Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

හැඳින්වීම

1-1 සමාජවාදී සමානතා පක්ෂය ලියොන් ට්‍රොට්ස්කි විසින් 1938 ආරම්භ කරන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය හෙවත් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ය. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් කරන ලද දේශපාලනික සහ න්‍යායික අරගලයන්ගේ අඛන්ඩතාවය අන්තර් ගත කර ගනී. යල්පැන ගිය ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීම සඳහා ද සමාජය සමාජවාදී පදනමක ප‍්‍රතිනිර්මානය කිරීම සඳහා ද ජාත්‍යන්තර ව කම්කරුවන් බලමුලුගන්වා, උගන්වා ඒකාබද්ධ කිරීම සඳහා සටන් වදින එක ම ලෝක දේශපාලන පක්ෂය නම් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි.

1-2 1930 ගනන්වල මහා අවපාතයෙන් මොබ දැවැන්ත ම ආර්ථික බිඳවැටීම වන, 2008 ගෝලීය මූල්‍යමය අර්බුදයෙන් ඇරැඹී ඇත්තේ, ධනවාදයේ පද්ධතිමය අර්බුදයෙහි නව යුගයකි. සෑම රටක ම පාලක පන්තිය උත්සාහ කරන්නේ එක අතකින් තමන්ගේ ජාත්‍යන්තර ප‍්‍රතිමල්ලයන් පරයමින් ද අනෙක් අතට කම්කරු පන්තිය මත නව බර පැටවීමෙන් ද තම තත්ත්වය රැක ගැනීමට ය. මින් පලමුවැන්න, ගෝලීය ආතතීන්, ගැටුම් සහ යුද්ධය කරා ගමන අතිමහත් ලෙස උග‍්‍ර කරන අතර දෙවැන්න එනම් කම්කරු පන්තිය මත බර පැටවීම, පන්ති අරගලය උග‍්‍ර කර විප්ලවවාදී මහා නැගිටීම්වල කාල පරිච්ඡේදයක් ආරම්භ කර ඇත.

1-3 ගෝලීය අර්බුදය සංකේන්ද්‍රිතව පවත්නේ ලෝක ධනවාදයේ හදවත, එනම් ඇමරිකා එක්සත් ජනපදය තුල ය. ඇමරිකානු ධනවාදයේ උග්‍ර දිරාපත්වීම ද ආසියාවේ නව බලවතුන්ගේ, විශේෂයෙන් ම චීනයේ පැන නැගීම ද අන්තර් අධිරාජ්‍ය ප‍්‍රතිමල්ලතා මහත් සේ තියුනු කර ඇත. ඇමරිකා එක්සත් ජනපදය මිලිටරි බලය පාවිච්චි කොට තම ආර්ථික පිරිහීම කල් දමා ගැනීමට කරන ඉවබව නැති ප‍්‍රයත්න දැනට ම යුද්ධ මාලාවක් නිර්මානය කොට තිබේ. බල ශක්ති සම්පත් සම්පන්න මැද පෙරදිග සහ මධ්‍යම ආසියානු කලාප ඇමරිකානු ග‍්‍රහනයට ගැනීම ඉලක්ක කර ගත් ඇෆ්ඝනිස්ථාන සහ ඉරාක ආක‍්‍රමන මීට ඇතුලත් ය. මෙම ඝට්ටන ලාභ ගරන ආර්ථික පද්ධතියේ නිෂ්පාදනයේ භූගෝලීයකරනය විසින් මෙය නව උග‍්‍ර මට්ටමකට තීව‍්‍ර කර ඇති අතිමූලික ප්‍රතිඝතිතා දෙකින් එකක් එනම් ලෝක ආර්ථිකය ද යල් පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර පරස්පරවිරෝධය ප‍්‍රකාශ කරති.

1-4 ගත වූ දශක දෙක පුරා චීනයේ ද ඊට වඩා අඩු ප‍්‍රමානයකට ඉන්දියාවේ ද නැගීම ලෝක දේශපාලනයේ ගුරුත්ව කේන්ද්‍රය ආසියාව දෙසට දැවැන්තව මාරු කර ඇත. 1990 දී ලෝකයේ දස වැනි විශාල ආර්ථිකය ලෙස පැවති චීනය 2010 දී ජපානය පරයමින් ඇමරිකා එක්සත් ජනපදය ලඟට විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත. වේගයෙන් වර්ධනය වන සිය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දැවැන්ත ප‍්‍රමානයන්, විශේෂයෙන් ම තෙල් සහ ගෑස්, මැද පෙරදිගින් සහ අප‍්‍රිකාවෙන් ආනයනය කිරීමට චීනයට සිදුව තිබේ. සිය නැව් මාර්ග රැක ගැනීම සඳහා චීනය මහසයුරු නාවික හමුදාවක් ගොඩනගා, ඉන්දියන් සාගරය තුල ජපානය ද ඉන්දියාව ද ඒ සියල්ලටමත් වඩා ඇමරිකා එක්සත් ජනපදය ද සමග තරගයට එලඹ සිටී. මහා විනාශකාරී ලෝක ඝට්ටනයක් කරා වේගයෙන් ලුහුටායමින් සිටින මහ බලවතුන්ගේ ගැටුම් තුලට ශ‍්‍රී ලංකාව ද ඇතුලු ආසියාකරයේ සෑම කොනක් ම, උකහා ගනු ලබමින් පවති. අත්ලන්තික් සහ පැසිෆික් සාගරයන්හි සිදු වූ පසු ගිය ලෝක මහා යුද්ධ දෙක මෙන් නොව දැන් ඇතිවන්නට යන මහා ඝට්ටනය කේන්ද්‍රිත වන්නට යන්නේ ඉන්දියානු සාගරය තුල ය.

1-5 ආසියාව අන්තර් අධිරාජ්‍ය ඝට්ටනයන්හි පමනක් නො ව සමාජ විප්ලවයේ ද යෝධ කරලියක් වීම අනිවාර්ය ය. මේ රටවල ආර්ථික ප‍්‍රසාරනය කම්කරු පන්තියේ මහා නව බලකා නිර්මානය කර තිබේ. චීනයේ පමනක් නාගරික ශ‍්‍රම බලකාය මිලියන 400 කි. එපමනක් නො ව සෑම රටක ම දුප්පත් පොහොසත් ජනයා අතර සමාජ අගාධය ඉමහත් ලෙස පලල්ව පවතී. බිලියන පතියන් සංඛ්‍යාව අතින් චීනය ලෝකයේ දෙවන තැනට පත්ව තිබෙන නමුත් දරිද්‍රතා කඩ ඉමෙන් පහත ජීවත් වන එරට ජන සංඛ්‍යාව අඩු ගනනේ මිලියන 250කි. ලෝකයේ දිලිඳු බව අතිමහත් ලෙස සංකේන්ද්‍රනය වී පවත්නා ඉන්දියාවේ ද අසික්කිත ලෙස මහා ධන සම්පත් රැස් කර ගැනීම සිදු වෙමින් පවතී. ධනපති ක‍්‍රමය මත පදනම්ව නම් මේ සමාජ ප්‍රතිඝතිතා කිසිසේත් විසඳිය නො හැකි ය. 2008 න් මොබ ආන්ඩු විසින් අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීම නිසා ජීවන තත්වයන්ගේ පිරිහීම උග‍්‍රවීම යුරෝපයේ ද දැන් ටියුනීසියාවේ ඊජිප්තුවේ සහ මැද පෙරදිග ද මිලියන ගනන් ජනයා අරගලයන්ට බස්සා ඇත. ඉන් ආසියාවේ ද ජාත්‍යන්තරව ද කම්කරුවන් යහපත් ජීවන තත්වයන් සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා ද යුදවාදයට සහ යුද්ධයට එරෙහිව ද සටන් කිරීමට මෙහෙය වෙනු ඇත. බංකොලොත් ලාභ ගරන පද්ධතිය අහෝසි කොට යල් පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය පෙරලා දමා ලෝක පරිමානයෙන් සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් පිහිටුවීමට ලෝක කම්කරු පන්තිය විසින් කරනු ලබන ගෝලීය මහා ප‍්‍රති ප‍්‍රහාරයකට මෙම අරගලයන් සියල්ල ඒකාග‍්‍ර කල යුතුව ඇත.

1-6 කෙසේ වෙතත් 20 වැනි ශතවර්ෂයේ කටුක පාඩම වන්නේ, කම්කරු පන්තියට ස්වයං සිද්ධව බලය ගත නො හැකි බව ය. මේ සඳහා කම්කරු පන්තියේ තීරනාත්මක සමස්ත ඓතිහාසික අත්දැකීම් උකහා ගෙන ඒ මත පදනම් වූ විප්ලවවාදී නායකත්වයන් ගොඩනැගිය යුතුව ඇත. ට්‍රොට්ස්කිවාදය විසින් ස්ටැලින්වාදයට සහ වෙනත් සකල ආකාර අවස්ථාවාදයන්ට එරෙහිව කරන ලද දිග්ගැසුනු අරගලය තුලින් උකහා ගන්නා ලද පාඩම් සමන්විත දේහය වන්නේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ය. මෙම උරුමය, ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය සම්මත කර ගත් ‘සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම්’ නමැති ලියවිල්ලේ සාරාංශ ගතව ඇත. එය ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ද දේශපාලන වැඩ කටයුතුවල පදනම වන්නේ ය.