඹ වරාය නගර භූමි ගොඩකිරීමේ ව්‍යාපෘතිය, මහාමාර්ග, බලශක්ති යටිතල පහසුකම් සහ අනෙකුත් වරාය පහසුකම් ඇතුලත් වේ. ශ්‍රී ලංකාවේ විශාල ත ම නය බර බටහිර ආධිපත්‍යය දරන මූල්‍ය ආයතන වෙත පැවතුන ද, ඇමරිකානු ඩොලර් බිලියන 1.12 කට හම්බන්තොට වරාය වසර 99 ක කාලයකට බදු දීම චීන “නය උගුලක්” පිලිබඳ බටහිර ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් විය.

ඇමරිකානු අධිරාජ්‍යවාදය චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික ව, ආර්ථික වශයෙන්, මිලිටරිමය වශයෙන් සහ තාක්ෂනික වශයෙන් ගෝලීය ගැටුමක් හඹා යමින් සිටී. එහි අරමුන වන්නේ චීනය හුදකලා කර එයට එරෙහි යුද්ධයක් සඳහා සූදානම් වීමයි. ශ්‍රී ලංකාව මෙම අරගලයේ භූමියක් බවට පත් ව ඇත.

චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ඒකාබද්ධ වී සිටින ඉන්දියාව, ශ්‍රී ලංකාව ද තමන්ගේ ම මූලෝපායික බලපෑමේ ප්‍රදේශයක් ලෙස සලකන අතර, දූපත තුල චීන පහසුකම් කල් පවතින අඩිතාලමක් තබා ගැනීම වැලැක්වීමට දිගු කලක් තිස්සේ උත්සාහ කර ඇත. ඉන්දියාවේ ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන් (Observer Research Foundation) හි ආදිත්‍ය ගෞඩාර ශිවමූර්ති විසින් 2025 නොවැම්බර් 20 දින නිකුත් කරන ලද පත්‍රිකාවක සඳහන් වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 2014 “අසල්වැසියාට මුල්තැන දීමේ ප්‍රතිපත්තිය”, “චීන පැවැත්මට සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට විකල්ප ආයෝජන සහ ආධාර සැපයීම මඟින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම” අරමුනු කරගත් බවයි. ආසියානු වානිජ හා සැපයුම් මධ්‍යස්ථාන (එස්ඒසීඑල්එච්) ව්‍යාපෘතිය ඇතුලු ශ්‍රී ලංකාවේ චීන වරාය ව්‍යාපෘති “ඉන්දීය කනස්සල්ල තීව්‍ර කර ඇති” බව එය සඳහන් කලේ‍ ය.

කොලඹ වරායේ චීන බලපෑම මැඬ පැවැත්වීම සඳහා ඉන්දියාව ඇමරිකාව සමඟ එකතු වී ඇත. ඉන්දියාවේ අදානි සමූහය බටහිර කන්ටේනර් පර්යන්තයේ සියයට 51 ක කොටස් හිමිකාරීත්වයක් දරයි. 2023 දී, ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව පර්යන්තය සඳහා ඩොලර් මිලියන 553 ක නය මුදලක් අනුමත කල නමුත් කිසිදු මුදලක් නොගෙවුනි. ගෞතම් අදානිට එරෙහි ව ඇමරිකානු අල්ලස් චෝදනා එල්ල වීමෙන් පසු, 2024 දෙසැම්බර් මාසයේ දී අදානි සමාගම නය ඉල්ලීම අත් හැර දමා, ව්‍යාපෘතියට තනි ව ම දායක විය.

චයිනා මර්චන්ට්ස් සමාගම තම ඉවත් වීම නිවේදනය කර දිනකට පසු, එනම් ඔක්තෝබර් 16 වන දින, ඇමරිකානු තානාපති එරික් මේයර් වරාය මෙහෙයුම් ඩිජිටල්කරනය කිරීම සඳහා ඩොලර් මිලියන 17 ක ප්‍රදානයක් පොරොන්දු විය. තානාපති කාර්යාලයට අනුව, මෙම ව්‍යාපෘතිය “ඇමරිකානු ව්‍යාපාරවලට සහයෝගය දැක්වීම, ඇමරිකානු සැපයුම් දාම සුරක්ෂිත කිරීම සහ වානිජ අවස්ථා පුලුල් කිරීම” සඳහා උපකාරී වන අතර, ලංසු තැබීම සඳහා ඇමරිකානු තාක්ෂන සමාගම්වලට ආරාධනා කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව බලයට පත්වූයේ වඩාත් “ස්වාධීන” විදේශ ප්‍රතිපත්තියක් පොරොන්දු වෙමිනි. කෙසේ වෙතත්, එය විසින් ජාමුඅ විසින් නියම කරන ලද කප්පාදු වැඩ පිලිවෙල තියුනු ලෙස තීව්‍ර කර ඇති අතර රාජ්‍ය මර්දනය මුදා හැර ඇත. 1960 දශකයේ ජාතිකවාදයෙන් සහ සිංහල ස්වෝත්තමවාදයෙන් පෝෂනය වූ රැඩිකල් සුලු-ධනේශ්වර සංවිධානයක් ලෙස ආරම්භ වූ ජවිපෙ, දැන් ධනපති පක්ෂයක් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්සියක් බවට පරිනාමය වී ඇත.

ශ්‍රී ලංකාවේ මූලෝපායික දිශානතිය නිසැක ව ම වොෂින්ටනය සහ නවදිල්ලිය දෙසට හැරී ඇත. කොලඹ ආන්ඩුව මතභේදාත්මක අත්පත් කර ගැනීමේ සහ අන්‍යෝන්‍ය සේවා සැපයීමේ ගිවිසුම (ඒසීඑස්ඒ) ඉදිරියට ගෙන යන අතර, ශ්‍රී ලංකාව වොෂින්ටනයේ මිලිටරි ජාලයන් සමඟ වඩාත් සමීප ව බැඳ තබන 2025 ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ඉහල පෙලේ ඇමරිකානු හමුදා අන දෙන නිලධාරීන් පිලිගෙන ඇත. මෙම වර්ධනයන් හරහා මෙම දූපත චීනය වටලෑමේ ප්‍රයත්නයේ ඇමරිකානු මූලෝපායික මුරපොලක් බවට පත් කරමින් පවතී.

පෙබරවාරි 28 වන දින ආරම්භ වූ ඉරානයට එරෙහි සාපරාධී ඇමරිකානු ප්‍රමුඛ යුද්ධයෙන් වරාය ආයෝජනය ඉවත් කර ගැනීම වෙන් කල නොහැක. මැදපෙරදිග ආධිපත්‍යය දැරීමේ, චීනයට ඉරාන තෙල් සඳහා ඇති ප්‍රවේශය අවහිර කිරීමේ සහ බීජිංහි මූලෝපායික තත්ත්වය දුර්වල කිරීමේ පුලුල් මූලෝපායක කොටසක් ලෙස වොෂින්ටනය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව තවත් විනාශකාරී ප්‍රහාර සූදානම් කරමින් සිටියි. යුද්ධය අතරතුර ශ්‍රී ලංකාවේ හැසිරීම, අනාථ වූ ඉරාන තෙල් ටැංකි සඳහා මානුෂීය ආධාර සැපයීම මෑතක දී ප්‍රතික්ෂේප කිරීම ඇතුලු ව, තමන් මධ්‍යස්ථ යැයි ආන්ඩුව කරන ප්‍රකාශයේ කුහක ස්වභාවය හෙලි කර ඇත.

ශ්‍රී ලංකාව වොෂින්ටනය සමඟ පෙලගැසීමෙන් ප්‍රතිලාභ ලබන්නේ කවුද? කප්පාදුව, රැකියා විරහිතභාවය, ඉහල යන මිල ගනන් සහ වැඩෙන යුද තර්ජනයට මුහුන දෙන කම්කරුවන් සහ දිලිඳුන් නොවේ. ප්‍රතිලාභීන් වන්නේ ඉන්දීය සාගරයේ පාලනය සඳහා තරඟ කරන ඇමරිකාව සහ එහි සහචරයන් මෙන් ම බටහිර වෙලඳපොලවල් සමඟ සැලකිය යුතු සබඳතා ඇති ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූ පැලැන්තියයි. 2025 දී වෙලඳ භාන්ඩ අපනයනයෙන් සියයට 23 ක් නියෝජනය කරමින්—ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න ප්‍රමානයක් සමඟින්—ඇමරිකාව තව දුරටත් ශ්‍රී ලංකාවේ විශාල ත ම තනි අපනයන වෙලඳපොල ලෙස පවතී.

එම එක ම විකල්පය පවතින්නේ ජවිපෙට සහ අනෙකුත් සියලු ම ධනපති පක්ෂවලට එරෙහි ව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම තුල ය. ලෝකය යුද්ධයකට තල්ලු කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි ව ජාත්‍යන්තර ව කම්කරුවන් එක්සත් කිරීමේ සමාජවාදී සටනට ශ්‍රී ලංකාවේ කම්කරුවන් එක්විය යුතු ය.

Loading