වසංගතය මැඩීමේ අත්‍යවශ්‍ය පියවර ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා රෝහල් කම්කරුවෝ විරෝධතාවයේ යෙදෙති

පසුගිය බදාදා දිවයින පුරා රෝහල් කම්කරුවෝ වසංගතය පාලනයට අත්‍යවශ්‍ය වන, අගුලු දැමීම, පීසීආර් සංඛ්‍යාව ඉහල නැංවීම, රෝහල් පහසුකම් වැඩි දියුනු කිරීම ආදී ඉල්ලීම් පෙරටු කොටගෙන විරෝධතාවයක නිරත වූහ. ‌දිනකට 3000 කට වැඩි ආසාදිතයින් සහ මරන 200 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙමින් කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යද්දී පවා, එය පාලනය කිරීමට අත්‍යවශ්‍ය වන අගුලු දැමීම් ආදී පියවර ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව සෞඛ්‍ය කම්කරුවන් අතර වැඩුනු බලගතු විරෝධය මධ්‍යයේ, 'සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව' විසින් මෙම උද්ඝෝෂනය කැඳවා තිබුනි.

මහනුවර රෝහලේ පැවති විරෝධතාවය

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, රජයේ වෛද්‍ය නිලධාරී සංසදය, සමස්ත ලංකා හෙද සංගමය සහ තවත් සමිති කීපයක් මෙම 'සමිති එකමුතුව' ට අයත් වන අතර, විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම වූයේ “විද්‍යාත්මක අගුලු දැමීම' කි. අගෝස්තු 17 වනදා සෞඛ්‍ය වෘත්තීය සමිති, තවත් සමිති කිහිපයක් සමග එක්ව නිවේදනය කලේ ආන්ඩුව අගුලු දැමීමක් ක්‍රියාවට නොදමන්නේ නම් 23 වන සඳුදා සිට තමන් “ඒකාබද්ධ අගුලු දැමීම්” ක්‍රියාමාර්ගයකට යන බවයි.

ගම්පොල රෝහලේ සෞඛ්‍ය කම්කරුවෝ පුද්ගල ආරක්ෂිත උපකරන සහ අගුලු දැමීමක් ඉල්ලා විරෝධතාවයේ යෙදෙති. (ලෝසවෙඅ)

අගුලු දැමීම ඇතුලු විද්‍යාඥයන්ගේ නිර්දේශ ප්‍රතික්ෂේප කරමින් ආන්ඩුව ගෙනයන මිනීමරු වැඩපිලිවෙලට විරුද්ධත්වය පල කරමින් මහජනතාව විසින් ම නගර 80 කට වැඩි සංඛ්‍යාවක් වසා දැමුනු අතර, දුම්රිය සේවකයෝ තමන් අනාරක්ෂිතව වැඩෙහි යෙදවීමට එරෙහිව විරෝධතාවල නිරත වූහ. පෞද්ගලික ආරක්ෂක උපකරන, සෞඛ්‍ය ආරක්ෂිත ගමනාගමන පහසුකම් සහ දීමනා ලබා නොදීමට එරෙහිව දිගින් දිගටම අරගලයේ නිරතව සිටි සෞඛ්‍ය කම්කරුවන් බදාදා පැවති විරෝධතා උද්ඝෝෂනයට අවතීර්න වූයේ මෙම පසුබිම තුලය.

කෙසේ වෙතත්, මෙම මහජන විරුද්ධත්වය හේතුවෙන් ආන්ඩුව පසුගිය සිකුරාදා දිනයේ ව්‍යාජ අගුලු දැමීමක් නිවේදනය කලේය. වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන ඇඟලුම් කම්හල් වැනි අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන ක්ෂේත්‍රයන් වලට පවා මේ අගුලු දැමීම බලපාන්නේ නැත.

බදාදා දහවල් විවේක කාලයේදී පැවැත්වුනු පැයක නිහඬ විරෝධතාවයට කොලඹ ජාතික රෝහල සහ යාපනය, අනුරාධපුර, මාතර, මහනුවර හා කරාපිටිය ඇතුලු දිවයිනේ බොහෝ රෝහල් වල විවිධ අංශයන්හි සෞඛ්‍ය සේවකයෝ සහභාගි වූහ. සෞඛ්‍ය කම්කරුවන්ගේ මෙම සහභාගීත්වය පෙන්නුම් කලේ වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවේ සාපරාධී ප්‍රතිචාරයට එරෙහිව සටන් කිරීමට ඔවුන්ට ඇති අධිෂ්ඨානයයි.

සෞඛ්‍ය කම්කරුවන් යනු, වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුව ගෙනයන මිනීමරු පිලිවෙතට සෘජුවම මුහුන දෙන කොටසකි. ආසාදිතයින් වේගයෙන් ඉහල යන තතු තුල, රෝගීන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති අතර නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව මිය යන ගනන ඉහල යමින් පවති. එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය කම්කරුවන්ට වැඩ අධික වී ඇත.

මෙම කොන්දේසි මධ්‍යයේ අනාරක්ෂිතව සේවයේ යෙදෙන සෞඛ්‍ය කම්කරුවන් විශාල සංඛ්‍යාවක් ආසාදනය වී ඇත. ඊට වෛද්‍යවරුන් 209ක්, හෙද හෙදියන් 1000 කට වැඩි සංඛ්‍යාවක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 37දෙනෙක් වසංගතයට ගොදුරු වී ඇත. මෙම ආසාදනය වූවන්ගෙන් හයකට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇත.

වැඩෙන මහජන විරුද්ධත්වය, ධනපති ක්‍රමයටම අභියෝග කෙරෙන සමාජ පිපීරීමක් දෙසට ගමන් කරනු ඇතැයි සමස්ත ධනපති සංස්ථාපිතයම බිය වී සිටිති. එම සංස්ථාපිතයේ කොටසක් වන වෘත්තීය සමිති “විද්‍යාත්මක ලොක්ඩවුන්” එකක් පනවන ලෙස ආන්ඩුවට බල කිරීමට ඉදිරියට පැමින ඇත්තේ වැඩෙන සමාජ විරුද්ධත්වය ආන්ඩුවට බලපෑම් දැමීමේ වැඩපිලිවෙල තුල සිරකොට දියකර හැරීමටයි.

රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති රුක්ශාන් බෙල්ලන මෙය ආන්ඩුවට විරුද්ධ අරගලයක් නොවන බවට සපථ කරමින් “ලොක්ඩවුන් කරන්න කියාගෙන රජය අපහසුතාවයට පත් කරන්න කටයුතු කරනවා නෙවෙයි” යනුවෙන් විරෝධතාවයේදී සඳහන් කලේය. ඔහු වැඩි දුරටත් සඳහන් කලේ “මේක තේරුම් ගන්න බැරි රජයක් නම් ඉන්නේ” එය මෙවන් උද්ඝෝෂන හරහා තේරුම් කිරීමට සිදුවන බවයි.

අනෙක් සමිති මෙන්ම, 'සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව'ට අයත් සමිති පසුගිය කාලය පුරාම ආන්ඩුවේ පිලිවෙත් පිටුපස මුලුමනින්ම පෙල ගැසී සිටියහ. සෞඛ්‍යය ඇතුලු රාජ්‍ය ක්ෂේත්‍රයන්හි කම්කරු අරගල වැඩෙද්දී, ආන්ඩුව රාජ්‍ය අංශ බහුතරයක් මත රුදුරු 'අත්‍යවශ්‍ය සේවා' විධිවිධාන පනවද්දී මෙම සමිති කවර හෝ විරුද්ධත්වයක් නොපාමින් එය අනුමත කලහ. මෙම අත්‍යවශ්‍ය සේවා' විධිවිධාන මගින් විරෝධතා සහ වැඩ වර්ජන ඇතුලු සියලු පංති ක්‍රියා නීති-විරෝධී කෙරුනි.

එපමනක් නොව, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සෞඛ්‍ය කම්කරුවන්ගේ විරෝධතා වැඩෙද්දී ඒවා ආන්ඩුව සමග ඇතිකරගන්නා ගනුදෙනු හරහා යටපත් කිරීමට මෙම සමිති කටයුතු කලහ.

වසංගතය මර්දනය කිරීමේ අත්‍යාවශ්‍ය පියවර සඳහා කම්කරු පන්තිය ඇතුලු මහජනතාව තුලින් මතුවන උත්සුකය, සමිති එකමුතුවේ ඊනියා “විද්‍යාත්මක ලොක්ඩවුන්” යෝජනාව සමග කිසිසේත් නොපෑහේ. වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති යෝජනා දහය වසංගත මර්දන වැඩපිලිවෙල ධනපති පන්තියේ අවශ්‍යතා වලට ගැලපෙන පරිදි කප්පාදු කල එකකි.

එම ඉල්ලීම් දහයට, පලමුව දින දහයක් රට වසා තැබීම, පීසීආර් සහ ක්ෂනික ප්‍රතිජනක ඇතුලු කොවිඩ් පරීක්ෂන ලක්ෂයක් කිරීම, ආසාදිතයන් වෙන් කර සාමාන්‍ය රෝග ලක්ෂන සඳහා නිවසේ සිට ප්‍රතිකාර සැලසුම් කිරීම, විද්‍යාත්මක ආවේක්ෂනයන් හරහා රෝගය නිවැරිදිව පුරෝකථනය කිරීම, එම කාලය තුල සංචාරකයන් ගෙන්වීම නතර කිරීම, කොවිඩ් රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම සහ ඒ සඳහා ඇඳන් 10,000 වෙන්කර තැබීම අඩංගුය.

වෛද්‍ය විශේෂඥයන් ඉල්ලා සිටින්නේ වෛරසයේ සම්ප්‍රේෂන දාමය බිඳීමට වෛරසයේ ආයු කාලයට සමාන දින 14ක අගුලු දැමීමකි. නමුත් සමිති එකමුතුව එය ආන්ඩුවට ගැලපෙන පරිදි කප්පාදු කරමින් දින දහයකට සීමා කර ඇත. එකමුතුව යෝජනා කරන්නේ ඉන් දින තුනකට පසු නැවත සතියක රට වැසීමකි. එයම පෙන්නුම් කරන්නේ ඔවුන් සඳහන් කරන ඊනියා “විද්‍යාත්මක ලොක්ඩවුන්” පිලිවෙතේ අවිද්‍යාත්මක බවයි.

ඇඳන් ඇතුලු රෝහල් පහසුකම් වර්ධනය කිරීම, පීසීආර් පරීක්ෂන ඉහල නැංවීම සඳහා සෞඛ්‍ය ක්ශේත්‍රයට බිලියන ගනනින් මුදල් සම්පාදනය කල යුතුය. වැඩෙන අර්බුදයකට මුහුන දී ඇති ධනපති ක්‍රමය මහජන අවශ්‍යතා සඳහා එවන් සම්පත් බලමුලු ගැන්වීමකට අසමත් ය. ලංකාවේ ආන්ඩුව වසංගතය මධ්‍යයේමත් මෙම වසර සඳහා අයවැයෙන් සෞඛ්‍යයට බිලියන 27ක මුදල් කප්පාදුවක් කලේ එබැවිනි.

අනෙක් අතට, ඇඳන් ලක්ෂයක් සහිත විවෘත බාහිර ප්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනැගීමට හමුදාව යොදාගන්නා ලෙස මෙම සමිති යෝජනා කරයි. මෙය ආන්ඩුව වසංගතයට මුවා වී ගෙනයන මිලිටරීකරනයට තල්ලුව සැපයීමකි.

කෙසේ නමුත්, කොරෝනා වසංගතය ගෝලීය වසංගතයකි. එය ජයගැනීම, වෛරසය ගෝලීය පරිමානව තුරන් කිරීමේ (eradication) මූලෝපායක් මත පාදක කර ගත යුතු වෙයි. එම මූලෝපායට යටත් නොවන ඕනෑම උපායක් හෝ, එයට එරෙහි වෙනත් මූලෝපායන් - රංචු ප්‍රතිශක්තිකරනය (herd immunity) සහ වසංගතය පාලනය කිරීම (mitigation)- අවිද්‍යාත්මක වෙයි.

වසංගතය පාලනය කල බවට (mitigate) සඳහන් කල නවසීලන්තය, චීනය වැනි රටවල යලිත් වසංගතය පැතිරීම පෙන්නුම් කරන්නේ තනි රටක් තුල වසංගතය පාලනය කල නොහැකි බවයි. සමිති එකමුතුව යෝජනා කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ තනි රටක් තුල වසංගතය පාලනය කිරීමේ අවිද්‍යාත්මක වැඩපිලිවෙලකි. සෞඛ්‍ය කම්කරුවන් මෙම ඊනියා “විද්‍යාත්මක ලොක්ඩවුන්” උගුලට හසු විය යුතු නැත.

සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 'ජාතිය අමතමින්' සඳහන් කලේ “රට වසා දැමිම තුලින් වන බලපෑම් ජනතාව” තේරුම් ගත යුතු බවයි. ආර්ථිකය කඩා වැටෙන්නට ඉඩ දීමට හැකියාවක් නොමැති බව ඔහු එහිදී යලිත් කියා සිටියේ ය. රාජපක්ෂ උත්සුක වන ආර්ථිකය වනාහි කම්හල්, ෆැක්ටරි, බැංකු හිමි ධනපති පන්තියේ ආර්ථිකයයි. එනම් අගුලු දැමීමකින් සිදුවිය හැකි ඔවුන්ගේ ලාභ උත්පාදනය කඩා වැටීම පිලිබඳවයි.

වැටුප් කප්පාදු ඇතුලු ප්‍රහාරයන් හරහා වසංගතයේ සහ ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත තවදුරටත් පැටවීමේ සුදානම පෙන්නුම් කරමින් ඔහු “ජනතාව කැප කිරීම්” කලයුතු බව සඳහන් කලේය. තම ප්‍රහාරාත්මක වැඩපිලිවෙලට කම්කරු පන්තියෙන් එන කවර හෝ විරුද්ධත්වයක් නොඉවසන බව පෙන්නුම් කරමින්, මෙය “වැඩ වර්ජන උද්ඝෝෂන සඳහා සුදුසු අවස්ථාවක් නොවන” බවට ඔහු කම්කරු පන්තියට අනතුරු ඇඟවීය.

රාජපක්ෂගේ ප්‍රකාශය මගින් යලිත් තහවුරු කරන්නේ වසංගත මර්දනය හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක කාරනාවක් නොවන බවයි. එය මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබෙන ධනපති ක්‍රමයටම එරෙහි දේශපාලන අරගලයකි. 'වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි' යන හිසින්, 2021 අගෝස්තු 21 දා ලෝක සමාජවාදී වෙබි අඩවියේ පලවූ ඉදිරි දර්ශන ලිපියේ සඳහන් කෙරුනු පරිදි,

'මුලිනුපුටා දැමීමේ මූලෝපාය ක්‍රියාත්මක කිරීම සඳහා බලගතු ජාත්‍යන්තර හා කම්කරු පන්තියේ ඒකාබද්ධ මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වේ. ප්‍රතිපත්ති වෙනසකට බල කිරීම සඳහා අවශ්‍ය සමාජ බලවේගය උත්පාදනය කල හැක්කේ ලාභ අරමුනු සඳහා නොවන සහ උමතු ලෙස පුද්ගලික ධනය ලුහුබැඳ නොයන මහජන ව්‍යාපාරයකට පමනි.

මුලිනුපුටා දැමීමේ මූලෝපාය මඟ පෙන්වන මූලික මූලධර්ම පදනම් වී ඇත්තේ විද්‍යාව සහ ලොව පුරා කොවිඩ්-19 මුලිනුපුටා දැමීම සඳහා වැය කල යුතු මුදලට සීමාවක් තිබිය නොහැකි බව අවධාරනය කිරීම මත ය. ලොව පුරා සිටින මිනිසුන්ගේ සමාජ අවශ්‍යතා විද්‍යාත්මක සත්‍යය සමඟ බලවත් ලෙස අන්තර් ක්‍රියා කරයි.'

එවන් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමටනම් කම්කරුවන් තමා ධනපති ක්‍රමයට ගැටගසන වෘත්තිය සමිති වලින් බිඳී වෙන් වී එම ජාත්‍යන්තර වැඩපිලිවෙලට සටන් වදින කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු වහා ගොඩනගාගත යුතුය.

Loading