ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් මත අත්තනෝමතික වැටුප් කප්පාදු පටවයි

Arbitrary wage cuts imposed on Sri Lankan estate workers

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2019 අප්‍රේල් 12

ලන්ඩනයේ පිහිටි පුන්‍යායතනයක් වන තොම්සන් රොයිටර්ස් ෆවුන්ඬේෂන් (ටීආර්එෆ්) විසින් මෑත දී පලකල වාර්තාවක් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ව උග්‍ර ලෙස සූරාකෑම තවදුරටත් හෙලිදරවු කරයි.

විශේෂයෙන් ම, ප්‍රාදේශීය වැවිලි සමාගම් (ආර්පීසී) විසින් පටවනු ලබන නීති-විරෝධී ලෙස ආදායම් අඩුකිරීම් ටීආර්එෆ් පර්යේෂනය විසින් ඉස්මතු කර පෙන්වයි. වතු කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් මුහුන දෙන දරිද්‍ර මට්ටමේ වැටුප් හා දුෂ්කර කොන්දේසි පිලිබඳ ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හා සමාජවාදී සමානතා පක්ෂය කරන හෙලිදරවු කිරීම් එමගින් තහවුරු කරයි.

මොන්ටිෆියෝර් වත්තේ කම්කරු පවුලක තාවකාලික කුස්සිය

වතු කම්කරුවෝ රුපියල් 500ක් වන තම මූලික දෛනික වැටුප සියයට 100කින් ඉහල දමන ලෙස ඉල්ලා සිටියහ. ඔවුහු පසුගිය දෙසැම්බරයේ දියත් කල ජාතික වර්ජනය දින නවයක් වනවිට වෘත්තීය සමිති විසින් නතර කර දැමුවේය.

අවම ජීවන කොන්දේසි සුරක්ෂිත කරගැනීම පිනිස ඉදිරිපත්කල කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කල වතු සමාගම් සියයට 40ක වැටුප් වැඩි කිරීමක් ප්‍රදානය කල ද පැමිනීමේ හා දිරිදීමනා කපා දැමූ හ. මෙහි ප්‍රතිඵලය වූයේ දිනක වැඩි වීම රුපියල් 20කට සීමා වීම යි. ආන්ඩුව එම ගිවිසුම සම්පූර්නයෙන් අනුමත කල අතර වෘත්තීය සමිති එය බලාත්මක කරමින් සිටිති.

වතු කම්කරුවන් මුහුන දෙන සමාජ කාලකන්නි භාවයේ ප්‍රධාන සාධකයන් වන්නේ නීති-විරෝධී අඩුකිරීම් හා ඉහල වැඩ ප්‍රමාන බව ටීආර්එෆ් වාර්තාව පවසයි. “කැමැත්තෙන් තොර ව කරන ගාස්තු හා අඩුකරගැනීම්වලින් පසු, රේන්ෆොරෙස්ට් අලයන්ස් හා ෆෙයාර්ට්‍රේඩ් විසින් සහතික කරන ලද තේ වතුවල සමහර කම්කරුවන් නිවසට දිනකට ගෙන යන්නේ ශ්‍රී ලංකා රුපියල් 26ක් තරමේ සොච්චමකි” යි එය සඳහන් කරයි.

රේන්ෆොරෙස්ට් අලයන්ස් යනු “ජෛවවිවිධත්වය සංරක්ෂනය කිරීමට ක්‍රියාකරන” නිව් යෝක්හි පිහිටි රාජ්‍ය නො වන සංවිධානයකි. තමන් “සංවර්ධනය වෙමින් පවතින රටවල නිෂ්පාදකයන්ට උදවු කිරීමට සැලසුම් කල ආයතනික සැකසුමකි” යි ෆෙයාර්ට්‍රේඞ් කියයි.

රේන්ෆොරෙස්ට් අලයන්ස් හා ෆෙයාර්ට්‍රේඩ් සහතික කිරීමේ වාසිය බුක්ති විඳින වටවල, බොගවන්තලාව, කැලනි වැලි, මස්කෙලිය හා බලන්ගොඩ ඇතුලු බොහෝ වතු සමාගම් ලෝක වෙලඳපොලේ වාසිදායී පාරිභෝගික ප්‍රචාරයක් හා ඉහල මිල ගනන් ලබාගැනීමට එය යොදා ගනිති.

ඇබොට්ස්ලී වත්තේ ලයින් කාමර

පර්යේෂනය මෙසේ සඳහන් කරයි: “රේන්ෆොරෙස්ට් විසින් සහතික කල තේ වතු නවයක -මේවායින් හයකට ෆෙයාර්ට්‍රේඩ් සහතිකය ද ලැබී ඇත- කම්කරුවන් 17කගේ වැටුප් පත්‍රිකා පෙන්වා දුන්නේ නය ආපසු ගෙවීම්, වැටුප් අත්තිකාරම් හා අනේකවිධ ගාස්තු සඳහා දෛනික උපයාගැනීම්වලින් හතරෙන් තුන් පංගුවකටත් වඩා පුලුල් ලෙස කපන බව යි...

“ෆෙයාර්ට්‍රේඩ් සහතිකය ලත් වතුවල කම්කරුවන් සියයට 74ක සාමාන්‍ය වැටුප් අඩුකිරීම්වලට භාජනය වූ අතර රේන්ෆොරෙස්ට් අලයන්ස් සහතිකය ලත් වතුවල කම්කරුවන් තම ආදායමෙන් සියයට 65ක් අඩුකිරීමට මුහුන දුන්හ. දැකගත් හ.”

දෛනික ඉලක්ක සැපිරීමට අපොහොසත් වුවහොත් හෝ ප්‍රමාද වී වැඩට පැමිනිය හොත් වැටුප් අඩකින් කපා දමන නුවර එලිය වතු කම්කරුවන්ගේ මාසික වැටුප් පත්‍රිකා ද වාර්තාව තුල උපුටා දක්වනු ලබයි.

මෙම අඩුකරගැනීම් නීති-විරෝධී වේ. කාර්මික ආරාවුල් පනත, වැටුප් මන්ඩල ආඥා පනත හා වතුකම්කරු දීමනා පනත වැනි ශ්‍රී ලංකාවේ සීමිත කම්කරු නීති ද සමාගම් විසින් උල්ලංඝනය කර ඇත.

ටීආර්එෆ් වාර්තාවේ චෝදනා තහවුරු වුවහොත්, සංවිධානය වීමට ඇති අයිතිය, බලහත්කාරී හා ලමා ශ්‍රමය යොදා නො ගැනීම, සමාන සේවා කොන්දේසි, සමාන වැටුප් හෝ අවම වැටුපට වඩා වැඩි වැටුප් ලැබීමේ අයිතිය සහ හොඳ ආරක්ෂක හා සෞඛ්‍ය පියවරයන් ගැනීම ඇතුලු “ෆෙයාර්ට්‍රේඩ්හි සම්මතයන් ගැඹුරු ලෙස උල්ලංඝනය කිරීම්” එමගින් නියෝජනය වන බව ෆෙයාර්ට්‍රේඩ් ප්‍රකාශිකාවක් අවධාරනය කලා ය.

දික්ඔය වත්තේ වතුර ලබාගැනීමට රැඳීසිටින පවුල්

තමන් වැඩකරන වතු “සහතික කරන්නන්ගේ සදාචාර සම්මතයන්ට” බැඳී සිටින්නේ විගනනවල දී පමනක් බවත් කලමනාකාරීත්වය විසින් දඩයම් කරනු ලැබිමට බිය වන නිසා වතු කම්කරුවන් විගනන නිලධාරීන්ට පැමිනිලි කිරීමට බිය වන බවත් කම්කරුවෝ ටීආර්එෆ් පර්යේෂකයන්ට කීවෝ ය.

වතු කම්කරුවන්ගේ වැටුප් අඩුකිරීම් හේතුවෙන් අඩකට කැපෙන්නේ ය යන ටීආර්එෆ්හි සොයාගැනීම් වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක ප්‍රතික්ෂේප කලේ ය. එහෙත් “වතු කම්කරුවන් වනාහි ඉහල ම මන්දපෝෂනය සහිත වඩාත් ම දුගී ප්‍රජාවන්ගෙන් එකක්” බව දිසානායක කුහක ලෙස පිලිගත්තේ ය.

ප්‍රාදේශීය වතු සමාගම් නියෝජනය කරන වැවිලිකරුවන්ගේ සංගමය (පීඒ) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ටීආර්එෆ් වාර්තාව නො මග යවනසුලු බව යි. තම වාර්තාව නිවැරදි බව සනාථ කරන සාක්ෂි සම්පාදනය කරමින් ටීආර්එෆ්, පීඒ වෙත මේ සතියේ පිලිතුරු දුන්නේ ය.

ප්‍රාදේශීය වතු සමාගම්, කම්කරුවන්ගේ “වෛද්‍ය අවශ්‍යතාවන්ට සෑම විට ම සංවේදී” බවත්, කම්කරුවන්ට වයස 18 සිට 60 දක්වා වසරකට අනිවාර්ය වැඩ දවස් 300ක් සහිත “සහතික කල” ජීවිතකාලීන රැකියා, සම්පූර්න ගෙවීම් සහිත නිවාඩු 20ක් හා දින 14ක වෛද්‍ය නිවාඩු සහිත ව ලැබෙන බවත් පීඒ කියා සිටියේ ය.

බටගල වත්තේ ලයින් කාමරයක්

වතු කම්කරුවන් අතර බහුල ව මන්දපෝෂනය පවතින බව ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් උපුටා දැක්වූ පීඒ, කම්කරුවෙකුගේ දෛනික කැලරි පරිභෝජනය නිර්දේශිත ප්‍රමානය වන කැලරි 2,030 ඉක්මවූ කැලරි 2,307ක් බව කියා සිටියේ ය.

මෙම කියාපෑම් අතිශයින්ම අයථා වේ. ආන්ඩුවේ සංඛ්‍යාලේඛනවලට අනුව පවුලක සාමූහික සාමාන්‍ය මාසික ආදායම රුපියල් 34,000ක් වුව ද පවුලක මාසික වියදම සියයට 100කටත් වඩා අධිකය.

වතුවල ලමුන්ගෙන් සියයට 9ක් අතිශයින් මන්දපෝෂිත බව ආන්ඩුවේ සංඛ්‍යාලේඛන පෙන්වන අතර, නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියයට 29.5ක් අඩු බර සහිත ය. සියයට 13ක් වන වතුවල ලදරු මරන අනුපාතිකය ශ්‍රී ලංකාවේ ඉහල ම සංඛ්‍යාවයි.

පූර්න වැටුප් සහිත ව වතු කම්කරුවන් ලැබෙන නිවාඩු දින ගනන පිලිබඳ පීඒහි කියාපෑම බොරුවකි. යථාර්ථයේ දී කම්කරුවන්ට ලැබෙන පූර්න වැටුප් සහිත නිවාඩු දින ගනන තුනක් පමනි.

ඈන්ෆීල්ඞ් වත්තේ කම්කරුවෙකුගේ පව්ල

මෑත දී අත්සන් කල සාමූහික ගිවිසුම කම්කරුවන්ට “ආකර්ශනීය වැටුපක්” ලබාදෙමින් “කම්කරුවන් අපේක්ෂා කල පරිදි දිනකට රුපියල් 1,000ක් ඉපයීමේ හැකියාව” දුන් බව පීඒ ප්‍රකාශය කියා සිටියේ ය.

මෙය බොරුවකි. ගිවිසුම යටතේ සියලු දීමනා ඇතුලත් ව කම්කරුවන්ට ලැබෙන්නේ රුපියල් 730කි. කම්කරුවන්ගේ කෝපය අපසරනය කිරීමේ උත්සාහයක යෙදෙමින් ආන්ඩුව එක් වසරකට පමනක් රුපියල් 50ක දෛනික දීමනාවක් එකතු කලේය. අමතර ආදායම උපයාගැනීමට කම්කරුවෝ ඉහල ඵලදායිතා ඉලක්ක සැපිරිය යුතු ය.

වයස අවුරුදු පහ වන තෙක් ලමුන්ට නොමිලේ කිරිපිටි, පිටි හා හාල් ප්‍රාදේශීය වතු සමාගම් විසින් සපයන බව පීඒ වැඩිදුරටත් කීවේ ය. කම්කරුවෝ මෙය එකහෙලා ප්‍රතික්ෂේප කරති.

ප්‍රාදේශීය වතු සමාගම්වල “වෛද්‍යමය අවශ්‍යතා පිලිබඳ සංවේදීතාව” ගැන සඳහන් කරන්නේ නම් කිවයුත්තේ බොහෝ වතු රෝහල්වල මූලික බෙහෙත් තබා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හෝ අදාල කාර්ය මන්ඩල නැත.

තෙරේසා වත්තේ කම්කරුවෙක් ලෝසවෙඅ වෙත මෙසේ කීවේ ය: “අපිට හෙදියක් හා සහායිකාවක් පමනක් සිටින ඩිස්පෙන්සරියක් තියනවා, ඒත් බෙහෙත් තියෙන්නේ ස්වල්පය යි. අනෙකුත් බෙහෙත් අපි පිටින් ගන්න ඕන.”

ඇබොට්ස්ලී වත්තේ කම්කරුවන්

දලු කිලෝ 18 දෛනික ඉලක්කය සැපිරීමට අපොහොසත් වුවහොත් කලමනාකාරීත්වය වැටුප් කපන බව ඈන්ෆීල්ඞ් හා දික්ඔය වතුවල කම්කරුවෝ වාර්තා කල හ.

ටීආර්එෆ් වාර්තාව හේතුවෙන් තමන් “අතිශයින් කනස්සල්ලට” පත්වූ බව යුනිලීවර් කියා සිටි අතර, ඉන්දියාවට අයත් ටාටා ග්ලෝබල් බෙවරේජස් සංගතය විසින් පාලනය කරන ටෙට්ලි සමාගම කුහක ලෙස කීවේ තමන් එම සොයාගැනීම් ගැන “විමසිලීමත්” වන බව යි.

තේ වෙලඳාමේ නිරත විශාලතම සමාගම් වන මෙම යෝධ සංගතවලට වතු කම්කරුවන් පිලිබඳ අබමල් රේනුවක තැකීමක් නැත. ඒ වෙනුවට වතු කම්කරු බලකාය රුදුරු ලෙස සූරාකෑම හරහා එම සමාගම් යෝධ ලාබ උපුටා ගනිති.

තේ ද ඇතුලත් යුනිලීවර්හි “සන්තර්පන” ව්‍යාපාරයේ 2017 සඳහා සියයට 11.3ක ලාබ ඉහල යාමක් ද සහිත ව එක්සත් ජනපද ඩොලර් මිලියන 8,466ක් (පවුම් මිලියන 6,486ක්) විය. එය සියයට 9.8ක ශුද්ධ පිරිවැටුමක් ද සහිත පෙර වසරේ ලාබය වූ පවුම් මිලියන 5,547ට වඩා ඉහල යාමකි. 2017-2018 මූල්‍ය වර්ෂය සඳහා ටෙට්ලිහි ශුද්ධ ලාබය ඉන්දියානු රුපියල් මිලියන 5,670ක් හෙවත් ඩොලර් මිලියන 80ක් වූ අතර, එය පෙර වසරේ ලාබය වූ රුපියල් මිලියන 4,640ට වඩා ඉහල යාමක් විය. (බලන්න: කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි මත ප්‍රහාර එල්ල කරමින් ශ්‍රී ලංකාවේ වතු සමාගම් යෝධ ලාබ උපයා ගනිති.)

මෑත දී ෂෙෆීල්ඞ් විශ්ව විද්‍යාලය පලකල අධ්‍යයනයක් මෙසේ සඳහන් කලේ ය: “ගෝලීය තේ හා කොකෝවා සැපයුම් ජාලයන්හි පදනමේ තිබෙන්නේ බලහත්කාරී ශ්‍රමය ද ඇතුලු සූරාකෑම යි.” හාම්පුතුන් “වැටුප් අඩුකර ගෙවන” අතර “පානීය ජලය හා වැසිකිලි වැනි අත්‍යවශ්‍ය සේවා අවශ්‍ය ප්‍රමානයට නැ.”

ඇබොට්ස්ලී වත්තේ කම්කරු කාන්තාවක් බර කිරීම සඳහා තේ දලු රැගෙන යයි

අලුත් සාමූහික ගිවිසුම තුලට වැටුප් පද්ධතිය හා සීමිත සමාජ ප්‍රතිලාභ අහෝසි කොට කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් තථ්‍ය අඳ ගොවියන් බවට පරිවර්තනය කරනු ඇත්තා වූ “ආදායම් බෙදාගැනීමේ ක්‍රමයක්” හඳුන්වා දීමේ වගන්ති ඇතුලත් විය.

බොගවන්තලාවේ රොබ්ජිල් වත්තේ නම් සඳහන් නො කල කලමනාකරුවෙක්, කම්කරුවන්ගේ ජීවිත “පහසු කිරීමට” උදවු වනු පිනිස සමාගම් අඩු කරගැනීම් යොදාගන්නා බව ටීආර්එෆ් වෙත කීවේ ය. මෙය අමූලික බොරුවකි. නිවාස, සෞඛ්‍යය හා අධ්‍යාපනය එවැනි අතිශය මූලික සමාජ අයිතීන් පවා වතු කම්කරුවන්ට අහිමි කෙරී ඇත. බොහෝ දෙනා තවමත් ජීවත් වන්නේ බ්‍රිතාන්‍ය විජිත පාලන සමයේ ගොඩනැගූ කුඩා, තදබද හා අනාරක්ෂිත ලයින් කාමරවල ය.

ලයින් කාමර හෝ වතු නිවාසවල විනාශකාරී ගිනිගැනීම් නිරන්තරයෙන් සිදු වේ. ජනවාරි 29දා රොබ්ජිල් වත්තේ ලයින් කාමර 12ක් ගින්නෙන් විනාශ වූයේ පවුල් 16කට නිවාස අහිමි කරමිනි. පසුගිය වසරේ දෙසැම්බර් 29දා හටගත් ගින්නක් හැටන් අසල ෆෝඩයිස් වත්තේ නිවාස 20ක් විනාශභාග කලේ ය.

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි

වෘත්තීය සමිතිවල පාවාදීමේ වැටුප් ගිවිසුමට ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ විරෝධය දක්වති

ශ්‍රී ලංකාවේ වතු කම්කරු වර්ජනයේ ජාත්‍යන්තර අර්ථභාරය

Share this article: