අහ්නාෆ් ජසීම් කවියා වහා නිදහස් කරනු!

ශ්‍රී ලංකා ආන්ඩුව අහ්නාෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගැනීම හා රඳවා ගෙන සිටීම හෙලා දකින කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක), ඔහු වහාම හා කොන්දේසි විරහිතව මුදා හැරිය යුතු බවත්, ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කෙරෙමින් සිදු කෙරෙන සියලු කටයුතු නවතා දැමිය යුතු බවත් කියා සිටී.

සාහිත්‍ය රැස්වීමක් අමතන අහ්නාෆ් ජසීම්

පසුගිය වසරේ මැයි 16 වන දින ත්‍රස්ත විරෝධී හා විමර්ශන අංශය (ටීඅයිඩීය) විසින්, රුදුරු 'ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ' විධිවිධාන යටතේ, 'ශිෂ්‍යයන්ට වර්ගවාදය හා අන්තවාදය ඉගැන්වීමත්, ඒ සම්බන්ධ පොත් පලකිරීමත්' යන ව්‍යාජ චෝදනා මත මෙම කවියා අත්අඩංගුවට ගන්නා ලදී. මෙහි සඳහන් කෙරෙන පොත වන්නේ 2017 මැයි මාසයේ අහ්නාෆ් ලියා පල කල 'නවරසම්' (රස නවය) නම් වූ කාව්‍ය සංග්‍රහයයි.

නවරසම් කාව්‍ය සංග්‍රහය

ටීඅයිඩීයේ ව්‍යාජ චෝදනාවලට පටහැනි ලෙස, මෙකී පොත, සාමය, සමාජ එකමුතුව, වර්ගවාද-විරෝධය ප්‍රවර්ධනය කරන, සරනාගතයන් කෙරෙහි සානුකම්පාව දැක්වෙන හා අයිඑස්අයිඑස් සංවිධානය හෙලා දකිමින්, ඉස්ලාම් සමය සමඟ ඊට කිසිදු සම්බන්ධයක් නොපවතින බව ප්‍රකාශ කරන කාව්‍ය සංග්‍රහයකි. උරුවාක්කු (ගොඩනගව්) නමින් යුත් එක් කාව්‍යයක් සන්නද්ධ ප්‍රචන්ඩත්වය පිලිබඳ නොරිස්සීම ප්‍රකාශ කරමින් වචන හා ලේඛන ආයුධ විය යුතුයැයි, එනම්, පෑන කඩුවට වඩා බලගතු බැව් යෝජනා කරයි.

මෙම පොත කිසිදු උසාවියක් විසින් තහනම් කෙරී නැති තතු යටතේ, ඔහුගේ කියවීම සඳහා තුබූ දෙමල, අරාබි හා ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුනු පොත් ඇතුලත් පොත් 49 ක් ද සමඟ 'නවරසම්'හි පිටපත් 100 ක් පමන අහ්නාෆ්ගේ පොත් රාක්කයෙන් එකතු කොට ගෙන රැගෙන යන ලදී. නිරම්පි වලියුම් නිසප්තම් (පිටාර යන නිහඬතාව) නම් දෙමල කාව්‍ය සංග්‍රහය ද ඒ අතර විය.

අන්තනෝමතික හා නීතිවිරෝධී ලෙස අහ්නාෆ් අත්අඩංගුවට ගැනීම වූ කලී කවියාගේ ප්‍රකාශනයේ හා කලාවේ නිදහස දරුනු ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, එය රටේ මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත එල්ල කෙරුනු සැලකිය යුතු ප්‍රහාරවලින් නවතම එකක් වෙයි. මෙම කවියා වූ කලී, මුස්ලිම් ජන සමාජය බිය ගැන්වීමේ හා කම්කරු පන්තිය වාර්ගික රේඛා අනුව බෙදීමේ අරමුනින් සැලසුම් කෙරුනු රාජ්‍ය අනුග්‍රහයෙන් යුත් මුස්ලිම් විරෝධී වර්ගවාදී උද්ඝෝෂනය යටතේ, මෙලෙස අත්අඩංගුවට ගත් හා රඳවා තැබීමට ලක් වූ සිය ගනනක් අතරින් එක් අයෙකු වෙයි.

25 හැවිරිදි මුස්ලිම් තරුනයෙකු වන අහ්නාෆ් දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමහල් දරුවාය. මේ දරුවෝ සියලු දෙනා තවමත් අධ්‍යාපනය ලබන්නෝ වෙති. 2019 ජූලියේ දී මන්නාරමට දකුනින් කිමී 134 ක් දුරින් පිහිටි පුත්තලමේ ස්කූල් ඔෆ් එක්සලන්ස් පාසලේ දෙමල භාෂාව හා සාහිත්‍යය උගැන්වීමට හා එම විෂය සඳහා බාහිර පන්ති පැවැත්වීමට අහ්නාෆ් පටන් ගැනීමට ප්‍රථමයෙන් පවුලේ ජීවනෝපාය සලසන එකම පුද්ගලයා වූයේ ගොවියෙකු හා දෛනික කම්කරුවෙකු වන ඔහුගේ පියාය.

පුද්ගලයන් 269 කට මරු කැඳවමින් හා සිය ගනනකට තුවාල පමුනුවමින් අයිඑස්අයිඑස් හා සම්බන්ධිත මුස්ලිම් අන්තවාදී කන්ඩායමක් විසින් සිදු කෙරුනු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට, එකී පාසැල් ගොඩනැගිල්ල හිමිකාර 'සේව් ද පර්ල්ස්' නම් අසරනසරන සංවිධානය ගැට ගැසීමේ ප්‍රයත්නයක යෙදෙන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (සීඅයිඩීය), මුස්ලිම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එම සංවිධානය පිලිබඳ පරීක්‍ෂනයක් පවත්වයි. බෝම්බකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම පිලිබඳව එල්ල කර ඇති චෝදනාවන් ප්‍රතික්ෂේප කරන, සේව් ද පර්ල්හි සාමාජිකයෙක් වන මානව හිමිකම් නීතිවේදී හෙජාස් හිස්බුල්ලා ද පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට පීටීඒය යටතේ රඳවාගෙන සිටී.

අහ්නාෆ් අත්අඩංගුවට ගැනීම අනාවරනය වූයේ, පාස්කු බෝම්බ ප්‍රහාර පිලිබඳ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති හිස්බුල්ලා ඇතුලු රැඳවුම්කරුවන් ගනනාවක් සම්බන්ධයෙන් පසුගිය ජූනියේ දී පොලිසිය කොලඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයට කරුනු වාර්තා කල අවස්ථාවේ දීය. මෙකී ප්‍රහාර සම්බන්ධයෙන් එවකට පැවැති සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුවට ද, එදා විපක්ෂ නායකයා වූ හා වර්තමාන අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂට ද ඔත්තු සේවා ගනනාවකින් පූර්ව අනතුරු හැඟවීම් ලැබී තිබුනි.

නමුදු, මුස්ලිම් සුලුතර ජනයාට එරෙහි දුෂ්ට වර්ගවාදී උද්ඝෝෂනයක් දියත් කිරීම සඳහා අවස්ථාව සලසා ගැනීම් වස් ඔවුහු එම පිපිරීම් නැවැත්වීමට කිසිදු පියවරක් ගැනීමෙන් හිතාමතාම වැලැකී සිටියෝය. දෙසැම්බර් මැද භාගයේ දී ෆයිනෑන්ෂල් ටයිම්ස් දිනපතා පුවත්පතේ වාර්තා වන තුරුම ප්‍රධාන මාධ්‍ය සියල්ල කවියා අත්අඩංගුවට ගැනීම් පිලිබඳව නිහඬ පිලිවෙතක් අනුගමනය කලෝය.

අත්අඩංගුවට ගැනීමෙන් සති 37 ක ඇවෑමෙන් තවමත් අහ්නාෆ් මහේස්ත්‍රාත් උසාවියකට ඉදිරිපත් කිරීමකින් හෝ, කිසිදු අධිචෝදනා ගොනු කිරීමකට මුල පිරීමකින් හෝ තොරව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුනු රඳවා ගැනීමේ නියෝග මත ටීඅයිඩීය භාරයේ පසුවෙයි.

අත්සන් තැබීමේ නිසි ව්‍යවස්ථාමය බලයකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්ම අත්සන් තබා ඇති ප්‍රථම රැඳවුම් නියෝගයේ සඳහන් කොට ඇත්තේ, කවියා රඳවා ගෙන සිටින්නේ ඔහු 'මුස්ලිම් අන්තවාදයට ආධාර දීම හා හවුල් වීම, ජන කොට්ඨාසයන් අතර එකමුතුකමට අනර්ථකාරී වන කටයුතුවල නිරතවීම හා එවැනි තොරතුරු ආරක්ෂක හමුදාවන්ගෙන් දැනුවත්ව සඟවා ගෙන සිටීම' මඟින් 'නීති විරෝධී ක්‍රියා කලාපයන්ට සම්බන්ධ වූ හෝ එවැනි කටයුතුවලට උනන්දු වූ' බවට සැක කරමින් බවයි. මෙකී චෝදනා සියල්ල මුසාවන්ය.

පීටීඒ යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කල්හි පුද්ගලයෙකු මාස දහ අටක් දක්වා කාලයකට පොලිස් අත්අඩංගුවේ තබා ගත හැකි අතර ඒ අතරතුර කිසිදු ඇප අයදුම්පතක් ඉදිරිපත් කල නොහැක. සැකකරුවන්ට වධ බන්ධන පමුනුවමින් ඔවුන්ගෙන් බලහත්කාරයෙන් පාපොච්චාරන ලබා ගැනීම සඳහා පීටීඒ විධිවිධාන උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය කුප්‍රකටය. පීටීඒ විධිවිධාන යටතේ සැකකරුවෙකුගේ පාපොච්චාරන අධිකරනය හමුවේ සාක්ෂි වශයෙන් භාවිතා කිරීමට අවකාශ සපයා ඇත. බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති 30 අවුරුදු වාර්ගික යුද්ධයේ දී මෙය පුලුල්ව භාවිතාවට ගැනුනි.

පීටීඒය යටතේ ගැනෙන වැරදි කෙතෙක් පුලුල්, දුරදිග යන සුලු හා අර්ථ දැක්වී නොමැති ස්වභාවයේ ඒවා ද යත්, 'කියන ලද හෝ, කියවනු ලැබෙතැයි අපේක්ෂා කරන ලද හෝ, සංඥා මඟින් හෝ, දෘශ්‍යමාන නිරූපනයන් මඟින් හෝ අන් ආකාරයකින් ප්‍රචන්ඩ ක්‍රියා හෝ ආගමික, වාර්ගික හෝ ජන කොට්ඨාස අතර අසමගිය හෝ විවිධ ජන කොට්ඨාස අතර අමනාපය හෝ සතුරුකම් පිලිබඳ හැඟීම් ඇවිලවීම හෝ එසේ ඇවිලවීමට අදහස් කිරීම'ට ක්‍රියා කරන ඕනෑම පුද්ගලයෙකු එකී පනත යටතේ ගැනෙන වරදකට වරදකරුවෙකු බවට තීන්දු කල හැකිය. පීටීඒය යටතේ වරදකරුවෙකු වුවහොත් මෙම කවියාට ජීවිතාන්තය දක්වා හෝ විසි අවුරුද්දක හෝ වන සිර දඬුවමක් ලබා දිය හැකිය.

පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින ජනාධිපති රාජපක්ෂ, ධනපති මහා ව්‍යවසායකයන්ගේ උත්සුකයන්ට සේවය කරමින් මුල සිටම කටයුතු කලේ පුලුල්ව මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කිරීමටය. ඔහුගේ ආන්ඩුව විවෘතවම කම්කරු පන්තියට එරෙහි ආර්ථික යුද්ධයක් ප්‍රකාශයට පත් කලේය.

පසුගිය වසරේ මාර්තුවේ කොවිඩ්-19 වසංගතය දිවයිනට කඩා වැදුනු තැන් පටන් මේ තතු තවදුරටත් බරපතල විය. වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුව කවර හෝ ආකාරයක පාලනයක් අතහැර දමා ඇති අතර, රට මුලුමනින් වසා දැමීම ප්‍රතික්ෂේප කරමින් ආර්ථිකය නැවත සාමාන්‍ය ලෙස විවෘත කිරීමට කටයුතු කලේය. මේ වූ කලී දුගී, වියපත්, හා වැඩකරන ජනයා වෙත අකල් මරන කැඳවන මිනීමරු රාජ්‍ය පිලිවෙතකි.

මෙකී පසුබිම තුල, ලේඛකයන්, මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව ගෙනයන දඩයම වනාහි, ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවලින් ඉක්බිති, අන්ත දක්ෂිනාංශික සිංහල-බෞද්ධ කොටස්වල ද සහාය ඇතිව මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කෙරුනු රුදුරු වර්ගවාදී උද්ඝෝෂනයකට ගාමකය සැපයූ, සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත් වඩාත් උත්සන්න ආකාරයකින් දිගටම පවත්වා ගෙන යාමකි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, කලාකරුවන් හා මාධ්‍යවේදීන් ගනනාවකට එරෙහිව අපරාධ චෝදනා යටතේ කටයුතු කිරීම ආරම්භ කොට, සමාජ මාධ්‍ය අවහිර කොට දමා, විරෝධය දක්වන්නන්ට පහර දී, විවේචකයන් නිහඬ කලේය. පාස්කු ප්‍රහාරවලට තදාසන්නව තම ෆේස්බුක් පිටුවේ තමාගේම කෙටිකතාවක් පල කිරීම නිසා අත්අඩංගුවට ගනු ලැබූ ශක්තික සත්කුමාර ලේඛකයා, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ විධිවිධාන අවභාවිත කරමින් සිව් මසක් පුරා සිරගතකොට තබන ලදී. කප්‍රනිආක්‍රිකය හා සමාජවාදී සමානතා පක්ෂය විසින් රට තුල ද ජාත්‍යන්තරව ද දියත් කෙරුනු සප්‍රතිපත්තික අරගලයකින් ඉක්බිති පසුගිය සතියේ ලේඛකයාට එරෙහි අපරාධ නඩුවෙන් ඔහු නිදහස් කෙරින.

යුද්ධය අවසාන වීමට පූර්වයෙහි ජනාධිපතිවරයාගේ සොහොයුරු මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යටතේ ප්‍රමුඛ මාධ්‍යවේදීන් පැහැර ගනු ලැබ, අතුරුදන් කර මහා දවාලේ එලිපිට මරා දමනු ලැබූ පරිද්දෙන්ම, රාජපක්ෂ ආන්ඩුව යටතේ ද වසංගතය මධ්‍යයේ මාධ්‍යවේදීහු හා ලේඛකයෝ විවෘත මරන තර්ජනවලට ද, අත්අඩංගුවට ගැනීම් හා නඩු පැවරීම්වලට ද ගොදුරු වී සිටිති.

වාර්ගික ප්‍රකෝපකරනයන් උසිගන්වනුවස් ප්‍රධාන ධාරාවේ පෞද්ගලික මාධ්‍ය නාලිකාවල නොමඳ සහාය ලබමින්, මුස්ලිම් ජනයා ගර්හාවට පත් කිරීම හා ඔවුන් ඉලක්ක කිරීම දිගටම සිදු වූයේය. ආන්ඩුවේ මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට එරෙහිව 'මතවාදීමය අරගලයක්' දියත් කිරීමේ අත්‍යවශ්‍යතාවය පිලිබඳව ලිවීම නිසා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රම්සි රසීක් අයිසීසීපීආර් පනත යටතේ මාස පහක් පුරා රිමාන්ඩ් භාරයේ තබන ලදී.

මෙය ජාත්‍යන්තර ප්‍රපංචයකි. පෙර නොඇසූ විරූ පරිමානයේ සමාජ අසමානතාවය, බලාධිකාරවාදයේ යලි ඉස්මතුවීම හා කම්කරු පන්තියට එරෙහිව අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට් බලවේග පෝෂනය කිරීම මගින් එය ජාත්‍යන්තරව මූර්තිමත් කෙරේ. ගැඹුරුවන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය හා බ්‍රසීලයේ සිට ඉන්දියාව දක්වා ද, අනෙකුත් බොහෝ රටවල්වල දී ද පාලක පන්තීන්ට තර්ජනය එල්ල කරයි.

මෙම ප්‍රතිවිප්ලවවාදී පියවරවල එල්ලය වනුයේ, ආන්ඩුවල කප්පාදු පියවර වලටද, මිලියන සංඛ්‍යාත මහජනයාගේ ජීවිත වසංගතයට බිලිදෙන ලොවපුරා ආන්ඩුවල සාපරාධී ප්‍රතිචාරයන්ට ද, මිලිටරිවාදයට හා අධිරාජ්‍යවාදී යුද්ධ සඳහා කෙරෙන සූදානමට ද එරෙහිව පුපුරා යමින් පවතින දැවැන්ත කම්කරු පන්තික අරගල තලා දැමීමයි.

අහ්නාෆ් අත්අඩංගුවට ගැනීම හා දිගටම රඳවා ගෙන සිටීම මූලිකවම පාලක පන්තියේ දේශපාලන තීන්දුවකි. ඒ අනුවම, අහ්නාෆ් ආරක්ෂා කිරීම හෝ ප්‍රකාශනයේ නිදහස ඇතුලු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ආරක්ෂා කිරීම පලමුවම හා ප්‍රමුඛවම දේශපාලන කාර්යයකි. අහ්නාෆ් නිදහස් කර ගැනීම සහතික කෙරෙනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයට එරෙහිව, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර සමාජවාදය සඳහා වූ ඉදිරි දර්ශනය මත පදනම් ව, කෙරෙන පුලුල් දේශපාලන අරගලයක් මගින් පමනෙකි.

කප්‍රනිආක සහ සමාජවාදී සමානතා පක්ෂය, පෙර පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ සහ වත්මන් රාජපක්ෂ තන්ත්‍රයේ දඩයමට ගොදුරුවන්නන්, ආරක්ෂා කිරීමේ සප්‍රතිපත්තික අරගලයක නිරත වී ඇත. මාධ්‍යවේදීන්, ලේඛකයන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා කලාකරුවන්ට එරෙහිව ගෙනයන රාජ්‍ය දඩයමේ ගොදුරු බවට පත්වී සිටින අහ්නාෆ් හා අනෙකුත් අයවලුන් ආරක්ෂා කිරීම සඳහා තම ප්‍රදේශවල, වැඩබිම්වල හා ස්වකීය ක්ෂේත්‍රයන් තුල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින්, සමාජවාදී පිලිවෙත් මත පදනම්ව, අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද ඇතුලුව ප්‍රකාශනයේ හා කලාවේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් අරගලයක් දියත් කිරීමට පෙරට එන ලෙස කප්‍රනිආක දිවයින තුල කම්කරු පන්තියට මෙන්ම ලොව පුරා එහි පන්ති සහෝදරයන්ට ද කැඳවුම් කරයි.

  • කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුව ගොඩ නගමු!
  • පීටීඒ, අයිසීසීපීආර් පනත ඇතුලු අනෙකුත් සියලු මර්දනකාරී නීති අහෝසි කරව්!
  • වර්ගවාදයට, ආඥාදායකත්වයට එරෙහිව හා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම සඳහා සටන් වදිනු!
  • ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදිනු!
  • අහ්නාෆ්ට නිදහස!
Loading