ජවිපෙ/ජාජබ ආන්ඩුවේ දෙ වසර පිලිබඳ සසප රැස්වීම ගැන කම්කරුවෝ හා ශිෂ්‍යයෝ සාකච්ඡා කරති

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන හා ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), නොවැම්බර් 10 දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ පලමු වසර දෙකේ පාඩම් සාකච්ඡා කිරීම සඳහා සාර්ථක මහජන රැස්වීමක් පැවැත්වූවේ ය. මෙම රැස්වීමට පක්ෂ සාමාජිකයන්, ආධාරකරුවන්, කම්කරුවන් සහ තරුනයන් 100 දෙනෙක් පමන සහභාගී වූහ.

රැස්වීමට පෙර හා පසුවත් එයට සහභාගීවූවෝ, දේශපාලන තත්වය හා සසප වැඩපිලිවෙල සම්බන්ධයෙන්  සසප/ සසජාතශි සාමාජිකයයන් සමග තියුනු සාකච්ඡාවන්ට එලැඹුනහ. රැස්වීමේ ප්‍රධාන දේශනය සිදු කලේ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර විසිනි.

පහත පල වන්නේ කිහිප දෙනෙකු රැස්වීමෙන් අනතුරු ව එ ලෙස දැක්වූ අදහස් ය.   

කොලඹ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුන ඉන්ජිනේරුවරයෙක්: 

 “යුද්ධයට, කප්පාදුවට එරෙහි ව ලෝකය පුරා ම කම්කරුවෝ, තරුනයෝ නැගිටලා තියෙනවා. නමුත්, ඒ සටන් තවමත් මෙහෙය වන්නේ ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තීය සමිති විසින්. ඒ අය පවතින ආන්ඩුවට බලපෑම් දානවා විතරයි, නැත්නම් වෙනත් ධනපති ආන්ඩුවකට බලයට එන්න මග පාදනවා. කොහොම හරි ධනපති ක්‍රමය ආරක්ෂා කරනවා. ඒ කරුනු ජයසේකර සහෝදරයාගේ ප්‍රධාන වාර්තාවෙන් පැහැදිලි කෙරුවා. එම පැහැදිලි කිරීම තව දුරටත්  පුලුල් කල යුතු යි. ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට (පීඑස්ටීඒ) දක්වන ප්‍රතිචාරය අන්තිම නරුමයි. අලුත් පනත වෙනුවට දැනට තියෙන රුදුරු අනපනත් යුක්ති සහගත කරන එකක් ඔවුන් කරන්නේ. මේ ප්‍රෝඩාව හෙලිදරව් කරන්න ඕන. ජවිපෙ වුනත් ඉස්සර දාපු වාම මුහුන දැන් ඉවරයි. අව්‍යාජ සමාජවාදය සඳහා සසප වැඩපිලිවෙල මේ තත්වය තුල ඉදිරියට ගත යුතුයි කියලා මම හිතනවා”. 

කුමාර, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවෙක්: 

“ ප්‍රධාන කතාවේ දී, මහ සමාගම්වල ලාභ ඉහල ගිය හැටිත්, කම්කරුවෝ මත කප්පාදුව ඉදිරිපත් කරපු හැටිත් සංඛ්‍යාලේඛන සහිත ව ඉදිරිපත් කලා. ඒවා ඇත්ත. මම පසුගිය දවස්වල මෑන්පවර් රැකියාවල යෙදුනා. එක දිගට ම නිදිමරන්න වුනා. රුපියල් 7000 ක බෝඩින් ගාස්තුවයි ඒ වගේ ම ආහාර අනෙකුත් වියදම් දරපුවා ම මට ඉතුරුවක් තිබුනේ ම නෑ. ඒ තරම් බඩුමිල වැඩියි. බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීමේ උද්ඝෝෂනයට එකතු වෙන්න කියලා මම අනෙකුත් කම්කරුවන්ගෙන් ඉල්ලනවා.”

28 හැවිරිදි රොෂාන් අයිටී සමාගමක වැඩ කරන අතර ම  කෙටි චිත්‍රපට නිර්මානය කිරීමේ ද  යෙදී සිටී. මෙම රැස්වීමේ දී තමන් ලබා ගන්නා ලද අත්දැකීම් පැහැදිලි කරමින්, “මට බොහොමයක් සත්‍ය කරුනු දැනගන්න ලැබුනා. මම හුඟාක් හිතා ගෙන හිටියේ දේවලට වඩා වෙනස් දේවල් අහන්නට ලැබුනා” යැයි කීවේ ය. මූලික  වාර්තාවේ දී සඳහන් කල ගෝලීය පරිමාන ව වැඩෙමින් පවතින ශිෂ්‍ය සහ කම්කරු අරගල ගැන  යම් අදහසක් තිබුන බවත් ඒවායේ දේශපාලන පසුබිම සම්බන්ධයෙන් අදහසක් ඇති කර ගැනීමට රැස්වීම උදව්කාරක වූ බවත් ඔහු කීවේ ය.  ධනේශ්වර ක්‍රමය පිලිබඳ ව තමා අසා සිටි දේවල් ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ “හුඟක් වෙලාවට අපි දැක්කේ හා අපිට ඒත්තු ගන්වලා තිබුනේ, ධනේශ්වර ක්‍රමය යහමින් ක්‍රියාත්මක වෙන්නෙ කොහොම ද, මෙ මගින් යම් වාසිදායක දේවල් ලැබෙන්නේ කොහොමද කියල වගේ දේවල්. ඒත් දැන් ධනේශ්වර ක්‍රමයේ පසුබැසීම දැන් එලිපිට පේන්න අරන් තියෙනවා.  මම වැඩ කරන්නෙ අයිටී කොම්පැනියක. අද ඒඅයි තාක්ෂනයක් තියෙනවා. ඒක ඉතා ඉහල වර්ධනයක්. ඒත් ඒක නිසා ම  හුඟාක් දෙනකුට රැකියාවන් අහිමිවෙනවා.”

“කම්කරු පන්තිය දුගී කන්ඩායමක්, මුදල්  අඟහිකකම් ඇති කන්ඩායමක්,” ලෙස සාවද්‍ය ලෙස තමන් සාවද්‍ය මතයක සිටි බවත්, දැන් දැවැන්ත රැකියා කප්පාදුවත් සමග මධ්‍යම පන්තික කොටස් ද වේගයෙන්  කම්කරු පන්තිය කරා ඇද වැටෙමින් තිබෙන ආකාරය අත්දකින බවත් සඳහන් කලේ ය.

වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේග ආන්ඩුව ගැන සඳහන් කරමින් රොෂාන් කීවේ, “තරුනයන් බොහෝ විට කිව්වා අපිට වෙනසක් ඕන කියලා. මෙම රැස්වීමට සහභාගි වුන අරමුන තමයි මොකක්ද මේ වෙනස් වෙනවා කියන එක දැනගැනීමේ අවශ්‍යතාව. රැස්වීමේ ප්‍රධාන කථිකයා පැහැදිලි කල ආකාරයට,  “ සංවර්ධනය කිව්වට මේක සුලු පිරිසකගේ (එනම් මහා ව්‍යාපාරිකයන්) වාසිය සඳහා සිදුවන්නක්. කම්කරුවන් ඇතුලු බහුතරයකට මෙයින් කිසිවක් ලැබෙන්නෙ නෑ, මේක තමයි ධනේශ්වර ක්‍රමය.”   රැස්වීම තුල දී ජෝන් කීල්ස් ඇතුලු මහා ව්‍යාපාරිකයන්ගේ ධනය වැඩීම සම්බන්ධ ව කථිකයන් විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛනවල ඇති වැදගත්කම ගැන පවසමින් තමන් එ මගින් වඩාත් ඒත්තු  ගිය ආකාරයත් සඳහන් කලේ ය. 

“මේ ආන්ඩුවේ සමහර අය (දේශපාලකයෝ) රතු  ධජය පෙන්වමින් සමාජවාදී නැත්නම් කොමියුනිස්ට්වාදී වේශයක් මවා පෑමට උත්සහ  කලා. නමුත් මේ ආන්ඩුව ඇත්තට ම ඇමරිකාවට සහ ඉන්දියාවට පක්ෂපාතියි” යනුවෙන් සඳහන් කරමින් ජවිපෙ/ජාජබ ආන්ඩුව මෙම අධිරාජ්‍යවාදී බලවේගයන්ගේත්  කලාපීය බලවේගවලත්  භූදේශපාලනික පිලිවෙත් වලට යටත් වී ඇති ආකාරය පිලිබඳ ව විස්තර කලේය.  

“ආන්ඩුව විසින් ක්‍රියාත්මක කෙරෙන අයිඑම්එෆ් පාදක කප්පාදු පිලිවෙත් ගත්තා ම මේ ආන්ඩුවේ ප්‍රවේශයයි කලින් ආන්ඩුවල ප්‍රවේශයයි අතර කිසිදු වෙනසක් මම දකින්නේ නැහැ. රැස්වීමේ දී පැහැදිලි කල ආකාරයට  මැතිවරනයට පෙරාතු ව  අයිඑම්එෆ් නය ගිවිසුම නැවත සාකච්ඡා කරන බව කීවත්, ජවිපෙ ආන්ඩුව එක රැයින් ම එම කප්පාදු මුලුමනින් ම ක්‍රියාවට දැමුවා”, රොෂාන් කීවේ ය. 

“මෙම රැස්වීම තුල දී ජාත්‍යන්තර  කම්කරු පන්තියේ අරගල සම්බන්ධයෙන් වගේ ම කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව සම්බන්ධයෙන් අවධාරනය කලා. කලින් ඒ ගැන යම් අදහසක් තිබුනත්, මෙම රැස්වීම තුල දී මට තවත් ඒත්තු ගැනුනා,” යැයි ඔහු සඳහන් කලේ ය. “ප්‍රධාන කතාවේ දී ඇමෙරිකාව වගේ ම යුරෝපයේ රටවල් පුරාවට වැඩෙන අරගල සම්බන්ධයෙන් විස්තර කලා. ඒවාගෙන් පෙන්නුම් කරන්නේ, අපි තනි වෙලා නැහැ කියලා,ලෝකය පුරා ම සටන්  කරන කන්ඩායම් ඉන්නවා කියල, සහයෝගය දෙන කන්ඩායම් හුඟක් ඉන්නවා, අපිට බය වෙන්න කාරනාවක් නැහැ කියන එකයි” යනුවෙන් උද්‍යෝගයෙන් සඳහන් කලේ ය. 

තමන්ගේ කෙටි චිත්‍රපට නිර්මානයකරනය ගැන ද සඳහන් කල රොෂාන් පැවසුවේ, “මගේ නිර්මානවලින් අදහස් ඉදිරිපත් කරද්දී මට පොඩි බයක් තිබුනා. විවිධ  දෘෂ්ටිවාදයන් පවතින නිසා මේවාවලට එරෙහි ව සෘජු ව මගේ අයිතිවාසිකම් උඩ කතා කරන්න මට අපහසුතාවයක් දැනුනා” යනුවෙනි. තමන්ගේ කලා කටයුතු නිර්භය ආකාරයකින් ඉදිරියට ගෙන යාම සඳහා රැස්වීමෙන් ලද ආවේශය සම්බන්ධයෙන් සඳහන් කරමින් තව දුරටත් ඔහු පැවසුවේ “මේ රැස්වීමේ දී මම දැක්කා නොයෙකුත් ස්ථරවල අය ජ්‍යෙෂ්ඨ අය තරුන අය, මට දැන් හිතනවා මට බය වෙන්න ඕන නැහැ කියලා. මට දැන් ෆෝරම්  එකක් තියෙනවා කතා කරන්න පුලුවන්, සාකච්ඡා කරන්න පුලුවන්. මේක තමයි මම උකහා ගත්තු ප්‍රධාන ම  දෙය මෙම රැස්වීම තුලින්” යනුවෙනි. 

සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නිරත තරුනයෙකු වන හබීෂන්:

“මම මෙම රැස්වීමට පැමිනියේ දිග හැරෙමින් පවතින දේශපාලන තත්ත්වය පිලිබඳ ව දැනුවත් වීමටයි. දීර්ඝ කාලයක් පුරා පැවති ප්‍රතිගාමී ආන්ඩුවලට එරෙහි ව මහජනයා තුල පැවැති වෛරය ගසාකමින් තමයි මේ ආන්ඩුව බලයට ආවේ කියන කාරනය රැස්වීමේ දී අවධාරනය කෙරුනා.  දැන්, මෙම ආන්ඩුව පිලිබඳ ව සහ ජනතාව පීඩාවට පත් කිරීම සඳහා ඔවුන් ගෙන යන වැඩපිලිවෙල පිලිබඳ ව රැස්වීමේ දී පැහැදිලි කල දේ මට අවබෝධ වී තිබෙනවා. අප මෙම පනිවුඩය වැඩ කරන ජනයා හා තරුනයන් අතරටත් ගෙන යා යුතුයි. ඒ වගේ ම විශ්වවිද්‍යාල සිසුන් සහ අනෙකුත් තරුනයන් ද දැනුවත් කල යුතුයි.”

ගෝලීය වශයෙන් සිදු වෙමින් පවතින දේ පිලිබඳ ව අදහස් දක්වමින්, මුස්ලිම් දේශපාලනඥයන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමට ට්‍රම්ප් ගෙන ගිය ප්‍රචාරය නොතකා, ඇමරිකාවේ මධ්‍යවාර මැතිවරනයේ දී ඔවුන් ලබාගත් ඡන්ද පිලිබඳ ව ඔහු සිය උද්‍යෝගය පල කලේ ය. “කිසිවෙකු ජාතිය හෝ ආගම පදනම් කරගෙන වෙනස් කොට සැලකීමට ලක් නොකල යුතුයි. මන්ද අප සියලු දෙනා ම මනුෂ්‍යයන්,” යනුවෙන් ඔහු අවධාරනය කලේ ය.

“ඇමරිකානු ආන්ඩු ඇෆ්ගනිස්ථානයේ සහ වෙනත් ප්‍රදේශවල තම වාසි වෙනුවෙන් ත්‍රස්තවාදයට ආයුධ සපයා, ඉන් පසු ව මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසනවා. මම මෙයට විරුද්ධයි,” යනුවෙන් ඔහු පැවසී ය.

“දැන් දිග හැරෙමින් පවතින යුද්ධ මෙහෙයවනු ලබන්නේ මෙම සමාජයේ ඉහල ම වරප්‍රසාදිත ස්ථරය විසිනුයි. මෙම ස්ථරය යුද්ධයෙන් සහ සෑම දෙයකින් ම ලාභ උපයනවා. ඔවුන් ජනතාවගේ මොල සේදීමේ යෙදී සිටිනවා. බොහෝ තරුනයන්ට මෙය අවබෝධ වී නැහැ. SEP සංවිධානයේ දේශපාලන මැදිහත්වීම වැදගත් වන්නේ ඒ නිසයි.”

විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහීෂ වරුෂවිතාන

කොලඹ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහීෂ වරුෂවිතාන:

 රැස්වීමට පෙර සසප සාමාජිකයන් සමඟ පැවැත්වූ සාකච්ඡා කිහිපයකින් අනතුරුව මෙම රැස්වීමට සහභාගි වීමට තීරනය කල බව කථිකාචාර්යවරයා සඳහන් කලේ ය. සසප ඉදිරිපත් කරනු ලබන සමාජවාදී වැඩපිලිවෙල සමඟ තමන් එකඟ වන බව ඔහු පැවසී ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙහි වෘත්තීය සමිති වැඩකටයුතුවල කොටසක් ලෙස පීඑස්ටීඊ පනත අධ්‍යයනය කිරීමට තමන්ට අවස්ථාව ලැබුනු බවත්, එහි මර්දනකාරී ස්වභාවය පිලිබඳ ව, විශේෂයෙන් ම ත්‍රස්තවාදය පිලිබඳ ව එහි අන්තර්ගත පුලුල් හා අත්තනෝමතික අර්ථකථනය හේතුවෙන් වෘත්තීය සමිති කටයුතුවලට එල්ල වන භයානක ප්‍රතිවිපාක පිලිබඳ ව, තමන්ට අවබෝධයක් පැවැති බවත් ඔහු පැවසී ය.

මෙම පනත් කෙටුම්පත්වල ප්‍රධාන ඉලක්කය, කම්කරු පන්තිය බවට ප්‍රධාන දේශනයේ දී ඉදිරිපත් කල විශ්ලේෂනය සමඟ තමන් එකඟ වන බව ද ඔහු පැවසී ය.

සපප ඉදිරිපත් කරන සමාජවාදී විශ්ලේෂනය කම්කරුවන්, තරුනයන් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර පුලුල් ලෙස සාකච්ඡාවට බඳුන් කල යුතු බව අවධාරනය කල කථිකාචාර්යවරයා, සසප සමඟ තව දුරටත් සාකච්ඡා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කලේ ය.

Loading