[මෙය “Sri Lanka: Ruling JVP prepares unions to police its IMF austerity program” මැයෙන් 2026 නොවැම්බර් 19 දා ඉංග්‍රීසි බසින් පල විය.]
පාලක ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) වෘත්තීය සමිති මධ්‍යස්ථානය වන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (එන්ටීයූසී), “අපේ ආන්ඩුව—වසර දෙකක්—රටට හොඳයි” සහ “අපි වැඩ කරමු—රට ගොඩනඟමු—වැඩ කරන ජනතාවගේ බලය ආරක්ෂා කරමු” යන සටන් පාඨ යටතේ නොවැම්බර් 7 දා කොලඹ පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ දී සම්මේලනයක් පැවැත්වීය.
ඊට නියෝජිතයන් 5,000ක් පමන සහභාගී වූ අතර, ඔවුන්ගෙන් බහුතරය ජවිපෙ වෘත්තීය සමිති නිලධාරීන් සහ පක්ෂ ක්රියාකාරිකයෝ වූහ. දින පහකට පසු, මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ආන්ඩුවේ තෙ වැනි අයවැය ඉදිරිපත් කලේ ය. අයවැයේ අන්තර්ගත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කරන ලද වියදම් කප්පාදු සහ ව්‍යාපාරික ගැති ප්‍රතිව්‍යුහගත කිරීම්වලට එරෙහි ව කම්කරුවන්ගෙන් මතු වන විරෝධය පාලනය කිරීම සඳහා ජවිපෙ වෘත්තීය සමිති සූදානම් කිරීම මෙම සම්මේලනය කැඳවීමේ අරමුන විය.
ජනාධිපති දිසානායක සහ එන්ටීයූසී සභාපති මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයා ද වන කේ. ඩී. ලාල් කාන්ත ඇතුලු ප්‍රධාන කථිකයෝ, ආන්ඩුවේ “ආර්ථික පරිවර්තනයේ” අවශ්‍යතාවන්ට—එනම්, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට—අනුකූල ව කම්කරුවන් පාලනය කිරීම ජවිපෙ වෘත්තීය සමිතිවල වගකීම බව පැහැදිලි කලහ.
මෙම ආර්ථික පරිවර්තනය සඳහා “ආර්ථිකයේ පැරැනි මලකඩ කඩා දැමීම” සහ “පැරැනි බෙදීම් සහ පැරැනි ආකල්පවලින්” සමාජය නිදහස් කිරීම අවශ්‍ය බව දිසානායක ප්‍රකාශ කලේ ය. “නව පරිවර්තනයට බාධා කරන” “පැරැනි නීති” සංශෝධනය කල යුතු බව ද ඔහු ප්‍රකාශ කලේ ය. කම්කරු අයිතිවාසිකම් සඳහා දැනටමත් සීමිත මට්ටමක පවතින නීතිමය ආරක්ෂාවන් අහෝසි කිරීම මගින්, සේවකයන් අත්තනෝමතික ව බඳවා ගැනීමට සහ සේවයෙන් පහ කිරීමට හැකි ක්‍රමයක් (hire and fire) හඳුන්වා දීමට ආන්ඩුව උත්සාහ කරයි.
ආන්ඩුව නව කම්කරු නීති කෙටුම්පත් කර ඇත්තේ වෘත්තීය සමිති නායකයන් සමඟ සාකච්ඡා කරමින්, ඔවුන්ගේ සාමාජිකයන්ට හොර රහසේ ය. ජවිපෙ/ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව 2026 වසර අවසන් වීමට පෙර මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට සැලසුම් කරයි.
“යන්ත්‍රෝපකරන සහ නවීන දැනුමෙන්” සමන්විත “ශක්තිමත් පෞද්ගලික අංශයක්” බිහි වී ඇති බවත්, ඇතැම් රාජ්‍ය ආයතන “යල් පැන ගොස් ඇති” බවත්, “තව දුරටත් අවශ්‍ය නොවන” බවත් දිසානායක කියා සිටියේ ය.
ආන්ඩුව දැනටමත් රාජ්‍ය ව්‍යවසායන් තොග වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයිඑම්එෆ් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ක්‍රියාත්මක කරමින් සිටී. මෙයට රාජ්‍ය ව්‍යවසායන් 400කට ම පොරොව පහර එල්ල කිරීම ඇතුලත් වේ. ඒවායින් සමහරක් වසා දැමීමටත්, අනෙක් ඒවා පෞද්ගලීකරනය කිරීමට හෝ වානිජකරනය කිරීමටත් නියමිත අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රැකියා ලක්ෂ සංඛ්‍යාත ගනනක් විනාශ වනු ඇත. රාජ්‍ය ව්‍යවසායන් 34ක් වහා ම වසා දැමීමට සැලසුම් කරන බව දිසානායක මෑතක දී ප්‍රකාශ කලේ ය.
නොවැම්බර් 12 අයවැයෙන් ප්‍රකාශයට පත් කල පරිදි, ග්‍රාමීය ප්‍රදේශවල මහා පරිමාන කෘෂි ව්‍යාපාරික සමාගම්වලට ව්‍යාප්ත වීමට ආන්ඩුව ඉඩ දෙන බව ද ජනාධිපතිවරයා ඇඟවුම් කලේ ය. ඒ හා සමාන ව, ධනපතියන්ගේ ප්‍රයෝජනය සඳහා ආර්ථිකයේ “මර්මස්ථාන” වන වරාය සහ ගුවන්තොටුපල පරිවර්තනය කල යුතු බව දිසානායක ඉල්ලා සිටියේ ය.
දැනටමත් සැබෑ වැටුප් පහත වැටීම, දරිද්‍රතාව සහ සාගින්නට මුහුන දී සිටින කම්කරුවන්ට සහ ග්‍රාමීය දුගීන්ට මෙම පියවරවලින් දැඩි බලපෑම් එල්ල වනු ඇත. සම්මේලනයේ දී දිසානායක නියෝජිතයන්ට පැවසුවේ, ඔවුන් “මෙම පරිවර්තනයේ බර උසුලන්නන්” බවත්, “අරමුනට ගැලපෙන පරිදි වෘත්තීය සමිති ව්‍යාපාරය පරිවර්තනය කල යුතු” බවත් ය. වෙනත් වචනවලින් කිවහොත්, කම්කරු පන්තියෙන් මතු වන ඕනෑ ම විරෝධයක් මර්දනය කිරීමට ඔවුන් සූදානම් විය යුතු ය.
නව ප්රජාතන්ත්ර විරෝධී නීති දෙකක් වන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (පීඑස්ටීඒ) සහ සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත් කෙටුම්පත (පීඕසීබී) දිසානායක ආරක්ෂා කලේ ය. මානව හිමිකම් සංවිධානවලින් එල්ල වන සැලකිය යුතු විරෝධය නොතකා, රාජ්‍යය ආරක්ෂා කිරීම සහ සංවිධානාත්මක අපරාධ වැලැක්වීම සඳහා මෙම නීති හඳුන්වා දීම “හදිසි අවශ්‍යතාවක්” බව දිසානායක අවධාරනය කලේ ය. ඇත්ත වශයෙන් ම, මෙම නීති කෙටුම්පත් මගින් පුද්ගලයන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමටත්, කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාමාර්ග මර්දනය කිරීමටත්, මාධ්‍ය වාරනය කිරීමටත්, ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහි නීත්‍යනුකූල උද්ඝෝෂන තහනම් කිරීමටත් හැකියාව ලැබේ.
එන්ටීයූසී සභාපති කේ. ඩී. ලාල් කාන්ත නියෝජිතයන්ට පැවසුවේ, 2024 දී ජවිපෙ/ජාජබ බලයට පත් වීමෙන් නියෝජනය වූයේ “කම්කරු පන්තිය දේශපාලන බලය අත්පත් කර ගැනීම” බවයි. යථාර්ථයේ දී, ජවිපෙ 1960 ගනන්වල අග භාගයේ දී පිහිටුවනු ලැබුවේ, මාඕවාදී-කස්ත්‍රෝවාදී ගරිල්ලා සන්නද්ධවාදය සිංහල ජනතාවාදය සමඟ මුසු කල සුලු ධනේශ්වර රැඩිකල් සංවිධානයක් ලෙස ය. එය පදනම් වූයේ කම්කරු පන්තිය මත නොව, පීඩිත ග්‍රාමීය සිංහල තරුන ස්ථර මත ය. අද එය මහා ව්‍යාපාරිකයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ නියෝග ක්‍රියාත්මක කරන ධනපති පාර්ලිමේන්තු පක්ෂයක් ලෙස විවෘත ව ක්‍රියා කරයි.
ඉන් අනතුරු ව ලාල් කාන්ත ප්‍රකාශ කලේ: “ඒ දේශපාලන බලය අපේ පක්ෂයට පවරා දුන් පසු, දැන් අපි ඒ දේශපාලන බලය ආරක්ෂා කල යුතුයි.” ජවිපෙ ආන්ඩුවට එරෙහි ව කම්කරුවන් වැඩ වර්ජන නොකල යුතු බවට ද ඔහු තර්ක කලේ ය. “වැඩ නතර කර අයිතිවාසිකම් දිනා ගැනීම අවශ්‍ය වන්නේ සතුරා බලයේ සිටින විටයි,” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ ය. “ජනතාවට ද්‍රෝහී වූ” සහ “මහජන ධනය කොල්ල කන” ආන්ඩුවලට එරෙහි ව වැඩ වර්ජන සාධාරන බව ඔහු පැවසී ය. ජවිපෙ බලයේ සිටින බැවින්, “දැන් අපි රට ගොඩනැඟිය යුතුයි. වැඩ නතර කිරීමෙන් නොව, වැඩ කිරීමෙන්” යැයි ඔහු කියා සිටියේ ය.
නොවැම්බර් 10 දා සිලෝන් ටුඩේ වාර්තා කල පරිදි, ආන්ඩුව “අපහසුතාවට පත් කිරීමට” උත්සාහ කරන ලියාපදිංචි නොකල සහ “දේශපාලන අරමුනු සහිත” වෘත්තීය සමිතිවලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අනතුරු අඟවා ඇත. කලක් ප්රමුඛ ජවිපෙ වෘත්තීය සමිති නායකයෙකු වූ සූරියආරච්චි කියා සිටියේ, වලංගු රාජ්‍ය අනුමැතිය නොමැති ව සාමාජික මුදල් එකතු කරන සහ ආයතන සංග්‍රහයේ රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයන් බලධාරීන් විසින් හඳුනා ගෙන ඇති බවයි.
වැඩ වර්ජන මර්දනය කිරීමට ආන්ඩුව දැනටමත් ක්‍රියා කර ඇත. ඛනිජ තෙල්, විදුලිබල, වරාය, දුම්රිය, තැපැල් සේවා සහ සෞඛ්‍ය සේවා යන ක්ෂේත්රවල කාර්මික ක්‍රියාමාර්ග තහනම් කිරීම සඳහා දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි ක්‍රියාත්මක කලේ ය. තැපැල් සේවක වැඩ වර්ජනයක් බිඳ දැමීමට ආන්ඩුව සන්නද්ධ හමුදා යොදා ගත්තේ ය. ජවිපෙ වෘත්තීය සමිති වැඩ වර්ජන තහනම ක්‍රියාත්මක කල අතර, කම්කරුවන්ගේ අරගල කඩාකප්පල් කිරීම සඳහා ආන්ඩුව වෙනත් වෘත්තීය සමිති නායකයන් ද යොදා ගත්තේ ය.
බලයට පත් වීමට පෙර පවා, 2024 මැතිවරන ව්‍යාපාරය අතරතුර වැඩ වර්ජන පිලිබඳ ව කල ඕනෑ ම යෝජනාවක් “නිර්ලජ්ජිත ප්රතිගාමී ක්‍රියාවක්” ලෙස ලාල් කාන්ත හෙලා දැක්කේ ය. වෘත්තීය සමිති ව්‍යාපාරය ආන්ඩුවේ පිලිවෙතට අනුගත නොවන්නේ නම් එය “අපරාධයක්” බව ද ඔහු ප්‍රකාශ කලේ ය. රාජ්‍ය අංශයේ සේවකයන් මිලියනයක් පමන සහභාගී වූ ජූලි 8–9 වැඩ වර්ජනයෙන් දින දෙකකට පසු ව ඔහු මෙම ප්‍රකාශ කලේ ය.
වැඩ වර්ජන මර්දනය කිරීමට ආන්ඩුව දක්වන අධිෂ්ඨානය, ආසියාව, යුරෝපය සහ එක්සත් ජනපදය පුරා කම්කරුවන් සහ ශිෂ්‍යයන් කප්පාදු පිලිවෙත්, යුද්ධය, රැකියා සහ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරවලට එරෙහි ව විරුද්ධත්වය පල කරන තතු තුල, වඩාත් පුලුල් ආඥාදායක පියවර වෙත හැරීමක කොටසකි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවන්නේ, ආන්ඩුවට සහ විපක්ෂයට යන දෙපාර්ශ්වයට ම අනුබද්ධ වෘත්තීය සමිති නිලධාරී තන්ත්රය කම්කරු පන්තියේ ස්වාධීන අරගලයක් අවහිර කරමින් සිටින බවයි. වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රවලින් සහ ධනපති පක්ෂවලින් ස්වාධීන ව, සෑම වැඩපොලක ම සාමාජික මට්ටමේ ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙසත්, ජාත්‍යන්තර සාමාජික මට්ටමේ ක්‍රියාකාරී කමිටු සන්ධානය (IWA-RFC) හරහා ඒවා ජාත්‍යන්තර ව සම්බන්ධ කරන ලෙසත් සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් ව ආන්ඩුවට සහ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි පොදු අරගලයක් තුල කම්කරුවන්, ග්‍රාමීය දුගීන් සහ තරුනයන් එක්සත් කිරීම මෙම කමිටුවල කාර්යය විය යුතු ය.
