සිරගත කල වතු කම්කරුවන් නිදහස් කරනු! සමාගම්-පොලිස් කුමන්ත්‍රන වලින් සියලු කම්කරුවන් ආරක්ෂා කරනු

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 01 දින Release jailed Sri Lankan estate workers! Defend all workers from company-police conspiracies! යන මැයෙන් පල කෙරුනු සසප ප්‍රකාශයේ සිංහල පරිවර්තනයයි.]

හැටන් වතු සමාගමට අයත් ඕල්ටන් වත්තේ කම්කරුවන් අට දෙනෙකු, හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත, මාර්තු 3දා සිට මහනුවර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ඇත. ඔවුන් අට දෙනා පෙබරවාරි 18 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඕල්ටන් වත්ත පිහිටා ඇත්තේ, මස්කෙලියේ අප්කොට් හි ය. වැඩි වැටුප් ඉල්ලමින් හා කලමනාකාරීත්වයේ මර්දන ක්‍රියාවන්ට විරෝධය පලකරමින්, වත්තේ කම්කරුවන් 500 දෙනා ම පෙබරවාරි 2දා පටන් වැඩ වර්ජනයේ නිරත ව සිටිය හ.

කාන්තාවන් හත් දෙනෙකු ඇතුලු කම්කරුවන් අට දෙනා වන්නේ: එස්. පුවනේසරී, කනපති දේවි, ජී. ශතීස්වරී, ෆ්‍රැන්සිස් තිරේසාම්මල්, මාරිමුත්තු තමිල්සෙල්වි, යෝහශක්ති, එම්. කේ. ශාන්තිනී හා ආන්දිමුතු විස්වකේතු ය.

ඕල්ටන් වත්තේ ලයින් කාමර පෙලක් [ලෝසවෙඅ මාධ්ය]

ඔවුන්ට විරුද්ධව අධිකරනය ඉදිරියේ මෙතෙක් චෝදනා ගොනු කර නැත. එහෙත්, “නීති-විරෝධී ජනරාශිය” හා වත්තේ කලමනාකාර සුභාෂ් නාරායනන්ට “බරපතල තුවාල සිදුකිරීම” පිලිබඳව පොලීසිය කම්කරුවන්ට චෝදනා එල්ල කොට තිබේ. කම්කරුවෝ පොලීසියේ චෝදනා ප්‍රතික්ෂේප කරති. මෙම කම්කරුවෝ, ඔවුන් යෙදී සිටි වැඩ වර්ජනය බිඳ දැමීම සඳහා වතු සමාගම හා පොලීසිය එක් ව සිදුකල කුමන්ත්‍රනයක ගොදුරු බවට පත්ව සිටිති.

මෙම අත්අඩංගුවට ගැනීම් තරයේ හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය ඕල්ටන් වත්තේ කම්කරුවන් වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා සිටී. ඔවුන්ට එල්ල කර ඇති දුෂ්ට ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරය පරාජය කිරීම සඳහා සමස්ත කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින ලෙස සසප හා සසජාතශි වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

තම සහෝදර කම්කරුවන් නිදහස් කරගැනීමේ උද්ඝෝෂනය තීව්‍ර කල ඕල්ටන් වත්තේ කම්කරුවෝ, සසප සහයෝගය සහිත ව ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්හ. එක සමාන කොන්දේසිවලට මුහුන දෙන ප්‍රදේශයේ වතු කම්කරුවන් අතර, අත්අඩංගුවට ගෙන සිටින සිය සගයන් කෙරෙහි පුලුල් සහානුමතියක් පවතී. ක්‍රියාකාරී කමිටුව, ඔවුන් වෙනුවෙන් කම්කරු පන්තියේ සියලු කොටස්වල සහයෝගය බලමුලුගන්වමින්, මහා වැඩ වර්ජනයක් සඳහා සූදානම් විය යුතු ය.

කම්කරුවන් අට දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ, පෙබරවාරි 24දා හැටන් මහේස්ත්‍රාත් උසාවියේ ඇප අයදුම්පතක් ගොනු කල හ. අත්අඩංගුවට ගැනීම පිනිස තවත් කම්කරුවන් 18 දෙනෙකු සොයමින් සිටින බව සඳහන් කල පොලීසිය දැක්වූ බලගතු විරෝධය හේතුවෙන්, මහේස්ත්‍රාත්වරයා ඇපදීම ප්‍රතික්ෂේප කලේ ය.

කම්කරුවන් වතු අධිකාරිවරයාට පහර දීම පෙන්නුම් කරන්නේ යයි පැවසෙන සැක කටයුතු වීඩියෝවක් ද පොලීසිය විසින් ඉදිරිපත් කලේ ය. සියලු වතු කම්කරුවන් බියවැද්දීමේ දුෂ්ට ප්‍රයත්නයක කොටසක් ලෙස, නෛතික ව මතභේදයට තුඩුදෙන මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත. කම්කරුවන් අටදෙනා වරදකරුවන් යයි ඔප්පු වුවහොත්, ශ්‍රී ලංකාවේ නීතිය යටතේ, “බරපතල තුවාල කිරීම” සඳහා වසර හතකට ද “නීති-විරෝධී ජනරාශිය” සඳහා හය මසකට ද ඔවුන් සිරගත කරනු ලැබිය හැක.

පෙබරවාරි මුල පටන් දිග හැරුනු සිදුවීම් මාලාවක් මගින්, ඕල්ටන් වත්තේ කලමනාකාරීත්වය, පොලීසියේ සහයෝගය සහිත ව, මෙම දඩයම සූදානම් කලේ කෙසේදැයි පෙන්නුම් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ කොටස්කාරයෙකු හා ප්‍රධාන වතු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), මෙම ප්‍රහාරයට ආධාර-අනුබල දී ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ වතු කම්කරුවන්ගේ ඉල්ලීමක් වූ රුපියල් 1000ක දෛනික මූලික වැටුප ලබාදෙන ලෙස සමාගම්වලට “බලපෑම් දැමීම” පිනිස, සීඩබ්ලිව්සීය පෙබරවාරි 5දා එක් දින වැඩ වර්ජනයක් කැඳවුම් කලේ ය. මෙම ඉල්ලීම මත 2015 පටන් වතු කම්කරුවන් විසින් දියත් කරන ලද වැඩ වර්ජන ගනනාවක් ම  සීඩබ්ලිව්සීය හා අනෙකුත් වතු සමිති විසින් දිගට ම පාවා දී තිබේ.

සීඩබ්ලිව්සීය එක්දින වැඩ වර්ජනය කැඳවන ලද්දේ වතු කම්කරුවන් අතර ගැඹුරින් ම පැතිරී ඇති කෝපය වාෂ්ප කර දැමීම සඳහාය.  එම ජාතික වර්ජනයට ලක්ෂයකට අධික කම්කරුවෝ සම්බන්ධ වූ හ.

අනෙක් වතු කම්කරුවන් ද සමගින් කලින්ම වැඩ වර්ජනයට පිවිසීමට තීන්දු කල ඕල්ටන් වත්තේ සේවකයෝ, පෙබරවාරි 2දා, පිරිසැකසුම් කරන ලද තේ නිපැයුම් වත්තෙන් පිටතට ප්‍රවාහනය කිරීමට විරෝධය පල කල හ. මෙම විරෝධතාව බිඳ දැමීම සඳහා කලමනාකාරවරයා පොලීසිය කැඳවී ය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කම්කරුවන් අතර වැඩුනු කෝපය නිසා මැදිහත් වූ සීඩබ්ලිව්සී ප්‍රාදේශීය නායකයෙක්, තේ ප්‍රවාහනය කරමින් තිබුනු ලොරිය ආපසු හරවා යැවී ය.

එදින ම වත්තේ කලමනාකරු කම්කරුවන්ට ශාරීරික ව පහර දුන්නේ ය. එම පහර දීමෙන් අතක් තුවාල වූ කම්කරු කාන්තාවකට රෝහල්ගත වීමට පවා සිදු විය. මුල දී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීම පොලීසිය විසින් ප්‍රතික්ෂේප කල ද කලමනාකරුවා අත්අඩංගුවට ගැනීමට සිදුවූයේ කම්කරුවන්ගේ කෝපාන්විත ඉල්ලීම් මධ්‍යයේ ය. එහෙත්, ප්‍රාදේශීය මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට ගෙන එන ලද ඔහු ක්ෂනික ව ඇප මත මුදා හැරින.

කලමනාකාරීත්වය සිදුකරගෙන ගිය තර්ජනයන්ට විරෝධය පලකරමින් හා රුපියල් 1000 දෛනික වැටුප වහා ම ගෙවන ලෙස ඉල්ලමින්, පෙබරවාරි 5 වැඩ වර්ජනයෙන් පසුව ද දිගට ම වර්ජනයේ යෙදීමට ඕල්ටන් වත්තේ කම්කරුවෝ තීරනය කල හ.

පෙබරවාරි 7දා කොටගල වෘත්තීය සමිති කාර්යාලයේ දී සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන් හමු වුනු කම්කරුවන් 50ක් පමන, ඔවුන්ගේ අඛන්ඩ වැඩ වර්ජනයට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිය හ. රාජපක්ෂ ආන්ඩුවේ වතු යටිතල පහසුකම් ඇමති වන තොන්ඩමන්, එම ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කලේ ය.

සීඩබ්ලිව්සීය මෙලෙස ද්‍රෝහී ලෙස ඕල්ටන් කම්කරුවන්  තනි කිරීම නිසා දිරිය ගත් වතු කලමනාකාරීත්වය, පෙබරවාරි 15දා හොරිකඩ මෙහෙයුමක් සංවිධානය කලේ ය. නෙලන ලද තේ දලු, වත්තේ එක් කොටසක සිට තවත් වත්තක කම්හලකට ත්‍රී-රෝද රථයකින් ප්‍රවාහනය කිරීමට ඔවුහු උත්සාහ කල හ. කෝපයට පත් වර්ජකයෝ මැදිහත් වී එම උත්සාහය ව්‍යර්ථ කල හ.

කලමනාකරුගේ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට විරෝධය පලකරමින්, පෙබරවාරි 17දා, වැඩ වර්ජකයන් කන්ඩායමක් ඔහුගේ නිල නිවසෙන් පිටත විරෝධතාවක් පැවැත්වූ හ. කලමනාකාරීත්වය දැන් මෙම සිද්ධිය කම්කරුවන්ට විරුද්ධ ව යොදාගනිමින් සිටී.

ඊට පසු දින, වැවිලිකරුවන්ගේ සංගමයේ ලේකම් ලලිත් ඔබේසේකර, අගමැති මහින්ද රාජපක්ෂට ලිපියක් යැවීය. ඕල්ටන් වැඩ වර්ජනය ගැන එහි මෙසේ සඳහන් විය: “ප්‍රාදේශීය වතු සමාගම්වල තේ නිෂ්පාදනය කඩාකප්පල් කිරීමේ අටියෙන්, කම්කරුවන් හා කම්කරුවන් නොවන අය උසිගන්වමින්, මැරයන් විසින් දියත් කරනු ලබන ප්‍රචන්ඩ ක්‍රියා හා බියවැද්දීමේ සංවිධානයවූ  උද්ඝෝෂනයක් ගැන අපි කනස්සලු වන්නෙමු.”

එදින අත්අඩංගුවට ගත යුතු කම්කරුවන් අට දෙනා සොයා පොලීසිය වත්තට පැමිනියේ ය. කම්කරුවන්ගේ විරෝධයට මුහුන දුන් පොලීසියට කිසිදු අත්අඩංගුවට ගැනීමක් කල නො හැකි විය.

එහෙත් සීඩබ්ලිව්සීයේ ප්‍රාදේශීය නායකයන් වන කනගරායි, රාජාරාම් හා සෙන්පහවල්ලි, හැටන් පොලීසියට ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙස කම්කරුවන් අටදෙනාට පැවසූහ. කම්කරුවන් ආරක්ෂිත වනු ඇතැයි වෘත්තීය සමිති නිලධරය ව්‍යාජ ලෙස කියා සිටිය ද පොලීසිය වහා ම ඔවුන් රඳවාගත් අතර, මහේස්ත්‍රාත්වරයා ඔවුන් ව බන්ධනාගාරගත කලේ ය.

සීඩබ්ලිව්සීය විසින් ආධාරය හා අනුබලය දෙන ලද සමාගම් වල හා පොලිසියේ කුමන්ත්‍රනය, සමස්ත කම්කරු පන්තියට එරෙහි බලපතල ප්‍රහාරයක් ලෙස කම්කරුවන් විසින් සැලකිය යුතු ය. එකදු වතු වෘත්තීය සමිතියක්, අත්අඩංගුවට ගැනීම් හෙලාදැකීමක් හෝ කම්කරුවන් වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමක් කර නැත. මෙම ම්ලේච්ඡ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරය, ශිෂ්ට සම්පන්න ජීවිතයකට සරිලන වැටුප්, රැකියා හා අනෙකුත් සමාජ අයිතීන් සඳහා වතු කම්කරුවන් අතර වර්ධනය වන ව්‍යාපාරය බිඳ දැමීම පිනිස, වතු සමාගම් විසින් දරන ලද ප්‍රයත්නයකි.

ගාට්මෝර් හා මෝචා වතුවල ද අනෙකුත් වතුවල ද මෑත මාසවල දී වර්ජන පැන නැගුනේ, රාජපක්ෂ ආන්ඩුව හා මහ ව්‍යාපාරිකය ජීවන කොන්දේසි, රැකියා හා වැටුප් මත එල්ල කරන ප්‍රහාරවලට එරෙහි විරෝධය වැඩෙද්දී ය.

මෙම අරගල වනාහි, කොවිඩ්-19 වසංගතය විසින් ගැඹුරු කරමින් පවත්නා අර්බුදය මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව කම්කරු පන්තිය අතර වැඩෙන ව්‍යාපාරයක කොටසකි. යෝධ නය, පහත වැටුනු අපනයන හා රටෙහි මුදල අවප්‍රමානය වීම සමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මහත් වියවුලකට ඇද වැටී තිබේ.

වතු කම්කරුවන්ගේ නැගෙන ප්‍රතිරෝධයෙන් බියපත් වන රාජපක්ෂ ආන්ඩුව, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පෙබරවාරි 12දා නිවේදනය කලේ ය. ඉහල නැගෙන ජීවන වියදමට කිසිසේත් සරි නො වන මෙම සොච්චම් වැඩිවීම පවා, වතු සමාගම් ප්‍රතික්ෂේප කරති.

මෙම මුදල ගෙවීමට බල කලහොත්, පිරිවැය කප්පාදු කිරීම, ඵලදායිතාව ඉහල දැමීම, විශ්‍රාම වැටුප් කපා දැමීම හා වතුවල අනෙකුත් සොච්චම් සමාජ වියදම් අහෝසි කිරීම පිනිස වැඩ සතිය අඩු කරන බව වතු සමාගම් ප්‍රකාශ කර තිබේ. ආන්ඩුව තවමත් සමාගම් සමග “සාකච්ඡාවල” යෙදී සිටී.

තම ම්ලේච්ඡ කප්පාදු න්‍යාය පත්‍රයට විරුද්ධ පැන නගින කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා තලා දැමීම පිනිස ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුව තියුනු  කරන ප්‍රහාරයන්ට ද කම්කරුවෝ මුහුන දෙති. වරාය කම්කරුවන් මත අත්‍යවශ්‍ය සේවා නියෝගයක් පනවා ඇති ආන්ඩුව, පසුගිය සතියේ සෞඛ්‍ය සේවකයන්ගේ වර්ජනයක් බිඳ දැමීමට මිලිටරිය දිගේලි කලේ ය. වතුකරයේ ක්‍රියාවට නැගෙන මර්දනකාරී පියවරයන් මෙම පුලුල් කෙරෙන ප්‍රහාරයේ කොටසකි.

කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමට ඔවුන් විකල්ප ක්‍රියා මාර්ගයක් අනුගමනය කල යුතු ය. රාජ්‍යයේ හා ධනපති පන්තියේ උපකරන බවට පරිවර්තනය වී ඇති වෘත්තීය සමිති මත ඔවුන්ට විශ්වාසය තැබිය නො හැක. කම්කරුවෝ,  වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්ව තම අයිතීන් රැකගැනීම සඳහා කම්කරු පන්තියේ සෑම කොටසක් ම එකමුතු කිරීමට තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටුව ගොඩනැගිය යුත්තාහ.

මෙම අරගලය ධනවාදයට එරෙහිව සහ විශාල වතු, මහා සමාගම් හා බැංකු, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලත් කෙරුනු සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පාදක කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා වන සමස්ත කම්කරු පන්තියේ පුලුල් සටනක කොටසක් බවට පත්කල යුතු ය.

මෙම සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගය ඉදිරිපත් කරන එක ම පක්ෂය සසප යි. සසපට බැඳී මෙම ඉදිරි දර්ශනයට සටන් කරන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

 

Loading