ට්‍රොට්ස්කිගේ අවසන් වසර

දෙවැනි කොටස

මෙය ලිපි මාලාවක දෙවැන්නයි. ලිපි මාලාවේ පලමුවන  කොටස සැප්තැම්බර් 18 දින පලවිය.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුනු මුල් ලිපියේ පලමු වන කොටස  අගෝස්තු 20 වන දින ද, දෙවැන්න  අගෝස්තු 21 වන දින ද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල විය.

සමාජවාදී කම්කරු පක්ෂයේ සුලුතරය සමඟ භේද වීමෙන් පසු එහි ප්‍රතිඵල ලෙස, හතරවැනි ජාත්‍යන්තරයේ හදිසි සමුලුව සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලිවීම කෙරේ සිය අවධානය යොමු කිරීමට ට්‍රොට්ස්කි සමත් විය. මෙකී හදිසි සම්මේලනය කැඳවනු ලැබුවේ බටහිර යුරෝපය තුල යුද්ධයේ ක්ෂනික ප්‍රසාරනයට ප්‍රතිචාර දක්වනු පිනිස ය. 1939 සිසිරයේ පෝලන්තය නාසි ජර්මනිය විසින් අත්පත් කර ගනු ලැබීම පසුපස එලැඹුනේ ඊනියා "සිට්ස්(z)ක්‍රීග්" හෙවත් "ව්‍යාජ යුද්ධය" ලෙස හැඳින්වුනු, මිලිටරි ගැටුම් නැවතී තුබූ දිග්ගැස්සුනු කාල පරිච්ඡේදයකි. එහෙත් 1940 අප්‍රේල් මාසයේ හිට්ලර් යුද්ධයේ නව අදියරක් ආරම්භ කලේය. බටහිර දිග බලා ඇදුනු නාසි ඒකාබද්ධ හමුදා පලමුව නෝර්වේ හා ඩෙන්මාකය අල්ලා ගනිමින්, මැයි මාසයේ නෙදර්ලන්තය, බෙල්ජියම හා ප්‍රංශය තුලට කඩා වැදුනෝය.  

ට්‍රොට්ස්කිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආරම්භ වූයේ ධනවාදී - අධිරාජ්‍යවාදී මර්දනයට ගොදුරු වී සිටි සියල්ලන් වෙත කෙරුනු සිත් පොලඹවන සුලු ආයාචනයකිනි. 

හතරවැනි ජාත්‍යන්තරය හැරෙන්නේ මනුෂ්‍ය ඝාතනය සඳහා බලහත්කාරයෙන් ජනයා බඳවා ගන්නා ආන්ඩු වෙත හෝ, එකී ආන්ඩු වෙනුවෙන් වගකීම දරන ධනේශ්වර දේශපාලකයන් වෙත හෝ, එකිනෙකාට පසමිතුරු ධනේශ්වරයන්ට සහාය දෙන කම්කරු නිලධරයන් වෙත හෝ නොවේ. හතරවැනි ජාත්‍යන්තරය හැරෙන්නේ වැඩකරන පුරුෂයන් හා ස්ත්‍රීන් වෙතය, සෙබලුන් හා නැවියන් වෙතය, ව්‍යසනයට පත් ගොවිජනයා හා වහල් භාවයට ඇද දමා ඇති යටත් විජිත ජනයා වෙතය. පීඩකයන්, සූරාකන්නන්, හා අධිරාජ්‍යවාදීන් සමඟ හතරවැනි ජාත්‍යන්තරයට මොන යම් හෝ බන්ධනයක් නැත. එය වැඩකරන ජනයාගේ, පීඩිතයන්ගේ හා සූරාකෑමට භාජනය වන්නන්ගේ ලෝක පක්ෂයයි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ආමන්ත්‍රනය කරන්නේ ඔවුන්ටය. [1]  

මෙම ප්‍රකාශනය, යුද්ධය පැතිර යාම පිලිබඳ සියලු නිල පැහැදිලි කිරීම් ප්‍රතික්ෂේප කලේය. "ජනයාට අබිං කැවීම සඳහා සැලසුම් කරන ලද නිල ප්‍රබන්ධ කථාවලට පටහැනි ලෙස, - විරැකියාව, ඉහල ජීවන බර, ෆැසිස්ට්වාදය, යටත් විජිත මර්දනය වැනි - අන් සියලු සමාජ අනර්ථයන්හි සේම යුද්ධයෙහි ද ප්‍රධාන හේතුව වන්නේ නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය හා, එකී පදනම මත රැඳී සිටින ධනේශ්වර රාජ්‍යයයි." [2] පලමු ලෝක යුද්ධයේ දී සිදු වූ පරිදි ම මෙහිදී ද, හමුදා ගැටුම් පුපුරා යාමට යටින් පැවැතියේ අධිරාජ්‍යවාදී බලවතුන් අතර වූ පරසතුරුකම් ය. 

            

ඒ වන විට ප්‍රධාන භූමිකා රඟ දක්වමින් තිබුනේ බ්‍රිතාන්‍යය, ප්‍රන්සය, ජර්මනිය හා ඉතාලියයි; ජපානය ආසියාව තුල එහි උත්සුකයන් හඹා යමින් සිටියේය. එහෙත් පසුබිමේ සැඟවී සිටියේ, "තම ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා අති බියකරු ගැටුමට මැදිහත් වනු ඇතැ"යි ට්‍රොට්ස්කි විසින් පෙර දක්නා ලද එක්සත් ජනපදයයි. "ඇමරිකානු ධනේශ්වර ක්‍රමය හා එහි සතුරන් අතර අරගලයේ අනුපිලිවෙල හා කාල වකවානු තවමත් අපි නොදන්නෙමු. - ඇතැම්විට වොෂින්ටනය ද තවම ඒ ගැන නොදන්නවා විය හැකිය.- ජපානය සමඟ යුද්ධය පැසිෆික් සාගරයේ ආලින්දය දිනා ගැනීම සඳහා කෙරෙන අරගලයක් වනු ඇත. අත්ලාන්තික්හි සංග්‍රාමය, ඉදින් එය සාන්දෘෂ්ඨික ලෙස ජර්මනියට එරෙහිව මෙහෙයවී ගත්තේ වී වුව, බ්‍රිතාන්‍යයන්ගේ උරුමය තමන්ට දිනා ගැනීම සඳහා වූ අරගලයක් වනු ඇත." [3] 

පාලක ප්‍රභූව "'පීතෘ භූමිය' ආරක්ෂා කිරීමට යුද්ධ දියත් කරතැයි යන කියාපෑම ට්‍රොට්ස්කි බැහැර කලේය. ඔහු මෙසේ ලිවීය: "ධනේශ්වර පන්තිය කිසිදා පීතෘ භූමිය පීතෘ භූමිය වෙනුවෙන් ආරක්ෂා නොකරයි. එය ආරක්ෂා කරන්නේ පෞද්ගලික දේපල, වරප්‍රසාද, ලාභ .... ආදියයි. නිල දේශප්‍රේමය යනු සූරාකෑමේ උත්සුකයන් ආවරනය කිරීමට දැමූ වෙස් මුහුනකි. පන්ති විඥානයෙන් යුත් කම්කරුවෝ මෙකී වෙස්මුහුන අවමානයෙන් යුතුව පසෙකට වීසි කර දමති." [4] ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන්ට ආයාචනා කිරීම සම්බන්ධයෙන් ගත් කල, එම ආයාචනයන් ද දේශප්‍රේමී ප්‍රකාශයන්ට කිසිසේත් නොඅඩු ලෙස වංචාකාරී ඒවා විය. මුල් පෙලෙහි සිටින බ්‍රිතාන්‍යය ද ඇතුලු සියලු ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍රයෝ හිට්ලර් බලයට ඔසොවා තැබීමට ආධාර කලෝය. තවද, ඔවුහු සියල්ලෝ ම සිය යසඉසුරුවලින් සැලකිය යුතු කොටසක් යටත් විජිත ජනයා කුරිරු ලෙස සූරාකෑම මඟින් උපයා ගත්තෝ වූහ.             

හිට්ලර්ගේ තන්ත්‍රය යනු "අධිරාජ්‍යවාදයේ සංස්කෘතියෙහි රසායනිකව පාරිශුද්ධ ආසවනය කිරීමක්" විනා අනෙකක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කරන බවට කෙරෙන කුහක කියාපෑම ඉතිහාසය හා යථාර්ථය පිලිබඳ අලජ්ජි දේශපාලන විකෘතිකරනයකි.    

තම සමෘද්ධිමත් සමයේ බෝල්ෂෙවික්වාදයට එරෙහි ශුද්ධ වූ යුද්ධයක යෙදෙන ධර්ම යුද්ධගාමියෙකු ලෙස හිට්ලර්ට ආචාරය පුද කල ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩු, දැන් ඔහු සියලු ගිවිසුම්, දේශසීමා රේඛා, නීති හා විධිනියාමයන්හි ශුද්ධත්වය උල්ලංඝනය කරන්නා වූ, නිරයේ ගැඹුරු පත්ලෙන් අනපේක්ෂිත ලෙස පලා ආ කිසියම් වර්ගයක යක්ෂයෙකු බවට පත් කරති. ඉදින් හිට්ලර් නොවීනම්, ධනේශ්වර ලෝකය උද්‍යානයක් සේ සුපුෂ්පිත වනු ඇත. මොනතරම් තුච්ඡ බේගලයක් ද? තම හිස් කබල තුල ගනක යන්ත්‍රයක් ද, තම අතෙහි අසීමිත බලයක් ද ඇති මේ ජර්මානු අපස්මාර රෝගියා අහසෙන් වැටුනු අයෙකු හෝ නිරයෙන් මතු වූවෙකු නොවේ; ඔහු යනු අධිරාජ්‍යවාදයේ විනාශකාරී බලවේගවල පුද්ගලාරෝපනයක් විනා අනෙකක් නොවේ. [5]      

ට්‍රොට්ස්කි ඊලඟට හැරුනේ යුද්ධය ඇවිල යාමට අනුබල දීමෙහි ලා ස්ටැලින්වාදී තන්ත්‍රය ඉටු කල කාර්යභාරය පිලිබඳ විමර්ශනයක් කරා ය. 

ලෝක යුද්ධයට තිරය එසැවූ හා පෝලන්ත ජනයා වහල්භාවයට ඇද දැමීමට ඍජු ලෙස මඟ පෑදූ ස්ටැලින් - හිට්ලර් සන්ධානය බිහි වූයේ සෝවියට් සංගමයේ දුර්වලත්වයෙහි, හා ජර්මනිය හමුවේ ක්‍රෙම්ලිනයේ සංත්‍රාසයෙහි ප්‍රතිඵල ලෙසය. මෙකී දුර්වලත්වයෙහි වගකීම පැවරෙන්නේ අන් කිසිවෙකුට නොව, එකී ක්‍රෙම්ලිනයම මත ය: පාලක පක්ෂය හා මහජනයා අතර මහා අගාධයක් විවර කල එහි අභ්‍යන්තර පිලිවෙත මත ය; ස්ටැලින්වාදී කල්ලියේ උත්සුකයන් වෙනුවෙන් ලෝක විප්ලවයේ උත්සුකයන් කැප කල එහි විදෙස් පිලිවෙත මත ය. [6]   

ස්ටාලින්ගේ අපරාධ තිබියදීම, - නොවැලැක්විය හැකියැයි ට්‍රොට්ස්කි විශ්වාස කල - නාසීන් සෝවියට් සංගමය ආක්‍රමනය කිරීමක් මඟින් හුදු ක්‍රෙම්ලින් ආඥාදායකත්වයේ පමනක් නොව සෝවියට් සංගමයේම සුරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය කරලියට කැඳවනු ඇත. ස්ටැලින්වාදය විසින් කෙතෙක් විකෘත හා විරූප කරන ලද්දේ වී වුව, විප්ලවයේ ජයග්‍රහන අධිරාජ්‍යවාදයේ ආක්‍රමනික හමුදාවන්ට යටත් කල නොහැකිව තිබින. "මොස්කව්හි කතිපයාධිපත්‍යයට එරෙහිව වෙහෙස නොතකා අරගල කරන අතර ම, සෝවියට් සංගමයට එරෙහිව අධිරාජ්‍යවාදයට ආධාරකාරී වනු ඇති කවර හෝ පිලිවෙතක් හතරවැනි ජාත්‍යන්තරය තීරනාත්මකව ප්‍රතික්ෂේප කරයි", යනුවෙන් ට්‍රොට්ස්කි ලිවීය. ඔහු වැඩි දුරටත් මෙසේ දක්වයි: 

සෝවියට් සංගමය ආරක්ෂා කිරීම මූලධර්මාත්මකව ලෝක නිර්ධන පන්ති විප්ලවයට සූදානම්වීම සමඟ සමපාත වෙයි. අඥාන හා ප්‍රතිගාමී ස්ටැලින්වාදයේ නිමැවුමක් වන තනි රටේ සමාජවාදයේ න්‍යාය අපි එකහෙලා ප්‍රතික්ෂේප කරමු. සමාජවාදය සඳහා සෝවියට් සංගමය රැක ගත හැක්කේ ලෝක විප්ලවයට පමනෙකි. එහෙත් ලෝක විප්ලවය නොවැලැක්විය හැකි පරිදි, එය සමඟ ක්‍රෙම්ලින් කතිපයාධිපත්‍යයේ අපකීර්තියෙහි කහට පැල්ලම ද දරා හිඳී. [7]  

ගෝලීය විප්ලවවාදී අරගලයන්හි දැවැන්ත රංග භූමියක් වනු ඇතැයි ඔහු ඒත්තු ගෙන සිටි යටත්විජිත දේපල තුල වර්ධනයන් ද, යුද්ධය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයට ඇතුලත් විය. "සමස්ත වර්තමාන යුද්ධය යටත්විජිත සම්බන්ධයෙන් කෙරෙන යුද්ධයකැ"යි ඔහු ලිවීය. "ඇතැමුන් ඒවා සොයා දඩ කෙලියේ යෙදෙන අතර ඒවා අතැති වෙනත් අය සිය හිමිකම් අත හැරීමට අකැමැති වෙති. ඒවා ස්වේච්ඡාවෙන් නිදහස් කිරීමේ අවම හෝ අභිප්‍රායක් මේ කවර පක්ෂයකට හෝ නැත. පිරිහෙමින් පවත්නා නාගරික කේන්ද්‍ර යටත් විජිතවලින් හැකිතාක් දේ මිරිකා ගැනීමට හා හැකිතාක් අඩුවෙන් දේ ඔවුන්ට පෙරලා දීමට පෙලැඹී සිටිති. ඔවුන්ගේ විමුක්තියට මාවත පාදා දිය හැක්කේ වහල්භාවයට හෙලනු ලැබ ඇති ජනයාගේ ඍජු හා විවෘත විප්ලවවාදී අරගලයෙන් පමනි." [8] 

ජර්මානු-සෝවියට් ගිවිසුම අත්සන් තැබීමෙන් පසු ස්ටැලින් හා රිබෙන්ට්‍රොප් අතට අත දෙමින්

 

ට්‍රොට්ස්කි චීනයේ, ඉන්දියාවේ හා ලතින් ඇමරිකාවේ ආර්ථික හා දේශපාලන තතු සමාලෝචනය කලේය. ඒ එක් එක් අවස්ථාවන්හි පැවැති සුවිශේෂී තත්වයන් සැලැකිල්ලට ගත් කල්හි, අධිරාජ්‍යවාදී බලවේගවලට එරෙහි අරගලයේ ජයග්‍රහනය රඳා පැවැතුනේ කම්කරු පන්තිය දූෂිත, සම්මුති ගසා සිටි ජාතික පාලක ප්‍රභූවන් කෙරෙන් ස්වාධීන වෙමින් එහි දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීම මත ය. 1917 දී රුසියානු කම්කරු පන්තියට බලය ගැනීමට මඟ පෙන්වූ නොනවතින විප්ලවයේ න්‍යාය, අධිරාජ්‍යවාදයෙන් පීඩාවට පත් ව සිටි සියලු රටවල කම්කරු පන්තිය සඳහා ද පූර්න ලෙස වලංගු විය. අධිරාජ්‍යවාදී පාලනය පෙරලා දැමීම, කම්කරු බලය හා සමාජවාදය සඳහා අරගලය සමඟ නොවැලැක්විය හැකි පරිදි හා නො වෙන් කල හැකි පරිදි බැඳී පැවතින. තවද, රුසියාවේ නිදර්ශනය මඟින් ඔප්පු කොට ඇති පරිදි, ඒ හෝ මේ රට කම්කරු පන්තියට බලය ගැනීමට ඉඩ සලසන කොන්දේසි සපුරා ලන්නේ කෙදිනකදැයි නිගමනාත්මකව නිර්නය කල සුවිශේෂී අනුපිලිවෙලක් නොවීය. ට්‍රොට්ස්කි මෙසේ පැහැදිලි කලේය:   

පසුගාමී රටවල් දියුනු රටවල සංඥාව ලැබෙන තුරු බලා සිටිය යුතු බවක් හෝ, යටත් විජිත ජනයා තමන් නිදහස් කිරීමට නාගරික කේන්ද්‍රයන්හි නිර්ධන පන්තියට භාර දී ඉවසිල්ලෙන් සිටිය යුතු බවක් හෝ නොනවතින විප්ලවයේ න්‍යායෙහි ඉදිරි දර්ශනය විසින් කිසිදු තත්වයක් යටතේ ඇඟවීම් නොකෙරේ. ආධාර ලැබෙන්නේ තමාටම ආධාර කර ගන්නා තැනැත්තාට ය. යටත් විජිත වේවා, අධිරාජ්‍යවාදී වේවා, වාසිදායක කොන්දේසි ගොඩ නැඟී ඇති සෑම රටකම කම්කරුවෝ විප්ලවවාදී අරගලය වර්ධනය කරමින්, ඒ හරහා අනෙකුත් රටවල කම්කරුවන්ට ආදර්ශ සැපයිය යුත්තාහ. "ලෝකයේ කම්කරුවනි, එක්සත් වව්!" යන සටන් පාඨය තථ්‍ය ලෙස මූර්තිමත් කල හැක්කේ ආරම්භකත්වය ගැනීමෙන් හා ක්‍රියාකාරීත්වයෙන් ද, අධිෂ්ඨානයෙන් හා නිර්භයභාවයෙන් ද පමනෙකි. [9]    

ප්‍රකාශනයේ අවසාන කොටස් තුල දී ට්‍රොට්ස්කි, සුලු ධනපති සුලුතරයට එරෙහි කාන්ඩමික අරගලයේ ආරම්භක අවධිය තුල තමා මතු කොට තුබූ හා තම ජීවිතයේ අවසාන සති කිහිපය තුල ඔහුගේ සිත තුල තදින් බල පවත්වන්නට ඇති කේන්ද්‍රීය න්‍යායික හා දේශපාලනික කරුනු කරා පෙරලා පැමිනෙයි. දෙවැනි ලෝක යුද්ධය ඇවිල යාම සූදානම් කෙරුනේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ, ස්ටැලින්වාදී හෝ, අරාජකවාදී හෝ වේවා, නැතහොත් සංශෝධනවාදයේ අන් කිසියම් ප්‍රභේදයකට අයත්ව හෝ වේවා සිටි කම්කරු පන්තියේ එවකට තුබූ සියලු සංවිධානවල පාවාදීම විසිනි. එසේ නම්, කම්කරු පන්තිය බලය කරා වූ මාවත සොයා ගනු ඇත්තේ කෙසේද?

කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගනු ලැබීම සඳහා වන ආවශ්‍යක කොන්දේසි පිලිබඳව ට්‍රොට්ස්කි විමර්ශනය කලේය: පාලක පන්තිය මංමුලා කර දමන දේශපාලන අවුල් ජාලයක් නිර්මානය කර ඇති අර්බුදයක්; මහ ධනපතීන්ට සිය අනුග්‍රහය අහිමි කෙරෙන පරිදි, පවතින තතු පිලිබඳව මධ්‍යම පන්තියේ විශාල කොටස් අතර පැතිර පවත්නා තීව්‍රතර නොසතුට; පවතින තතු ඉවසිය නොහෙන බව කම්කරු පන්තිය ඒත්තු ගෙන තිබීම හා රැඩිකල් ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ගේ ඇති කැමැත්ත; සහ, අවසාන වශයෙන්, කම්කරු පන්තියේ වැඩි දියුනු කොටස් තුල වැඩ පිලිවෙලක් හා තීරනාත්මක නායකත්වයක් පැවතීම. එහෙත් මේ කොන්දේසි එකක් එකක් වශයෙන් ගත් කල වෙනස් ලයමානයන්ගෙන් වර්ධනය වනු විය හැකිය. ධනේශ්වරය දේශපාලන පඹ ගාලක පැටලී සිටින හා මධ්‍යම පන්තිය පවතින කොන්දේසිවලට විකල්ප සඳහා සොයා බලන අතරතුර, කම්කරු පන්තිය - එහි අතීත පරාජයන්ගේ බලපෑම යටතේ - තීරනාත්මක අරගලවලට ඇතුලත් වීමට අදිමදියක් ප්‍රදර්ශනය කරනු විය හැකිය. යුද්ධය පැතිරයාමට පූර්වාසන්න වර්ෂවල පාවාදීම් කම්කරුවන් අතර දිරිය බල සුන් වූ මනෝභාවයක් නිර්මානය කොට තිබූ බව ට්‍රොට්ස්කි පිලිගත්තේය. "කෙසේවෙතත්, යමෙකු එවැනි මනෝභාවයන්හි ස්ථායීත්වය හෝ කල්පවත්නා සුලු බව පිලිබඳ අධිතක්සේරු නොකල යුතුයැ"යි ට්‍රොට්ස්කි අවවාද කලේය. "ඒවා නිර්මානය කෙරුනේ සිදුවීම් විසිනි. සිදුවීම් විසින්ම ඒවා පහ කර දැමෙනු ඇත." [10]  

අවසාන විග්‍රහයේ දී, මූලික සමාජමය අර්බුදයක ප්‍රතිවිරෝධී මූලාංගයන්ගේ සංකීර්න අන්තර්ක්‍රියා සැලැකිල්ලට ගත් කල, විප්ලවයේ ඉරනම රඳා පවතින්නේ නායකත්වය පිලිබඳ ගැටලුව විසඳීම මත ය. මෙම ප්‍රශ්නය සමඟ පොර බදමින් ට්‍රොට්ස්කි කල්පිත ආකාරයෙන් ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කලේය: "අව්‍යාජ විප්ලවවාදී කොටස් කුඩා සුලුතරයක් ව සිටියදී ජාත්‍යන්තරයන් දෙකක් [සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දෙවැනි ජාත්‍යන්තරය හා කොමින්ටර්නය ලෙස හැඳින්වුනු ස්ටැලින්වාදී කොමියුනිස්ට් ජාත්‍යන්තරය] අධිරාජ්‍යවාදයට සේවය කරමින් විප්ලවය පාවා දී ඇති බව සලකන විට, මෙවර ද විප්ලවය පාවා දෙනු නො ලැබේ ද? වෙනත් වචනවලින් කිවහොත්: නිර්ධන පන්ති විප්ලවයට නායකත්වය දෙනු සමත් පක්ෂයක් නිසි කලට සූදානම් කිරීමෙහි ලා අප සාර්ථක වනු ඇති ද?" [11]         

දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රතිඵලය සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයෙහි ශක්තතාව නිර්නය කිරීමෙහි ලා තීරනාත්මක විය හැකි බව ඊට අට මසකට පෙර 1939 සැප්තැම්බරයේ ලියූ සිය "සෝවියට් සමූහාන්ඩුව හා යුද්ධය" නම් නිබන්ධය තුල ට්‍රොට්ස්කි ලියා තිබින. "මෙම පරීක්ෂනයේ ප්‍රතිඵල නිසැකවම, නූතන යුගය නිර්ධන පන්ති විප්ලවයේ යුගය ලෙස කෙරී ඇති අපේ ඇගයුම සම්බන්ධයෙන් තීරනාත්මක වැදගත්කමක් දරනු ඇත." [12] එහෙත් මෙම ප්‍රකාශය, ලෝක තත්වයේ වූ බැරෑරුම්කම හා එය කම්කරු පන්තිය අබිමුවට පමුනුවන අනතුරු පිලිබඳ ව යුක්තියුක්ත ලෙස අවධාරනය කිරීමේ අරමුනින් සිදු කෙරුනු ආනුෂංගික ප්‍රකාශයක - ආගන්තුක ප්‍රකාශයක් ලෙස නීතියේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක - ස්වභාවයේ එකකි. එය වෙනස් කල නොහෙන ඓතිහාසික කාල සටහනක ආකාරයෙන් කියවීමට අපේක්ෂා නොකෙරින. ඉනික්බිතිව, 1940 අප්‍රේල් මාසයේ ලියන ලද ලේඛනයක ට්‍රොට්ස්කි මාක්ස්වාදී විශ්ලේෂනයේ විධික්‍රමය පිලිබඳව තීරනාත්මක කරුනක් ගෙන හැර දක්වා ඇත: 

සෑම ඓතිහාසික පූර්වානුමානයක් ම සෑමවිටම කොන්දේසිගත වන අතර, පූර්වානුමානය වඩවඩාත් සංයුක්ත වන තරමට එය වඩවඩාත් කොන්දේසිගත වේ. පූර්වානුමානයක් යනු දෙන ලද දිනයක මුදල් බවට හරවා ගත හැකි පොරොන්දු පත්‍රයක් නොවේ. පූර්වානුමානය විසින් දැක්වෙන්නේ වර්ධනයේ නිශ්චිත නැඹුරුතාවල හුදු සැකිල්ල පමනෙකි. එහෙත් මෙම නැඹුරුතා සමඟ, කිසියම් නිශ්චිත මොහොතක ප්‍රමුඛත්වයට පත් වීමට පටන් ගන්නා වෙනස් ප්‍රකාරයක බලවේග හා ප්‍රවනතා ක්‍රියාත්මක වෙයි. සංයුක්ත සිදුවීම්වල නිරවද්‍ය පුරෝකථන අපේක්ෂා කරන සියල්ලෝ දෛවඥයන්ගෙන් උපදේශ ලබා ගත යුත්තාහ. මාක්ස්වාදී පූර්වානුමාන අධාරකාරී වන්නේ දිශානුයෝජනයෙහි ලා පමනෙකි. [13]            

ඒ පිලිබඳ විශ්ලේෂනය යුද්ධය හා යුද්ධයේ සාන්දෘෂ්ඨික ප්‍රතිඵලවලින් ඔබ්බට විස්තීරනය කෙරුනු ඉදිරි දර්ශනයක පදනම මත හතරවැනි ජාත්‍යන්තරය අනුස්ථාපනය කිරීමේ ප්‍රයත්නයක ට්‍රොට්ස්කි මැයි මස වන විට යෙදී සිටි බව පැහැදිලිය. යුද්ධය හුදු පශ්චාත් පලමු ලෝක යුද්ධ සමයේ අර්බුදයෙහි කුලු ගැන්වීම පමනක් නොවීය; එය එමෙන්ම, ධනේශ්වර ක්‍රමයේ අර්බුදයෙහි හා ලෝක විප්ලවයෙහි නව අවධියක ආරම්භය ද විය. හතරවැනි ජාත්‍යන්තරයේ ක්‍රියාධරයන් විස්තාරිත කාල පරිච්ඡේදයක් පුරා සිදු කෙරෙන අරගලයක් සඳහා සූදානම් කල යුතුව තිබින. "ස්වාභාවිකවම, ඒ හෝ මේ නැඟිටීම අවසන් වනු ඇති අතර, විප්ලවවාදී නායකත්වයේ අපරිනත භාවය නිසා ඒවා නිසැකවම පරාජයෙන් කෙලවර  වනු ඇතැ"යි ඔහු නොවලහා පිලිගත්තේය. "එහෙත් එය තනි නැඟිටීමක් ගැන ප්‍රශ්නයක් නොවේ. එය සමස්ත විප්ලවවාදී අවධියක් සම්බන්ධ ප්‍රශ්නයකි."            

යුද්ධය ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ගැනුනු මෙම ඇගයුමෙන් ගලා ආ නිගමනය කුමක්ද?

දිග්ගැසුනු මර ලතෝනියක් පිටවීමේ දොරටුවක් ලෙස සලකන්නේ නම් විනා, ඒ හැර ධනේශ්වර ලෝකයට මේ අර්බුදයෙන් ගැලවී යාමේ මඟක් නැත. යුද්ධ, නැඟිටීම්, යුද විරතියේ කෙටි විරාමයන්, නව යුද්ධ, හා නව නැඟිටීම්වල දීර්ඝ - දශකයන් නොවේනම් - අවුරුදු ගනන්, සඳහා සූදානම් වීම අත්‍යවශ්‍යය. තරුන විප්ලවවාදී පක්ෂයක් මෙම ඉදිරි දර්ශනය මත තමා පදනම් කර ගත යුතුය. එයට තමා ම පරීක්ෂා කිරීමට, අත්දැකීම් එක් කර ගැනීමට හා පරිනතවීමට ප්‍රමානවත් අවස්ථා ඉතිහාසය විසින් සම්පාදනය කෙරෙනු ඇත. පෙරටු බල ඇනියේ ශ්‍රේනි වඩවඩාත් අප්‍රමාදව ඒකාබද්ධ වන තරමට ලේ වැකි කම්පනයන් වඩවඩාත් කෙටි වනු ද, අපේ ග්‍රහ ලෝකය වඩවඩාත් අඩු විනාශයකින් පීඩා විඳිනු ද ඇත. එහෙත් කොයි හැටි වෙතත්, විප්ලවවාදී පක්ෂය නිර්ධන පන්තියේ හිස ලෙස නැඟී සිටින තුරු මහා ඓතිහාසික ගැටලුව විසඳෙනු නැත. ලයමානයන් හා කාල අන්තරයන් පිලිබඳ ප්‍රශ්නය අතිමහත් වැදගත්කමකින් යුතුය; එහෙත් එය අපේ පොදු ඓතිහාසික ඉදිරි දර්ශනය හෝ අපේ ප්‍රතිපත්තිවල දිශාව හෝ වෙනස් නොකරයි. නිගමනය සරලය: නිර්ධන පන්තියේ පෙරටු බල ඇනියට අධ්‍යාපනය ලබා දීමේ හා එය සංවිධානය කිරීමේ කටයුතු දශ ගුනයක ශක්තියෙන් යුතුව කර ගෙන යාම අත්‍යවශ්‍යය. හතරවැනි ජාත්‍යන්තරයේ කාර්යභාරය රැඳී තිබෙන්නේ නිරවද්‍යව ම, මෙහි ය. [14] 

මතු සම්බන්ධයි.

[1] Writings of Leon Trotsky 1939-40, පි. 183

[2] එම, පි. 185

[3] එම, පි. 188

[4] එම, පි. 191

[5] එම, පිටු 193-94

[6] එම, පි. 197

[7] එම, පිටු 199-200

[8] එම, පි. 202

[9] එම, පි. 206

[10] එම, පිටු  217

[11] එම.

[12] In Defence of Marxism, පි. 17

[13] එම, පි. 219

[14] Writings of Leon Trotsky 1939-40, පි . 218

Loading