ට්‍රොට්ස්කිගේ අවසන් වසර

-සිව්වැනි කොටස

මෙය ලිපි මාලාවක සිව්වැන්නයි. අගෝස්තු 29 වන දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

මෙම ලිපි මාලාව, ට්‍රොට්ස්කි ඝාතනයේ 80 සංවත්සරය වෙනුවෙන්, එම ලෝක සමාජවාදී විප්ලවයේ මහා න්‍යායඥයා සහ මුලෝපායඥයාගේ ජීවිතයේ අවසන් වසරෙහි කෘත්‍යයන් පිලිබඳව කෙරෙන ඇගයීමකි. ලිපි මාලාවේ පලමුවන  කොටස, සැප්තැම්බර් 18 දින , දෙවැනි කොටස, සැප්තැම්බර් 19 ද, තෙවැනි කොටස, සැප්තැම්බර් 24  ද පලවිය.

1940 මැයි 24 දින ඝාතක ප්‍රයත්නයෙන් ට්‍රොට්ස්කි ආශ්චර්යජනක ලෙස ගැලවීම හුදු තාවකාලික සහනයක් පමනක් බව සනාථ වීමට නියමිතව තිබින. ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ විකල්ප සැලැස්මක් ජීපීයූව වහාම ක්‍රියාත්මක කලේය. ඊලඟ ප්‍රයත්නය දැරීමට නියමිත වූයේ හොඳින්ම සන්නද්ධ වූ මිනීමරු කන්ඩායමක් විසින් නොව, හුදෙකලා ඝාතකයෙකු විසිනි. මේ පැවැරුම සඳහා ජීපීයූව විසින් තෝරා ගැනුනු ස්පාඤ්ඤ ඒජන්ත රේමන් මර්කාඩර් 1938 තරම් ඉහත කාලයකදී ඔහුගේ පෙම්වතිය වූ සිල්වියා අජ්ලොෆ් විසින් හතරවැනි ජාත්‍යන්තරයේ පරිස්ථිතිය තුලට හඳුන්වා දෙනු ලැබ තිබින. ඇය හතරවැනි ජාත්‍යන්තරය හා එස්ඩබ්ලිව්පීය අතර පනිවුඩකාරියක ලෙස කටයුතු කර ඇති බවක් පෙනෙන්නට ඇතත්, සමාජවාදී කම්කරු පක්ෂය සමඟ ඇගේ නිශ්චිත සම්බන්ධතාව තවමත් අපැහැදිලි ය.

රේමන් මර්කාඩර්

           

අජ්ලොෆ්ගේ පෞද්ගලික හා දේශපාලන බොලඳකම හතරවැනි ජාත්‍යන්තරය සමඟ ඇයට පැවැති ඉහල පෙලේ සම්බන්ධකම් හා ගැලපීමට අසීරුය. අවුරුදු දෙකකට ආසන්න කාලයක් පුරා විහිදී ගිය ලෙන්ගතු සම්බන්ධතාවයක කාල සීමාව තුල, ඉතා අමුතු සිය සහකරු වටා බමන ලද ඉතා පැහැදිලිව දැකිය හැකි විෂමතා, පරස්පරවීම් හා අභිරහස් දකින්නට එක්කෝ ඇය අසමත් වූවා ය, නැතහොත් ඒ සම්බන්ධ සැලකිල්ල යටපත් කලාය: ඔහුගේ බහු අනන්‍යතාව (ෆ්‍රෑන්ක් ජැක්සන්, ජැක් මොනාර්ඩ්, වැන්ඩෙන්ඩ්‍රීෂ්ච්), අතිශය සැක උපදවන සුලු ව්‍යාපාර කටයුතු සහ අසීමිතව ඔහු අත මුදල් ගැවසීම. තම පෙම්වතා සම්බන්ධ එහැම පිටින්ම වැරදී ගිය යමක් ඇති බවත්, ඔහු නිසැකවම ට්‍රොට්ස්කිට ආසන්නයේ කොතැනකට හෝ වැද්දගත යුතු වර්ගයේ පුද්ගලයකු නොවූ බවත් අජ්ලොෆ්ට කිසිදා හැඟී නොගියේය - නැතහොත්, ඝාතනයෙන් පසු සැක සහිත වූත්, ඇය කියන දේ විශ්වාස නොකලා වූත් මෙක්සිකානු අභිචෝදකයන් හමුවේ ඇය එසේ කියා සිටියාය.

1940 වසන්තයේ දී ජැක්සන්-මොනාර්ඩ් විප්ලවවාදී නායකයා මුන ගැසීමේ කිසිදු උනන්දුවක් නොපෑ නමුදු, ට්‍රොට්ස්කිගේ රැකවලුන් හමුවේ නිරතුරු දැක පුරුදු අයෙකු බවට තමා පත්කර ගැනීමට ඔහු අජ්ලොෆ් විසින් සම්පාදිත  අවස්ථාවන් භාවිතා කලේය. නිරතුරුව රථය පදවා ගෙන, අවෙනිදා වියෙනාහි පිහිටි මන්දිරය වෙත අජ්ලොෆ් රැගෙන ගිය ඔහු, ඇය තම වැඩ අහවර කරන තුරු පිටත රැඳී සිටීමෙන් සෑහීමකට පත් වූ සේ පෙනෙන්නට තිබින. එහෙත් රැකවලුන් සමඟ කතා බහේ යෙදීමට ද, ට්‍රොට්ස්කිගේ සමීප මිතුරන් වූ ඇල්ෆ්‍රඩ් හා මාර්ගරීට් රොස්මර් සමඟ සම්බන්ධතාවක් ප්‍රවේශමින් වර්ධනය කර ගැනීමට ද ඔහු කටයුතු කලේය. විප්ලවවාදී ව්‍යාපාරයේ දශක ගනනක් ගත කර තුබූ නමුදු යහමින් මුදල් හදල් ඇති, විවේකයෙන් ගත කරන්නට කාලය ඕනෑ තරම් තිබූ, අදේශපාලනික ව්‍යාපාරික ජැක්සන්-මොනාර්ඩ්ගේ අමුත්තක් ඔවුහු නොදුටුවෝය. තමන් බෙල්ජියම් ජාතිකයෙකු යැයි කියා සිටි ස්පාඤ්ඤයේ උපන් ඒජන්තයාගේ උච්චාරන විධියේ වෙනසක් හඳුනා ගැනීමට ද ප්‍රංශයේ උපන් මේ යුවල අසමත් වූහ.                       

ජැක්සන්-මොනාර්ඩ් ප්‍රථම වරට නිවාස සංකීර්නයට ඇතුලු වී සුලු වේලාවකට ට්‍රොට්ස්කි හමු වූයේ මැයි 24 ප්‍රහාරයෙන් සිව් දිනක් ගෙවී යාමෙන් ද පසුව ය. කොයෝවාකාන් කරා ඔහු ගිය එක් අවස්ථාවක දී ජැක්සන්-මොනාර්ඩ් මන්දිරයේ පිටත බිත්ති සවිවර ගන්වමින් සිටි රැකවලුන්ට සමීප විය. ජීපීයූවේ තවත් ප්‍රහාරයකට මුහුන දීමට තමන් සූදානම් වෙමින් සිටින බව ඔවුහු ඔහුට කීවෝය. නිකමට මෙන් කියන බවක් ඉතා ඕනෑකමින් ආරූඪ කර ගනිමින් ජැක්සන්-මොනාර්ඩ් කියා සිටියේ ට්‍රොට්ස්කි මරා දැමීමේ ජීපීයූවේ ඊලඟ ප්‍රයත්නය වෙනස් ක්‍රමයක් යොදා ගනු ඇති බවයි.  

ට්‍රොට්ස්කිගේ කටයුතු ඔහුගේ හුරුපුරුදු වෙහෙසකාරී වේගයෙන් දිගටම සිදු කෙරින. මැයි 24 කුමන්ත්‍රනය හෙලිදරව් කිරීමේ ද, ප්‍රහාරය ට්‍රොට්ස්කි විසින් සැලසුම් කෙරුනු, ඔහුගේ ආධාරකරුවන් විසින් ක්‍රියාත්මක කෙරුනු "ස්වයං-ප්‍රහාරයකැ"යි මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂයත්, ස්ටැලින්වාදීන් විසින් පාලනය කෙරුනු වෘත්තීය සමිති හා පුවත්පතුත් විසින් ගෙන යන ලද විලිලජ්ජා විරහිත කියාපෑම් ප්‍රතික්ෂේප කිරීමේ ද අධිකතර ලෙස නිමග්න වී සිටි නමුදු, දෙවැනි ලෝක යුද්ධයේ දිග හැරීම ද ඔහු ප්‍රවේශමින් හැදෑරීය. ජූනි මැද වන විට ප්‍රංශය යටත් වී තිබුනු අතර හිට්ලර්ගේ හමුදා බටහිර යුරෝපය පාලනය කලෝය. පෙර නො ඇසූ විරූ පරිමානයක ඛේදාන්තයක් කම්කරු පන්තිය මත කඩා පාත් වී තිබින. ප්‍රංශයේ පරාජයෙන් දෙදිනක ඇවෑමෙන්, 1940 ජූනි 17 වන දින, ලියන ලද කෙටි සටහනක් තුල ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:        

ප්‍රන්සයේ යටත් වීම හුදු සරල හමුදාමය කථාංගයක් නොවේ. එය යුරෝපයේ මහා විපත්තියෙහි කොටසකි. මිනිස් වර්ගයාට තව දුරටත් අධිරාජ්‍යවාදයේ රාජ්‍ය යන්ත්‍රය යටතේ ජීවත් විය නොහැකිය. හිට්ලර් යනු අහම්බයක් නොවේ; ඔහු, අපේ සමස්ත ශිෂ්ඨාචාරය කුඩුපට්ටම් කර දැමීමට තර්ජනය කරන, අධිරාජ්‍යවාදයේ වඩාත්ම සංගත වූ ද, වඩාත්ම තිරශ්චීන වූ ද ප්‍රකාශනයයි. [1]   

හිට්ලර්ගේ භයංකාර අපරාධ මතු වී ආවේ ධනේශ්වර ක්‍රමයෙන් හා අධිරාජ්‍යවාදයේ අනිටුකාරී ලෝක ගෝලීය දේශපාලනයෙනි. එහෙත් හිට්ලර්ට බටහිර යුරෝපය අත්පත් කර ගත හැකි වූයේ ස්ටැලින්ගෙන් ඔහු ලද සහයෝගය නිසාය. පලමුව ප්‍රජාතන්ත්‍රවාදී අධිරාජ්‍යවාදීන් සමඟ තම "මහජන පෙරමුනු" සන්ධානය හරහා ද, ඊලඟට හදිසියේ ම ඒ පසුපසින් ආ හිට්ලර් සමඟ ඔහුගේ එකඟතාවය මඟින් ද එම ආඥාදායකයා කම්කරු පන්තිය පාවා දුන් අතර, එය, කම්කරු පන්තිය අලාමුලා කොට හමුදාමය වශයෙන් නාසි ජර්මනියේ තත්වය ශක්තිමත් කලේය. "යුරෝපයේ මෙන්ම යුරෝපයෙන් පිටත ද මහජනයා අධෛර්යමත් කිරීම මඟින් ස්ටැලින් හිට්ලර්ට සේවය සපයන ඒජන්ත ප්‍රකෝපකාරියෙකුගේ කාර්යභාරය ඉෂ්ට කලේය. ප්‍රංශයේ යටත්වීම එවැනි දේශපාලනයේ ප්‍රතිඵල අතරින් එකකි," යනුවෙන් ට්‍රොට්ස්කි ලිවීය. ස්ටැලින් සෝවියට් සංගමය "අගාධයේ අද්දරටම" ගෙනැවිත් ඇතැයි ලියූ ට්‍රොට්ස්කි, හිට්ලර්ගේ "බටහිරදී අත්පත් කර ගත් ජයග්‍රහන, නැගෙනහිර දිසාව කරා යෝධ ප්‍රයානයක හුදු සූදානම්වීමක් පමනෙකැ"යි [2] අනතුරු හැඟවීය. හරියටම එක් අවුරුද්දකට ඉතාම සමීප කාලයක් තුල, 1941 ජූනි 22 වන දින, හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමනය කිරීමේ බාබරෝසා මෙහෙයුම දියත් කලේය.             

මැයි 24 ප්‍රහාරයෙන් හා යුරෝපයේ යුගකාරක සිදුවීම් වලින් පැන නැඟෙන දේශපාලන හා ආරක්ෂාව පිලිබඳ ප්‍රයුක්තීන් හේතු කොට ගෙන, එස්ඩබ්ලිව්පීයේ ප්‍රාරම්භක පක්ෂ නායක ජේම්ස් පී. කැනන්ගේ නායකත්වයෙන් යුතු එස්ඩබ්ලිව්පීයේ නායකයන්ගේ නියෝජිත කන්ඩායමක් මෙක්සිකෝව කරා යාම අත්‍යවශ්‍ය විය. යුද්ධයේ කොන්දේසි යටතේ එස්ඩබ්ලිව්පීයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ජූනි 12 වන බදාදා සහ ජූනි 15 වන සෙනසුරාදා අතරතුර පැවැති විස්තීර්න සාකච්ඡාවකට ට්‍රොට්ස්කි සහභාගි විය. ට්‍රොට්ස්කි හා කැනන්ට අමතරව චාල්ස් කෝනෙල්, ෆැරල් ඩොබ්ස්, සෑම් ගෝර්ඩ්න්, ඇන්ටොයිනෙට් කොනිකොව්, හැරල්ඩ් රොබින්ස් සහ ජෝසෆ් හැන්සන් ද මෙම සාකච්ඡාවට සහභාගී වූවන් අතර වූහ. දීර්ඝ කාලයක් යටපත් කොට තැබීමෙන් පසු 1970 ගනන් හා 1980 ගනන්වල දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සොයා ගැනුනු ලේඛන මාර්ගයෙන් හැන්සන් ට්‍රොට්ස්කිගේ ලේකම් මන්ඩලය තුලට ජීපීයූව මඟින් රිංගවන ලද අයෙකු බව හෙලිවීමට නියමිතව තිබින.    

ට්‍රොට්ස්කි හා ෆැරල් ඩොබ්ස්

මෙම සාකච්ඡාවේ සංස්කරනය නොකරන ලද ලඝුලේඛනය කෙරුනු වාර්තාවක් එස්ඩබ්ලිව්පීයේ සාමාජිකත්වය තුල බෙදා හරින ලදී. න්‍යාය පත්‍රයේ ප්‍රථම අංකය වූ හතරවැනි ජාත්‍යන්තරයේ හදිසි සමුලුවේ වාර්තාවක් පිටපත් නොකෙරුනු අතර සාකච්ඡාවේ පදානුගත වාර්තා කිරීම ආරම්භ වූයේ, "යුද්ධය හා ඉදිරි දර්ශනය" යන දෙවැනි විෂයාංකයෙනි. මෙම සාකච්ඡාවට ට්‍රොට්ස්කි සිදු කල ප්‍රතිපදානය තුල, අධිරාජ්‍යවාදී යුද්ධයට පක්ෂය දක්වන සප්‍රතිපත්තික විරෝධය සුලු ධනේශ්වර සාමවාදය සමඟ පටලවා නොගතයුතු බවත්, එය සමඟ කවර හෝ ආකාරයකින් හවුල් නොවිය යුතු බවටත් අවධාරනය කෙරින.              

එක්සත් ජනපදය යුද්ධයට ඇතුලත් වීම නොවැලැක්විය හැකිව තිබින. එස්ඩබ්ලිව්පීය ජාතික ස්වෝත්තමවාදයට අනුගත නොවෙමින්, කම්කරුවන්ගේ විඥානය සමඟ අන්තර්ඡේදනය වන සිද්ධිදායක විප්ලවවාදී උද්ඝෝෂනයක් බවට යුද්ධය කෙරේ ඇති සප්‍රතිපත්තික විරෝධය හැරවිය යුතු බවට ට්‍රොට්ස්කි උදක්ම ප්‍රකාශ කලේය.

මිලිටරීකරනය දැන් අතිදැවැන්ත පරිමානයකින් සිදු කෙරෙමින් පවතී. අපට සාමවාදී වාක්‍යාංශ මඟින් ඊට එරෙහි විය නොහැකිය. මිලිටරීකරනයට කම්කරුවන් අතර පුලුල් සහයෝගයක් ලැබී ඇත. ඔවුහු ව්‍යාකූල පන්තිමය මනෝභාවයන්ගෙන් යුතුව හිට්ලර්ට එරෙහි භාවාතිශය වෛරයක් හිස දරා සිටිති. විජයග්‍රාහී මං පහරන්නා කෙරේ ඔවුන්ට වෛරයක් ඇත. පරාජිත දාමරිකයාට උදව් කරන මෙන් කියා සිටීම සඳහා නිලධරය එයින් ප්‍රයෝජන ගනියි. අපේ නිගමනයන් සපුරාම වෙනස් ය. එහෙත් මෙකී සූදානම්වීමේ අවසාන කාල පරිච්ඡේදයේ නොවැලැක්විය හැකි පදනම වනුයේ මෙකී මනෝභාවයයි. [3]        

එස්ඩබ්ලිව්පීය පොර බදමින් සිටි අභියෝගය වූයේ තරුන කම්කරුවන් සඳහා, ඔවුන් හමුදා තුලට ඇද ගනිමින් පවතිද්දී පවා, ස්වකීය පන්ති විඥානය වර්ධනය කර ගන්නා ආකාරයේ ප්‍රවිෂ්ඨයක් වර්ධනය කිරීමයි. පක්ෂය තම උද්ඝෝෂනය "පන්ති පදනමක" පිහිටුවිය යුතුව තිබිනි. [4] පක්ෂය විසින් ගත යුතු ප්‍රවිෂ්ඨයන් පිලිබඳව ට්‍රොට්ස්කි උදාහරන සම්පාදනය කලේය:    

කාලතුවක්කුවලට බිලි වශයෙන් ඔබ පාවිච්චි කරන, ඔබට ගවයන්ට සේ සලකන ධනේශ්වර නිලධාරීන්ට අප විරුද්ධය. ධනේශ්වර නිලධාරීන්ට මෙන් නොව අපට කම්කරුවන්ගේ මරන සම්බන්ධයෙන් තැකීමක් ඇත. අපට කම්කරුවන්ගේ නිලධාරීන් අවශ්‍යය.    

අපට කම්කරුවන්ට මෙසේ කිව හැක: අප විප්ලවය සඳහා සූදානම්ය. එහෙත් ඔබ සූදානම් නැත. එහෙත් මෙම තතු තුල අප දෙපිරිසටම අපේම කම්කරුවන්ගේ නිලධාරීන් අවශ්‍යය. නිලධාරීන් වීම සඳහා අපට පුහුනුව දෙන විශේෂ කම්කරු පාසල් අපට අවශ්‍යය. ....

අපි පවුල් හැටේ පාලනය ප්‍රතික්ෂේප කරමු. කම්කරු-සෙබලාගේ කොන්දේසිවල අභිවෘද්ධියක් අපට අවශ්‍යය. අපට ඔහුගේ ජීවිතය සුරකින්නට, එය නාස්ති කර නොදමන්නට අවශ්‍යය. [5]   

ජූනි 13 වන බ්‍රහස්පතින්දා සාකච්ඡාව 1940 ජනාධිපතිවරනය පිලිබඳ එස්ඩබ්ලිව්පීයේ පිලිවෙත කරා යොමු විය. ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් තුන්වැනි වාරයක් සඳහා තරඟ වැද සිටියේය. පක්ෂය තමාගේම අපේක්ෂකයෙකු නම් කොට නොතිබින. "තමන් ඡන්දය දිය යුත්තේ කවරෙකු ජනාධිපති කරන්නදැයි කම්කරුවන් අසන විට අප ඔවුන්ට කුමක් කිව යුතුද?" කැනන් මෙසේ පිලිතුරු දුන්නේය: "ඔවුන් එවැනි අපහසුතාවයට පත් කෙරෙන ප්‍රශ්න නො ඇසිය යුතුය." [6] රූස්වෙල්ට්ට එරෙහිව අපේක්ෂකයෙකු නම් කිරීම සඳහා වෘත්තීය සමිතිවල සම්මේලනයක් කැඳවීමට එස්ඩබ්ලිව්පීය ක්‍රියා නොකලේ මන්දැයි ට්‍රොට්ස්කි ඇසීය. "සම්පූර්නයෙන් ම මධ්‍යස්ථව උපේක්ෂාවෙන් සිටීමට අපට නොහැකිය," යනුවෙන් ඔහු තර්ක කලේය. අපට බලපෑම් කල හැකි වෘත්තීය සමිතිවල දී, රූස්වෙල්ට් අපේ අපේක්ෂකයා නොවන බවටත්, කම්කරුවන්ට තමන්ගේම අපේක්ෂකයෙකු සිටිය යුතු බවටත් අවධාරනය කිරීමට හොඳටම අවකාශ ඇත. අප ස්වාධීන කම්කරු පක්ෂය[ක් පිලිබඳ ඉල්ලීම] සමඟ සම්බන්ධිත ජාතික මට්ටමේ සම්මේලනයක් ඉල්ලා සිටිය යුතුය." [7]    

ට්‍රොට්ස්කි ඇමෙරිකානු කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරන අපේක්ෂකත්වය පිලිබඳ ප්‍රශ්නය ද නැඟීය. එකිනෙකා ආක්‍රමනය නොකිරීමේ ගිවිසුම අත්සන් කල තැන් පටන් කොමියුනිස්ට් පක්ෂය විසින් අනුයන ලද පිලිවෙත වූයේ එක්සත් ජනපදය යුද්ධයට ඇතුලු වීමට විරුද්ධ වීමයි. නිසැකවම ස්ටැලින්වාදී නායකත්වයේ මේ උපක්‍රමය නිර්නය කෙරුනේ මුලුමනින්ම ක්‍රෙම්ලිනයේ විදේශ ප්‍රතිපත්තිය විසිනි. එහෙත් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වයේ කොටසක් විසින් එය බැරෑරුම්ව සලකනු ලැබ තිබිනි. මෙය එස්ඩබ්ලිව්පීයට ස්ටැලින්වාදී කම්කරුවන් අතර මැදිහත් වීමේ අවස්ථාවක් සම්පාදනය කොට නොතිබිනි ද? එස්ඩබ්ලිව්පීය තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන තතු තුල එය කොමියුනිස්ට් පක්ෂ නායක අර්ල් බ්‍රෞඩර්ගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයට විවේචනාත්මක සහාය දීම පිලිබඳව සලකා බැලිය යුතුයැයි ට්‍රොට්ස්කි යෝජනා කලේය. ස්ටැලින්වාදී නායකත්වය විසින් කෙතෙක් මංමුලා කරනු ලැබ තිබුනේ වී වුව, පක්ෂ සාමාජිකත්වය තුල පන්ති විඥානයෙන් යුතු කම්කරුවන්ගේ සැලකිය යුතු ස්ථරයක් වූහ. එස්ඩබ්ලිව්පීය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාලෝචිත උපක්‍රමයක් - ඇමරිකාව යුද්ධයට ඇතුලු වීමට එරෙහිව කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන විරුද්ධත්වයේ පදනම මත එහි උද්ඝෝෂනයට විවේචනාත්මකව සහයෝගය දීම - මඟින් ස්ටැලින්වාදී කම්කරුවන් කරා ප්‍රවිෂ්ඨ වීමට ඉඩකඩ විවෘත වනු ඇත.  

ට්‍රොට්ස්කිගේ යෙජනාවට කැනන්ගෙන් මෙන්ම සැබැවින්ම සාකච්ඡාවට සහභාගී වූ සෙසු සියලු දෙනාගෙන් ද, දැඩි විරුද්ධත්වයක් පල විය. ස්ටැලින්වාදීන්ට එරෙහිව අවුරුදු ගනනක කඨෝර අරගලය තුල වෘත්තීය සමිති තුල එස්ඩබ්ලිව්පීයේ බලපෑම සඳහා වෘත්තීය සමිති නිලධරයේ "ප්‍රගතිශීලී" කොටස් සමඟ සන්ධාන වර්ධනය කර ගැනීමට අවශ්‍ය වී තිබින. ට්‍රොට්ස්කි විසින් යෝජිත උපාය මෙකී සම්බන්ධතාවලට වල කපනු ඇත. රූස්වෙල්ට් හා ඩිමොක්‍රටික් පක්ෂය සමඟ දේශපාලනිකව පෙල ගැසී සිටි මෙකී "ප්‍රගතිශීලී නිලධාරීන්" කරා වූ එස්ඩබ්ලිව්පීයේ ප්‍රවිෂ්ඨය ට්‍රොට්ස්කිගේ විවේචනයට බඳුන් විය. ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේය: "මෙම ප්‍රගතිශීලී නිලධාරීන්ට ස්ටැලින්වාදීන්ට එරෙහි අරගලය තුල උපදෙස් සඳහා අප මත වාරු විය හැකිය. එහෙත් ප්‍රගතිශීලී නිලධරයක උපදේශකයෙකුගේ කාර්යභාරය දිගු කාලීනව වැඩිමනත් ප්‍රතිඥාවක් ලබා නොදෙයි." [8]   

ට්‍රොට්ස්කිට පටහැනිව කථා කරමින්, 1920 ගනන්වල දී වාම විපක්ෂයට සහාය දුන් මුල්ම ඇමරිකානුවන්ගෙන් එක් අයෙකු වන ඇන්ටොයිනට් කොනිකොව් ප්‍රකාශ කලේ, ස්ටැලින්වාදීන් මෙන් නොව, (ටීම්ස්ටර්ස් හි නායක) ඩෑන් ටෝබින් හා (එක්සත් පතල් කම්කරු සංගමයේ නායක) ජෝන් එල්. ලුවිස් වැනි ඇමරිකානු ඒඑෆ්එල් නායකයන් ට්‍රොට්ස්කිවාදීන් මරා දැමීමට උත්සාහ නොකරනු ඇති බවයි.   

"මට ඒ ගැන එතරම් විශ්වාසයක් නැතැ"යි ට්‍රොට්ස්කි පිලිතුරු දුන්නේය. "තමන් (ජනාධිපති ලෙස) තේරී පත් වුවහොත් හා යුද්ධය එලැඹියහොත්, ලුවිස් ඉතා කාර්යක්ෂම ලෙස අප මරා දමනු ඇත." [9]  

එස්ඩබ්ලිව්පීය තමන් යෝජනා කල පිලිවෙත අනුගමනය කල යුතු බවට ට්‍රොට්ස්කි බල කර සිටියේ නැත. එහෙත් ජූනි 14 වන සිකුරාදා සාකච්ඡාව දිගටම කෙරී ගෙන යන අතරතුර ඔහු ප්‍රගතිශීලීන් කරා පක්ෂයේ වූ පෙලගැස්ම පිලිබඳ තියුනු විවේචනයක් සිදු කලේය.    

තීරනාත්මක කරුන ඉතා පැහැදිලියැයි මම විශ්වාස කරමි. ඊනියා ප්‍රගතිශීලීන් - හුදෙක් රැවටිලිකාරයන් පමනක් නොව, අවංක සාමාන්‍ය ජනයා ද - සමඟ අපි කාන්ඩ ගැසී සිටින්නෙමු. ඔව්, ඔවුන් අවංක හා ප්‍රගතිශීලී වෙති. එහෙත් වරින් වර - සිව් වසරකට වරක් බැගින් - ඔවුහු රූස්වෙල්ට්ට ඡන්දය දෙති. මෙය තීරනාත්මකය. ඔබ යෝජනා කරන්නේ වෘත්තීය සමිති පිලිවෙතක් විනා බෝල්ෂෙවික් පිලිවෙතක් නොවේ. බෝල්ෂෙවික් පිලිවෙත් පටන් ගන්නේ වෘත්තීය සමිතිවලට පිටස්තරවය. කම්කරුවා අවංක වෘත්තීය සමිති කරුවෙකු නමුදු ඔහු බෝල්ෂෙවික් දේශපාලනයට බොහෝ දුරින් හිඳින්නෙකි. අවංක සටන්කරුවෙකුට වර්ධනය විය හැකි නමුදු, එය බෝල්ෂෙවිකයෙකු වීම සමඟ අනන්‍ය වන්නක් නොවේ. රූස්වෙල්ටියානු වෘත්තීය සමිති කරුවන්ගේ ඇස් ඉදිරියේ සම්මුති ගැසූවන් සේ පෙනී යාම ගැන ඔබ භීතියට පත්ව සිටින්නාහුය. අනෙක් අතට ඔවුහු, ඔබට එරෙහිව රූස්වෙල්ට්ට ඡන්දය දීම මඟින් සම්මුති ගැසූවන් බවට පත්වීම සම්බන්ධයෙන් අල්පමාත්‍ර තරමින් හෝ කනස්සලු නොවෙති. අපි සම්මුති ගැසූවන් වීමට බියෙන් සිටිමු. ඔබ බිය වූ කල, ඔබ ඔබේ ස්වාධීනත්වයට අහිමිව අර්ධ-රූස්වෙල්ටියානුවෙකු බවට පත්වන්නෙහිය. සාමය පවතින කාලයේ මෙය ව්‍යසනකාරී නොවේ. යුද සමයේ දී එය අප සම්මුති ගස්වයි. ඔවුන්ට අප විනාශ කල හැක. අපේ ප්‍රතිපත්තිය රූස්වෙල්ටියානු-පක්ෂපාතීත්වයක් දක්වන වෘත්තීය සමිතිවලට නොඉවසිය හැකි තරම් වැඩි ය. නෝර්ත්වෙස්ට් ඕගනයිසර් [එස්ඩබ්ලිව්පීය විසින් සංස්කරනය කොට පාලනය කරන ලද මිනියාපොලිස්හි 544 වන ටීම්ස්ටර් ලෝකලයේ පුවත්පත] තුල මෙය සත්‍ය වී ඇති බැව් මම දුටිමි. අපි ඉහතදී මෙය සාකච්ඡා කලෙමු; එහෙත් එක වචනයක්වත්, එකම එක වචනයක්වත්, වෙනස් වී නැත. අනතුර - භයංකාර අනතුරක් - වන්නේ රූස්වෙල්ටියානු-පක්ෂපාතී වෘත්තීය සමිති කරුවන්ට අනුහුරු වීමයි. ඔබ මැතිවරනය සම්බන්ධයෙන් කිසි පිලිතුරක් නොදෙන්නාහුය. අඩුතරමින් පිලිතුරක් දීමේ ආරම්භයක්වත් නැත. එහෙත් අපට ප්‍රතිපත්තියක් තිබිය යුතුය. [10] 

සාකච්ඡාවේ අවසාන දිනය වූ ජූනි 15 වන සෙනසුරාදා ට්‍රොට්ස්කි වෘත්තීය සමිති ප්‍රගතිශීලීන්ට එස්ඩබ්ලිව්පීයේ අනුගතවීම පිලිබඳ ඔහුගේ විවේචනය දිගටම ගෙන ගියේය. 

මට පෙනී යන හැටියට අපේ වෘත්තීය සමිති කටයුතුවලට අකර්මන්‍ය ලෙස අනුහුරුවීමක් හඳුනා ගත හැක. ආසන්නතම අනතුරක් නැත; එහෙත්, දිශාවේ වෙනසක් පෙන්නුම් කරන බැරෑරුම් අනතුරු හැඟවීමක් ඇත. බොහෝ සහෝදරවරු පක්ෂ කටයුතුවලට වඩා වෘත්තීය සමිති කටයුතු කෙරේ වඩාත් උනන්දු වෙති. පක්ෂයේ වඩාත් වැඩි ඒකාබද්ධතාවයක් අවශ්‍යය. වඩාත් තියුනු උපායශීලී භාවයක්, වඩාත් බැරෑරුම් ක්‍රමානුකූල න්‍යායික පුහුනුවක් අවශ්‍යය. නොඑසේනම්, වෘත්තීය සමිති අපේ සහෝදරවරුන් අවශෝෂනය කරන්නට පුලුවන. [11]  

1940 මැතිවරනය පිලිබඳ එස්ඩබ්ලිව්පීයේ ප්‍රතිපත්තිය සම්බන්ධ සාකච්ඡාව සමාප්තිය කරා එලැඹෙද්දී එක් අවසාන කරුනක් මතු විය: කොමියුනිස්ට් පක්ෂය කම්කරු ව්‍යාපාරයේ නීත්‍යානුකූල කොටසක් ලෙස සැලකිය හැකිද? ට්‍රොට්ස්කි ප්‍රබල ලෙස පිලිතුරු දුන්නේය: 

සත්තකින්ම ස්ටැලින්වාදීහු කම්කරු ව්‍යාපාරයේ නීත්‍යානුකූල කොටසක් වෙති. ජීපීයූවේ සුවිශේෂී ඉලක්කයන් සඳහා එහි නායකයන් විසින් එය අනිසි භාවිතයේ යොදවනු ලැබීම එකකි, ක්‍රෙම්ලිනයේ අවශ්‍යතා සඳහා එසේ කිරීම තවෙකෙකි. එය අනෙකුත් කම්කරු නිලධරයන්ගෙන් කිසිසේත් වෙනස් නොවේ. මොස්කව්හි බලගතු උත්සුකයෝ තුන්වැනි ජාත්‍යන්තරයට බලපෑම් කරති. එහෙත් එය මූලධර්මාත්මක ලෙස වෙනස් එකක් නොවේ. සත්තකින්ම ජීපීයූවේ භීෂනයේ පාලනය පිලිබඳව අප සලකන්නේ වෙනස් ආකාරයකිනි; අපි එය සමඟ, ධනේශ්වර පොලිසිය සමඟ පවා, හැකි සෑම ආකාරයකින්ම සටන් කරන්නෙමු. එහෙත් ස්ටැලින්වාදයේ දේශපාලන ධාරාව කම්කරු ව්‍යාපාරය තුල ඇති ධාරාවකි. [12]   

ස්ටැලින්වාදීන් විසින් සිදු කරන ලද අපරාධ නොතකා  - ඔහුගේ ජීවිතයට හානි කිරීමට දරන ලද ප්‍රයත්නයෙන් පසු ගත වී තිබුනේ තෙසතියක් පමනි - ට්‍රොට්ස්කි ස්ටැලින්වාදය පිලිබඳ වෛෂයික තක්සේරුවක් සඳහා බල කර සිටියේය. "අපි ඔවුන් පිලිබඳව වෛෂයික මාක්ස්වාදී දෘෂ්ඨි කෝනයකින් සලකා බැලිය යුත්තෙමු," යැයි ට්‍රොට්ස්කි අවධාරනය කලේය. "ඔවුහු ඉතා පරස්පර විරෝධී ප්‍රපංචයක් වෙති. ඔවුහු ඔක්තෝබරය පදනම ලෙස ගනිමින් ආරම්භ වූවෝ ය, ඔවුහු විකෘති භාවයට පත් වූවෝය, එහෙත් ඉමහත් ධෛර්යයක් ඔවුන් සතුය." [13] ට්‍රොට්ස්කි විසින් යෝජිත උපායේ අරමුන වූයේ ස්ටැලින්වාදී සාමාන්‍ය සාමාජිකයන්ගේ පක්ෂපාතීත්වයේ මෙම පරස්පරය ප්‍රයෝජනයට ගැනීමයි:   

ඔක්තෝබරයේ මනිහකරනයක් (ක්‍රිස්ටලීකරනයක්) ලෙස ආරම්භ වූ මෙම කම්කරුවන්, අප කරා දිනා ගැනීමට අපට අපේක්ෂා කල හැකියැයි මම සිතමි. අප ඔවුන් දකින්නේ නිශේධනාත්මක ලෙසය. මෙම බාධකය බිඳ හල හැක්කේ කෙසේද? අපි පදනම මුදුනතට එරෙහිව පිහිටුවිය යුත්තෙමු. මොස්කව් කල්ලිය මැරයන් ලෙස අපි සලකන්නෙමු. එහෙත් සාමාන්‍ය සාමාජිකයෝ ඔවුන් මැරයන් ලෙස නොව විප්ලවවාදීන් ලෙස හඟිති. .. අප ඔවුන් වටහා ගන්නා බවත්, අපට පොදු භාෂාවක් ඇති බවත් අප පෙන්වා දුනහොත්, අපට ඔවුන් ඔවුන්ගේ නායකයන්ට එරෙහිව හැරවිය හැක. අප සියයට පහක් දිනා ගතහොත් (එම) පක්ෂයේ විනාශය තීන්දු වනු ඇත. [14]   

කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයාට විවේචනාත්මක සහයෝගය පිරිනැමීමට ට්‍රොට්ස්කි ඉදිරිපත් කල - එහෙත් බල කිරීමක් නොකල - යෝජනාව පිලිබඳව ට්‍රොට්ස්කි හා එස්ඩබ්ලිව්පී නියෝජිතයන් අතර එකඟතාවයක් ඇති නොවීය. එම වෙනස සමාජවාදී කම්කරු පක්ෂය සමඟ ට්‍රොට්ස්කිගේ සම්බන්ධතාවයට අහිතකර බලපෑමක් නොකල අතර, සාකච්ඡා මිත්‍රශීලී ලෙස අවසාන විය. කෙසේවෙතත්, එස්ඩබ්ලිව්පීය ප්‍රගතිශීලී නිලධරයන්ට අනුහුරු වීමේ දැන හඳුනාගත හැකි මට්ටමක් පෙන්නුම් කර තුබූ තරම සැලැකිල්ලට ගත් කල, ට්‍රොට්ස්කිගේ විවේචනය පක්ෂය කෙරේ වැඩදායක බලපෑමක් ඉටු කලේය. සති ගනනක් තුල ට්‍රොට්ස්කි නෝර්ත්වෙස්ට් ඕගනයිසර් දේශපාලනිකව ශක්තිමත් වීම පිලිබඳව සතුටුදායක ලෙස අදහස් දැක්වීය. 

හැරල්ඩ් රොබින්ස් 1940 මැයි මාසයේ දී

                   

එක් අපූර්ව සිදුවීමක් දේශපාලන සාකච්ඡා කෙරේ ට්‍රොට්ස්කිගේ අධ්‍යාපනික ප්‍රවිෂ්ඨය දෙස ආලෝකය විහිදවූ අයුරු පිලිබඳව සාකච්ඡාවට සහභාගී වූ එක් අයෙක් පසුව සිහිපත් කලේය. 1939 දී මෙක්සිකෝවට පැමිනෙමින් ට්‍රොට්ස්කිගේ රැකවලුන්ගේ කපිතාන් බවට පත් වූ නිව්යෝර්ක්හි උපත ලද කම්කරුවෙකු වන හැරල්ඩ් රොබින්ස්, කොපයේ ජනාධිපති අපේක්ෂකයාට විවේචනාත්මක සහාය ලබාදීමේ ප්‍රශ්නය ට්‍රොට්ස්කි මතු කල ජූනි 13 වන දින සාකච්ඡාවන්ට සහභාගී විය. 1987 දී ඔහු 79 වන වියේ දී අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ, ඔහුගේ මරනය සම්බන්ධ සටහනකට මම, ඔහු මා හට පවසා තිබූ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් සම්බන්ධ විස්තරයක් ඇතුලත් කලෙමි.    

ඔහුට කථා කිරීමේ අවස්ථාව එලැඹි කල ඔහු, ස්ටැලින්වාදීන් කම්කරු පන්තිය පාවාදුන් නොයෙක් අවස්ථා ද, ධනේශ්වර දේශපාලකයන් සමඟ ඔවුන්ගේ නීච සහයෝගීතාව ද පිලිබඳව ගනන් තබමින් ඔවුන් පිලිබඳ උග්‍ර හෙලාදැකීමක් දියත් කලේය. "ස්ටැලින්වාදීන් හා ඩිමොක්‍රටිකයන් අතර මොන ඉලව් වෙනසක් හෝ නැතැ"යි හැරල්ඩ් ප්‍රකාශ කර සිටියේය.             

"රොබින් සහෝදරයා, මට ප්‍රශ්නයක් ඇසීමට අවසර දෙන්න," තම අත එසැවූ ට්‍රොට්ස්කි හැරල්ඩ්ගේ කථාවට බාධා කලේය. "ඉදින් ස්ටැලින්වාදීන් හා ඩිමොක්‍රටිකයන් අතර කිසිදු වෙනසක් නොමැති නම් ඔවුන් ස්වාධීනව පවතිමින් තමන්ට කොමියුනිස්ට්වාදීන් යැයි කියාගන්නේ මන්දැ"යි ඔහු ඇසීය. "ඔවුන් හුදෙක් ඩිමොක්‍රටික් පක්ෂයට නොබැඳෙන්නේ ඇයි?"

මෙම සරල ප්‍රශ්නවලින් හැරල්ඩ් විශ්මයට පත් විය. අපෝහකවාදය පිලිබඳ මෙම ආමූලික පාඩම විසින් තමන්ගේම ආස්ථානය සාවද්‍ය බව හැරල්ඩ්ට වහාම පැහැදිලි කර දෙන ලදී. එහෙත් කථාව එතැනින් නිම නොවේ.  

අදාල කරුන තවමත් තීරනයකට එලැඹ නොතිබූ තතු තුල රැස්වීම දිවා ආහාරය සඳහා නවත්වන ලදී. හැරල්ඩ් කරා පැමිනි ට්‍රොට්ස්කි ඔහුගේ ආස්ථානය කුමක්දැයි ඔහුගෙන් විමසීය. "හරි. මට හිතෙන්නේ ඔබ නිවැරැදියි, ට්‍රොට්ස්කි සහෝදරයා!'

"වයසක තැනැත්තා" තෘප්තියේ කාන්තියෙන් බැබලුනේය. "එහෙනම් රොබින්ස් සහෝදරයා, රැස්වීම යලි ආරම්භ වූ විට අප, හවුලක් ගොඩ නඟා ගෙන, අරගලය කල යුතුය".    

"වයසක තැනැත්තා" මෙය ඇත්තටම කියන්නේදැයි විශ්වාස කල නොහැකි සෙයක් තමාට හැඟුනු බව හැරල්ඩ්ට මතක තිබින.  

"ට්‍රොට්ස්කිට හැරල්ඩ් රොබින්ස් සමඟ හවුලක් ගැසීමට අවශ්‍ය මොන ඇන්නෑවකට ද?"

මොනවා වුවත්,  ඔහු ට්‍රොට්ස්කිගේ යෝජනාව පිලි ගෙන සවස සැසි වාරය පිලිබඳව අපේක්ෂාවෙන් පසු විය. කෙසේවෙතත්, දිවා ආහාර විරාමය අවසාන වෙමින් පවතිද්දී, තමන්ට සවස් භාගයේ සේවයේ යෙදෙන්නට සිදුවීම නිසා ට්‍රොට්ස්කි සමඟ සාකච්ඡාවට සහභාගී වීමට ඉඩ නොලැබෙන හෙයින් අතිශය කලකිරීමට පත්ව සිටි වෙනත් ආරක්ෂකයෙක් - චාල්ස් කෝනෙල් - රොබින්ස් සොයා පැමිනියේය. තමන් සමඟ සේවා මුරය මාරු කර ගන්නා ලෙස කෝනෙල් රොබින්ස්ගෙන් අයැද සිටි අතර, එම ආයාචනයෙන් රොබින්ස්ගේ සිත මොලොක් විය. ඒ අනුව කෝනෙල් සාකච්ඡාවට සහභාගී වූ අතර රොබින්ස් නිවාස සංකීර්නයේ මුර සංචාරයේ යෙදුනේය.    

සවස් කාලයේ පශ්චාත් භාගයේ දී, රැස්වීම අහවර වූ වහාම, හැරල්ඩ්ට පැහැදිලිවම කෝපාවිෂ්ඨව සිටි ට්‍රොට්ස්කිට මුහුන දීමට සිදු විය.

"ඔබ හිටියේ කොහේ ද රොබින්ස් සහෝදරයා?" ට්‍රොට්ස්කි ඇසීය. 

දිවා ආහාර විරාමයේ ඇති වූ තතු පැහැදිලි කිරීමට හැරල්ඩ් තැත් කලේය. ඔහුගේ තර්ක පිසදා පසෙකට ලූ ට්‍රොට්ස්කි මෙසේ කීය: "අප හවුලක්ව හිටියා, රොබින්ස් සහෝදරයා. ඔබ එය පාවා දුන්නා."     

තමන්ට ඉහලම බැබලීමක් ලබා දෙතැයි සිතීමට අසීරු මෙවැනි සිදුවීම් පිලිබඳව, දුෂ්කරතාවයක සංඥාවකුදු නොදක්වා හැරල්ඩ් විස්තර කලේය. හැරල්ඩ් සම්බන්ධයෙන් ගත් කල මෙම සිදුවීම්, තම ජීවිතයේ සියලු පාර්ශ්වයන් තුල සකලාකාර කොන්දේසි යටතේ අනම්‍ය ලෙස මූලධර්මවලට කැපවුනු විප්ලවවාදියෙකු ලෙස ට්‍රොට්ස්කිගේ අත්‍යන්ත පරිපූර්නභාවය විදහා දැක්වූ අගනා උදාහරන විය.    

හැරල්ඩ් මෙසේ පවසන සේය: මේ සිටින මිනිසා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම විප්ලවය මෙහෙයවා තුබූ, දශ ලක්ෂ ගනනක හමුදාවක් සංවිධානය කල, ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරයේ ජනප්‍රවාදගත චරිත සමඟ උරෙන්උර සිටිමින් යුගකාරක දේශපාලන අරගලවල නියැලුනු පුද්ගලයාය. එහෙත් එම මිනිසා -  ට්‍රොට්ස්කි - කිසිවෙකු නොදන්නා සාමාන්‍ය මිනිසෙකුට - "ජැක් හිගින්ස්"වරයෙකුට - හවුලක් ලෙස ක්‍රියා කිරීමට  යෝජනා කල කල්හි, එම හවුල කෙරේ, වරෙක ඔහු ලෙනින් සමඟ පැවැත්වූ සන්ධානය පිලිබඳව දැක්වූ  සැලැකිල්ල තරම් ම බැරෑරුම් සැලැකිල්ලක් දැක්විය හැකිය. ට්‍රොට්ස්කිගේ සදාචාරාත්මක ඓශ්චර්යය දැනුම්දීම සඳහා "තමා ම පහතට හෙලමින්" තමාගේම තුරුනු වැරදීම් පිලිබඳ විස්තර කිරීමට හැරල්ඩ් අතිශයින් සතුටු විය. [15]   

කොයෝවාකාන් කරා තම සංචාරය තුල එස් ඩබ්ලිව්පී නායකයෝ මන්දිරය පිරික්සා බලා, නිවාස සංකීර්නය ප්‍රහාරයකින් ආරක්ෂා විය හැකි පරිදි ශක්තිමත් කෙරෙන ඉදිකිරීම්වලට සිය අනුමැතිය දුන්හ. ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව පිලිබඳව ඔවුන්ගේ අව්‍යාජ කැපවීම තිබියදීම, සිත් කනස්සලු කරවන තරමේ ඔවුන්ගේම පෞද්ගලික නොසැලකිලිමත්කම ඔවුන්ගේ ප්‍රයත්නයන් අනතුරේ හෙලීය. මැයි 24 ප්‍රහාරය තුල ශෙල්ඩන් හාට්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පිලිතුරු නොලද ප්‍රශ්න පැවතියේ වී වුව, එස්ඩබ්ලිව්පීයේ නායකයන් ස්වකීය පෞද්ගලික සම්බන්ධතා පිලිබඳව වඩාත් ප්‍රවේශම්කාරී ආකල්පයක් ගත් බවට කිසිදු හැඟවීමක් නොමැත. ස්ටැලින්වාදී පුවත්පත් තුල ට්‍රොට්ස්කිට එරෙහිව දිගටම පවත්වා ගෙන ගිය උද්ඝෝෂනය සැලැකිල්ලට ගත් කල්හි, මෙක්සිකෝ පුරය තුල දේශපාලන වාතාවරනය අනතුරුදායක වූ බවත්, ට්‍රොට්ස්කි වනසා ලීමේ අරමුනින් යුතු ජීපීයූ ඒජන්තයන් අගනුවර පුරා සැරිසරමින් සිටි බවත් එස්ඩබ්ලිව්පී නායකයන්ට පැහැදිලිව පෙනී යා යුතුව තිබින. 

 

නටාලියා සෙඩෝවා, ට්‍රොට්ස්කි, මිතුරෙක් හා හැරල්ඩ් රොබින්ස්

            

එතෙකුදු වුව, ජූනි 11 වන දින සන්ධ්‍යාවේ ජේම්ස් පී. කැනන් හා ෆැරල් ඩොබ්ස්, හොටෙල් ජිනීවාහි රාත්‍රි භෝජනය සඳහා ද, ඉනික්බිති තවත් ස්ථානයක දී මධුපානය සඳහා ද ලැබුනු ආරාධනයක් පිලිගත්තෝය. එස්ඩබ්ලිව්පී නායකයන් දෙදෙනාගේ සත්කාරකයා වූයේ ජැක්සන්-මොනාර්ඩ්ය. [16] ඝාතනයෙන් පසුව එස්ඩබ්ලිව්පී නායකත්වය විසින් පවත්වන්නට යෙදුනු කෙටි අභ්‍යන්තර පරීක්ෂනය තුල දී කැනන් මෙම හමුවීම පිලිබඳව වාර්තා කලේය. කෙසේ වෙතත් මෙම තොරතුර පක්ෂයේ සාමාන්‍ය සාමාජිකත්වය කෙරෙන් සඟවා තබන ලදී.   

මතු සම්බන්ධයි.

[1] “The Kremlin’s Role in the European Catastrophe,” Writings of Leon Trotsky 1939–40 (New York: 1973), පි. 290

[2] එම, 290–91 පිටු 

[3] “Discussions with Trotsky,” Writings of Leon Trotsky 1939–40, පි. 253

[4] එම, පි. 254

[5] එම

[6] එම, පි. 260

[7] එම, 260–61 පිටු 

[8] එම, පි. 266

[9] එම, පි. 267

[10] එම, 271–73 පිටු 

[11] එම, 280–81 පිටු 

[12] එම, පි. 282

[13] එම

[14] එම

[15] A Tribute to Harold Robins, Captain of Trotsky’s Guard, David North (Detroit: 1987), 8–10 පිටු 

[16] Trotsky: Downfall of a Revolutionary, Patenaude, Bertrand M. (පි. 270). Harper Collins e-books. Kindle සංස්කරනය.   

Loading