Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

එජාප ආන්ඩුව හා රට යුද්ධයට ඇද දැමීම

21-1 ශ‍්‍රී ලංකාව තුල එජාප ආන්ඩුවේ බලයට පැමිනීම, වඩා පුලූල් ගෝලීය ආර්ථික හා දේශපාලන කි‍්‍රයාවලියක කොටසක් විය. 1968-75 අවධියේ විප්ලවවාදී අරගල රැල්ල පරාජය වීමෙන් පසුව, 1979 දී බි‍්‍රතාන්‍යය තුල තැචර් ආන්ඩුවත් 1980 දී එක්සත් ජනපදය තුල රේගන් පරිපාලනයත් බලයට පත්වීමෙන් දේශපාලනිකව සලකුනු කල, ලෝක පරිමාන ප‍්‍රතිප‍්‍රහාරයක් පාලක පන්තීන් විසින් කම්කරු පන්තියට එරෙහිව දියත් කරන ලදී. ඉන් පසු වසරේදී රේගන්, ඒඑෆ්එල්-සීඅයි ඕ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහයෝගය ද ඇතිව ගුවන් ගමන් පරිපාලකයින් 11,000ක් රැුකියාවලින් නෙරපා හරිමින් පැට්කෝ වැඩ වර්ජනය තලා දැමීය. ලෝකය පුරාම ආන්ඩු කේන්සියානු ආර්ථික නියාමනය අතහැර නව සම්මතය ලෙස, මූල්‍යවාදී වෙලඳපොල ගැති ප‍්‍රතිපත්ති වැලඳගත් හ. ලාභ ශ‍්‍රම වේදිකා නැගෙනහිර හා ගිනිකොන දිග ආසියාවෙන් පටන් ගන්නා ලදි. 1980 ගනන්වල ආසියානු “ව්‍යාග‍්‍රයින්” බවට පත්වූ සිගප්පූරුව, හොංකොං, තායිවානය හා දකුනු කොරියාව යන සියල්ලෝම, සිය ලාභ වැටුප් ශ‍්‍රමයේ වාසිය ගැනීම සඳහා විදේශ ආයෝජකයින්ට දිරිගැන්වීම් ලබා දුන්හ. 1978 දී, චීනය තුල, ඩෙං ෂියා ඕ පිං, විවෘතව ම වෙලඳ පොල-ගැති වැඩපිලිවෙලක් නිවේදනය කොට, මා ඕ යටතේ ඇරඹී තිබූ විදේශ ආයෝජන කි‍්‍රයාවලිය, වේගවත් කලේය.

21-2 ශ‍්‍රී ලංකාව තුල එජාප ආන්ඩුව මෙම ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැගීමේ දී, සිරිමාවෝ බන්ඩාරනායක නිදහස් වෙලඳපොල න්‍යාය පත‍්‍රයක් කරා දෙගිඩියා සහගත ලෙස හැරීමෙන් පැන නැගුනු 1975-77 නැගිටීමෙන් නිශ්චිත පාඩම් උකහා ගත්තේය. අගමැති ජේ.ආර්. ජයවර්ධන විදේශ ආයෝජන දිරිමත් කිරීම, සමාජ වියදම් කප්පාදුව හා පුද්ගලීකරනය කි‍්‍රයාත්මක කිරීම ඇරඹීමත් සමග ම, රාජ්‍ය යන්ත‍්‍රය ශක්තිමත් කොට තමන්ගේ ම සමාජ පදනම ශක්තිමත් කර ගැනීම හා කම්කරු පන්තිය භේද කිරීම සඳහා වාර්ගික ආතතීන් ගිනි ගන්නා සුුලූ මට්ටමකට උත්සන්න කිරීම මගින් කම්කරු පන්තියට එරෙහිව යුද්ධයට සූදානම් විය. 1978 දී එජාපය, තම අති මහත් පාර්ලිමේන්තු බහුතරය යොදාගනිමින් පුලූල් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලතල සහිත විධායක ජනාධිපති ක‍්‍රමයක් ස්ථාපනය කරන නව ව්‍යවස්ථාවක් සකස්කල අතර ජයවර්ධන ජනාධිපති ලෙස පිහිටුවීය. 1979 ජුලි මස, ආන්ඩුව නඩු නොමැතිව මිනිසුන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමේ පුලූල් බලතල පොලිසියට ලබාදෙන ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගෙන ආවේය.

21-3 තමන් දෙමල ජනතාවගේ දුක්ගැනවිලිවල විසඳන බවට එජාපය මැතිවරන ව්‍යාපාරය තුලදී පොරොන්දු වුවත්, වේගයෙන් දෙමල-විරෝධී වර්ගෝත්තමවාදය කරා යොමුවිය. 1976 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුන “ටීයූඑල්එෆ්” දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් ඇතුලත් වෙනම දෙමල ඊලම් රාජ්‍යයක් ඉල්ලන වඩුකොඩෙයි යෝජනාව සම්මත කොට තිබුනි. තමන්ට මුහුනපෑමට සිදුවූ වෙනස්කම් කිරීම් පිලිබඳව දෙමල තරුනයින් අතර පැවති කෝපය, විවිධ කුඩා සන්නද්ධ කන්ඩායම් ගොඩනැගීම කරා තුඩු දී තිබුනි. 1977 අගෝස්තුවේ දී පොලිසියට එල්ල වු සුලු ප්‍රහාරයක් අල්ලා ගත් ජයවර්ධන යාපනයට හමුදාව යෙදවීමට අන දුන් අතර වෙනත් තැන්වල දරුනු ප‍්‍රචන්ඩ ක්‍රියාවන්ට අනුබල දුන්නේය. ආන්ඩුව තම මැතිවරන ජයග‍්‍රහනයෙන් වෙනම ඊලමක් පිලිබඳව සාකච්ඡා කිරීමට තමන්ට ජනවරමක් ලැබී ඇතැයි අවධාරනය කල ටීයූඑල්එෆ් හෙලා දුටුවේය. “ඔබට සටනක් අවශ්‍ය නම් එය ඔබට ලැබෙනු ඇති යි අගමැති පාර්ලිමේන්තුවේදී ප‍්‍රකෝපකාරී ලෙස පැවසීය. ජයවර්ධන වේගයෙන් රට සිවිල් යුද්ධයට තල්ලු කල රටාව සකස් කලේය. සෑම අදියරයක දී ම එජාපය, පොලීසිවලට එල්ල වූ හුදෙකලා ප‍්‍රහාර, දැවැන්ත රාජ්‍ය මර්දනය හා දෙමල සුලුතරයට එරෙහිව ප‍්‍රචන්ඩත්වය මගින් ප‍්‍රතිචාර දැක්වීම සඳහා උපයෝගී කර ගත්තේ ය.

21-4 විකොස උතුරෙන් හා නැගෙනහිරෙන් ආරක්ෂක හමුදා ඉවත් කිරීම හා කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා ස්ථිරසාරව සටන් වැදුනි. නොවිසඳී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ඉෂ්ඨ කිරීමේත් වේගයෙන් සිවිල් යුද්ධයට තල්ලූවී යෑම වැලැක්වීමේත් හැකියාව සහිත එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තිය බව පක්ෂය අවධාරනය කලේය. ශ‍්‍රීලනිප, ලසසප හා කොප සහයෝගය ඇතිව එජාප විසින් නිර්මානය කල වාර්ගික ප‍්‍රතිගාමිත්වයේ වාතාවරනය තුල විකොස එම ආස්ථානය ගැනීම සැලකිය යුතු ධෛර්යමත් ක‍්‍රියාවක් වීය. ප‍්‍රමුඛ විකොස සාමාජිකයකු වූ ආර්.පී. පියදාස ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවලට විරුද්ධ වීම නිසා, පොලිසිය සමග එක්ව වැඩ කල එජාපය මගින් සංවිධානය කරන ලද මැරයින් විසින් 1979 දී ම්ලේච්ඡ ලෙස මරාදමන ලදී.

21-5 1980 ජුලි මස වැඩි වැටුප් ඉල්ලා පුලූල් වැඩවර්ජන ව්‍යාපාරය සමග එජාප ආන්ඩුවේ පුද්ගලීකරන හා ප‍්‍රතිව්‍යුහකරන වැඩ පිලිවෙල කෙරෙහි විරුද්ධත්වය, උපරිමය ට උත්සන්න වීය. ජනාධිපති ජයවර්ධන වැඩ වර්ජනය නීති විරෝධී බව වහාම ප‍්‍රකාශ කරමින් ඊට සහභාගී වන සෑම අයෙක්ම දොට්ට දමන බවට තර්ජනය කලේය. වැඩ වර්ජනය “දේශපාලනික නොවන” බව කියා සිටි ලසසප හා කොප ආන්ඩුවේ හදිසි නීති බලතලවලට අභියෝග කිරීම හෝ එය පෙරලා දැමීම සඳහා කැඳවුම් කිරීම ප‍්‍රතික්ෂේප කලහ. ලසසප(වි) නායක බාලා තම්පෝ ඔහුගේ සීඑම්යූව වැඩ වර්ජනය ට මෙහෙයවූයේ නැත. වැඩ වර්ජනය හුදෙක් වැටුප් ආරවුලක් පමනක් බව කියා සිටි නසසපය, එය ආන්ඩුවට එරෙහි දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමේ විකොස උද්ඝෝෂනයට දරුනු ලෙස පහර දුන්නේය. මෙම නායකත්වයන්ගේ ද්‍රෝහීත්වයට පින්සිදු වන්නට, කිසිදු විරුද්ධත්වයකින් තොරව ම පාහේ රාජ්‍ය අංශයේ ලක්ෂයක් දෙනා දොට්ට දැමීමට ද එමගින් කම්කරු පන්තියට විනාශකාරී පරාජයක් අත්කර දීමට ද එජාප ආන්ඩුවට හැකියාව ලැබුනි.

21-6 ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අවසාන මහා වර්ජනය වූ 1980 වැඩ වර්ජනයේ පරාජය, පූර්න පරිමානයේ සිවිල් යුද්ධයට දොර හැර දුනි. ඕනෑම දේශපාලන අභියෝගයකට හෝ අර්බුදයකට එජාප ප‍්‍රතිචාරය වූයේ, 1983 ජුලියේ බිහිසුනු ප‍්‍රචන්ඩත්වයකින් කුලුගැන්වුන දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන්ට බැසගැනීම යි. දෙමල සටන් කරුවන් සෙබලුන් 13 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසුව මල සිරුරු කොලඹට ගෙන ඒම මගින් එජාපය හිතා මතාම වාර්ගික මනෝගතීන් ඇවිලවීය. පසු දින එජාප මැරයින් මූලිකත්වය ගත් දෙමල විරෝධී ප‍්‍රචන්ඩ ක්‍රියා දිවයිනේ බොහෝ ප‍්‍රදේශ පුරා පෙර නොවූ විරූ පරිමානයකින් පැනනැගුනි. දෙමල වැසියන්ගේ කඩ සාප්පු හා ගෙවල් ගිනිබත් කර සිය ගනනක් මරා දැමුනි. දින හතරක් පුරා ප‍්‍රචන්ඩ ක්‍රියා බාධාවකින් තොරව කර ගෙන යාමට ඉඩ සැලසූ ආන්ඩුව හා පොලිසිය කිසිදු ප‍්‍රවෘත්තියක් පලවීම වැලැක් වීමට කුරිරු මාධ්‍ය වාරනයක් පැනවීය.

21-7 ඊලඟ වසර 25 පුරා රට විනාශයට ඇද දැමූ මහා පරිමාන සිවිල් යුද්ධයේ ආරම්භය මෙම මිනීමරු ජන හිංසනය යි. අගෝස්තු 04 දා, යුද්ධ ප‍්‍රකාශයක් බඳු පියවරක් තබමින්, එජාප ආන්ඩුව, වෙනම ඊලමක් වෙනුවෙන් පෙනී සිටීම තහනම් කරන හා සියලූ රජයේ සේවකයින් රාජ්‍යයට පක්ෂපාතිත්වය දිවුරුම් දීම අනිවාර්ය කරන නව ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගත්තේය. මෙම දිවුරුම් දීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා සියලූ ටීයූඑල්එෆ් මන්ත‍්‍රීන්ට සිය ආසන අහිමි විය. 1983 දෙසැම්බර් වන විට යාපන අර්ධද්වීපය “යුද කලාපයක්” ලෙස ප‍්‍රකාශ කෙරින. එජාප ආන්ඩුවේ කටයුතු නිසා දැඩි කෝපයට පත් දෙමල තරුනයෝ දහස් ගනනින් විවිධ සන්නද්ධ දෙමල කන්ඩායම් වලට බැඳීම සඳහා රැස් වූහ.

21-8 ජන හිංසනයේ ක්‍රියාදාමය තුල විකොස, විශේෂිත ප‍්‍රහාරයක ඉලක්කය බවට පත්කරගන්නා ලදී. කම්කරු මාවත කර්තෘ කේ. රත්නායකගේ නිවස ගිනි තබා විනාශ කරන ලද අතර පක්ෂ මුද්‍රනාලය වැනසීමේ උත්සාහයක් යන්තම් වලක්වා ගන්නා ලදී. ආන්ඩුවේ ප‍්‍රවෘත්ති වාරනය නොතකා විකොස, ආන්ඩුවට මෙන්ම විරුද්ධ පක්ෂවලට ද චෝදනා එල්ල කරමින් හා දෙමල වැසියන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත්වන ලෙස කම්කරු පන්තියට කැඳවුම් කරමින් දිගු ප‍්‍රකාශයක් නිකුත් කලේය. යුද්ධයට විරුද්ධවූ විකොස, ලසසප, කොප හා ඉන්දියානු ආන්ඩුව එයට දැක්වූ සහයෝගිතාව හෙලිදරව් කරමින් උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදා ඉවත් කරන ලෙස කියා සිටියේය. 1984 මැයි මාසයේ දී විකොස පුවත්පත්වල නෛතික වගකීම දරන ආනන්ද වක්කුඹුර 6 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කලේය යන චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සති දෙකක් රඳවා තබා ගැනුනි. විකොස ගෙන ගිය දැඩි උද්ඝෝෂනයක් හමුවේ වක්කුඹුරට එරෙහිව චෝදනා ගොනු කිරීම ආන්ඩුව විසින් අත්හැර දමන ලදි.