කොරෝනා වසංගතයෙන් මරනයට පත් වු ඉන්දියාවේ චිත්‍රපට පසුබිම් ගායක එස්.පී. බාලසුබ්‍රමනියම් පිලිබඳ ඇගයීමක් (1946-2020)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මසකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ඉන්දියානු චිත්‍රපට පසුබිම් ගායක එස්.පී.බාලසුබ්‍රමනියම් පසුගිය සැප්තැම්බර් මස 25 දා ඉන්දියාවේ චෙන්නායිහි රෝහලක දී මරනයට පත්විය. 

මියයන විට ඔහු හැත්තෑ හතර වියෙහි වූ අතර වෛරසය ආසාදනය නොවූයේ නම් තවත් කාලයක් ජීවත්වන බවටත් සංගීත වැඩකටයුතුවල නිරත වන බවටත් කිසිදු සැකයක් නැත. ඒ අර්ථයෙන් ගත් කල, ඉන්දියාවේ මේ වන විට වසංගතයෙන් මරනයට පත් වී ඇති එක් ලක්ෂ දස දහසකට ආසන්න වටිනා ජීවිතවලට සේ ම මේ විශිෂ්ඨ ගායකයාගේ අකල් මරනයටත් ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ආන්ඩුව ප්‍රමුඛ ධනේශ්වර පාලක පන්තිය ඍජු ව වගකිව යුතු ය. 

වසංගතය පැතිරයාමේ ආරම්භක අවස්ථාවේදී එය පාලනය කිරීමට අත්‍යවශ්‍ය පියවර නොගත් මෝදි ආන්ඩුව, කල් පමා වී රට අගුලු දමා, ධනපතියන්ගේ ලාභෝත්පාදනය අඛන්ඩ ව පවත්වා ගෙන යනු වස්, ආර්ථිකය යලි විවෘත කලේ මිලියන සංඛ්‍යාත මහජන ජීවිත නොතකමිනි. බාලසුබ්‍රමනියම් ඇතුලු ලක්ෂයකට අධික මහජනයාගේ මරනයට මග පෑදුවේ මෙම තත්වයයි.

බාලසුබ්‍රමනියම්ගේ අකල් මරනය මගින් “අපේ සංස්කෘතික ලෝකය පහතට ඇද වැටුනා” යයි අගමැති මෝදිගේ ටුවිටර් “ශෝක පනිවිඩයේ” සඳහන් වෙයි. කොන්ග්‍රස් නායක රාහුල් ගාන්ධි ඇතුලු තවත් බොහෝ ඉන්දියාවේ මැති ඇමතියන් එවැනි ම වංචනික ප්‍රකාශ සිදු කර ඇත. 

මෝදි “සංස්කෘතිය” ගැන කතා කරන්නේ, රෝගීන් හඳුනාගැනීමේ පීසීආර් පරීක්ෂන හැකි තරම් සීමා කිරීමේ සිට වසංගතය පාලනය කිරීමට අවශ්‍ය මූලික පහසුකම් සඳහා මුදල් වැය කිරීම සාපරාධී ලෙස ප්‍ර‍තික්ෂේප කර, මිලියන සංඛ්‍යාත  ජීවිත විනාශයට ඇද දමා තිබිය දී පමනක් නොව, මිලිටරිය සඳහා බිලියන ගනන් මුදල් වැය කරමින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සමග ඒකාබද්ධ ව චීනයට එරෙහි බිහිසුනු යුද්ධයක් සූදානම් කරමින් සිටිය දී ය. 

ලොව පුරා ධනපති පාලක පන්තීන් අනුයමින් සිටින ආර්ථිකය විවෘත කිරීමේ මෙම මාරාන්තික පිලිවෙත, මිලියන ගනනකට රෝගය ආසාදනය වීමටත් දස දහස් ගනනින් ජීවිත විනාශ වීමටත් බලපා ඇත. ඒ අතර කලාකරුවෝ, ක්‍රීඩකයෝ, වෛද්‍යවරු හා විද්‍යාඥයෝ‍ සැලකිය යුතු සංඛ්‍යාවක් ද සිටිති. අධ්‍යාපනය ඇතුලු ලොව පුරා සංස්කෘතික කටයුතුවලට එල්ල වී ඇත්තේ ද බලගතු පහරකි.  

කෙසේ නමුත්, බාලසුබ්‍රමනියම්ගේ වසර 50 ට අධික සංගීත ජීවිතය පිලිබඳ සිදු කරන ඇගයීමක් මෙම ඛේදනීය තත්වයට එරෙහි ව තබන පියවරක් වෙයි. 

 1946 නෙල්ලූර් (ආන්ද්‍රා ප්‍රදේශ්) හි තෙලිගු පවුලක උපත ලද බාලසුබ්‍රමනියම් ගායකයෙකු ලෙස වර්ධනය වීමට ඔහුගේ පියා ඇතුලු පවුලේ අයගෙන් ලැබුනු ආභාෂය එක් හේතුවකි. බාලසුබ්‍රමනියම්ගේ සහෝදරිය වන එස්.පී. සයිලජා දකුනු ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායිකාවකි. ‍ඔහුගේ පුත්‍ර‍යා වන එස්.පී. චරන් ද සංගීත අධ්‍යක්ෂකයෙකු, ගායකයෙකු හා චිත්‍රපට නලුවකු ලෙස කටයුතු කරයි. 

බාලසුබ්‍රමනියම්ගේ පියා එස්.පී. සාම්බමූර්ති තෙලිගු හරිකත ගායකයෙකි. ඉන්දියාවේ හින්දු ආගමික දෙවිවරු පිලිබදව විස්තර, ගායනා හා කවි මගින් ඉදිරිපත් කිරීම හරිකත ගායනවලදී සිදු වේ. හරිකත ගායනා ඉන්දියානු රාගධාරී සංගීතයේ ගමක්, මීන්ඩ් හා මූර්කි වැනි අලංකාර විධිවලින් යුක්ත පුලුල් ස්වර පරාසයක විහිදෙන ගායන ශෛලියකි. ඉන්දියානු රාගවල ආභාෂය ද ඇති අලංකාර ස්වර මාලාවලින් සැදුනු හරිකත ගීත විවෘත හඩකින් ගායනා කරයි. 

බාලසුබ්‍රමනියම්, ඉන්දියානු සංගීතය ගුරුවරුන් යටතේ විධිමත් ලෙස හැදෑරු අයෙක් නොවේ. ඔහු ඉන්ජිනේරුවරයෙකු වීම සඳහා අධ්‍යාපනය ලැබූවෙකි. 1964 දී මැඩ්රාස් හි තෙලිඟු සංස්කෘතික සංවිධානය මගින් සංවිධානය කල ආධුනික ගායන තරගයකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීම ඔහු සංගීතය කෙරෙහි මහත් සේ යොමු කලේ ය. කෙසේ නමුත්, සිය පියා මෙන් සාම්ප්‍රදායික ආගමික ගායනා තුල කොටු නොවීමට, සංගීතය පිලිබඳ ව ඔහු සිදු කල ස්වයං අධ්‍යනයන් ඉමහත් ලෙස බලපා ඇත. 

චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස ඔහුගේ ගායන ජීවිතය ආරම්භ වුයේ 1966 තිරගත වූ තෙලිඟු චිත්‍රපටයකට කල ගායනයකිනි. එතැන් සිට දින අටක් ඇතුලත තෙලිඟු නොවන චිත්‍රපට සඳහා ද ගීත ගායනයට බාලසුබ්‍රමනියම්ට ආරාධනා ලැබීමට තරම් ඔහුගේ එම පලමු ගායනය ප්‍රබල විය. 

පටිගත කරන ලද ඔහුගේ පලමු දමිල චිත්‍රපට ගීත අතරට, දකුනු ඉන්දියානු චිත්‍රපට රංගන ශිල්පී එම්.ජී.රාමචන්ද්‍ර‍න් රඟපෑ චිත්‍රපට මෙන් ම එවකට සිටි ප්‍රසිද්ධ ම චිත්‍රපට පසුබිම් ගායිකාවන් වූ එස්. ජානකී  මෙන්ම පී. සුසිලා සමග ගැයූ ගීත ද ඇතුලත් විය. එතැන් පටන් ඉන්දියාවේ විවිධ භාෂාවලින් ගායනා ඉදිරිපත් කිරිමට ඔහුට ආරාධනා ගලා ආවේ ය. 

පසුගිය දශක පහකට වැඩි කාලයක් දකුනු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛතම පසුබිම් ගායකයා වූ එස්.පී.බී දෙමල බසින් ගායනා කරන ලද ගීත ගනන පමනක් 10,000 ඉක්මවයි.    ඉලයරාජා-බාලසුබ්‍රමනියම් සහසම්බන්ධතාවයෙන් බිහි වූ ගීත ප්‍රමානය පමනක් 3,000 ට අධික ය. ඉලයරාජා-බාලසුබ්‍රමනියම්-ජානකී ත්‍රිත්වයේ සංගීත සංකලනයෙන් බිහිවූ නිර්මාන දකුනු ඉන්දියානු සිනමා සංගීතයට ඉමහත් ප්‍ර‍තිපදානයක් විය. 

1980 දී තිරගත වූ සංකරාබරනම් චිත්‍රපටය ඔහුගේ ගායනය ජාත්‍යන්තර මට්ටමින් පිලිගැනීමට ලක් විය. තෙලිගු සිනමා නිර්මානයක් වූ මෙහි සංගීත අධ්‍යක්ෂනය සිදු කල කේ.වී. මහාදේවන්, එහි ගී තනු සඳහා ශාස්ත්‍රීය කර්නාටක සංගීතාංග යොදා ගෙන තිබුනි. එම ගීත ගැයූ බාලසුබ්‍රමනියම් ශාස්ත්‍රීය ගායන අංග මුලුමනින්ම ආරක්ෂා කිරීමට සමත් වී තිබේ. 

මෙම චිත්‍රපටයත් ඇතුලුව තවත් චිත්‍රපට කිහිපයක් සඳහා බාලසුබ්‍රමනියම් ඉන්දියාවේ හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානය අටවතාවක් දිනා ගෙන තිබේ. ප්‍රාන්ත මට්ටමින් හා ජාතික මට්ටමින් තවත් බොහෝ සම්මාන ඔහු හිමිකර ගෙන ඇත. ඔහු, තෙලිගු චිත්‍රපට, දෙමල හා වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමේ දී හඬ කැවීම් ශිල්පියෙකු ලෙස, කමලා හසන් වැනි ප්‍ර‍කට රංගන ශිල්පීන්ට හඬ මුසු කිරීම සිත් ගන්නා සුලු ය. එමෙන්ම එස්පීබී රංගන ශිල්පියෙකු හා සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඉන්දීය සිනමාවට දායක වී තිබේ. 

කෙසේ නමුත්, පසුබිම් ගායකයෙකු ලෙස ඔහු සතුව තිබු කුසලතා සංගීතය සම්බන්ධයෙන් ඔහු කල ස්වයං අධ්‍යනයෙන් ඔප් නැංවී ඇතිබව මෙහිදි විශේෂයෙන් සඳහන් කිරීම අවශ්‍ය වන අතරම, ශාස්ත්‍රාලීය සංගීතය, විශේෂයෙන් ම ව්‍යවහාරික සංගීතය පිලිබඳව අධ්‍යනය කිරීමට ඔහුට අවකාශ ලැබුනේ නම් ඔහුගේ මෙම කුසලතා වඩාත් වර්ධනය වනු නියතය. 

එවන් සීමා සහිතකම් කලාකරුවන්ගේ පුද්ගලික දුර්වලකම්වල ප්‍රතිඵලයක් නොවේ. ඇත්ත වසයෙන්ම, මානුෂ ජීවිතය පිලිබඳව ගැඹුරු සමාජ, දේශපාලන මානයකින් කෙරුනු අති විශිෂ්ට සිනමා කෘති ඉන්දියානු සිනමාව තුල බිහි වුවද, රටතුල නිපදවෙන අතිමහත් චිත්‍ර‍පට සංඛ්‍යාව හා සලකන කල එවන් විහිෂ්ට නිර්මාන ඉතා විරලය. සරල ප්‍රේම වෘත්තාන්ත හා වීර කතා මත පදනම් වූ බොහෝ සිනමා කෘතිවල සංගීතයට හා නර්තනයට ප්‍රධාන තැනක් හිමි වේ. බාලසුබ්‍රමනියම් වැනි කලාකරුවන්ගේ කුසලතා ඒ සඳහා යහමින් උපයෝගී කොට ගැනුනි. 

දකුනු ඉන්දියානු දමිල හා මලයාලම් සිනමාවේ මෙන්ම, හින්දි සිනාමාවේ ද බාලසුබ්‍රමනියම් ප්‍රමුඛතම පසුබිම් ගායකයෙකු විය. දමිල හා හින්දි භාෂා දෙක පමනක් සැලකුවත් එම භාෂා අතර පවතින්නේ බරපතල උච්චාරන විවිධත්වයකි. කවර භාෂාවකින් ගැයුවද උච්චාරනයේ දී සංගීතමය ලක්ෂන රැක ගැනීමටත් සිනමාරූපි ගායනක් ඉදිරිපත් කිරීමටත් ඔහු සැම විටම සමත් වී තිබේ.   

දකුනු ඉන්දීය සිනමාවේ එම්ජීආර්, රජිනකාන්ත්, මෝහන්, කමලාහසන් සහ විජේ වැනි නලුවන් සඳහා මෙන්ම, උතුරු ඉන්දියානු හින්දි සිනමා නලුවන් වන සල්මන් කාන්ට හා ෂාරුක් කාන්ට, ඔහු කල පසුබිම් ගායනයන්, එම නලුවන්ගේ මෙන්ම, එකී චිත්‍ර‍පට වලද ජනප්‍රියත්වයට ඉමහත් බලපෑමක් ඇති කලේය. 

එමෙන්ම උතුරේත් දකුනේත් ප්‍රකට ගායිකාවන් සමග බාලසුබ්‍ර‍නියම් ගී ගැයු අතර, ඒ සෑම ස්ත්‍රී හඬක් සමගම ඔහුගේ හඬ ඉතා හොඳින් සුසංයෝග විය. ඉන්දීය සිනමාවේ ප්‍රකටම ගායිකාව වන ලතා මංගේෂ්කාර් ද ඒ අතරට අයත් වේ.   

චිත්‍රපටයේ ප්‍රේමාන්විත හා වේදනා භරිත ජවනිකාවන්හි හැගීම් උද්දීපනය කිරීම සඳහා ඔහුගේ හඬ පෞරුෂය දායක වූ අවස්ථා දහස් ගනනකි. ඔහුගේ ගැඹුරු හඬ මන්ද්‍ර සප්තකයේත් උච්ච සප්තකයේත් එකසේ ශක්තිමත් එකකි. ඔහුටම ආවේනික වූ ආකාරයකට හඬ උස් පහත් කිරීම්, එක් ස්වරයක සිට තවත් ස්වරයක් දක්වා ගලාගෙන යෑමට සැලැස්වීම හා ගමක ස්වර ගායනය ඔහුගේ ගායනාවන්හි පවත්නා මිහිරියාව හා ප්‍රේමාන්විතභාවය ප්‍ර‍සස්ත මට්ටමකට ඔසවා තැබීමට දායක විය. 

  මෙම ගුනාංග වැඩි වශයෙන් ඉස්මතු කරන වඩාත් මිහිරි ගීත අතරින් කීපයක් ලෙස, 'ඉලයනිලා පොලිහරදු', 'මන්නිල් ඉන්ද කාදල් අන්ද්‍රි, 'මලරේ මඋනමා' සහ 'අරාරෝ ආරෝ ආරිවරෝ' වැනි දෙමල ගීත සහ 'තෙරේමේරේ බීච් මේන්', 'රෝජා ජානෙමන්' සහ 'සාතිය තූනේ ක්යා කියා' යන හින්දි ගීත හඳුන්වා දීමට කැමැත්තෙමු.  

සංගීතඥයින් සමග ඔහුගේ භාවිතාව සැලකූව ද, ඉලයරාජාගේ සිට වර්තමාන ඉන්දීය සිනමාවේ කාර්ය බහුලතම සංගීතඥයා වන ඒ.ආර්. රහුමාන් දක්වා වන සංගීතඥයන්ගේ නිර්මානයන්ට ඔහු දායක වී තිබේ. රහුමාන්, බටහිර හා ඉන්දීය සංගීත සම්ප්‍රදායන් පිලිබඳ ඔහුට ඇති දැනුම හා තාක්ෂනික අංගෝපාංග ඔහුගේ සංගීතයට මුසු කරන තරුන සංගීතඥයෙකි. සුප්‍ර‍කට චිත්‍ර‍පට අධ්‍යක්ෂවරයෙකු වන මනිරත්නම් නිර්මානය කල සහ රහුමාන් විසින් සංගීතවත් කල රෝජා චිත්‍රපටයේ ගීත තුනක් බාලසුබ්‍රමනියම් විසින් ගායනා කරන ලදී. එහි “රෝජා ජනෙමන්“ ගීතය බාලසුබ්‍රමනියම් ගැයු ප්‍රේමාන්විත ගීත අතර ප්‍රධාන එකකි. වේදිකාවේ ගීත ගැයිමේ දී ඔහුගේ ප්‍රාසාංගික ගැයුම ප්‍රේක්ෂක සිත් ඇදගත් අතර හින්දි භාෂාවෙන් රෝජා ගීතය ගයා දෙමල භාෂාවෙන් යලි එම ගීතය ආරම්භ කරන විට ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන්දීම දෙගුන තෙගුන වේ. 

බටහිර සංගීතයේ දියුනු වාදන හා ගායන විදි ඇතුලු විශ්ව සංගීත සම්ප්‍රදායන් තම නිර්මාන සඳහා යොදා ගත් ලංකාවේ ප්‍රවීන සංගීතඥයෙක් වූ ප්‍රේමසිරි කේමදාස විසින් සංගීත අධ්‍යක්ෂනය කල දකුනු ඉන්දීය චිත්‍රපටයක් වූ වසන්තික් ඔරු වාන්විල් චිත්‍රපටයේ බාලසුබ්‍රමනියම් හා වානි ජයරාම් නම් ප්‍රකට ගායිකාව ගායනා කරන ලද ආරාරෝ ආරි ආරිවරෝ නම් දමිල ගීතය ඔහුගේ ජාත්‍යන්තර නිර්මාන දායකත්වය පිලිබද  දර්ශකයකි. 

දෙමල, තෙලිගු, මලයාලම්, හින්දු, සංස්කෘත, උර්දු හා ඉංග්‍රිසි ඇතුලු භාෂා 14 කින් 40,000 ට අධික වාර්තාගත ගීත ගායනයකට බාලසුබ්‍රමනියම් හිමිකම් කියයි. එම භාවිතය, ඉන්දියානු උපමහද්වීපය පුරා පාලක පන්තීන් කම්කරු පන්තිය භේද කිරීම සඳහා ගෙන යන වාර්ගික, ආගමික හා කුල භේදයන්ට ප්‍රතිකූලව සමස්ත කලාපය පුරා සංගීතඥයින් හා කලාකරුවන් ඒකාබද්ධ කිරීමට දැරූ ප්‍රයත්නයක කොටසකි. බාලසුබ්‍රමනියම් ඒ වෙනුවෙන් දැරූ දායකත්වය සහ කැප කිරීම් වෙනුවෙන් ඔහුට විශේෂ ගෞරවයක් හිමි විය යුතු ය. 

බාලසුබ්‍රමනියම්ගේ අ‍භාවය සම්බන්ධව ශෝකයට පත් වූයේ ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ජනයා පමනක් නොවේ. ඊට පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය හා ශ්‍රී ලංකාව ඇතුලු ආසියාවේ හා ජාත්‍යන්තරව විහිදුනු විවිධ භාෂා කතා කරන, විවිධ ආගම්වලට අයත් මිලියන සංඛ්‍යාත කම්කරුවෝ, තරුනයෝ හා කලාකරුවෝ ඇතුලත් වෙති.  

Loading