Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

ලංකාවේ නිල නිදහස

10-1 ලංකාවට ස්වයං පාලනය ප‍්‍රදානය කිරීමට බ්‍රිතාන්‍ය තීන්දු කලේ ලංකා ජාතික සංගමය (ලජාස) ගෙනගිය ව්‍යායාමයක ප‍්‍රතිඵලයක් ලෙස නො වේ. ඉන්දියානු සාගරය තුල මෙම දිවයිනට පැවති කේන්ද්‍රීය මූලෝපායික තත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස එය අග්නිදිග ආසියාවේ මිත‍්‍ර පාක්ෂික යුද්ධ ප‍්‍රයත්නයේ අනදෙන මූලස්ථානය බවට පත් විය. අමාත්‍ය මන්ඩලයේ ප‍්‍රධානියා වූ ඩී.එස්. සේනානායක පශ්චාත් යුදකාලීන ස්වයං-පාලනය සඳහා රහසිතගතව කේවල් කිරීමට මෙම තත්වය යොදා ගත්තේය. සේනානායක සහ ඔහුගේ සගයෝ ඩොමීනියන් තත්වයට වඩා වැඩි දෙයක් කිසිසේත්ම අපේක්ෂා නොකලහ. ඒ වනාහී දිවයිනේ සමස්ත විදේශීය සහ ආරක්ෂක පිලිවෙත් ලන්ඩනය විසින් තීන්දු කරන, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කනිෂ්ට හවුල්කාරකමකි. මෙම සාකච්ඡාාවල දී සේනානායකගේ ප‍්‍රධාන අරමුන වූයේ ඇති කෙරෙන ඕනෑම සමථයක දී දිවයින තුල සිංහල ප‍්‍රභූවේ දේශපාලන ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම ය. බ්‍රිතාන්‍යය ලංකාවේ විදේශ පිලිවෙත පාලනය කිරීම ගැන ඔහු විරුද්ධ නො වීය. එහෙත් දිවයිනේ දෙමල කතා කරන වතු කම්කරුවන්ගේ අයිතිය පිලිබඳ ව ඉන්දියාව සමග කෙරෙන සාකච්ඡාා ශ‍්‍රී ලංකාව අත තබා ගත යුතු යයි ඔහු කියා සිටියේ ය. 1944 දී නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා බ්‍රිතාන්‍යය පිහිටු වූ සෝල්බරි කොමිසමේ සාමාජිකයින්, දෙමල හා මුස්ලිම් නියෝජිතයින් සමග ද සාකච්ඡාා පැවැත්වීම ගැන සේනානායක විරුද්ධ විය. සෝල්බරි කොමිසම සීමිත ස්වයං පාලනයක් යෝජනා කොට ඩොමීනියන් තත්වය පවා ප‍්‍රමාද කල අවස්ථාවේදී වුවත් සේනානායක සහ ලජාස නායකයෝ, 1945 සැප්තැම්බරයේ දී කොමිසමේ නිර්දේශ පිලිගනිමින් ඊට පක්ෂ ව ඡන්දය දුන්හ.

10-2 ලංකාවේ බීඑල්පීඅයි නායකයන් සිරගෙන් එලියට ආවේ, යුද්ධයට විරුද්ධ වූ ද ජාතික ස්වාධීනත්වය සඳහා සටන් වැදුනා වූ ද එක ම නායකත්වය හැටියට සැලකිය යුතු කීර්තියකින් යුතුව ය. එසේ වුව ද යුද සමයේ දී පිලිප් ගුනවර්ධන සහ එන්.එම්. පෙරේරා ඉදිරිපත් කල අවස්ථාවාදී යොමුව, යුද්ධයෙන් පසු ඉක්මනින් ඉස්මත්තට එමින් පක්ෂයේ විවෘත භේදයක් ඇති කලේ ය. ගුනවර්ධන සහ පෙරේරා ශ‍්‍රී ලංකාවේ බීඑල්පීඅයි ප‍්‍රාදේශීය කමිටුව පිලිගැනීම ප‍්‍රතික්ෂේප කොට, තමන්ගේ ම පක්ෂ යක් පිහිටුවා ගෙන ලංකා සමසමාජ පක්ෂය යන යුද්ධයට පෙර නාමය පාවිච්චි කිරීමට පටන් ගත්හ. 1941 දී ලංකාව සඳහා බීඑල්පීඅයි විසින් සම්මත කරන ලද ක්‍රියාමාර්ගය කරා ආපසු ගිය ලසසප ය, 1942 බීඑල්පීඅයි පිහිටුවීමෙන් පසු ව සම්මත කරන ලද සියලූ ලියවිලි හා තීන්දු ප‍්‍රතික්ෂේප කලේ ය. ගුනවර්ධන සහ පෙරේරා ලංකා සමසමාජ පක්ෂයේ දොර, කලින් හිටපු සාමාජිකයින්ට ද භ‍්‍රෂ්ටයින්ට ද විවෘත කොට, විවිධ ධනේශ්වර සංවිධාන සමග සන්ධාන ඇති කර ගත්තේය අතර අලුත් පක්ෂය, තමන් “හතර වන ජාත්‍යන්තරය සඳහා” යයි නම්කර ගෙන එහෙත් හතර වන ජාත්‍යන්තරයට බැඳීමට උත්සාහ නො කලේ ය. මෙම ජාතිකවාදී යොමුව, ට්‍රොට්ස්කිවාදයෙන් අතිමූලික බිඳීමක් වූ අතර යුද්ධයට පෙර තිබූ සමසමාජ රැඩිකල්වාදය කරා ආපසු යාමක් විය. “ඉන්දියාවේ බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය” කට්ටිවාදී ගමනාන්තයක. නමැති 1947 ප‍්‍රකාශයක් මගින් ගුනවර්ධන, බීඑල්පීඅයි ව්‍යාපෘතිය සහ ට්‍රොට්ස්කිවාදය හුදෙක් අසාර්ථක වූ රොමෑන්ටිකවාදී වික‍්‍රමයක් ලෙස පමනක් සලකන බව පැහැදිලි කලේ ය.

10-3 ඉන්දියාවේ සිටි බීඑල්පීඅයි මධ්‍යම කාරක සභාව ගුනවර්ධන සහ පෙරේරා පක්ෂයෙන් පන්නා දමමින් සම්මත කල යෝජනාව මෙසේ ප‍්‍රකාශ කලේ ය: “මෙම භේදය අහඹු ප‍්‍රපංචයක් නො වේ. එය වනාහි සුලු ධනේශ්වර බලවේගයන්ගේ පීඩනය යටතේ වැඩී ආ කම්කරු නො වන ප‍්‍රවනතාවයක ප‍්‍රකාශනය යි.... අද මතභේදයන් පැහැදිලි ව දැකගත හැක්කේ සංවිධානමය තලයේ වන නමුත් දේශපාලන තලයේ ද වැඩී එනු ඇත.” 1946 දී ඇති කරන ලද තාවකාලික යලි එක්සත් කිරීමක් ඉක්මනින් බිඳවැටුනු අතර එය දේශපාලන මතභේදයන්ගේ අතිමූලික ස්වභාවය අවධාරනය කලේ ය.

10-4 බීඑල්පීඅයි (ලංකා ශාඛාව) සහ ලසසපය, යුද්ධයෙන් පසු පැනනැගි සටන්කාමී වර්ජන ව්‍යාපාරවල මූලික භූමිකාව ඉටු කලේ, වෘත්තීය සමිති යාන්ත‍්‍රනයක් ගොඩ නැගීමට යුද කාලීන වැඩවර්ජන තුල හොරිකඩකම්වලින් තත්වය හදාගෙන තිබූ කොමියුනිස්ට් පක්ෂයේ බලපෑම ඛාදනය කරමිනි. 1946 අගෝස්තුවේ දී බැංකු සේවක ලිපිකරුවන්ගේ වැඩ වර්ජනයක් සමග පුපුරා ගිය මහා වැඩවර්ජනය ඉක්බිති දෙමස තුල වෙනත් කම්කරු කොටස්වලට පැතිරී යමින් යම් ආර්ථික ඉල්ලීම් ගනනාවක් දීමට බ්‍රිතාන්‍ය ආන්ඩුකාරයාට සිදු කලේය. වර්ජකයෝ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස යන දේශපාලන ඉල්ලීම ද ඉදිරිපත් කලහ. කම්කරු පන්තියට කුමන හෝ සහනයක් දීමට විරුද්ධ වූ ලජාස ඇමතිවරු, ඉල්ලීම් දීමේ පොරොන්දු බිඳිමින්, 1947 මැයි-ජූනි දෙවන වර්ජනයක් ඇති කිරීමට හේතුවන සේ ක්‍රියා කලහ. එම වර්ජනය ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කොට ආන්ඩුවේ සහ පුද්ගලික අංශයේ කම්කරුවෝ දහස් ගනනක් දඬුවම්වලට භාජනය කරන ලද හ. රැකියාවලින් දොට්ට දමන ලදහ. වැඩ වර්ජනය අවසාන දිනවල පොලීසියට විශාල බලයක් දෙමින් ආන්ඩුව හදිසියේ ම මහජනාරක්ෂක පනතක් සම්මත කර ගත්තේ ය.

10-5 1947 ජූනි වැඩ වර්ජනය ඉක්බිත්තේ බ්‍රිතාන්‍ය ආන්ඩුව, ඉන්දියාවට හා බුරුමයට මෙන් ම ලංකාවට ද පූර්න ඩොමීනියන් තත්වයක් පිරිනමන බව ප‍්‍රකාශ කලේ ය. එක් ඉතිහාසඥයෙක් ප‍්‍රකාශ කල පරිදි, “සේනානායක සහ ලජාස මධ්‍යස්ථ මතධාරියෝ, අනෙකුත් විවේචකයන් පමනක් නොව, වාමාංශික බලවේගයන්ගේ ද උග‍්‍ර වන පීඩනයකට මුහුන දෙමින් සිටින බව වයිට් හෝල්හි පැහැදිලි වැටහීම විය. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන පන නල සහතික කිරීමට නම් ලංකාවට ඩොමීනියන් තත්වයක් වහාම ලබා දීම දැන් හදිසි අවශ්‍යතාවයක් බවට පත් විය.” [19] 1947 අගභාගයේ දී එලඹුනු පාර්ලිමේන්තු මැතිවරනයේ දී, ලංකා ජාතික සංගමය සහ වෙනත් ධනේශ්වර සංවිධාන එකතු කොට සේනානායක විසින් අලුතින් පිහිටු වූ එක්සත් ජාතික පක්ෂය (එජාප) ආසන වැඩි සංඛ්‍යාවක් දිනා ගෙන හවුල් ආන්ඩුවක් පිහිටුවූයේ ය. ලසසප සහ බීඑල්පීඅයි දෙපක්ෂය ම සැලකිය යුතු ආසන ගනනක් දිනා ගති.

10-6 සිංහල ධනේශ්වරය කෙරෙහි ලසසපයේ අවස්ථාවාදී අනුගතවීම ඉක්මනින් ම පැහැදිලි විය. එය එජාප නායකත්වය ලද පාර්ලිමේන්තු සන්ධානයේ ප‍්‍රධාන නායකයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක මුල් කොට ගත් පාර්ලිමේන්තු හවුල් ආන්ඩුවක් ගොඩනැගීමට උපාමාරු දැමුවේ ය. බන්ඩාරනායක 1919 දී සිංහල බහුතරය පැහැදිලි වර්ගවාදී, ආගම්වාදී පදනමක එක්සත් කිරීම අරමුනු කොට ගත් සිංහල මහා සභාව පිහිටුවා එහි නායකයා වී තිබුනි. 1939 දී කොල්වින් ආර්. ද සිල්වා, සිංහල මහා සභාව “දුඹුරු ෆැසිස්ට්වාදයේ දේශීය ශාඛාවක්” ගොඩනැගීමේ විභවය අන්තර්ගත කර ගත් “භයානක ප‍්‍රතිගාමී සංවිධානයක්” යයි අනතුරු හැඟැවීය. [20] බන්ඩාරනායක යටතේ ආන්ඩු හවුලකට සහාය දීමට ලසසප ය ගත් ප‍්‍රයත්නය, සිංහල ජනතාවාදය ප‍්‍රගතිශීලි විකල්පයක් ලෙස හුවා දැක්වීම සඳහා වූ භයානක ප‍්‍රවනතාවයක ප‍්‍රථම පියවර විය. ඉහත සඳහන් ප‍්‍රතිගාමී ප‍්‍රයත්නයට සහාය දීම බීඑල්පීඅයි විසින් ප‍්‍රතික්ෂේප කරන ලද තතු තුල ලසසපයේ උපාමාරු බිඳ වැටුනි.

10-7 බීඑල්පීඅයි සහ ලසසපය අතර පන්ති යොමුවේ අතිමූලික වෙනස්කම් වඩාත් තියුනු ආකාරයකට ඉස්මතු වූයේ 1948 පෙබරවාරි 4 දා බ්‍රිතාන්‍යයන් දුන් “නිදහස” පිලිබඳ ප‍්‍රශ්නය උඩ ය. එදින නිකුත් කරන ලද “නිදහස සැබෑ ද බොරු ද” නමැති ප‍්‍රකාශනයෙන් මෙම ඊනියා නිදහස් උත්සවවල, ලංකා ජනතාවට සන්තෝෂ විය හැකි කිසිවක් නොමැති බව කොල්වින් ආර්. ද සිල්වා ප‍්‍රකාශ කලේ ය.”ඔවුන් ලබා ගෙන තිබෙන නව තත්වය “නිදහස” නොව සැබවින්ම නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ලංකාව බැඳ ඇති දම්වැල් අලුතින් වාත්තු කිරීමකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ එම පාලන විධිය දිගින් දිගට ම පවත්වාගෙන යාමකි.... ලංකාවේ “තත්වයේ වෙනසක් නැතැයි” තර්ක කරනවා ඇත්තේ මෝඩයන් පමනි. මෙහි වෙනසක් තිබේ. එහෙත් මෙම වෙනසේ සාරය පවතින්නේ, ශ්‍රී ලංකාව යටත් විජිත තත්වයේ සිට ස්වාධීනතා තත්වය කරා කුමන හෝ මාරුවීමක් තුල නො වේ. ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය සෘජු ක‍්‍රමවල සිට වක‍්‍ර ක‍්‍රම කරා මාරුවීම තුල ය.” [21] - බීඑල්පීඅයි පාර්ලිමේන්තුව තුල ආන්ඩුවේ යෝජනාවලට විරුද්ධ ව ඡන්දය දුන්නා පමනක් නො වේ. නිල උත්සවවලට එරෙහි ව කොලඹ නගර මධ්‍යයේ ගාලු-මුවදොර පිටියේ පනස් දහසක මහා ජනතා රැලියක් ද සංවිධානය කලේ ය. බීඑල්පීඅයි පාර්ලිමේන්තු විවාදයේ දී ව්‍යාජ නිදහසට එරෙහිව ඡන්දය පාවිච්චි කලේ ය. පනත සීමාසහිත වුවත් ඉදිරි පියවරක් යයි ප‍්‍රකාශ කල ලසසප ය ඡන්දය වර්ජනය කලේ ය. බීඑල්පීඅයි රැලිය, “පිලිසඳර ශාලා බොල්ශෙවිකයන්ගේ” “ප‍්‍රදර්ශනවාදය, අතිවාමවාදය සහ අතිධාවනකාරීත්වය” යයි ප‍්‍රසිද්ධියේ හෙලා දුටු ලසසප නායකයෝ, මෙම රැලියට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කලෝ ය.

10-8 එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ ප‍්‍රථම පියවරක් ඊනියා “නිදහසේ” ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය තුලින් හොඳින් ම පැහැදිලි විය: එය වනාහි දෙමල කතා කරන වතු කම්කරුවන්ගෙන් අති මහත් බහුතරය ට පුරවැසියන් ලෙස සිය මූලික අයිතිවාසිකම් නැති කල පනත් සම්මත කිරීමට ගත් තීන්දුවයි. බීඑල්පීඅයි මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පනතට සාකල්‍යයෙන් ම විරුද්ධ විය. 1948 අගෝස්තු මාසයේ කොල්වින් ආර්. ද සිල්වා කල කතාවක දී “රාජ්‍යය ජාතිය සමග ද ජාතිය වර්ගය සමග ද සමසීමිත විය යුතු ය” යන උපකල්පනය “යල් පිනූ අදහසක් හා බිඳවැටුනු දර්ශනයක්” යයි ප‍්‍රකාශ කලේය. ඔහු මෙසේ ද කීය: “ජාතිය වර්ගය සමග සමසීමිත කොට රාජ්‍යය ගොඩනැගීමේ දී ජනවර්ගය තීරනාත්මක සාධකය කරන ලද්දේ ද නිශ්චිතව ම ෆැසිස්ට්වාදය යටතේ ය... මෙම ආන්ඩුව මෙම ප‍්‍රශ්නයට ප‍්‍රවිෂ්ට වන්නේ ධනපති පන්තියේ දෘෂ්ටිකෝනයෙන් නම් අප පක්ෂය - හතර වන ජාත්‍යන්තරයේ අප - මෙම ප‍්‍රශ්නයට ප‍්‍රවිෂ්ට වන්නේ නිර්ධන පන්තියේ, එනම් කම්කරු පන්තියේ දෘෂ්ටිකෝනයෙනි. එහි තේරුම නම් මෙම ප‍්‍රශ්නයට පන්ති දෘෂ්ටිකෝනයකින්, වාර්ගික ප‍්‍රශ්නවලින් ස්වාධීන හා වාර්ගික ප‍්‍රශ්නවලට ඉහලින් පිහිටි දෘෂ්ටිකෝනයකින් අප පිවිසෙන බවයි. මේ රටේ වැඩ කරන ජනතාව අතර එක් මිනිසෙකු සහ අනෙක් මිනිසෙකු අතර වෙනසක් ඔවුන්ගේ වාර්ගික උපත මත පදනම්ව තහවුරු කිරීමට අප සූදානම් නැත. අප කියන්නේ කම්කරුවෙක් නම් ප‍්‍රථමයෙන් සහ ප‍්‍රමුඛව කම්කරුවෙක් ය කියා ය.” අර්ථභාරීව සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය විසින් (ද්‍රසං) නියෝජනය කරනු ලැබූ දිවයිනේ උතුරේ සහ නැගෙනහිර දෙමල ප‍්‍රභූව, දෙමල කතා කරන සංක‍්‍රමනික කම්කරුවන්ගේ අයිතීන්ට විරුද්ධව තමන්ගේ පන්ති සම්බන්ධතාවය පෙන්නුම් කලේ මෙම පනතට පක්ෂව ඡන්දය දීමෙනි. ද්‍රවිඩ සංගමයේ සුලුතරයක් මෙම පනතට විරුද්ධව කැඩී ෆෙඩරල් පක්ෂය සෑදීය.

10-9 පශ්චාත් යුදකාලීන ස්වාධීනතා සමථයන්ගේ ස්වභාවය පිලිබඳව බීඑල්පීඅයි විසින් කරන ලද, ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය මත පදනම් වූ, දූරදර්ශී විශ්ලේෂනය කාලයාගේ පරීක්ෂනය තුල සනාථව ඇත. ඇමරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය වෙනුවට ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතා බවට පත් විය. මේ අතර සෝවියට් සංගමයේ ද නැගෙනහිර යුරෝපයේ ද චීනයේ ද ස්ටැලින්වාදී තන්ත‍්‍රයන්ගේ පැවැත්ම අලුතින් “නිදහස ලත්” ආසියාවේ සහ අප‍්‍රිකාවේ ධනේශ්වර පාලන තන්ත‍්‍රයන්ට යම් ප‍්‍රමානයකට උපාමාරු දැමීමට ඉඩ සැලසුවේ වුව ද ඒවා එක්සත් ජනපදය විසින් පිහිටුවන ලද පශ්චාත් යුදකාලීන ආර්ථික රාමුවට ද අධිරාජ්‍යවාදයට ද යටත්ව පැවතිනි. නේරු, ඉන්දුනීසියාවේ සුකර්නෝ, ඊජිප්තුවේ නසර් සහ ටැන්සානියාවේ නියරේරේ ට “අධිරාජ්‍ය විරෝධීන්” හෝ “සමාජවාදීන්” ලෙස පෙනී සිටීමට හැකි වීම රැඳී පැවතුනේ ප‍්‍රථමයෙන් ම සෝවියට් සහ චීන ස්ටැලින්වාදීන්ගෙන් ලද අවිවේචනාත්මක සහාය සහ දෙවනුව ආනයන සීමා කිරීම්, සීමිත ජනසතු කිරීම් සහ ආර්ථික සැලසුම්කරනයේ ජාතික ආර්ථික පරිපාලන පිලිවෙත් උපයෝගී කර ගනිමිනි. ඊනියා ස්වාධීනත්වයේ රැවටිලි සහගත ස්වභාවය පශ්චාත් යුදකාලීන උත්පාතය බිඳ වැටීම ද බ්‍රිට්න්වුඩ්ස් පද්ධතිය බිඳ වැටීම ද ඒ සමග ජාතික ආර්ථික පිලිවෙත්වල පදනම බිඳ වැටීම ද තුලින් පැහැදිලිව ඉස්මත්තට ආවේ ය. ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ මෙන් රටින් රට සෑම ජාතික ධනේශ්වර පන්තියක් ම මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ඉටු කිරීමට අසමත් බැව් සනාථ කර තිබේ. ජනවාර්ගික, භාෂාමය සහ සංස්කෘතික සබඳතා හරහා කපා ගෙන හිටපු යටත් විජිත පාලකයින් පිහිටුවන ලද මෙම රාජ්‍යයන්හි දේශසීමා නොවෙනස්ව පවතින අතර, නව රාජ්‍ය වනාහී කලින් පැවතුනු ඒවා ම ය. යටත් විජිත පාලකයින් ගේ ආර්ථික අවශ්‍යතාවන්හි සුරක්ෂිත පැවැත්ම සහතික කර ගැනීම සඳහ මෙම නව රාජ්‍යයන්හි පාලක කල්ලි කිසිදු වෙනසකින් තොරව පදනම් වී ගත්තේ, සෙසු ජනවර්ගික, ගෝත‍්‍රික හෝ ආගමික කන්ඩායම්වල වියදමෙන් එක් ජනවාර්ගික, ගෝත්‍රික හෝ ආගමික කන්ඩායමක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආධිපත්‍යය මත ය.


[19]

කේ.එම්. ද සිල්වා, A History of Sri Lanka (ශ්‍රී ලංකාවේ ඉතිහාසයක්), දිල්ලිය‍: ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස් , 1981, 460 පිටුව.

[20]

Britain, World War 2 and the Samasamjists", (බ්‍රිතාන්‍යය, දෙවන ලෝක යුද්ධය සහ සම සමාජවාදියෝ), (කොලඹ: යංග් සෝෂලිස්ට් ප‍්‍රකාශන,1996), 63පි.

[21]

Blows Against the Empire: Trotskyism in Ceylon the Lanka Sama Samaja Party, 1935-1964, (අධිරාජ්‍යයට එරෙහි ප‍්‍රහාරය: ලංකා සමසමාජ පක්ෂය, ලංකාව තුල ට්‍රොට්ස්කිවාදය 1935-1964 (ලන්ඩන්: පොර්කුපයින් ප්‍රෙස්, සෝෂලිස්ට් ප්ලැට්ෆෝම්, 1997), 127පි.