ඕල්ටන් කම්කරු දඩයමට එරෙහි සසප උද්ඝෝෂනය

ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි සියලු නඩු කටයුතු හකුලා ගනු! ඔවුන් වහා නිදහස් කරනු! සියලු වැඩ තහනම් කිරීම් හකුලා ගනු! වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට සහාය දෙනු!


මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 සහතවතතරනයනව්‍යාජ චෝදනා මත නඩුවකට පටලා මර්දනයට ලක් කරනු ලැබීම තරයේ හෙලා දකින කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව(කප්‍රනිආක), ඔවුන් වහා නිදහස් කල යුතු බව අවධාරනය කරයි.

වතු කම්කරුවන්ට එරෙහි මෙම දඩයම වනාහි පාලක පන්තිය පසුගිය වසර කිහිපය තුල කම්කරු පන්තියට එරෙහිව උත්සන්න කර ඇති ලෝක පරිමාන පන්ති යුද්ධයේ කොටසකි. මේ ආකාරයෙන්ම අමූලික බොරු මිනීමැරුම් චෝදනා මත 2017 දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුනු ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන්ගේ සිර දඬුවමට පසුගිය මස වසර හතරක් සම්පූර්න විය.

ඔවුන්ගේ පන්ති සගයින් වන ශ්‍රී ලංකාවේ ඕල්ටන් වත්තේ කම්කරුවෝ දැන් එක් අයකුට වසර හත බැගින් වූ සිරදඬුවම් ලැබීමේ අනතුරට මුහුන පා සිටිති. දින ගනනාවක් අත්අඩංගුවේ තබාගැනීමෙන් පසු මාර්තු 10 වැනිදා ඔවුන් ඇප මත නිදහස් කෙරුනේ කම්කරුවකුගේ මසක වැටුපට සමාන රු. 15,000ක තැන්පතු, ඥාතීන් දෙදෙනෙකුගේ පුද්ගලික ශරීර ඇප, සෑම මසක ම අවසන් ඉරිදා මස්කෙලිය පොලිසියේ පුද්ගලික ව පෙනීසීටීම ඇතුලු කොන්දේසිවලට යටත් වය.

වතු සමිතිවල ආධාරය මත සකස් කල ලැයිස්තුවකට අනුව චෝදනා වලට ලක් කෙරුනු කම්කරුවන් 38 දෙනාට, තම නිරවද්‍යභාවය සනාථ කිරීමේ කිසිදු අවස්ථාවක් නොදීම ඔවුන් රැකියාවෙන් නෙරපා දැමීමට සමාගම පියවර ගෙන තිබේ.

2015 පටන් සිය වැටුප් ඉහල දමාගැනීමට සටනේ නිරත ව සිටින වතු කම්කරුවන් දෙලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් පෙබරවාරි 05 වැනි දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වූහ. එයට නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන්, ප්‍රවාහන සේවකයින් ඇතුලු කම්කරු පන්තියේ සෙසු කොටස්වල ද සහයෝගය ලැබුනි. එදින කඩසාප්පු වසා දැමුනු අතර කෙටිදුර බස් ධාවනය නතර කෙරිනි.

මෙම අරගලයෙහි පෙරමුනු බල ඇනිය වූ ඕල්ටන් වත්තේ කම්කරුවෝ පෙබරවාරි 02 දාම වැඩ වර්ජනය ආරම්භ කල අතර, දින 47 ක් අධිෂ්ඨානවත් ලෙස වර්ජනයේ යෙදී සිටි ඔවුහු සමිතිවල නින්දිත පාවාදීම හේතුවෙන් අවසානයේදී එය අත්හැර දැමූහ.

වර්ජනයේ යෙදී සිටි ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහිව ප්‍රකෝපකරනයක් ඇවිලවීමට වතු පාලනාධිකාරිය ඉදිරිපත් වීම ද ඊට පොලිසියේ හා ලංකා කම්කරු කොංග්‍රස් වෘත්තීය සමිති නිලධරයේ සම්බන්ධීකෘත සහාය ලැබීම ද පන්ති අරගලයේ උත්සන්න වීමට පාලක පන්තිය දෙන පිලිතුරේ ස්වභාවය කියා පායි.

කෝවිඩ් 19 වසංගතය මගින් ජනනය කෙරී ඇති සේවා සහ සමාජ කොන්දේසිවලට එරෙහිව සටන් කරන කම්කරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව - අන් සෑම රටක ම ආන්ඩු මෙන් - ප්‍රජාගනවාදය, මිලිටරීකරනය හා අන්ත දක්ෂිනාංශික බලවේග මත වාරු වෙමින් සිටියි. දැනට මත් ඇතැම් වතුවල වැඩ පරීක්ෂකයින් ලෙස විශ්‍රාමික මිලිටරි නිලධාරීන් පත් කර තිබේ.

කලාකරුවන්, මාධ්‍යවේදීන්, පරිසරවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ගේ ප්‍රකාශන නිදහසට එරෙහි ව රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක වෙමින් පවතී.

ව්‍යාජ චෝදනා මත සිරගතකොට ඇති අහ්නාෆ් ජසීම් කවියා ඇතුලු මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රහාර සමාජ ජීවිතයේ සෑම අංශයකට ම ව්‍යාප්ත කරමින් ඇත්තේ කම්කරු පන්තිය තුල වාර්ගික බෙදුම් රේඛා ඇඳ පන්ති අරගලය දුබල කිරීමේ අරමුනිනි. එහෙත් කම්කරු පන්තියේ වෛෂයික හැරීම ඇත්තේ පන්ති අරගලය තුලට සහ සමාජවාදය දෙසට ය.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මඟපෙන්වීම ඇති ව පිහිටුවාගෙන ඇති කප්‍රනිආක යෝජනා කරන්නේ වතුකරයේත් අන් සියලු තැන්වලත් කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්වෙමින් ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් දේශපාලන මහා වැඩ වර්ජනයකට සූදානම් විය යුතු බවයි.

කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගෙඩනැගීම තුලින් පමනි.

ඕල්ටන් වත්තේ කම්කරුවන්ගේ නිදහස වෙනුවෙන් නොපමා ව පෙරට එන මෙන් සියලු ක්ෂේත්‍රවල කම්කරුවන්, තරුනයින්, කලාකරුවන්, බුද්ධිමතුන් හා හිතනමතන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.

ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි සියලු නඩු කටයුතු වහා නවතනු!

ඔවුන් කොන්දේසි විරහිතව වහා නිදහස් කරනු!

ක්‍රියාකාරී කමිටු කරා පෙරට!

ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදිනු!

Loading