ඉදිරිදර්ශන

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් කරා පෙරට!

[පහත පලවන්නේ Forward to the International Workers Alliance of Rank-and-File Committees!  මාතෘකාවෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2021 අප්‍රේල් 24 දින නිකුත් කල ප්‍රකාශයේ සිංහල පරිවර්තනයයි.]

2021 මැයි දිනය, ගෝලීය වසංගතයක කොන්දේසි යටතේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහෝදරත්වයේ දිනය පවත්වන්නා වූ දෙවන වසර සලකුනු කරයි. අන්තර්ජාල රැලියක්  පවත්වමින්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ජාත්‍යන්තර කමිටුව), මෙම දිනය සමරනු ඇත. එම රැලිය ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් (ක්‍රිකජාස)  ගොඩනැගීම සඳහා කැඳවුමක් නිකුත් කරයි.

ලෝක පරිමාන ව්‍යසනයට වගකිව යුතු ධනපති පාලක පන්තිය විසින් පාලනය කරනු ලබන ආන්ඩුවල මිනීමරු පිලිවෙත්වලට එරෙහි ව, කම්කරු පන්තියේ ගෝලීය ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කොට වර්ධනය කිරීමට, හජාජාක හා එහි සමාජවාදී සමානතා පක්ෂ ශාඛා මෙම ආරම්භකත්වය ගැනීම ඉදිරිපත් කරයි.

මානව ජීවිතවලින් බියකරු වන්දියක් ගෙවීමට බලකර ඇති ගෝලීය අර්බුදයකට නිසි තීරනාත්මක ප්‍රතිචාරයක් වන්නේ ක්‍රිකජාස බිහි කිරීම යි. 2020 වසරේ දී මැයි දිනය පවත්වන අවස්ථාවේ, මරන සංඛ්‍යාව 250,000ට අඩු ගනනක් විය. දැන් එම සංඛ්‍යාව එමෙන් 12 ගුනයක් වී 3,000,000ට අධික ගනනක් බවට පත්ව ඇත.

තනි රටවල හා කලාපවල මරන සංඛ්‍යාව ඇඟකිලිපොලා යන සුලු ය. එක්සත් ජනපදය තුල 583,000ට අධික ගනනක් හා මෙක්සිකෝවේ 213,000ක් ඇතුලු ජනයා සමගින් උතුරු ඇමරිකාවේ 850,000ට අධික පිරිසක් මියගොස් තිබේ. දකුනු ඇමරිකාව තුල පුද්ගලයන් 640,000ක් මරුමුවට පත් ව ඇත. ඉන් අඩකටත් වැඩි ගනනක් වන 350,000ක් බ්‍රසීලයෙන් වාර්තා වෙයි.

එක්සත් රාජධානියේ 130,000ක්, ඉතාලියේ 120,000ක්, රුසියාවේ 110,000ක්, ප්‍රන්සයේ 100,000ක් සහ ජර්මනියේ 80,000ක් ඇතුලුව යුරෝපයේ මිලියනයක පමන ජීවිත ගනනක් අහිමි ව ගොස් ඇත.  මරන සංඛ්‍යාව 200,000කට ආසන්නවූ  ඉන්දියාව මුලින්ම සිටින අතර ඉරානයේ 70,000ක්, ඉන්දුනීසියාවේ 44,000ක් හා තුර්කියේ 37,000ක්  වසයෙන් ආසියාව තුල මරන ගනන 500,000ට සමීප වෙමින් තිබේ.

අප්‍රිකාවේ 120,000ක් මියගොස් තිබේ. ඉන් අඩකට අසන්න ගනනක් වාර්තාවන්නේ දකුනු අප්‍රිකාවෙනි.  

ආසන්න වසයෙන් දකින්නට ලැබෙන මරන සංඛ්‍යාවට ඔබ්බෙන්, ජීවත් වී සිටින්නන්ට මුහුන පෑමට සිදුවන දීර්ඝ-කාලීන විපාක සුවිශාල ය. ලොව පුරා මිලියන 150ට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් රෝගය ආසාදනය වී සිටින අතර, නාමික වසයෙන් සුවය ලැබීමෙන් පසුව වුව මිලියන ගනනක්  දීර්ඝ කාලයක් පුරා අනවරත රෝග ලක්ෂනවලින් පීඩා විඳිති. මෑත දී පලකල අධ්‍යයනයකට අනුව, ආසාදනය නො වුනු පුද්ගලයන්ට වඩා රෝගය ආසාදනය වී රෝහල්ගත නො වුනු පුද්ගලයන් ඊලඟ මාස හය තුල මිය යාමේ අනතුර සියයට 60කින් වැඩි ය. 

වසංගතය ඇති වී අවුරුදු එකහමාරක් පමන ගතවන තැන, වෛරසය ලොව පුරා වේගයෙන් පැතිර යමින් පවතී. වෛරසයේ නව හා වඩා සංස්පර්ශක ප්‍රභේදයන්ගේ පැතිර යාම මගින්, ලොව පුරා සිදුවන නව සාමාන්‍ය ආසාදන ගනන අන්කවරදාටත්  වඩා වැඩි මට්ටමක තිබේ.

ඉන්දියාවේ මුම්බායි ආසන්නයේ පිහිටි විජේ වල්ලබා කොවිඩ්-19 රෝහලේ ගින්නකින් අනතුරු ව රෝගියෙකු රැගෙන යන සෞඛ්‍ය කම්කරුවෝ, 2021 අප්‍රේල් 23 සිකුරාදා (ඒපී ඡායාරූප/ රාජනිෂ් කකාඩේ)

ඉන්දියාව තුල දෛනිකව අලුතින් ආසාදනය වන පුද්ගලයන් ගනන මිලියන කාර්තුව ඉක්මවා නැගී ඇත. ප්‍රධාන නගරවල සෞඛ්‍යාරක්ෂන පද්ධති ඇද වැටෙමින් පවතින අතර මරන සංඛ්‍යාව ඉහල යාම නිසා ආදාහනාගාර පිරී ඉතිරී යයි. බ්‍රසීලය තුල නව දෛනික ආසාදන ගනන හා මරන ගනන වාර්තාගත මට්ටම්වල පවතී. වසංගතයේ ආරම්භක අපිකේන්ද්‍රය වූ ඉරානය සලකද්දී, වෛරසය පලමු වරට මතු වුනු කිසිදු අවධියකදීට වඩා නව ආසාදන ගනන් ඉහල ය.

සියලු අධිරාජ්‍යවාදී රටවල් අතරින් පොහොසත් ම හා වඩාත් ම බලගතු රට වන්නේ එක්සත් ජනපදය යි. එහෙත් එරට ධනය ද වඩාත් ම දියුනු තාක්ෂනයන් එහි පාලනය යටතේ පැවතීම ද නො තකා, වසංගතය විසින් හෙලිදරවු  කරනු ලැබ ඇත්තේ එක්සත් ජනපදයේ දේශපාලන පද්ධතියේ හා සමාජ සංවිධානයේ ප්‍රතිගාමී පසුගාමීත්වයයි.  වසංගතයේ මුල් ම අදියරවල පටන් සාකල්‍යයෙන්ම එක්සත් ජනපදය එයට දක්වන ප්‍රතිචාරය නීර්නය කරනු ලැබ ඇත්තේ, පාලක කතිපයාධිකාරයේ ආර්ථික අවශ්‍යතා විසිනි. පලමුව ට්‍රම්ප් ගේ ද දැන් බයිඩන් ගේ ද පාලනය යටතේ, ආන්ඩුවේ පිලිවෙත දිශාගත කරනු ලැබ තිබෙන්නේ, කොරෝනා වෛරසය දූරීභූත කිරීමට නොව වෝල් වීදියේ පිම්බීම චිරස්ථායී කිරීම සහ ගෝලීය ආධිපත්‍යය සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ධාවනය වර්ධනය කිරීම සඳහාය. 

වෙලඳපොල මත දිවෙන පිලිවෙත්වල ප්‍රතිඵලය වන්නේ, වාර්ෂික මරන අනුපාතය ඇඟකිලිපොලා යන ලෙස ඉහල යාමකි. 2020  වසරේ “අතිරික්ත මරන” සංඛ්‍යා ව, 1918 උන වසංගත සමය තුල හටගත් අතිරේක මරන සංඛ්‍යාවට වඩා වැඩි ය. ශතවර්ෂයක් තුල ගමන් මාවතේ දී අත්පත් කරගෙන ඇති සියලු විද්‍යාත්මක හා තාක්ෂනික අභිවර්ධනයන් නො තකා, 1918-19 වසංගතයේ දී මියගියාට වැඩි ඇමරිකානුවන් ගනනක්  කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය යනු ඇත.

ආසන්න වසයෙන් 600,000ක් ව පවතින එක්සත් ජනපදයේ කොරෝනා මරන ගනන වේගයෙන් ලඟාවෙමින් පවතින්නේ , ඇමරිකානු ඉතිහාසයේ මාරාන්තිකම ගැටුම වන සිවිල් යුද්ධයෙන් මිය ගිය සොල්දාදුවන්ගේ සංඛ්‍යාව කරාය. සෑම දිනක ම 70,000ට අධික නව ආසාදන ගනනක් වාර්තා වන්නේ, ආසන්න වසයෙන් මරන 750ක් ද සමගිනි. පාසැල්, ලමා සුරැකුම් මධ්‍යස්ථාන හා කර්මාන්තශාලා තුල වෛරසය පැතිර යාම කේන්ද්‍රගතවෙමින්, විශේෂයෙන් ම මිඩ්වෙස්ට් කාර්මික කලාපය ඇතුලු බොහෝ ප්‍රාන්තයන් ආසාදන වේගයෙන් ඉහල යාමක් මධ්‍යයේ සිටී.

වසංගතය කෙරෙහි පාලක පන්තියෙහි ප්‍රතිචාරයේ අන් සෑම අංශයක් මෙන් ම එන්නත බෙදාහැරීම ද සම්බන්ධීකරනයක් නැති අවුල් සහගත එකකි. බොහෝ දියුනු ධනපති රටවල පවා, සම්පූර්න එන්නත්කරනයට ලක් කෙරී ඇත්තේ තනි ඉලක්කමේ ප්‍රතිශතයකි. ලෝකයේ බොහෝ ප්‍රදේශවල මාස ගනනක් හෝ එසේ නැත්නම් වසර ගනනක් යන තෙක් එන්නතක් පලල් ව ලබාගත නොහැකි දෙයක් වනු ඇත. වෛරසය අපාලිත ව පැතිර යාමේ ප්‍රතිපලය වනු ඇත්තේ සෑමතැනක ම එන්නත්කිරීමේ ප්‍රයත්න යටපත් කරමින් වෛරසයේ නව ප්‍රභේද අඛන්ඩ ව ඉස්මතු වීම යි.

වසංගතය කෙරෙහි පාලක පන්තියේ ප්‍රතිචාරය

වෛරසය ජීව විද්‍යාත්මක ප්‍රපංචයක් වුව ද ලොව පුරා ආන්ඩු එයට දක්වා ඇති ප්‍රතිචාරය නීර්නය කෙරී ඇත්තේ, දේශපාලනික ගනන් බැලීම් හා පන්ති අවශ්‍යතා විසිනි. බලය දරන සියල්ලෝ--ආන්ඩු හා දේශපාලන පක්ෂ, බැංකු හා සංගත, වෙලඳපොලවල් හා මාධ්‍ය- සිදු වී ඇති දෙය සඳහා සම්පූර්නයෙන් වගකිවයුතුය. 

වසංගතය ආරම්භයේ පටන්, මහා පරිමාන පරීක්ෂන හා බෝවූවන් හඳුනා ගැනීම, අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන හා පාසල් වසා දැමීම, කම්කරුවන්ට පූර්න ආදායම් හා කුඩා ව්‍යාපාරවලට යථා සහයෝගය සම්පාදනය කිරීම යන අත්‍යවශ්‍ය පියවර ගැනීම පාලක පන්තිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. එහි උත්සුකය වූයේ, මිලියන ගනනකගේ සෞඛ්‍යයට වසංගතයේ බලපෑම නොව, ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සංගතවල ලාභ හා පොහොසතුන්ගේ ධනය මත මූල්‍යමය වසයෙන් කොතරම්  බලපෑමක් ඇතිකරයි ද යන්නයි. 

මිලියන ගනන් ජීවිත අහිමි වී ගොස් තිබුන ද බිලියන ගනන් ඩොලර් ගොඩගසාගෙන ඇත. කම්කරු පන්තියට වසංගතය මානව ඛේදවාචකයක් වී තිබේ. පාලක ප්‍රභූන්ට එය මූල්‍යමය ගජවාසියකි.

ලෝකයේ බිලියනපතියන්ගේ සාමූහික ධනය පසුගිය වසරේ පටන් සියයට 60කින් පිම්මේ නැග ඇත්තේ ඩොලර් ට්‍රිලියන 8ක සිට ඩොලර් ට්‍රිලියන 13.1ට අධික මට්ටමටය. දැවැන්තව කඳු ගැසුනු නය ගෙවනු ඇත්තේ, කම්කරු පන්තිය සූරාකෑම යෝධ පරිමානයකින් තීව්‍ර කරමිනි. 

පසුගිය මාස 16  තුල දී, වසංගතයට ධනපති ආන්ඩුවල ප්‍රතිචාරය මුලුමනින්ම නීර්නය කෙරුනේ, ආර්ථික හා භූ-දේශපාලනික සලකා බැලීම් විසින් බව අතිශයින් ම පැහැදිලි වී ඇත. “දුෂ්ට නොතකා හැරීමේ” සිය පිලිවෙත සාධාරනීකරනය කිරීමේ දී, ඇමරිකානු පාලක පන්තිය අනෙකුත් පාලක පන්තීන්ගෙන් වෙනස් වන්නේ, එහි නරුමත්වයේ හා රැවටීමේ පරිමාව අතින් පමනි. එහි සාපරාධී නොතකා හැරීම යුක්තියුක්ත කිරීමේ දී, එක්සත් ජනපද ආන්ඩුවට මාධ්‍යවල සහයෝගය ගැන සහතිකය.

කොවිඩ්-19 වෛරසය ගෝලීය පරිමානයෙන් තුරන් කිරීම සඳහා වන විද්‍යාත්මක ව මග පෙන්වන හා යථාවත් කල හැකි යෝජනා ප්‍රතික්ෂේප කරන ධනපති පිලිවෙත අවධාරනය කරන්නේ, වසංගතය යනු කම්කරු පන්තිය එය සමග "ජීවත් වියයුතු," වඩා නිවැරදි ලෙස කියන්නේ නම්, එය සමග මිය යා යුතු, පලායා නොහැකි යතාර්ථයක්, සදාතන තත්වයක් ලෙස පිලිගත යුතු ය යන්නයි. මාධ්‍යයන් තුල, දෛනික මරන වාර්තා හා නව ආසාදනවල නැගීම පසෙකට තල්ලු වී ඇත. මහා පරිමාන මරන සහ මානව දුක්ඛිතභාවය කෙරෙහි මහජනයා අසංවේදී කොට, අක්‍රීයත්වයේ හා ඉරනම්වාදයේ චිත්ත ස්වභාවයක් වැලඳ ගැනීමට දිරිමත් කෙරේ.

මෙම පිලිවෙත කම්කරු පන්තියේ විරුද්ධත්වයට අභිමුඛ වන තරමට පාලක ප්‍රභූන්ගේ ප්‍රතිචාරය වන්නේ මර්දනය හා ප්‍රචන්ඩත්වය දෙසට යොමු වීම යි. ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය මත කවර හෝ සීමා කිරීමක් පැනවීමට විරුද්ධවීමේ ධජය වටා, කුදුමහත් ෆැසිස්ට්වාදීන් හා නව-නාසිවාදීන් බලමුලුගන්වනු ලැබෙමින් පවතී. එක්සත් ජනපදයේ ට්‍රම්ප් හා බ්‍රසීලයේ බොල්සොනාරෝ යනු ජාත්‍යන්තර ප්‍රපංචයක නග්න ප්‍රකාශනයන් ය. ශ්‍රී ලංකාවේ ඇමතියෙකු ජනාධිපතිවරයා “හිට්ලර් මෙන්” විය යුතු යයි ප්‍රකාශ කිරීම, සෑම රටක ම පාලක ප්‍රභූව තුල පවතින ආඥාදායක ප්‍රවනතා ප්‍රකාශයට පත් කරයි.

මහා පරිමාන මරන හා සමාජ දුක්ඛිතභාවය මධ්‍යයේ පවා, එක්සත් ජනපදය රුසියාවට හා චීනයට එරෙහි එහි උද්ඝෝෂනය තීව්‍ර කරමින් සිටියි. ඩොලර් ට්‍රිලියන 1ට ආසන්න අලුත් මිලිටරි අයවැය, ඉතිහසායේ විශාලතම එකයි. ගෙවී ගිය වසරේ රුසියාවට හා චීනයට එරෙහි අධිරාජ්‍යවාදී ප්‍රකෝපකරනයන් අන්තරායකාරී ලෙස තීව්‍ර කිරීම දකින්නට ලැබුනි. වසංගතය “වුහාන් හි රසායනාගාරයක” නිපදවන ලද වෛරසයකින් ඇති කලේ ය යන මුලුමනින් ම ගොතන ලද කියාපෑම් සමගින්, මහජනයා අතර  චීන විරෝධය ඇවිලවීමට ඇමරිකානු මාධ්‍ය විශේෂයෙන් ම උත්සාහ දරා තිබේ. චීන ආන්ඩුව උයිගුර්හි මහජනයාට එරෙහි සංහාරයක් දියත් කරමින් තිබේ ය යනුවෙන් චෝදනා කරන දුෂ්ට ප්‍රචාරයක් විසින් මෙම බොරුවට අනුපාන සපයනු ලැබ ඇත. 

රුසියනු-විරෝධී හා චීන-විරෝධී වෛරය හිතාමතා ම ඇවිලවීම, පැහැදිලි ව ම යොමු කර ඇත්තේ ගෝලීය අධිරාජ්‍යවාදී අවශ්‍යතා වෙනුවෙන් ලුහුබඳින යුද්ධයක් සඳහා ඇමරිකාවේ හා යුරෝපයේ සූදානම්වීම් සාධාරනීකරනය කිරීමටය. කෙසේ වතුදු, එවන් ප්‍රචාර හා ඒවායින් ඇතිකෙරෙන මිලිටරි ගැටුම්, අතිරේක තීරනාත්මක අරමුනකට සේවය කරයි: එනම්, රට තුල පැනනගින මහජන කෝපය ජාතික ආන්ඩු වෙතින් “විදේශ සතුරන්ට” එරෙහි ව ඉවතට හරවා අපසරනය කිරීම යි. වැඩෙන අභ්‍යන්තර සමාජ විරෝධයට එරෙහිව රට තුල ගෙනයන දේශපාලන මර්දනය ඉහල නැංවීමට ආන්ඩු විසින් යුද්ධයේ අන්තරාය ගසා කනු ඇත.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රතිප්‍රහාරයක් සඳහා!

වසංගතය වනාහි, ඉදිරි දශක ගනනාවක් පුරා දෝංකාරදෙනු ඇති ලෝක ඓතිහාසික සිද්ධියකි. බලපෑම අතින් සලකන කල එය ප්‍රථම ලෝක යුද්ධයට සමාන කල හැකිය. ඔස්ට්‍රියානු ආදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය කිරීමත් සමඟ 1914 ජූලි මාසයේ යුද්ධය පුපුරා ගිය කල, යුද පිටියට පිටත් කල සෙබලුන් අපේක්ෂාකලේ, එලඹෙන නත්තලට තමන්ට නිවෙස් බලා යා හැකි වනු ඇති බවයි. එහෙත් යුද්ධය  මාසයෙන් මාසය, වසරින් වසර පෙරට ඇදුනි. ජීවිත විනාශය දහස් ගනන්, දස දහස් ගනන් හා මිලියන ගනන් දක්වා ඉහල නැඟුනි. බිහිසුනු ම්ලේච්ඡත්වය ඇදී ගියේ, යුද්ධයෙන් ලාභ පොදිගසා ගත් අයගේ හා ධනපති බලවතුන්ගේ භූදේශපාලනික ඕනෑ එපාකම් වලට ඉන් සේවය සැලසුන බැවිනි. එය නිමාවකට ගෙන ආවේ, 1917 රුසියානු විප්ලවයෙන් කුලුගැන්වුන කම්කරු පන්තියේ මැදිහත් වීමෙන් පමනි.

කොරෝනා වසංගත අවධියේ සුරක්ෂිත සේවා ප්‍රශ්න මුල්කරගෙන වැඩවර්ජනයට සහභාගී වීම සඳහා මොන්ටිෆියරෝහි නව රොචෙලි රෝහලෙන් පිටව යන හෙද සේවකයෝ, 2020 දෙසැම්බර් 1 අඟහරුවාදා නිව් යොර්ක්හි නව රොචෙලි (ඡායාරූප අනුග්‍රහය, ඒපී/මාර්ක් ලෙනිහැන්)

වසංගතය පිලිබඳව ද සිදුවන්නේ යුද්ධයේදී සිදුවූ දෙයමය. වෛරසයට දක්වන ප්‍රතිචාරය, කලමනාකරනය හා යොමුව ධනපති පාලක ප්‍රභූවේ පාලනයෙන් ඉවත්කර කම්කරු පන්තිය විසින් දැනුවත්ව හා ස්වාධීනව මැදිහත් ව, සියතට ගන්නා තෙක්ම, වසංගතය දිගටම පවතිනු ඇත.

දැනටමත් ඇමරිකාවේ හා යුරෝපයේ මෝටර් රථ, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවල කම්කරුවන් ද බ්‍රසීලයේ තෙල් හා දුම්රිය සේවා කම්කරුවන් ද ඉන්දියාවේ පොදු ප්‍රවාහන කම්කරුවන් ද පෙරලා සටන් වැදීමට පටන් ගෙන ඇත. අගුලු දැමීම් හා පාසැල් වසාදැමීම් ඇතුලු හදිසි පියවර ක්‍රියාත්මක කිරීමෙන් තොරව වසංගතය නතර කල නොහැකිය යන අවබෝධය, කම්කරු පන්තිය තුල වැඩෙමින් ඇත.

කෙසේ වුව ද පාලක ප්‍රභූවේ පිලිවෙත් වලට ප්‍රතිරෝධය දක්වන කම්කරු පන්තියේ සෑම ප්‍රයත්නයක්ම, රාජ්‍යයේ හා නිල දේශපාලනයේ සමස්ත රාමුවේ සියලු ආයතන සමඟ ගැටුමකට පැමින ඇත. සෑම ධනපති රටකම, ප්‍රකටවම දක්ෂිනාංශික වේවා නාමිකව "වාමාංශික" වේවා  නිල පක්ෂ හා දේශපාලන සංවිධාන, වසංගතය නතර කිරීම පිනිස විද්‍යාඥයින් හා මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් ඉල්ලා සිටි පියවර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

නිල වෘත්තීය සමිති සම්බන්ධයෙන් සලකන කල, පාලක පන්තියේ ප්‍රතිපත්ති වලට විරෝධය සංවිධානය කිරීමට වෙනුවට ඔවුහු, ඒවා ක්‍රියාවට නැඟීමට ඔවුන්ට උදව් කරති. මෙම සංවිධාන  "වෘත්තීය සමිති" වන්නේ නමට පමනි. සැබෑ භාවිතයේදී ඔවුන්, තමන් නියෝජනය කරනවා යයි කියන කම්කරුවන්ගේ කුමන අවශ්‍යතාවක් හෝ ආරක්ෂා කිරීම බොහෝ කලකටම පෙර අත්හැර දමා ඇති අතර දැන්, ව්‍යාපාරික කලමනාකරනයේ හා රාජ්‍යයේ සම කුමන්ත්‍රන කරුවන් ලෙස කටයුතු කරයි.

සමිතිවල මෙම කෝපරේට්වාදී  පරිහානිය ද කලමනාකරනයේ රාමුවට හා රාජ්‍යයට ඒවා පරිපූර්නව ඒකාග්‍රවීමේ ද කටෝරම  තත්වය ද බෙහෙවින්ම දැකිය හැක්කේ ඇමරිකාව තුල වුවද සෑම රටක් තුලම ඒ හා සමාන කොන්දේසි පැතිර පවතියි. "රංචු ප්‍රතිශක්තිකරනය" හා ධනවතුන්ට දැවැන්ත වරදාන පිරිනැමීමේ පාලක පන්ති පිලිවෙතට එරෙහිව සමිති විසින් එකදු අරගලයක් හෝ ගෙනගොස් ඇත්තේ නැත.

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය

කම්කරු පන්තියට පෙරලා සටන් වැදීමට නම්, පාලක පන්තියට හා ව්‍යාපාර ගැති සමිති වලට විරුද්ධව ඒ ඒ කම්හල්වල, කර්මාන්තවල හා රටවල්වල කම්කරු පන්තියේ අරගල සම්බන්ධීකරනය පිනිස මාවතක් කැපිය යුතුය. මේ කර්තව්‍ය  සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ඊට සම්බන්ධ සමාජවාදී සමානතා පක්ෂවල මඟපෙන්වීම යටතේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රිකජාස)ගොඩනැඟීමේ ආරම්භකත්වය ගෙන ඇත. 

ලොස් ඇන්ජලීස් වරාය රියැදුන්ගේ වැඩ වර්ජනය

 ජාත්‍යන්තර පරිමානයකින් සේවා ස්ථානවල, පාසැල්වල හා කම්හල්වල කම්කරුවන්ගේ ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී හා සටන්කාමී නව ආරක සංවිධාන ගොඩනැඟීමට (ක්‍රිකජාස) වැඩ කරනු ඇත. කම්කරු පන්තිය සටනට සූදානම්ය. එහෙත් ප්‍රතිරෝධයේ සෑම උත්සාහයක්ම ව්‍යාර්ථ කරන ප්‍රතිගාමී නිලධාරිමය සංවිධාන විසින් ඒවාට විලංඟු දමා තිබේ.

කම්කරුවන්ට ආරක්ෂාව සපයන ලෙස , අනාරක්ෂිත ආයතන හා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දමන ලෙස, වෛරසය පැතිරීම නතර කිරීමට අවශ්‍ය අනෙකුත් හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලීම සඳහා එක්සත් අරගලයක් සංවිධානය කරනුවස් තොරතුරු හුවමාරු කර ගැනීමට ලොව පුරා කම්කරුවන්ට ක්‍රිකජාස මගින් මාධ්‍ය සම්පාදනය කෙරෙනු ඇත.  

වසංගතය මැඬලිය හැකි එකම ක්‍රමය වන, මෙම සන්ධානය, ගෝලීය පරිමානයෙන් ගොඩනැඟීමට හජාජාක මූලිකත්වය ගනියි. හතරවන ජාත්‍යන්තරයේ හා සමාජවාදී සමානතා පක්ෂවල දේශපාලන ආධාරය ලබන ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය, කම්කරු පන්තිය එකිනෙකා සමඟ කා කෙටවීමේ හා භේද කිරීමේ යෙදී සිටින, ධනපති ආන්ඩු වලත්, ජාතික, වාර්ගික ස්වෝත්තමවාදී හා අනන්‍යතා දේශපාලනයේ අනේකවිධ වෙස්ගත් ප්‍රතිගාමී දේශකයන්ගේත් සියලු උත්සාහයන්ට එරෙහිව, කම්කරුවන් ලෝක පරිමාන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් කරනු ඇත. 

ස්වාභාවිකවම කම්කරුවන් මුහුන දෙන කොන්දේසි කලාපයෙන් කලාපයට හා රටින් රටට වෙනස් වන අතර, මේවා උපායන් තෝරා ගැනීම කෙරේ බලපෑ හැකිය. එහෙත් සෑම රටකම පවත්නා නිලධර වෘත්තීය සමිති, සංස්ථාගත පොලිස් බලකායක් ලෙස ක්‍රියාත්මක වන අතර, ඒවා වර්ධනය වන මහජන ප්‍රතිරෝධයට එරෙහිව පාලක ප්‍රභූන්ගේ සහ ඔවුන්ගේ ආන්ඩුවල ව්‍යාපාරික හා මූල්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨානකරගෙන සිටින බව අවිවාදිත සත්‍යයකි.

මහජන අරගල සඳහා නව මාවත් නිර්මානය කල යුතුය. වෘත්තීය සමිති සංවිධානවල පරිහානිය අදට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවති, මීට වසර 80 ත් පමන පෙර, ලෝක සමාජවාදී  විප්ලවයේ ප්‍රමුඛතම මූලෝපායඥයා වූ ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලියා ඇත: හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යය, "වෘත්තීය සමිතිවල ගතානුගතික පර්යාය සමඟ සෘජු බිඳීමක් හමුවේ පවා නොපැකිලෙන, ධනේශ්වර සමාජයට එරෙහි මහජන අරගලයේ කර්තව්‍යයන්ට වඩාත් සමීපව අනුරූපව කටයුතු කරන්නාවූ ස්වාධීන, සටන්කාමී සංවිධානයන් හැකි සෑම අවස්ථාවකදීම නිර්මානය කිරීමයි. ”

ගෝලීය වශයෙන් අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලය සංවර්ධනය කිරීමේ සටන වෘත්තීය සමිති පවතින කර්මාන්තශාලා, පාසල් සහ සේවා ස්ථානවලට පමනක් සීමා නොවේ. ඇත්ත වශයෙන්ම, වර්තමාන වැඩබිම් වලින් අති බහුතරයක් සමිතිගත වී නැත. මෙම සමාජ සත්‍යතාවයෙන් අදහස් වන්නේ, අසංඛ්‍ය සේවා ස්ථානවල ප්‍රායෝගික සංවිධානයේ ආරම්භක හා එකම සංවිධාන රූපය ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු මතුවනු ඇති බවයි.

මෙම කමිටුවල වර්ධනය අනිවාර්යයෙන්ම තරුන හා රැකියා විරහිතයන් ඇතුලු කම්කරු පන්තියේ පුලුල් කොටස්වල සහාය දිනා ගනු ඇත.

මෙය ජාත්‍යන්තර අරගලයකි. වසංගතය පැතිරෙන ස්ථානයන්හි, එන්නත් වලට ප්‍රතිරෝධී විය හැකි නව ප්‍රභේදයන් මතුවීම පෙන්නුම් කරන්නේ, වසංගතය ගෝලීයව මුලිනුපුටා දැමුවහොත් මිස කිසිදු රටකට එය තුරන් කල නොහැකි බවයි. ධනේශ්වර බලවතුන් අතර ජාතික තරඟය විසින් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකරනයවූ ප්‍රතිචාරයක් දැක්වීම අවහිර කරනු ලැබ තිබේ. දැන් ජීවිතාරක්ෂක එන්නත ප්‍රමුඛ ධනවාදී රටවල් විසින් ගොඩගසාගෙන ඇති අතර ඔවුන්ගේ භූදේශපාලනික කුමන්ත්‍රන සඳහා මෙවලමක් ලෙස භාවිතා කරයි.

සමාජවාදය සඳහා සටන

හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ක්‍රිකජාස පිලිබඳ යෝජනාව ඉදිරිපත් කරන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයේ රාමුව තුලයි.

කම්කරු ක්‍රියාකාරී කමිටු සම්බන්ධ කෙරුනු ජාලයක් ගොඩ නැගීම අතිශයෙන් ම අත්‍යවශ්‍ය  කාරනයක් වශයෙන් පවතී. කෙසේ වුවද, එය විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට ආදේශකයක් නොවේ. ක්‍රියාවන් අවශ්‍ය වන නමුත් බැරෑරුම් ක්‍රියාවන්, ක්‍රියාමාර්ගය සහ මූලධර්ම මත පදනම් විය යුතු ය.  ස්වාධීන සංවිධානවල අන්තර්සම්බන්ධිත ජාලයක් ගොඩ නගා පවත්වා ගෙන යාමට නම් කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගිය යුතු ය.

වසංගතයේ පැතිර යාම මූල්‍ය කතිපයාධිකාරය ධනයෙන් ආඪ්‍ය කිරීම සමග අවියෝජනීය ව බැඳී පවතින්නේ යම් සේ ද, ගෝලීය වසංගතය නිමාවකට ගෙන ඒම මූල්‍ය කතිපයාධිකාරය එම ධනයෙන් අස්වාමික කිරීම සමග අවියෝජනීය ව බැඳී පවතී. මූල්‍ය ප්‍රභූන් කඳු ගසා ගෙන ඇති ධනස්කන්ධය මිලියන ගනන් ජීවිත බේරා ගැනීමේ හදිසි පියවර සඳහා මූල්‍ය සම්පත් සම්පාදනයට යොදා ගත යුතු ව ඇත.

ගෝලීය වසංගතයට, එමෙන් ම යුද්ධයට, සමාජ අසමානතාවට, සූරා කෑමට සහ ආඥාදායකත්වයට එරෙහි සටන යනු සමස්ත ධනපති සමාජ සහ ආර්ථික පර්යායයට එරෙහි සටනකි. සියලු රටවල කම්කරුවන් බලය තමන් අතට ගැනීමටත්, කතිපයාධිකාරය අස්වාමික කිරීමටත්, පෞද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ අරමුනින්, තාර්කික, විද්‍යාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු කෙරුනු නිෂ්පාදන ක්‍රමයක් මත පදනම් වූ සමාජවාදී සමාජයක් ගොඩනැගීමටත් පොදු දේශපාලන ප්‍රහාරයකට ඒකාබද්ධ විය යුතු ව ඇත.

හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සකල ලෝකවාසී කම්කරුවන්ට මෙ ලෙස කැඳවුම් කරයි: මෙම අරගලය අතට ගනු! සෑම කම්හලක ම වැඩපලක ම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

Loading