බොරිස් ජොන්සන්, සමාජ ඝාතනය සහ කම්කරු හා වෘත්තීය සමිති නිලධරයට එරෙහි අරගලය

[මෙහි පලවන්නේ Boris Johnson, social murder and the struggle against the Labour and trade union bureaucracy  මාතෘකාවෙන් 2021 මැයි 04 දින පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 1 වන දින පවත්වන ලද 2021 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට ක්‍රිස්   මාස්ඩන් විසින් පහත සඳහන් වාර්තාව ඉදිරිපත් කරන ලදී. මාස්ඩන්,  බ්‍රිතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම්ය.

ක්‍රිස් මාස්ඩන්

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කල කැඳවීම සෑම රටකම රැව්පිලිරැව් දෙනු ඇත. අපගේ ප්‍රකාශය ලෝක කම්කරු පන්තියේ ජීවිත අත්දැකීම් නිවැරදිව පිලිබිඹු කරයි.

පලමුවෙන්ම, වසංගතයේ මාරාන්තික පිරිවැය, පාලක ප්‍රභූවේ මිනීමරු උදාසීනත්වය, ධනේශ්වර පන්තිය විසින් අර්බුදය අපව කොල්ලකෑමට යොදා ගන්නේ කෙසේද යන්න ගැන මෙන්ම, සූරාකෑම වේගවත් කිරීම සහ ජීවිත හා ජීවනෝපායන් විනාශ කිරීම ගැන ය.

දෙවනුව, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සහ වෘත්තීය සමිති, කම්කරුවන්ගේ සතුරු බලවේගයක් ලෙස හා මූල්‍ය කතිපයාධිකාරයේ හා සංගතවල නියෝජිතයන් ලෙස කම්කරුවන් සමඟ ගැටෙන බවට වන අවධාරනය සම්බන්ධයෙන් ය; දැන් එය බිඳ දැමිය යුතුය.

පසුගිය වසරේ ඔක්තෝබර් 30 වන දින සති හතරක දෙවන අර්ධ අගුලු දැමීමක් ක්‍රියාත්මක කල යුතුද යන්න පිලිබඳ අරගලයේදී, බ්‍රිතාන්‍යයේ පිලිකුලට බඳුන් වූ අගමැති බොරිස් ජොන්සන් ගේ බෙලි කපාගන්නා ආන්ඩුවේ කාන්ඩායමික ගැටුම් හෙලිදරව් වී තිබේ. එක් රන්ඩුවකදී හේ මෙසේ කීය: “තවදුරටත් (f***ing) අගුලු දැමීම් එපා, සිරුරු දහස් ගනනින් කඳු ගැසෙන්න ඉඩ හරින්න!”

මෙම ප්‍රකාශය, පාන් හිඟකම නිසා ගොවීන් කුසගින්නේ සිටින බව පැවසූ විට මාරි ඇන්ටොනෙට් විසින් “එසේනම් කේක් කාපල්ලා!” යි කියූ අභූත ප්‍රතිචාරයට සමාන වේ. නමුත් ජොන්සන් ඇත්ත වශයෙන්ම මෙය පැවසූ අතර තවත් බොහෝ දේ ද පැවසීය.

සැප්තැම්බරයේ මුලදී, ඔහු කියා සිටියේ දෙවන අගුලු දැමීම ක්‍රියාත්මක කිරීමට වඩා කොරෝනා වෛරසය “ඉරා දැමීමට” ඉඩ දෙන ලෙසයි. ඔහු, පලමු අගුලු දැමීමට එකඟ වීම ගැන කනගාටුව ප්‍රකාශ කලේ එසේ ය. ජෝස්  (Jaws) චිත්‍රපටයේ “සැබෑ වීරයා” වූ  ඇමිටි නගරාධිපති මෙන්  ඔහු, මිනිසුන් ආහාරයට ගන්නා දැවැන්ත සුදු මෝරෙකු සිටියදී,  වෙරලවල්  විවෘතව තබන ලෙස අන කරයි.

මිලියන ගනනක් කම්කරුවන් බොහෝ සේ කලකිරුන මුත් ස්වල්ප දෙනෙක් කම්පනයට පත්ව සිටිති. ටෝරි ආන්ඩුවේ මනාප පිලිවෙත සෑම විටම “රංචු ප්‍රතිශක්තිය” විය. දැන්, මහජන විරෝධයට බියෙන් හකුලාගත් මුත්, එම “ඉරා දැමීමට ඉඩ දෙන්න” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙමින් පවතින අතර, සිරුරු සැබවින්ම “දහස් ගනනින් කඳු ගැසෙනු ඇත.”

වඩාත් සැබෑ මරන සංඛ්‍යාව 150,000 ක් වන අතර එය තවත් ඉහල යමින් පවතී. වසංගතයට එරෙහි සටන යනු මෙම සමාජ ඝාතනයේ නිර්මානකරුවන්ට එරෙහි දේශපාලන අරගලයකි. එය ඔවුන් සේවය කරන සංගතවලට එරෙහි සටනකි.

ජොන්සන් ආන්ඩුවට පමනක් නොව, එය වැලැක්වීමට උත්සාහ කරන අයට ද, එනම්  ලේබර් පක්ෂයට හා වෘත්තීය සමිතිවලට ද එරෙහි අරගලයකින් තොරව, එම  ප්‍රහාරය දියත් කල නොහැකිය.

වසරකට වැඩි කාලයක් තිස්සේ “ජාතික සමගිය” යන නාමයෙන් ජොන්සන්ගේ “ඵලදායී විවේචකයා” ලෙස කටයුතු කරන ලේබර් පක්ෂයේ නායක ශ්‍රීමත් කෙයර් ස්ටාර්මර් තථ්‍ය  සන්ධාන හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කර ඇත. එහෙත් ස්ටාර්මර් නායකයා වන්නේ ඔහුගේ පක්ෂයේ දක්ෂිනාංශය සමඟ තීරනාත්මකව කටයුතු කිරීම සඳහා මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් විසින් ලබා දී ඇති ජනවරමට ගරු කල ඔහුගේ පූර්වගාමියා වූ ජෙරමි කෝබින් ප්‍රතික්ෂේප කිරීම නිසාය.

අනෙක් අතට, කෝබින් සහ ස්ටාර්මර් මෙන්ම ජොන්සන් ද පන්ති අරගලය මැඩපැවැත්වීම සඳහා වෘත්තීය සමිති නිලධරය මත රඳා සිටිති.

වෘත්තීය සමිති සම්මේලනය(ටීයූසී) සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිති නියෝජනය කරන්නේ, දශක හතරකට ආසන්න කාලයක් අඛන්ඩ පාවාදීම් සහ පරාජයන් සඳහා මුලසුන හෙබවූ වරප්‍රසාද ලත් කුලයක කාර්ය මන්ඩලයක් සහ මෙම කාර්යය සඳහා කැප වූ විශාල උපකරනයක් ලෙස ය.

2020 මාර්තු දක්වා වූ වසර තුල බ්‍රිතාන්‍යයේ වෘත්තීය සමිතිවල වත්කම් පවුම් බිලියන 2.3 කට ආසන්න විය. හොඳම වැටුප් ලබන වෘත්තීය සමිති නායකයින් 29 දෙනාගේ සාමාන්‍ය  වැටුප පවුම් 153,935 කි. ටීයූසී හි  ප්‍රධාන ලේකම් ෆ්‍රැන්සිස් ඕ’ග්‍රැඩිට පවුම් 166,461 ක්ද, ජීඑම්බී ප්‍රධාන ලේකම් ටිම් රෝචේට පවුම් 160,000 ක්ද ලැබුනි. සාමාජිකයින් 81,370 ක් පමනක් සිටින දුම්රිය, සමුද්‍රීය හා ප්‍රවාහන සේවක සංගමයේ මික් කෑෂ් (Mick Cash) ට පවුම් 159,944 කි. ඔවුන් සියල්ලෝම උපයන්නන්ගෙන් ඉහලම සියයට 3 අතර සිටිති.

එක්සත් රාජධානියේ වැඩ වර්ජන ක්‍රියාකාරකම් කම්කරුවන් 40,000 ට අඩුවෙන් සම්බන්ද වූ සාමාන්‍යයෙන් වසරකට වැඩ වර්ජන 100 කට වඩා අඩුවෙන්, ඓතිහාසික අවම මට්ටමක පවතී. පසුගිය වසරේ වසංගතය පැවති සමයේ සියලුම වැඩ වර්ජන ක්‍රියාකාරකම් පාහේ නිලධරය විසින් නතර කරන ලදී.

බ්‍රිතාන්‍යයේ මිලියන 32 ක කම්කරුවන්ගෙන් අතිමහත් බහුතරයක් වෘත්තීය සමිතිවල සාමාජිකයින් නොවන්නේ, වෘත්තීය සමිති කම්කරු පන්තිය ආරක්ෂා නොකිරීම නිසා ය.

උදාහරනයක් ලෙස, බ්‍රිතාන්‍යයේ විශාලතම සංගමය වන යුනයිට් හි සාමාජිකයින් මිලියන 1.4 ක් සිටී. පසුගිය වසරේ එය කිසියම් ආකාරයක කාර්මික ක්‍රියාමාර්ගයක් සඳහා 245 වාරයක් ඡන්ද විමසීම් සංවිධානය කල නමුත් වැඩ වර්ජනයකින් හෝ බොහෝ විට වැඩ වර්ජනයකට වඩා කුඩා ක්‍රියාමාර්ගයකින් අවසන් වූයේ ඉන් 25ක් පමනි.

කම්කරුවන් ආපසු සටන් කරන විට කුමක් සිදුවේද? දොට්ට දැමීමේ හා නැවත වැඩට ගැනීමේ ක්‍රම මගින් සිදුකරගෙන යන ම්ලේච්ඡ වැටුප් කප්පාදුවලට හා වැඩ වේගවත් කිරීම්වලට මුහුන දෙන කම්කරුවන්, වෘත්තීය සමිති විසින් රඳවා තබා ගැනීමේ උත්සාහයන්ට එරෙහිව බලහත්කාරයෙන් සිදුකල වැඩ වර්ජන රාශියක් මේ වසරේ දී දැක තිබේ. බොහෝ ඒවා දැනටමත් පාවා දී ඇත.

ජනවාරියේදී, ජීඑම්බී හි බ්‍රිතාන්‍ය ගෑස් කම්කරුවන් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කල අතර එය දොට්ට දැමීමේ හා නැවත සේවයේ යෙදවීමේ කොන්ත්‍රාත්තුවට එරෙහිව දින 43 ක් පුරා ක්‍රියාත්මක විය. ඔවුන්ගේ අධිෂ්ඨානශීලී ස්ථාවරය පාවා දෙනු ලැබීය. සියයට 15 ක වැටුප් කප්පාදුවක් සමග නව කොන්ත්‍රාත්තුව පිලිගැනීමට බොහෝ දෙනෙකුට බල කෙරුනු අතර, ප්‍රතික්ෂේප කල අය සිය ගනනක් සේවයෙන් නෙරපා හරින ලදී.

ව්‍යාජ වාම කන්ඩායම් පක්ෂපාතී වන්නේ වෘත්තීය සමිති නිලධරයට පමනි. නව කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට ජීඑම්බී නිර්දේශ කල විට පවා, සමාජවාදී පක්ෂය කියා සිටියේ මෙය “සේවයෙන් පහ කිරීම වලක්වා ගැනීම සඳහා කම්කරුවන් විසින් සිදුකල” බවයි! සමාජවාදී කම්කරු පක්ෂය මේ මාසයේ අවධාරනය කලේ කම්කරුවන් තවමත් ලේබර් පක්ෂයට ඡන්දය දිය යුතු බවයි. මන්දයත් “එය වෘත්තීය සමිති නායකයන් සමඟ ඇති සබඳතා තුලින් කම්කරු පන්ති සංවිධාන සමඟ දිය වී ගිය සම්බන්ධතා කිහිපයක් රඳවාගෙන සිටින බැවිනි.”

වෘත්තීය සමිතිවල ගෙල සිරකර ගැනීම කුරිරු මිලක් නියම කරයි. එක් උදාහරනයක් පමනක් කිවහොත්, එක්සත් රාජධානියේ ධනවත්ම පුද්ගලයින් 100 දෙනාට දුප්පත්ම මිලියන 18 ක ජනතාවට වඩා  මුදල් ඇති අතර ලෝකයේ පස්වන වැඩිම බිලියනපතියන් ගනන සිටින්නේ එක්සත් රාජධානියේ ය.  ඊට වෙනස්ව, ලමුන් මිලියන තුනකට දැන් දරිද්‍රතාවය බලපා ඇති අතර එය පසුගිය වසර හය තුල මිලියන භාගයකට වඩා වැඩිය. රට පුරා යාබද දිස්ත්‍රික්ක 649 ක, අවම වශයෙන් ලමුන්ගෙන් අඩක්වත් දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වන බවට ගනන් බලා තිබේ.

මෙය ඉදිරියට යා නොහැක. “කාලය පැමින ඇති බවට දැනෙන අදහස තරම් බලවත් කිසිවක් නැත.” එවැනි අදහසක් මගින් ලෝකයේ සියලුම හමුදාවන් යටත් කර ගත හැකි බව වික්ටර් හියුගෝ ප්‍රකාශ කලේය.

හජාජාක මෙම අවබෝධය මත පදනම් වේ. එහෙත් අදහස් සඳහා සටන් කල යුතු අතර සවිඤ්ඤානික හා සංවිධානාත්මක ප්‍රකාශනයක් ලබා දිය යුතු බව ද අපි තේරුම් ගනිමු. කම්කරු පන්තිය, රාජ්‍ය බලය පාවිච්චි කරන පාලක පන්තියකට මුහුන දෙන අතර සෑම අවස්ථාවකදීම දුෂ්ට නිලධර යාන්ත්‍රනයකින් එය වලක්වනු ලැබේ.

කම්කරුවන්ට ගෝලීය ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැඟිය යුතු වන්නේ එබැවිනි. ඔවුන්ගෙන් හොඳම, දුරදක්නා හා ධෛර්ය සම්පන්න අය සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හජාජාක ගොඩනැගීම සඳහා කැපවිය යුත්තේ එබැවිනි.

Loading