පොලීසිය කටුකැලේ වත්තේ කම්කරුවන් 11 අත්අඩංගුවට ගනියි

මස්කෙලිය වතු සමාගමට අයත් තලවකැලේ වතුයායේ කොටසක් වන කටුකැලේ වත්තේ වැඩ වර්ජනයේ යෙදී සිටි කම්කරුවන්ගෙන් 11 දෙනෙකු පොලීසිය විසින් සැප්තැම්බර් 30 වෙනිදා අත් අඩංගුවට ගනු ලැබින.

කටුකැලේ වත්තේ වැඩ වර්ජනයේ යෙදී සිටි කම්කරුවෝ [ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍යය]


වැඩ වේගවත් කිරිමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව සැප්තැම්බර් 26 දා පැවති වැඩ වර්ජනයේදී ක්‍රියාශීලීව මැදිහත් වූ පොන්නිරාසෙල්වි නමැති ස්ත්‍රී කම්කරුවෙකුට එරෙහි පලිගැනිමක් ලෙස, වතු පාලකයන් විසින් සැප්තැම්බර් 28 වන දා සිට ඇයට වැඩ ලබා නොදීමට විරෝධය පාමින්, සැප්තැම්බර් 29 වෙනිදා ආරම්භ කෙරුන වර්ජනයට වත්තේ කම්කරුවන් 130 ක් පමන සහභාගී වී සිටියහ.

අත් අඩංගුවට ගත් කම්කරුවන් නුවරඑලිය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු පොලීසිය ඔවුන්ට ඇප දීමට විරුද්ධවීම නිසා ඔක්තෝබර් 5 දක්වා බන්ධනාගාර ගත කෙරුනි. 5 වෙනිදා නඩුව යලි කැඳවීමෙන් පසුව ඔක්තෝබර් 7 වෙනිදාට කල් තැබුනි. ඔවුන්ට විරුද්ධව පොලීසිය මෙතෙක් චෝදනා ඉදිරිපත් කර නැත. බන්ධනාගාර ගත කල කම්කරුවන් අතර කාන්තා කම්කරුවන් තිදෙනෙක් ද සිටිති.

එම්. අන්නාතුරෙයි, ඒ. පොන්නිරාසෙල්වි, එස්. ශ්‍රී දේවී, ශ්‍රීකාන්ත්, සිවඥානම්, සශිරේහා, එම්. සිවනේශ්වරම්, එම්. විජිදරන් බාලචන්ද්‍රන්, පී. විජයලක්ශ්මි සහ තිරුසෙල්වම් එලෙස බන්ධනාගාර ගත කර සිටින කම්කරුවෝ වෙති. මෙම කම්කරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ වතුපාලකයන් විසින් වර්ජනයේ යෙදී සිටි කම්කරුවන්ට විරුද්ධව සැප්තැම්බර් 29 වෙනිදා නිර්මානය කරන ලද ප්‍රකෝපකාරිතයක් තුලිනි.

පොන්නිරාසෙල්වී සහ ශ්‍රීදේවී යන කම්කරු ස්ත්‍රීන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ, එම ප්‍රකෝපකාරිත්වය හේතුවෙන් කම්කරුවන් සහ වතු පාලකයන් කිහිප දෙනෙකු අතර ඇති වූ ගැටුමේ දී තුවාල ලබා ලිඳුල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

මෙම මර්දනයට එරෙහිව දිගටම වර්ජනයේ යෙදී සිටින කම්කරුවෝ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින කම්කරුවන් නිදහස් කරන ලෙසත් පොන්නිරාසෙල්වී ට කොන්දේසි විරහිතව වැඩ ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිති.

තලවකැලේ වතුයායේ තවත් කොටසක් වන ඇල්පලකන්ද කොටසේ සෙන්ට් ක්ලෙයා වත්තේ කම්කරුවෝද කටුකැලේ වත්තේ කම්කරුවන් ට සහය දක්වා 29 වෙනිදා වර්ජනය කලහ. නමුත්, වත්තේ කම්කරුවන් සාමාජිකත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) හෝ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) කම්කරුවන්ට එරෙහි මෙම මර්දනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

කටුකැලේ කම්කරු දඩයම, වතු සමාගමේ, පොලීසියේ සහ වෘත්තීය සමිතිවල ඒකාබද්ධ කුමන්ත්‍රනයකි. මෙම පොලිස් මර්දනය කම්කරු පන්තිය විසින් තරයේ හෙලා දැකිය යුතු අතර දඩයමට ගොදුරු වී සිටින කම්කරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරගැනීම සඳහා වර්ජන, පිකට් උද්ඝෝෂන ඇතුලු පන්ති ක්‍රියාවන් තුලින් ක්‍රියාශීලීව මැදිහත් විය යුතුය.

දෛනික වැඩ ඉලක්කය ඉහල දැමීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව කටුකැලේ වත්තේ කම්කරුවෝ පසුගිය දිනවල යලි යලිත් උද්ඝෝෂන සහ වර්ජන වල නිරත වූහ. තේ පඳුරුවලට දිනකට ඉසින කෘමිනාශක ටැංකි හත, දහහතර දක්වා දෙගුනයකින් වැඩි කිරීමට විරුද්ධව ඔවුහු අගෝස්තු 18 සිට 24 දක්වා දින 6 ක අඛන්ඩ වර්ජනයක් කලහ. ඉන් පසු වතු කලමනාකාරිත්වය වර්ජනයේ යෙදුන කම්කරුවන් ට විරුද්ධව පලි ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කලේ ය.

මෙම පලිගැනීමේ ක්‍රියාවලියට විරුද්ධව සැප්තැම්බර් 26 වෙනිදා කම්කරුවන් වර්ජනයට එලඹුන විට වතු කන්කානම් කම්කරුවන් කිහිප දෙනෙකු යොදාගෙන වර්ජනය බිඳීමට උත්සාහ කලේ ය. කම්කරුවෝ ඊට විරුද්ධ වූහ. කන්කානම් කලමනාකාරීත්වයට ඒ ගැන දැනුම් දීමෙන් පසු කම්කරුවන් හමුවට පැමිනි සුපවයිසර් සහ පොන්නිරාසෙල්වී අතර වාදයක් ඇතිවිය. වර්ජනය කිරීමේ තීන්දුව ගත්තේ කම්කරුවන් එකාබද්ධව බවත් එය කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බවත් ඇය සුපවයිසර් ට පවසා ඇත.

මේ හේතුවෙන් අරගලයේ පෙරමුන ගෙන සිටි පොන්නිරාසෙල්වි ට සැප්තැම්බර් 28 වනදා වැඩ ලබාදීම ප්‍රතික්ෂේප කෙරුනු අතර විරෝධතාවය සම්බන්ධයෙන් ඇයගේ මැදිහත්වීම පිලිබඳව කලමනාකාරීත්වය විසින් පරීක්ෂනයක් සඳහා කැඳවනු ලැබීය. කම්කරුවන් ඇයට වැඩ ලබාදෙන ලෙස ඉල්ලා 29 වනදා වැඩ වර්ජනයක් කැඳවුම් කර දලු බාර දෙන ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක යෙදුනි.

එහි දී කලමනාකාරීත්වය කම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුකොට ගෙන කම්කරුවන් සහ සහකාර වතු අධිකාරි අතර වාදයක් ඇති විය. එම අවස්ථාවේදී ක්ෂේත්‍ර නිලධාරියෙකු වන සරවනන්, ස්ත්‍රී කම්කරුවෙකු වන ශ්‍රීදේවී තල්ලු කර ඇත. ඇය බිම ඇද වැටීමෙන් තුවාල ලැබුවාය. ඉන් කෝපයට පත් කම්කරුවන් සහ කලමනාකාරීත්වය අතර ගැටුමක් ඇති වී තිබේ. ගැටුමෙන් කම්කරුවන් දෙදෙනෙකු, ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනෙකු සහ සහකාර කලමනාකාරවරයෙකු තුවාල ලබා ඇත.

පොලීසිය කම්කරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ වතු පාලකයන් විසින් නිර්මානය කල මෙම ප්‍රකෝපකරනය උපයෝගී කර ගෙනය. එහෙත් ප්‍රකෝපකරනයට වගකිව යුතු කලමනාකාරිත්වයේ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමක් හෝ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමක් කෙරී නැත. මෙම සිදුවීමෙන් තුවාල ලැබූ නිලධාරීන් සහ සහකාර කලමනාකාරවරයා ඉක්මනින්ම වත්තේ ගිලන් රථය මගින් රෝහලට ගෙන ගියද තුවාල ලැබූ කම්කරුවන් දෙදෙනා රෝහල් ගත කිරීමට සිදු වූයේ ඔවුන්ගේ වියදමින් ලබාගත් කුලී රථයකින් බව කම්කරුවෝ පැවසුහ.

කම්කරුවන් පලමුවෙන් පොලීසියට ගොස් සිදුවීම පැමිනිලි කිරීමට උත්සාහ දැරුව ද තලවකැලේ පොලීසිය එය සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කලේය. කම්කරුවන්ගේ පැමිනිල්ල සටහන් කරගෙන ඇත්තේ පරිපාලනයේ පැමිනිල්ල ගොනු කිරීමෙන් පසුවය.

වතු පාලකයන්ගේ මෙම ප්‍රකෝපකරනයට විරුද්ධව “කම්කරුවන් ආරක්ෂා කිරීමට කිසිදු වෘත්තීය සමිතියක් මැදිහත් නොවුන” බවත් ඔවුන් කම්කරුවන් මත වැඩ පැටවීමට නිහඬව සහයෝගය දුන් බවත් කම්කරුවෙකු පැවසීය. දිනකට තේ දලු කිලෝ විස්සක් කැඩීමට හැකි නම් එසේ කොට රුපියල් 1000 වැටුප ලබාගන්නා ලෙස සීඩබ්ලිව් සී නායක හා පොදුපෙරමුනු ආන්ඩුවේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජීවන් තොන්ඩමන් කම්කරුවන්ට පැවසූ බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කලේ ය.

නව දෛනික වැඩ ඉලක්කය සම්පූර්න කිරීම අතිශය දුෂ්කර බව ස්ත්‍රී කම්කරුවෙක් පැවසුවාය: “දැඩි නියඟය සහ අධික වැසි කාලය තුල දලු කිලෝ 20 ක් කොහොමවත් කඩන්න බැහැ. දැනට කඩන කිලෝ 18 පවා එවන් කාල වල දී සම්පූර්න කරන්න බැහැ. එම ප්‍රමානයන්ට අඩුවෙන් කැඩුවොත් කිලෝ එකකට රුපියල් 40 ගනනේ ගෙවන්නෙ. ඒ කියන්නේ කිලෝ 17 ක් කැඩුවොත් ගෙවන්නේ රුපියල් 680 යි. ”

කොරෝනා වසංගතය මගින් තීව්‍ර කෙරී ඇති අර්බුදයේ බර කම්කරුවන් මත පටවා තම ලාභ රැක ගැනිමේ අරමුනෙන්, වතු සමාගම් විසින් වැඩ වේගවත් කිරීම සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දැමෙන්නේ, ආන්ඩුවේ පිටුබලය සහ වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව යි.

මෙම ප්‍රහාරයන් ට එරෙහිව වතු කම්කරුවන් අතර බරපතල විරෝධයක් වැඩෙමින් ඇත. මස්කෙලිය ග්ලිනුයිජ් වත්තේ කම්කරුවෝ 500 ක් පමන සැප්තැම්බර් 21 වෙනිදා සිට ඔක්තෝබර් 6 වෙනිදා දක්වා අඛන්ඩ වර්ජනයක යෙදී සිටියහ. සැප්තැම්බර් 27 වෙනිදා නල්ලතන්නිය මරේ වතු යායේ කම්කරුවෝ සිය ගනනක් එක් දින වර්ජනයක නිරත වූහ.

පසුගිය මාස කිහිපය තුල හැටන්, දික්ඔය, බොගවන්තලාව, තලවකැලේ ඇතුලු ප්‍රදේශ වල වතු කම්කරුවන් කිහිප දහසක් වර්ජන සහ වෙනත් විරෝධතා උද්ඝෝෂනවල යෙදී ගත්හ. මෙම අරගල සියල්ලම පාහේ පැන නැගුනේ වෘත්තීය සමිති වලට පිටිනි. එමගින් පෙන්නුම් කරන්නේ වතු සමාගම් වලට මෙන් ම, ආන්ඩුවට සහ වෘත්තීය සමිති වලට එරෙහිව වතු කම්කරුවන් අතර කැරැල්ලක් වර්ධනය වෙමින් පවතින බවය.

මෙම අරගල වැඩෙන ජාත්‍යන්තර කම්කරු පන්තික අරගල රැල්ලේ කොටසකි. ලංකාවේ ගුරුවරුන් මාස තුනක් තිස්සේ වැඩ වර්ජනයක නියැලෙන අතර සෞඛ්‍ය කම්කරුවෝ තම වැටුප් ඇතුලු සමාජ අයිතීන් සඳහා නිරන්තර අරගලයක යෙදී සිටිති.

කටුකැලේ වතු යායේ කම්කරුවන්ට එරෙහිව එල්ල කර ඇති මර්දනය කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි. මාර්තු මාසයේදී වර්ජනයේ යෙදුන, මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහිව වතු පාලකයන්, පොලීසිය සහ වෘත්තීය සමිති එක්ව නිර්මානය කල ප්‍රකෝපකරනයක් හරහා තියුනු මර්දනයක් දියත් කෙරුනි.

එහිදි අරගලයේ නිරත වූ කම්කරුවන් 38 දෙනෙක් රැකියා වලින් නෙරපා හැරි අතර අත් අඩංගුවට ගත් කම්කරුවන් 26 දෙනෙකු නිදහස් කෙරුනේ බරපතල ඇප කොන්දේසි මතය. නඩුව මෙම මාසයේ 27 වෙනිදා යලිත් කැඳවීමට නියමිතය.

ඕල්ටන් වත්තේ කම්කරු අරගලයට විරුද්ධව උද්ඝෝෂනයක යෙදුන වතු පාලකයන් ආරක්ෂාව සඳහා තමන්ට “ආයුධ ලබා දෙන” ලෙස ඉල්ලා සිටියද ඉන් කම්කරුවන් අතර කැරලිකාරීත්වය වර්ධනය කරනු ඇතැයි බියවූ ආන්ඩුව එය ප්‍රතික්ෂේප කලේය.

කටු කැලේ විරෝධතාවයෙන් අනතුරුව ද වතු සමාගම් වතු කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වයට එරෙහිව පියවර ගන්නා ලෙස ආන්ඩුවෙන් ඉල්ලුවේ ය. තලවකැලේ වතු යායේ කලමනාකරුවන් තලවකැලේ නගරයේ දී විරෝධතාවයක් පවත්වමින් ආන්ඩුවට ඒ සඳහා බල කලේය.

රාජපක්ෂ ආන්ඩුව දැන් වතුකරය ඇතුලු සියලු ක්ෂේත්‍රයන්ට මර්දනය දියත් කල හැකි සේ බලතල ගොනු කරගෙන සිටී. ඩෑන් නිව්ස් මාධ්‍යය වාර්තා කලේ ආන්ඩුව වතුකරයේ වැඩෙන කම්කරුවන්ගේ විරුද්ධත්වය පාලනය කිරීමට හමුදාව යෙදවීමට සූදානම් වෙමින් සිටින බවයි.

මෙම වර්ධනයන් සමස්ත කම්කරු පන්තියට එල්ල කර ඇති රුදුරු ප්‍රහාරයක ඇඟවුම් ය. මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ගුරුවරුන් ගේ අරගලය “සාධාරන, වුවත් අසාධාරන වුවත්” තලා දමන බවට තර්ජනය කලේය. හදිසි නීති සහ අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි යොදාගෙන රාජපක්ෂ ආන්ඩුව තම මර්දන හස්තය ශක්තිමත් කර ගනිමින් සිටී.

වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියට මෙම මර්දනයට විරුද්ධව සහ තම අයිතීන් සඳහා සටන් කල හැක්කේ වෘත්තීය සමිති වලින් ස්වාධීන ගොඩනගා ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටු තුලින් සංවිධානය කෙරෙන ඒකාබද්ධ අරගලයක් තුලින් පමනි.

Loading